Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මහ මුහුද තෙලෙන් පිරවීම| 2 කොටස| බොර තෙලෙහි නොනවතින පොරබැදීම
බූන්දි, 23:14:50
හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් (කනිෂ්ඨ) ගේ ප්‍රතිරූපය, සිය ධූරයෙ හි අවසාන කාලයේ දී බිඳ වැටුණේ ඉරාක යුද්ධයටත් වඩා ඇමෙරිකාව හරහා හමා ගිය මාරාන්තික කත්රීනා කුණාටුව (Hurricane Katrina) නිසාවෙනි. මෙවර වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා සිය ප්‍රතිරූපය ගිලිහෙන්නට නොදී පොරබදන්නේ මෙක්සිකානු මුහුදු බොක්කට කාන්දු වන අති දැවැන්ත බොර තෙල් ප්‍රවාහය සමඟිනි. වරද තවකෙකු වෙත පැවරීමේ නිල අරගලයක යෙදෙන අතරතුරේ දී මෙය ස්වභාවික ආපදාවක් යැයි ඒත්තු ගන්වන්නට ඇමෙරිකානු මාධ්‍ය හරහා ඔහු උත්සාහ කරන්නේ ගොඩනගා ගත් ප්‍රතිරූපය තව දුරටත් රැක ගැනීමේ අටියෙන් වුව මෙම ව්‍යසනය සිදුවූයේ ලාභ ඉපැයීමේ-

-එකම පරමාර්ථයෙන් ස්වභාවික සම්පත් සූරාකෑම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මහ මුහුදු පත්ල වගකීමෙන් තොරව කඩතොළු කිරීමේ වරදිනි. සිදු වූ ආපදාව වෙනුවෙන් වඩා වැඩි මැදිහත්වීමක් ජනාධිපති ඔබාමා ගෙන් දක්නට ලැබුණ ද ජාත්‍යන්තර තෙල් මාෆියාවේ බලාධිකාරිය ලබා දුන් ධනවාදී යාන්ත්‍රනයේ සීමාවන් තුළ කීකරුව ක්‍රියාකිරීමට ඔහුට සිදුවී ඇත.

ඇමෙරිකාවේ ලූසියානා වෙරළ තීරයට කිලෝ මීටර 80 ක් ඈතින් මෙක්සිකානු මුහුදු බොක්කෙහි බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගමට (British Petroleum Corp) අයත් ඩීප්වෝටර් හොරයිසන් (Deepwater Horizon) නම් වූ ගැඹුරු මුහුදේ තෙල් කැණීමේ ව්‍යාපෘතිය තුළ සිදු වූ මෙම පිපිරුම නිසාවෙන් හටගත් බොර තෙල් කාන්දුව, ඇමෙරිකානු ඉතිහාසයේ හදිසි අනතුරකින් සිදුවූ විශාලතම තෙල් කාන්දුවයි. එය ලෝක ඉතිහාසය තුළ දෙවැනි වන්නේ 1991 වසරේ ප්‍රථම ගල්‍ෆ් යුද්ධය අතරතුරේ දී ඇමෙරිකානු ආක්‍රමණයෙන් බේරීමට ඉරාකය විසින් මහ පො‍ළොව මත උවමනාවෙන් මුදාහළ බොර තෙල් ලීටර මිලියන 2,000 ට පමණකි. අසාර්ථක උත්සාහයන් විශාල සංඛ්‍යාවකට අනතුරුව පිපිරීම සිදුවීමෙන් දින 88 කට පසු තාවකාලික පිළියමක් යොදවා (ස්ථිර පිළියමක් මඟින් තෙල් ප්‍රවාහය පාලනය කරන තෙක් මෙම වෑයම සාර්ථක වේ යැයි සිතීම සුබවාදී ප්‍රාර්ථනාවකි) බොර තෙල් කාන්දුවීම නවතා දමන විට, ගලා ගොස් ඇති තෙල් ලීටර ප්‍රමාණය බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගමෙහි ඉහළ අනුමානයට අනුව ලීටර මිලියන 700 කි. එහෙත් විෂය පිළිබඳ විශේෂඥයන්ගේ ඉහළ අනුමානයට අනුව එය ලීටර මිලියන 1,250 කි. වඩාත් සරලව පැවසුවහොත් එය ලෝකයේ වැඩිම තෙල් පරිභෝජනය සිදුවන ඇමෙරිකාවේ පැය දොළහක් සඳහා ප්‍රමාණවත් වන අතර ලංකාවේ නම් දින 116 ක් සඳහා ප්‍රමාණවත් වේ.



කාන්දුවීම වූයේ අඩි 5,000 ක් ගැඹුරු මුහුදු පත්ලෙහි වුව ජලය සමඟ මුසු නොවන බොර තෙල්, වර්ග කිලෝමීටර් 23,000 ක තුනී ස්ථරයක් ව සාගර තලයෙහි පාවෙමින් මේ වන විටත් ඇමෙරිකාවේ ප්‍රාන්ත පහක (ලූසියානා, ඇලබාමා, මිසිසිපි, ටෙක්සාස් සහ ෆ්ලොරීඩා) වෙරළ තීරයන් විනාශ කරමින් පවතී. මේ වන විට එම කලාපයේ මුහුදු මත්ස්‍ය කර්මාන්තය මුළුමනින්ම තහනම් කර ඇති අතර වාර්ෂිකව ඩොලර් මිලියන 2.5 වන ඇමරිකාවේ දෙවන විශාලතම මත්ස්‍ය කර්මාන්තය සිදුවන ලූසියානා ධීවර කලාපය ද ඒ අතර වේ. සංචාරක පාරාදීසයක් වූ ෆ්ලොරිඩා වෙරළ තීරය ද ඇතුළුව මෙම කලාපයේ සියලුම වෙරළ තීරයන් වෙත තෙල් කැටිති පාවී පැමිනීමෙන් සංචාරක කර්මාන්තයට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි. ලූසියානා, මිසිසිපි සහ ඇලබාමා ප්‍රාන්තයන්හි බොහෝ වෙරළ තීරයන් සම්පූර්ණයෙන් වසා දමා ඇත්තේ තෙල් ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙනි.

මෙ‍ම කලාපය පුරා විහිදුණු ඇමෙරිකානු තෙත් බිම් වලින් 40% ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමක් පවතින අතර විශේෂක 400 ක් පමණ වූ මත්ස්‍ය වර්ග, කුරුල්ලන් සහ ක්ෂීරපායීන් මේ වන විටත් ඇදැහිය නොහැකි පරිදි විනාශ වෙමින් පවතී. කුඩාම මත්ස්‍යයින්ගේ සිට ඩොල්ෆින් සහ මුහුදු කැස්බෑවුන් දක්වා වූ මැරුණු ජලජ ජීවීන් දහස් ගණනක් වෙරළ තීරයන් වෙත ගොඩ ගසා ඇති අතර ජලාශ්‍රිත සෑම කුරුල්ලන් දහ දෙනෙකුගෙන් නව දෙනෙක්ම මියයෑමේ අවදානමක් පවතින බව වාර්තා වේ. අඩු ජීවන චක්‍රයක් සහිත සතුන් වසර 10-20 ඇතුළත නැවත වර්ධනය වීමට ඉඩක් ඇති නමුදු, වසර සිය ගනනක් ජීවත් වන කොරල් වැනි ජීවීන් වඳ වීමෙන් පරිසරයේ තුලනාත්මක රටා‍වේ පූර්ණ බිද වැටීමකට ඉඩක් ඇති අතර එම හිස්තැන් නියමිත පරිදි නො පිරවී පැවතීමෙන් හෝ වෙනත් ජීවීන් විශේෂයක් මගින් පිරවීමෙන්, ස්වභාවධර්මයේ හැසිරීම ව්‍යාකූල වීමේ අනතුරක හැකියාව පරිසර විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත. බොර තෙල් කුඩා අංශු වලට කැඩීම සඳහා කෝරෙක්සිට් (Corexit) නම් වූ රසායන ද්‍රව්‍යය ලීටර මිලියන ගණනින් සාගරය වෙත මුසු කිරීමෙන් සිදු වන හානිය, කාබනික බොර තෙල් වලට වඩා වැඩි බව ද ඔව්හු පෙන්වා දෙති. කැඩී ගිය කුඩා අංශු එකතු වීමෙන් ගොඩනැගුණු තෙල් පෙඳ (Oil Plumes), ගැඹුරු මුහුදේ ස්ථර වශයෙන් තැනින් තැන පාවෙමින් පවතී. ඉන් විශාලතම තෙල් පෙඳය කිලෝමීටර 16 ක පමණ දිගින්, කිලෝමීටර 5 ක පළලින් සහ මීටර සියයක ඝනකමින් ද යුක්ත වේ. එම කුඩා තෙල් අංශු මුහුදු ජලයේ ඇති ඔක්සිජන් උරා ගැනීම හේතුවෙන් මුහුදු පත්ලේ වන බැක්ටීරියා සහ ඇල්ගී ජීව කොටස් සම්පූර්ණයෙන් වඳ වීමේ හැකියාවක් වුවද පවතී.

ලූසියානා ප්‍රාන්තයේ මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන්නන්ට මෙවැනි කෙටි කාලීන සහ දිගු කාලීන විනාශයන් පිලිබඳව නිවැරදි වැටහීමක් නොමැති වුවද මීට වසර 21 කට පෙර ඇලස්කාවේ බොර තෙල් ලීටර මිලියන 31 ක් වැනි ප්‍රමාණයක් මුහුදට කාන්දු වීමෙන් සිදුවූ අනතුරින් තවමත් යථා තත්වයට පත්ව නැති එම පරිසරය සහ ජන ජීවිතය ගැන දන්නා ඔවුහු සිය අනාගතය දිවි නසා ගැනීම් වලින් කෙලවර විය හැකි බව අනුමාන කරති. හදිසි සහන සේවා ඉල්ලා ජනාධිපති ඔබාමා වෙත ලිඛිත ප්‍රකාශයක් යැවූ පාරම්පරිකව ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙක් සඳහන් කර තිබුනේ ලූසියානා ප්‍රාන්තය වෙත පැමිණ ඇත්තේ නරකාදිය බවයි.



ධනවාදය සැමවිටම යැපෙන්නේ මහ පොළොව සහ එහි සම්පත් රිසි පරිදි සූරා කෑමෙනි. පරිසරයට ඉතා හානිකර වුව ද කෙටි කාලීන අරමුණු වෙනුවෙන් ඉතා ඉහළින් ලාභය ඉපයිය හැකි ඉන්ධන පොසිල සඳහා පොළෝ ගැබ කැණීමේ අනවරත ක්‍රියාවලියක් ලෝකය පුරා සිදුවෙමින් පවතී. මේ වන විට ගැඹුරු හා නොගැඹුරු මුහුදේ, තෙල් ඉවතට ඇද ගැනීමේ නිමි සහ නොනිමි ව්‍යාපෘති ලක්ෂ ගණනකි. මෙක්සිකානු බොක්කෙහි පමණක් මුහුදු පත්ලේ තෙල් කැණීම් සිදුකිරීමෙන් පසු තාවකාලිකව හෝ ස්ථිර වශයෙන් අතහැර දමා ඇති ස්ථාන 27,000 ක් ඇති අතර ඕනෑම මොහොතක ඒවා තුළින් ද නැවත තෙල් කාන්දුවීමේ අවදානමක් පවතී. පසුගිය ජූලි 16 වනදා චීනයේ කහ මුහු‍දු පත්ලෙහි, ආසියාවේ විශාලතම තෙල් සහ ගෑස් නිෂ්පාදකයින් වන චීනයේ ජාතික ඛනිජ තෙල් සංස්ථාවට (China National Petroleum Corp) අයත් නළ දෙකක් පුපුරා යෑමෙන් සාගරය වෙත කාන්දු වූ බොර තෙල් ප්‍රමාණය ලීටර මිලියන 1.8 වශයෙන් දැක් වුවද එය ලීටර මිලියන 100 ඉක්මවන බව ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති. වාර්තා වන අන්දමට කිලෝමීටර 1,000 පමණ සාගර තලයක් මෙම බොර තෙල් ස්ථරය මඟින් වැසී ගොස් ඇත්තේ එය චීනයේ සිදුවූ විශාලතම තෙල් සම්බන්ධ අනතුර බව ද සනිටුහන් කරමිනි. එමෙන්ම කැනඩාවේ එන්බ්‍රිජ් (Enbridge) ආයතනයට අයත් තෙල් නළයක් ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ කැලමසූ ගංගාව (Kalamazoo River) පත්ලෙහි පසුගිය ජූලි 26 දා පිපිරීමෙන් එම ගඟ දියට ගලා ගිය බොර ‍තෙල් ප්‍රමාණය ලීටර මිලියන 4.0 පමණ වේ. 1999 - 2008 කාලය තුළ පමණක් තෙල් කාන්දුවීම් 610 ක් සඳහා වගකිවයුතු එම්බ්‍රිජ් ආයතනයේ මෙම නොසැළකිලිමත් ඉතිහාසය ට මෙම අනතුර එක් වන්නේ කැලමසූ ගංගාවේ කිලෝමීටර 55 පමණ දිග ප්‍රමාණයක් විනාශ කරමිනි.

මෙක්සිකානු බොක්කෙහි ඩීප්වෝටර් හොරයිසන් අනතුර සිදුවූයේ පරිසරය නොසළකා හැරීම පිළිබඳ ඉතාමත්ම නරක ඉතිහාසයක් සහිත බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගම සම්බන්ධ ව්‍යාපෘතියක් තුළ වුවද, මෙවැනි අනිකුත් බොහෝ සමාගම් වෙතද ඇත්තේ එවැනිම නරක ඉතිහාසයකි. මහ පොළොව වෙතින් මෙම ඉන්ධන පොසිල සූරා කෑම සිදු කෙරෙන්නේ මාෆියාවක් වූ එවැනි ධනපති සමාගම් කිහිපයක බලාධිකාරයක් මගිනි. මෙවැනි අනතුරක් ප්‍රමාණාත්මකව කෙතරම් දැවැන්ත වුවද එමගින් ඔවුන්ගේ සූරා කෑමේ ක්‍රියාවලියට බලපෑමක් නොවේ. මේ වන විට බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගම තෙල් ප්‍රවාහය නැවතීමේ උත්සාහයන් සහ තෙල් ඉවත්කිරීමේ කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති මුදල ඇ.ඩො. බිලියන 3.2 කි. පූර්ණ වරද ඔවුන් අතෙහි වුව මෙවැනි ‘අනවශ්‍ය’ මූල්‍ය හානියක් මෙම සමාගම් විසින් දරා නොගැනීම ධනවාදී යාන්ත්‍රනයේම ස්වභාවයයි. ඒ සඳහා තිරය පිටුපසින් ඇති ඔවුන්ගේ ‘සුහද’ සම්බන්ධතා සැමවිටම හොඳින් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යසනය අතර මැද දීත් ඇමෙරිකානු රජය ඇලස්කාවේ බියුෆෝට් මුහුදෙහි (Beaufort sea) ලෝකයේ විශාලතම තෙල් කැණීමේ අට්ටාලයේ ඉදිකිරීම් සහ එහි තෙල් කැණීමේ කටයුතු (‍Liberty නම් වූ ව්‍යාපෘතිය) බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගම වෙත පවරා දීමට කටයුතු කරන්නේ එහෙයිනි. ඒ සදහා යොදා ගැනීමට නියමිත තාක්ෂණික ක්‍රමවේදයන් මීට පෙර කිසි විටක දී පරීක්ෂාවට ලක්වී නොමැති අතර අදාල පාරිසරික ඇගයුම් හා හදිසි අනතුරු සඳහා මුහුණදීමේ සැලසුම් සම්බන්ධ ලියකියවිලි පවා ඔවුන් විසින්ම අවැසි පරිදි සටහන් ගත කරන්නේ ඇමෙරිකානු රජයේ මැදිහත් වීමක් පවා නොමැතිවයි. පසුගිය වසරේදී තනි සැපයුම්කරුවන් අතුරින් වැඩිම ප්‍රතිශතයකින් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉන්ධන ලබා දී ඇත්තේ ද මැද පෙරදිග යුද මෙහෙයුම් කටයුතු වෙනුවෙන් 80% ක ඉන්ධන ධාරිතාවක් සපයා ඇත්තේ ද බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගම විසින් වන අතර ඇ.ඩො. බිලියන ගණනක් වූ එම කොන්ත්‍රාත්තු ඔබාමා රජය විසින් ඉදිරි වසර සඳහා ද කිසිදු කප්පාදුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ මෙම සමාගම සිදු කළ ව්‍යසනය සම්පූර්ණයෙන් අමතක වූ ලෙසිනි.

සියල්ල ලාභය මත කේන්ද්‍රව පවතින මෙම ව්‍යාපෘති සදහා පහසුවෙන් රිංගා යා හැකි පරිදි රජයේ රෙගුලාසි මෙන්ම නීති රීති ද සැකසෙන්නේ ඔවුන්ගේ කෙලින් ම හෝ වක්‍රාකාරව අනුදැනුම ඇති ව වන අතර ඒ සම්බන්ධ පරිපාලනමය කටයුතු වල නියැලෙන බොහෝ දෙනා එම සමාගම් වලින් යැපෙන හෝ විවිධාකාරයේ මූල්‍යමය වාසි ලබා ගන්නවුන් වේ. දේශපාලන ප්‍රචාරක කටයුතු වලදී ඔවුහු දක්ෂිණාශික දේශපාලකයින් සඳහා දැවැන්ත මූල්‍යමය ආධාර සිදුකරණු ලබන අතර ජනාධිපති ඔබාමා ද ඔහුගේ ‘පැහැදිලි හෙට දවසක්’ ජනාධිපතිවරණ ව්‍යාපෘතිය සඳහා බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගමෙන් ඇ.ඩො. 77,000 ක මුදලක් ලබා ගත්තෙකු වේ. සිදුවූ අනතුර සදහා කිසිදු විසඳුමක් නොමැතිව නොනවතින තෙල් ප්‍රවාහයකට මුහුණ දී දැවැන්ත අර්බුදයකට ලක්ව සිටි මොහොතේත් තහනම් කර තිබූ ඇමෙරිකානු නොගැඹුරු මුහුදේ තෙල් කැණීමේ කටයුතු සහ තෙල් සෙවීමේ කටයුතු සඳහා ඔබාමා විසින් දින කිහිපයක් ඇතුලත නැවත අවසර දෙන ලද්දේ එබැවිනි (ගැඹුරු මුහුදේ මෙන්ම නොගැඹුරු මුහුදේ කැණීම් වලදී ද යොදා ගැනෙන්නේ ඩීප්වෝටර් හොරයිසන් පද්ධතියෙහි තෙල් ප්‍රවාහය වැළැක්වීමට නිසිපරිදි ක්‍රියාත්මක නොවුණු ආරක්ෂිත වෑල්වය යි).



එමෙන්ම ගැඹුරු මුහුදේ කැණීම් සඳහා පැනවූ තහනම දිස්ත්‍රික් උසාවිය තුළදී පරාජය වූ අතර ඒ සඳහා වූ අභියාචනාව ද ප්‍රාන්ත උසාවියේදී පරාජයට පත් වූයේ තෙල් සමාගම් මාෆියාවේ බල සම්පන්න බව පෙන්වා දෙමිනි. දිස්ත්‍රික් උසාවියේ මාර්ටින් ෆෙල්ඩ්මන් (Martin Feldman) මෙන්ම ප්‍රාන්ත විනිසුරුවරු තිදෙනා ද තෙල් සමාගම් විශාල සංඛ්‍යාවක මුදල් ආයෝජන කළ ධනපතීන් වේ. ඔබාමා විසින් පත් කළ, ඇමෙරිකානු බල ශක්ති දෙපාර්තමේන්තුවේ, බල ශක්ති - විද්‍යා කටයුතු පිලිබඳ ලේකම් ස්ටීව් කූනින් (Steve Koonin) සහ නැව් - ඛනිජ සම්පත් කළමනාකරණය සඳහා වූ සහකාර ලේකම් සිල්වියා බාකා (Silvia Baka) , බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගමෙහි ඉතා ඉහල නිලයන් හෙබ වූවෝ වෙති. ඇමෙරිකානු වෙරළ ආරක්ෂක බලකායේ මෙක්සිකානු බොක්කෙහි වූ මෙම අනතුර සඳහා වූ මහජන සම්බන්ධතා පිලිබඳ විශේෂඥවරියක වන රේචල් පෝලිශ් (Rachel Polish) මේවන විටත් බ්‍රිටිෂ් පෙට්රෝලියම් සමාගමෙහි සේවයේ නියුතු වූවෙකි.

දැවැන්ත ලාභයන් උපයන්නේ මෙම සමාගම් වුවද කැණීම් සිදුකරන භූමිය හෝ සාගර කලාපය අයත් අදාල රාජ්‍යයන් සහ බලයෙහි සිටින දේශපාලකයින් වෙත ලැබෙන මූල්‍යමය වාසීන් ද සුළු පටු නොවේ. රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යුහය කෙසේ වුව ද ස්වභාවික සම්පත් කොල්ලකෑමේ ක්‍රියාවලියේදී මෙම සමාගම් මාෆියාවට අවනත ව ඔවුහු කටයුතු කරන්නේ එබැවිනි.

ඉන්දියානු සහ ශ්‍රී ලංකා සාගර කලාපය තුළ ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ තෙල් කැණීම් සඳහා යොමුවන සමාගම් ක්‍රියාත්මකවන්නේ ද මෙවැනි බලාධිකාරයක් සහිතවයි. මේ වන විටත් ඉන්දීය රජය බදු වශයෙන් ලබා දී ඇති නැගෙනහිර සහ බටහිර ඉන්දියානු සාගර තලයෙහි රිලයන්ස් (Reliance), ඕ.එන්.ජී.සී (ONGC) සහ කෙයාන් (Cairn) සමාගම් ප්‍රමුඛව තෙල් කැණීම් අට්ටාල පනහකට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇත. 2005 වසරේ දී ඉන් එක් අට්ටාලයක් අනතුරට පත් වී සම්පූර්ණයෙන් විනාශයට පත් වූ අතර තෙල් කාන්දුවක් සිදු නොවීමට තරම් ඉන්දියානු සාගර කලාපය වාසනාවන්ත වුවද ‍එමඟින් එහි සේවය කළ 22 දෙනෙකුගේ ජීවිත අහිමි විය. මේ වනවිට ඉන්දියානු කෙයාන් සමාගම විසින් 2011 වසරේදී මන්නාරම් වෙරළට ඈතින් ශ්‍රී ලංකා රජය විසින් බදු දුන් මුහුදු කලාපයේ වර්ග කිලෝමීටර 3,000 ක ප්‍රදේශයක අඩි 600 සිට 6,000ක් වූ ගැඹුරු මුහුදේ තෙල් කැණිම් සිදුකිරීමට සියළු කටයුතු සකසා අවසන්ය.

-2010 ජූලි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- An American Chernobyl, British Petroleum Corp, Barack Obama
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Ruwan2008 මෙහෙම කියනවා :
Mahesh's point is somewhat misleading - Not only the earth. Capitalism exploiting EVERYTHING, mainly working class.

Prince's point is entirely misleading. That's the way schools teach for kids and it is far beyond the truth. Exploiting out of humankind’s curiosity is incomparable with exploiting the earth by capitalist’s companies and making trillions profits their own. To understand capitalist's exploit, you don't want be an expert in Marxism. There are thousands of books. Prince – read grasp the Naomi Klein’s 'The Shock Doctrine: Disaster Capitalism' as a start.


කිවුව වෙලාව- 2010-08-06 08:28:22
ජයා මෙහෙම කියනවා :
ඔබාමාට ෙකාෙහාමත් ෙම්ක ප්‍රශ්ණයතක්. ඔහුෙග් පැවැත්ම පිලිබද ප්‍රශ්ණයක්.ෙකාෙහාමත් ඔලුව පහලට දාෙගන දුකින් ඉන්න ෙවනවාමයි.ඔබාමාව ෙතල් ෙකාම්පැනි විසින් හසුරවන හැටිත් ලිපිෙය් තිෙයනවනෙ. ඉතිංHope you are now satisfied ,that I am not accusing you. කියල ලියන්න තරම් ෙදයක් ෙප්න්ෙන නෑ

කිවුව වෙලාව- 2010-08-06 07:49:25
Anonymous මෙහෙම කියනවා :
obama boruwata hari try ekak dunna. indian sagaraye unoth baduma thama

කිවුව වෙලාව- 2010-08-06 05:41:44
The Prince මෙහෙම කියනවා :
I found it.

This is the link to the Article – Obama photograph controversy – I was referring.

Click Here

Hope you are now satisfied ,that I am not accusing you.


කිවුව වෙලාව- 2010-08-06 01:32:03
Boondi මෙහෙම කියනවා :
@The prince
Sorry. We have blocked posting URLS in comments space coz of the spammer issues.
send it 2 our mail. we ll add it as a comment.


කිවුව වෙලාව- 2010-08-06 00:40:31
The prince මෙහෙම කියනවා :
@ කැත්තා
//...........අද ලෝකයේ තාක්ෂණය දියුණුයි. සුනිත්‍ය බලශක්ති ප්‍රභව වෙත අපට යා හැකියි. එහෙත් ඒවා මිල අධික බව කියමින් අකුල් හෙලන්නේ BP වැනි සමාගම් තමයි....//

මේ " අප" යනු කව්ද? තනි තනි පුද්ගලයන්ද? NGO ද? ආණ්ඩුවද? (අපේ චම්පික රණවක ඇමතිතුමා ත් මේ ගැන සැහෙන්න කතා කරනවා නේ, )
ඇය් BP? BP ගේ අකුල් හෙලීම ගණන ගන්නේ නැතිව යන්න පුළුවන් නේ.?


කිවුව වෙලාව- 2010-08-06 00:03:42
The prince මෙහෙම කියනවා :
I have found the link to the Article - Obama photograph controversy. I copied /pasted it here ,and posted.
But the comment post it not there. I tried several times, no effect.
Is there any other way I can send you the link?


කිවුව වෙලාව- 2010-08-05 23:25:43
The Prince මෙහෙම කියනවා :
1.As I said previously it is a commendable effort,and appreciate your effort to make sinhala readers aware of these facts.
2.About the photograph I am not finding fault with you. Since you said it is a Economist cover page , it seems they have done the "photo-shopping job". I just mentioned an Article I saw (probably in Huffington Post , I couldn't locate) about this photograph.

3."capitalism exploits the earth" - seems somewhat misleading. This is a problem of humankind. A fundamental difference between animals and humans , is latter's ability to(think, act) exploit the nature, natural resources to promote lifestyle, and prolong the aging. This has been happening through out the evolutionary process starting from the days of Neanderthals, Homosapiyans. Think about the discovery of fire, and other sources of power, development of technology, , advancement of human lifestyle etc.
What we called "capitalism" is an economic system, which is also evolved as a result of the interaction among humans and nature. This is a evolutionary process. Putting the blame to a particular person ,entity ( capitalists, big companies, bad technology ...)will not help you to understand the context.


කිවුව වෙලාව- 2010-08-05 21:10:48
sunil.g මෙහෙම කියනවා :
bitter truth. thanks

කිවුව වෙලාව- 2010-08-04 05:20:33
Mahesh Munasinghe මෙහෙම කියනවා :
Prince:

1. This is not a translation. This is the original article.

2. The photo is the cover page of 'The Economist' June edition under 'The Damage beyond the spill'.

3. As my profession, I am in the same field. We can talk another day how to overcome all above activities which you raised. This article doesn't give any hints go back to the feudal lifestyle. This all about how capitalism exploit the earth and how it works for that.


කිවුව වෙලාව- 2010-08-03 04:09:59
කැත්තා මෙහෙම කියනවා :
ප්‍රින්ස් බබා! පොඩ්ඩක් google කරලා බලන්න oil spill කියලා. british petrolium කරපු මේ බලු වැඩේ ගැන අද එක්සත් ජනපදය ඇතුලෙන්ම මහා විරෝධයක් මතු වෙලා. අද ලෝකයේ තාක්ෂණය දියුණුයි. සුනිත්‍ය බලශක්ති ප්‍රභව වෙත අපට යා හැකියි. එහෙත් ඒවා මිල අධික බව කියමින් අකුල් හෙලන්නේ BP වැනි සමාගම් තමයි. අන් අයට ගල් යුගයට යන්න කියන සමහරු අද ලෝකයේ වෙන්නේ මොනවාදැයි නොදැන සිටින ඩයිනෝසරයන් වීම තමා දුකට කාරණේ.

කිවුව වෙලාව- 2010-08-03 03:07:16
The Prince මෙහෙම කියනවා :
Commendable effort in collection of facts and presentation. ( hope this is not a direct translation of a foreign Article).
Probably you may not aware of the controversy relating to the first photograph (Obama at the beach). As per the original photograph, Obama was talking to two or three other people. A rightwing newspaper/website , has "photoshopped" the picture to create a negative image of Obama. Just check your web links.

Whole article is protesting against something. What is that ?
1. capitalist econamic structure ?
2.profits of big oil companies ?
3.technological advancements in oil explorations and use of oil ?
4. Sri Lanka's oil exploration activities ?

What do you suggest ? Stop all the above activities?
(and go back to feudal /village lifestyle)




කිවුව වෙලාව- 2010-08-03 01:09:56
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂ් මුණසිංහගෙන් තවත් වියමන්
කවි
ඔබ
කවි
කළුවර
කවි
නික්මීම
කරන්ට්ස්
FLASHBACKS
කරන්ට්ස්
රුක්ෂ සාසනේ
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
කාල් මාක්ස් ලියයි.
දර්ශනය ඉල්ලා සිටින්නේ සත්‍යය මිස සත්‍ය වශයෙන් අදහස් වන දෙය නොවේ. එය ඉල්ලා සිටින්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම සත්‍ය දේ මිස ඇතැම් ජනතාවකට සත්‍ය... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook