Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
මහාචාර්යතුමාගේ දේශනය
බූන්දි, 03:17:11
විලෝ ගස් හිස් වලට ඉහළින් ගසාගෙන යන සුළඟ පඬු පැහැයත් ඔතාගෙන යයි. පෙරදිගින් ගලන එළිය, නියම කල ඒමටත් පෙර වැඩිවියට පැමිණි දැරිවියකගේ විසේකාරකම් සිහිකරමින් පාට දියවී ගිය කමිසයේ කර ළඟින් ඇතුළු වී පපුව දිගේ පහළට ඇදීගෙන යයි. මම බිම බලාගෙන ගමන් කරන්නට වුණෙමි. වේගවත්, කාන්තිමත්, මන්දගාමී, කෙට්ටු, ස්ථූල, පාද ඒ- මේ අත පැද්දී යනු යාන්තමට පෙනේ. රොද බඳිමින්, ඝෝෂා කරමින්, නොදන්නා ඉංගිරීසි වචන වමාරමින්, ඇතමෙකු දන්නා සිංහලය ඕනෑවටත් වඩා ඉහළින් දෙසා බාමින්, ව්‍යාජ බහුශ්‍රැතකම් පාමින්, රූමතුන්ට නිගා කරමින්, පරිපාලනයේ මහල්ලාගේ සිට බාලයා දක්වාම පුන්‍යානුමෝදනා කරමින් සිනාසෙන, කතාකරන, සරසවි මානව මානවිකාවිකාවෝය. මම බැලුවෙමි. කුස තුළින් ගලා එන රිඳුම් නවතා ගන්නට වතුර උගුරක්, දෙකක් ප්‍රමාණවත් වනු ඇත. පීඨ පරිශ්‍රයටම ඇත්තේ වතුර කරාම දෙකකි. පිපාසිතයින්ගෙන් වැසුණු කරාමය ළඟට යාමට පැය බාගයක්වත් අඩුම තරමින් ඔවුන් සමඟ අරගල කරන්නට සිදුවනු ඇත. මම නැවත ගමන් ආරම්භ කළෙමි. ඝෝෂාව වරක උත්සන්න වෙයි. තවත් වරක සිහින්ව සිඳී යයි. මඟ යනෙන අතරතුර වරක්- දෙවරක් ගත දැවටුණු සුගන්ධයක් නාසය අගින් කිමිදී මොළය දක්වාම කෙන්දක් මෙන් ගලාගෙන ගියේය. හදිසියෙන්ම බඩේ කැක්කුමක් සෑදුණේය. කුස අභ්‍යන්තරය වඩවඩාත් වේගවත්ව උදර බිත්ති කණින්නට සූදානම්ව අරඇඳීය.

"මචෝ ලෙක්චර්ද?"

"ම්"

මිත්‍රයාට කෙටි පිළිතුරකින් සැනසීමට සිදු විය. ඔහු අද දේශනයට සහභාගී නොවනු ඇත. දේශන කෙසේ වෙතත් සියල්ලටම පෙර මා හට වැසිකිළියට යාමට සිදු වී තිබේ. කුස ඇතුළතින් පෙරළෙයි. වේදනාව වරකට දෙගුණය බැගින් මතු වී රිදුම් දේ. මුහුණ මැළවී ගියේය. ආයාසයෙන් සඟවා ගත් වේදනාව තොල් වලින් සංකේත කරමින් පිටව ගියේය. වැසිකිළියේ දොර විවර කොට ඇතුළු වුණෙමි. ඇතුළුවන තැනම "කෙල්ලන්ට පමණයි " යනුවෙන් සටහන් කොට තිබුණි. දොර වසා දැමුවෙමි. එහිද සීරුවෙන් සිටින කාන්තා සංකේතය සටහන්ව තිබුණේය. කිසිත් නොබලාම ළඟම වූ දොර විවිර කොට ඇතුළු වී වසාගනු ලැබීය. මා පෝච්චිය සොයාගෙන ගියේ වේගවත් ධාවකයකු ජයග්‍රාහී කොඩිය උදුරා ගන්නට දිවයන්නාක් මෙනි. වා- කවුළු අතරින් වා- තල කීපයක් පමණක් ඉවත්ව ගොස් අවකාශය සමඟින් මුසු වීය. කුස ඇඹරෙමින්, පෙරළෙමින් දැඟලුව ද ඉස්ඨයාර්ථය සාදනය වූයේ නැත. ඒ වන විටත් සිහින් දහඩිය බිබිලි කීපයක්ම කම්මුල්වලින් රූරා යනු දැනුණි. කුස තුළ බැහැර කරන්නට තරම් කිසිත් ඉතිරි වී නොතිබෙන්නට හැකිය. දෑස් නිලංකාරයෙන් වසා ගනිමින් තිබුණි. මතක ඇති අයුරින් නම් ඊයේ රෑ කෑවේ ද නැත. ඊයේ දහවලට කෑවෙත් නැත. ඊයේ උදේ කෑවේ ද නැත. පෙරේදා රෑ කාමරේ යහළුවන්ගේ කෑම වලට, ආරාධනයෙන් පැන කෑව කෑම ප්‍රමාණය වුවද මෙතරම් කල් නොදිරා තිබෙන්නට හේතුවක් නැත. කාමරයේ යහළුවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම ජීවත් වීම වෙනුවෙන් මුදල් කඩා ගන්නට ගෙදර ගොස් එන්නට ගියේය. අනෙකා ඊයේ දහවලේ පෙම්වතිය මුණ ගැසීමට ගොස් තවමත් කාමරයට ආවේ නැත. දිවා රෑ දෙකේම අපේ ගම පැත්තට වහින බවත් ගංවතුර ගලා ඇති බවත් පසුගිය සතිය පුරාම පත්තර වලිනුත්, රූපවාහිනියෙනුත් දැනුම් දුන්නේය. එම දැනුම්දීම් මට වැදගත් වන්නේ ගෙදර නො ගොහින් හිත හදා ගන්නටය.

බිත්ති වල බලි රූප කොටා තිබේ. වැසිකිළි සාහිත්‍යය නො පැහැදිලි අකුරු වැල් කීපයකින්ම ගොඩනැගී තිබේ. කාලයක් තිස්සේ බොහෝ ජනයාගේ හැඟීම් දැනීම් සියල්ල කිසිම වාරණයකින් තොරව ලියවී තිබේ. මිලිටරි ප්‍රජාතනත්‍රවාදයට ගොදුරු නොවන එකම කලාව වැසිකිළි සාහිත්‍යයයි.

"මා වැනි බිළින්දා
වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිදෝ වෙන කොහෙන්දා"

"........බාප්පා වී. සී වුන දාට
.......අක්කටත් යයි හොඳ කළ දවස"

"අඩුගානෙට ........ ගන්නවා
අමතන්න........."

හොඳම වටිනකම තියෙන්නෙ
කොයි දේකෙත් ඉදිරි පැත්තේ
ඒක නිසා ඉදිරි පැත්ත
......... ටයි "

"........, ....... රජ ගෙදර
........ සිර ගෙදර"

"පාන් කන්න බැරිනං කේක් කාපල්ලා....."
"වකුගඩුවක් විකිණීමට ඇත. ඉක්මනින් කතා කරන්න"

දෑස් තෙත්වී ගියේය. අකුරු කූඹි අඬු මෙන් සැළී නොපෙනී ගියේය. හිසවටා රන්වන් පැහැති ලණු කීපයක් දඟලනු පෙනේ...... නින්ද ගියාක් මෙන් යමක් දැනිණි. ඇහැරෙන විටත් මගේ ශක්තියෙන් සිදී ගිය ශරීරය පෝච්චිය යට වැටී තිබුණේය.

කාමරයෙන් ඉවතට ලහි ලහියේ ඇදුනෙමි. හිස බමන්නාක් මෙන් දැනුණද එය එතරම් ගණන් ගත යුත්තක් නොවේ. දේශනය ආරම්භ වී තිබෙන්නටත් හැකිය. නැවතත් කුස තුළින් වේදනාව නැඟී ආවේය. පසුකොට ගිය මඟ ගෙවා දමා වැසිකිළියේ දොර වසා ගතිමි. කිසිත් විශේෂ දෙයක් සිදු නොවීය. මගේ දකුණු අත පැත්තේ බිත්තියේ මෑතකදී ලියන ලද පේළි කීපයකි.

"අම්මට පුතාලට හරියන ආණ්ඩුව
සත්තයි අපට උරුමයි දැන් පාණ්ඩුව"

එම අකුරු පේළි වලට යටින් පෙර යම් දිනක දී ලියන ලද සටහන් කීපයක් යන්තමට පෙනේ. කියවා ගත හැකි වන්නේ අකුරු ගැටගසා ගැනීමෙනි.

"පුෂ්පකුමාරට මොකටද
මල් පිපුනද සාදූ........"

වැසිකිළියේ දොර වසා දමා පය ඉක්මන් කළෙමි. හතරට නවා සාක්කුවේ දමාගෙන ආ කොලය සහ පෑන සුරැකිව තිබේ. දේශනය ඇත්තේ ඉහළම මාලයේය. කවාකාරව ඉහළට නැගී ගත් තරප්පු පෙළ නැඟගෙන ඉහළට යාම දෙපා වලට තවත් වෙහෙසකර කටයුත්තකි. මුලින්ම පුරාවිද්‍යා අධ්‍යයන අංශය පසු කළෙමි. වැවක ආකෘතියක් ඉදිකර තිබුණේ ඉතිහාස අධ්‍යයන අංශයේය. තරප්පු කීපයකින්ම ලලිත කලා අධ්‍යයන අංශය පසුකොට යාමට හැකි විය. ඉතා වෙහෙසකර වූත් වැඩි කාලයක් වැය කරන්නට වූයේත් දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පසු කර දමා යන්නට ය. මඟ දිගට නොයෙකුත් ස්මාරක මෙන්ම ආකෘති, නම් දැරූවන්, නම් නොදැරූවන්ගෙන් ද, ලේ මස් වැදැලි වලින් ද, මඟ වැසී යන තරමට අවුල් වී තිබුණේය. ගොරබිරම් අන්ධකාරය අතරින් කරුවල කෑළි කපාගෙනම ඉහළ මාලයට ගොඩ වුණෙමි. සරසවියේ කුඩාම අධ්‍යයන අංශය එයයි. එයත් එය මහාචාර්ය තුමාගේ අවශ්‍යතාවය නිසාම ශ්‍රමයෙන් ගොඩනගන ලද්දකි. මහාචාර්යවරයා අඩුම තරමින් රාත්‍රීයට හෝ නිවසක් බලායනු මම දැක නැත්තෙමි. ඔහු දිවා- රාත්‍රියේ දෙකේම යමක් සොයා ගනු පිණිස වෙහෙස මහන්සි වූයේය.

මා දේශන ශාලාවට ඇතුලු වන විටත් දේශනය ආරම්භ වී තිබුණේය. මහාචාර්ය වරයා ඉතා හරබර දේවල් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරමින් සිටියේය. මගේ මතකයේ හැටියට දේශන මාලාවේ අවසාන දිනය අද විය යුතුය. ක්‍රියාවක ආරම්භය සිදුවෙනු ඇත. නිසැකයෙන්ම එය සිදු වෙනු ඇත. පන්ති කාමරයේ ඇති පුටු කීපයම හිස්ව තිබුණේය. එම නිසාම මම ඉදිරිපස අසුනක හිඳ ගැනීමට සැරසුණෙමි.

"පුතා අවකාශයට ස්කන්ධයක් තියෙනවා
පියවි ඇසට ස්කන්ධය පෙනෙන්නේ නෑ.
අර කොනේ තියන පුටුව විතරයි,
හිස් වෙලා තියෙන්නේ.
ඒකෙන් වාඩිවෙන්න"

මම එහි අසුන් ගත්තෙමි. මහාචාර්ය තුමා ඔහු ඉදිරිපිට වූ අසුන් කීපයටත්, මධ්‍යයේ වූ අසුන් වලටත්, මට ඉදිරියෙන් වූ අසුන් වලටත්, අමතමින් සිටියේය. කලාතුරකින් වරක් මදෙස බලා අවධාරණය කරයි. මා හට මහාචාර්ය තුමා පෙනී නොපෙනී යයි. ඔහුගේ හඬ හිසට ඉහළින් අවකාශයේ පාව එන්නාක් මෙන් දැනෙයි.

"ආගම, ආගම කියන්නේ ධනපතියා තම යන්ත්‍රණය වෙනුවෙන් ගොඩනගපු සාහිත්‍යයක් "

"නෑ පුතා, බුදු, බුදුවෙන්නේ අපේ මනසේ. ඒක භාෂාමය නිර්මාණයක්"

කුසගින්න කුස තුළින් කර මතට නැගී දෙඋර මත දෙපා තබා ගෙන සිටින අයුරු දැනෙයි. අසුන්ගෙන සිටින ආසනයත් පැද්දී යන්නාක් මෙන්ය. ජනෙල් කවුළු අතරින් සරසවියේ පහළ වීදි දිස්වෙයි. මගදී හමු වූ මිතුරාද පිරිස් අතරේ ගුළිවෙමින් මහා පිරිස අතර තිතක් බවට මොහොතකින් පත් වීය.

"වී. සී ලොක්කට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය"

ඔවුහු කොන්ක්‍රීට් ගෙවල් ඉල්ලමින් කෑමොර දුන්හ. පන්ති තහනම් ඉවත් කරන්නට බලකර සිටියහ. කිසිවකු කෑමට යමක් දෙන්නට ඉල්ලුවේ නැත. මා එතැන සිටියා නම් මුලින්ම ඉල්ලනු ඇත්තේ එයයි. හඬ සිහින් කෙන්දක්ව පහළ ප්‍රධාන පාර දෙසට ඇදී යනු පෙනුණි.

අවුරුදු දහතුනක් පාසලට ගෙවා දමා ඇත. තවත් හතරක් සරසවියටය. පාසල් ගිය කාලයේදී උදේ තේ කඩෙන් ඔතා ගෙන යන පාන් කාලටයි, හකුරු කැබැල්ලටයි කුසගින්න තුනීකළ හැකි වුවද එවැන්නක් හෝ දැන් දැන් නොලැබී යන ලකුණු මතුව තිබේ. පාසල් දිවා අහාරයයේදී සෙස්සන්ට මෙන් මට හෝ අයියට ද යහළුවන් රොද බඳින්නේ නැත. හුදකලා විරාමයට වී ඇති එකම වෙනස භූගෝලීය වශයෙන් වූ පරිණාමය පමණි.

"වාස්තවිකත්වය
ආත්මීයත්වය"

මගේ වමත කුසට තබා තද කොට ගතිමි. ආම්ලික ශ්‍රාවයන්ගෙන් උදර බිත්ති තුවාල කොට අතුවාට සැක නැත. වට- කොට අසුන්ගෙන සිටි ස්කන්ධ කිහිපදෙනකුගෙන්ම බොන්නට වතුර බෝතලයක් දෙන ලෙස ඉල්ලා සිටියේය. එකකු එහි උණු වතුර නිසා දීමට නොහැකි බැවි පැවැසීය. තවකෙකු තමන්ට වෛරස් ඇති නිසා දීමට නොහැකි බව කීවේය.

පෙළපාලිය පැත්තෙන් මහත් ඝෝෂාවක් ඇසෙන්නට විය. මහාචාර්යතුමා වියරු වැටී සිටියේය.

"උන් ඔක්කොම මොඩයෝ
තක්කඩියෝ........
ඉක්මන් කාරයෝ......." ඔහු දේශනශාලවෙහි එහාටත් මෙහාටත් ඇවිද ගියේය.

ගෙදර සිහිපත් විය. වත්තේ ඉතිරිවී ඇති පොල් ගස් කීපයේද පොල් හැදෙන්නට නැතුව ඇති ! පාසල් ගිය අවධියේ අම්මා රුපියල් දහයක්- දොළහක් අතමිටිමෙලවූයේ පොල් ගෙඩියක්- දෙකක් විකුණා කාසි ඇහිදීමෙනි. මහාචාර්ය තුමා ගමන නවතා මගේ මුහුණ දෙස බලා සිටියේය. මම බියට පත් වුණෙමි. මම මඳක් සිනාසීමට උත්සාහ කළෙමි. කාලය විසින් සූරා ගැනීමට ලක් වූ මුහුණේ තැන් කීපයකම මස් වියුක්ත වූ ආගාධ දැකගත හැකි විය.

"පුතා උඹ හොඳටම කෙට්ටු වෙලා.
කාල ඉඳපං "

මම කිසිත් නොකියාම බිම බලා ගත්තෙමි. මගේ මුහුණේ කැළැල් තවත් ඔහුගේ වියරුව වැඩි කරන සාධකයක් වනු ඇතැයි මම වඩ වඩාත් බියට පත් වූයෙමි. මඟ දී හමු වූ මිතුරා ලේ පෙරමින් දේශන ශාලාවට ඇතුළු වී සැඟවීමට තැනක් ඇයද සිටියේය.

"මොකටද හැංගෙන්නෙ ?"

මහාචාර්ය තුමා සෘජුවම විමසීය. ඔහුට මහාචාර්යතුමාගේ පුටුවේ පිටුපස සැඟවෙන්නට නියෝග කොට දේශන ආරම්භ කළ ද මොහොතකින් දේශන නවතා දැමීය. සෙසු ස්කන්ධ සියල්ල තරප්පුපෙළ බැස ගියායින් අනතුරුව මහාචාර්ය තුමා මා කැදවීය. ඉතිහාසය පිළිබඳවත්, පරිණාමවාදය පිළිබඳවත්, කරුණු පැහැදිලි කර දුන්නේය.

"අපට දේශන මාලාව අවසන් කරන්න බැරි වෙයි.
අපට මේ මොහොතෙම යන්න වෙනව.
නැත්නම් ඉතිහාසයේ ලොකුම වැරැද්ද
සිදුවෙන්න පුළුවන්"

මහාචාර්ය තුමා මගේ දෑතම අල්ලා ගත්තේය. දෑඟිළි වලින් සියොළඟම පිරිමදිනු ලැබීය. කුසගින්නෙන් මිය ගොස් තිබූ ශෛල ප්‍රාණවත් කළේය. ඔහුගේ දෑස් දීප්තිමත් වී තිබුණේය. තොල් නිතර මුමුණමින් යමක් කියන්නට සැරැසී සිටියේය. ඔහුගේ දෑස් කිසිවකින් විඩාපත් නොවන අයුරින් කාන්තිමත් වී තිබුණේය. ඔහු දෑතගෙන ආශීර්වාද කළේය. තවත් තරුණයෙක් ලේ පෙරමින් කිසිවකු සොයමින් දේශන ශාලවෙට ඇතුළු විය. පෙර මෙන් ඔහුට ද සැඟැවී සිටින්නට තැනක් ඉල්ලා සිටියේය.

"කාට බයේද හැංගෙන්නේ දරුවෝ......."

මහාචාර්ය තුමා තරුණයන් දෙදෙනාගේම දෑත් අල්ලා ගෙන නැගී සිටියේය. ඔවුහු එකිනෙකාගේ මුහුණු දැකීමෙන් බියට පත් විය.

"පුතා අපි මොකටද බය වෙන්නේ.
අපි භය වෙන්න ඕන අපව සූරා කනවට විතරයි "

"අපි යං. අපි හැංගිලා හිටියා හොඳටම ඇති "

මහාචාර්ය තුමා ඔවුගේ දෑත් අල්ලාගෙන තරප්පු පේළිය දිගේ පහළට බැස්සේය. මට මතක ඇති අතීතයේත්, අසා ඇති අතීතයේ මහාචාර්ය තුමා පහළට බැසගිය පළමු අවස්ථාව මෙයයි. මා හට මහත් පාළුවක් දැනේනට විය. කුසගින්න ඉහවහා ගොසිණි. මා කැඳවා ගෙන නොගියේ එකී ගමනට මගෙන් වැදගත් කමක් නොලැබෙන නිසා විය හැකිය. එකී හමුවීමට මා ශුද්‍ර මිනිසකු වන්නේ කෙළසින්ද? ඉතිහාසය ශුද්‍ර මිනිසාගේ නිර්මාණයකි. මහා දාගැබ් සේම වැව් ආදියෙහිත්, සුවිශාල උන්වතු ආදියෙත් ඇත්තේ ශුද්‍ර මිනිසාගේ ශ්‍රමයයි. කුසගින්නෙන් පෙලුණු ග්ලැඩියේටර් ශ්‍රමයයි. එකී හමුවීමට ඉතිහාසය විසින් සකස් කළ නිවරැදිම මිනිසා මම නොවන්නේදැ'යි මම මාගෙන්ම නැවත නැවතත් ප්‍රශ්න කර සිටියේය. බිත්ති දෙස බැලුවත් ඒ තුළින්ද නැවත නැවත මා රුවම ප්‍රතිනිර්මාණය වෙමින් දිළෙයි. සංස්කෘතිය විසින් මට අන්දවා තිබූ සියළු ඇඳුම් උනා දැමුවෙමි. පහළට වැටුණු තරප්පු පෙළ දිගේ වේගයෙන් දිව යන්නට වීමි. සෑම මහළකම ඇති සෑම වැසිකිළියක් ගානේම දිව ගියමි. සෑම වැසිකිළියකම එකම කවියක් ලියා තැබූවෙමි. පහළ මාලයට බහින තුරුම මහාචාර්යතුමා සහ තරුණයින් දෙදෙනා නො ඉවසිලිමත්ව පසු වූ බවක් දැක ගන්නට හැකි විය.

"පුතා දැනටමත් අපි පරක්කු වැඩියි"

"මහාචාර්ය තුමා පරක්කුයි, ප්‍රමාදයි කියනනේ භාෂාමය නිර්මාණ. මං හිතන්නෑ අපි ප්‍රමාදයි කියලා. "

මහාචාර්යතුමාගේ දෑස් කාන්තිමත්ව බබළන්නට විය. මහාචාර්යතුමා පළමුවත් තරුණයන් දෙදෙනා අනතුරුවත් සංස්කෘතික ඇඳුම් ගලවා දැමීය.

"අපියි සංස්කෘතිය"

මහාචාර්ය තුමා වියරුවෙන් කෑගසන්නට විය. මා හට බැසීමට ඉතිරිවී තිබූ තරප්පු කීපයත් බැස ගොස් ඔවුන්ගේ සමූහයට ඒකරාශී වුණෙමි.

"පුතා මේ මොහොතේත් ඉතිහාසය ලියැවෙනවා.
ඉතිහාසය ලිව්වේ මහානාම නෙවෙයි.
අපියි ඉතිහාසය ලිව්වේ"

ඒ වන විටත් වැසිකිළි සාහිත්‍යයේ වර්ධනයට මමත් දායක වී සිටියෙමි. එහෙත් කිසි විටක මහාචාර්ය තුමාට හෝ කිසිවකුට එකී භාෂාමය නිර්මාණය මගේ නිර්මාණයක් බැවි නොකියන බවට මම මටම දිවුරා පොරොන්දු වුණෙමි. කුසගින්න සමඟ වේදනාව නැවත මතුවී ආවේය. මම පසුකොට ආ වැසිකිළියට වැදී දොර වසා ගතිමි. එහි කිසිවකු විසින් අලුතෙන්ම වැකි කීපයක් මොහොතකට පෙර ලියා ගොස් තිබුණි.

"අඩු මුදලට
උපරිම වින්දනය
චගචග
මටත් අමතන්න
දුර- xxxxxxxxxx

නිමි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Short Stories
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ShiraN - SL මෙහෙම කියනවා :
I'm in wordless..
nice post


කිවුව වෙලාව- 2011-12-26 06:27:11
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ගාමිණී බස්නායකගෙන් තවත් වියමන්
රංග
ග්‍රීක පාලකයා නාට්‍ය කලාවට හතුරු වීද?
රංග
මකරා මරා දැමිය යුතුය!
අදහස්
ඇයි අපි අම්පාරේ නෙවෙයිද?
කරන්ට්ස්
සරසවිය වසා ඇත
කතන්දර
අතුරුදහන් වූ මිනිසා
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook