Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
මේ මුන්නේෂ්වරම් නාටකයේ විවේක කාලයයි!
බූන්දි, 05:18:38
ජාතික හෙළ උරුමය, ආචාර්ය මර්වින් සිල්වා, මුන්නේෂ්වරම් කාලි දේවාලයේ ප‍්‍රධාන කුරුක්කල්තුමා හා ජනාධිපතිවරයා ප‍්‍රධාන පිරිස් විසින් සාමූහිකව නිෂ්පාදනය කළ මුන්නේෂ්වරම් නාටකයේ විවේක කාලය පැමිණ තිබේ. මෙම නාටකයේ ත‍්‍රාසය, ආගමික වාත්සල්‍ය, බැලූ බැල්මට පෙනෙන අහිංසාව වැනි අංග නොඅඩුව තිබේ.

එහෙත් මේ දෙස බලන මට නම් අතිශය භයානක හැඟවුම්කාරක ගණනාවක් මුන්නේෂ්වරම් නාටකයේ පෙනෙන්නේය. ඒවා කවරේද?

පශ්චාත් යටත් විජිත රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාව මේ ගමන් කරන්නේ කොහේටද? දකුණු ආසියාව ආගම් විසින් විශාල තෙරපුමක් ඇතිකරන ලද සමාජයකි. ඉන්දියාව ඒ අතින් ගත් කළ ලෝකයේම අංක එකට සිටී. ශී‍්‍ර ලංකාව සිටින්නේ ඊට පහළින් වුවත් ආගමික ලබ්ධිය හා ඒ හා බැඳුණු අසුන්දර කාරණා තව තවත් වර්ධනය කෙරෙන සමාජයක් ලෙස හැඳින්විය හැකිය.

අසාර්ථක රාජ්‍යයක් සිය පාලන නොහැකියාවේ අඩුව පුරවා ගන්නේ ආගම ඒ තුළට රුවා ගැනීමෙනි. මුළු මහත් ජනතාවට වැළඳගත හැකි සමාජ ආර්ථික වැඩ පිළිවෙළක් හා එය කි‍්‍රයාත්මක කිරීමේ හපන්කමක් නැති පාලන තන්ත‍්‍රයක් එම හේතුව නිසාම තමන්ට එරෙහිව එන ජන බලවේගයන් අඩපණ කරන්නේ ආගම ඉදිරියට දමමිනි.

ඉන්දියානු මහජන බලවේගයන් එයට නායකත්වය දුන් නායකයනුත් පූර්ව නිදහස් යුගයේ සිටම රට යහපත් දිසාවකට ගෙනයෑමට වෙර දැරූහ. දැන් එම කි‍්‍රයාවලිය තවත් උත්සන්න කරමින් ලෝකයේ බලසම්පන්න රාජ්‍ය අතළොස්ස අතරට පත්වීමට පවා ඉන්දියාවට හැකියාව ලැබී තිබේ. ආගමේ නාමයෙන් සිදුවූ සති පූජා, ළමා විවාහ, සදාකාලික වැන්දඹුවන් වන ලක්ෂ සංඛ්‍යාත යුවතියන්, දේවදාසින් ආදී තිරශ්චීන ඇවතුම් පැවතුම් ගණනාවක් නඩත්තු කළ සමාජයක් ඒවා එකින් එක ක‍්‍රමයෙන් ඉවත් කිරීමට හැකි රාජ්‍ය පාලන ක‍්‍රමවේදයක් දක්වා පරිවර්තනය වීමට සමත් විය. මනුෂ්‍යත්වයට නිගා කරන අසීමාන්තික ආගමික සාහසිකත්වය සමග ඉන්දියානු සාමාන්‍ය නීතිය හා රාජ්‍ය පාලන නීතිය ඇතුලූ අනෙකුත් නීතින් ද්වන්දව සටනක් කරමින් සිටී. එයින් රාජ්‍යය ජය ලැබීමේ ප‍්‍රථිඵලය නම් අද ඉන්දියාව අත්පත් කරගෙන ඇති ලෝක පරිමාණ දියුණුවයි.

එහෙත් ශී‍්‍ර ලංකාව එහි අනෙක් පැත්තේ ඉලක්ක ජය ගනිමින් සිටී. කතෝලික දහම ලංකාවේ ව්‍යාප්ත කිරීමට හේතුවූ බලවත්ම බලපෑම් සහගත පුද්ගලයා සේ සැලකෙන ජාකෝමේ ගොන්සාල් වේස්ට සිය ව්‍යාප්තික කටයුතු සඳහා අවශ්‍ය, සිංහල, සංස්කෘත හා පාළි භාෂා පිළිබඳ දැනුම පමණක් නොව අදාළ ප‍්‍රදේශයන්හි විහාරස්ථානවල නැවතෙමින් කි‍්‍රස්තියානිය පැතිරවීමට පහසුකම් ලබාදිය හැකි මට්ටමක සහනශීලී බුදු දහමක් ලංකාවේ පැවතිණ. ලාභ චේතනාවන්ට වඩා අනෙකුත් ලබ්ධීන්ට දොරවල් විවරකරමින් ඒවායින් හමන සුළඟ හමුවේ නොසෙල්වී සිටිය හැකි බුදු දහමක් අපට ඇතැ’යි යන ආත්ම විශ්වාසයක් සහිත යතිවර පරපුරක් අපට අතීතයේ සිටියේය. එහෙයිනි විෂ්ණු, කතරගම දේවාල පැරණි විහාරස්ථාන අභියස පවා නිර්මාණය වූයේ. (එය ලාභ චේතනාවෙන් අද ඉදිවන දේවාලවලට සම නොකළ යුතුය.) වරදකරුවන් උල තියා මරණ, දෙදරුවන් වනේ ලා කොටන්ට දරුවන්ගේ මවට බල කරන, ඒකාධිපති බලහත්කාරය වෙනුවට සාපේක්ෂ සාධාරණ නඩු විභාගවලින් සමන්විත ඉංගී‍්‍රසි පාලන ක‍්‍රමය යහපතකැයි අගය කිරීමට සමත් භික්ෂු පරපුරක් එකදහස් අටසිය ගණන්වලම සිටියේය. ඒ භික්ෂු පරම්පරාව අතින් විශිෂ්ට ආගමික සේවාවක් ද සාහිත්‍යමය සේවාවක්ද සිදු විය.

ලංකාවේ සිංහල පාලකයන් ගත් කළ ඞී.ඇස්. සේනානායකගේ කවර පාලන දුර්වලකම් තිබුණත් ඔහු රටේ සංවර්ධනය උදෙසා වූ කැපවීම අප හොඳින් දන්නා කාරණයකි. ඔහු පාලනය උදෙසා ආගම දඩමීමා කර ගැනීමට වෙහෙසුනේ නැත. ‘මම රට බලාගන්නම්. ඔබ වහන්සේ පන්සල බලාගන්නැ’යි හේනේපිටගෙදර ඥානසීහ හිමියනට ඞී.ඇස්. කී ප‍්‍රසිද්ධ කියමන බොහෝ දෙනා දනී. එයින් භික්ෂුන්ට සිදුවූ මහා සිත් තැවුල, බණ්ඩාරනායක රජ කරවූ මහා භික්ෂු බලවේගයක් දක්වා වර්ධනය විය.



ඞී.ඇස්. තම පාලන කටයුතුවලට ආගම ගාවා නොගත්තත් මෙතෙක් සිටි පාලකයන් අතුරින් සිරිමා බණ්ඩාරනායක හැරුණු කොට හොඳම ප‍්‍රතිපත්ති ගරුක බෞද්ධයා ඔහු විය. සැන්දෑසමයේ අරලිය ගහ මන්දිරයේ මල්වත්තෙන් වට්ටියකට තමා අතින් මල් නෙලාගෙන පයින්ම කොල්ලූපිටියේ වාලූකාරාමයට යන ඞී.ඇස්. තනිවම බැති සිතින් බුදුන් වැඳ ආපසු එන්නේය. උගත්කම අතින් සියලූ පාලකයන් අතරින් අන්තිමයා ඔහු වුවත් රාජ්‍ය පාලනයේ දී සිය වැටහෙන නුවණින් යුතුව ආගම ගාවා ගැනීමෙන් ආගමටත් පාලනයටත් වන අවැඩ හොඳින්ම දුටු පාලකයා ඞී.ඇස්. ය.

ඞී.ඇස්. ගේ පාලනයෙන් දශක තුනකට පසු පාලනයට පැමිණි ජේ.ආර්. අනෙකුත් සියලූ වටිනා දේවල් සමග සෙල්ලම් කළා සේ ආගම සමග ද සෙල්ලම් කළේය. සැබෑම නව ලිබරල්වාදි පාලකයෙකුගේ තතු මේ යැයි කියාපාමින් ඔහු ආගම නොතකා කි‍්‍රයා කළේය. බෞද්ධ හෘද සාක්ෂිය බලපෑමක් කළ හැකි දෙයක් ලෙස ජේ.ආර්. නොසැලකුවේය. භික්ෂූන් යනු පඩික්කම් පුරවන වැඩකටම නැති පිරිසක් යැයි කියන්නට ඔහු තෝරාගත්තේ සාහිත්‍ය උත්සවයකි. මෙම කියමන හා අදාළ ස්ථානය පිළිබඳ ඇති සංකේතාත්මක වැදගත්කම කවරනම් එකක්ද? ලබුදූවේ සිරිධම්ම හිමියන්ගේ වන්දනීය පූජ්‍යස්ථානය - ගැටඹේ විහාරස්ථානයට- කටුකම්බි ගැසීමත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ට මැරයන් ලවා පහරදීමටත් ජේ.ආර්.ට හැකියාව ලැබුණේ ආගමික ලබ්ධිය ඔහුගේ හෘද සාක්ෂියට බලපෑමක් නොකළ නිසා නොවේද?

ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූ ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා රාජ්‍ය පාලනය හා ආගම අතර වූ බාධකයන් සියල්ල බිඳ දැමූ පාලකයකු ලෙස සැලකිය හැකිය. ඔහුගේ පුත් සජිත් පේ‍්‍රමදාස නැවත රට පේ‍්‍රමදාස යුගයකට කැඳවාගෙන යාමට ජනතාවට ආමන්ත‍්‍රණය කළත් එවැනි ගෝති‍්‍රක පාලනයක් වෙත රට ගෙන යා යුත්තේ ඇයි? රාජ්‍ය වියදමෙන් තමන්ගේ බිය පහකර ගැනීමට ආගම් නඩත්තු කළ පාලකයෙක් නවීනත්වයෙන් රට සැලකිය යුතු දුරක් පිටමං කිරීමට කටයුතු කිරීමේ හොඳම උදාහරණය ආර්. පේ‍්‍රමදාසය.

2005 ඇරඹෙන්නේ පේ‍්‍රමදාසගේ ඒ විප‍්‍රකාරවල දෙවන යුගයදැයි සැකසිතේ. යුද්ධ ජයග‍්‍රහණයේ ආනුභාවය මතින් පමණක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කලකට අභියෝග විරහිත ප‍්‍රතාපවත් පාලනයකට උරුමකම් පෑ හැකිව තිබිණ. එහෙත් එය එසේ නොවී එකින් එක සමාජ කණ්ඩායම් ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහෙන්නේ ඔවුන් පෙලන සාධාරණ ගැටලූ නිසාය. ඒවායින් වැලකීමට පාලකයන් ගත හැකි හැම ආයුධයක්ම යොදාගනිමින් තිබේ. ඉන් එක් ආයුධයකි ආගම.

දඹුල්ලේ මුස්ලිම් ආගමික ස්ථානයන් කඩා බිඳ දැමූ බෞද්ධ මැරයන්ට නීති හා පාලන ආවරණයක් සැපයිණි. ගියවර මුන්නේෂ්වරම කෝවිලේ බිලි පූජාවට ගෙන ආ සතුන් ලොරියකට පටවාගෙන ආ මර්වින් සිල්වා ඇමතිවරයා පිළිබඳ කිසිදු පියවරක් නොගත්තා පමණක් නොව මෙවරද ඒ භයානක රංගනය අවශ්‍ය නම් පැවැත්වීමට ඔහුට අවහිරයක් නොතිබුණේය. ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් වන හෙළ උරුමය, ජනාධිපතිවරයාත්, අධිකරණයත් මෙහෙයවමින් කටයුතු කළේ බිලිපූජාවට එරෙහිවය.

ශී‍්‍ර ලංකාව නම් වූ කුඩා රටේ ප‍්‍රසිද්ධ සිද්ධස්ථානයක සිය ගණනක් අහිංසක සතුන් මරා දැමීම පොදු බෞද්ධ හෘද සාක්ෂිය රිදවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඝාතනයට විරුද්ධ පුරාතන ඉතිහාසයක්, අපට ඇත. එළාර රජු ජාතික ඉතිහාසයේ ගොඩනගාගත් වීරයාගේ සතුරා වුවත් ඔහුගේ ‘මාඝාත’ නමැති ඝාතනයට එරෙහි නීතිය චිරාත් කාලයක් තිස්සේ අපි ගෞරවයෙන් සිහිපත් කළෙමු.

එහෙත් ජාතික ඉතිහාසයෙන් හා එහි අධ්‍යාත්මයෙන් අපි වේගයෙන් ඉවත්වීමු. ජාතික ආධ්‍යාත්මයෙන් හිස් වූ අපගේ ආධ්‍යාත්මයේ ඉඩකඩට අප පුරවා ගත් ‘ලටපට’ අතර ඝාතනය ද එකක් විය. ජාතික ප‍්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමේ ඉඩකඩක් එහි මුල සහ මැද යුගයන් හිදී තිබුණු නමුත් එය එසේ නොකරවීමේ සමාජ බලවේගය රට තුළ ශක්තිමත් වූයේ සාම බලවේග අභිබවමිනි. පරිසමාප්ත අර්ථයෙන් ජෛනාගමට පමණක් දෙවන වන අහිංසාවාදයක් සහිත බුදුදහම මූලයේ තබාගෙන භික්ෂු සමාජයේ අති බහුතරය යුද්ධය එකම විසඳුම ලෙසට තෝරා ගත්හ. මේ තෝරාගැනීම හා එහි ලේ වැකි ප‍්‍රතිඵලය අපගේ ජාතික ඉතිහාසයේ ඝාතනයට එරෙහිව තිබූ සකලවිධ ගෞරවයන් වැදගැම්මකට නැති දෙයක් බවට පත් කළහ. අපගේ දේශපාලන භූමියේ ‘දේශපාලන විමර්ශණයන්’ නොවන නිසා මේ ‘ඝාතන සාධාරණීකරණය’ යුද්ධයෙන් බැහැරට ගොස් ඇති ප‍්‍රමාණය මෙතෙකැයි පැහැදිලි නැත.



යුද්ධය නිම වී තිබේ. එහෙත් යුද්ධය නිසා බල ගැන්වුණු ඝාතන සංස්කෘතිය නැවතී නොමැතිවා පමණක් නොව වර්ධනයද වී තිබේ. දිනෙන් දින වාර්තාවන ඝාතන සඳහා පාදක හේතු ඉතාම හුදු පෞද්ගලික කාරණාය. හමුදාවෙන් විතැන් වූ සෙබලූන් ඝාතන සංස්කෘතියේ විශිෂ්ට කාර්යභාරයක් කරමින් සිටී.

මෙයාකාර වූ සමාජයක මුන්නේෂ්වරම් නාටකයේ ඇති වැදගත්කම කවරාකාරද? කාලි දේවතාවිය මරණයට හා විනාශයට අධිපති දෙවඟනයි. ඇය වෙනුවෙන් බිලි පූජා ‘මංගල්‍යය’ පැවැත්වීම චිරාත් කාලයක් මුළුල්ලේ සිදුවන්නකි. ඇගේ දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් එහි එන්නේ යහපත් චේතනාවෙන් නොවේ. ඔවුහු තම සතුරා හැඳි ගෑවී යන්නට මිරිස් ඇඹරීම වැනි විවිධ දේ කරති. ඒ දේව භක්තිකයාගේ අයහපත් ප‍්‍රාර්ථනාවට පහසුකම් සැපයීමට සැදී පැහැදුණු නිල කපු මහත්තුරු බොහෝය. කාලිදේවාලය එම අරුතින් ගත් කළ (යහපත් කිරීමට) මහත් වෙර වීරියෙන් සමාජය, රජයයනන්, සමාජ කි‍්‍රයාකාරින් දරණ උත්සාහයට එරෙහිව සිටින ආයතනයකි. එහෙයින් කාලිදේවාල සංස්ථාවම ලෞකික රාජ්‍යයේ පැවැත්මට හානිදායක එකකි. එහෙත් කාලි දේවාලය හා එහි දේව මෑණියෝ ශී‍්‍ර ලාංකික ජන සමාජයේ සැලකිය යුතු කොටසකගේ අධ්‍යාත්මික ආයතනයකි. එහෙයින් මානව අයහපත වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් හා නීත්‍යානුකූල රජයක පරමාර්ථ අතර ගැටුම සංසිඳවා ගන්නේ කෙසේද?

මෙය විසඳාගත් වැදගත් රාජ්‍යයන් දෙකක උදාහරණයන් දෙකක් මම ගෙනහැර පාන්නෙමි. බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර ශී‍්‍ර ලාංකික විෂ්ණු දේවාලයක් තිබේ. එය දහස් ගණනින් බැතිමතුන් රැස්වන එනිසාම විශාල ධනස්කන්ධයක් එකතුවන බලගතු ආගමික මධ්‍යස්ථානයකි. මෙහි ජීවත් වූ ශුද්ධ වූ ගවයා විෂ්ණු දේවාලයට යන එන ජනයාගේ නිරන්තර වැඳුම් පිදුම්වලට ලක් වූවෙකි. විෂ්ණු දෙවිඳුන්ගේ එක් නියෝජනයක් සේ සැලකුණු මේ පූජනීය ගවයාට ගවකුර වසංගත රෝගය වැළඳුනි. එහෙයින් ප‍්‍රාදේශීය පශු වෛද්‍ය ආයතනය මෙම ශුද්ධ වූ ගවයා මරා දැමීමට තීරණය කෙරිණ. එහෙත් විෂ්ණු දේවාලයේ භාරකාර මණ්ඩලය එංගලන්තයේ බලවත් නීතියක් වන ‘කැමති ආගමක් ඇදහීමේ හා ඒ අදාළ ශුද්ධවස්තු ආරක්ෂා කිරීමේ’ පනත පදනම් කරමින් අධිකරණ කි‍්‍රයාවලියක් ඇරඹූහ. එය අවසානයේ මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ඉදිරියට ගියේය. අවසන් ප‍්‍රතිඵලය වූයේ ‘ආගමික ඇදහීමේ නිදහස‘ පිළිබඳ වරදවා වටහා ගැනීම් අභිබවා පොදු යහපත නැමති කාරණය ජයගනිමින් ශුද්ධ වූ ගවයා මරා දැමීමට තීන්දු කිරීමයි. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලියන ලද නඩු තීන්දුව පිටු 1700කින් සමන්විත විය.

දෙවැනි උදාහරණය කැනඩාවෙනි. 1983 න් පසුව රටේ ඇති වූ ජනවාර්ගික යුද්ධය හේතුවෙන් ශී‍්‍ර ලංකාව අතහැර කැනඩාවට සංක‍්‍රමණය වූ විශාල දෙමළ ජනගහණයක් එහි වාසය කරයි. මේ දෙමළ ජනයා බහුතරය ආගමික වශයෙන් හින්දූන්ය.

කැනඩාවේ පවත්නා අසීමිත ආගමික නිදහස පදනම් කරගෙන ඉදිව ඇති හින්දු කෝවිල් ගණන විශාලය. ඒවා අතර කාලි දේවමෑණියන්ට වෙන්වූ කෝවිල් ද තිබේ. මා වැඩිදුර සොයා බැලීමේ දී ඒ එකදු කෝවිලකවත් බිලිපූජා තබා සංකේතාත්මක එවැනි කි‍්‍රයාවක්වත් සිදු කෙරෙන්නේ නැත. එයට හේතුව වන්නේ සත්ව ආරක්ෂණ ආඥා පනත කැනඩාවේ ඉතා බලවත්ව කි‍්‍රයාත්මක වන හෙයිනි. කැනඩාව වැනි රටක් මිනිස් වර්ගයාට සපයන සමාජ ආරක්ෂණයම තුරුලතා, සතුන් හා භූමිය උදෙසාද කි‍්‍රයාත්මක වන හෙයිනි. සුනඛයෙකු හෝ බළලෙකු ඇතිකරන කැනේඩියානුවකු නීතියෙන් වලංගු සත්ව සුබ සිද්ධිය ඔවුන් අරබයා කි‍්‍රයාත්මක නොකරන්නේ නම් දඩ කන්නට සිදුවේ. වරෙක අපගේ ලාංකික මිතුරකු සිය උදෑසන ව්‍යායාම සංචාරයේදී කූඩුවෙන් බිම වැටුණු බිළිඳු වියේ පසු වූ ලේන් පැටියෙකු හුදු අනුකම්පාව නිසාම ගෙදර ගෙනැවිත් කිරිපොවා කූඩුවක් තනාදී රැක බලා ගත්තේය. ඌ දුව පැන ඇවිදින වයසට පැමිණුණු පසු මුදාහැරීම හෝ සත්ව ආරක්ෂණාගාරයකට භාරදීමට සූදානම් විය. පරිසරයට මුදාහැරීමේ අදහස මගේ මිතුරා විසින් අත හැරියේ කලක් වියෝවී සිටි සතා අනෙකුත් ලේනුන් කෙසේ බාර ගනීද කියන සැකය නිසාය. ඒ නිසා මගේද මැදිහත්වීමෙන් සත්ව සංරක්ෂණාගාරයක් වෙත අපි ලේන් පැටියා බාර දුනිමු. එම බාරදීම ම ප‍්‍රශ්න වැලක ආරම්භයක් විය. එම නිලධාරින් අපට නීතිය කියා දුන්නේ බිළිඳු ලේනා බිම වැටී සිටි දුටු පළමු දිනයේ, ඒ මොහොතේම අප කළ යුතුව තිබුණේ 911 දුරකතනය අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දීමයි. එවෙලේම පැමිණෙන සත්ව සංරක්ෂකයන් ඒ සතා භාරගෙන ඔහුගේ අභිවෘද්ධියට කටයුතු කරනු ඇත. එසේ නොකොට මගේ මිතුරා සන්තකයට ගැනීම සත්ව ආඥාපනත උල්ලංඝනය කිරීමකි. පළමුවරට නොදන්නා කමට අපට සමාව දුන් ඔවුන් දෙවන වර මෙවැන්නක් කිරීමට ඉඩක් නැති බව තදින් අවවාද කළේය.



සත්ව හිංසනය වැළැක්වීම රාජ්‍යයට අයත් කාර්යයකි. එය අන් සියල්ල අභිබවා සිටී. බටහිර රටවල් පමණක් නොව ඉන්දියාව වැනි රටවල් පවා රටේ නීතිය ආරක්ෂා කිරීම මුල් තැනක් ගෙන තිබුණත් ලංකාව වැනි රටක ඒ නීතිය අභිබවා කාලි මෑනියන්ට, විෂ්ණු දෙවියන්ට, පල්ලියට, එහි බිෂොප්වරයාට, මල්වත්තට, අස්ගිරියට කි‍්‍රයා කළ හැක්කේ, රාජ්‍ය ගමන් කරන්නේ ආගම් හා මිථ්‍යා විස්වාසයන්හි රෝද උඩ නිසාය.

කාලි මෑණියන්ගේ බිලිපූජාවන්ට විරුද්ධවන මර්වින් සිල්වා අමාත්‍යවරයාම නඩත්තු කරන විෂ්ණු දේවාලයක් කැලණියේ ඇත. ලෞකික රාජ්‍යයේ ඌව පළාත් මහඇමතිවරයා එම ප‍්‍රාන්තයේ විශාලම ආගමික ස්ථානය වන කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාය. රාජ්‍ය නායකයා, විරුද්ධ පක්ෂ නායකයා හා මැති ඇමතිවරුන් ගෙල පැළදි සුර හා අත්වල තට්ටු ගැසුණු පිරිත් නූල් කියාපාන්නේ ඔවුන්ගේ දේශපාලන ගමන යන වාහනය ආගමික එකක් බවය. එවැනි පාලකයන්ට කාලි දේවාලයේ කලහය කල්පවත්නා ලෙස විසඳිය නොහැකිය. පාලකයෝ කාලි මෑණියන්ට බියවෙති. බිලිපූජාවට එරෙහි අතුරලියේ රතන හිමි හින්දු ආගමේ ප‍්‍රවාදයන් බුද්ධාගමේ න්‍යායන් අනුව විනිශ්චය කරති. ඒ එළඹුම් දෙකම වැරදිය. කළ යුත්තේ ‘රජුන්ගේ දේ රජුන්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත්’ හිමි කෙරෙන ලෞකික රාජ්‍ය පාලනයක් සාදා ගැනීමයි. මිථ්‍යා විශ්වාසයන් අභිබවනය කළ නොහැකි ආණ්ඩුවලට මෙවැනි ආගමික ගැටුම් කවදාවත් වැළැක්විය නොහැකිය. ඒ පාලකයන්ද අර්බුදයේ ම කොටසක් වන හෙයිනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kali Amman Temple, D.S. Senanayake, Ranasinghe Premadasa, J.R. Jayawardena, Mahinda Rajapakse, Hindu Religion, Buddhism, Jain Religion, Sathi Pooja-India, British Government law about social safety, Canadian Law about animals' Safety, Sri Lankan Tamil Migrants, Katharagama Devalaya, Mervin Silva, Religions in Sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චන්ද්‍රරත්න බණ්ඩාරගෙන් තවත් වියමන්
අදහස්
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
අදහස්
66 වසක ශ්‍රී ලංකාවේ නිදහසට ජයවේවා! [?]
වෙසෙස්
සාමකාමීන්ගේ සාහිත්‍ය කලා
අදහස්
බෞද්ධකම දුස්සීලයන්ගේ ගොදුරක්ව....
වෙසෙස්
පියසීලි විජේගුණසිංහ| පිවිතුරු දැනුම උල්පත
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ආනන්ද මෛත්‍රෙය හිමි ආගම්වාදීන්, ජාතිවාදීන් ගැන....
ආගම්වාදීන්, ජාතිවාදීන් අන්ධයන් පෙළක් වැනිය. මුලින් සිටින්නා ද නොදකියි, මැද සිටින්නා ද නොදකියි- පිටුපසින් සිටින්නා ද නොදකියි.

-බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි (1896- 1998)
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook