Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
කවිය කොයිබට ද? ප්‍රවනතාමය කලාකරුගේ දිශානතිය| තෙවන කොටස
මංජුල වෙඩිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය "මාතෘකාවක් නැති මාතෘ භූමිය හෙවත් දෙමළ කවි" එලිදැක්වීම නිමිත්තෙන් 2011 ජනවාරි 30 දින බූන්දි වෙබ් අඩවියේ ආරාධනයෙන් කොලඹ ජාතික පුස්තකාල සේවා මන්ඩලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලද දේශනයෙහි සම්පින්ඩිත පිටපත:

දෙවැනි කොටසට මෙතනින් යන්න
බූන්දි, 17:00:45
බර්ටි බී කුඩාහෙට්ටි තමන්ගෙ අලුත් කෘතිය විදාරණය (2010) එලි දැක්වුවෙ දිගු නිහැඬියාවකට පස්සෙ:

“හිස් ඔළු
කුවෙර මඬ මානෙල්
විල් නොලැග
සව් සුදු හස කවිය
කෙළිනු ය මසිත් පුල්
මානස විල්හි සොඳ”


සිය ‘ඇරයුම’ තුල බර්ටි පෙන්වන මේ අපූර්ව කවිත්වය ඔහුගෙ සෙසු නිර්මාන තුල විද්‍යමාන වෙනව ද කියන එක යි ප්‍රශ්නෙ. ජනතාවාදියෙකු නොවීමෙ හේතුවෙන්, ඉතා අගනා අනුභූතීන් ඔහු සතුව තිබෙනව: ‘විෂදුම හෝ විසඳුම’, ‘බේදය හා ඛේදය’, ‘යුද්ධයේ වැරැද්ද’, ‘ළමා සාදු හා ළමා සොල්දාදුවා’ ආදිය. සුලු-ධනේශ්වර දෘශ්ටිමය විලංගුවෙන් තොර වුනත් මේව ඇති තරම් කාව්‍යමය ලෙස ප්‍රකාශයට පත් වෙලා නෑ. ඇතැම් කවි හුදෙක් බද්ධ වෛරය පිටාර ගලන නිර්මාන:

“මේ රට නුඹටයි
නුඹේ නොදරුවන්ටයි
(උප මාතෘකාව)

‘ධනපති කොල්ලනේ
පලයව් අවලමේ
මේ රට පාලනේ
හැර තොපට අන් වැඩක් නැහැනේ’

රෝයලූත් උඹලට
සෙන් බ්‍රිජට් උඹලට
සෙන් තෝමසුත් උඹලට
රට පාසලුත් උඹලට
අද වගේ හෙට දවස උඹලට”

(ද්වේශ සහගත කවිය)


ධනපති ක්‍රමය සදාකාලික ය යන අසාර දර්ශනය මිසක් ධනේශ්වර අධ්‍යාපනය හෝ පාසල් පද්ධතිය හෝ පිලිබඳව කිසිදු නව ඥානයක් මේකෙන් සම්පාදනය වෙන්නෙ නෑ. අනෙක් අතට, ධනවාදය සමඟ අපට මොන ප්‍රශ්න තිබුනත් සමාජ ජීවිතයේ දි වේවා කලාව විශයෙහි වේවා මනෝබද්ධව ප්‍රතිචාර දැක්වීමෙන් පලක් තියෙනව ද? සමාජ අසමානතාව පිලිබඳ ඥානය ද්වේශයෙන් කිලිටි නොවී යුගය පිලිබඳ අවබෝධයෙන් ජ්වලිත විය යුතු යයි සෝවියට් කිවි ඇලෙක්සැන්ඩර් බ්ලේක් පැවසුවා. යුද්ධය හා සාමය නවකතාවෙ චරිතයක් උපමාවට ගනිමින් මේක වඩාත් හොඳින් පැහැදිලි කරනවා ප්ලෙහානොව්. මම ප්ලෙහානොව් මත වැඩිපුර යැපීම ගැන කෙනෙක් නොසතුටු වෙන්ට පුලුවන්. ඒත්, ඔහුගෙ රචනා තරම් මාක්ස්වාදී සංකල්ප මැනවින් පැහැදිලි කෙරෙන ලියවිලි ලොව අන් කොතැනකවත් නැතැයි ලෙනින් සඳහන් කෙරුවා. ඒ හින්දා, ප්ලෙහානොව්ට කොතෙක් සවන් දුන්නත් අවැඩක් වෙන එකක් නැහැ. යුද්ධය හා සාමය කතුවරයා ඇනා පැව්ලොව්නා ශියර නම් චරිතය පාඨකයාට හඳුන්වා දෙන්නෙ මෙහෙම: ”උද්‍යෝගිමත් තැනැත්තියක වීම ඇගේ සමාජ ජීවිකාව බවට පත්ව ඇත.” මේ වැකිය උපුටා දක්වමින් ප්ලෙහානොව් ලියනව:

”...ධනවාදයට වෛර කිරීම අපේ ආත්මීයවාදීන්ගේ සමාජ ජීවිකාව බවට පත්ව තිබේ. තලතුනා පරිවාර ස්ත්‍රියකගේ උද්‍යෝගයෙන් රුසියාවට කවර සෙතක් ද? කිසිත් නැත. ධනවාදය කෙරෙහි ආත්මීය වෛරයෙන් රුසියානු නිශ්පාදකයාට කවර සෙතක් ද? එයිනුදු කිසිත් නැත. ඇනා පැව්ලොව්නාගේ උද්‍යෝගය, යටත් පිරිසෙයින්, හානිකර නැත. ධනවාදයේ මනෝරාජික සතුරන් සැබවින් ම ඔප්පු කොට පෙන්වනුයේ තමන් ඉතා ම රලු, නිර්ලජ්ජිත හා හානිකර රූපාකාරයෙන් ධනවාදයට හවුල් වන බවකි යි කීම ලජ්ජාවට කරුනක් වුව ඒ බැව් සැඟවීම පාපයකි” (The Development of Monist View of History, 1895).

ප්ලෙහානොව් තවදුරටත් සඳහන් කරනවා, සියලූ බලලුන් අලු පැහැයෙන් දිස්වන ගනඳුරක් පතිත වෙන කොට මේ ආත්මීයවාදියො ප්‍රතිගාමී රාජාන්ඩුව වටා රැලි වීමට නොපැකිලෙන බව. පහුගිය කාලෙ ලංකාව ඇතුලෙ සිද්ධ වුනෙත් ඒක ම නෙවෙයි ද?

සහෝදරවරුනි, පියසීලි විජේගුනසිංහ නැවත කියවමු: “නිර්ධන පන්ති විප්ලවය සම්බන්ධයෙන් කිසියම් සටන් පාඨයක් නැතිනම් උද්ඝෝෂන පාඨයක් අර්ථවත් වනුයේ නිරවද්‍ය දේශපාලනික ප්‍රවනතාව නියෝජනය කරන්නේ නම් පමනි. ප්‍රවනතාත්මක නිර්මානයක්, කලාත්මක ශක්තියෙන් තොර වන්නේ නම් හෝ හීන වන්නේ නම් හෝ ප්‍රවනතාත්මක කලාකරුවාගේ අරමුන ම බිඳ වැටෙන්නේ ය. ප්‍රවනතාත්මක කලාකරුවාගේ අරමුන, දේශපාලනය, කලාවට ආවේනික ශක්තීන් උපයෝගී කරගෙන, දේශපාලන වේදිකාවෙන් ඉදිරිපත් කෙරෙනවාට වඩා ආකර්ෂනීයව සිත් කා වදින අයුරින් ඉදිරිපත් කිරීම වන හෙයිනි” (නූතන සිංහල සාහිත්‍ය විචාරය: මාක්ස්වාදී අධ්‍යයනයක්, 1987). මේ කාරනාව ඔප්පු කර පෙන්වන නිදසුනක් - ධනේශ්වර අධ්‍යාපනය ම වස්තු කර ගත් බර්ටෝල්ට් බ්‍රෙශ්ට්ගෙ කවියක් සංසන්දනාත්මකව රස විඳිමු:

පාසල් සමය එලැඹෙන
හැම දුරුත්තක දි ම
ගැහැනුන් ඇවිත් නගරෙට
පොත්හල් පීරමින
මිල දී ගනිත් යමරෙට
පෙල පොත් - ඇබෑසි පොත්
තම දරුවනට.
වැය කරත්
අන්තිම සතයත්
කඩමාලූ අත්බෑග දිගහැර
මැසිවිලි නගත්
දැනුම බෝ මිලැ’යි
නොහැ‍ඟේ ද ඔවුනට
නිර්දේශිත පොතපත
අවැඩ දැයි කොතරම්
දූ පුතුනට?

(හැම දුරුතු මහක දී, මගේ පරිවර්තනය)


ප්‍රවනතාමය කලාවෙ නියැලෙන්ට සියලු සුදුසුකම් තිබුනු ලැමාර්ටින් ඔහු ම පමනක් දන්න හේතුවක් මත ඒ අඩවියට පය තැබුවෙ නැහැ. මිය යන තෙක් ම, ඔහු රොමැන්තික්වාදයෙ ඇලීගැලී හිටිය. ඒක ඔහුගෙ කැමැත්ත. ඒ වගෙ ම, අමතක කරන්ට එපා, ඔහු නිර්ධන පන්තියෙ හතුරෙක්; සමාජවාදයෙ හතුරෙක්. ප්‍රංශ විදේශ අමාත්‍ය ධුරය හොබවපු කාලෙ සංක්‍රමනික කම්කරුවන් රටින් පිටමං කරන්ට ඔහු නොගත් තැතක් නෑ. එහෙම වුනා වුනත්, ප්‍රවනතාමය කලාවෙ නාමයෙන් එලිදැකපු, දැනුත් එලි දකින පපඩම් ”රතු කවි” සියල්ල ලැමාර්ටින්ගෙ විප්‍රලම්භ ප්‍රේමය තේමා කර ගත් ශෝක කාව්‍යය The Lake (නිසල විල) සමඟ ඡන්දයකට ගියොත් මම ලැමාර්ටින්ට මගෙ දෑත ම ඔසොවනවා!

මංජුල වෙඩිවර්ධනගෙ මාතෘකාවක් නැති මාතෘභූමිය අප අතට පත් වෙන්නෙ මෙවන් පසුබිමක. ප්‍රතිභාපූර්න කවිත්වයක රුවගුන මේ කෘතිය තුල අපට හමුවෙනවා. මංජුල තමන්ගෙ පූර්ව කෘති තුලිනුත් අපූරු ප්‍රතිභාවක් පෙන්නුම් කෙරුවා:

ඇසල සඳ පිපුණේ
අධිකරණ කඳු මුදුනේ
ටෙක්නිකල් මංසල
අන්ධකාරෙනි පිරුණේ

විනයක් නොමැති වාහන
ඉඳ හිට යනෙන රෑ කල
බන්කර් සොහොනෙ තනි වුණ
රණවිරුවනේ පාළු ද?

නිවී සැනහෙන සිහිනෙක
වෙලී පවනේ පා වෙන
ලන්තෑරුමේ රාගය
පෙනේ ඈතින් ඈතට

හදවත තෙමී නැහැවෙන
සල්ලාල සීතම
නිලැඳුම් ඉරා දා ගෙන
අවදි කෙරුවෙ ද ආයුධ?

බංකර් සොහොන පා මුල
කළුගල් පවුරු යහනත
ගලන උණුහුම් ලේ මත
රැඳුණෙ ය සුනඛ කේසර

කිසිවෙක් නෑඳුනුව
හැඳුනුම්පතින වෑහුණ
කඳුළින් දෑත් සේදුව
රණවිරුවනේ ප්‍රීති ද?’

(ටෙක්නිකල් මංසලේ මුරපොළේ දී ය, පිළිහුඩුවී, 2002)


වර්ගෝත්තමවාදයෙන් හා මිලිටරි බලයෙන් මෙහෙයවුනු ස්ත්‍රී දූශනය ගැන කියැවෙන මෙතරම් ප්‍රබල වෙනත් කවියක් මෙතෙක් මගෙ ඇහැ ගැටිල නෑ.

මාතෘකාවක් නැති මාතෘභූමියෙ වස්තු විශය ජාතික ප්‍රශ්නය යි. තනිකර ම මේ තේමාව පදනම් කර ගත් ප්‍රථම හා එක ම සිංහල කවි එකතුව, සමහරවිට මේ පොත වෙන්ට ඕන. මෙහි එන රචනා සියල්ල වෙන් වෙන් වසයෙන් සලකා බලන්ට කාලය මට ඉඩ දෙන්නෙ නෑ. ඒත්, එක් දෙයක් පැහැදිලිව කියන්ට පුලුවන්. යුද්ධයෙන් පරිපීඩිත ජනතාවගෙ සැබෑ හද ගැස්ම හඳුනා ගන්ට කවියා දරා ඇති වෑයම ප්‍රශංසනීය යි. ඉතා ම කර්කශ, වේදනාබර, අනුවේදනීය අත්දැකීම් කාව්‍යමය ලෙස ප්‍රතිනිර්මානය කරන්ට කවියා භාවිත කොට තිබෙන රූපක හා ධ්වනිතාර්ථවත් බස් වහර ඉහලින් කැපී පේනව:

‘ජීවිතය ඉල්ලන දෙනෙතකින්
ගිනිකූරු ඉල්ලන මිනිසෙක් ද මම?
මහ මිනිස් ගිනි මැලයකින්
සුරුට්ටු පත්තු කළ පරපුරක’
(දැන් ඉතින් අමාවක අවුරුද්ද)

‘උදෑසන සයනෙන් මිදෙන්නට
ඉරට දැන්විය යුතු ද?’

(විසිරුණු කවියක එකමිතිය)


‘මිතුරනි පැරණි’, ‘සපත්තුව’, ‘බයිසිකල් කතාවක්’, ‘සාන්තන් නම් වූ බුබුළු දල්වන්නා’, ‘සිවා’, ‘කනයා’ යනාදිය සිත් කා වදින නිර්මාන:

‘........
”බොන්න යං
කෙළොම්බු රෙස්ට් එකේ”
අඩ අඳුරු මුල්ලක
මූඩියක් කැරකෙයි

”තල්
අවංක අරක්කු”...

”ඒත් බං
මං ආස ගල්”...

”කොහෙද යන්නෙ?”
දඩාවතේ යන බල්ලෙක්
පෝක් අත ලෙවකයි...

”බීල ද?”
එවර බල්ලා
බර බූට් අඩි අතර

”මේ ඇයි ද?
බොන්න ඕනැත් අහල ද?”...

ඒ කොහොම වුණත් උඹ
පරිස්සම් වෙයන් බං සාමි...
සයිකලය වටේටම ආමි’

(බයිසිකල් කතාවක්)


දෙමල සිවිල් වැසියා මුහුන දීපු, දැනුත් මුහුන දෙන ගොරතර යථාර්ථය නෙවෙයි ද ඒ? ‘අවසාන කවිය’ වඩාත් පරිසමාප්ත බව යි මගේ වැටහීම:

එන්න බෝඩර් පැනගෙන
දළදා වඳින්නට

මැදින් පුරහඳ මැදින්
සිහ ධජය ළෙල දෙයි
සඳින් වුව සැළෙන්නේ රැස් නොවේ කෙසරයි.
හදින් හද සෙත් පිරිත් නිනද වෙයි.

එන්න බෝඩර් පැනගෙන දකුණට
‘ඒ නයින්’ මග විවරයි.

මිනිස් පළිහෙන් මෑත් වුණු මිනිසුනි
දුටුවා ද මුලතිව් වනයෙන් එතෙර පෙන්වන
සඳ කෙසර එළියේ
සඳ වුවත් දෙපලූ කළ හැකි
සඳේ ළෙල දෙන අසිපත

වනය පීරා එන විට
අතේ පොඩි වෙන නියඟලා මල
අතින් පිසහැර ලන්න
පයේ හැපෙනා නියඟලා අල
අතින් අරගෙන එන්න...

බුදුන් මුව වූ දන්ත ධාතුව
ඔබට සරණයි
සඳේ ළෙල දෙන සිංහ දත් පෙළ
සිතට නිවනයි.


යුද්ධයෙන් විජයග්‍රහනය කරපු සිංහල-බෞද්ධ වර්ගවාදය චන්ද්‍ර මන්ඩලය පවා දිග්විජය කොට ඇති සෙයක් කවියාට හැ‍ඟෙනවා. අත් බෝම්බ හා බිම් බෝම්බ තුල සැඟවුනු මාරයා හඟවන ‘නියඟලා’ නමැති රූපකය සමස්ත කවියට ම අලෝකයක්. දලදා වැඳීම කෙසේ වෙතත් බෝඩර් පැනීම ලේසිපාසු වැඩක් නොවෙන බව යි ඉන් කියැවුනේ. යුද්ධයෙන් ජය ගත්තට පස්සෙ කොලඹ ආන්ඩුව දෙමල ජනවර්ගය මත සිය බලාත්කාරය පතුරුවාගෙන ඉන්න හැටි කවියා දකිනවා. ‘දැන් ඉතින් සිංහල-බෞද්ධ ආධිපත්‍යය පිලිගෙන ඊට අවනතව ජීවත් වනවා හැර නැත අන් සරනා!’ යන ආන්ඩුවේ වක්‍රාකාර තරවටුව උත්ප්‍රාසාත්මකව යොදා ගනිමින් ඔහු කවිය හමාර කරනවා.

එහෙම වුනත්, උතුරු-නැගෙනහිර ඩැහැගෙන එහි තමන්ගෙ ම ධනපති රාජ්‍යයක් අටවා ගැනීමේ අරමුනින් සටන් වැදුනු දෙමල විමුක්ති කොටි සංවිධානයෙ (එල්.ටී.ටී.ඊ) බංකොලොත් දෘශ්ටිවාදය ඇතැම් කවියකින් ප්‍රකට වන සෙයක් පෙනී යනව. මේක භයානක යි:

‘බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්
දස දහස් ගණනෙකි ය

බැඳ දැමූවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි ය’

(මාතෘකාවක් නැති මාතෘ භූමිය)


මේ කියන්නෙ එල්.ටී.ටී.ඊ සාමාජිකත්වය ගැන ද? කවියා තම පරිකල්පනරූප ඇති තරම් සංයුක්තව ඉදිරිපත් නොකිරීම නිස යි එම සැකය උපදින්නෙ. අනෙක් දෝශය තමයි, වර්ගය හා පන්තිය එකිනෙකින් වෙන් කර නොගැනීම. කොටි සංවිධානය නියෝජනය කෙරුවෙ දෙමල ජනතාවගෙ ඓතිහාසික අවශ්‍යතාව නෙවෙයි, දෙමල ධනේශ්වරයෙ වුවමනාව: අඩු තරමින්, දෙමල ශ්‍රමය සූරාකෑමේ අයිතියවත් තමන්ට හිමි වෙන්ට ඕන ය කියන පදනම උඩ. එසේ ම, කොලඹ ආන්ඩුව නියෝජනය කරන්නෙ සිංහල ධනේශ්වරයෙ වුවමනාව මිස සමස්ත සිංහලයන්ගෙ සිතුම්පැතුම් නෙවෙයි. මංජුල මුල් කාලෙ ලියූ කවි පදයක පවා මේ දෝශය හමුවෙනව:

‘මා ඉදිරියෙහි හිස් ම හිස් කඩදාසියකි
එ මත ලේ පැල්ලමකි
එය කවියකි
ඒත් එය දෙමළෙනි
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි’

(මම ලිඟුමාල වෙමි, පිළිහුඩුවී, 2002)


මේ පදය ලියැවී තියෙන්නෙ ඇරිස්ටෝටලියානු රූපික තර්කනයට අනුව. කවියා මෙහි දී, හුදෙක් සිංහලයෙකු වීම නිසා ම, තමා මත් වර්ගෝත්තමවාදියෙකුගෙ තැනට පිරිහෙලා ගන්නව: 'දෙමලාගේ තතු සිහලාට නොවැටහේ - වෙඩිවර්ධන සිහලෙකි - එහෙයින් ඔහුට ද දෙමලාගේ තතු නොවැටහේ!' ඇත්ත වසයෙන් ම, මෙය පන්තිය පිලිබඳ කාරනාවක් මිසක් වර්ගය පිලිබඳ කාරනාවක් නෙවෙයි. දෙමලුන්ගෙ දුක්ඛ දෝමනස්සය සිහලුන්ට නොතේරනව ම නෙවෙයි. පාලක සිංහල-බෞද්ධ ධනේශ්වරය එය ඔවුන්ට නොතේරෙන තැනට වැඩ සලස්වා තිබෙනවා. පාලකයො ජාතික සමගිය ගැන මතුපිටින් මොනව කිව්වත් ඒ අය ඇත්තට ම ඒකට බය යි. එම කඩතුරාව ඉවත් කිරීම හෙවත් ව්‍යාජ විඥානය දෙපලු කිරීමෙ අභියෝගය නූතන ප්‍රවනතාමය කවියා ඉදිරියෙ තියෙනවා.

‘නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැගෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුධ ඇඳුම’

(මාතෘකාවක් නැති මාතෘ භූමිය)


යම් විදිහකින්, කවියාගෙ අවසාන පැතුම එල්.ටී.ටී.ඊයෙ අවසන් ප්‍රාර්ථනාව සමඟ සමපාත වෙයි නම්, එවිට, එම ප්‍රතිගාමී දෘශ්ටිවාදය විසින් විප්ලවීය ප්‍රවනතාමය කලාවක් පිලිබඳ කවියාගෙ සුන්දර අපේක්ශා සුන් කරනු ලබනවා. සත්තකින් ම, 'මාතෘකාවක් නැති මාතෘභූමියෙ' නියම මාතෘකාව බවට පත් විය යුත්තෙ - මම අදහස් කරන්නෙ පොතේ නම නෙවෙයි, රටේ නම - ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් හැටියට පිහිටුවනු ලැබෙන, ශ්‍රී ලංකා - ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් යන්න යි. ජාතික ප්‍රශ්නයට හැබෑ විසඳුම ඒකයි.

මුහුදු යාත්‍රිකයා තමන්ගෙ දිශාව බලා ගන්ට මාලිමා යන්ත්‍රයක් භාවිත කරනවා. බැරි වෙලාවත් නැවියාගෙ මාලිමාවෙ දොසක් තිබුනොත් කටුව කැරකෙන්නෙ වැරදි දිශාවකට. ප්‍රවනතාමය කලාකරුවාට මඟ පෙන්වන මාලිමාව ඔහුගෙ දේශපාලන දෘශ්ටිය. එය දෝශ රහිතව තිබෙන තාක් ඔහුගෙ කලාව බැදිවල රිංගන්නෙ නෑ. තමන්ගෙ අනාගත නිර්මානවල දි මේ ගැන වෙසෙසා සැලකිලිමත් වෙන්නැයි මංජුල වෙඩිවර්ධනගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ලෝක පරිමානව, ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින සංස්කෘතියක් සහිත සමාජයක යි අපට වාසය කරන්ට සිද්ධ වෙලා තියෙන්නෙ. ජරාජීර්න ධනේශ්වර පර්යායට කොයි ලෙසකින් වත් මානව ප්‍රගතිය සලසා දෙන්ට හැකියාවක් නැති බව සනාථ වෙලා තියෙනව. කොටින් කීවොත්, ස්තාලින්වාදී විකෘත කිරීම්වල හා පවාදීම්වල ප්‍රතිඵලයක් ලෙස, සමාජවාදී සංස්කෘතිය මත් පරිහානියට පත් වෙලා තියෙනව. එය පුනර්ජීවනය කිරීම කලාවට විතරක් කල හැකි කාරියක් නෙවෙයි. ඒ සඳහා නිවැරදි දේශපාලන වැඩපිලිවෙලක් උවමනා වෙනවා. කලාව සැලකුවොත්, ප්‍රවනතාමය කලාකරුවාට තවදුරටත් එබඳු වැඩපිලිවෙලක ආලෝකයෙන් තොරව තම නිර්මාන බිහි කරන්ට නොහැකි කාල පරිච්ඡේදයකට අප අවතීර්න වී සිටින බව යි මෙතෙක් ගෙනහැර පෑ නිදසුන්වලින් පෙනී යන්නෙ.

අපි ජීවත්වෙන්නෙ යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ යුගයක යයි ලෙනින් ගුනාංගීකරනය කෙරුව. පහුගිය සියවසේ ශ්‍රේශ්ඨ කලාකරුවන් දෙපලක් වූ දියේගො රිවේරා සහ ආන්ද්‍රෙ බ්‍රෙතොන් අවධාරනය කල විදිහට, අපේ යුගයෙ ප්‍රවනතාමය කලාකරුවාගෙ යුතුකම හා වගකීම තමයි විප්ලවය සූදානම් කරන්ට උර දීම. විශේශයෙන් ම, ටියුනිසියානු හා ඊජිප්තු විප්ලව ආස්වාදජනක ලෙස පිපිරී තිබෙන වකවානුවක මේ ප්‍රකාශයෙ අර්ථභාරය කෙනෙකුට මැනවින් වැටහෙනව ඇති. මේ මොහොත උදා වෙන තුරු නේද ප්‍රවනතාමය කලාකරුවා ඇඟිලි ගනිමින් උන්නෙ? මේ විප්ලව පිපිරෙන්නෙ ලෝක විප්ලවයෙ නව වටයක බීජාංකුර හැටියට. යම් විදිහකින්, කම්කරු පන්තිය 1918 ජර්මානු විප්ලවය, 1926 බ්‍රිතාන්‍ය විප්ලවය, 1927 චීන විප්ලවය සහ 1936 ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ජය ගත්ත නම් තතු කොහොම විය හැකිව තිබුන ද? නමුත්, විප්ලවවාදී පක්ශය ගොඩනැගී නොතිබුනු තතු යටතෙ ජර්මානු විප්ලවය කෲර ලෙස මර්දනය කරනු ලැබුවා. ඊලඟට, ස්තාලින්වාදී පාවාදීම්වල ප්‍රතිඵලය ලෙස ඉතිහාසය හැරුනෙ වෙනත් අතකට. ලංකාව සැලකුවොත්, ස්තාලින්වාදය සමඟ සම්මුති ගැහුව පැබ්ලෝවාදී සමසමාජ පක්ශය 1953 හර්තාලය හුදු සංකේත වර්ජනයකට සීමා කෙරුව. මේ සියලු අරගල ජයග්‍රහනය කලා නම් අපි අද මෙතැන සාකච්ඡා කරන්නෙ මීට වඩා සුන්දර මාතෘකාවක් වෙන්න ඉඩ තිබුනා.

නව යුගයෙ නව ක්‍රියාමාර්ග සඳහා නව ඇඳුම් ආයිත්තම් අවශ්‍ය යයි හෙයින්රිච් හයිනෙ කවියා ප්‍රකාශ කෙරුවා. හයිනෙ ජීවත් වුනේ මාක්ස්වාදය එහෙමට විකෘත නොකෙරුන අවධියක. අපි ජීවත් වෙන්නෙ ඔහුගෙ යුගයට වඩා බෙහෙවින් සංකීර්න, ව්‍යාකූලතා බහුල අවධියක. අපේ යුගය කම්කරු පන්තියෙ නායකත්වය පිලිබඳ අර්බුදයකින් සංලක්ශිතව ඇතැ යි ට්‍රොට්ස්කි ප්‍රකාශ කෙරුවා. අද වෙන කොට එය ඉදිරි දර්ශන පිලිබඳ අර්බුදයක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ හින්දා, අපේ යුගයෙ ප්‍රවනතාමය කලාකරුවන්ට නව වස්ත්‍රාභරන විතරක් නෙවෙයි නව ඉදිරි දර්ශනත් වුවමනා වෙනව. වාසනාවකට, බොල්ශෙවික්වාදයෙ එක ම සැබෑ උරුමක්කරු වන විප්ලවවාදී ලෝක පක්ශය හෙවත් ජාත්‍යන්තර කමිටුව මෙහෙයවන හතර වන ජාත්‍යන්තරයෙන් එම ඉදිරි දර්ශන සම්පාදනය කෙරෙනවා. එනිසා, දැන් කල යුතුව තිබෙන්නෙ ප්‍රවනතාමය කවීන් එම ඉදිරි දර්ශනවලින් සන්නද්ධව, වඩා සංයුක්තව, නිරාකූලව, සුවිශදව, සියල්ලට මත් වඩා සුන්දරතර ලෙස යථාර්ථ ඥානනයෙ නිරත වෙමින් උත්කෘශ්ට විප්ලවවාදී කලාවක් කරා පිය නැගීම යි.

මෙය කිසිසේත් අන කිරීමක් හෝ බල කිරීමක් නෙවෙයි, නූතන ප්‍රවනතාමය කවියාට තමන්ගෙ දිශානතිය සලකුනු කර ගන්ට සැපයෙන අත්වැලක් විතර යි.

ස්තුතියි!

-දර්ශන මේදිස්

(උපුටනයන්හි දී හැර, අක්ශර වින්‍යාසය දේශකයාගේ අභිමතය පරිදි බැව් සලකන්න.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Speech by Darshana Medis, Manjula Wediwardena, Demala Kavi, Mathrukawak Nethi Mathrubhoomiya- 2011 January
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Darshana Medis මෙහෙම කියනවා :
Rohan / Lakshan wetha,
Me dinawala wenath shasthriya katayuththaka yedi sitimi. thawada, patakayange wenath adahas athnam ewada idiripath wu pasuwa pilithuru sampadanaya karami.


කිවුව වෙලාව- 2011-09-06 23:32:00
රොහාන් මෙහෙම කියනවා :
ලක්ෂාන් ට මේදිස් සහෝදරයාගේ උත්තරය මොකක්ද දන්නෙ නැහැ

කිවුව වෙලාව- 2011-09-06 12:07:36
nandun66 මෙහෙම කියනවා :
Comrade N.Weli. & A.C.H ,
GREAT !!


කිවුව වෙලාව- 2011-08-31 00:42:05
ඩබ්ලිව්. ඩයස් මෙහෙම කියනවා :
දර්ශන මේදිස් සහෝදරයාගේ ස්ථාවරය දෙමළ අරගලයේ අරමුණ වන වෙනම ශ්‍රම වැයික්කියක් හදාගැනීමට විරුද්ධව වන බැවින් අනුව ඔහුගේ විප්ලවවාදී පක්ෂය නොනවතින විප්ලවය ආරම්භ කරන තෙක් දෙමළ ජනයාට සිංහල ධනපති පන්තියේ ශ්‍රම වැයික්කිය තුළ මිනිස් ගෞරවය පවා අහිමි වහලුන් ලෙස සිටීමට සිදුවනු ඇත. මේදිස් විසින් පතුරු ගහන ජවිපෙයේ ස්ථාවරයද මෙයයි. එනම් ජවිපෙ විසින් සමාජවාදී විප්ලවය ජයගන්නා තෙක් දෙමළ ජනයා ජාතික පීඩනය විඳ දරාගත යුතුය.
ජවිපෙට අනුව කොටි සංවිධානය දෙමළ ධනපති පන්තියේත් අධිරාජ්‍යවාදයේත් උවමනාව මත රට කැඩීමට බිහි වු කුමන්ත්‍රනකාරී සංවිධානයකි. එයට දෙමළ ජනයාගේ පදනමක් නැති අතර දෙමළ ජනයාගේ ඉල්ලීම්ද නියෝජනය නොකරයි. අයිසිං ඉවත් කළ විට මේදිස්ගේ ස්ථාවරයද එයම වේ. දර්ශන පවසන පරිද කොටි සංවිධානය දෙමළ ජනාගේ ඉල්ලීම් නියෝජනය නොකළේ නම් ඔවුන් විසින් සිය ප්‍රදේශ තුළ දෙමළ ජනයා තබාගෙන ඇත්තේ බලහත්කාරයෙන් විය යුතුය. එසේ නම් දර්ශනගේ ස්ථාවරය ජවිපෙ ස්ථාවරය සමග පමණක් නොව “ දෙමළ ජනයාකොටින්ගේ යකඩ සපත්තුවෙන් බේරා ගැනීමට මානුෂික මෙහෙයුම දියත්කළ” රාජපක්ෂ පාලනයේ ස්ථාවරයද සමග සම්පාත වේ

@Lakshan


කිවුව වෙලාව- 2011-08-29 19:23:02
ලක්ෂාන් මෙහෙම කියනවා :
මවිසින් ඔබ වෙත යොමු කරන ලද ප්‍රශ්න කීපය වෙත ඔබගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතිය පළ කරමි. එකී ප්‍රශ්න සඳහා කෙටියෙන් පිළිතුරු ලිවීමට නොහැකි ය යන්න මම ද පිලිගනිමි. එහෙත් ඔබගේ දේශනයේදී ඔබ නිර්මාණකරුවන් නිවැරදි දේශපාලන දෘෂ්ටියක් ස්ථාන ගත විය යුතුය යන්න අවධාරණය කරන හෙයින් ඔබ විසින් නිවැරදි යයි යනුවෙන් අදහස් කරන දේශපාලන ස්ථාවරය කුමක් ද යන්න වඩාත් නිරවුල් කර ගැනීම පිණිසය මා විසින් ඔබ වෙත ඉහත ප්‍රශන කීපය යොමු කරන ලද්දේ. එහෙයින් එම ඇතැම් ප්‍රශ්න සදහා විජේ ඩයස් සහෝදරයාගේ පොත කියවන ලෙස නිර්දේශ කිරීම වෙනුවට මෙහි දීම යම් පැහැදිලි කිරීමක් කිරීමට ඔබ මදක් සාධාරණ වූයේ නම් වඩාත් අගය කරමි.
ජවිපෙය සහ LTTEසංවිධානයේ මූලික පන්ති පදනම සුළු ධනේෂ්වර සමාජ ස්ථරයන්ගෙන් සමන්විත වන්නේය යන්න මාගේ අදහසයි. එහෙත් ඉහත සංවිධාන දෙකටම කම්කරු පන්තිය ලෙස මාක්ස්වාදී අර්ථකතනය තුළ හඳුනාගන්නා සමාජ ස්ථරයන්ගේ ද යම් ප්‍රතිශතයක පදනමක් ඇති බවට ඇති දත්ත ප්‍රතික්ෂේප කිරීමට මා ඉක්මන් වන්නේ නැත. එහෙත් සිංහල සහ දෙමළ සමාජයන් දෙක වෙන වෙනම සැළකිල්ලට ගත්තද ලංකාවේ දේශ ව්‍යාප්තව පැතිරුණු එකම පන්තිය සුළු ධනේෂ්වරය යන්නත් පසුගාමී ධනේෂ්වර සංවර්ධනයේම විපාකයක් ලෙස පුළුල් සහ දීප ව්‍යාප්ත කම්කරු පන්තියක් ලංකාවේ නොමැති බවත් අපට පිලිගැනීමට සිදු වේ. කඳුකරයේ වැවිලි කම්කරුවන් ඔවුන් ලංකාව තුළ පැවැත්මට ඒමේ ඉතිහාසයේ සිටම සහ නිෂ්පාදන රටාවේ ස්වභාවය අනුවම සංවිධිත බලවේගයක් වුවද අප ගේ සංවාදයට බදුන් වී ඇති සංවිධාන දෙකෙහිම එකී කම්කරු පන්තිය කෙරෙහි ඇති බලපෑම අවම බැවින් මෙහිලා ඒ ගැන සඳහන් නොකරමි.
ජවිපෙයෙහි සහ LTTE හි පන්ති පදනම් ගැන සඳහන් කිරීමේ දී මා ඒවාට ඇති කම්කරු පන්ති පදනමේ සුළු ප්‍රතිශතය ගැන සඳහන් කිරීමෙන් වැළකු‍ණේ සමස්තයක් ලෙස ගත් කළ ඒවායේ පන්ති පදනම සුළු ධනේෂ්වර පන්තිය වන නිසාත් මට මතුකළ යුතුවූ මූලික ගැටළුව වූයේ ඔබගේ දේශනයේ දී ඔබ LTTE ධනපති සංවිධානයක් ලෙස නිගමනය කිරීමට අදාළවත් වූ නිසාය.
පීඩිත ජාතියට අයත් ධනපති පන්තියට ද මහජාතියේ පීඩනය බලපාන බව ඔබ ද පිළිගනියි. ලංකාවේ ජාතික ගැටළුවට අදාළව දෙමළ ජාතියේ "ධනපති පන්තිය "වෙත සිංහල ස්වෝත්තමවාදී ධනපති පන්තියෙන් එල්ල වන පීඩනයේ ආකාරය කුමක්දැයි සිංහල සහ දෙමළ සමාජයන්හි ඓතිහාසික සංවර්ධනයේ විකාශනය තුළ තබා තේරුම් ගැනීම වැදගත්ය.
දෙමළ ධනපති පන්තිය පිළිබද භීතිකාව.
බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාව නිදහස ලබන විට ලංකාවේ ප්‍රධාන නිෂ්පාදනයන් වූයේ තේ පොල් සහ රබර් වගාවන්ය. මෙම වතුවගාවන්හි අයිතිය හිමි වූ බ්‍රිතාන්‍ය සමාගම්වලට අමතරව ස්වදේශිකයන් විශාල ප්‍රමාණයක්ද ඒවායේ හිමිකාරිත්වය ලබා සිටියේ බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් නික්මයාමටද පෙර සිටමය. මෙම වතුකාර ස්වදේශික ධනපති පන්තිය අතරෙන් කවර ප්‍රතිශතයක් සිංහලයන් නියෝජනය කළේද කවර ප්‍රතිශතයක් දෙමළ ප්‍රජාව නියෝජනය කළේද යන්න ගැන සොයා බැලීම “ දෙමළ ධනපති පන්තියක්” පිළිබඳ භීතිකාව තුළ ස්වකීය මහජාතිකවාදී ස්ථාවරයන් සැගවීමට යත්න දරන සිංහල සමාජවාදීන්ට වැදගත්වනු ඇත. සැබැවින්ම ගත්කළ ලංකාවේ ප්‍රධාන නිෂ්පාදන මාර්ගයන් වූ වැවිලි වගාවට සම්බන්ධ ස්වදේශික ධනපති පන්තිය අතර සියයට එකකවත් නියෝජනයක් “ දෙමළ ධනපති පන්තියට” හිමිව තිබුණේ නැත. මාක්ස්වාදී නිර්වචනයන් අනුව ධනපති පන්තිය ලෙස විස්තර වනුයේ නිෂ්පාදන මාර්ගයන්ගේ හිමිකාරීත්වය දරනා පන්තියයි.
එහෙත් විසිවන සියවසේ ආරම්භයේ එහෙත් දෙමළ ප්‍රභූ පැළැන්තියක් ලෙස හදුනාගත හැකි ඉහළ සුළු ධනේශ්වරයක් ලාංකීය දෙමළ සමාජය තුළ පැවැත්මට එමින් තිබිණි. නීතිඥ, ගණාධිකාරී සහ වෛද්‍ය වැනි වෘත්තීන් ආශ්‍රීතව සේවා අංශයෙන්ද තොග වෙළදාම ආශ්‍රිතවද එය සිදුවිය. නැගී ආ මෙම දෙමළ සුළු ධනේශ්වර ප්‍රභූ පෙළැන්තිය “ධනපති පන්තියක්” බවට පත්වීමේ ඓතිහාසික සංවර්ධනය එක්තරා මොහොතකින් පසු ඇණ හිටියේය. ඒ වැවිලිකාර සිංහල ධනපති පන්තිය බ්‍රිතානීන් විසින් ගොඩනගන ලද රාජ්‍ය යන්ත්‍රයේ අනුප්‍රාප්තිකයා බවට පත් වීමත් සමගය.
තේ, පොල් සහ රබර් ආශ්‍රිත වැවිලි ආර්ථිකය ව්‍යාප්තව තිබුණේ සිංහල ප්‍රදේශවලය. එහෙයින් එම නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී වීමේ අවස්ථාවන් දෙමළ ප්‍රභූ පැළැන්තියට විවර නොවීය. සමාජ සචලතාව ලබාගැනීම සඳහා දෙමළ ප්‍රභූ පෙළැන්තියට තිබූ එකම මග වූයේ උසස් අධ්‍යාපනය ලබා රාජ්‍ය නිලධාරි පෙළැන්තියට ඇතුළු වීමත් සුළු හා මධ්‍යම පරිමාණයේ වෙළදාමත් පමණක් විය. මිෂනාරී පාසල් පද්ධතිය ඔවුනට ඒ සඳහා මහත් පිටුවහළක් විය. සිංහල ධනපති පන්තියට සාපේක්ෂව ආර්ථික ක්ෂේත්‍රයේදී ඔවුන් ලබා සිටි අවාසි සහගත තත්ත්වය යම් පමණකට හෝ දේශපාලන අරගලයේදී තුලනය වූයේ රාජ්‍ය සේවයේ සහ අධිකරණ ක්ෂේත්‍රයේදී දෙමළ ප්‍රභූ පෙළැන්තියේ බලපෑම ශක්තිමත් වීම නිසාය. ඉන්දීය ජාතික නිදහස් ව්‍යාපාරයේ ආභාෂය ලද යාපනය තරුණ කොංග්‍රසයේ ක්‍රියාකාරිත්වය විසින් ජාතික විමුක්තිය සහ ගරුත්වය පිළිබද හැගීම් දෙමල ජාතික විඥානය තුළ ගැඹුරින්ම දල්වනු ලැබූ අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය වෙනුවට සිංහල අධිපතිවාදය පීඩකයාගේ තැනට ආදේශවීමේ ප්‍රතිගාමී ක්‍රියාවලිය ආරම්භවීමෙන් පසුව දෙමළ ජාතික විමුක්තිකා‍මීන්ට සිදුවූයේ සිංහලයන්ගේ වර්ගවාදී ප්‍රතිපත්ති ස්වකීය අයිතීන් ආරක්ෂා කරගැනීමට යොමු වීමටය. බ්‍රිතාන්‍යයන් නික්ම යාමෙන් පසු රාජ්‍ය යන්ත්‍රය අත්පත් කරගත් සිංහල ධනපති පන්තිය සිංහල ස්වෝත්තමවාදී වැඩ පිළිවෙළ විසින් දෙමළ ප්‍රභූ පෙළැන්තිය බල රහිත කිරීමේ ක්‍රියාවලිය අරඹන විට එයට එරෙහි ශක්තිමත් ප්‍රතිවිරෝධයක් දැක්වීමට විද්වත් වෘත්තිකයන් විසින් නායකත්වය දෙන ලද දෙමල ප්‍රභූ පෙළැන්තියේ දේශපාලන පක්ෂවලට ආරම්භයේදී හැකියාවක් තිබිණි.
නිදහස ලැබීමට පෙර සිටම දෙමළ ජාතිය ජාතියක් ලෙස පැවැත්ම අහෝසි කර දැමීමට සිංහල ධනපති පන්තිය සැලැසුම් සහගතව කටයුතු කළ ආකාරය දැන් කිසිවෙකුටත් රහසක් නොවේ. රාජ්‍ය සේවය තුළ දෙමළ නිලධාරීන්ගේ බලය දුර්වල කිරීම සදහා පාර්ලිමේන්තුවේ සිංහල බහුතර නියෝජනය උපයෝගී කරගනිමින් විවිධ රැකියා උසස්වීම් සහ උසස් අධ්‍යාපනයේ සීමා කිරීම් සිදු කිරීමට අණ පනත් සම්මත කර ගැනීම එක් පියවරක් විය.
දෙමළ සහ වෙනත් සුළු ජාතීන් අත සැළකිය යුතු බලයක් තිබූ කොළඹ වෙළෙඳපොළ තුළ එම බලය අහෝසි කර දැමීමේ සටන් පාඨ මතුවූයේ අනගාරික ධර්මපාල යුගයේදීමය. 83 කළු ජූලියේදී දෙමළ ව්‍යාපාරික ස්ථාන විනාශ කර දැමීම එම සටන් පාඨ භාවිතයට නැගුනු ආකාරයට එක් නිදසුනකි. රාජ්‍ය මිලිටරිය විසින් මෙහෙයවන පැරා මිලිටරි කල්ලි විසින් දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම, ඔවුන්ගේ ව්‍යාපාර සහ දේපොළ විකුණා දැමීම සඳහා බල කරනු වස් දියත් කෙරී ඇති භීෂණය එය වර්තමානයේ ක්‍රියාවට නැංවෙන එක් ආකාරයකි.
රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වූ ජනපද කරණයේ ඉලක්කය වූයේ දෙමළ වාසභූමි වල අඛණ්ඩත්වය අහෝසි කර දැමීමේ ජාතිවාදී දේශපාලන සැලසුමකි. සංවර්ධනයේ නාමයෙන්සිදු වූ ඉඩම් කොල්ලයෙන් සිය වාසභූමි සහ ජීවිකාව අහිමි කරන ලද දෙමළ ගොවි ජනයා උතුරු නැගෙනහිර ඈතටම පලවා හරින ලදි.
ශක්තිමත් ධනපති පන්තියක් ලෙස දෙමළ ප්‍රභූ පෙළැන්තිය වර්ධනය වීම ස්වකීය අධිපතිවාදී අභිලාෂයන්ට තර්ජනයක් බව දුටු සිංහල ධනපති පන්තිය ඒ සඳහා වූ සියලු අවස්ථාවන් අහුරා දැමීමට රාජ්‍ය බලය යොදා ගත්හ. 80 දශකය ආරම්භ වන විටත් දෙමළ ප්‍රදේශවල සිංහල ප්‍රදේශ තරමට කාර්මික සංවර්ධනයක් සිදු වූයේ නැත. මේනිසාම උතුරු නැගෙනහිර ප්‍රදේශවල කෘෂි හා ධීවර ක්ෂේත්‍රවල කම්කරු දෛනික පදනම මත වැඩ කල කම්කරු ස්ථරයක් හැරෙන්නට සංවිධිත කම්කරු පන්තියක් බිහිවීම ද සිදු නොවීය. දෙමළ ජාතික විමුක්ති අරගලයේ පදනම් පන්තිය වශයෙන් සමස්තයක් වශයෙන් ගත් කළ ගොවි සහ ධීවර වැනි පීඩිත සමාජ පන්තීන්ගෙන් සැදුම් ලද සුළු ධනේෂ්වර පන්තිය බවට පත්වීම මේ අනුව අනිවාර්යයක් විය. 1970 දශකය අවසාන වන විට ප්‍රභූ පෙළැන්තියේ දේශපාලන පක්ෂවල නායකත්වයට දෙමළ ජාතික අරගලය මත වූ බලපෑමේ හැකියාව අවසන් වෙමින් තිබූ අතර එහි මෙහෙයුම් බලවේගය බවට සුළු ධනේෂ්වර පීඩිත පදනම්වලින් පැමිණි රැඩිකල් තරුණ කොටස් පත් විය. ඒ වටා එක් රොක්වී සිටි බහුජන පදනම වූයේද එකී පීඩිත සමාජ පන්තීන්මය. සිංහල ජාතිවාදී රාජ්‍යයේ ම්ලේච්ඡ මර්දනය විසින් සංහාරයකින් අවසාන කරන තෙක්ම ඔවුහු එම අරගලයේ පෙරටුගාමී බල ඇණිය විය. මේ සංහාරයට ලක්වූවන් අතර කවර ප්‍රතිශතයක් ධනේෂ්වර නිෂ්පාදන මාර්ගයන්ගේ හිමිකම දරන “ දෙමළ ධනපති පන්තිය” නියෝජනය වූවාදැයි මේදිස් සහෝදරයාට පෙන්වා දිය හැකිද?

ස්වයංතීරණ අයිතිය
සුළු ධනේෂ්වර පන්තියේ පහලතම පීඩිත සමාජ ස්ථරයන් අතරින් මතු වූ කොටි සංවිධානය ධනපති සංවිධානයක් බවට හංවඩු ගැසීමේ උවමනාව සසප සහෝදරවරුන් අතරින් පැන නැගෙනුයේ වෙනත් දේශපාලන උවමනාවක්ද ඉටු කරගනු සදහාය. ඒ ස්වයංතීරණය සදහා ජාතීන් සතු අයිතිය ප්‍රතික්ෂේප කිරීම‍ට ස්වකීය ජාත්‍යන්තරය ගත් ස්ථාවරයට අනුව යමින් ස්වයංතීරණය සදහා දෙමළ ජාතිය සතු අයිතිය ප්‍රතික්ෂේප කිරීමට සසපය ගත් අවස්ථාවාදී ස්ථාවරය සාධාරණීකරණය කිරීමට හේතුවක් සපයා ගැනීමටය.

පීඩිත ජාති‍යේ විමුක්ති අරගලයට ගැරහීමට පීඩක ජාතියේ අවස්ථාවාදී සමාජවාදීන් විසින් බොහෝ විට කටයුතු කර ඇති බවට ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසයම සාක්ෂියකි. ලංකාවේ සිංහල වාමාංශයේ ඉතිහාසයද එයින් වෙනස් නොවේ.
ජාතික ගැටළුව සම්බන්ධව හෝ පීඩිත ජාතින්ගේ ජාතික විමුක්ති ව්‍යාපාරයන් සම්බන්ධව බොල්ෂෙවික්වාදී ස්ථාවරය කිසිවිටෙකත් පීඩිත ජාතියේ ධනපතීන් විසින් වෙනම “ශ්‍රම වැයික්කියක් තනාගැනීම” පිළිබඳ භීතිකාව විසින් නිර්ණය වූයේ නැත.
ජාතික පීඩනය පවත්වාගෙන යනු ලබන රාජ්‍යයක් තුළ පීඩිත ජාතිය තුළත් පීඩක ජාතිය තුළත් අභ්‍යන්තර පන්ති ප්‍රතිවිරොධතාවන් යටපත් වේ. නැතහොත් එම ප්‍රතිවිරෝධතාවන් මුහුකුරා යාම ඇණහිටී. පීඩනය පවත්වාගෙන යාම සදහා පීඩක ජාතියට අයත් පීඩිත පන්තීන් සහ ධනපති පන්තිය අතර සම්මුතියක් දේශපාලන ආර්ථික සහ සමාජ හේතුන් මත ඇතිවන අතර පීඩනයට එරෙහිව එවැනිම සම්මුතියක් පීඩිත ජාතියේ ධනපති හෝ වෙනත් වරප්‍රසාදිත පන්ති ස්ථරයන් සහ පීඩිත පන්තීන් අතර ඇතිවේ.
ලංකාවේ ජාතික ප්‍රශ්නය තුළ සිංහල ධනපති පන්තියත් සිංහල පීඩිත පන්තීනුත් සම්මුතියක් නිර්මාණය වූයේ ජාතිවාදී පීඩනය පවත්වාගෙන යාම සඳහාය. (එක් අතකින් මහාවංශය මත පදනම් වූ ඉතිහාසය විසිනුත් අනෙක් අතින් දෙමළ වාසභූමි වල ඉඩම් කොල්ලය මගින් සිංහල සුළු ධනේශ්වරයේ දැවෙන ඉඩම් ප්‍රශ්නයට විසදුම් සෙවීමට කටයුතු කිරීම වැනි කාරණාත් මෙම සම්මුතිය නිර්මාණය වීමේදී වැදගත් වැඩ කොටසක් ඉටු කරන ලදි.) පීඩනයට එරෙහි අරගලයේදී දෙමළ ප්‍රභූ පැළැන්තිය සහ පීඩිත සුළු ධනේෂ්වර කොටස් අතරද සම්මුතියක් නිර්මාණය විය.
ස්වයං තීරණ අයිතිය යනු බාහිර ජාතියක පීඩාකාරී ආයතන සහ දෙශපාලන බලයෙන් මිදී තමන්ගේ ඉරණම නැතහොත් ඓතිහාසික සංවර්ධනයේ මාවත තීරණය කිරීමට ජාතියක් සතුවන ප්‍රජාතාන්ත්‍රිය අයිතියකි. ස්වයංතීරණ අයිතිය නොහොත් වෙන්ව යාමට ඇති අයිතිය වෙනම රාජ්‍යයක් ගොඩනැගීමට ඇති අයිතිය ලෙසින් හැර වෙනත් ආකාරයකින් අර්ථදැක්විය නොහැකි යැයි ලෙනින් විසින් පැහැදිලි පෙන්වා දී තිබේ.
මාක්ස්වාදීන් ස්වයංතීරන අයිතියට පක්ෂවනුයේ පළමුව, මූලධාර්මිකව එම ඉල්ලීම ප්‍රජාතාන්ත්‍රික වන බැවිනි. දෙවනුව එය උපක්‍රමිකව නිර්ධන පන්ති අරගලයේ අවශ්‍යතාවන්ට වැදගත්වන හෙයිනි. ස්වයං තීරණ අයිතිය සඳහා පීඩිත ජාතිය සතු අයිතිය පිලිගැනීමට සටන්වදින පීඩක මහ ජාතියේ පීඩිතයා සහ පීඩනය පවත්වාගෙන යන පීඩක මහජාතියේ ධනපතියා අතර සම්මුතිය එමගින් බිඳ වැටෙන නිසා මෙන්ම එමගින් පීඩක ජාතියේ පීඩිත පන්තීන් සහ පීඩිත ජාතියේ විමුක්තිකාමී පීඩිත ස්ථරයන් අතර පන්තිමය සන්ධානයක් ගොඩ නැංවෙන බැවිනි. අනෙක් වැදගත් දෙය පීඩිත ජාතිය වෙන්ව යාමෙන් පසුව ගොඩනංවනු ලබන රාජ්‍යය තුළ එහි අභ්‍යන්තර පන්ති ප්‍රතිවිරෝධතාවන් වර්ධනය වීමට නිදහස් අවකාශයක් ගොඩ නංවනු ලැබීමයි..
ජාතික විමුක්තිය විසින් ජාතියක් තුළ අභ්‍යන්තර පන්ති වීභේදන ක්‍රියාවලිය මුහුකුරා යාමට අවශ්‍ය මූලික කොන්දේසි සකස් කරයි. ධනපතියාගේ සිට නිර්ධන පන්තිකයා දක්වාම විවිධ පරිමාණයෙන් පීඩිත ජාතියේ සියළු පන්තීන් අඩම්තේට්ටම් ඝාතන සහ වෙනස් ලෙස සැළකීම්වලට බඳුන් වනවිට එකී අකටයුත්තට වගකිව යුතු ජාතියට අයත් සමාජවාදියා පීඩිත ජාතියේ ස්වයංතීරණ අයිතියද ප්‍රතික්ෂේප කරමින් මර්දනකාරී රාජ්‍ය යේ දේශසීමාව තුළම ඔවුන්ව තබා ගැනීමට වක්‍රව සහාය දෙන ගමන් පීඩිත ජාතියේ පීඩිත පන්තීන් අමතා ඔවුන්ගේ ධනපතියන්ට එරෙහිව සටන්වැදීමට ආයාචනා කිරීම මුළුමණින්ම වංචාවකි.
දෙමළ ජනතාව සිංහල අධිපතිවාදයෙන් නිදහස් වූ පසුව “ ඔවුන්ගේ ධනපතියන් වෙනම ශ්‍රම වැයික්කියක්” තනාගනු ඇතැයි යන භීතිය හේතුවෙන් දෙමළ ජනයාගේ ස්වයංතීරණ අයිතිය ප්‍රතික්‍ෂේප කරන සිංහල සමාජවාදීන් නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ගැන කුමක් දෙසා බෑවද රාජ්‍යයේ දේශ සීමා පිලිබද සුළු ධනපති සහ ධනපති කෑදරකමෙන් සහ භීතිකාවෙන් මිදීමට අසමත්ව ඇති බව පෙනෙයි.
දර්ශන මෙසේ පවසයි.
"මේ කියන්නෙ එල්.ටී.ටී.ඊ සාමාජිකත්වය ගැන ද? කවියා තම පරිකල්පනරූප ඇති තරම් සංයුක්තව ඉදිරිපත් නොකිරීම නිස යි එම සැකය උපදින්නෙ. අනෙක් දෝශය තමයි, වර්ගය හා පන්තිය එකිනෙකින් වෙන් කර නොගැනීම. කොටි සංවිධානය නියෝජනය කෙරුවෙ දෙමල ජනතාවගෙ ඓතිහාසික අවශ්‍යතාව නෙවෙයි, දෙමල ධනේශ්වරයෙ වුවමනාව: අඩු තරමින්, දෙමල ශ්‍රමය සූරාකෑමේ අයිතියවත් තමන්ට හිමි වෙන්ට ඕන ය කියන පදනම උඩ. එසේ ම, කොලඹ ආන්ඩුව නියෝජනය කරන්නෙ සිංහල ධනේශ්වරයෙ වුවමනාව මිස සමස්ත සිංහලයන්ගෙ සිතුම්පැතුම් නෙවෙයි. මංජුල මුල් කාලෙ ලියූ කවි පදයක පවා මේ දෝශය හමුවෙනව:
“මේ පදය ලියැවී තියෙන්නෙ ඇරිස්ටෝටලියානු රූපික තර්කනයට අනුව. කවියා මෙහි දී, හුදෙක් සිංහලයෙකු වීම නිසා ම, තමා මත් වර්ගෝත්තමවාදියෙකුගෙ තැනට පිරිහෙලා ගන්නව: 'දෙමලාගේ තතු සිහලාට නොවැටහේ - වෙඩිවර්ධන සිහලෙකි - එහෙයින් ඔහුට ද දෙමලාගේ තතු නොවැටහේ!' ඇත්ත වසයෙන් ම, මෙය පන්තිය පිලිබඳ කාරනාවක් මිසක් වර්ගය පිලිබඳ කාරනාවක් නෙවෙයි. දෙමලුන්ගෙ දුක්ඛ දෝමනස්සය සිහලුන්ට නොතේරනව ම නෙවෙයි. පාලක සිංහල-බෞද්ධ ධනේශ්වරය එය ඔවුන්ට නොතේරෙන තැනට වැඩ සලස්වා තිබෙනවා. පාලකයො ජාතික සමගිය ගැන මතුපිටින් මොනව කිව්වත් ඒ අය ඇත්තට ම ඒකට බය යි. එම කඩතුරාව ඉවත් කිරීම හෙවත් ව්‍යාජ විඥානය දෙපලු කිරීමෙ අභියෝගය නූතන ප්‍රවනතාමය කවියා ඉදිරියෙ තියෙනවා.”

දර්ශන මතුකරන මේ අදහස් තුළ ඇඟවෙන්නේ දෙමළ ජන සංහාරය පිලිබද සමාජයක් ලෙස සිංහල සමාජයේ වගකිව නොයුතු බවද? එසේ පවසා ප්‍රගතිශීලින්ට දෑත් සෝදාගත හැකිද? සිංහල සමාජයේ බහුතරය ජාතිවාදී මර්දනය අනුමත කිරීම සහ විවිධ අකාරයෙන් සහාය දීම හේතුවෙන් මෙය සම්බන්ධව ‍‍ඓතිහාසිකව වරදකරුවන් වන අතර ජාතිවාදී මර්දනයට එරෙහිවූ නමුත් එය වළකාලීමට අසමත් වූ අතළොස්සක් වූ සිංහල සමාජවාදීන්ද සහ ප්‍රගතිශීලින්හටද මේ වගකීමෙන් නිදහස් විය නොහැකිය.
“පාලක සිංහල-බෞද්ධ ධනේශ්වරය එය ඔවුන්ට නොතේරෙන තැනට වැඩ සලස්වා තිබෙනවා.”.
පාලක සිංහල බෞද්ධ ධනේෂ්වරයට මෙලෙස වැඩ සළස්වන්නට හැකි වූයේ ඔවුනගේ ජාතිවාදී වැඩපිළිවෙළට එරෙහිව සිංහල ජනයා පෙළගැස්වීමට අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ සිංහල සමාජවාදීන්ට නොහැකි වූ නිසාය.
1956 භාෂා පනත ගෙන එනවිට එක භාෂාවක් නම් රටවල් දෙකක්! භාෂා දෙකක් නම් එක රටක්” යනුවෙන් කරන ලද සුප්‍රකට ප්‍රකාශයේ සිට මේ දක්වා එබඳු අනාවැකි කීයක් සිංහල සමාජවාදීන් විසින් කර ඇත්ද? එහෙත් මහා ජාතිවාදි ජනසංහාරය වළකාලීමට සිංහල සමාජවාදීන්ට නොහැකි විය. මේ පිලිබඳව කිසිදු වරදකාරී හැගීමක් නැතිව හුදෙක් පීඩිත ජාතියේ විමුක්ති අරගලයට අවමන් කිරීම නිර්ධන පන්ති ජාත්‍යයන්තරවාදය නොවේ.
“ අප අපගේ දෛනික ව්‍යවහාරයේදී පීඩිත සුළු ජාතින්ට විවිධ අයුරින් අවමන් හිරිහැර කිරීම සම්බන්ධයෙන් මහා රුසියානුවන් වන අප ඓතිහාසික ව්‍යවහාරයේදී නිතරම වරදකරුවන් වී ඇත්තෙමු" යැයි ලෙනින් ලියූවේ ඔහු හෝ බොල්ෂෙවික්වාදීන් විසින් පුද්ගලිකව සුළු ජාතීන්ට හිරිහැර කිරීමක් සිදු කළ නිසා නොවේ.
පීඩිත ජාතීන්ගේ ජාතික විමුක්ති ව්‍යාපාරයන්ට නිග්‍රහ කිරීම මගින් මහජාතියේ සමාජවාදීන් ඇදවැටෙන්නා වූ අවස්ථාවාදී මඩ වගුර ගැන තේරුම් ගැනීමට අයර්ලන්ත නැගිටීම ගැන ලෙනින් ගේ මෙම සටහන කියැවීම වැදගත්වනු වනු ඇත.

“..මැයි 09 1916 බර්නර් ටග්වෂ්ට් නමින් සිමර්වල්ඩ් සහ වෙනත් සමහර වාමාංශිකයන් විසින් පළ කරන ප්‍රකාශනයක “ ඔවුන්ගේ සිංදු හමාරය” යැයි සිරස්තලය යටතේ කේ. ආර් නමින් පලකරන ලද ලිපියක අයර්ලන්ත නැගිටීම තුළ කල්ලි කුමන්ත්‍රණයකට වැඩි යමක් නොවිණි යැයි විස්තර විය. ලිපියේ කතුවරයා තර්ක කරන අන්දමට “අයර්ලන්ත ප්‍රශ්ණය කෘෂිකාර්මික එකකි” ප්‍රතිසංස්කරණ මගින් ගොවියන් අස්වසන ලදි. ජාතික ව්‍යාපාරය ඉතුරු වී ඇත්තේ එහි අරමුණ සඳහා කිසිදු සමාජ පිටු බලයක් නැති අතිශයින් ප්‍රාදේශිය සහ සුළු ධනේෂ්වර ව්‍යාපාරයක් වශයෙනි.
බියජනක ලෙසින් ආධානග්‍රාහී සහ පණ්ඩිතමානි මෙම ලියැවිල්ල, අයර්ලන්ත නැගිටීම “ ඩබ්ලින් කුමන්ත්‍රණය” ලෙස නම් කළ රුසියානු ලිබරල්-ජාතිකවාදී ඒ. කුලීෂර් මහතාගේ නිරීක්ෂණයන් සමග සම්පාත වීම අප පුදුමයට පත් නොකරයි. (Rech[112] No. 102, April 15, 1916)
“රෝගී සුළග කිසිවෙකුට යහපතක් නොගෙනෙන්නේ” යැයි යන ආප්තය සපත කිරීමට මෙන්, ස්වයංතීරණ අයිතිය ප්‍රතික්ෂේප කරමින් කුඩා ජාතීන්ගේ ජාතික ව්‍යාපාරවලට අවඥා සහගතව සැළකීම මගින් තමන් ගිලෙමින් සිටින්නේ කවර නම් ගොහොරුවකදැයි නොදැන සිටි බොහෝ සහෝදරවරුන්ගේ ඇස් ඇරවීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ සහ අධිරාජ්‍යවාදී ධනපති නියෝජිතයෙකුගේ අදහස් වල මේ අහඹු සම්පාතවීම සමත්වනු ඇතැයි සිතමු.
කල්ලි කුමන්ත්‍රණය යන වචනය එහි විද්‍යාත්මක අර්ථයෙන් තේරුමක් දෙනු ඇත්තේ නැගී සිටීම කුමන්ත්‍රණකාරයන් කීප දෙනෙකුගේ කවයක් විසින් හෝ මුග්ධ උන්මත්තකයන් රැසක් විසින් කරන ලද්දැකැයි ද මහජනයාගේ සහායක් නොලද්දේ යැයිද හෙළිදරවු වූයේ නම් පමණි.
විවිධ ඓතිහාසික අවධීන් පසුකරමින්ද විවිධ පන්ති උවමනාවන් ගේ සංයුක්තයක් ලෙසද බහුජන සහභාගිත්වයෙන් අමෙරිකාවේ පැවැති අයිරිෂ් ජාතික කොංග්‍රසයේදී, අයර්ලන්තයේ නිදහස උදෙසා සම්මත කරගත් නිශ්චිත ප්‍රකාශනයකින් සමන්විත වන්නා වූද (Vorwärts, March 20, 1916) ගැමි සුළු ධනේශ්වරයේ ස්ථරයක විසින් මෙහෙයවන ලද වීදී සටන්වලින් ද කම්කරුවන්ගේ දිගුකාලීන විරෝධතා,පෙළපාලී වලින් ද සහ පුවත්පත් මර්දනය ආදී කරුණු වලින් පෙන්නුම් කරන්නා වූ ද සියවස් ගණනක් පැරණි අයර්ලන්ත ජාතික ව්‍යාපාරය විසින් සිදු කළ නැගිටීම “ කල්ලි කුමන්ත්‍රණයක්” ලෙස හඳුන්වනු ලබන්නා එක්කෝ දැඩි ප්‍රතිගාමියෙකි. නැත හොත් සමාජ විප්ලවයක් යනු ජීවමාන ප්‍රපංචයක් ලෙස පිළිගැනීමට අසමත් ආධානග්‍රාහියෙකි.

සමාජ විප්ලවයන් යුරෝපයේ සහ යටත්විජිතවල කුඩා ජාතීන් ගේ කැරළිගැසීම් සහ එහි සියලු අගතීන් පවතිද්දීම වුවද සුළු ධනේශ්වරයේ තීරුවක විප්ලවවාදී කඩාපැනීම්වලින් තොරව, දේශපාලන වශයෙන් අවිඥාණික නිර්ධනීන් අර්ධ නිර්ධනීන්ගේ විසින් ඉඩම්හිමියන්ට පල්ලියට සහ වංශාධිපතියන්ට එරෙහිව කෙරෙන නැගිටීම්වලින්ද ද ජාතික පීඩනයට එරෙහිව කෙරෙන නැගිටීම්වලින් ද තොරව සමාජ විප්ලව සිදුවන්නේ නම් “ එක් හමුදාවක් එක පසෙක පෙළ සැදී “ අපි සමාජවාදය උදෙසා යැයිද, අනෙක් හමුදාව තවත් තැනක පෙළ ගැසී අපි අධිරාජ්‍යවාදය උදෙසා යැයි පැවසූ විට එතැන සමාජ විප්ලවය වනු ඇත. අයර්ලන්ත නැගිටීම කල්ලි කුමන්ත්‍රණයකැයි අවමන් කළ හැක්කේ එවැනි අමන පණ්ඩිතමානී අදහස් දරන්නවුන්ට පමණි.“අතිපාරිශුද්ධ” සමාජ විප්ලවයන් දැකීමට අපේක්ෂා කරන්නවුන්ට සිදුවනු ඇත්තේ සිය ජීවිත කාලය තුළ එවැන්නක් නොදැක මියයාමටය. එබන්දන් විප්ලවය යනු කුමක්දැයි තේරුම් නොගෙන ම විප්ලවය ගැන වාචාල දොඩවනු ඇත.”
අයර්ලන්ත නැගිටීම ගැන/ලෙනින්


දර්ශන මේදිස් සහෝදරයාගේ ස්ථාවරය දෙමළ අරගලයේ අරමුණ වන වෙනම ශ්‍රම වැයික්කියක් හදාගැනීමට විරුද්ධව වන බැවින් අනුව ඔහුගේ විප්ලවවාදී පක්ෂය නොනවතින විප්ලවය ආරම්භ කරන තෙක් දෙමළ ජනයාට සිංහල ධනපති පන්තියේ ශ්‍රම වැයික්කිය තුළ මිනිස් ගෞරවය පවා අහිමි වහලුන් ලෙස සිටීමට සිදුවනු ඇත. මේදිස් විසින් පතුරු ගහන ජවිපෙයේ ස්ථාවරයද මෙයයි. එනම් ජවිපෙ විසින් සමාජවාදී විප්ලවය ජයගන්නා තෙක් දෙමළ ජනයා ජාතික පීඩනය විඳ දරාගත යුතුය.
ජවිපෙට අනුව කොටි සංවිධානය දෙමළ ධනපති පන්තියේත් අධිරාජ්‍යවාදයේත් උවමනාව මත රට කැඩීමට බිහි වු කුමන්ත්‍රනකාරී සංවිධානයකි. එයට දෙමළ ජනයාගේ පදනමක් නැති අතර දෙමළ ජනයාගේ ඉල්ලීම්ද නියෝජනය නොකරයි. අයිසිං ඉවත් කළ විට මේදිස්ගේ ස්ථාවරයද එයම වේ. දර්ශන පවසන පරිද කොටි සංවිධානය දෙමළ ජනාගේ ඉල්ලීම් නියෝජනය නොකළේ නම් ඔවුන් විසින් සිය ප්‍රදේශ තුළ දෙමළ ජනයා තබාගෙන ඇත්තේ බලහත්කාරයෙන් විය යුතුය. එසේ නම් දර්ශනගේ ස්ථාවරය ජවිපෙ ස්ථාවරය සමග පමණක් නොව “ දෙමළ ජනයාකොටින්ගේ යකඩ සපත්තුවෙන් බේරා ගැනීමට මානුෂික මෙහෙයුම දියත්කළ” රාජපක්ෂ පාලනයේ ස්ථාවරයද සමග සම්පාත වේ


කිවුව වෙලාව- 2011-08-29 16:46:59
ඕලු පිපීලා මෙහෙම කියනවා :
මොකෑ මේ දොඩන්නෙ හැබෑටම.කවි මූණ එළියට දාගෙන යටින් කෝචොක්නෙ අයිසෙ දාන්නෙ .මුන්දලාට කවි කොයිබට ගියත් එකයි වගේ.

බොලා හතර වෙනි ජාත්යන්තර පාසලටම වෙලා සීසෝ පැදහල්ලා .
පනුවො ගහපු මාලු පාන් අස්සෙ කවි දාලා අනිත් උන්ට කන්න දෙන්න එපා ඕයි.ඔව්වා තනියෙම කාලා කවුරුත් නැති තැන් වලට වෙලා ඉන්නවා වට පිටාව ඟඳ ගස්සෙන්නෙ නැතිව.....!


කිවුව වෙලාව- 2011-08-22 14:06:16
JW මෙහෙම කියනවා :
පක්ශ පාට බලා කරන විචාර මට අභිමත නො වන නමුත් ඔබ මගේ පක්ශය විමසන නිසා පිලිතුරු දෙමි: මම ලියොන් ට්‍රොට්ස්කිගේ හතර වෙනි ජාත්යන්තරය අනුයමි. ට්‍රොට්ස්කි විසින් වෙනම පක්ශයක් නො පිහිටුවන ලද හෙයින් බොල්ශේවික් පාක්ශිකයෙක් ම වෙමි.ල0කාවේ සමාජවාදි සමානතා පක්ශයේ සාමාජිකත්වය නො දරමි. ට්‍රොට්ස්කි අනුයාමට එම පක්ශයේ සාමාජික කාඩ් පත උවමනා නො වන බව දනිමි. ඔබට ද එය තිබෙන බවක් නො දනිමි.......ඔබේ "ස0යුක්ත පිලිතුරට" උවමනා දේ දැන් සම්පූර්න ය.......කලාකරුවාගේ ඉදිරි දර්ශන උපුටා ගෑනීම සම්බන්දයෙන් ඔබට මතු වී තිබෙන ප්‍රශ්නයට ඔබේ ස0යුක්ත පිලිතුරෙන් පසු දීර්ග ව පිලිතුරු දෙමි. කලාකරුවා ඉදිරි දර්ශන සම්පාදකයෙකු ලෙස ගෙන ප්‍රශ්නයට අවතීර්න වන්නට මට නම් බෑරි බව පමනක් කෙටියෙන් කියමි.........බලලා මල්ලෙන් එලියට පෑනීමක් ගෑන ඔබ කියා තිබෙන අරුත් සුන් කතාව සම්බන්දයෙනුත් මා යමක් කිව යුතු නම් මට කිව හෑක්කේ ඔබ දුටුවේ බලලෙකු වුවත් නියම ලෙස එලියට ආවේ "සි0හ"යෙකු බව යි.

කිවුව වෙලාව- 2011-08-22 00:18:44
JW (ජනක වීරසිංහ) වෙත, මෙහෙම කියනවා :
අවසානයේදී බලලා මල්ලෙන් එලියට පැන ඇත.
ප්‍රවනතාමය කලාව පිලිබඳ මගේ ආස්ථානය විවේචනය කිරීම පිටුපස වෙනත් (දේශපාලන ) අරමුනක් පවතින බව පෙනේ. ඔබ මාක්ස්වාදයේ (ට්‍රොට්ස්කිවාදයේ )ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවක් අඟවා ඇත. මාක්ස්වාදය දෙතුම් පොලකම පවතින්නේවත් පවතින්ටවත් ඉඩක් නැත. එහෙයින් කරුනාකර ඔබ නියෝජනය කරන්නේ කුමක දේශපාලන පක්ශයක් දැයි හෙලිකල මැනව. එවිට මාගේ පිලිතුර වඩාත් සංයුක්තව ඉදිරිපත් කල හැකි වනු ඇත.
ඔබ කියන පරිදි \" හැම කල්හිම ප්‍රවනාත්මක\" කලාවක නිරතවන කලාකරුවා තම ඉදිරි දර්ශන උපුටාගත යුත්තේ විප්ලවවාදී පක්ශයෙන් නොවේ නම් වෙන අහවල් තැනකින් දැයි කියාත් දැනගනු රිසියෙමි.
මේ දිනවල වෙනත් හදිසි කාර්යයක නියැලි සිටින හෙයින් ඔබට ඉක්මනින් පිලිතුරු සැපයීමට මට හැකියාවක් නැත. ඔබ විසින් ජනනය කෙරුනු ව්‍යාකූලත්වය හේතුවෙන් නො මග යාමට ඉඩ ඇති පාඨකයන් උදෙසා යථාකාලයේ දී ඒ කටයුත්ත සපුරාලමි.
-දර්ශන මේදිස් -


කිවුව වෙලාව- 2011-08-20 08:51:51
JW මෙහෙම කියනවා :
දර්ශන, "ප්‍රවනතාත්මක කලාකරුවා" යන විකෘතිය යටතේ ඔබ තවත් විකෘති කන්දරාවක් එලිදක්වා තියෙනවා. කලාකරුවාට තම ඉදිරි දර්ශනය විප්ලවවාදී පක්ශයෙන් උපුටා ගන්න කියන විකාර කතාව, කලාව හා මාක්ස්වාදය දෙකම පිරිහෙලීමක්. ට්‍රොට්ස්කි, විප්ලවයට උර දෙන ලෙස "ප්‍රවනතාත්මක කලාකරුවන්ට" ආයාචනා කලේය යන්නත් විකෘතියක්.......... මේ විකෘතීන්ට එරෙහිව කරුනු දක්වනු පිනිස පොතක් ලිවිය යුතු වෙනවා. එයට මම සූදානම්. මුලින්ම අර ශුද්ද කලාව හා ප්‍රවනතාත්මක කලාව සම්බන්ද ට්‍රොට්ස්කිගේ අදහස (ඔබේ අදහස නෙවේ) හෙලි කිරීමට ඔබ යොමුවනු ඈතියි විශ්වාස කරනවා.
-ජනක වීරසිoහ-


කිවුව වෙලාව- 2011-08-17 22:11:54
mano fernando මෙහෙම කියනවා :
Com. Dharshna, Thanks lot for your lecture. Keep it up.
Mano Fernando.


කිවුව වෙලාව- 2011-08-17 08:22:37
Prasad මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-16 04:56:50
Hashitha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-15 22:27:53
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දර්ශන මේදිස් ගෙන් තවත් වියමන්
කවි
උතුරින් දකුනට
කවි
ලතෙත
කවි
බිරිඳ නලුවා අමතයි!
Cine
කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය
සිත්තර
පරත්වාරෝපිත මනුශ්‍යාත්මය විනිවිද දකින depth
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook