Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සිත්තර බූන්දි
Trees with Three Lines | සොබා රූ සිත්තම් විඳගන්න එන්න.
බූන්දි, 17:51:07
කරුණාසිරි විජේසිංහ, සොබා දහම අධ්‍යයන ශාලිකාව ඉදිරිපත් කරන සිසුවියන්ගේ රේඛාමය චිත්‍ර ප්‍රදර්ශනය, "Trees with Three Lines" සොබා රූ සිත්තම් ප්‍රදර්ශනය, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී 2013 නොවැම්බර් 4-6 දක්වා පැවැත්වෙයි. ප්‍රදර්ශනය විවෘත කිරීම නොවැම්බර් 4 දිනට [ප.ව. 5.00-ප.ව. 7.00] යෙදී තිබේ.

සොබා දහම සිතුවම්කරණයේලා, මෙරට සිටින ප්‍රමුඛ පෙළේ සිත්තරෙකි කරුණාසිරි විජේසිංහ. ඔහු විභවි ලලිත කලා ඇකඩමියේ ශාස්ත්‍ර සම්පත් පදනමේ ආචාර්යවරයෙකි. විභවියේ විවිධ පාඨමාලාවන් අතර සොබාදහම අධ්‍යයන පාඨමාලාව "Nature Studies” මෙහෙයවන්නේ කරුණාසිරි විජේසිංහ විසිනි. ජීව ලෝකයේ පවතින අපූරු විස්මයජනක නිර්මාණයන් සිය සිසු සිසුවියන් හා පූරා අවුරුද්දක් තිස්සේ අභ්‍යාස කිරීමේ එක් ප්‍රතිඵලයකි Trees with Three Lines රේඛාමය සිතුවම් ප්‍රදර්ශනය. එම පාඨමාලාවේ දෙවන අදියර සාර්ථකව නිමාකරන වජිරා පෙරේරා, දුලාරි ඩි ෆොන්සේකා, රුවි රුද්‍රිගෝ යන ශිෂ්‍යාවන් තිදෙනා සිය අභ්‍යාසයන් අපූරු සොබා රූ නිර්මාණයන් ලෙස මෙම ප්‍රදර්ශනයේදී අපට ඉදිරිපත් කරනු ඇත.

සොබා දහමේ දී අපට එකවර දර්ශනය නොවන යම් වස්තුවක්, රූස්ස ගහක්, නිහඬ ගල්කුලක්, සුලඟට ලෙල දෙන ලපල්ලක් ඒවාටම ආවේණික වූ හැඩතල ඒවාටම සුවිශේෂ වූ ගති සොබාවයන්, පැහැයන් මෙන්ම වන ගහනක ඇති විවිධත්වයන්, සංකීර්ණතාවයන්, හිරුඑළිය ගහකොළ මත ඇති කරන නොයෙක් රටා හා සෙවැනැලි, චලන, එකිනෙකා අතර ඇති වන්නාවූ දෘශ්‍යමය සම්බන්ධතාවයන් සියුම්ව නිරීක්ෂණය කොට ගනිමින් සොබාදහමේ සංස්කරණයක් තම කැන්වසය මත කලු සුදු රේඛාවන් මඟින් විශාලනය කොට චිත්‍රණය කිරීමේ අපූරුව ගැන වජිරාත්, දුලාරිත්, රුවිත් සිය අත්දැකීම් අප සමඟ බෙදාහදා ගත්තේ මෙසේයි.

වජිරා පෙරේරා විභවි ලලිත කලා ඇකඩමියට ඇතුළු වෙන්නේ 2012 අප්‍රේල්වලදීයි. චිත්‍රකලාව කෙරේ බොහෝ ඇලුම් කරන ඇය කවදා හෝ චිත්‍ර ඉගෙනීමේ අධිෂ්ඨානයකින් පසු වූ අයෙක්. රැකියාවක නියුතු වූ ඇය එයින් ඉවත් වී බිරිඳක හා මවක ලෙස ගේ දොර වගකීම් ඉටු කරමින් සිය ඉගෙනීමේ කාල වේලාව පැමිණෙන තුරු බලා සිටියා වැනිය. සිය එකම පුතුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු ද නිමා වූ පසුව චිත්‍ර කලාව ඉගෙනීම සඳහා යාමට ඇය ඉස්පාසුවක් ලබාගත්තාය.

"චිත්‍ර කලාව ඉගෙනීම සඳහා යා යුතු තැනක් පිළිබඳ තොරතුරු සොයා යද්දී විභවි ලලිත කලා ඇකඩමිය පිළිබඳව මට අහන්න ලැබුණා. විභවිය පිළිවෙලකට චිත්‍ර උගන්වන තැනක් කියායි මා දැනගත්තේ. එය අසා විභවියට පැමිණ පදනම් පාඨමාලාවට ඇතුල් වුණා. ටික දිනකදී මට තේරුම් ගියා පිළිවෙලකට අධ්‍යාපන කටයුතු මෙහි කෙරෙනවා යන්න සත්‍යයක් බව. මෙම පදනම් පාඨමාලාවේ මා උගනිමින් සිටියදී 2012 වසරේ අවසානයේ ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කෘති ඇතුලත් ප්‍රදර්ශනය සඳහා සහභාගි වන්නට ද මට හැකිවූවා. මගේ කැපවීම මෙන්ම ආචාර්යවරුන්ගේ මග පෙන්වීම හා සහයෝගයද මට ඊට මහත් රැකුලක් වුණා."



පදනම් පාඨමාලාවට ඇතුලු වූ වජිරා විභවි ඇකඩමියේ ආලින්දයේ බිත්තිවල එල්ලා ඇති කරුණාසිරි විජේසිංහ කලාකරුවාණන්ගේ රේඛා චිත්‍ර සමූහය ඉදිරිපිට බොහෝ විට කාලය ගත කරනු දක්නට ලැබුණා.

"ඇත්තෙන්ම කරුණාසිරි සර්ගේ නිර්මාණවල තියේන රූස්ස ගස්, වැල් හා ගල් කුලු සහිත නිර්මාණයන් ගැන මට ඇති වුණේ තදබල කුතුහලයක්. මටත් එවැනි චිත්‍ර කරන්නට ඇත්නම් යැයි බොහෝ විට සිතුණා. මේ කාලයේදී ඔහු සොබා සෞන්දර්යය අධ්‍යයනය පාඨාමාලවක් සඳහා සූදානම් වුණා. දෙවරක් නොසිතා මම ඔහුගේ ශාලිකාවට ඇතුලත් වුණා. පුරා මාස 9 කට වැඩි කාලයක් අප එම පාඨමාලාවේ අධ්‍යයන කටයුතු කර ගෙන යනවා. ඒ අතරවාරයේයි අප මෙම ප්‍රදර්ශනය සඳහා ලක ලැහැස්ති වන්නේ...." වජිරා කියයි.

එමෙන්ම මේ කෘති නිර්මාණය කිරීමට ඔවුන් වන පෙත් සොයා ගොස් ඒවායේ ජීවය සිය නහර තුළට රුවා ගන්නට මහන්සිවෙමින් බොහෝ ක්ෂේත්‍ර චාරිකාවන්හි ද නිරත වූවෝය.

"මොරගහහේන හල්බරාවවත්ත- දඹුල්ලේ කලුදිය පොකුණ- ඉබ්බාගමුව බතලේගොඩ වැව ආශ්‍රිත වන ප්‍රදේශය දඹුල්ලේ කලුන්දැව වැව ආදී තැන් මගේ හිත් ගත්තා. පරිසරයට ගහට කොළට ආදරේ කළ කෙනෙක් ලෙස විශේෂයෙන් ඒවායේ හැඩතල දිහා බලන්න, පැහැයේ විවිධත්වයන් දකින්න, පෘෂ්ඨමය ලක්ෂණයන් විඳ ගන්න මනා හැකියාවක් අපට මේවායින් ලැබුණා. ඉස්සර සොබා දහම පෙනුණා විතරයි. දැන් එය බලන්න දකින්න ඇහැක් අපට ලැබුණා. නමුත් ඒ අයුරින්ම සොබාවික පරිසරය පිටපත් කරන්න නෙමේ අපි උත්සාහ කරන්නේ. එහි ස්වභාවයන්, ගුණයන්, හැඩයන් උකහාගෙන නිර්මාණශීලී දෙයක් බවට සොබා දහම පත් කරන්නයි අපි ඉගෙන ගත්තේ. ඒ හාම පෙරදි ගහකොළවලට තිබූ ආදරය තව තවත් වැඩි දියුණු වුණා."

"මෙහිදී තවත් දෙයක් කිව යුතුයි. සොබා දහම හා මගේ පැවැත්ම තුළ මගේ ඇතුලාන්තයේ ඇති රිද්මය මේ නිර්මාණයන් හා මුහුකරලන්න මගේ ගුරුවරයා දක්ෂ වූවා."

චිත්‍රයක් නිමවීම සඳහා වජිරා බොහෝ විට භාවිතා කරන්නේ කෙටි ඉරයි. චිත්‍රය නිමා කරමින් සිටින අතරේ අවසාන වශයෙන් ගෙදර අය මතක් කිරීමටත් ඇය අමතක කළේ නැහැ.



දුලාරි ඩි ෆොන්සේකා විභවියට ඇතුල් වෙන්නේ 2010 වසරේ මුල් භාගයේදීය. කුඩා කල පටන් චිත්‍ර පිළිබඳ රසවින්දනාත්මක ක්‍රියාකාරකම්වල නිතර වුනත් ඇයට අවශ්‍ය වී තිබුණේ චිත්‍ර කලාව න්‍යායාත්මකව හැදෑරිය හැකි තැනක්. ලංකාවේ එවැනි තැනක් ගැන තොරතුරු සොයා යද්දී ඇයට අසන්නට ලැබුණා චන්ද්‍රගුප්ත තේනුවර ආචාර්යවරයා පිළිබඳව.

"මා බොහෝ විට චිත්‍ර කලාව සම්බන්ධව තොරතුරු සෙවීමට නිතර උත්සාහ කළා. ඇත්තෙන්ම තේනුවර සර් මුණ ගැසීමට පැමිණ මා තීරණය කළා, විභවියට ඇතුලු වී චිත්‍ර ශිල්පය හැදෑරිය යුතු බව. ඔහුගේ ශාලිකාවට ඇතුලු වීමෙන් කලාව පිළීබඳ නොදන්නා ලෝකයක් මට විවෘත වුණා. තවත් බොහෝ දුර අප යා යුතු බවත් හැඟුණා. මානව රූපය අධ්‍යනය කිරීමේ න්‍යායාත්මක පාඨමාලාව කෙරෙහියි මගේ අවධානය දැඩි ලෙස යොමු වූයේ. මේ අතරේ විභවිය තුල තිබූ සෑම ක්‍රියාකාරකමකටම පාහේ මගේ කාලවේලාව අනුව මම යොමු වූවා. සොබා රූ අධ්‍යයන පාඨමාලාව හැදෑරීමට ද මට දැඩි අවශ්‍යතාවයක් දැනුණා. කලු සුදු රේඛාමය චිත්‍රවලින් ඇති කරන චමත්කාරය ද සොයා යා යුතුයැයි මට හැඟුණා. ඇසිල්ලකින් වෙනස් වන සොබාවික දර්ශන තලයන් එහි ඇති වස්තූන්, ඒවායේ විවිධ ඉරියව් වගේම චලනයන් ග්‍රහණය කර ගැනීමේ අභ්‍යාසයන් ගෙන් දවසින් දවස අලුත් දෙයක් සොයා යෑමේ අත්දැකීම් අපට මහත් සතුටක් ගෙනදුන්නා. කලාව කියන්නේ දැනුම් සම්භාරයකට. එය පැහැදිලිව හැදෑරීම අවශ්‍යයි. අධ්‍යයනය නොකර නිර්මාණයක් තුලට අදහස් ගොනු කරන්න බැහැ. සැබෑවටම චිත්‍රය කුමක්දැයි සොයා ගන්නටය් විභවියට ආවේි. චිත්‍ර විෂයේ පුළුල්ව දිග හැරෙන විවිධ ශිල්පීය ක්‍රමයන් පිළිබඳව මගේ චිත්‍රය විචාරණ අවස්ථාවේදී තේනුවර සර් දෙන කෙටි හා ස්ථීර උපදෙස් මගේ හිතට කෙලින්ම කා වැදුණා." දුලාරි කියන්නීය.

පූර්ණ කාලීනව නැත්නම් අර්ධකාලීනව චිත්‍ර කලාව හැදෑරීමට යොමු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබුණ වුවමනාවන් විවිධයි. ඔවුන්ගේ පවුල් පසුබිම් හා සමාජ පසුබිම් මෙන්ම වුවමනාවන් ද එකිනෙකට වෙනස් වුවා. සමහරුන් විභවියට එනතුරු කිසිදිනක චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට අවස්ථාවක් ලද්දා වූ අය නොවේ. "නිරුවත්" ශරීරයක් ඇඳීම පිළිබඳව උරණව පසුවෙන මව්පියන් දරුවන්ගේ මඟ අවුරාදැමූවන්, කලකට පසු වෙනත් රැකියාවක යෙදෙන අතරේ නැවතත් චිත්‍ර කලාව හැදෑරීමට වයස් ගත වී හෝ පැමිණෙන අයත් අපට මෙහිදී හමුවිය හැකියි. එමෙන්ම චිත්‍රයක් කියන්නේ ලස්සන දෙයක් පිටපත් කරනවාට වැඩි යමක් නොවන බවත් සිතා සිටින, විස්වාස කරන අයත් මෙහි පැමිණෙනවා.

අපි නැවතත් දුලාරිගේ අදහස්වලට යොමු වෙමු. "ඇත්තෙන්ම ඉස්සර ගහක් දැක්කේ නැත්නම් සමස්ත පරිසරයම දැක්කේ නිකං වර්ණ පදාසයක් හැටියට. ඒත් අද ගහක් දෙස බලන ඇස වෙනස්වී තිබෙනවා. මගේ ජීවිතයට ඉතාම ආසන්න වූ සොබා දහම තව තවත් මට කිට්ටු වූ බවක් දැනෙනවා. අප සොබාදහම පිටපත් කිරීමට නොවේ මේ උත්සාහ කරන්නේ. එය නොවේ අපේ අභ්‍යාසය. අප සොබා දහම හා මුසු වී එහි සිත් ගන්නා තැන්, රිද්මයන් සොයමින්, ගල් කුළුවල වෘක්ෂ කඳන්වල පෘෂ්ඨයේ තානමය ලක්ෂණයන්, පැහැයන්ගේ සොබාවයන්, හිරු එළියේ පරාවර්තනයන්ගෙන් ඇති කරන විිවිධත්වයන් ආදී බොහෝ කාරණා සමඟ සම්බන්ධ වෙමින් අපට අවශ්‍ය වන නිර්මාණය ගොඩ නගා ගන්නවා. රේඛා හැඩතල අභිබවා ගිය දෙයක් චිත්‍රය කියා අප දැනගත්තේ මෙසේ උගන්නා විටයි....."

චිත්‍ර කලාව පිළිබඳව මහත් ආශාව හා වුවමනාව පමණක් රැගෙන ආ මොවුන් සැඟවී ඇති සිය විභවයන් ශක්‍යතාවයන් මතු කර ගැනීමේලා තම ආචාර්යවරුන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම හා ඔවුන් තම ජීවිත තුලට මහත් බලපෑමක් කළ බව ද පිළිගනිිති.

"සොබා දහම අධ්‍යයනයේ යෙදෙන මගේ සොබාවය කුමක්දැයි මට තෝරා දුන්නේ මගේ ආචාර්යවරයායි. මා තුළ පැවති රිද්මය සොයා ගන්න ඉන් හැකියාවක් ලැබුණා. රේඛාවකින් Stroke එකකින් අප වටා ඇති ලෝකය කැන්වසයක් මත ගොඩනගන්න අපට හැකියාව ලැබුණා.." දිගු ඉරි වලින් සිය චිත්‍රය නිමා කරන අතර දුලාරි කියා සිටියාය.

සොබා දහම පිළිබිඹු කරන මේ කෘතීන් තුල නිහඬ හා ඒකාග්‍ර මනසක් අන්තර්කරණය වී ඇති බව පෙන්වා දෙන්නේ රුවි රුද්‍රිගෝය. 2012 වසරේ ජනවාරියේදී විභවි ඇකඩමියට සම්බන්ධ වූ ඇය ඇගේ අත්දැකීම් පවසා සිටියේ මෙසේය.

"මූල්‍ය කටයුතු පරිපාලනය පිළිබඳ අධ්‍යයනයක යෙදී සිටිද්දීයි විභවියේ සොබා දහම අධ්‍යයන වැඩ මුළුවක් සඳහා පිරිස තෝරා ගැනුනේ. මූල්‍ය කටයුතු පිළීබඳ අධ්‍යයනය පසෙකලා මා මෙම වැඩමුළුවට පැමිණියා. එම වැඩමුළුවේදී අපට මූලික දැනීමක් ලබා දුන්නා. සොබා දහමේ සොබාවික හැඩතල ,තානයන්, Textures,ආලෝක තත්ත්වයන් හා චලනයන් ආදී දේ ගැන. එය ඉගෙනීමෙන් මා කුතුහලයට පත් වුණා. මට අවශ්‍ය වුවා තව දුරටත් ඒ ගැන හදාරන්න. ඉන්පසු මා සොබා දහම අධ්‍යයන පාඨමාලාවට පැමිණියා. සතියේ දිනක මේ පාඨමාලාව පැවැත්වුණේ. නමුත් මගේ කාර්යාලය නිවාඩු අනුමත කොට මේ පාඨමාලාව සඳහා ඒමට මා නිදහස් කළා. එය මට දුන් විශිෂ්ඨ සහයෝගයක්. කෘතඥතා පූර්වකව මා එය අද සිහිපත් කරනවා." රුවි කියන්නීය.

සොබා දහමත් මිනිසාත් එකිනෙකාගෙන් වියෝජනීයව සිටින අද වැනි කාලයක ඇත්තෙන්ම මෙවැනි සහයෝගයක් විශ්වාස කිරීමට පවා අසීරු තරම්. නමුත් සොබා දහමට අභිමුඛව සිට ගැනීමේදී මිනිසෙකු ලෙස අද අප සිටින්නේ කුමන තැනකද යන අභියෝගය අප හමුවේ නිරන්තරව පැන නගී.

"අපගේ අධ්‍යයන චාරිකාවේදී බොහෝ තැන්වල ඇවිද සොබා සෞන්දර්යය නිරීක්ෂණය කිරීම අපේ පාඨමාලාවේ වැදගත් අංගයක් වූවා. මගේ සිත තදින් පැහැර ගත්තේ දඹුල්ලේ කලුදිය පොකුණ ආශ්‍රිත පරිසරයයි. අප එම භූමියට ඇතුළු වන මොහොතේ පොළොවෙන් අහසට ඇදෙන සමනල රෑනක් මා දුටුවා. යෝධ වනාන්තරයක අමුතුම ලෝකයක් මැද අප සිටින බවයි මට හැඟී ගියේ. හිතට දැනුනේ අමුතු ගුප්තමයභාවයක්. එමෙන්ම සොබා දහම සමඟ මුසු වූ විට දැනෙන නිහඬ බව මනසට පුදුමාකාර සහනයක් ගෙන දෙනවා. බොහෝ හෙමින් අඳින විට එය භාවනාවක් සේ මනස එක් අරමුණකට යොමු කරනවා. ඒ නිසා මෙම විෂය හැදෑරීමට මා ඉතා කැමති වුණා. ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි. හොඳ යමක් ඉගෙන ගනිද්දී හොඳ ගුරුවරයෙකු ලැබීමත් විශේෂ කාරණාවක්. ශිෂ්‍යයාගේ කැපවීම මෙන්ම ගුරුවරයාගේ කැපවීමත් ඉගෙනීමේ ක්‍රියාවලියට බලපාන දෙයක් බව මා උගන්නේ මෙහිදීයි. ගුරුවරයෙකුට ශිෂ්‍යයෙක් තුළ උත්ප්‍රේරණය ඇති කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා. අපගේ පාඨමාලාවේ සාර්ථකත්වයට එය ඉතා පිටිවහලක්" යැයි ඇය කියා සිටියාය.

රුවි රොද්‍රිගෝ දිගින් දිගටම සොබා දහම අධ්‍යයන ක්‍රියාවලිය තුල නිරතව සිටීමට උත්සාහ කරන ශිෂ්‍යාවක ලෙස කැපී පෙනෙනවා. ඇය තම නිර්මාණයන් සඳහා භාවිතා කළේ තිත් මගින් රූපය පරිපූර්ණත්වයට පත් කිරීමේ තාක්ෂණයයි. එමෙන්ම මෙම අධ්‍යයන පාඨමාලාව තම ජීවිත පරිඥානය පුළුල් කිරීමේලා වැදගත් වු බවද මෙහිලා සඳහන් කිරීමට ඇය අමතක කළේ නෑ. ඇත්තෙන්ම එය හරි අපූරු ප්‍රකාශයක්.

"ඉස්සර වයසට ගිය වයෝවෘද්ධ අයෙකු දුටු විට මට දුකක් කණගාටුවක් වැනි හැඟීමක් ඇති වුවා. දැන් වයසක කෙනෙකුගේ ලස්සන පෙනෙනවා. සමෙි රැළි වැටී ඇති රිද්මයන්, මුහුණ තුළ සැඟවී ඇති භාවයන් සහ එම මුහුනේ නොකියන දේ සොයා යාමට හිතෙනවා. පොදුවේ කිව්වොත් වියපත් බවේ ලස්සන පෙනෙන්න පටන්ගන්නවා." රුවි කල්පනාබරව පවසන්නීය.

කලාකරුවන් පංති කාමර තුළ හෝ ඇකඩමියන් තුල හෝ එක අච්චුවක ලා නිපදවෙන්නේ නැත. ඔවුහු වනාන්තරයක ඇති එක් එක් වර්ගයේ රුක් මෙන් විවිධ සංස්කෘතික- දේශපාලනික- සමාජ- ආගමික හා අධ්‍යාත්මික මහා වැහි කුණාටු මධ්‍යයේ එකිනෙකා හා සමීපව නමුත් එකිනෙකාගෙන් වෙනස්ව එකිනෙකා පරයමින් උස්ව හෝ නූස්ව වැඩෙන්නෝය.


[දුලාරි ඩි ෆොන්සේකා]


[වජිරා පෙරේරා]


[රුවි රුද්‍රිගෝ]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Trees with Three Line Art Exhibition by the students of Karunasiri Wijesinghe, Wajira Perera, Dulari De Fonseka, Ruvi Fernando, Vibhavi Art Academy, Nature Studies
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් සිත්තර බූන්දි
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
"දිව-ලොප්" ජාතියක් ඇතිවෙලා...!- චන්ද්‍රගුප්ත තේනුවර
Form and Deform- Reality- පේන හැටි | මැයි 11-12-13
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook