Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
සෝර්බා ගේ කටහඬ අසමු....! [සද්ධාතිස්ස වඩිගමංගාව සමග]
විද්වද් දේශපාලනයක නිරතවුණු මනුස්ස පරම්පරාවක අවසන් පුරුකක් වූ සද්ධාතිස්ස වඩිගමංගාවයන් විසින් සුමටව පරිවර්තනය කෙරුණු නිකොස් කසන්සාකිස් සාහිත්‍යකරුවාණන්ගේ අගතැන් කෘතියක් ලෙස සැලකෙන "සෝර්බා නම් ග්‍රීකයා" නවකතාවේ දෙවැනි මුද්‍රණය වසර 13කට පසු "සම" ප්‍රකාශනයක් ලෙසින් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලේදී දොරට වඩී. එය මුල්වරට පළවූයේ වසර 2000දී ය. කෘතිය පළවීම නිමිති කරගනිමින් මංජුල වෙඩිවර්ධන 'රාවය' පුවත්පතට කරන ලද සංවාද සටහන (2000 දෙසැම්බර් 17) මුද්‍රණ ද්වාරයෙන් එළි දකින්නට දින තුනකට පෙර සද්ධාතිස්ස වඩිගමංගාවයන් මෙලොව හැර ගොස් තිබිණ.

මේ ඔවුනට දකින්නට නො හැකි වූ ‘සෝර්බා‘ සංවාද සටහනයි.
බූන්දි, 01:37:33
"ලොක්කා, එක් එක් මිනිහාට වෙන් වූ ස්වර්ග තියෙන බව මං මීට කලින් ඔබට කියා තියෙනවා. ඔබට ස්වර්ගය කියන්නේ පොත් ගොඩවලුයි, ලොකු තීන්ත කූඩුවකුයි වෙන්න පුළුවන්. තව කෙනෙකුට ගුදම් ගණන් පුරෝපු වයින්, රම්, බ්‍රැන්ඩි. තවත් කෙනෙකුට සල්ලි ගොඩවල්. මගේ ස්වර්ගය තමා මේ! සුවඳ කළ කාමරයක්, බිත්තියේ එල්ලපු ලස්සන වෛවර්ණ පලස්, සුවඳ සබන්, හොඳ දුනු සහිත ලොකු ඇඳක් සහ මගේ පසෙකින් පරිණාමයෙන් බෙදී ආ ගැහැනිය!"
-සෝර්බා නම් ග්‍රීකයා

ඒ සෝර්බා ගේ කටහඬ. ඔහු ගේ දැක්ම. ඔහු ගේ ම විග්‍රහය.

හොඳයි කවුද මේ සෝර්බා කියන්නේ?

'බටහිර' සමාජය සෝර්බා සමඟ ගමන් කරන්නක්. 'බටහිර' විසින් මිනිසා ගේ සවිඥාන ලෝකය ප්‍රතික්ෂේප කර ශරීරය මුඛ්‍ය කොට ගත් නිසා එහි කන, බොන, රමණය කරන තත්ත්වයක් උදාවී ඇත. එය බටහිර සමාජයේ ආගමික සමීකරණය යි.... සෝර්බා ඔහු තුළ ම සෞන්දර්යයෙන් අනූන යි. ග්‍රීක දිවයිනක උපන් කසන්සාකිස් කියන නවකතාකාරයා විසින් නිර්මාණය කරන ලද නවකතාවේ නම 'සෝර්බා ද ග්‍රීක්'. සෝර්බා කියන්නේ ප්‍රබන්ධ කරපු නමක්. ඔහු ඓතිහාසික පුද්ගලයෙක් නොවෙයි. කසන්සාකිස්ට පල්ලිය නිසා විශාල කරදර පැමිණියා. සෝර්බා ලිවීමෙන් පසු පල්ලියෙන් ඔහුව නෙරපා හැරියා. පොත් ඉල්ලා අස්කරගන්න යන ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළා. මේ තතු නිසා නිසා පල්ලිය විසින් කසන්සාකිස්ව අසූචි බෙට්ටක් විදියට නිරයට පලවා හැරියා. කසන්සාකිස් ගේ පුද්ගලභාවය, ක්‍රිස්තියානිය නිසා පරිපීඩනයට ලක්වෙලා යි තිබුණේ. ඔහු ගේ ජීවිතය තුළ ඔහු ගේ ජීවත් නොවූ කොටස මඟින් සෝර්බා නිරූපණය කළ බව ඉතා පැහැදිළි යි.
-X කණ්ඩායම (1998 අගෝස්තු - සැප්තැම්බර් මාතොට)

නිකෝස් කසන්සාකිස් ගේ 'Zorba the Greek' කෘතිය 'සෝර්බා නම් ග්‍රීකයා' මැයෙන් සිංහලට නැඟී ඇත. අල්ප වූ පිරිසක් පමණක් දැන හැඳින සිටි සෝර්බා ගේ ජීවිතය අත්විඳීමට අනල්ප වූ භාග්‍යයක් ඉන් උදා වී තිබේ. එ නිසාවෙන් ම අපි සෝර්බා ගැන කතා කළ යුත්තෙමු. පරෙස්සමෙන්! එහෙත් නිදහසේ.

සෝර්බා වයෝවෘද්ධ යි. එහෙත් ඔහු තරුණ යි. සෝර්බා අතෘප්ත යි. එහෙයින් ම ඔහු සංතෘප්ත යි. ඔහු ගේ වදන් සරල යි. ඒ තරමට ම ගැඹුරු යි. සරල කම ඉක්මවා ගිය සංකීර්ණත්වය නිසාවෙන් ඔහු සෞන්දර්යයෙන් අනූන යි.

මෙ බඳු සොඳුරු කෘතියක් සිංහලට නැඟීමට අත තිබ්බේ කවුද? සෞන්දර්යය නො මරා සෝර්බා මෙහි දෙපයින් සිටුවීමට හිත හදාගත්තේ කවුද? සෝර්බා සෝර්බා ලෙස ම අප අබියසට රැගෙන ඒමට දැහැන් ගතවූයේ කවුද?

ඔහු සද්ධාතිස්ස වඩිගමංගාව නම් වයෝවෘද්ධයෙකි. එහෙත් තාරුණ්‍යයෙන් ප්‍රමුදිත ය. අප එසේ පවසන්නේ ඇයි? තාරුණ්‍යයෙන් ප්‍රමුදිත නොවී, සෝර්බා තුළ වූ තාරුණ්‍යය අත්විඳින්නේ කෙලෙස ද? පසුගාමී සමාජ වපසරියක එකී තාරුණ්‍යය ස්ථාන ගත කරන්නේ කෙලෙස ද?

එහෙයින් අපි ඔහු ප්‍රශ්න කළ යුතු වෙමු.

******

ලොක්කා ඔබට සෝර්බා මුණගැහුනෙ කොහොමද?

1977 මහ මැතිවරණයේ දී ශ්‍රී.ල.නි.ප.යට ලැබුණේ ආසන 08 යි. මුළු වයඹ පළාතෙන් ම තේරුණේ මං විතර යි. අපි අට දෙනා අතරෙ අනුර බණ්ඩාරනායකත් හිටියා. මේ හේතුවෙන් අනුර එක්ක ළඟ ඇසුරක් ඇතිවුණා. එයා චිත්‍රපට බැලීමට විශාල උනන්දුවක් තිබුණු කෙනෙක්. අලුත් දේ හුඟක් කියවන කෙනෙක්. එයා ළඟ Zorba the Greek කියන චිත්‍රපටය තිබුණා. අපි රොස්මිඩ් ප්ලේස් එකේ එයාගෙ ගෙදර දී ඒක බැලුවා. ඇන්තනී ක්වීන් තමයි සෝර්බාට ඇට් කළේ. ඒ චරිතෙ ඒ මොහොතේ ම මගේ හිතට කාවැදුණා. අනුර කිව්වා මේකේ පොත තියෙනවා ඒක බොහොම හොඳයි කියලා. හැබැයි එයා ගාව ඒ වෙලාවේ ඒ පොත තිබුණේ නෑ. මගේ ප්‍රධාන සිරිතක් තමයි පේමන්ට් එකේ තියෙන පොත් ගොඩවල් අවුස්සන එක. ඉස්සර මන්ත්‍රීවරුන්ට නිදහසේ පාරෙ බැහැලා යන්න පුළුවන්. දවසක් මං ඔහොම පොත් ගොඩක් ගාව ඉන්නකොට මේ පොත තියෙනවා දැක්කා. මං ඇහුවා කීයද කියලා. විකුණන මිනිහා කිව්වා සත පණහක් දෙන්න කියල.


සද්ධාතිස්ස වඩිගමංගාව

ලොක්කා ඔබ සෝර්බා අත්වින්දේ හැත්තෑව දශකයේ. ඒත් පරිවර්තනය වුණේ 2000 දී?

මං පූර්ණ කාලීන ව දේශපාලනය කළ කෙනෙක්. ඒත් මං දේශපාලනයෙන් කිසි ම දෙයක් උපයාගෙන නෑ. වෘත්තීය සමිති නායකයෙක් විදියටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටත්, පළාත් සභා සභාපතිවරයෙක් විදියටත් මං බොහෝ කාලයක් වැඩ කළා. ඒ සියල්ලෙන් ම ඈත් වෙලා ඉන්නකොට මට හිතුණා ශාස්ත්‍රීය වශයෙන් යමක් කළොත් හොඳයි කියලා. මට ඒකට විවේකය ලැබිලා තිබුණා. ඔය කාලෙදි තමයි මාතොට සඟරාවේ සෝර්බා ගැන පළවුණු ලියැවිල්ලක් දකින්න ලැබුණේ. අලු දූලි ගසා දාලා සෝර්බා සමඟ ජීවත් වෙන්න විශාල පෙළඹවීමක් ඉන් ලැබුණා.

******

පරිවර්තනය දෙස බලද්දී නිවී සැනහුණු සේයාවක සලකුණු එහි පෙනේ. එය මුනිවර ලකුණකි. එකී සලකුණ මෙතෙක් කොහි වීද? එම පරිවර්තන සංයමය නිරපරාදේ අසංයමශීලී දේශපාලන කරලියෙහි දිය වී ගිය බව මෙනෙහි වී ශෝකී සිතිවිල්ලක සේයාවක් සිතෙහි නැඟ එයි. එහෙත් ඔහු පසුකාලීන ව හෝ එ වැනි ඵලදායී සමාජ මෙහෙවරකට ප්‍රවිෂ්ට වී සිටී. ඉදින් එය ප්‍රීතියට නිමිත්තක් නොවේ ද? හැත්තෑ දෙ වැනි වියේ දී පළමු පරිවර්තන කෘතිය. එහෙත් එය 'සෝර්බා නම් ග්‍රීකයා' ය. එය දැවැන්ත පිම්මකි.

******

මෙම කෘතිය පරිශීලනය කරද්දී සිංහල ඉංග්‍රීසි භාෂා ද්වයෙහි ම ඔබ සතු පරිචය පිළිබිඹු වෙනවා. මොකක්ද එහි රහස?

මං අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අධ්‍යාපනයෙන් අනතුරුව මගේ වෘත්තිය වුණේ ගුරු වෘත්තිය. ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට උගන්වන්න ගියේ සිංහල ඉස්කෝලවල. සිංහල භාෂාව කොහොමත් අපට සමීප යි. මම කවදත් සිංහල හොඳට කියෙව්වා. අමාවතුර, බුත්සරණ, ගුත්තිලය, සංදේශ කාව්‍ය හැම එකක් ම අතර ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යය වගේ ම නූතන සාහිත්‍යයත් මං ඇසුරු කළා. මං හිතන්නේ ඒ හින්දා තමයි මේ වගේ පොතක් පරිවර්තනය කරන්න පුළුවන්කම ලැබුණේ. ඒත් සමහර අවස්ථාවල ගැටලු පැන නැඟුණා. ඉංග්‍රීසි භාෂාවෙන් එන දේවල් එහෙම්ම ම සිංහලට දාන්න බෑ. ඒක මෙහාට ගැලපෙන්න ඕනෑ. ඒත් මූලික අදහස වෙනස් වෙන්නත් බෑ. ඔය හැම දෙයක් ම මං කල්පනා කළා. ඒ හින්දා මට හුඟක් කල් ගියා මේක පරිවර්තනය කරන්න. සමහර තැන්වල ගැටලු පැනනැඟුණාම මං පොත පැත්තකින් තියලා වෙන වැඩක් කරනවා. පස්සේ ආයෙත් වැඩේට අත තියනවා. මොකද, මේක වචනය ම නෙමෙයි. දාර්ශනික චින්තාවන්ගෙන් පිරිච්ච කෘතියක්.

ඔබ බොහෝ සාහිත්‍ය කෘති පරිශීලනය කළ කෙනෙක්. ඒ කෘතිවල සිටින බොහෝ චරිත ඔබ හඳුනනවා. මේ චරිත අතර සෝර්බාට හිමි තැන මොකක්ද?

මේ කෘතිය ඉතා ම සාරවත් කෘතියක් ලෙසට යි මං දකින්නේ. සෝර්බා වගේ චරිතයක් ගොඩනංවන එක ඉතා ම දුෂ්කර කාර්යයක්. ඒ චරිතය ඉතා ම විවෘත ව ඉදිරිපත් කරනවා. සිංහල සාහිත්‍යයේ නැත්තේ ඔය දේ ම තමයි. මේ විවෘතකම තමයි සුවිශේෂ ම ලක්ෂණය. මං කල්පනා කරන හැටියට හැම මිනිහෙකුට ම ද්විත්ව චරිතයක් තියෙනවා. බාහිර චරිතය හා අභ්‍යන්තර චරිතය විදියට. කාට හරි පුළුවන් නම් බාහිර චරිතයේ සංසිද්ධියක් අභ්‍යන්තර චරිතය එක්ක සම්බන්ධ කරන්න, අන්න එතකොට ඒ පුද්ගලයා විවෘත මිනිහෙක් ලෙස පෙනෙන්න ගන්නවා. අපි කොමියුනිස්ට් පක්ෂයට බැඳෙනකොට උගන්නපු පළවෙනි දේ තමයි, කොමියුනිස්ට් කාරයෙක් වෙනවා නම් මුළින් ම විවෘත මිනිහෙක් වෙන්න ඕනෑ කියන එක. මනුෂ්‍ය සිතිවිලි ඇතිවෙන්න ඕනෑ ඒ ආකාරයට, ඒකේ වෙනසක් වෙන්න බෑ කියන එක.


First UK Edition of Zorba the Greek

"දෙවියන් වහන්සේ හොඳ විනෝදයෙන් ඉන්නවා. මිනී මරනවා. අයුක්ති වැඩ කරනවා. ආදරය කරනවා. කරන්න බැරි, අමාරු වැඩ කරනවා. හරියට මේ මං වගේ! එයාට හිතූ දේ කනවා. හිතූ විදියට ගෑනු ගන්නවා. පැහැදිලි වතුර වගේ හැඩ වැඩ ඇති අලුත් ගෑනු ළමයෙක් යනවා ඔයා දකිනවා. ඔයා ගේ පපුව ගැහෙන්න ගන්නවා. එතකොට ම පොළොව පැලිලා එයා අතුරුදහන් වෙනවා. එයා යන්නේ කොහේ ද? කවුද අරගෙන යන්නේ? එයා හොඳ ගෑනු කෙනෙක් නම් ඒ අය කියනවා දෙවියන් වහන්සේ අරං ගියා කියලා. එයා වෛශ්‍යාවක් නම් කියනවා යක්ෂයා අරං ගියා කියලා! ඒත් ලොක්කා, දෙවියන් වහන්සේ යි යක්ෂයා යි එක්කෙනෙක් ම කියලා මං ආයෙත් කියනවා!"
-සෝර්බා නම් ග්‍රීකයා

******

මෙ බඳු ලෙස ආගමික සන්දර්භයත්, සංස්ථාපිත ආයතනත් දැඩි ලෙස ප්‍රශ්න කරමින් ජීවිතය නව මානයක් කරා රැගෙන යනු සෝර්බා කෘතිය පුරා ම දක්නට ලැබෙයි. ඉදින් එම කෘතිය නො පැකිළ සමාජ ගතකිරීමේ දී පරිවර්තකයා ද, සොර්බා සේ ම විවෘත වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්විය යුතු බව හැඟී යයි. ආගම ගැන පරිවර්තකයා දරන ආස්ථානය කුමක්ද? අපි එය ඔහුගෙන් ම අසා දැනගනිමු.

******

කතෝලික ආගමේ වුණත් ජේසුස් වහන්සේ ඇතුළු සියලු චරිත පල්ලියට වුවමනා විදියට සකස් කරගෙන තියෙන්නේ. බෞද්ධාගමේ වුණත් සියලු දේ පන්සල්වලට උවමනා විදියට මෙහෙයවලා තියෙන්නෙ. එහෙම පසුබිමක ඒවාට විරුද්ධව කවුරු හරි කතා කළාම, ඔහුව ද්‍රෝහියෙක් විදියට හංවඩු ගහනවා. 'සාතන් ගේ කවි' කියන කෘතිය කරපු සල්මන් රුෂ්ඩිට ඉරානය මරණ දඬුවම නියම කළා. කසන්සාකිස්ටත් එහෙම වුණා. එයාවත් පල්ලියෙන් නෙරපුවා. එයා මැරුණම මිනිය වළලන්න විතරයි පොඩි ඉඩක් දුන්නේ. නමුත් කසන්සාකිස් කියන්නේ, කතෝලික දර්ශනය හොඳට හදාරපු කෙනෙක්. බෞද්ධ දර්ශනයත් එහෙමම යි. ඔහු නීතිය පිළිබඳ විශාරදයෙක්. ඒ විතරක් නෙමෙයි රටේ අධ්‍යාපන ඇමැතිවරයා. පල්ලියෙන් එහෙම කළාට පොදු ජනතාව එයාව ශ්‍රේෂ්ඨයෙක් විදියට පිළිගත්තා. සංස්ථාපිත ආගම් කියන්නේ එහෙම තැන්. රුෂ්ඩිලා, කසන්සාකිස්ලා එහෙම තැන් කඩාගෙන එළියට ආපු අය. නමුත් ආගමික සංස්ථා හා බැඳී සිටින මිනිස්සුන්ව ඒකෙන් ගලවගන්න හරි අමාරුයි. ඒකෙන් වෙන්නේ මානව චින්තනය සීමා වීම. එයට විලංගු වැටීම. ආගමික සන්දර්භයේ ඇති නව මානයන් සාහිත්‍යකාරයන් පෙන්වනවා. ඒවා අලුත් මත. යේසුස් වහන්සේ වුණත් ඒ කාලේ තිබුණු රාජ්‍යයට, පූජක සංස්ථාවට එරෙහි ව නැඟී සිටි කෙනෙක්. නමුත් සම්පූර්ණයෙන් ම ඒ පැත්ත වහලා දාලා තියෙන්නේ. කසන්සාකිස්ගේ ම The Last temptation of Christ නමැති නවකතා කෘතියෙන් ජේසුස් කවුද කියන එක පැහැදිළි කරනවා.


Zorba the Greek [1964] film

******

පරිවර්තකයා සංස්ථාපිත ආගම් දෙස බලන ආකාරය පැහැදිළි ය. එහෙත් ලාංකේය වපසරිය තුළ කතෝලික සංස්ථාව හැසිරෙන්නේ ද පරණ පුරුදු ලෙසම ය. එ බඳු තත්ත්වයක් තුළ?

එය නත්තල් දවසකි. කසන්සාකිස් (කෘතියේ කථකයා) දේවස්ථානයට යෑම හා ඔහුට මුණගැසුණ වැන්දඹුව හමුවට යාම පිළිබඳ මානසික අරගලයක නිරත ව සිටී. අවසානයේ දේවස්ථානයට යාමට තීන්දු කර සෝර්බා අමතයි. එහෙත් සෝර්බා ගේ පිළිවදන් මෙ බඳු ය.

"අපි යමු. ඒත් දෙවියන් වහන්සේ වැඩිය සතුටු වෙන්න තිබුණා ඔබ රාත්‍රී කාලයේ දී වැන්දඹුව ළගට ගියා නම්. අති උත්තම ගේබ්‍රියෙල් දේව දූතයා වගේ! දෙවියන් වහන්සේ ඔබ ගිය මඟ අනුගමනය කළා නම් ලොක්කා ඔහුත් මේරි ළඟට යන්නේ නෑ. ක්‍රිස්තුස් වහන්සේ කෙනෙක් උපදින්නේත් නෑ! දෙවියන් වහන්සේ මොන මඟ ද අනුගමනය කරන්නේ කියලා ඔයා මගෙන් ඇහැව්වොත් මං කියන්නේ මේරි හමුවීමට ඇති මඟ. මේරි තමයි වැන්දඹුව."
-සෝර්බා නම් ග්‍රීකයා


******

ලොක්කා, මෙ බඳු සන්දර්භයකට ශ්‍රමය මිඩංගු කරනකොට ඇත්තටම ගැටලුවක් ආවේ නැද්ද?

මම ඕක හිතුවා. ඒත් ආයෙ මං හිතුවා එහෙම ප්‍රශ්නයක් මතුවුණොත් ඒවාට උත්තර දෙන්න මට පුළුවන් කමක් තියෙනවා කියලා. මේ පොත ලංකාවේ තහනම් කරලා නෑ. චිත්‍රපටය තහනම් කරලාත් නෑ. ඒ දෙක ම තහනම් කරලා නැත්නම්, මං පරිවර්තනය කරන පොත තහනම් කරන්න හේතුවක් නෑ කියන ස්ථාවරයේ මං හිටියා.


සද්ධාතිස්ස වඩිගමංගාව

එක් එක් ආගම් තියෙනවා පරස්පර විරෝධී ව. සමහරු දේවවාදය විශ්වාස කරනවා. සමහරු නෑ. ඒත් ඒවා අතර ගැටුම් නෑ, තමන් ගේ සිතිවිලි අතර ඇතිවන ගැටුම් මිස. ලක්ෂ සංඛ්‍යාත කතෝලිකයෝ ඉන්නවා දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා, මිනිසා මැව්වා කියලා විශ්වාස කරන. ඉන්දියාවේ සමහර ප්‍රධාන පෙළේ බුද්ධිමත්තු කියන මිනිස්සු පවා තවමත් ඉන්නේ මහා බ්‍රහ්මයා ලෝකය මැව්වා කියන ස්ථාවරයේ. ඒත් ඒවායේ විද්‍යානුකූල පදනම වෙන එකක්. සියලු විමුක්තිකාමීන් ඒ ඒ වකවානුවල තිබිච්ච තත්ත්වයන්ට එරෙහි ව තමයි වැඩකළේ. බෞද්ධ දර්ශනය ගොඩනැඟුවේ එදා තිබුණු බමුණු මතයට පහර ගහලා යි. බුදුහාමුදුරුවෝ පටන් ගත්තේ දේවවාදයක් නෙමෙයි අදේවවාදයක්. ඒකට විරෝධය මතුවුණා. නමුත් ඒක යටපත් කරන්න අවස්ථාවක් ලැබුණේ නැත්තේ එයා රාජ්‍ය වංශිකයෙක් නිසා. සමහර විට වෙන කෙනෙක් ඕක කළා නම්, යේසුස් වහන්සේට වෙච්ච දේ ම වෙන්න තිබුණා.

බොහෝ අවස්ථාවල මේ වගේ විමුක්තිකාමීන් තමන් ගේ ස්වාධීන අදහස් ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළාට කිසි ම වරදක් නෑ. මේක වෙනස් වන සමාජයක්. වෙනස් වන ලෝකයක්. ඒ හින්දා ගතානුගතිකව 'මේ දේම හරි' කියලා ඉන්නෙ නැතුව වඩා වෙනස් සොයා ගැනීම් කරන්න පුළුවන් නම් එතන මං හිතනවා විමුක්තිය විතරක් නෙවෙයි ගැටුම තුළින් මතු වන සත්‍යය පවා තියෙනවා. අදහස් දෙකක් ගැටෙන තැන අලුත් දෙයක් මතු වෙනවා. අලුත් මත ඉදිරියට දාපුවාම එතැන ගැටුමක් මතුවෙනවා. ඒ ගැටුම තුළින් වැහිලා තිබුණු යම් දෙයක් වෙතට ආලෝක කදම්භයක් එල්ල වෙනවා.

මල් පිපුණු ගසක්, සීතල වතුර බින්දුවක්, සූර්යයා හෝ සාගරය, මේ හැම දෙයක් ම සෝර්බා දකින්නේ අලුත් දෙයක් දකින විදියට, පළමු වතාවට දකින විදියට. මේ තත්ත්වය සෝර්බා චරිතය පුරා ම දකින්න ලැබෙනවා. උල්කාපාතයක් දකිනකොට ඔහු සතුටින් ඉපිලෙනවා, පළමු වතාවට දැක්කා වගේ. ඒත් ඔහු උල්කාපාත දැක තිබනවා. සෝර්බා ගේ මේ සෞන්දර්යය විඳීම ගැන මොකද හිතෙන්නේ?

ඔන්න ඔය තත්ත්වය නිසාම යි මං බුද්ධ චරිතයට ගරු කරන්නේ. බෞද්ධ හාමුදුරුවරුයි, ගිහියොයි සේරම කියන දෙයක් තමයි බෝධිසත්වයෝ කලකිරිලා තපසට ගියා කියලා. ඒත් මම කියන්නේ බෝධිසත්වයෝ කිසිදාක කලකිරුණේ නෑ කියලා. කලකිරීමක් නෙමෙයි තිබුණේ, නව දෙයක් සොයාගැනීම. ඒ නිසා හැම තිස්සේ ම අලුත් දෙයක් දකිනවා. එක ම චිත්‍රය වුණත් අද දකින චිත්‍රය නෙමෙයි හෙට දකින්නේ. මිනිසා ගේ සිතිවිලි පරම්පරාව කියන එකත් එහෙම යි. කොච්චර වයසට ගියත් මිනිහා ගේ සිතිවිලි අලුත් වෙන්න ඕනෑ. පරණ, ගතානුගතික, මහලු සිතිවිලිවල එල්ලිලා ඉන්න බෑ මිනිහෙකුට. සෝර්බා චරිතෙත් එහෙම යි. ඒකයි සෝර්බාට හැම දෙයක් ම අලුත් දෙයක් විදියට පෙනෙන්නේ.


නිකොස් කසන්සාකිස් (1883-1957)

******

දාර්ශනිකයකු ලෙස හැඳින්වෙන ඕෂෝ රාජ්නීෂ් ගේ මතයට අනුව හැමදෙනාට ම බුද්ධත්වයට පැමිණීමට නො හැකි වන්නේ සරල හේතුවක් නිසාවෙනි. ඒ බොහෝ දෙනකුට සෝර්බා වීමට නො හැකි වීම යි. සතුට සෝර්බා නම් 'ප්‍රමෝදය' බුද්ධත්වය යි. මෙම ප්‍රමෝදය විසින් සතුට ප්‍රතික්ෂේප නො කරයි. ප්‍රමෝදය රැගෙන එන්නේ සතුටේ මාවතෙන් ය....

ඒ අනුව 'සෝර්බා' මේ දැන් 'බුද්ධ' නිරීක්ෂණය කරමින් සිටී. සෝර්බා ගේ 'අලුත්' දැක්ම බුද්ධ හා සම්බන්ධ කරමින් පරිවර්තක තෙමේ පවසන්නේ එයම ද?

රාජ්නීෂ් මෙසේ ද පවසයි. "සෝර්බා හා බුද්ධ එකතු වුණොත් විතර යි පරිපූර්ණ මිනිසා ගොඩනැඟෙන්නේ. 'සෝර්බා ද බුද්ධ' තමයි පිළිතුර.

'සෝර්බා ද බුද්ධ' තමයි උසස් ම බලවේගය. සරල ව කිව්වොත් 'සෝර්බා ද බුද්ධ' කියන්නේ
අලුත් නමක් - අලුත් මිනිහෙකුට
අලුත් නමක් - අලුත් යුගයකට
අලුත් නමක් - අලුත් ඇරැඹුමකට

මේ සියලු දාර්ශනික කතිකාවන් අතරින් ද, සංවාදයන් අතරින් ද පසෙකට වී අපි මොහොතකට සෝර්බාට කන් දෙමු. අසන්න, මේ සෝර්බා ගේ නිර්ව්‍යාජ කටහඬ යි.

******

"ලොක්කා, මිනිස්සුන්ට ඉන්න හැටියට ඉන්න දෙන්න! ඔවුන් ගේ ඇස් අරවන්න එපා. ඇස් ඇරෙව්වොත් මොනවද දකින්නේ? අඳෝනාවල්. ඔවුන්ට ඔහේ හීන දැක දැක ඉන්න ඉඩ දෙන්න."
-සෝර්බා නම් ග්‍රීකයා
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- An interview with Saddhatissa Wadigamangawa, Zorba the Greek (Βίος και Πολιτεία του Αλέξη Ζορμπά, Life and Adventures of Alexis Zorbas), Novel by Nikos Kazantzakis, Sinhala Translation of Zorba the Greek, Sorba Nam Greekaya, Sama Publishers, Anthony Quinn, Alan Bates
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මංජුල වෙඩිවර්ධනගෙන් තවත් වියමන්
පොත්
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
කවි
සුළඟට අවනතව
කරන්ට්ස්
මම තොප නොහඳුනමි
කවි
[සන්තාන ගීතිකා - 7] අවාළු පැහැය විනිවිදිමිනි..
කවි
[සන්තාන ගීතිකා - 6] ස්මරණ නටඹුන් මත
තවත් සූකිරි කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook