Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
තරුවන් සරණයි [රේඩියෝ කතා අහන්න!]
රේඩියෝ කතාව අහන්න-



රේඩියෝ කතාව Download කරන්න.

['කණට පාරක්' රේඩියෝ කතා ඕඩියෝ සීඩී තැටියෙන්]
බූන්දි, 22:08:25
පාත්‍ර වර්ගයා- නිවේදක, අගමැති, අධ්‍යක්ෂ, නාසිතා රළපනාව, සුනිද්‍ර වන්නිනායක

(සංගීත හඬ අතරින් නිවේදක කතා කරයි)
නිවේදක- ඔව්, මිත්‍රවරුනි, අපි මේ අවසන් මොහොතටයි එළඹ සිටින්නේ සුපිරි තරු මාවතේ, මං කැමතියි මේ අවස්ථාවේ අපේ සුපිරි තරු මාවතේ ඉතිහාසය සම්බන්ධ කෙටි ආවර්ජනයක් කරන්න. අපි විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිද්දෙන් තරග රැසක් පවත්වා, සුපිරි තරු රැසක් බිහි කළ බව ඔබ දන්නවා. මව්වරුන් වෙනුවෙන් මදර් ස්ටාර්, පියවරුන් වෙනුවෙන් ෆාදර් ස්ටාර්, ආච්චිලා වෙනුවෙන් ග්‍රෑන්ඩ්මදර් ස්ටාර්, සීයලා වෙනුවෙන් ග්‍රෑන්ඩ් ෆාදර් ස්ටාර්, එතකොට පුංචිදරුවන් වෙනුවෙන් කිඩ්ස් ස්ටාර්, එතනින් ගියාම භික්ෂූන් වෙනුවෙන් මොන්ක් ස්ටාර්, පූජකවරුන් වෙනුවෙන් රෙවරන්ට් ස්ටාර්, හිඟන්නන් වෙනුවෙන් බෙගර් ස්ටාර් සංවිධානය කළා. ඒ විතරක් නෙවෙයි රියදුරන් වෙනුවෙන් ඩ්‍රයිවර් ස්ටාර්, කොන්දොස්තරවරු වෙනුවෙන් කන්ඩක්ටර් ස්ටාර්, ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් සිකුරුටි ගාඩ් ස්ටාර්, පොලිස් නිලධාරීන් වෙනුවෙන් පොලිස් ස්ටාර්, පාබල හමුදාව වෙනුවෙන් ආමි ස්ටාර්, නාවුක හමුදාව වෙනුවෙන් නේවි ස්ටාර්, ගුවන් හමුදාව වෙනුවෙන් එයාර්ෆෝස් ස්ටාර් පැවැත්වූ බව ඔබ දන්නවා. අපි එතනින් නැවතුණේ නැහැ. කම්කරුවන් සඳහා ලේබර් ස්ටාර්, පිරිසිදුකරන්නන් සඳහා ක්ලීනර් ස්ටාර්, කාර්යාලීය නිලධාරීන් වෙනුවෙන් ඔෆිසර් ස්ටාර්, කාර්යාලීය සහායකයන් වෙනුවෙන් පියන් ස්ටාර්, වැඩ බලන්නන් සඳහා සුපවයිසර් ස්ටාර්, සභාපතිවරුන් වෙනුවෙන් චෙයාර්මන් ස්ටාර්, කළමනාකරුවන් වෙනුවෙන් මැනේජර් ස්ටාර්,විගණන නිලධාරීන් වෙනුවෙන් ඔඩිට් ස්ටාර්, ගණාකාධිකාරවරුන්ට එකවුන්ටන් ස්ටාර්, තාක්ෂණ ශිල්පීන් සඳහා ටෙක්නීෂියන් ස්ටාර්, විදුලි කාර්මික ශිල්පීන් සඳහා ඉලෙක්ට්‍රිෂියන් ස්ටාර් සංවිධානය කළා.ඒ විතරක්ද, වඩු කාර්මික ශිල්පීන් සඳහා කාපෙන්ටර් ස්ටාර්, ධීවරයන් සඳහා ෆිෂර්මන් ස්ටාර්, කොණ්ඩය කපන්නන් සඳහා බාබර් ස්ටාර්, වෙළඳෙ සහායකයන් සඳහා සේල්ස්මන් ස්ටාර්, වෙළෙන්දන් සඳහා මර්චන්ට් ස්ටාර්, ආහාර පිසින්නන් සඳහා කුක් ස්ටාර්, පිළිගැනීමේ නිලධාරීන් සඳහා රිසෙප්ෂනිස්ට් ස්ටාර් තරු බිහි කළා. එපමණක් නොවෙයි පුස්තකාලයාධිපතිවරු සඳහා ලයිබ්‍රේරියන් ස්ටාර්, විදුහල්පතිවරුන් සඳහා ප්‍රින්සිපල් ස්ටාර්, ගුරුවරුන් සඳහා ටීචර් ස්ටාර්, කථීකාචාර්යවරුන් සඳහා ලෙක්චර ස්ටාර්, මහාචාර්යවරුන්සඳහා ප්‍රොෆෙසර් ස්ටාර්, බන්ධනාගාර නිලධාරීන් සඳහා ජේලර් ස්ටාර්, නීතිඥයන් සඳහා ලෝයර් ස්ටාර්, විනිසුරුවරුන් සඳහා ජජ්ස්ටාර් ඔබ වෙත අරගෙන ආවා. ඒ වගේම ඉංජිනේරුවන් සඳහා ඉංජිනියරින් ස්ටාර්, ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා ආකිටෙක්චරර් ස්ටාර්, ජ්‍යෙතිෂවේදීන් සඳහා ඇස්ට්‍රොලොජි ස්ටාර්, වෛද්‍යවරු සඳහා ඩොක්ටර් ස්ටාර්, සාත්තු සේවිකාවන් සඳහා නර්ස් ස්ටාර්,රචකයන් සඳහා රයිටර් ස්ටාර්, අධ්‍යක්ෂවරුන් සඳහා ඩිරෙක්ටර් ස්ටාර්,නිවේදකයන් සඳහා එනවුන්සර් ස්ටාර්, ඇමතිවරු සඳහා මිනිස්ටර් ස්ටාර්, අපි පවත්වා මෙකී නොකී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිද්දෙන් අපි සුපිරි තරු බිහි කළා. අපි මිය ගිය පුද්ගලයන්වත් අමතක කළේ නෑ. ඔවුන් සඳහා ඩෙඩ් ස්ටාර් ප්‍රසංගය පැවැත්වීමට සියල්ල සැලසුම් කළත්, අවාසනාවකට මැරුණු කිසිම කෙනෙකුට හඬ නැගීමට නොහැකි වූ නිසා එය අවලංගු කිරීමට සිදුවුණා. ඒත්, ඔබගේ සුපර් ස්ටාර් සිහිනය තවදුරටත් මල් ඵල ගන්වමින් අපි රෝගීන් උදෙසා පේෂන්ට් ස්ටාර්, සුපිරි ගායන තරු මංගල්‍යය ඔබ හමුවට ගෙන ඒමට කටයුතු කළා. ඔව්, මේ තමයි ඒ අසිරිමත් මොහොත. අපේ ව්‍යායාමය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්කරමින් දස ලක්ෂ සංඛ්‍යාත රෝගීන් මෙයට සහභාගී වූ බව ඔබදන්නවා. ඩෙංගු, මැලේරියා, පාචනය, ගලගණ්ඩය, අතීසාරය,සෙංගමාලය, උණසන්නිපාතය, කක්කල් කැස්ස, නියුමෝනියාව, දියවැඩියාව, ගලපටලය, අධික රුධිර පීඩනය, හදවත් රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් ආදී නානාවිධ අසාධ්‍ය රෝගීන් පේෂන්ස්ටාර් සඳහා තරග වැදුණු ආකාරය ඔබ දුටුවා. හොඳයි අද මේ එළඹ තිබෙන්නේ පේෂන්ට් ස්ටාර් ගායන තරු මෞලිමංගල්‍යයේ අවසන් මහා තරගයටයි. ඔව් අද අංක එකෙන් ඩෙංගුරෝගියෙක් හා අංක දෙකෙන් ඒඩ්ස් රෝගියෙක්, ඒ පේෂන්ට් ස්ටාර්සුපිරි කිරුළ සඳහා මේ රාත්‍රියේ තරග වදිනවා. වෙනදා වගේම ඔබට පුළුවන් ඔබේ මනාපය එස්.එම්.එස්. මගින් මෙම රෝගීන් දෙදෙනාගෙන් අයෙකුට ලබා දෙන්න. ඔබට තියෙන්නේ පේෂන්ට් ස්ටාර් හෙවත් පී.එස්.එස්. හිස්තැනක් අංක එක හෝ අංක දෙක ලෙස එස්.එම්.එස්. කරමින් ඒ සුපිරි තාරකාව තේරීමට දායක වන්න. අවසන් මහා කිරුළ සඳහා මිලියන දාහක් වටිනා සුඛෝපභෝගීනවීන පන්නයේ නෞකාවක් හා අඩි හයක් උස සම්මානයක් තෑගිවශයෙන් ලැබෙනවා. දෙවන ස්ථානය සඳහා මිලියන පන්සීයක්වටිනා මැදිරි පහකින් සමන්විත ඇංජිම සහිත නව දුම්රියක් සමග අඩි තුනක සම්මානයක් හිමි වෙනවා. ඔව්, වෙනදා වගේම මේ රෝගී තාරකාවන් සඳහා ඩොක්ටර් ස්ටාර් සුපිරි තරුව ප්‍රමුඛ අනෙකුත් පරිවාර තාරුකා හා නර්ස් ස්ටාර් තරගයේ සුපිරි තාරුකාව ප්‍රමුඛ අනෙකුත් තාරුකා ප්‍රතිකාර කරමින් සහය වෙනවා. මොකද, මේ තරගකරුවන් දෙදෙනාම අසාධ්‍ය රෝගීන්. සුපුරුදු විලාසයෙන් සේලයින් හා අනෙකුත් ප්‍රතිකාර හා සත්කාර මධ්‍යයේ ඇඳන් තුළ දිගාවී තමයි අදත් තමන්ගේ අද්විතීය ගායනා කුසලතා ඉදිරිපත් කරන්නේ. ඔව්, අපි එහෙනම් තරගය ආරම්භ කරමු. මං ආරාධනා කරනවා. අංක එකෙන් තරග වදින ඩෙංගු රෝගි අසාධ්‍ය ගායක සුනිද්‍ර වන්නිනායකට තම හඬ මාධුර්ය අවදි කරන ලෙස.
(සංගීතය)

ඩෙංගු රෝගියා-
දෑසට පෙනෙන රළු සිතුවම් වලාවේ
පිබිදෙන කටුක පතුළට ගැබ පලා ඒ
සිරුරට නැගෙන රිදවුම් තත් වෙලාවේ
ඉපදෙන මැරෙන මරවන මේ තලාවේ

කම්පන නැගෙනවා හද ජීවන බරක
කාලය කවනවා මහ මග රියක
හිස්කම නගිනවා පැසවෙන සැරක
බලයෙන් මඩිනවා ගොයමක ලෙසක

ගල් රූ දෙසනවා බුරමින් නොයෙක
බොල් හිස් නටනවා ටෙලිරුව කොනක
වල්මත දුවනවා හැම සී සී කඩක
එදිරිව හෙළනවා පීඩන බරක
(සංගීතය)

නිවේදක- ඇත්තටම ඩෙංගු රෝගියෙක් කියන්නට බැරි තරම් දක්ෂතාවක් ඔහු ඔහුගේ ගායනය තුළින් අද දක්වා සිටියා. පේෂන්ට් ස්ටාර් රෝගී ගායන තරු මං පෙතේ ඉහළම සුපිරි තාරකාව වන්නට ඔබ විසින් ඔහුට පී.එස්.එස්. හිස්තැනක් අංක එකට, මනාපය දක්වා සිටියයුතු වෙනවා. ඒ වගේම, මං කැමතියි මේ අවස්ථාවේදි විනිසුරු මණ්ඩලයේ අදහස් වෙත ඔබ යොමු කරවාලන්න. ඔබ දන්නවා අපේ විනිශ්චය මණ්ඩලයේ අසුන්ගෙන සිටින්නේ, අපගේ මිනිස්ටර් ස්ටාර් සුපිරි තරගයේ සුපිරි තාරකාව ලෙසින් වැඩිම මනාප ලබා අභිෂේක ලැබූ, ප්‍රජාතන්ත්‍රික සමාජ හා මානව හිතවාදී ජනරජයේ නායක, විධායක අගමැති, ගරු විජයරාජ පලිහවඩන කීර්තිසිංහ මැතිතුමා බව. ඔහු බහුභාෂා පරමේෂ්වරවරයෙක්. ඒ වගේම සකලකලා වල්ලභයෙක්. බහුපඨිත මහදැනමුත්තෙක් බව ඔබ දන්නවා. ඔව්, ඔබට අවසරයි උතුමාණෙනි.

අගමැති- බොහෝම ස්තූතියි ඔබේ හැඳින්වීමට. ඔබ වැනි එනවුන්සර් ස්ටාර් තරගයේ තාරකාවන් ගැන මම නිරන්තරයෙන් ආඩම්බර වෙනවා. මට මේ ගෞරවනීය විනිසුරු මණ්ඩලයට ආරාධනා කිරීම, රට, ජාතිය,ආගමට කරන ලද ගෞරවනීය සැලකීමක්. මේ පේෂන්ට් ස්ටාර් සුපිරි තරු වැඩසටහන, ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වෙන කාර්යයක් කරන්නෙ. ආරෝග්‍යා පරමා ලාභා. ගිලනුන්ට උපස්ථානකිරීම කියන්නෙ අපේ බෞද්ධ සංස්කෘතිය හා බැඳී පවතින උතුම් පුණ්‍ය ක්‍රියාවක්. ඔබ මේ අසරණ රෝගීන් සමස්ත වූ ලෝකයට මතු කර පෙන්වීමට දරන්නා වූ මෙම ව්‍යායාමය, අතිශයින්ම කාලෝචිතයි, ශ්‍රේෂ්ඨයි. මේ වගේ රෝගීන් අපට කොයිතරම් ආඩම්බරයක්ද? ඇත්තටම සුනිද්‍ර වන්නිනායක, මට කියන්න තියෙන්නෙ ඔබ අතිවිශිෂ්ටයි කියලා. ඩෙංගු රෝගය නිසා ඔබ අත්වෙලා ඉන්න පීඩනය, ඔබේ ගීය තුළ ගැබ්වෙලා තිබුණා. මේ ගීතය ඔබ කොයිතරම් විශිෂ්ට ලෙස ගායනා කළාද කිව්වොත්, මටත් ඒ වේදනාව දැනෙන්නගත්තා. ඇත්තෙන්ම ඩෙංගු රෝගය වැළඳුනාම ඇස් දෙක නිලංකාරවෙනවා. පේන්නෙම රළු වූ සිතුවම්. සිරුර වේදනාවෙන්, කටුකබවින් බරවෙලා රිදුම් දෙනවා. ගීයේ පදවැල්වල ඔබේ ආත්මය රැඳීපැවතුණා. ඔබේ ගායන හඬ, සංගීතය, ඒ හැඟීම් අපට දැනෙව්වා. පණ්ඩිත් අමරදේවයන් පරාජය කරවන විශාරදත්වයක් ඔබ තුළ තිබුණා. ඔව්, මං දෙනවා ලකුණු අටක්.

නිවේදක- ඔව්, අපේ අතිගරු විධායක අගමැතිතුමා, තමන්ගේ හද පත්ළෙන්ගලා එන නිර්ව්‍යාජ අදහස් ඉතාම ඍජුව ප්‍රකාශ කළා. අපි මීළඟතරගකරු හා සම්බන්ධ වෙමු, මේ විරාමයෙන් අනතුරුව.
(සංගීතය)

අධ්‍යක්ෂ- ප්‍රශ්න වැලක්. ප්‍රශ්න වැලක්. මට නම් තේරෙන්නේ නැහැ කොහොමද මේවා විසඳන්නෙ කියලා.

නිවේදක- දැන්, මොකක්ද ප්‍රශ්නෙ, අධ්‍යක්ෂතුමා?

අධ්‍යක්ෂ- ප්‍රශ්නෙ? ප්‍රශ්නෙ තමයි මේ ගායනා කරන ගීත, එකක්වත් අපේ ව්‍යාපෘතියට ගැළපෙන ඒවා නෙවෙයි.

නිවේදක- ඒත්, මේ ඔක්කොම ගීත නොමිලේ අරගත්තුවා. මේ ගීත රයිටර් ස්ටාර්ගෙන් ලබාගන්න ඕන කියලා තීරණය කළේ ඔහේමයි.

අධ්‍යක්ෂ- ඒත්, මේ ගීත හරිම බරපතළයි කියලා, ඉහළින් කියනවා.

නිවේදක- මොකක්ද බරපතළකම?

අධ්‍යක්ෂ- ඒක තමයි ප්‍රශ්නෙ? අගමැතිතුමාට හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නෙ. වැඩසටහන නතර කරන්න ඕඩර් එකක් දෙන්නයි සූදානම.

නිවේදක- මොනවා?
(සංගීතය)

නිවේදක- ඔව්, විරාමයෙන් අනතුරුව, නැවතත් අපි පේෂන්ට් ස්ටාර් සුපිරිරෝගී ගායන තරු, මෞලි මංගල්‍යයේ කූඨ ප්‍රාප්තිකර මොහොත සමගයි සම්බන්ධව සිටින්නේ. හොඳයි මීළඟ ගායන අවස්ථාව,අංක දෙකෙන් තරග වදින ඒඩ්ස් රෝගී, අසාධ්‍ය ගායිකා නාසිතා රළපනාවට. ඔව්, අපි උණුසුම්ව ඇයව පිළිගනිමු.
(සංගීතය)

ඒඩ්ස් රෝගියා-
ගුගුරණ අහසක හඬ අසපන්
දෙදරණ පොළොවක හැඩ බලපන්
කළඹන සුළඟට මන යොමපන්
පුබුදින හැඟුමට ඉඩ දීපන්

පිපිරුණු ඉරි හැඩතල දිසෙනා
දුම් ගුලි තලි ඉහළට එසෙනා
දුර්ගඳ ජල මුහුදට වදිනා
කර්කශ රැස සිරුරට විදිනා

පැතුමන් ගින්නක කැළඹෙමිනා
හැඟුමන් ගොන්නට රැව් නැගෙනා
සැලසුම් හැල්මට නෙතු එතෙනා
පිපිරුම් ගන්නට නොබෝ දිනා
(සංගීතය)

නිවේදක- මේ ගීය ශ්‍රවණය කරන කොට මට සිහියට ආවේ, ඔබ වැනි රෝගීන් තුළ කොයි තරම් ප්‍රතිභාවක් අභ්‍යන්තරයේ සැඟවී පවතිනවද කියලා. ඔව්, එම ප්‍රතිභාව, දක්ෂතාව තුළින් ඔහුට හෝ ඇයට මේ රාත්‍රියේ,ඒ සුපිරි කිරුළ සමග සුපිරි නෞකාවට හෝ දුම්රියට උරුමකම් කියන්නට පුළුවන්. ඔබ සිතන්නේ අද මේ රාත්‍රියේ ඒ කිරුළ පැළඳිය යුත්තේ නාසිතා රළපනාව නම් පී.එස්.එස්. හිස්තැනක් අංක දෙක යොදා ඔබේ වටිනා එස්.එම්.එස්. මනාපය වහාම ලබා දෙන්න. ඔව්, විනිශ්චය මණ්ඩලයේ අපේ විධායක අගමැතිතුමා යුහුසුළුව සිටිනවා, ඔහුගේ අපක්ෂපාතී විනිශ්චය ප්‍රකාශ කිරීමට. ඔව්, ඔබට අවසරයි.

අගමැති- මං ඔබට මුලින්ම මගේ හෘදයාංගම සුබපැතුම එක් කරනවා. ඇත්තටම අපි දන්නවා මෙවැනි මාරාන්තික ඒඩ්ස් රෝගයක බරපතලකම. ඒඩ්ස් රෝගියකු තුළ තිබිය යුතු සියලු හැඟීම්, ඔබ මේ ගීය තුළ මතු කළා. ඒඩ්ස් රෝගය වැළඳුණු විට සමස්ත පරිසරයම අප්‍රසන්න වෙනවා. අහස ගුගුරනවා වගේ. සුළඟ කැළඹෙනවා වගේ. හැම වෙලේම මනසට චිත්ත පීඩාවක් ඇති වෙනවා. සියලු පැතුමන් ගින්නක දැවෙනවා වගේ, මුළු ශරීරයම පුපුරා යන වේදනාවක් ඇති වෙනවා. ඇත්තටම ඔබට ගැළපෙන හොඳ පද සංකලනයක්. ඔබේ ඉදිරිපත්කිරීමේ විලාසය හරිම ආස්වාදජනකයි. ඔව්, මං ඔබට ලකුණු අටක් ලබා දෙනවා.

නිවේදක- ඔව්, ඒ ලකුණු අටත් සමග අපි සූදානම් නැවත ප්‍රධාන පාලක මැදිරියවෙත සම්බන්ධ වෙන්න. නැවතත් මේ විරාමයෙන් අනතුරුව, ඔබ හා අපි මුණගැහෙනවා, පේෂන්ට් ස්ටාර් රෝගී ගායන තරු මංගල්‍යය තුළින්.
(සංගීතය)

අධ්‍යක්ෂ- මේ වැඩසටහනේ නිෂ්පාදන වගකීම තියෙන්නෙ මට, ඩිරෙක්ටර් ස්ටාර් සුපිරි තරුව විධියට. මතක තියාගන්නවා, උඹටත් එනවුන්සර් ස්ටාර් විධියට ඒ වගකීම බෙදී යනවා.

නිවේදක- දැන් මොකද අපි කරන්නේ?

අධ්‍යක්ෂ- කරන්න තියෙන්නෙ එක දෙයයි. අවසන් මහා තරගය කල් දාමු ලබන සතියට.

නිවේදක- අපේ නිෂ්පාදන බජට් එක මේ සතියෙන් ඉවරයි. අනික මේ රාත්‍රියේ හැමෝම බලාගෙන ඉන්නෙ විනිශ්චය ලැබෙනකල්. ඇත්තටම, මටනම් පේන්නෙ නෑ කිසිම බරපතළකමක් මේ ගීත රචනාවල.

අධ්‍යක්ෂ- මේ ගීත රචනා කරපු රයිටර් ස්ටාර් තරුව, දැනටමත් අත්අඩංගුවට අරගෙන, පොලිස් ස්ටාර් ප්‍රමුඛ රහස් පොලීසිය ප්‍රශ්න කරමින් යනවා. ඕඩර් එක දුන්නෙ වෙන කවුරුවත් නෙවි, අගමැතිතුමා.

නිවේදක- මොනවා?

අධ්‍යක්ෂ- ඔව්.

නිවේදක- ඒත්, අගමැතිතුමා ප්‍රසංගයෙ විනිසුරු අසුනෙ?

අධ්‍යක්ෂ- ඔව්.

නිවේදක- ඒක තමයි. මම නම් හිතන්නෙ නැහැ, මේ ප්‍රසංගය නවත්වන්න එතුමා නියෝග කරාවි කියලා.

අධ්‍යක්ෂ- මතක තියාගනින්, උඹ, අපි හිතන දේවල් නෙවෙයි අද යථාර්ථය බවට පත්වෙන්නෙ.

නිවේදක- ඒ කියන්නෙ ප්‍රසංගය නවත්වනවා කියන එකද?
(සංගීතය)

නිවේදක- ඔව්, පේෂන්ට් ස්ටාර් රෝගී ගායන තරු මෞලි මංගල්‍යයේ, අවසන් මහා තරගයේ පළමු වටය අපි අවසන් කළා. ඒත්, අපිට තව වට දෙකක් පවතිනවා. අපි දන්නවා දැනටමත් ඔබ ඔබේ මනාපය තීරණය කර හමාරයි, කවුද ඒ තරුව කියා. ඔව්, අප සමග අවසන් නිමේෂය දක්වා රැඳී සිටින්න. ඒ රෝගී තරුව ඔබ ඉදිරියේම කිරුළු පළඳින ආකාරය සජීවීව අත්විඳ ගැනීමට ඔබට පුළුවන්. හොඳයි, මම නැවතත් තරගය වෙත පිවිසෙනවා. නැවතත් ඒ ඩෙංගු රෝගී අසාධ්‍ය ගායක සුනිද්‍ර වන්නිනායක ඔබ ඉදිරියේ තම කෞෂල්‍යය ප්‍රක්ෂේපණය කිරීමටයි සැරසෙන්නෙ. ඔව්, අපි ඔහුව ඉතාමත් ආදරයෙන් පිළිගනිමු.
(සංගීතය)

ඩෙංගු රෝගියා-
රත්නදීප පින්බිමේ
සාර වූ රඟ පෙනේ

කුඹුරුද සරු කරන් අධිමාවත් පිපෙන
ගොඩබිම වට කරන් මන්දිර අස්වදින
කලපුව රැළි නගන් අහස් නැව් බසින
ලඳු තැනි හැඩ කරන් කෙළි පිට්ටනි වසින

හොරකම විලිවසන් සුදු රෙදි අඳින
නීතියෙ විනිසුරන් සුවයෙන් දපන
එදිරිව ආවොතින් රස සිර බත තිළිණ
සාමය පතුරමින් වෙඩි හිනැහෙන

පරිසර රතු කරන් නැත පෝස්ටර දිසින
කාමය පිට දමන් කලාකෘති කැපෙන
සුරාව හැඩ වසන් කොටු මතුවන
ධර්මය රඟ මවන් බණපද බුරන
(සංගීතය)

නිවේදක- ස්වකීය මාධුර්ය මනෝහර හඬින්, අපගේ සිත් ඒකාලෝක කිරීමට තරම් හැකියාවක් ඩෙංගු රෝගියකු වී ඔහු පෙන්වීම, අප සියලු දෙනාම මවිතයට පත් කරනවා. ඔව්, ඒ උත්තම වූ ගායනයට උත්තම වූ විනිශ්චය ලබා දීමටයි මේ ආරාධනය, අපගේ විධායක අගමැති උත්තමයාණන් හට.

අගමැති- ඇත්තටම මම සන්තෝෂයෙන් ඉපිළ ගියා. මාරාන්තික ඩෙංගු රෝගය තුරන් කරලීමට ඉටු කළ යුතු කාර්යභාරය ඔබ ගීය තුළ මනාව පෙන්වා දුන්නා. ගොඩබිම, කුඹුරු, ලඳු තැනි පිරිසිඳුව තබාගැනීම ඒ සඳහා අනිවාර්යයි. ඔබේ හඬ ජෝතිපාල වගේ භාවයන් මතු කර පෙන්නුවා. සදාකාලිකව ඔබ වැනි රෝගීන් අපට සම්පතක්. අපි ඔබ අගය කළ යුතුයි. මුළු රටම ඔබ ගැන ආඩම්බර වෙනවා. මම ඔබට ලකුණු නමයක් ලබා දෙනවා.

නිවේදක- ඔව්, මමත් ආඩම්බර වෙනවා. ඒ ආඩම්බරකම මැද්දේ අපි සුළු විරාමයකට යනවා.
(සංගීතය)

අධ්‍යක්ෂ- තවත් බරපතළ ප්‍රශ්නයක්.

නිවේදක- ඒ මොකක්ද?

අධ්‍යක්ෂ- ඩොක්ටර් ස්ටාර් කියනවා, මේ රෝගීන් දෙන්නා ඉන්නෙ ඉතාම අසාධ්‍ය මට්ටමක කියලා.

නිවේදක- ඒක මුළු රටම දන්න සාමාන්‍ය දෙයක්නෙ.

අධ්‍යක්ෂ- එහෙම නෙමෙයි.

නිවේදක- එහෙනම්?

අධ්‍යක්ෂ- අපිට ලබා දිය යුතු බෙහෙත් සත්කාර ප්‍රමාණය, දෙගුණ කරන්න වෙනවා. විශාල බජට් එකක් යනවා ඒකට.

නිවේදක- මුන් දෙන්නාට මොනවා හරි වුණොත්, අපිට ඊට වඩා බිලියන ගණනක පාඩුවක්. අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙමු.

අධ්‍යක්ෂ- ඔව්, මේ රෝගීන් මැරෙන්න කීයටවත් ඉඩදෙන්න බෑ.
(සංගීතය)

නිවේදක- ඔව්, දැන් තරගය වඩාත් උද්වේගකර තත්වයකට පත්වෙනවා. මොකද තරගයෙන් හරි අඩක් දැන් අවසන්. ඔව්, මේ උණුසුම් අවස්ථාව ලැබෙන්නේ යළිත් ඇයටමයි. ඒ ඔබේ ප්‍රියාදර ඒඩ්ස් රෝගී, අසාධ්‍ය ගායිකා නාසිතා රළපනාව. ඔව්, පිළිගන්න.
(සංගීතය)

ඒඩ්ස් රෝගියා-
ඔබ මම මැව් ලිය මෙලෙස සදිසි මන
සිත තුළ අභිමන කෙලෙස සපිරි වන
හඹයන මානන පරම ලබන ධන
කිම තැන උපනෙද මෙවැනි සුපිරිඟන

කෘත්‍රිම කොකුම් ගෙන මිල රැස වගුරා
දවස බුදිත වන ඇසිදිසි මෙපිටා
මනස පුරවගෙන හරසුන් පුවතා
මෙසරි අඟන කළඑළියට වදිතා

නොමැත නූතනය ගැන අවබෝධේ
විමති කලාවක තතු ගෙන ආදේ
වනති විනානික දතු මුසවාදේ
මවති සිනාබස ගෙන රඟපාදේ
(සංගීතය)

නිවේදක- ඔව්, ඉතාම සුවිශිෂ්ට අන්දමින් ඇය තම ගායනයෙන් අපගේ හද අමන්දානන්දයට පත් කළා. ඒ සුමධුර මනෝරම්‍ය ගීතය ගායනාකරන විට, ඇය මාරාන්තික ඒඩ්ස් රෝගයෙන් අසාධ්‍යව ඉන්නා බව සිහියට නැගෙන්නෙ නැහැ. ඒ හැඟීම ඔබටත් දැනුණා නම් ඔබ කළයුත්තේ පී.එස්.එස්. හිස් තැනක් අංක දෙකට ඔබේ මනාපය එස්.එම්.එස්. මගින් ලබාදීමයි. ඔව්, ඒ මගින් ඒ අති සුඛෝපභෝගී නෞකාව හා සුපිරි කිරුළ ඇයට හිමි කර දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා දෙවන ස්ථානය සඳහා නවීන දුම්රිය සමග සම්මානය ද හිමි වෙනවා, සුපිරි ගායන තරු මංපෙතේ තවත් සුවිශේෂී කඩඉමක් සටහන් කරමින්. ඔව්, ඔබේ එස්.එම්.එස්. ඡන්දය ලබා දී, ඔබ ඒ යුතුකම ඉටු කරන්න.

අගමැති- ඔව්, ඇත්තටම ඔබේ එස්.එම්.එස්. ඡන්දය ජාතියට කරන්නා වූ මහා යුතුකමක්, පුණ්‍ය ක්‍රියාවක්. ඔබ ඔබේ ඡන්ද අයිතිය භාවිත කිරීමට පසුබට නොවිය යුතුයි.

නිවේදක- සත්‍යයෙන්ම. එහෙනම්, ඔබට අවසර අගමැතිතුමෙනි.

අගමැති- මේ ගීතය ශ්‍රවණය කරනකොට මට මතක් වුණේ, අපේ ප්‍රෞඪ වූ දේශයේ ඇති, දේශීය සම්ප්‍රදාය, වන්නම්, කෝලම්, ජන ගී ආර මිශ්‍රවුණු නාද සංකලනය, අපේ අනන්‍යතාව. ඇත්තටම ඔබේ ගීතය කාලෝචිතයි. අද ඒඩ්ස් නමැති මාරාන්තික රෝග වැළඳීම සඳහා මූලිකම හේතුවක්ව පවතින්නේ, සුපිරි අංගනාවෝ කෘත්‍රිම කොකුම්තවරගෙන, රහසිගතව වෛශ්‍යා වෘත්තියේ නියුතු වීම. ඇත්තටම මෙවැනි තත්ත්වයන් මැඩපවත්වන්න අපි උත්සාහ ගන්නවා. අපි කොකුම්, සුවඳ විලවුන් ආලේපන වර්ග තහනම් කිරීමට මේ වන විටත් කෙටුම්පත් සකසමිනුයි පවතින්නේ. එතකොට ආලේපන නැති නිසා, වෛශ්‍යා වෘත්තිය ඉබේම නතර වෙනවා. එතකොට එවැනි අංගනාවන්ට කල එළියට එන්න ලැබෙන්නෙ නෑ, ඔබේ ගීතය පරිදි. ඔබ ඉතාම අපූරුවට යථාර්ථය මතු කළා. හරිම යථාර්ථවාදීයි. මම ඔබට ලකුණු නමයක් ලබා දෙනවා.

නිවේදක- ඒ අපක්ෂපාතී හෘදයාංගම විනිශ්චය, ඉත සිතින් භාර ගනිමින්,නැවතත් අප විරාමයකට පිවිසෙන්නයි සූදානම.
(සංගීතය)

අධ්‍යක්ෂ- ප්‍රශ්න, දිගටම ප්‍රශ්න.

නිවේදක- දැන් මොකක්ද ප්‍රශ්නෙ?

අධ්‍යක්ෂ- සියට අසූවක් එස්.එම්.එස්. ඡන්ද ලැබෙන්නෙ ඒඩ්ස් රෝගී ගෑනිට.

නිවේදක- ඉතින් ?

අධ්‍යක්ෂ- අපේ පිටපත අනුව, අද රාත්‍රියේ පේෂන්ට් ස්ටාර් රෝගී තරුව වෙන්න ඕන ඩෙංගු රෝගියා.

නිවේදක- ඔව්, ඒක අපි මේ වැඩසටහන ආරම්භයෙනෙ තීරණය කළේ.

අධ්‍යක්ෂ- ඒත්, ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්ටර් ස්ටාර් කිරුළ විධායක අගමැතිතුමාට දුන්නට පස්සෙ, ඒකෙන් පරාජය වුණු අයයි, ජර්නලිස්ටාර් තරගයෙන් පරාජය වෙච්ච මාධ්‍යවේදි ස්ටාර්ලයි ඉල්ලා සිටිනවා, තරගයේ විනිවිද බව පෙන්නන්න කියලා.

නිවේදක- ඉතින්?

අධ්‍යක්ෂ- ඒක තමයි මිනිහෝ මමත් අහන්නෙ? අපි දැන් මොකද මේකට කරන්නෙ?
(සංගීතය)

නිවේදක- ඔබ දන්නවා කවදත් හැමවිටම මේ තරගාවලිය පුරාම, අපක්ෂපාතවූ ජනමතයට ගරු කරන තීන්දුව තමයි ඉදිරියට ආවෙ. අපි ළඟ පරිගණක විජ්ජා නෑ. දත්ත වෙනස් කිරීම් නැහැ. නූතන තාක්ෂණය යටතේ, ඔබ එවන එස්.එම්.එස්. එක, නියමාකාරයෙන් සංගණනය වී, සැබෑ යථාර්ථය ප්‍රදර්ශනය කරනවා. එය සියයට සීයක් නිරවද්‍යතාවෙන් යුක්තයි. තවමත් අපි කිසිවෙකු දන්නෙ නැහැ,කවුද ඒ පේෂන්ට් ස්ටාර් සුපිරි රෝගී කිරුළ දරන්නෙ කියලා. හොඳයි ආදරණීය රසික රසිකාවනි, මං දැන් ආරාධනා කරනවා අවසාන ගීත ගායනා අවස්ථාව සඳහා, ඒ අසාධ්‍ය ගායක ඩෙංගු රෝගී සුනිද්‍ර වන්නිනායකට. ඔව්, පිළිගන්න අංක එකෙන් තරග වදින ඒ රෝගී තරුව.
(සංගීතය)

ඩෙංගු රෝගියා-
එන්න බෙදාගන්න
ඇති වෙනකල් ඔන්න
බත් වෙනුවට කිරිබත්වල
රහ බලපන් ඔන්න

හොඳට බෙදාගන්න
පදම මෙයයි ඔන්න
අඟර දඟර දෙන්න
මේ සුව විඳගන්න

පොදියට පෙළ එන්න
මොහොතට සැනසෙන්න
දෙස රැස හිතමින්න
මේ රස දිවලන්න

අහස් යානා ගොන්න
මහ නෞකා පන්න
නෙක ඇදෙනවා මෙන්න
මෙසිරි බලා ගන්න
(සංගීතය)

නිවේදක- ඔව්, ඔබේ ආර ඔබ සම්පූර්ණයෙන්ම මෙවර වෙනස්කර තිබෙනවා. මට හිතාගන්න බැරිවුණා, පෙර අප හමුවට ආ ඒ අසාධ්‍ය ගායකයා ද මේ කියා.

අගමැති- ඇත්තෙන්ම අන්න ඒ හැඟීම මටත් ඇතිවුණා. හරිම අපූරුයි. අද යුගය විසින් ඉල්ලන වෙනස්කම ඔබ ඔබගේ ගීතය තුළ මනාව විදහා පෑවා. ඔබට දේශීය, පෙරදිග, අපරදිග ආදී විවිධ ගායන ශක්‍යතාවන් පවතිනවා. මගේ උණුසුම් සුබපැතුම්. ඔබ අතිවිශිෂ්ටයි. උත්කෘෂ්ටයි. අනභිභවනීයයි. මම ලකුණු දහයක් ඔබට ලබා දෙනවා.

නිවේදක- ඔව්, එම ලකුණු දහයත් අරගෙන අපි කෙලින්ම යන්නෙ ප්‍රධාන පාලක මැදිරියට.
(සංගීතය)

අධ්‍යක්ෂ- විශාල ප්‍රශ්නයක්, අනූනවයෙන් බේරගත්තෙ.

නිවේදක- ඒ මොකක්ද?

අධ්‍යක්ෂ- කලින් ගීය ධාවනය වෙනකොට පරිගණක දෝෂයක් ඇවිත් සිංදුව නවතින්න ගත්තා.

නිවේදක- නෑ.

අධ්‍යක්ෂ- විහිළු නෙමෙයි මිනිහෝ, ගීතය නැවතුණා නම් මුළු ලෝකෙටම මාට්ටුවෙනවා, මේ එකක්වත් සජීවි ගායනා නෙමෙයි කියලා.

නිවේදක- ඒත්, කිසිම ප්‍රශ්නයක් මම දැක්කෙ නැහැ.

අධ්‍යක්ෂ- තාක්ෂණය දන්න නිසා බේරගත්තා. ඒත්, මේ ඩෙංගුකාරයා කටහොලවන වේගයයි, ගීතය ධාවනය වෙච්ච වේගයයි, මේ පාර මැච් වුණේ නැහැ. හඬ වෙන අයෙකුගෙ රූපය වෙන අයෙකුගෙ කියලා මිනිස්සුන්ට තේරුණාද දන්නෑ.

නිවේදක- අන්න ඒක නම් බරපතල ප්‍රශ්නයක්.
(සංගීතය)

නිවේදක- ඔව්, ආදරණීය හිතවතුනි පේෂන්ට් ස්ටාර්, රෝගී සුපිරි තරු ගායන මංගල්‍යයේ අවසාන ගීත ගායන අවස්ථාවයි මේ. ඇය සුපුරුදු විලාසයෙන් මේ වන විටත්, සැදී පැහැදී බලා සිටිනවා තම ගීතයෙන් අප සැනසීමට. ඔව්, පිළිගන්න අංක දෙකෙන් තරග වදින නාසිතා රළපනාව, ඒ අසාධ්‍ය වූ ගායන ශිල්පිණිය.
(සංගීතය)

ඒඩ්ස් රෝගියා-
සඳවන් සොමි ගුණ දිසෙනා
හෙල්මැල් සියුමැලි දිලෙනා
රසබස් සිතුමිණි නගනා
දනමන් යසමන පිනනා

සන්දෙස් කව් වරුණ මවන රූප පෙනෙන මායිමේ
නන්දෙස් පිළි පැළඳුම් පිරි අංගරචන තැවරුමේ
තබමින් අඩි තානම් සිරි කලියුග වාසමේ
සොබමන් මවමින් ලියො අද අඟර පාති පෝලිමේ

අබිමන් තරු පතමින් සරු ඇසිදිසි මත කඩඉමේ
නිළිකම් ඵල සිතමින් නෙක රැඟුමන් පිරි වෑයමේ
වන්නම් රූ නටමින් සක රැජින රූප සෝබනේ
වෙළෙඳුන් බඩු විකුණත් සරි බුදිමින් සරු කාලෙමේ
(සංගීතය)

නිවේදක- ඔව්, ඒ මාධුර්යමය හඬ අවදි කළේ අසාධ්‍ය ගායිකා නාසිතා රළපනාව. ඔව්, ඒ සමග අප අපගේ ගායන තරු මංගල්‍යයේ කූඨ ප්‍රාප්තියට සම්ප්‍රාප්ත වෙනවා. ඔබට පුළුවන් තවමත් ඔබේ මනාපය පී.එස්.එස්. හිස්තැනක් අංක එකට හෝ පී.එස්.එස්. හිස්තැනක් අංක දෙකට එස්.එම්.එස්. කරන්න. ඒත්, ඒ සඳහා තව මිනිත්තු කිහිපයක කාලසීමාවක් පමණයි තියෙන්නෙ. ඔව්, අපේ විධායක අගමැතිතුමන්ගේ විනිශ්චය දෙසට නෙත් යොමු කරනවා, අපි මේ අවස්ථාවේ.

අගමැතිතුමා- ඔබ විශාල අභියෝගයක් එල්ල කරනවා සමස්ත වූ රෝගී ගායන තරගකරුවන්ටම. ඔබේ ගීතය මා සුරතාන්තයට පත් කළා. ඔබසියලු හැඟීම් මගේ මනස තුළ මවා පෙන්වීමට සමත් වූණා, ඒ මධුර මනෝහර සියුමැලි ගායන ශෛලිය හා හඬ තුළින්. ඔබ වැනි රෝගීන් මුළු ජාතියට හා ආගමටම ආඩම්බරයක්. මම ඔබට දෙනවා ලකුණු දහයක්.

නිවේදක- ඔව්, එස්.එම්.එස්. එවන කාලය දැන් අහවර කිරීමට සිදුවෙනවා. ඔව්, මම දැන් ගණිනවා. දහයයි, නවයයි, අටයි, හතයි, හයයි, පහයි,හතරයි, තුනයි, දෙකයි, එකයි. ඔව්, එස්.එම්.එස්. එවීම අපි හමාරකළා. තව ස්වල්ප මොහොතකින් අපි අපේ ප්‍රතිඵල සමග නැවත ඔබ හමුවට එනවා.
(සංගීතය)

අධ්‍යක්ෂ- කාටවත්ම අපේ එස්.එම්.එස්. සංගණන මැදිරියට ගොඩ වෙන්න බැරි විධියට අගමැතිතුමා තහනම් කලාපයක් ප්‍රකාශ කළා. ආමිස්ටාර්, නේවිස්ටාර්, එයාර්ෆෝස්ටාර්, පොලිස්ටාර් ප්‍රමුඛ අනෙකුත් තරු දැඩි ආරක්ෂාව ලබා දෙනවා.

නිවේදක- එහෙමද?

අධ්‍යක්ෂ- ඒඩ්ස් කියන්නෙ, අපේ සභ්‍යත්වයට ගැලපෙන රෝගයක් නෙවි. ඒඩ්ස් ගෑනිට කිරුළ හම්බ වුණොත්, අපේ පිවිතුරු සංස්කෘතිය නිග්‍රහයටපත් වෙනවා. මතක තියාගන්නවා, මේ කිසිම රහසක් පිටතට යන්නබෑ. සාමුහික වගකීම රකිනවා හා සමානයි.
(සංගීතය)

නිවේදක- ඔව්, ඔබ පුල පුලා බලා සිටි ඒ අසිරිමත් කූඨප්‍රාප්තිකර මොහොත මේ දැන් උදාවෙනවා. ඔව්, මං අතට පත් වුණා, ප්‍රතිඵල සහිත මේ රහස්‍ය ලියුම්කවරය. මාගේ දෙපැත්තේ ඒ සුපිරි රෝගී තරු යුවළ අසාධ්‍ය ලීලාවෙන් ඇඳන් මත දිගා වෙලා බලාපොරොත්තු සහිතව ඉන්න අයුරු දැකගන්න පුළුවන්. ඔවුන්ට අඛණ්ඩව සේලයින් ඇතුළු අනෙකුත් ප්‍රතිකාර, ඩොක්ටර් ස්ටාර් හා නර්ස් ස්ටාර් අධීක්ෂණය යටතේ ලබා දෙන අයුරු පෙනී යනවා. ඉතා හොඳ තාරුකා සංයෝගයක්. ඔව්, මේ රෝගී තාරුකා යුවළ අතරින් එක් අයෙකු මේ රාත්‍රියේදී පේෂන්ට් ස්ටාර් සුපිරි රෝගී තරුව ලෙසින් කිරුළු පළඳිනවා, ඔබ ඉදිරියේ සජීවීව. ඇත්තටම ඔබ සිතන්නේ කවුරුන්ද, ඩෙංගුරෝගී සුනිද්‍ර ද ඒඩ්ස් රෝගී නාසිතා ද, මොකද ඔබ හිතන්නෙ? මා මේ අසාධ්‍ය රෝගීන්ගෙන් ප්‍රශ්න විචාරා අපහසුතාවට පත් කිරීමට යන්නේ නැහැ. මොකද ඔවුන් ඒ තරමටම අසාධ්‍ය නිසා. මා අප විනිසුරු මණ්ඩලයේ ගරු විධායක අගමැති උතුමාණන්වත් වෙහෙසට පත් කරන්නෙ නැහැ.

මිනිස්ටර් ස්ටාර් තරගයේ සුපිරි කිරුළ ලෙසට සිය අපක්ෂපාතී විනිශ්චය ප්‍රකාශ කරමින් කාලය වැය කිරීම ඔබ අප සැමට කළ ගෞරවයක්. ඔව්, ඇත්තටම කවුරුන්ද, ඒ සුපිරි තාරකාව. ඔව්, වෙන කවුරුත් නොවේ පේෂන්ට් ස්ටාර් සුපිරි තරුව වන්නේ ඩෙංගු රෝගී ඔබයි. ඔව්, ඔබයි කියා ඔබ හිතනවාද? ඇත්තටම ඒසුපිරි තරුව ඔබද? ඔව්, මේ රාත්‍රියේ ඒ රෝගී සුපිරි තරුව වන්නේ නාසිතා රළපනාව ඔබද? ඔව්, ඔබයි මේ රාත්‍රියේ සුපිරි රෝගී තරුව. ඔව්, ඔබයි සුපිරි තරුව ඩෙංගු රෝගී ඔබයි ඒ සුපිරි තරුව කියා, අපි ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. ඔබයි දෙවන ස්ථානය. එසේ නම් පළමු ස්ථානය කවුරුන්ද? ඒඩ්ස් රෝගී ඔබයි පළමු ස්ථානය. ඒ සුපිරි කිරුළ, මිලියන දහසක් වටිනා සුපිරි නෞකාව හා අඩි හයක් උසැති සුපිරි කිරුළට උරුමකම් කියන ඒ සුපිරි අසාධ්‍ය රෝගී තාරකාව ඔබයි. ඔබ තමයි කියා මම කියන්න යනවා මේ මොහොතේ. ඔබයි, ඔව්, ඔබේ අත්පොළසන් නාදය ලබා දෙන්න. (අත්පොළසන් හඬ)ඒත්, ඔබේ අත්පොළසන් නාදය ලබා දුන් ඒඩ්ස් රෝගියා නාසිතා රළපනාව පත් වන්නේ දෙවන ස්ථානයට. එසේනම් පළමු ස්ථානය කවුරුන්ද? වෙන කවුරුවත් නෙවෙයි ඔබයි. ඩෙංගු රෝගී සුනිද්‍ර ඔබයි අද පේෂන්ට් ස්ටාර් කියලා මං කියන්නේ නෑ. මිත්‍රවරුනි, එස්.එම්.එස්. අනූලක්ෂ දස දහස් තුන්සිය හැටපහක් ලබා ගනිමින්, මේ තරගයේ ජයග්‍රාහකයා ඔබයි. ඔබයි, ඔව්, ඔබයි. ඒඩ්ස් රෝගී ඔබයි ඒ සුපිරි කිරුළට හිමිකම් කියන්නේ.
(ගෝසා හඬ සමග සංගීතය මතු වෙයි.)

අගමැති- නිවේදක තරුකාරයා අපේ ව්‍යාපෘතියම සම්පූර්ණයෙන් අවුල් කළා.මිනිහව රක්ෂිත බන්ධනාගාරගත කරන්න, පොලිස්ටාර්ට නියෝග දෙනවා. ඒ වගේම ඔය ගීත රචනා කරපු රයිටර් ස්ටාර් තරුකාරයාවත් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. අපිට අභියෝග වන කිසිම තරුවකට, මේ සංසාරේ බැබළෙන්න කිසිම ඉඩක් තියන්න එපා. ඒ තරු සදාකාලිකවම නිවල දාන්න ඕන.

අධ්‍යක්ෂ- ඔව්, මිත්‍රවරුනි, ඒ අසිරිමත් මොහොත අපි ප්‍රකාශයට පත් කළා. මෙතැන් සිට වැඩසටහන ඉදිරිපත් කිරීමේ වගකීම බාරව ඇත්තේ වැඩසටහන් අධ්‍යක්ෂ, ඩිරෙක්ටර් ස්ටාර් වන මටයි. අපේ නිවේදක තරු මහතා හදිසි මුඛ ආබාධයක් නිසා ප්‍රතිකාර ගැනීමට යුද හමුදා රෝහල්ගත කළා. ඔව්, පේෂන්ට් ස්ටාර් සුපිරි ගායන තරු, මෞලිමංගල්‍යයේ ඒ සුපිරි කිරුළට හිමිකම් කියූ තරුව ඔබේ මනාපය අනුව අද තේරී පත්ව සිටිනවා. ඒ වෙන කිසිවෙකුත් නොවේ අසාධ්‍ය ගායක ඩෙංගු රෝගී, සුනිද්‍ර වන්නිනායක. ඔහුයි ඒ සුපිරි රෝගී තාරුකාව. ඔව්, ඔහුට හිමි සුඛෝපභෝගී සුපිරි නෞකාව සහ අඩි හයක් උසැති සුපිරි සම්මානය මේ මොහොතේ අතිගරු විධායක අගමැතිතුමා විසින් ලබා දෙන අයුරු ඔබට දැන් දැකගන්න පුළුවන්. අපේ උණුසුම් සුබපැතුම්, ඒ අසාධ්‍ය සුපිරි ගායන තරුවට. ඔව්, සුනිද්‍ර වන්නිනායක සිය සයනය මත සිට ඒ සම්මානයට, පූජාවට අතගසන්නාක් මෙන් අත ගසන අයුරු අපට දැකගන්න පුළුවන්. හරිම ආස්වාදජනක, නෙතට කඳුළු උනන, සුන්දර අවස්ථාවක් මේක. මේ අවස්ථාවේදී, අපි අපගේ ගරු අගමැතිතුමන්ට, සිය සුබපැතුම් එකතු කිරීමේ අවස්ථාව ලබා දෙනවා.

අගමැති- ඇත්තටම හිතවතුනි, මනෝරමණීය වූ මෙවන් ඓතිහාසික අවස්ථාවකට දායක වීමට ලැබීම අප රටේ ජනතාවගේ, එනම් ඔබගේ උතුම් වූ භාග්‍යයක් ලෙසටයි මවිසින් සලකන්නෙ. මේ රෝගීන් අපිට ආඩම්බරයක්. ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත වෙනකොට, අප රජයට නොයෙකුත් චෝදනා අරගෙන ආවා. සමහරු මඩ ගහන්න උත්සාහ කළා. සමහරු රජයට විරුද්ධව කුමන්ත්‍රණය කළා. රජය පෙරළා දැමීමට උගුල් ඇටෙව්වා. සමහරු යෝජනා කළේ, ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට විජාතීය ඊනියා බැක්ටීරියා අරගෙන ආ යුතු බව. මේ කිසිවකින් අප සැලුණෙ නැහැ. මේ චෝදනා එදිරිවාදිකම්, මට අරගෙන එන්නෙ මමත් ඔබ වගේම සාමාන්‍ය මනුෂ්‍යයෙකු විධියට මේ තත්වයට ආපු නිසා. මං දන්නවා අසාධ්‍ය රෝගියෙකුගෙ වේදනාව. මමත් ඔබලා වගේම ඉස්පිරිතාලවල නැවතිලා ප්‍රතිකාර ලබාගෙන මෙතනට ආපු මිනිහෙක්. අපි ඩෙංගු, ඒඩ්ස් වගේ මාරාන්තික රෝග මැඩලීමට කටයුතු නොකළේ, ඔබ වගේ දක්ෂයින්ට අවස්ථාව ලබා දිය යුතු නිසා. දක්ෂයාට නියම තැනලැබෙන කාලයක් මේක. අපි මේ රටේ රෝගීන්ගේ දක්ෂතා ගැනආඩම්බර වෙනවා. ඔවුන්ට මාගේ ගෞරවය, ස්නේහය, භක්තිය පුදකරනවා.
(සංගීතය)

අධ්‍යක්ෂ- අගමැතිතුමනි, දුක් මුසු පුවතක්. ඩෙංගු රෝගී සුනිද්‍ර ඉතා අසාධ්‍ය වෙලා මේ දැන් මරු මුවට පත් වුණා.

අගමැති- එහෙමද?

අධ්‍යක්ෂ- ඒඩ්ස් රෝගියාගේ තත්වයත් හොඳටම බරපතලයි.

අගමැති- සියලු අවමංගල්‍ය උත්සව කටයුතු, රාජ්‍ය ගෞරව සහිතව පවත්වන්න මම නියෝග කරනවා, ආමි, නේවි, එයාෆෝස් ස්ටාර්ස්ලාගෙ උත්තමාචාර මධ්‍යයේ. ඩෙංගු රෝගී තාරකාව වෙනුවෙන් ජාතික ශෝක දිනයක් මම දැන්මම ප්‍රකාශයට පත් කරන්නම්.
(සංගීතය)

අධ්‍යක්ෂ- ඔව්, හිතවතුනි, පේෂන්ට් ස්ටාර් සුපිරි රෝගී තරු මෞලි මංගල්‍යයේ සමාප්තිය මෙලෙස අපි සනිටුහන් කරනවා. යළිත් මෙවැනිම සුපිරි තරු මංගල්‍යයකින් හමුවන්නයි බලාපොරොත්තුව. අපගේ මීළඟ වැඩසටහන, අපරාධකරුවන් වන ඔබ සඳහාමයි. ක්‍රිමිනල් ස්ටාර්. අපි ආරාධනා කරනවා සියලුම අපරාධකරුවන්ට අදම ඔබේ අයදුම්පත අප වෙත එවන ලෙස. ඔව්, ක්‍රිමිනල් ස්ටාර්, සුපිරි අපරාධතරු මංගල්‍යයෙන් හමුවන තුරු, ඔබට සුබ රාත්‍රියක්. තාරුකාලෝකයක්...
(අවසන් සංගීතය)

- [නිහොන් සැප ලැබේවා (රේඩියෝ නාට්‍ය- 2012) කෘතියෙනි. ]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nihon Sapa Labewa, Collection of Sinhala Radio Plays by Malaka Dewapriya, Tharuwan Saranayi
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලක දේවප්‍රියගෙන් තවත් වියමන්
රංග
ඉන්ද්‍රජාලික මඟුල් සැණකෙළි- [රේඩියෝ කතා]
වෙසෙස්
පරාගයෙන් පුරාණය නොකීම
රංග
පර්යේෂණ ග‍්‍රන්ථකරුවා- [රේඩියෝ කතා]
රංග
රඟ දෙන කපුවෝ- [රේඩියෝ කතා]
රංග
භෂ්මාන්තර- [රේඩියෝ කතා]
තවත් රංග බූන්දි
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook