Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය| දෙවැනි කොටස
මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" එලිදැක්වීම නිමිත්තෙන් 2011 ජනවාරි 30 දින බූන්දි වෙබ් අඩවියේ ආරාධනයෙන් කොලඹ ජාතික පුස්තකාල සේවා මන්ඩලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලද දේශනයෙහි සම්පින්ඩිත පිටපත:

පළමු කොටසට මෙතනින් යන්න
බූන්දි, 00:34:36
කුසලතාපූර්න අංකුර කවි කිවිඳියො ගනනාවක් මෙදා ප්‍රවනතාමය ක්ශේත්‍රයට අවතීර්න වෙලා හිටියත්, මේ බොහෝ කවීන් හැත්තෑ ගනන්වල "ජනතාවාදී කවිය" කරා පල්ලම් බහිනව දැකීම ශෝචනීය යි. මේ දෘශ්ටිමය මංමුලාව පොදුවේ හකුලා දක්වන නිදසුන් දෙකක් ගෙනහැර පාන්ට මම කැමති යි. මේ නිදසුන් දෙක ම අර ගත්තෙ 2000 පරපුරේ කවියෙකුගෙන් - පියන්කාරගේ බන්දුල ජයවීරගෙ කුලුඳුල් පොතෙන්. මේ විවේචනය මම ඉදිරිපත් කරන්නෙ නව කවීන් වඩා නිරවද්‍ය දෘශ්ටි ආස්ථානයක් කරා වර්ධනය වෙනව දැකීමෙ පරම අභිලාශයෙන් යුතුව.

ලංකාව යනු
රියැදුරු තවමත්
වැඩට පැමිණ නැති
කොන්දොස්තර තැන
අධි වේගයෙන් පදවන
පෞද්ගලික බස් රථයකි

(ලංකාව යනු, තේරා ගත් කෘති, 2010)


සුලු- ධනේශ්වර රැඩිකල් දේශපාලනයෙන් පන්නරය ලබන අද්‍යතන කවීන්ගෙ පොදු අර්බුදය මේ කෙටි කව තුලින් මොනවට පැහැදිලි යි. හුදෙක් රියැදුරා මාරු කෙරුව ම ලාංකික සමාජය නමැති බසය නිසි පරිදි ධාවනය වෙනව ඇති කියලනෙ මේ කියන්නෙ. යල් පැනපු එන්ජිම, දිරාපත් චැසිය, අබලන් මාර්ගය නැතිනම් මගීන්ගෙ තදබදය වෙත ආලෝකයක් විහිදුවනව වෙනුවට හුදෙක් රියැදුරාගෙ නුසුදුසුකම හුවා දැක්වෙනව. "නිවන් දකිත්වා අපගේ ජනනායක තැන!" එහෙමනෙ පවනෙ ගැයුනෙ. වැරදි ආදර්ශයක් නෙව දුන්නෙ. තනි පුද්ගලයෙකුට පද්ධතියක් වෙනුවට ආදේශ වෙන්න පුලුවනි යන [චේ] ගෙවාරා මිථ්‍යාව නෙවෙයි ද මේකෙන් ධ්වනිත වෙන්නෙ? ඊලඟට:

‘.........
තෝරා ගත් කෘතිවල
තමන්ට වාසි තැනින්
තමන්ට කැමති තැනින්
තෝරා ගෙන
වෙන් වූ කඳවුරු තුළ
නුඹත් මමත් සටන් කරමු

නමුත් මිතුර
ලෙනින්ට අපි
අපට ලෙනින්
අයිති නිසා
පෙරමුණ වෙනස් වුව ද
සටන එකක් නම්
පොදු සතුරා පරදවනා
අවි තනන්ට
නිසි මග පෑදෙයි! ’

(‍තෝරා ගත් කෘති, තේරා ගත් කෘති, 2010)


ඉතා ම ප්‍රතිගාමී දෘශ්ටිවාදයක් මේකෙ ගැබ් වෙනව. කවියා පොදු සටන් පෙරමුනකට කැඳවන්නෙ කවර පාර්ශ්වයන් දැයි පැහැදිලි නැතත් මේ වර්ගයෙ ‘පෙරමුනු’ ගැන ලෙනින්ගෙ තුන් හිතකවත් තිබුන ද? ලෙනින් "වෙන්ව ගමන් කරමු - එක්ව පහර දෙමු!" යන සටන් පාඨය ඉදිරිපත් කෙරුවෙ නිශ්චිත ඓතිහාසික දේශපාලනික සන්දර්භයක් ඇතුලෙ. ඔහු සකල සියලු බලවේගවලට ආමන්ත්‍රනය කෙරුවෙ නැහැ. මේ කවියෙන් ප්‍රකට කෙරෙන චින්තාව තත්කාර්යවාදය නැතිනම් අවස්ථාවාදය. කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වනව වෙනුවට දිගින් දිගට ම "මහජන පෙරමුනු" අටවා ගැනීමෙ විපාක නේද අපි දැනටත් අත්විඳින්නෙ? සමාජ විපර්යාසයක් පිලිබඳව කවියා තුල කෑකෑරෙමින් පවතින යහපත් උවමනාව අපට තේරුම් යනව. කවියාගෙ චේතනාව කොතරම් අව්‍යාජ වුනත් අවස්ථාවාදය අවස්ථාවාදය ම යි. බැරි වෙලාවත්, මේ අවිශද කවියෙන් ‘පොදු සතුරා’ පරදවන්ට අඬ ගහන්නෙ (ජවිපෙ වගෙ) මිතුරු වෙසින් පෙනී හිටින සතුරාට ම නම්! එංගල්ස් කල් තියා ප්‍රකාශ කරපු විදියට, ‘අවංක’ අවස්ථාවාදය, අන් සියලු අවස්ථාවාදයන්ට වඩා භයානක යි.

අනෙක් අතට, නව කවීන් බහුතරය සම්ප්‍රදායික කවි මඟ සමතික්‍රමනය කරන්ට අපොහොසත් වන බව පෙනී යනවා. එක අතකට, මේක ඔවුන්ගෙ වරදකුත් නෙවෙයි. චිරන්තන සාහිත්‍යයෙන් හා විශ්ව කාව්‍ය සේවනයෙන් දුරස්ථ වෙන්ට කරුනු යෙදීම හින්ද යි මෙහෙම සිද්ධ වෙන්නෙ. මගේ පරම්පරාව සැලකුවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන යටතෙ පැරනි සාහිත්‍යය අපේ පාසල් විශය ධාරාවෙන් ඉවත් කෙරිල යි තිබුනෙ. නමුත්, කුස්සිය මුල්ලෙ ඉඳගෙන හරි හදාරන්ට කියල යි බර්ටෝල්ට් බ්‍රෙශ්ට් කම්කරු පන්තියෙන් ඉල්ලා හිටියෙ.

අපි හැමෝම තිස් වසරක සිවිල් යුද්ධයක් අත් වින්ද. කොටින් ම, කුදු මහත් පරපුරක් ම හැදී වැඩුනෙ යුද්ධයත් සමඟ. යුද්ධය මෙරට ජන ජීවිතය කෙරෙහි පොදුවේත් උතුරු නැගෙනහිර ජීවිතය කෙරෙහි සුවිශේශයෙනුත් දැවැන්ත බලපෑමක් එල්ල කල බව කවුරුත් දන්නව. මේ යුද්ධයට කලාකරුවන් ප්‍රතිචාර දැක්වුවෙ කොහොම ද? මෙතැන දි, මම අදහස් කරන්නෙ සිංහල කවීන් පිලිබඳව. කෝ. ආනන්ද, ඇල්ලේ ගුනවංශ ඇතුලු පිරිසක් යුද්ධයට පක්ශව කව් ගී ලිව්ව. තව පිරිසක් යුද්ධයට විපක්ශව කවිය පරිහරනය කෙරුව. යුද්ධයට ආවැඩූ අය ගැන අපට කතාවක් නෑ. යුද්ධයට එරෙහිව ලියැවුනු බොහෝ කවි හුදු විරෝධය පෑම් නැතිනම් විලාප තැබීම්. යුද පිටියෙ කටුක අත්දැකීම් කාව්‍යමය ලෙස ප්‍රකාශ වුනා නම් ඒ කලාතුරෙකින්. ප්‍රතිභා සම්පන්න දෙමල කවීන් වැඩි දෙනෙක්, ජාතික පීඩනය හමුවෙ දෙමල වර්ගවාදය වෙත නැඹුරු වුනා. ඔවුන්ගෙ ජීවිතාරක්ශාව තකා මම නම් සඳහන් කිරීමෙන් වැලකී සිටිනව.

ලොව පහල වුන විශිශ්ටතම යුද කවියා හැටියට සැලකෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික විල්ෆ්‍රඩ් ඕවන් (1893-1918). පලමුවන ලෝක සංග්‍රාමයෙ දි, යුද අගල තුල වෙඩි කා වැටෙන තුරු මේ හිරිමල් සෙබලා යුද්ධයේ සියලූ සංත්‍රාසයන් කලාත්මකව කවිගත කෙරුව. ඒ වර්ගයෙ සෙබල කවියො මෙහෙ හිටිය ද, බ්‍රිගේඩියර් වීරසේකරලා වගෙ කුකවියො මිසක?

කවිය තුල විතරක් නෙවෙයි, මේක අනෙකුත් කලා ක්ශේත්‍රවලත් අපි දැකපු ලක්ශනයක්. යුද්ධය විශයෙහි චන්ද්‍රගුප්ත තේනුවර අතින් සිද්ධ වුන යථාර්ථ ඥානනය සෙසු සිත්තරුන්ගෙන් ප්‍රකට වුනේ නැහැ. සිනමාව සැලකුවොත්, පුරහඳ කළුවර රූගත කිරීම් සඳහා නුවර කලාවියට ගිය අවස්ථාවෙ තිර රචනාව මුලුමනින් ම පාහෙ වෙනස් කරන්ට තමන්ට සිද්ධ වුන අන්දම ප්‍රසන්න විතානගේ පසුව සඳහන් කරල තිබුන. නිර්ව්‍යාජ කලාව බිහි වෙන්නෙ එහෙම යි. මේ උදාහරනය බලන්න:

යුද බිමෙන් උඹ එවපු බරපැනෙන්
සැඟවෙමින් අපේ කටුමැටි ගෙපැල
මැවී ගිය අලුත් නිවහනේ සිට
මගෙ දෙපා ඇදී එයි දොරකඩට

බෝම්බයෙ ගිනි අවියෙ හරඹයෙන්
පරාජය වුණේ අපෙ කුසගින්න
පෙර දවස උඹට දුන් හඹුං කට
දෙකට වී ළඟා විණි දැ යි මවෙත

යළිත් ගෙට එබෙන විට දොරකඩින්
සාලයේ කොනෙක සිට තේජසින්
කාටදෝ ආචාර කරයි උඹ
වෙඩිමුරය මගෙ හදෙන් ඇසෙයි මට

(මොනිකා රුවන්පතිරණ, විසි වසක ශේෂ පත්‍රය, 1992)


මේක නෙවෙයි ද සත්‍යය? කොයි අම්ම ද පපුවෙ ගින්දර නැතිව දරුවො යුද්දෙට යැව්වෙ? යථාර්ථය විසින් කලාකරුවා මෙහෙයවා ගනු ලැබීම යි සිද්ධ වෙන්නෙ. එහෙම නැතිව, "රට ජාතිය" ගැන නැති කැක්කුම් මවා පාමින් කලාකරුවා තමන්ගෙ වාසියට යථාර්ථය මෙහෙයවා ගන්න හැදුවොත් සරෝජා වගේ විකෘත නිර්මාන තමයි නිපදවෙන්නෙ.

වාර්ගික සමගිය කියන්නෙ ජාතීන් බිහි වුන දා ඉඳන් ම කලාවට හුරුපුරුදු තේමාවක්. ශුද්ධ කවියො පවා වාර්ගික සමගියෙ වටිනාකම වනා තිබෙනව; දැනුත් වර්නනා කරනව. රත්න ශ්‍රී රචනා කල කවියකින් කොටසක් මේ:

"දකුණු ඉසව්වෙන් පැමිණිය
පුත නුඹ වැහිළිහිණී
මිහිරි තෙපුල් තුඩ
වැහි පොද සිහිලස ගිහිණී
නුඹට අපේ කැදැල්ල තුළ
ඉඩ කඩ තිබුණී
අපට කුරුල්ලෝ නොදැනුණෙ
නුඹෙ බස පමණී

සිනා කිරෙන් කන්තෝරුවෙ බිම පිරිබඩ දුන්
පිච්ච මල් සුදට දත් ටික නුඹට කවුරු දුන්
තල් ගස් යට වැලි පොළොවට වට වැහි පොද වන්
කවුරු වැදූවත් පුතු ම ය රත්තරන් පුතුන්

පාට එළළුවන් පුත, මෙහි දකුණු කරෙන් වන්
පාට කළු වුණත් මගෙ පුතු සමඟ ‘කෝවලන්’
බෝම සුමිතුරන් වී පසුවුණි ය කෙළිදෙලෙන්
සේම කුරුල්ලන් – ඉපදුණ එකම කැදැල්ලෙන්...

සිද්ද වෙද සෙතක් පඬිරට ගින්දර ලෑමෙන්
ඇද්ද ලොව පුතුන් වැඩු මිස නැසුව මව්වරුන්?
දෙන්න මට මගේ දෙපුතුන් දෙන්න මට ඔවුන්
උන්ට පණ පොවමි මම මගෙ එකම පියවුරෙන්"

(මවුකිරි, සුබ උදෑසන, 1988)


ඉතා අනගි කවියක්. වාර්ගික සහජීවනය අලලා ගත් සියලු කවි අතර වඩාත් පරිසමාප්ත නිර්මානය හැටියට මෙය හඳුන්වන්ට මම පැකිලෙන්නෙ නෑ. මේකෙ සුවිශේශත්වය තමයි, දමිල මවකගෙ කෝනයෙන් ඉදිරිපත් වීම. කවියාගෙ පෞද්ගලික දෘශ්ටිවාදවලට මේ කවිය තුල ඉඩක් නෑ. ප්‍රවනතාමය කවියාගෙ ලෝක දෘශ්ටිය ඉස්මතු වෙන්නෙ "වාර්ගික සමගියෙන්" ඔබ්බට ගිහින් ගැටුමෙ ස්වභාවය වස්තු කර ගන්නා විට. යුද්ධය කියන්නෙ "දේශපාලනය වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යෑමක්" බව සුප්‍රකාශිත යි. ඒ හින්ද, යුද්ධය පිලිබඳව කලාකරුවා දරන ආකල්පය මෙහි දී විශාල කාර්යභාරයක් ඉටු කරනව. රත්න ශ්‍රී ගෙන් තවත් නිදසුනක් ගනිමු:

නවත්වන්න ඔල්වරසන් - බිම හෙලන්න බොන ජයපැන්
දිනන්නේ කවුද මෙතැන දි සහෝදරයිනේ?
අම්මලා කිරට හරවන පියවරුන් හෙලූ දාඩිය
ගලයි උණු ලෙයට පෙරැළී යුද්ධ භූමියේ

විනාසව සියලූ ගේ දොර සුවාසක් උතුම් ජීවිත
ලෙයින් පෙඟුණු රණ බිම් මත නැගූ සේසතේ
සෙවණ යට ඉඳිනු කවුරුද නුඹද ඒ මම ද සොහොයුර
නොවෙයි අප නොවෙයි අප හැම එක ම කඳවුරේ

ජාති කුල මතින් වියරුව එදා සිට නඟා ජය ගොස
ගල ලෙයින් පිරූ මදු විත ප්‍රීති සාදයේ
නුඹත් මාත් නැත සකිසඳ දිනුම හිමි නොවෙයි අප වෙත
බලන් ගිනි අවිය වැජඹෙයි සිංහාසනයේ

(වංක ගිරිය අරණේ, 1993)


මේකෙ මාතෘකාව "යුද්ධය හෙවත් කුකුළන් කෙටවීම." ලංකාවෙ පැවතුනේ බොක්සිං සටනක දි වගේ ඔට්ටුවට කුකුල්ලු කෙටවීමක් නෙවෙයි. දේවල් ඒවායෙ නියම නම්වලින් අඳුනා ගන්ට ඕනැයි ලෙනින් අවධාරනය කෙරුව. පීඩිත ජනවර්ගයකගෙ ජාතික ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් පාගා දමමින් ඔවුන් මත කොලඹ ධනපති ආන්ඩුව කඩාපාත් කල සාපරාධී වර්ගවාදී යුද්ධයක් ඒක. ඒ හින්ද, අවි බිම තබන්නැයි කරන ඉල්ලීමක් අර්ථවත් වෙන්නෙ ඒ ඉල්ලීම හුදෙක් පීඩකයාට ඉදිරිපත් වෙන කොට විතර යි. අධිරාජ්‍යවාදී යුද්ධය සම්බන්ධයෙන් නම් මේකෙ මුල් පද දෙක පංකාදු යි.

‘ජාති කුල මතින් වියරුව - එදා සිට නඟා ජය ගොස.’ ‘එදා සිට’ කියන්නෙ කවද ඉඳල ද? දුටුගැමුනුගෙ කාලෙ පටන් ද? එහෙම නම් ඒක බොරුවක්. දුටුගැමුනු - එලාර ගැටුම ප්‍රාදේශීය රජවරුන් දෙන්නෙකු අතර සිද්ධ වුනු බලලෝභී හටනක් මිසක් වාර්ගික යුද්ධයක් නොවුන බව සනාථ වෙලා හමාර යි. ඊයෙ පෙරේදා වෙන තුරු දෙගොල්ලො සාමකාමීව වාසය කරපු බව මොහොතකට කලින් කවියා ම අපට කිව්ව: ‘බෝම සුමිතුරන් වී පසුවුණි ය කෙළිදෙලෙන් - සේම කුරුල්ලන් ඉපදුණ එකම කැදැල්ලෙන්. ’ ඒක යි ඇත්ත. මේ රටේ වාර්ගික විරසකය ධනපති පාලකයො උඩින් අතෑරපු එකක්. අර වගෙ ව්‍යාකූලතා හට ගන්නෙ කවියාට ජාතික ප්‍රශ්නය පිලිබඳව සංයුක්ත අදහසක් නැති විට. මේ ව්‍යාකූලත්වයෙ ප්‍රතිඵලය ලෙස කවියා නතර වුනේ කොතැනින් ද? වර්ගවාදී සිංහල හමුදාවට ගැයුනු ස්තෝත්‍රයකින්:

‘රට රකින ජීවිත රකින
අභිමානවත් මුර දේවතා
ආයු රක්ඛන්තු ආවඩා! ’


ඇස් කන් ඇදහිය නොහේ ය ඇසෙන මෙ අරුමා! පසු කාලෙක, කවියා ම තමන්ගෙ දේශපාලනික පරිහානිය පශ්චාත්තාපීව සිහිපත් කෙරුවෙ මෙහෙම:

"අනූව දශකය ආරම්භයත් සමඟ නොකැමැත්තෙන් වුව ද ක්‍රියාකාරීව පක්ෂ දේශපාලනය වෙත ඇදගනු ලැබූ අප, පසු කළ දශක එකහමාරක තරම් වූ විලෝපන සමයේ දී ඇති කළ ව්‍යසනය සටහන් කිරීමේ සිහින ද දකිමින් සිටි බව කිව යුතු ය. ඒ සියලු සිහින මනෝරාජික බැව් වැටහෙන්නට ගත වූයේ කෙටි කලකි. අපේ පරමාදර්ශී වූ ඇතැම් දේශපාලන චරිත බැක්ටීරියා, වෛරස් ආසාදිත පූතිභවනය වන දේශපාලන කුණප බව වැටහෙන විට ආපසු හැරෙන්නට බැරි තරම් දුරක් අප පැමිණ තිබිණ" (මධ්‍යම යාමය, පෙරවදන, 2005).

තමන් අනුගත වුන කුජීදු දේශපාලනය පිලිබඳව කවියෙකු හද පත්ලෙන් නැඟූ ආත්ම භාශනයක් ඒක. කොයි තරම් සංවේගජනක ද? මොන තරම් අවාසනාවක් ද? කලාකරුවා කියන්නෙ ඉතා ම සංවේදී තැනැත්තෙක්. කවියා ශ්‍රේශ්ඨ වන තරමට ඒ සංවේදීතාව වැඩි යි. රත්න ශ්‍රී ගෙ කවිත්වයෙ ක්‍රමික පසුබෑම අප තේරුම්ගත යුත්තෙ මේ පසුබිම තුල. අනෙක් අතට, මේක ඔහුට විතරක් සීමා වුන කාරනාවක් ලෙස දැකීම වැරදි යි. නමසිය අසූ ගනන් අග සෝවියට් සංගමය බිඳ වැටෙද්දි, පරාක්‍රම කොඩිතුවක්කු ප්‍රමුඛ ජනතාවාදී කවියො පත් වුනෙත් අර වගේ ම මානසික ඇද වැටීමකට. කලකට පෙර, ඔහු ලිව්ව මෙහෙම:

‘නවතන්න නවතන්න
ඔය හටන නවතන්න
එළාර නිරිඳුනි,
ඇතු පිටින් බැස එන්න
දුටු ගැමුණු රජ තුමෙනි
දෙන්න එළාරට පුටුවක්...

නවත්වන්න අත්පොලසන්...
අත්පොලසන් කාට කියන්? ’

(අපේ කෙනෙක්, පොඩි මල්ලියෙ, 1972)


වර්ගවාදී යුද්ධයට කලින් ලියැවුනත් මේක වර්තමානයට කදිමට ගැලපුනා. යුද්ධය ඇරඹෙනවාත් සමඟ, මේක යලි උපුටා දක්වන උවමනාව (සංවාදය කවි කොලය, 1981, ජනවාරි- පෙබරවාරි කලාපය) කෙනෙකුට මතු වුනේ, අවි බිම තබා සාකච්ඡාවට එන්නැයි දෙමල සටන්කාමීන්ගෙන් කෙරුනු ඉල්ලීමක් හැටියට. යථා කාලෙ දි, මේ පැතුම ඉටු වෙනව අපි දැක්ක: ස්තාලින්වාදියො විතරක් නෙවෙයි, සමසමාජ හා නව සමසමාජකාරයොත් ජේ. ආර්. ජයවර්ධනගෙ වටමේසෙට බඩගෑවෙ නැද්ද? ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්ති පක්ශයකැයි සලකා රෑ වැටුනු වලේ දවලුත් වැටෙන උදවිය ගැන මොන කතා ද?

ස්තාලින්වාදය යනු මාක්ස්වාදය යයි කලක් පොට වරද්දාගෙන හිටපු පරාක්‍රම කොඩිතුවක්කු දැන් මාක්ස්වාදයට බැන අඬගසමින් එක් පයක් ජාතිකවාදී ගොහොරුවෙත් අනෙක් පය ආගම්වාදී ගොහොරුවෙත් ඔබාගෙන ඉන්න හැටි අපිට පේනව. දිවයින ඉරිදා සංග්‍රහයට සපයපු "පැදි මිණි ආර" (1993-1994) ලිපි සරනිය තුල ඔහු ලිව්ව, සෝවියට් දේශයේ කලා මර්දනයට මූලික වුනේ ලෙනින් කියල. හැබැයි, එක ම නිදසුනක්වත් නැතිව. ඔහු ඉදිරිපත් කරල තිබුනෙ තනිකර ස්තාලින් යුගයෙ වධ බන්ධන ලැයිස්තුවක්. මේ අභූත චෝදනාව ධනේශ්වර දෘශ්ටිවාදීන්ගෙන් නයට ගත්ත එකක්.

සුනිල් ආරියරත්නයන්ගෙ "තුන් හෙලේ කැලෑ තුළ සිංහ පැටව්" සහ "කඩුවක් අවැසි තැන කඩුවක් ගෙන නැගෙනු" යන ගීත දෙක නිර්දය විවේචනයට ලක් වුනාට පස්සෙ තවත් නම් ඒ වර්ගයෙ ගී නොලියන බවට ඔහු ශපථ කෙරුව. අනතුරුව, වාර්ගික සමගිය වෙනුවෙන් ඔහු ගීයක් ලිව්ව. ඒකෙ කියවෙනව මෙහෙම:

‘බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා වුණත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙලයා වුණත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනු’


පීඩිත දෙමල ජාතිය කෙරෙහි පතල මහා කරුනාවෙන් ලීවත් ‘දෙමළා වුනත්’ කියන කොට ම ‘හල් තයන්නෙන්’ ගම්‍ය වෙන්නෙ දෙමල ජාතිය පොදුවේ පහත් ජාතියක් බව නෙවෙයි ද? බලන්න, තනි අකුරකට කල හැකි හදිය! මෙහෙම වෙන්නෙ ඇයි? කවියා මව් කිරිත් සමඟ උරා බීපු වර්ගවාදී හැඟීම් ඔහුගෙ උප විඥානයෙන් ලේසියෙන් ඉවත් වෙන්ට සූදානම් නැති නිස යි. මෙහි දී, මට සිහිපත් වෙනව අපූරු සාදෘශ්‍යයක්: ලියෝ තොල්ස්තෝයිගෙ වැඩිමල් සොහොයුරා සම්බන්ධයෙන් ෆෙට් ශෙන්ශින් කවියාගෙ මතක සටහනක්. වරක් ෆෙට් හමු වෙන්ට ආපු ජ්‍යෙශ්ඨ තොල්ස්තෝයිගෙ හස්තය රථාචාරියා විසින් සිප ගනු ලැබුව. බටහිර වැඩවසම් සමාජයෙ මේ සිරිත යටහත්පහත්භාවය අඟවන්නක්. ජ්‍යෙශ්ඨ තොල්ස්තෝයි මේ ක්‍රියාව දැක්කෙ මානව ගරුත්වය කෙලෙසන්නක් හැටියට. ඔහු ෆෙට් අමතා මෙහෙම කිව්ව: "බලන්න, මේ ඌරා කරපු අශික්ශිත වැඩේ!" කොහොම නමුත්, මෙහෙකරුවා නික්ම ගියාට පස්සෙ මේ වදන් තෙපලන්ට තරම් ඔහු විනීත වී යයි ෆෙට් සඳහන් කරනව. දැන් මේ සම්බන්ධයෙන් ප්ලෙහානොව් දක්වන අදහස බලමු:

"... මෙහෙකරුවා තම හාම්පුතාගේ හස්තය සිඹීම මානව ගරුත්වයට නිගාවක් යයි තරයේ තීන්දු කල පසුව පවා සිය රථාචාර්යයාට දිගින් දිගට ම ඌරා යයි ඇමතීමට ඔහු පොලඹවනු ලැබූ මානසික ලක්ශනය යට කී විනීතභාවයෙන් වියැකී ගියේ නැත. යම් හෙයකින්, මෙහෙකරුවා ඌරෙකු නම් හස්තය සිප ගැනුම මගින් නිග්‍රහයට පාත්‍ර වූයේ කාගේ මානව ගරුත්වය ද? නිසැකව ම විනීත හාම්පුතාගේ ය. එහෙයින්, මානව ගරුත්වය පිලිබඳ දැනුවත්භාවය පවා මෙහිලා රදල අගතීන්ගෙන් විශදව වර්න ගැන්වී ඇත" (Karl Marx and Lev Tolstoy, 1911-12)

දැන් බලන්න මේ දෙපදය දිහා:

‘ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා
එලියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා’


හඩු බසින් වුනත් දීපාල් සිල්වා කොයි තරම් හෘදයංගමව සිංහල වර්ගවාදියාගෙ කුහක අධ්‍යාත්මය එලිදරව් කරනව ද? ඊලඟට, චන්ද්‍රකුමාර වික්‍රමරත්නගෙන් ගත්ත නිදසුනක් මේ:

‘එක ම අපායක අප හැම දැවෙන සඳ
වෙන ම අපායක ඉන්නට පතයි නුඹ
අපා දෙකක කිරුළට යුද වදින සඳ
කඳුළ කඳුළ ම ය කාගේ වුණත් මට... ’

(දකුණේ සිට, භූගත කවි සිත, 2010)


කාව්‍යමය ගුනයෙන් යුතු වුනත් මේ කවි පදය සමඟ අව්‍යාජ සහෘදයෙකුට අනන්‍ය වෙන්ට පුලුවන් ද? අපි වෙසෙන මේ කොදෙව්ව එක ම අපායක් වෙන්නෙ කොහොම ද මහ ජාතියට නැති ප්‍රශ්න සුලු ජාතින්ට තියෙන කොට? පීඩිත සිංහල ස්ත්‍රිය දෙවැදෑරුම් පීඩනයකට ලක් වෙන කොට පීඩිත දෙමල ස්ත්‍රිය තෙවැදෑරුම් පීඩනයකට ලක් වෙනව. අනෙක් අතින්, ධනපති එල්.ටී.ටී.ඊයෙ ලේ වැකි කේවලය දියත් කෙරුනෙ තමන්ගෙ ම ශ්‍රම වැයික්කියක් අටවා ගන්ට. සිංහල කුලී හේවායා සහ මරාගෙන මැරෙන දෙමල බෝම්බකරු යන දෙන්න ම පීඩිතයන් වග හැබෑවක් වුනත් විසකුරු වැඩ පිලිවෙලවල් දෙකක් අතැතිව යුධ වැදුනු ඔවුන් දෙදෙනා සමඟ දුක බෙදා ගන්ට අපිට පුලුවන්කමක් නෑ. ගුනදාස කපුගේ අතින් ගැයුන රෝහන දන්දෙනියගෙ තල් වැට අයිනේ ගීයට ද මේ කාරනාව එක සේ අදාල යි:

‘තල් වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලි මලු විනිවිද එන මරණය හමුවේ

වැලපෙන මුහුදයි ඈතින් දිස් වන්නේ
වැලි මුසු සුළඟයි සියොළඟ දැවටෙන්නේ
සිනා පොදක් කෙලි කවට බසක් නැති
හෙවනැල්ලයි මගෙ තනියට ළඟ ඉන්නේ... ’


වර්ගවාදී යුද්ධයක නිරත වෙලා හිටපු සිංහල සෙබලාගෙ ජීවන තතු මැනවින් ගීයට නැගිල තියෙන බව හැබෑව. ඒත්, මෙතන පොඩි පරහක් තියෙනව. කුලී හේවායගෙ ශෝචනීය ඉරනම අපට තේරුම් ගියත් ඔහුගෙ වේදනාව සමග අපට අනන්‍ය වෙන්ට බෑ. එහෙම අනන්‍ය වෙන්ට පුලුවන් තවත් වර්ගවාදියෙකුට විතර යි. ගෙදරට නාකි වුන අවිවාහක ස්ත්‍රියකට තමන්ගෙ අතීත ප්‍රේමය පිලිබඳව ගයන්ට හැකි වුනත් මසුරු සිටානෙකුට තමන්ගෙ නැති වුන මුදල් පසුම්බිය ගැන එසේ ගයන්ට බැරි බව ජෝන් රස්කින් පැවසුව. ඇයි? මසුරාට සහානුභූතිය පල කරන කෙනෙක් නැති නිසා. මසුරාගෙ මුදල වගේ ම තමයි සෙබලාගෙ කඳුල.

අපි මෙතෙක් සාකච්ඡා කරපු කාරනාවලින් පෙනී යන්නෙ ප්‍රවනතාමය කලාකරුවා තම කාව්‍යනුභූතිය මෝදු වෙන්ට ඉඩ හැරීමෙ දි ඉතා ම නිරවද්‍ය ලෝක දෘශ්ටියක් අරා සිටීම අනිවාර්ය කොන්දේසියක් වෙන බව යි.

[මතු සම්බන්ධයි]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Speech by Darshana Medis, Manjula Wediwardena, Demala Kavi, Mathrukawak Nethi Mathrubhoomiya- 2011 January
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ඩබ්ලිව්. ඩයස් මෙහෙම කියනවා :
කවිම ලියන්න
කවි ගැනත් ලියන්න
දේශපාලනය ගැන නොකියවන්න
එවිට අපිට පුළුවන් බලන්න


කිවුව වෙලාව- 2011-08-17 07:02:28
melCUM X මෙහෙම කියනවා :
පිය+අන් කාරයන්ගේ ජප්පො කස්ටිය තමා මේ රත්න පරා මොනිචන්දරලා....වෙන කවුදෑ....මෙවට කුලප්පු වෙන්නේ ඈ....බොලව්නේ....

කිවුව වෙලාව- 2011-08-16 09:25:28
පීචං මෙහෙම කියනවා :
මොකෙක්ද මේ රත්න පරා මොනි චන්දරයා.

කිවුව වෙලාව- 2011-08-16 08:45:29
දර්ශන මේදිස් මෙහෙම කියනවා :
ලක්ශාන් සහෝදරයා වෙත,
ඔබේ ප්‍රශ්න වලට කෙටියෙන් පිලිතුරු දීම දුශ්කරය.
01.ඔබමත් (ඉතා නිවැරදි ව) ජ.වි.පෙ න් හා එල්.ටී.ටී.ඊ යෙන් කම්කරු පන්තිය ඈත් කොට තබයි. (ජ.වි.පෙ නායක රෝහන විජේවීර කම්කරු අරගල හැඳින්වූයේ ‘කැඳ කෝප්ප‘ සටන් හැටියට යි.) තවත් අටුවාටීකා කුමට ද?
කෙසේ වෙතත් ජ.වි.පෙ අවස්ථාවාදී සුලු ධනේශ්වර දේශපාලනය ගුනාංගීකරනයට අදාල නිර්නායක හා දත්ත සඳහා බලන්න. .
i. කේ.රත්නායක, ජනතා විමුක්ති පෙරමුන රැඩිකල්වාදයේ සිට ෆැසිස්ට්වාදය දක්වා, කම්කරු මාවත ප්‍රකාශන, 1997
ii. කීර්ති බාලසූරිය, ජනතා විමුක්ති පෙරමු‍නේ දේශපාලනය හා පංති ස්වභාවය, කම්කරු මාවත ප්‍රකාශන, 1970

02. සුලු ධනපති පදනමක සිට ධනපති දේශපාලන ව්‍යාපාරයක් හැටියට, එල්.ටී.ටී.ඊ යේ නැගීම තේරුම් ගැනීම සඳහා විජේ ඩයස්ගේ ‘වර්ගවාදී යුද්ධයට 25 වසරක්‘ කෘතිය පරිශීලනය කල මැනවි.
සුලු ජාතියට අයත් ධනපතීන් පවා මහ ජාතියේ පීඩනයට ගොදුරු වන බව සැබෑවක් වුව, ඒ කරුන මාක්ස්වාදියෙකුට ඔවුන් සමග අනන්‍ය වීමකට තුඩු නො දේ. මාක්ස්වාදීන් විසින් “ වර්ගවාදී යුද්ධය නතර කරනු! උතුරින් හා නැගෙනහිරින් රාජ්‍ය හමුදා ඉවත් කරනු!“ යන සටන් පාඨය ඉදිරිපත් කිරීමේදී පීඩිත ජාතියේ සියලු පන්තීන්හී ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් ආවරනය කෙරේ. යට කී සටන් පාඨය පෙරට දමනු ලැබූවේ කමුකරු පන්තිය බලමුලු ගැන්වීමේ අරමුනින් ය. පීඩිත ජාතීන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීම ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයකි. එහෙත් ලංකාව බඳු පසුගාමී රටවල් තුල එය ඉටු කිරීම, ට්‍රොට්ස්කි ‘නොනවතින විප්ලව‘ න්‍යායහි ලා සූත්‍රගත කල පරිදි සමාජවාදී විප්ලවය පිට පැවරී ඇත.

පීඩිත ජාතියකගේ, විමුක්ති අරගලයට පීඩික ජාතියේ කම්කරු පන්තිය සහයෝගය දෙනුයේ ඒ අරගලය මුදුනේ ලැග සිටින ධනපති හෝ සුලු ධනපති කල්ලි/කල්ලියක් වේ නම්, එකී කල්ලියේ බංකොලොත් වැඩපිලිවෙල අනාවරනය කරමින්, පීඩිත ජාතියේ කම්කරුවන් හා පීඩිතයන් වෙත විකල්ප වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරමිනි.

ප්‍රභාකරන් යනු නෙල්සන් මැන්ඩෙලා හා යසර් අරපත් සමග එක පෙලට සිටි ධනේශ්වර ජාතිකවාදියෙකි. මැන්ඩෙලා හා අරපත් ධනපති රාජ්‍ය පාලකයන් ලෙස ඉස්මතු වූ අතර ප්‍රභාකරන් ඇද වැටුනේ තමන් සහය පැතූ අධිරාජ්‍යවාදී බලවේග, අවසන් මොහොතේ (තමන්ගේ රටවල් තුල “ත්‍රස්තවාදය“ මැඩීමේ ක්‍රියාමාර්ගය යුක්තියුක්ත කරනුව) රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය දුන් බැවිනි.

අනෙක් අතට, “ජාතික පීඩනයට විරෝධය දැක්වීමේ දී හා ඊට එරෙහි වීමේදී කම්කරුවන්ගේ පන්ති පක්ශයෙහි යුතුකම පැනනගින්නේ සුවිශේශව ‘ජාතීන්ගේ අයිතියකින්‘ නොවේ. නිදසුනක් දක්වතොත් ධනපති විමුක්තිවාදීන් කියන පරිදි ගැහැනුන් හා පිරිමින් අතර සමාජ හා දේශපාලන සමානත්වය සඳහා ප්‍රයත්නයන් පාදක වන්නේ විශේශිත වූ ‘ ගැහැනුන්ගේ අයිතියක්‘ මත නොවන්නා වූ පරිද්දෙනි.“ (රෝසා ලක්සම්බර්ග්)
- දර්ශන මේදිස්


කිවුව වෙලාව- 2011-08-12 10:53:00
පීචං මෙහෙම කියනවා :
ජවිපෙ ගැන විවේචනයක් එනකොට කට්ටියකගේ ඇගේ ලේ කෝප වෙනවා. මොකද ඒ ගොල්ලන්ගේ (සිංහළ) ජාතික සමාජවාදය (හිට්ලර්ගෙත් තිබ්බෙ ඒකමනෙ) කියන හීනෙට කෙලවෙනවනෙ.

කිවුව වෙලාව- 2011-08-07 04:30:09
Lasanda මෙහෙම කියනවා :
@රත්න පරා මොනි චන්දර

කවි පොත් තොගයක් ගහපු ගාලු කොටුවෙ විජේසින්හ කිවිපතිල චම්පික රනවකට ප්‍රශස්ති ලියන රටේ දර්ශන එක පොතක් ගහලා තාම ඉතුරු වෙලා ඉන්න එක ගැන සන්තෝස වෙන්න සහෝ...


කිවුව වෙලාව- 2011-08-04 17:50:40
Lakshan මෙහෙම කියනවා :
දර්ශන මේදිස් සහෝදරයාගේ දේශනයක් ඇසුරෙන් සකස්වුන මෙම ලිපියේ පළමු කොටසේ ජවිපෙ ගැන ඔහු ජවිපෙ මෙලෙස නිර්වචනය කරයි.
" එය ආරම්භයෙ ඉඳල ම පීඩිත ගැමි ගොවීන් සහ ශිශ්‍යයන් මත පදනම් වුන සුලු- ධනේශ්වර, සිංහල ස්වෝත්තමවාදී පක්ශයක්."
එහි දෙවන කොටසේදී LTTE සංවිධානය ගැන ඔහුගේ අදහස මෙසේය.
" අනෙක් අතින්, ධනපති එල්.ටී.ටී.ඊයෙ ලේ වැකි කේවලය දියත් කෙරුනෙ තමන්ගෙ ම ශ්‍රම වැයික්කියක් අටවා ගන්ට."

මෙහිලා මතුවන යම් පැහැදිලි කරගැනීමක් දර්ශන මේදිස්ගෙන් අපේක්ෂා කරමි.
ජව්පෙය සුළු ධනේෂ්වර පක්ෂයක් ලෙස හදුනාගැනීමේදී මේදිස් යොදාගත් නිර්ණායක සහ දත්ත මොනවාද?
LTTE ධනපති සංවිධානයක් යැයි හදුනා ගැනීමට යොදාගත් නිර්ණායක සහ දත්ත මොනවාද?
ජවිපෙ සහ LTTE පදනම්ව ඇත්තේ සිංහල සහ දෙමළ සමාජයන්හි එක හා සමාන සමාජ පන්තීමය පදනමකින්(ග්‍රාමීය ගොවි, ධීවර, සුලු වෙළෙද, යනාදි වශයෙන්) යන්න ඔබ ප්‍රත්ක්ෂේප කරන්නේද?
ජාතික පීඩනයට එරෙහිව සටන් වදින පීඩිත ජාතියේ අරගලයට පීඩක ජාතියට අයත්වන කම්කරුපන්තිය සහයෝගය දිය යුත්තේ පීඩිත ජාතියේ ජාතික විමුක්ති ව්‍යාපාරය කම්කරු පන්ති වැඩපිලිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් පමණක්ද?

පීඩිත ජාතියට අයත් ධනපති පන්තියට මහජාතිවාදයේ විසින් පවත්වාගෙන යනු ලබන ජාතික පීඩනය බල නොපාන්නේද?


කිවුව වෙලාව- 2011-08-03 10:32:29
රත්න පරා මොනි චන්දර මෙහෙම කියනවා :
මේ ලිපිය මුලින්ම දාලා දවස් ගාණක් යනකම් මැස්සෙක්වත් වහලා හිටියෙ නෑ බොලව් .දැන් බලහල්ලකො සොමිය. කට්ටිය සූ ගාලා ගේමට එන්ටර් වෙලානෙ ....
ප්‍රවණතාද ශුද්ධද ඔව්වා වැඩක් නෑ යකුනේ .ඉන්න උන් ටිකවත් එකතු වෙලා කවියට ඇනිලා තියෙන විස පොවපු ඊතල ටික ඇදලා දාපියව් .
රණවීර ලොක්කා කවියට නොසෑහෙන්න තුවාල කොරලා බබා වගේ ඉන්නවා දැන් පැත්තකට වෙලා.
කවියෙ ලේ ගලනවා. පණ අදිනවා. එව්වට වෙදකමක් නොකර එනවා මෙතන විචාර දෙන්න උඩ නැගගෙන....


කිවුව වෙලාව- 2011-08-02 12:41:43
JW වෙත, මෙහෙම කියනවා :
\\\"ශුද්ධ කලාව\\\" හා \\\"ප්‍රවනතාමය කලාව\\\" සම්බන්ධයෙන් මගේ අදහස දේශනයෙහි මුල් කොටසේ සැකෙවින් දක්වා ඇත. (ඔබ විසින් එය හරි හැටි ග්‍රහනය කෙරී නැති වග පෙනී යයි.) එහිලා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් නොකලේ,

i)පියසීලි විජේගුනසිංහ විසින් (ඔබ එකඟ වුවත් නැතත්) එය මැනවින් පැහැදිලි කෙරී ඇති බැවිනි.

ii)දේශනයෙහි මූලික විශය පරාසය / අරමුන නොවූ බැවිනි

iii)කාල වේලාව බාධකයක් බැවිනි(දෙසුම් හුදෙක් \\\\\\\"ප්‍රවනතාමය කලාව\\\\\\\"ට සීමා කලේද එහෙයිනි.)

කෙසේ වෙතත්, ඔබේ චෝදනාව අනවශ්‍ය ව්‍යාකූලත්වයට තුඩු දෙන්නක් බැවින් ඊට නිසි පිලිතුරු යථා කාලයේදී සපයන්නට අදහස් කරමි.
දර්ශන මේදිස්


කිවුව වෙලාව- 2011-08-02 09:22:19
දර්ශනගෙ කවියක්: [rathana para moni Chandra] kiyawalaa hadenna මෙහෙම කියනවා :
ලදරුවෙනි, පිබිදෙන්න!
කොටුඇ‍ඳෙන් බැස ඇවිත් බලපන්න
ඇතැම් කවි ලමයින්ට සුදුසු නැත!
කමක් නෑ කියවන්න
කුඩා කල සිටම පැනසර වන්න

සිසුනි,
ගුරුවරුනි, කිම හෙම්බත්ව?
මල්මාල - තූර්ය වාදන කුමට?
පොත් බෙදාදෙන උලෙල නොවේ අද
විශය නිර්දේශ අකුලා එන්න
අලුත් තක්සලාවක් අරඹන්න

සොරුනි,
මංකොල්ලකරුවෙනි, එන්න!
කලුවරේ
සෙමෙන් බර අඩි තබා ලං වන්න
සොරකමේ ආදිනව කියා නැත
මගේ කවියෙන් පාර අහගන්න
කිරීටය පැහැර ගන්නට යන්න

තරුන සොල්දාදුවෙනි, නවතින්න!
පරන පව් ඇලෙන් සෝදා එන්න
සැබෑ සතුරා හැඳිනගෙන ඉන්න
මගේ කවි ගබඩාවෙ
අලුත් කවි තිබේ ඔබහට දෙන්න


කිවුව වෙලාව- 2011-08-01 21:56:34
Arsonic මෙහෙම කියනවා :
කවි පොත් අට්ටි ගහගෙන ලියපු අය්යලා ගේ කෙරූවාවල් අපි දන්නවා. දර්ශනගෙ එකම පොත ඇති එයා තවත් ලියන්න උවමනා නෑ. මොකද කවි ලියලා කවි ලියලා ප්‍රශස්ති ලියලා සපත්තු ලෙවකන අය කවියො කියලා හිතන උන්ට දර්ශන කියන දේ තේරෙන්නෙ නෑ.

කිවුව වෙලාව- 2011-08-01 21:52:01
JW මෙහෙම කියනවා :
ශුද්ද හා ප්‍රවනතාත්මක කියලා කලාවෙ භේදයක් හදාගෙන වාද කලේ ලිබරල්වරුන් හා ජනතාවාදීන් නේ ද? මාක්ස්වාදීන් එහෙම කරන්නෙ නෑ නේ ද? කලාව සෑම කල්හි ම ප්‍රවනතාත්මක වන බව නේ ද ට්‍රොට්ස්කි කිව්වෙ? එහෙනම් මොකද ඔබ ප්‍රවනතාත්මක කලාකරුවන් කියන යෙදුම භාවිත කරන්නෙ? ප්‍රවනතාත්මක නො වන කලාකරුවනුත් ඉන්නවා ද?........ මේක පියසීලිගෙ මායාවක්. කලාවේ ස්වභාවය වටහා නො ගෙන ලියපු ප්‍රලාපයක්. පියසීලි ඉගෙන ගත්තෙ වොල්ශ්ගෙන් විය යුතු යි. දර්ශන, ඔයා ට්‍රොට්ස්කිගෙන් ම ඉගෙන ගන්න.

කිවුව වෙලාව- 2011-07-31 23:16:19
asela මෙහෙම කියනවා :
පියසීලිගෙ ප්‍රතිගාමි මතය ගම්ලත්ගෙ වචනවලින් ප්‍රකාශ කිරීමක්.

කිවුව වෙලාව- 2011-07-31 21:32:15
kamal මෙහෙම කියනවා :
රත්න පරා මොනි චන්දර
gon harakek ne.......


කිවුව වෙලාව- 2011-07-31 02:35:05
ela මෙහෙම කියනවා :
රත්න පරා මොනි චන්දර...
තමුසෙ මොන මගුලක්ද ඕයි කියවන්නෙ?
මේව දිරවන්නෙ නෑත්තම් කට පුක වහගෙන නිදාගන්නව


කිවුව වෙලාව- 2011-07-30 10:24:49
Nihanda මෙහෙම කියනවා :
@රත්න පරා මොනි චන්දර

කවි විචාරය කරන්න සුදුසුකම විදිහට කවි පොත් සිය ගානක් ලියන්න ඕනෙද මැට්ටො...?


කිවුව වෙලාව- 2011-07-28 20:52:53
රත්න පරා මොනි චන්දර මෙහෙම කියනවා :
මේ හාදයා ලීවෙත් එකම එක කවි පොතද කොහෙද .ඒකට මොකද කටමැත දොඩෝනවා එකසිය ගාණට එදා ඉඳලම .දැන් බැලින්නම් අපිට කියවන්න කවි නෑනෙ මේ රටේ .හැම එකේම කචල් විතරනෙ .
ඔච්චර ඔය කවි කචල් නම් ලියන්න එපැයි එළකිරි වගේ කවි සෙට් එකක්. නිකම් මෙතන කියව කියව ඉන්නෙ නැතිව අනුන්ගෙ මගුල්


කිවුව වෙලාව- 2011-07-28 12:58:55
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දර්ශන මේදිස් ගෙන් තවත් වියමන්
කවි
උතුරින් දකුනට
කවි
ලතෙත
කවි
බිරිඳ නලුවා අමතයි!
Cine
කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය
සිත්තර
පරත්වාරෝපිත මනුශ්‍යාත්මය විනිවිද දකින depth
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook