Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
ධනේශ්වර ක්‍රමයට භීෂණය අවශ්‍ය වන්නේ ඇයි? -නයෝමි ක්ලේන් සමග කතා බහක්.
පරිවර්තනය- Koombiya | කූඹියා
බූන්දි, 00:10:55
නයෝමි ක්ලේන් (Naomi Klein) කැනේඩියානු ලේඛිකාවක්. වරෙක, ප්‍රොස්පෙක්ට් සඟරාව මගින් ලොව ඉහළම බුද්ධිමතුන් සිය දෙනා නම් කරන ලද ලැයිස්තුවක 11 වන ස්ථානය දිනා ගැනීමට ඈ සමත් වූවා. නයෝමි මුල් වරට ලෝක අවධානයට පාත්‍ර වන්නේ, 2000 වසරේ ඈ ලියා පළ කළ ”No Logo”: No Space, No Choice, No Jobs කෘතිය නිසාවෙන්. එම කෘතියෙන් ඇය සන්නම් නාම (Brand Names) මූලික කර ගත් පාරිභෝජන සංස්කෘතියට එරෙහි දැඩි පහරදීමක් කරනවා. ප්‍රකට සන්නම් නාමධාරී විශාල සමාගම්, සිය ලාභ රේට්ටු ඉහළ දමා ගැනීමේ අරමුණෙන්, දිළිඳු රටවල කරන ශ්‍රම සූරාකෑම උදාහරණ සහිතව පෙන්වා දුන් මේ කෘතිය ගෝලීයකරණ විරෝධීන්ගේ අත් පොතක් බවට පත් වී තිබෙනවා.

2007 දී එළි දැක්වූ ”The Shock Doctrine”: The Rise of Disaster Capitalism මගින් ඇය ධනේශ්වර ක්‍රමයේ තවත් අඳුරු පැතිකඩක්; එනම්, ව්‍යසන ධනවාදයේ නැගීම නිරාවරණය කරනවා. එහිදී ඈ නොබෙල් ත්‍යාගලාභී ආර්ථීක විද්‍යාඥ Milton Friedman සහ චිකාගෝ ආර්ථීක විද්‍යා සරසවිය විසින් එළි දක්වන ලද නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති යොදා ගනිමින්, චිලී රටෙහි පිනෝචේ යටතේත්, රුසියාවේ යෙල්ට්සින් යටතේත් සිදු කරන්නට වැයම් කළ වෙනස්කම් ගැන දැඩි ලෙස විවේචනය කරනවා. කැත්‍රිනා සුළි කුණාටුවෙන් පසු New Orleans වල-

-පාසල් පෞද්ගලිකකරණය කිරීම උදාහරණ කර ගනිමින්, සාමාන්‍ය අවස්ථාවල ඉටු කොට ගත නොහැකි වෙනස්කම්, ජනතාව කම්පනය වී සිටිද්දී ඉටු කරගැනීමේ ''කම්පන න්‍යාය''; එනම්, ධනවාදයේ අලුත් මුහුණුවරක් වන ව්‍යසන ධනවාදය ගැන නයෝමී මෙහිදී අදහස් දක්වනවා.

පහත දැක්වෙන්නේ, Shock Doctrine කෘතිය පිළිබඳවත්, යුද්ධය, නිදහස් වෙළඳ පොළ මූලධර්මවාදය පිළිබඳවත් නයෝමි ක්ලේන් සමග කෙනත් වයිට් 2007 සැප්තැම්බර් 10 දින කළ කතා බහක සංක්ෂිප්ත පරිවර්තනයක්.

• බොහෝ අය හිතනවා නිදහස් වෙළඳපොළ ක්‍රමය සහ ප්‍රජාතන්ත්‍රවාදය එකට ගමන් කරන බවත්, ඔය දෙක එකතු වුනාම, ජනතාව නිදහස් සහ සමෘද්ධිමත් වන බවත්. නමුත්, නිදහස් වෙළඳ පොළ පිළිබඳ මතවාදය ලෝ පුරා ජය කෙහෙළි නංවා ඇත්තේ, එය ජනතාව විසින් කැමැත්තෙන් වැළඳ ගැනීම නිසා නොවන බවටත්, එය ඔවුන් මත බලෙන් පැටවීම නිසා බවටත් ඔබ තර්ක කරනවා, විශේෂයෙන් ම ආපදා අවස්ථාවලදී. එපමණක් නොව, ඇතැම් අවස්ථාවල දී, ඇතැම් ආණ්ඩු මෙබඳු ආපදාවයන් නොහොත් ව්‍යසනයන් ඔවුන්ම නිර්මාණය කොට, එම ව්‍යසනයන් නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති රටවල් තුළට ගෙන ඒමට ව්‍යාජ හේතු ලෙස යොදා ගන්නවා. නමුත්, මේවායෙන් ධනවත් වී ඇත්තේ ඒවා හඳුන්වාදුන් අයම පමණයි. මොකද මේ ගැන ඔබේ අදහස?

ඉතාම හොඳයි. මට තර්ක කිහිපයක් තියෙනවා. මම දන්නෙ නෑ, ආණ්ඩු ඔවුන් විසින්ම අර්බුද නිර්මාණය කිරීමක් ගැන උදාහරණ තිබෙන බවක්.

• හොඳයි ප්‍රචණ්ඩත්වය, නැත්නම් සැහැසිකම යනු ධනවාදයේ ආවේණික ලක්ෂණයක් ද? නොඑසේනම්, ගෙවුණු සියවස් කිහිපයක් මුළුල්ලේම වැඩෙහි යෙදවීම නිසා මෑතකදී වර්ධනය වුනු තත්ත්වයක්ද?

මම හිතන්නේ ඔබට එසේ තර්කයක් නගන්න පුළුවන්. නමුත්, මේ පොතේදී (Shock Doctrine) සලකා බැලෙන්නේ විවිධ ධනේශ්වර මාදිලීන් අතර පවතින ගැටුමක් ගැන. මෙය ඇත්තෙන්ම, කෙයින්සියානුවාදය[1] (Keynesianism); එනම් මේ රටෙහි (කැනඩාවේ) තිබෙන්නාක් වැනි මිශ්‍ර ආර්ථීක ක්‍රමයක් සහ එබඳු මිශ්‍ර ආර්ථීක ක්‍රමයකට සපුරා විරුද්ධ මූලධර්මවාදී ධනේශ්වර මාදිලිය අතර කෙරෙන මතවාදීමය සටනක්! එබඳු මූලධර්මවාදී ධනේශ්වරවාදීන් බිහි කරන දෙය කොහෙත්ම ධනවාදයක් නොවේ. එය ඇත්තෙන්ම සංස්ථාවාදයක් (Corporatism) පමණයි! චීනය එක උදාහරණයක්.

• එබඳු මූලධර්මවාදී ධනේශ්වර මාදිලියක ලක්ෂණ මොනවාද?

නිර්මලබවට ඇති කැමැත්ත, සර්වසම්පූණ සමබරතාවයක් ගැන විශ්වාස කිරීම, ප්‍රශ්ණයක් ඇති වුන වහාම එය දූෂණය නම් ගිණුමට බැර කිරීම. මේක මං හිතන්නේ ආගමික මූලධර්මවාදීන් සහ මාක්ස්වාදී මූලධර්මවාදීනුත් කරනවා. ඔස්ට්‍රේලියානු ආර්ථීක විද්‍යාඥ Friedrich Hayek සහ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාඥ Milton Friedman කියන දෙන්නම මේ නිර්මල- පරම පවිත්‍ර ක්‍රමයක් ගැන හීනය දැක්කා. නමුත්, මං කියන්නේ කවුරු නමුත් යම් ක්‍රමයකට ප්‍රේම කිරීම භයානකයි. මොකද එම ක්‍රමයට ලෝකය අනුගත නොවුනහම, ඔබට ලෝකයත් එක්ක කේන්ති යන්න ගන්නවා.

• මේ ආර්ථීක විද්‍යාඥයින් එබඳු ''පවිත්‍ර'' ධනේශ්වර මාදිලියක් වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලියි. එතකොට මොකද්ද මේ අයගෙ සම්බන්ධය ''ව්‍යසනයන්'' සමග?

ව්‍යසනයන් කියන්නේ, ජනතාව ඔවුන්ගේ ගමන් මගින් ඉවතට ඇද දමන, ඔවුන් සී සී කඩ විසුරුවා දමන, කම්පනයක් ඇති කරන තත්ත්වයක්. හරියටම New Orleansවල සැඩ කුණාටුවෙන් වුනා වගේ. නැත්නම් බෝම්බ ප්‍රහාරයකට ලක් වීමක් වගේ.... ඔවුන්ගේ සියළු දේ කුඩු පට්ටම් කරන.... සැප්තැම්බර් 11 වෙනිදායින් පස්සෙ වුනා වගේ... ඇතැම් ඒවා පාලනය කළ හැකි දේශපාලනික සිදුවීම්. ව්‍යසනයන් නිසා මෙබඳු අවස්ථා ඇතිවන බවට වැටහීමක් තිබෙන්න ඕනේ. එවන් අවස්ථාවල ක්‍රියාකාරීවීමට බුද්ධි-මණ්ඩලයක් ඉන්න ඕනේ. ඔවුන් ව්‍යසනයක් සිදු වුනු විට කළ යුතු දේ සූදානම්ව ඉන්න ඕනේ. Milton Friedman කියනවා සැබෑ වෙනසක් නිර්මාණය වන්නේ අර්බුද සහ එවිට ඇති වෙන අදහස් මගින් කියලා...

• චිලී ගැන කතා කරමු. 1970 දී පමණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක්, සමාජවාදියෙක් වුන සැල්වදෝර් අය්යන්දේ (Salvador Allende) බලයට පත් වෙනවා. නමුත් ඔහු ඇමරිකාව එක්ක ගියේ නෑ. කස්ත්‍රෝ සහ සෝවියට් දේශයට හිතවත්. ඇමරිකන් ජනාධිපතිවරු ඔහුව සැක කළා.

ඔව්. ජනාධිපති නික්සන් (Richard M. Nixon) සහ කිසින්ජර් (Kissinger, Henry- රාජ්‍ය ලේකම්) දෙන්නම. මම මේ පොතට ඇතුළත් කරලා තියනවා කිසින්ජර් නික්සන්ට යවපු ලියුමකින් උද්ධෘතයක්. මේ සම්බන්ධයෙන් ඒ වෙද්දි එයාල ප්‍රසිද්ධියේ කිවුවේ, අයියන්දේ සෝවියට් සංගමයට හිතවත්, ඔහු ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක්, ඔහු හදන්නේ චිලී රට ඒකාධිපතිවාදයකට ගෙනි යන්න වගේ කතා. නමුත් කිසින්ජර් මේකෙ කියනවා සැබෑ තර්ජනය සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත වීමයි කියලා. සෝවියට් සංගමය ඔවුන්ට බය උපදවන්නක්. ස්ටැලින්ට වෛර කරන්න පුළුවන් ලේසියෙන්. නමුත් ඇත්ත තර්ජනය වුනේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක් ඇති වීම පිළිබඳ බිය. මොකද ඒක ඒකාධිපතිවාදී කොමියුනිස්ට්වාදය සහ ධනවාදයට විකල්ප තුන්වෙනි මගක් වූ නිසා.

• සෝවියට් සංගමය සම්බන්ධව පැන නැගුනු සීතල යුද්ධය පිළිබඳ කාරණාවට වඩා ඇමරිකාව බය වුනේ ඔන්න ඔය කිවුව හේතුවට නේද?

ඉරාන අගමැති මොසාදේජ් (Mossadegh) පරාජයට පත් කිරීම... ග්වාතමාලා ජනාධිපති ආර්බෙන්ස් (Arbenz) බලයෙන් පහ කිරීම... මේ දෙක තමා පණස් ගණන්වල සිද්ධ වුන පළමු සී.අයි.ඒ. කුමන්ත්‍රණ දෙක. මොවුන් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුන පාලකයෝ. මේ සෝවියට් ගෝනිබිල්ලා මවා පෙන්වීමේ ඇත්ත තේරුම වුනේ එක්සත් ජනපදයේ විදේශ ආයෝජනවලට තිබුණු තර්ජන පාලනය කර ගැනීම. ඒකෙ කිසිම සැකයක් නෑ.

• සැල්වදෝර් අය්යන්දේව ඉවර කරනවා පිනෝචේ (Pinochet). පිනෝචේට සහයෝගය ලැබෙන්නෙ එක්සත් ජනපදයෙන්... චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාඥයින්ගෙන්.... කවුරුත් දන්න පරිදි පිනෝචේ එයාගේ විරුද්ධ පාක්ෂිකයන්ව විවිධ ම්ලේච්ඡ ක්‍රම වලින් විනාශ කරනවා. සමූහ ඝාතන... භීෂණය... ඇමරිකාවේ ආශිර්වාදයෙන් නව ක්‍රමයක් චිලියේ ස්ථාපනය කිරීමයි මේ සියල්ලේ අරමුණ වුනේ. මෙහිදී අත් හදා බැලු භීෂණයත් එම නව ආර්ථීකය ස්ථාපනයේ ආවශ්‍යක අංගයක් වුනා කියා ඔබ සිතනවාද?

චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා අත්හදාබැලීම් සඳහා චිලී රට පර්යේෂණාගාරයක් කර ගන්න හිතුව එක නිකං හරියට බෙවර්ලී හිල්ස් වල ඉඳගෙන ධනේශ්වර විරෝධී විප්ලවයක් කරන්න හදනවා වාගේ වැඩක්. චිලී ඔය අදහස් ක්‍රියාත්මක කරන්න කිසිසේත්ම සුදුසු වුනේ නැහැ. නමුත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආධාර මත, චිකාගෝ විශ්ව විද්‍යාලයයීය උගතුන් සහ පිනෝචේ මේ පර්යේෂණය කෙරුවා. බදු... 15%ක බද්දක්.... වරලත් පාසල්... කම්කරු වෘත්තීය සමිති වලට කිසිම ආකාරයක දේශපාලනයක නියුතු වීම තහනම් කර පනවන ලද නීති...! කෙළින්ම Friedmanගෙ පොතෙන් අරගෙන ඒවා නීති බවට පෙරලුවා වගෙයි හරියටම.... බලහත්කාරය ඇරෙන්න මේවා කරන්න වෙන විදිහක් තිබ්බෙ නැහැ...

• ඔබ කතා කරනවා හුඟක් ම්ලේච්ඡ ලෙස හිංසනය යොදා ගැනීම ගැන... විශාල කම්පනයක් මගින් වෙනසක් ඇති කිරීම ගැන.... මිනිස්සුන්ව ඔවුන්ගෙ හැසිරීම් රටාවලින් උගුල්ලලා අරන් අලුත් මතවාදයකට ඇදලා දැමීමට.... හිංසනය එකම ක්‍රමය වීම ගැන ඔබ කතා කරනවා.

විශාල ව්‍යසනයක් සිදු වුනොතින් මිසක්, මිනිස්සු තමන්ගේ ජීවිතවල වෙනස්කම් කර ගැනීමට සූදානම් නැහැ. New Orleans කුණාටුව බලන්න. එතන, මිනිස්සු කවමදාවත් ඔවුන්ගේ නිවාස අත හැරලා යාවිද මේ ස්වභාවික විපත සිදු නොවුනා නම්... මම එහෙ හිටියා කුණාටුවෙන් සතියකට පස්සෙ... එතකොටත්... ඒ හරිය බාගයක්ම වතුරෙන් යටවෙලා.... පුවත්පතක තිබුණා... රිපබ්ලිකන් කොංග්‍රස් සාමාජිකයෙක් කියනවා... ''අපිට බැරි වුනා නිවාස ඉවත් කරන්න. නමුත් දෙවියෝ ඒක කළා....!'' කියලා...

• චීනය දෙසට හැරෙමු... එහිදී ආර්ථීකය සම්පූර්ණයෙන්ම විවෘත නැහැ. ඔවුන්ගේ ජීවන තත්ත්වයේ සහ නිදහසේ සැලකිය යුතු වර්ධනයක් ද පෙන්නුම් කෙරෙනවා.

චීනය පිළිබඳ සංවාදය සතුටුදායක නැහැ. එහි කණ්ඩායමක් ඉන්නවා පක්ෂය විවේචනය කරන. ඔවුන් තමන්ව හඳුන්වාගන්නේ චීනයේ නව වාමාංශය (China's new left) වශයෙන්. කොමියුනිස්ට් පක්ෂය, එනම් ආණ්ඩුව පසුතැවිල්ලක ඉන්නේ චීනයේ ගම සහ නගරය අතර ඇති අසමානතා පිළිබඳව. ඔවුන් ඒකට ප්‍රතිචාර දවන්නේ සම්පත් නැවත බෙදා හැරීමෙන්... පසුගිය අවුරුද්දෙ පමණක් චීනයේ විරෝධතා 87,000ක් ඇති වුනා. පුදුම සහගත සංඛ්‍යා ලේඛනයක්... ඒකෙ තේරුම පැහැදිලිවම චීනය යන විදිහ ගැන අතෘප්තියෙන් පසුවන පිරිසක් සිටින බවයි.

මේ අතර, චීනය නව තාක්ෂණය සඳහා පර්යේෂණාගාරයක් වෙමින් පවතින බවත් පේනවා. අපනයන සැකසුම් කලාපය පිළිබඳ සංකල්පය උපන් චීනයේ වරාය නගරයක් වන Shenzhen, ජෛවමිතික පුද්ගල හැඳුනුම්පතක් (Biometric Identification Card) නිකුත් කිරීම සඳහා පර්යේෂණ බිමක් බවට පත් කොට ගෙන තිබෙනවා. එය පුදගලයාගේ අතීතයේ සිට වර්තමානය දක්වා සියල්ල අඩංගු කළ උපකරණයක්. ඒ නගරයේ පමණක් සී.සී.ටී.වී. කැමරා දෙලක්ෂයක් තිබෙනවා. පොලිසිය ජී.පී.එස්. තාක්ෂණයෙන් සන්නද්ධයි. මේ පද්ධති ක්‍රියාත්මක කරන්නේ මයික්‍රසොෆ්ට් මගින්.

• ඒ වගේම ගූග්ල් ඉඳන් යාහූ දක්වා හැමෝම මෙහේ වැඩට බැහැලා ඉන්නේ...?

1989 දී පමණ කතිකාව වුනේ විශාල සන්නිවේදන සමාගම් මගින් රූපවාහිනිය, චන්ද්‍රිකා රූපවාහිනිය වගේ දේවල් වලින් චීනයට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒවි කියන එකයි. දැන් එබඳු තාක්ෂණික උපකරණ මගින්ම, එම සමාගම් මගින්ම බරපතල ලෙස පුද්ගලයන් සහ ඔවුන්ගේ අනන්‍යතා නිරීක්ෂණය කරන උපකරණ හඳුන්වා දෙමින් තිබෙනවා. චීනයේ වෙමින් තියන දේ හරියටම කියන්න බැරි වුනත්, මේවා මගින් මගේ නිබන්ධනයේ සත්‍යතාව පෙන්වනවා.

විවාදයකින් තොරවම චීනය අසාමාන්‍ය ලෙස ලාභදායී රටක්. මට හිතෙන්නේ චීනය, ධනේශ්වර ක්‍රමයත්, නිදහස් වෙළඳපොළ ක්‍රමයත්, ජනතා නිදහසත් අතර ස්වභාවික පරස්පරයන් පෙන්වමින් සිටිනවා. පැහැදිලිවම අවුල ඒක නෙමෙයි. චීනය එක්කෝ ඉතාම සෙමින් සංක්‍රාන්ති අවදියකට එළඹෙනවා; නො එසේනම් ඔවුන් ප්‍රජාතන්තවාදය මුළුමනින් මග හැර එයින් බැහැරට යොමු වෙමින් තිබෙනවා. එය සංස්ථාවාදයක් (Corporatism). චීනයේ පමණක් නොව රුසියාවේ, ඇමරිකාවේ සහ පිනෝචේගේ චිලී රටේ පවා ප්‍රවණතාවය වුනේ ඒකම තමා...

• හොඳයි. අපි ඉරාකය ගැන කතා කරමු. ඔබ කියන්නේ ඉරාක ආක්‍රමණය මැද පෙරදිගට සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමටවත් එහි සඟවා තිබූ අවි ආයුධ සොයා ගැනීමටවත් කළ එකක් නොවන බවත්, එය මුළුමනින්ම නීති විරෝධී ලෙස අලුත් වෙළඳ පොළක් සහ සංස්ථාවාදය සඳහා නව ලාභයක් සොයා ගැනීමටත් කරන ලද ක්‍රියාවක් බවයි.

එය සංකීර්ණයි. එය ''ඇමරිකාව සමග සෙල්ලම් කරන්නට ආවොත් ඔබට වෙන්නේ මේකයි'' කියන පාඩම ලෝකයට උගන්වන්නටත්, තෙල් සඳහාත් කරන ලද වැඩක්. මම හිතනවා සමහරු හිටියා මැද පෙරදිග යම් ආර්ථීක මාදිලියක් හදන්න ඕනෙ කියන අදහස් තිබෙන. මම හිතන්නේ සියල්ලටම වඩා විකාර සහගත තර්කය වුනේ ඒක. ඇතැම් විට පරමාදර්ශී ලෙස පෙණුනු මේ අදහසෙන් කියවුනේ ඉරාකය නිදහස් වෙළඳපොළ සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත මාදිලියක් බවට පත් කොට, එය සමස්ත කලාපයේම ව්‍යාප්ත කිරීමයි. ඉරාකය ගිලගත් රුදුරු ප්‍රචණ්ඩත්වය මේ අදහසේම නෛසර්ගික අවයවයක් වූවා සේම එම අදහසේ ඉරණම වූයේ ද එකී ප්‍රචණ්ඩත්වයමයි.

• කිසියම් නව මතවාදයක්... එය වෙළඳපොළවාදී වේවා... වෙළඳපොළ විරෝධී වේවා... දියත් කිරීමට ව්‍යසන පසුබිමක් අවස්ථාවාදී ලෙස යොදා ගැනීම හෝ අවස්ථා නිර්මාණය කර ගැනීමට ව්‍යසන යොදා ගැනීම හෝ ඔබ මේ පොතෙන් හෙලා දකිනවා.

ඔව්... මේ අදහස මම පිළිකුල් කරනවා. බොහෝ විට වෙන්නේ, කවුරුහරි මයික්‍රෆෝනයට ගිහින් අහනවා ''නමුත්, තත්ත්වයන් වඩා නරක් වෙන්න පුළුවන් නේද කිසිවක් සිදුවීමට කලින්?'' මෙබඳු මතවාද දරන්නන්ට මම තදින් පහර දෙනවා; මොකද අපි අගයන්නේ මානුෂික වටිනාකම් නිසා... යම් ආපදාවක් මගින් ජනතාව කම්පනය වීම හේතුවෙන් ඔවුන් වෙනස් වේ යැයි බලා සිටීම හරිම අමානුෂික අදහසක්..!

• සාමාන්‍යයෙන් දේශපාලනය කියන්නෙම එහෙම එකක් නේද?

වෙන්න පුළුවන්. මේ පොත මම ලියන්නේ, අපි අපේ ඉතිහාසය මීට වඩා ටිකක් හොඳට දැන ගන්න ඕනේ නිසා. ඉදිරියෙදීත් ව්‍යසනයන් සිදු වීමට නියමිතයි. සංඛ්‍යාලේඛන වලින් පෙනෙන්නේ අපි වඩා බරපතල ව්‍යසනයන්ට මුහුණ දීමට නියමිත බවයි. සැඩ කුණාටු 5ක්.... ත්‍රස්තවාදී ප්‍රහාර... මට අවශ්‍ය වුනේ මිනිසුන්ව මේ ආපදාවන්ට මුහුණ දීම ගැන දැනුවත් කරන්නට. අපි අපේ ඉතිහාසයේ වුන දේවල් ගැන අවදියෙන් ඉන්නවා නම්, එබඳු අවස්ථාවල දකුණෙන් හෝ වමෙන් එන උපක්‍රමශීලී සූරාකෑම් වලට අඩුවෙන් නිරාවරණය වන්නට පුළුවන්.

• ඔබට හිතෙන්නේ නැද්ද සමහරක් රටවල ධනවාදය සාර්ථක වී ඇති බව? උදාහරණයකට අයර්ලන්තය....? ගෙවුණු අවුරුදු 10ක් හෝ 20ක් ඇතුළත ජනගහණය සැලකුවහොත්, ඊට කලින් යුග වල ඔවුන් සිටි අතිශයින්ම දිළිඳු තත්ත්වයෙන්ම සිටින්නේ වඩා අඩු ජන සංඛ්‍යාවක් බව?

මම එකඟ නැහැ. මේ බොහොමයක් සංඛ්‍යාලේඛන චීනය සහ ඉන්දියාව වගේ සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින රටවල් ගැන තමයි කියන්නේ... කෙනෙක් ගොවිපොළක ජීවත් වෙමින්, තමන්ගේම ආහාර වගා කරගනිමින් ජීවත් වීම වෙනුවට දිල්ලිය අවට මුඩුක්කුවක කටුක ජීවිතයක් ගතකරමින් උපයන ඩොලරයක ඇති වටිනාකම මොකද්ද? මේ දෙක සම්පූර්ණයෙන් වෙනස්.... නමුත්.. ඔව්.. ඇත්තෙන්ම සාර්ථක වීම් තිබෙනවා... ධනවාදී රටවල ජීවත් වීමෙන් ලැබෙන පුදුම දේ තිබෙනවා... එවැනි දෙයින් මම වාසි ලබනවා... ඔබ වාසි ලබනවා... එහෙත්, අපිට විශ්වාස කරන්නට පොළඹවලා තියෙන්නේ මොකද්ද? වෙළඳ පොළ ක්‍රමයේ වාසිය අපට ගන්න බැහැ විශාල ජනතාවකට ඒ සමග සම්බන්ධ වීමේ මාර්ග විනාශ නොකළොත් කියන එක නේද? මේ රටම සැලකුවොත්... අධ්‍යාපන වියදම් වැඩි වෙලා... සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කරන්න සැලසුම් හදනවා... මේවා නිසා පංති අතර පරතරය වැඩි වෙනවා... අපට තියෙන්නේ හරිම සාහසික ආර්ථීක ක්‍රමවේදයක්...

• ඒ කියන්නේ, ධනය වඩා හොඳින් එකිනෙකා අතර බෙදී යනවා නම් වෙළඳ පොළ ආර්ථීක ක්‍රමය ගැන ඔබ සතුටු වන බවද?

ඇත්තෙන්ම.

• මම උත්සාහ ගනිමින් ඉන්නවා ඔබේ දේශපාලනය හඳුනාගන්නට. ඒත්, තවමත් ඒක බැරිවුනා....

බලන්න... මං හිතන්නේ, හුඟක් රැඩිකල් වාමාංශිකයෝ බලාපොරොත්තු සුන් කර ගනියි... මේ පොත මොන තරම් කෙයින්සියානු එකක් ද කියලා දැන ගත්තහම...

• ඔබ මිශ්‍ර ආර්ථීක ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින, කෙයින්සියානු අද්වකාත්වරියක් ද?

මා සිතන්නේ, මා යථාර්ථවාදියෙකු බව.

• ඔබ කිසියම් දවසක දේශපාලනයේ නියැලිලා ඉඳලා තියනවද?

නෑ... මම එන්.ඩී.පී. එකට ඡන්දය දමනවා පමණයි.

• නමුත්, ඔබ ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණය ක්‍රමය විශ්වාස කරන... විශාල පිරිසක් ඇති නායිකාවක්... එනිසා දේශපාලනයට පිවිසීම ස්වභාවිකවම සිදු විය යුතුයි නේද?

ඔබට ස්තූතියි... වෘත්තීය උපදෙස් වලට....

• එය උපදෙසක් නොවේ.... මම ඔබෙන් ඇහුවේ.....

ඒක මගේ එක්තරා විදිහක ආත්මාර්ථකාමීකමක් වෙන්න ඇති... පර්යේෂණවල නියැලෙමින් ගෙවන මේ ජීවිතයට මම ආදරෙයි... දේශපාලනය වෙනස්.... නමුත්, යම් දේශපාලනික මොහොතක් එළඹිය හැකියි... යම් දේශපාලන ව්‍යාපෘතියක් විසින් මා යොදවා ගනු ලබන...

• එය සිදු වන්නේ කැනඩාවේදී ද?

ඔව්... එය බොහෝ දුරට ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ යමක් විය හැකියි...

යොමුව-

1- කෙයින්සියානුවාදය (Keynesianism) : බ්‍රි‍තාන්‍ය ආර්ථීක විද්‍යාඥ ජෝන් කෙයින්ස්ගේ (John Maynard Keynes) අදහස් පාදක කරගනිමින් ඇති වූ සාර්ව ආර්ථීක න්‍යායකි. එමගින් ප්‍රමුඛ ලෙස පුද්ගලික අංශය මගින් මෙහෙයවන, එහෙත් රාජ්‍ය අංශය වගකිවයුතු ලෙස ක්‍රියාකරන ආර්ථීක මාදිලියක් යෝජනා කරයි. 2007 ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙම මාදිලිය පිළිබඳ සංවාදය නැවත පණ ගැන්විණ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Why Capitalism Needs Terror: An Interview with Naomi Klein
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Boondi මෙහෙම කියනවා :
@666,
send your email to boondionline@gmail.com. will send a PDF version.


කිවුව වෙලාව- 2010-03-24 05:09:38
666 මෙහෙම කියනවා :
ධනේෂ්වර ක්‍රමය ස්වාභාවික ආපදා පවා ක්‍රමයේ ප්‍රතිපත්ති ඇතුලට නැත්නම් තිරිසන් යාන්ත්‍රණයට සමස්තයේ සාරය උරා ගන්න යොදා ගන්නවා. දැං බලන්න සුනාමිය වෙලාවෙදි වෙච්ච දේවල්? ආධාර පිට රටවල් වලින් ආවම කවුද ඒවා සාක්කු වලට ඔබා ගත්තේ? කාටද අලුතෙන් ගෙවල් එක දෙක ලැබුනේ?

වැඩිය ඕන නෑ අර ඊයේ පෙරේදා කළු ගඟේ පාවෙච්ච දරුවා මාකට් කළ හැටි සෝමලා? හත්වලාමේ උන්ට පුළුවනි ඒ දරුව ජීවත් වෙච්ච ෆ්ලැට් එකේ සේරටම උනත් මාස් පතා බඩ පිරෙන්න කන්න දෙන්න. අන්තිමට උන් ලැජ්ජ නැතිව දුප්පත් අපේම සල්ලි එකතු කරලා තමයි ඒක කරන්න හදන්නේ... ඒකත් මේ ආපදා හරහා මිනිස්සුන්ගේ ඔලු කම්පනය කරලා දොවා ගන්න මාකටිං කිරි ටිකක් විතරයි.

මට නම් හිතෙන්නේ එහෙමයි. නයෝමිගේ පොත කියවන්න ක්‍රමයක් නැද්ද?


කිවුව වෙලාව- 2010-03-24 04:32:27
Amunulla මෙහෙම කියනවා :
niyamai

කිවුව වෙලාව- 2010-03-19 03:23:55
Patakayek මෙහෙම කියනවා :
@Senadeera
POTH DEKAMA ENNE EKA LAGA AWURUDU WALA NE....?
NADIGE [? DEEPTHIGE] POTHA NAOMI KLEINTA YAWALA THIYANAWA KAWURUHARI KUMANTHRANA KARAYEK...

DEEPTHIGEN COPY KARALA WENDA ATHI DERIDA DECONSTRUCTION GANA OYA ANAM MANAM THEORY KATHA KERUWE.... HIKS


කිවුව වෙලාව- 2010-03-16 04:26:57
Senadeera මෙහෙම කියනවා :
මට මේ කවරය දැක්ක ගමන් මතක් වුනේ දීප්තිලගේ නදීලගේ ඩොක්සාව කවි පොතේ කවරය. අර පසු පස කවරයෙන් ඇතුල් වෙලා මුල් පැත්තේ කවරයෙන් පිට වෙලා යන බුලට් එක...ඒක හරියටම එන්නේ අපේ දිහාවටමයි.

නයෝමි ඒකේ අනිත් පැත්ත කරලා....මුලදිම මම හිතං හිටියේ ඒක මාර ජෙනුයින් වැඩක් කියල

බලං ගියාම ඒකත් කොපියක් නේද?

නයෝමිලා වගේ අයට කවරයක් වත් අලුතෙන් නිර්මාණය කරගන්න බැ!

:)

කවර වැඩක් නෑ...
ඇතුල හොඳයි... ඇතුල හොඳයි!


කිවුව වෙලාව- 2010-03-16 03:16:43
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතා-බස් කරන්ට්ස්
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මාටින් ලූතර් කිං (කණිෂ්ඨ) කියයි.
තමන් ගමන් කළ යුත්තේ, නිර්මාණාත්මක පරාර්ථකාමීභාවයේ ආලෝකය තුළින් ද, නොඑසේනම්, විනාශකාරී ආත්මාර්ථකාමීභාවයේ අඳුර තුළින් ද යන්න, සෑම මිනිසෙකුම තීරණය කළ යුතුය.
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook