Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර- 'ස' සමාප්තිය
බූන්දි, 10:48:28
වසන්තයේ අග්ගිස්සට හැන්දෑව එළඹෙයි. මේ නම් මල් පරව යාමට නියමිත හෝරාව යි. තරු පමණක් නොව සරා සඳ පවා සමු ගත යුතුය. හැම දෙයම ගොළු වෙමිනි..... හරියට කවුරුන් හෝ ඉල්ලා සිටියාක් මෙන්...

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නො නගින්න
වෙලී යුඟඳුර සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ සිඳී...
සිඳී නැවතී ඉන්න......


මේ වසන්තයක නිමාව සනිටුහන් වන නිමේෂය යි.

තාප්පයෙන් පනින්නට මොහොතකට පෙර...

පසුගිය ජුලි 19 වැනිදා හැන්දෑවේ මහරගම යොවුන් රඟහල ප්‍රධාන දොරටුව අසල තෙරපෙමින් හයිලෙවල් පාර පුරා ඉතිරී පැතිරී ගලා යන ජන ගංගාව මැදට වී අප ද.... හරියටම 1975 ජුනි පස් වෙනිදා සවස 'ස' 300 වැනි ප්‍රසංගය පැවැත්වුණු වැල්ලවත්ත කදිරේසන් ශාලාව ඉදිරිපිට සිදු වූ දෙයම ඉන් කිහිප ගුණයකින් ගුණ වී සිදුවෙමින් තිබුණි. පැය කිහිපයක් තිස්සේ සිටගෙන සිටියද කිසිවෙකුට ඒ පිළිබඳව වගක්වත් තිබුණේ නැත. සියලු දෙනාටම වූයේ වූයේ ඒකායන ප්‍රාර්ථනයකි. ඒ අර උස මහත සිකියුරිටිලා පසුකොට ආරක්ෂක කුටිය පසුකොට රඟහල් බිමට ද එතැනින් යොවුන් රඟහල ට ද පිවිසීමේ නොතිත් උවමනාව යි. ඇතුල් කරන තුරු නොඉවසිල්ලෙන් වාද කරන ප්‍රවේශපත්‍ර හිමියන් ද සති දෙකකකට කලින් ප්‍රවේශ පත්‍ර මිළට නොගත් වරදින් තාප්පයේ ද ගේට්ටුවල ද එල්ලෙමින් සිටි ප්‍රවේශපත්‍ර අහිමි වූවන් ද ඇතුළ සිය දහස් ගණනක් සිටියේ මේ දූපත තුළ වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයට උරුමකම් කියූ ඒක පුද්ගල ගී ප්‍රසංගය නොහොත් ‘ස’ ප්‍රසංගයේ සමාප්තිය අභියස ය. සියල්ලන්ට ම ඕනෑවී තිබුණේ කෙසේ හෝ රඟහලට පිවිස ඒ අසහාය ගාන්ධර්වයාගේ මධුර ස්වර අතර දැහැන්ගත වීමට ය.

ප්‍රවේශ පත්‍ර ලබා ගැන්මට නොහැකි වෙතැයි සිතද්දී ඇතිවුණ මහා ළතැවුල තාප්පයෙන් පනින්නට හැකි ක්‍රමයක් ගැන සිතන්නට දැන් දැන් සිත පොළඹවාලයි. එසේ නොවුවහොත් මේ වීදි පිරී යන්නට හඬන්නට තරම් සිතකි. නැවත විඳින්නට නොලැබෙන සෞන්දර්යයේ අවසාන නිමේෂය අහිමි විය හැකිය යන වේදනාව සිත දවයි. තාප්පයේ එල්ලුණේ නැතිනම් රඟහල් බිම තුළ ආසන අංක ලියා නැති ප්‍රවේශපත්‍ර තවමත් (නියමිත මිලට) විකිණෙන බැව් කෙසේනම් දැනගන්ට ද? (හොඳ වෙලාවට ලංකාවෙ ඉපදුණේ) නාඳුනන තරුණයෙකුට කළ අයැදීමක් අනුව ලැබුණු ඒ ප්‍රවේශපත්‍රවලට මිලක් නියම කරන්නට අපට කිසිදා නොහැකි වනු ඇත.

රඟහල් ශාලාවට පිවිසෙද් දී ප්‍රසංගය ඇරඹී තිබුණි. වේදිකාව දෙපස, පඩි පේළි උඩත් ඉඳගෙන, කොරිඩෝ පිරෙන්න හිටගෙන සිටි මුත්, හුස්මකින් පවා බාධා නොකොට දැහැන්ගත වී සිටි දහස් ගණනක් සහෘදයින් පිරිවරාගෙන වික්ටර්, ප්‍රේමකීර්ති ද අල්විස් ලියා දුන් අමරණීය මව් ගුණ ගීය ගයමින් සිටියේ ය. ‘සඳ දිය කොට- කිරි වතුරින් ... ’

70 දශකයේ තරුව

මගේ සිත අතීතයට දිව යයි. වික්ටර් වූ කලී අපේ දෙමාපියන්ගේ පරම්පරාවට පෑයූ තරුව යි. ඔවුන් ගැයුවේ ඔහු ගේ ගීත යි. එකල තරුණයින්ගේ කොණ්ඩා මෝස්තරය වූයේ වික්ටර් ගේ කොණ්ඩා මෝස්තරය වූ බෙල්ලෙන් පහළට වන්නට වැවූ කොණ්ඩය යි. මගේ පියා ඔහුගේ මිතුරන් හා ගත් භද්‍ර යෞවනයේ ඡායාරූපවල හිටියේ වික්ටර්ගේ කපාපු පළු ය. ඒ කොණ්ඩය... ඒ ඇඳුම්.. ‘මෝහෙන් මුලාවෙලා’ ‘සඳ හිරු තරු පවතින තුරු’, ‘අඩවන් දෑසින්.... ’ මගේ පියාගේ මුවග මියෙන තෙක් රැව් දුන් ඒ ගීත... අදත් අප ගොළු කරවන ඒ ගීත...

හින්දුස්ථානී රාගධාරී සංගීතය ද ජන ගීයේ නොඉඳුල් සුවඳ ද බටහිර සංගීතයේ නවමු රස තැන් ද එකට කළතා රසිකයාට දුන් වික්ටර් ගේ පළමු සහ සදාකාලික පෙම්වතිය සංගීතය බැව් ඔහු ගැන කියැවෙන ලියැවෙන ඕනෑම තැනක සඳහන් ‍වන්නකි. ‘සිහින සතක් දුටුවෙමි මම.. ’ කියා ප්‍රේමකීර්ති ඔහුගේ අතැඟිලි සප්ත ස්වරය ට බන්දවන්නේ එබැවිනි.



වික්ටර් නැගී සිට ගනියි. අතීතාවලෝකනයක යෙදෙමින් මර්වින් පෙරේරා සංගීත වේදියාණන්ව මහත් සෙනෙහසින් සිහිපත් කරන්නේ තමන් ඊළඟට ගයන්නට යන ගීය තමන් සතු නොවන බැව් නිහතමානීව සිහි කරමිනි. වත්මන් පරපුර කෘතවේදීත්වයක ලකුණකුදු නොදක්වමින් පැරණි ගායක ගායිකාවන් ගේ ගී ගයා යන්නට තනන ගමනේ කෙටි බව කණගාටුවෙන් සිහිපත් කරමිනි. මර්වින් තමන්ට නිර්ලෝභීව දන් දුන් තනුව ගැන ඔහු අපට කියයි. මර්වින් පෙරේරා ගේ තනුව සහ මීගොඩ විල්සන් ගේ පද රචනය මුසු වූ ඔහුගේ දිව්‍යමය හඬ යළි ගලා එයි.

පාවේ වලා - ඈත කඳු බලා
පෑ ආදරේ අමා- මා හද මවා
මා හද මවා ...


මට යළිත් මගේ පියා සිහිවෙයි. තමුන් පෙම්වතුන්ව සිටි නව යෞවනයේ මේ තරම් හද බැඳි ගීයක් නොවී යයි ඔහු අපට කියා ඇත. මා ඉදිරිපිට යෞවනය පසු නොකළ පෙම් යුවළකි. තරුණයා වික්ටර් සමඟම ඒ ගීතය පෙම්වතියගේ කණට කොඳුරයි.

සැනසීම හෝ වැනසීම..

ප්‍රේමකීර්තිව යළි සිහිපත් කරමින්, සිය ප්‍රතිභාන්විත ගායනයෙන් අප විස්මයට පත් කරමින් ‘තනි තරුවේ’ ගයන වික්ටර් යළි ඉඳ ගනියි. ඊළඟට තවත් අපූරු ගීයක්.. මීගොඩ විල්සන් තරුණියක ගැන සිතා ලියුවා වන්නට ඇති මුත් වික්ටර්ගේ මේ ගීය සිහින සතක් පරිදිම සංගීත දෙව් දුව සමග ඔහු ගෙවා ආ මඟ අපට සිහිපත් කරවයි. ළමා විය ගෙවූ කඩුගන්නාවේ නිවස අසල පිහිටි සිනමා හලෙන් එකම චිත්‍රපටයේ හින්දි සින්දුව සිය වරක් අසමින් පාඩම් කොට විල්ෆ්‍රඩ් අයියා ලැක්ටෝජන් ටින් එකකට ඩෝල් ගසන විට යළි ඒවා ගැයූ යුගයේ පටන් සිය සැත්තෑ වසරක ජීවිතය පුරා සතුට හා සැනසුම ඔහුට දුන් සංගීතය ට තරම් ඔහු පෙම් කළ අන් දෙයක් වෙත් ද? චිත්‍රා, ඔහු පිය බිරිඳ දරු සතර දෙනා ගැන සොයා බලමින් ඔහු නිදහස් කොට තිබුණේ සප්ත ස්වරයේ සුඛ දෝමනස්සයන් රිසි සේ විඳ ගන්නට වන්නට ඇත.

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල්
ජීවිතේ මතු වාසනා


ඔව්.. ඔහුට සංගීතය වාසනාව උදා කොට දී තිබුණි. මහ මඟ යා නොහැකි තරමට ඔහු හඹා ආ ජනප්‍රියත්වය ගැන පසු කලෙක ඔහු මෙසේ කීවේය.

"තවත් ලබා ගත යුතු, ලබා ගත හැකි ප්‍රසිද්ධියක් ඇතැයි මට නොසිතෙයි. කලෙක ජනප්‍රියත්වයෙන් ම හෙම්බත් වී සිටි අයුරු මට මතක් වේ. රූප මාධ්‍ය කොහෙත් ම නොතිබුණු යුගයෙක, දිවා කාලයේ පාරක තොටක පයින් ඇවිද යාමට නිදහසක් නොතිබුණු තරමට ම ජනප්‍රියත්වයෙන් පීඩා විඳ ඇත්තෙමි."(වික්ටර් රත්නායක- මාරුතයේ මියුරු සර;ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය)

මිනිස් කටහඬට සමීපත ම භාණ්ඩය වන වයලීන වාදනයෙන් සංගීතයට පිවිසෙන වික්ටර් එයින් තියුණු කර ගන්නා ස්වර සහ සංගීත ඥානය සේම ඔහු සතු වූ ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය යන ත්‍රෛගුණාංගයන් ද වික්ටර් ගේ විජයග්‍රහණයන්ට හේතුවන බව අමරදේවයන් පවසා තිබුණි. වික්ටර්ට ජය කෙහෙළි බැන්දේ ඒ මඟ හෙළි පෙහෙළි කළේ සංගීතය යි.

වීණාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා...
රන් කේළි බඳිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා...


1973 ‘ස’ ඇරඹීමත් සමඟම එවකට ගුරුවරයෙකු ලෙස දියවන්නා විද්‍යාලයේ සේවය කරමින් සිටි වික්ටර් ට පාසලට වසරක් ම පය ගසන්නට වූයේ නැත. ජීවිකාවට වඩා සංගීතය කෙරේ වූ ප්‍රේමය බලවත් වූ නිසා ය. 1974 දී ඔහු සේවයෙන් පහ කරමින් ආයතන සංග්‍රහය යටතේ ලියුමක් ගෙදරට එවා තිබුණි. එතැන් පටන් ගෙවී ගිය ජීවිතයේ ඔහු සංගීතය නිසා ම පසුකළ දුෂ්කර තැන් බොහෝ ය. සමීපතමයින් කියන පරිදි වික්ටර් යනු ‘කිව්වොත් කිව්වා’ ගණයේ පුද්ගලයෙකි. සිය සංගීත ජීවිතයේ ආත්මය ඔහු කිසිදාක නිලයට බලයට හෝ තාන්න මාන්නවලට පාවා දුන්නේ නැත. සමාප්ති උළෙලේ පළමු දිනය වන ජුලි 18 වැනිදා නෙළුම් පොකුණේ දී ජනාධිපතිවරයා තමුන් ඉදිරියේ ඉඳගෙන සිටිද්දී ඔහු සිය අදහස් ගීතයෙන් නිර්භයව නිවහල්ව කීවේය.

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ
සැනසීම හෝ වැනසීම
ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ..


සැනසීම මෙන්ම ‍වැනසීමක් වෙත් නම් එය ද මෙයින් ම වෙත්වා යි සිතමින් සිය දිවියේ සෑම තත්පරයක් ම සංගීතය වෙනුවෙන් යෙදවූ නිර්භය සංගීතවේදියා....

ආසා සුන් කළ පාරාදීසයේ දෙවියා..

වික්ටර් තරුණයෙකු මෙන් වේදිකාව පුරා සක්මන් කරමින් අප හා හිනැහෙහින් විටෙක දෑස් පියාගෙන ගයයි. මේ වේදිකාව ඔහුගේ පාරාදීසය යි. ඔහුට තව වසර බොහෝ ගණනක් මෙසේ ගයන්නට හැකි බැව් ස්වරයකුදු නො වරදින ඔහුගේ හඬ පෞරුෂය සාක්ෂි දෙයි. එහෙත් ඔහු හෙට රාත්‍රියේ දී තමන් මුල්වරට 1972 ජුලි විසි වැනි දින ලුම්බිණි රඟහලෙන් ඇරඹූ ‘ස’ හි අවසානය සනිටුහන් කරනු ඇත. අවසානයට කලින් ගෙවෙන මේ සමාප්තියේ හෝරාවන්වල ඔහුට මොනවා සිතෙනවා ඇද්ද?



"සංගීතයෙන් මා ලැබූ දේ අපමණ ය. නොලැබූ දේ පිළිබඳව මසිතෙහි කිසිම දුකක් නැති අතර ලැබූ දේ ගැන ඉපිලෙන සතුටක් අද මට නොදැනේ. සෑම වියපත් වූවෙකුට ම ඒසේ දැනෙනවා ඇතැයි සිතමි." (වික්ටර් රත්නායක- මාරුතයේ මියුරු සර;ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය)

ඒ රාත්‍රියේ ඔහුට ගායනයට අත්වැල් ඇල්ලුවේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර ආදීන් පමණක් නොවේ. අමරදේවයන් ද ඔහුට අත්වැල් ගී කීවේය.

එබඳු කීර්තියක් හැරදා නිස්කලංකයකින් සහ තෘප්තියකින් මේ පාරාදීසය සිය කැමැත්තෙන් හැර යන කවුරුන් හෝ වෙත් ද? එක් පසෙකින් ඉදිරි පරම්පරා හතකට සියල් සැප හිමිව ඇති විට පවා අනුන්ගේ බත් වේල ද උදුරා ගනිමින් කඩු කිණිසි මංජුසා පවා හාරා සක්විති වන්නට පෙරුම් පුරන ජනතාවාදීන් ය. අනෙක් පසින් තමන් විසින් ම තම හදවත තුළට අතැඟිලි රුවා නොපිට හරවා ආත්මය උදුරා එළියට ගෙන එබන්දන් යන මඟට කාපට් කොට අතුරන කලාකරුවන් යැයි කියන්නවුන් ය. එවැනි අරුම දෙසක මෙය අපූර්ව අත්දැකීමක් නොවන්නේද?

අන්තිමට වික්ටර් මිතුරු සහපිරිවර සමඟ ‘අපි ඔක්කොම රජවරු’ ගායනය අරඹන විට දහස් ගණනක් ‘ස’ ප්‍රසංගවල දහස් වතාවක් සිදුවූ පරිදි රසිකයින් නැගිට අත්තල නඟමින් ඔහු සමඟම එය කියද්දී ඇසට කඳුළක් නො නැගුණ අයෙක් එතැන සිටියේ නැත.

ප්‍රසංගය අවසන ඔහුට සුභ පතන්නට රැස් වූ සියල්ලන් ඔහුගේ පා සිඹ සමු දුන්නේ පිස නොදැමූ කඳුළින් මය. දිළුම් දෙන කැළුම් ගලන කුර්තාවකින් සැරසුණු ජැක්සන් ඇන්තනි නම් හිටපු නාට්‍යකරුවා ද සංවිධායකයන් විසින් ඔහු අතපත් කරන්නට යෙදුණේ යයි සිතිය හැකි ඕකිඩ් මල් මාලයක් ද රැ‍‍ඟෙන වේදිකාවට නැඟුණේ ය. තුංග ගිරි කුළක් බඳු වික්ටර් ඉදිරිපිට කුහුඹුවෙකු වී නොපෙනී ගියේ ය.

සමාප්තිය


1973 ජුලි 20 වැනිදා ලුම්බිණි රඟහළෙන් ඇරඹූණු මුල්ම ‘ස’ ප්‍රසංගයේ සංවිධායක මණ්ඩලයේ උන් චින්තන ජයසේන 1993 පෙබරවාරි 26 ‘කොළමෙහි’ සිය මතකය අවදි කරමින් මෙසේ ලියා තිබුණි. (උපුටා ගැනීම- වික්ටර් රත්නායක:මාරුතයේ මියුරු සර ; ගීතනාත් කුඩලිගම-2003/2011 තුන්වන මුද්‍රණය )

"‘ස’ මංගල දිනය උදා විය. එය මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවන අමරණීය දිනයකි. ලුම්බිණි රඟහල කරා එතරම්ම රසික පිරිසක් පැමිණෙනවා කිසි දිනෙක මා දැක නැත. ප්‍රවේශ පත්‍ර අවසන් වූ පසු දොරවල් කඩාගෙන රසිකයෝ අතුළු වූහ. අප කිසිවෙකුට කිසිවක් කළ නොහැකි විය. වේදිකාව අද්දර සිට දෙපැත්තේ කොරිඩෝව පිරෙන්නට එක පොදියට සෙනඟ ය.

වික්ටර් වේදිකාවට නඟින විට මගේ දෑස්වලින් සන්තෝෂයේ කඳුළු උතුරා ගලා ගියේ ය. අච්චර ජන සන්නිපාතයක් සිටිය ද ‘ස’ ප්‍රසංගය පටන් ගන්නා විට මීයට පිම්බාක් මෙන් නිහඬතාව රජ කළේ ය.

ගායකයෙකු ලෙස වික්ටර් රත්නායක ‘රජ’ වූයේ එදා යයි මම සිතමි."


ඉන් දශක හතරකට පසු 2012 ජුලි 20 වනදා ‘ස’ ප්‍රසංගය සදහට ම සමාප්තිය සටහන් කළේ ඒ ලුම්බිණියෙන්ම ය.

1973 ලුම්බිණියේ මෙන්ම 2012 සමාප්ති ප්‍රසංග මාලාවේ අවසාන දිනට පෙර දින මහරගම යොවුන් රඟහලේ ද සිදුවූයේ එදා චින්තන ජයසේන අත් විඳි දෙයම ය. වෙනස වූයේ ඇරඹුමක සහ අවසානයක පරතරය පමණකි.

රස වින්දනයේ සංතෘෂ්ටියෙන් ද විප්‍රයෝගයේ වේදනාවෙන් ද ගොළුවී අප මෙන්ම ගොළුව ගිය සුවහසක් පිරිස සමඟ එතැනින් නිහඬවම නික්ම ආවෙමු. තරු පවා නිවී ගිය අහස යටින් අප ඇවිදගෙන එද්දී මොහොතට පෙර වික්ටර් ගැයූ ගීයක් සුළඟක එතී හාත්පස නින්නාද දුනි.

ලිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Victor Rathnayaka, "Sa" Musical Concert, Sri Lankan Music, Sri Lankan Singer, Vocalist, Meegoda Wilson, Premakeerthi De Alwis, Jackson Anthony, President Mahinda Rajapaksa, Lumbini Theater, 'ස' ප්‍රසංගය, ලුම්බිණි රඟහල
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් වෙසෙස් බූන්දි
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook