Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
මියැසි කතා-බස්
"නිහඬභාවය හඬවන්න- බියෙන් අත්මිදෙමු" -ජයතිලක බණ්ඩාර
බූන්දි, 16:36:47
'බියෙන් අත්මිදෙමු' නමින් මේ නොවැම්බරයේ 18 වැනිදා සවස 6.30ට අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුර රංගශාලාවේ ඔබේ ගීතමය ප්‍රසංගය පැවැත්වෙනවා. 'බියෙන් අත්මිදෙමු' තේමාව පැහැදිලි කරන්න.

මේ නම ඇත්තටම අවුන්සාන් සු කීගෙ සටන් පාඨයක්. මේක ලංකාවට සම්බන්ධ වෙන්නෙ රටේ නරකම කාලෙක. ඒ කියන්නෙ අසූව දශකෙ අගභාගයේදී. සිවිල් සංවිධාන සහ කලාකරුවො එකතුවෙලා බියෙන් අත්මිදෙමු නමින් ගීත ගායනා කරමින් වැඩසටහන් කීපයක් කළා ඒ කාලෙ මර්දනයට විරුද්ධව. ඉතිං මට හිතුණා මේ කාලෙ ඊටත් වඩා නරක කාලයක්. බරපතළ අසාධාරණකම් සිදුවෙනවා. බරපතළ අකටයුතුකම් සිදුවෙනවා. බරපතළ විදිහට මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවෙනව. මේ සියලු දේවල් අතරෙත් විශාල නිහඬතාවක් තියෙනවා. බුද්ධිමතුන්ගේ, විද්වතුන්ගේ, කලාකරුවන්ගේ, සිවිල් සංවිධානවල වගේම සාමාන්‍ය ජනතාව සියල්ලෝම නිහඬයි. ඒකට ප්‍රධාන හේතුව තමයි ඇත්තටම මිනිස්සු බියවද්දල තියෙන එක. කතා කරන මිනිස්සු තුරන් කිරීමේ ප්‍රවණතාවක් පේන්න තියෙනවා. නිහඬතාව බිඳල කතා කරන අයට මේ රට අත්හැරල යන්ඩ සිද්ධවෙලා තියෙනවා. නොයෙක් ශාරීරික හා මානසික තාඩන පීඩනවලට ලක්වෙන්ඩ වෙලා තියෙනවා. මේ සියලු දේ ඇතුළෙ බියවැදීම සහ නිහඬතාව වැඩිවෙලා. එහෙත් සමාජයක් වෙනස් කරන්නට බැහැ, කලාකාරයො, බුද්ධිමත්තු මුනිවත රැකලා. මං විශ්වාස කරනව මේ යුගයේ අපි මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය මේ බය.

ගීතයෙන් කොහොමද මිනිස්සු බියෙන් අත්මුදවන්නෙ?

සාහිත්‍යයට පුළුවන් මිනිස්සු එක්තරා වෙනසකට ලක්කරන්න. සාහිත්‍ය කෘතිවලට, චිත්‍රපටයට වගේම ගීතයටත් මිනිසුන් ආකල්පමය වෙනසකට ලක් කරන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. ඒක ගීතයට සම්පූර්ණයෙන් කළ හැකියි කියල මම කියන්නෙ නෑ. අනික් එක බියෙන් අත්මිදෙන්නට නම් කවුරුහරි මේ 'බියෙන් අත්මිදිය යුතු මිනිස්සු' මූලිකත්වය ගන්න අවශ්‍යයි. දැන් බයෙන් අත්මිදෙමු කිව්වට බය තුළම ගිලිල- කොටුගැහිල ඉඳල ඒ වෙනස කරන්නට බැහැ. අපි දන්නව මෙවැනි කටයුත්තකදි තර්ජන- ගර්ජන- මර්දන ඒ වගේම බියවැද්දීම්- අපහාස- උපහාස සියලු දේවල් සිද්ධ වෙනව. ඉතිං ඒක දරාගන්න පුළුවන් මිනිස්සු කොටසක් සිටිය යුතුයි. ඒ තාඩන පීඩන භාරගන්න පුළුවන් මිනිහෙක් වෙන්න මං කැමතියි. ඒකෙන් මං අදහස් කරන්නෙ නෑ මට මේ සමාජයම බියෙන් අත්මුදවන්න පුළුවන් කියල. මම මට පුළුවන් දේ කරනවා. හැබැයි මම මේ කැපකිරීම නොකළොත් මට සමාජයෙන් ඉල්ලන්න බැහැ මේ නිහඬතාව බිඳින්න කියල. අපි කරන ප්‍රසංගය ගීතයේ සියලු වැට මායිම් කඩල බිඳල දාන- ලෝකයේ පහළ වෙච්චි විශිෂ්ටතම වැඩක් විදිහට මම දකින්නෙ නෑ. අඩුපාඩු ගොඩක් තියෙයි. ඒත් අපි මේ වැඩේට අවංකයි.

මේ ප්‍රසංගයේ අන්තර්ගතය ජනතාවට ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද?

මේකෙ අවුරුදු ගණනාවක් තිස්සෙ එකතු කරපු ගීත තියෙනවා. අපි අසාධාරණයක් සිද්ධවෙච්ච තැන්වලට ගිහින් ගීත ගායනා කළා. අපි හිතමු දැන් කම්කරු අරගලය මර්දනය කරද්දි අපි කම්කරුවන්ට හයිය දෙන්න ගීත ගායනා කරනවා. උදාහරණ විදිහට රෝෂෙන්ගෙ මරණයත් සමග ඔහු සම්බන්ධ කරගෙන ගීත ගායනා කළා අපි මිනිස්සු අතරට ගිහිල්ලා. මං කියන්නෙ ඒ ගීතය රොෂේන් ගැන වුණත් ඒකෙ අන්තර්ගතය තියෙන්නෙ කම්කරු අරගලය මර්දනයට එරෙහිව. ඊළඟට මාධ්‍ය නිදහස පිළිබඳ. පසුගිය කාලය පුරා අපි දැක්කෙ මාධ්‍යකරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සහ වාර්තා කිරීමේත් ජනතාවගේ තොරතුරු අදහස් දැනගැනීමේ අයිතියත් උල්ලංඝනය කරපු හැටි. ඒ අය මරපු හැටි. ඒව ගැන ලියූ ගීත මේ ප්‍රසංගයට අපි ගත්තා. ඇත්තටම මිනිස්සුන්ට ශක්තිය දෙන ගීත අවශ්‍යයි. අපිට කතා කරන්න වෙන්නෙ දශක ගණනාවක් පුරා මේ රටේ සිද්ධවෙච්ච ඛේදවාචක ගැන තමයි. හැබැයි ඒ ඔස්සේම අපිට මිනිස්සුන්ට බලාපොරොත්තු ඇති කරවන්නට පුළුවන්. ඒ සමග මේ සමාජ වෙනස හෙට වෙයි කියල මම කියන්නෙ නෑ. හැබැයි මම විශ්වාස කරනවා කවදහරි දවසක ඒ වෙනස සිද්ධවෙනවා. මේ ප්‍රසංගයේ අන්තර්ගතය වෙන්නෙ ඒ බලාපොරොත්තුවේ ශක්තිය.

ඔබ කිව්වා වගේ මේ මොහොතේ කලාකාරයා ඇතුළු 'වැඩ කරන' බොහෝ අය නිහඬයි. අපි හිතමු අපේ රටේ යුද වින්දන සංස්කෘතියක් නිර්මාණය වෙනකොට ඒක වෙනස් කරන්න මැදිහත්වෙන්න පුළුවන්නෙ කලාකරුවාට. හැබැයි මොකක්හරි හේතුවක් හින්දා මේ අය නිහඬයි මේ රටේ වෙන සියල්ල ඉස්සරහ. මේක මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රබලත්වය හෝ නව ලිබරල් ක්‍රමයේම හැටියක්ද? ගීතය එක්ක ඉන්න ඔබ කොහොමද මේක විග්‍රහ කරන්නෙ?

මම හිතන්නෙ මේ සියලු දේ බලපානවා. මේ රාජ්‍යය ඉතා ශක්තිමත්. ඒ රාජ්‍යය විසින්ම මේ කාලය පුරා කරපු 'විනාශය'ම 'ඉතාම යහපත් දෙයක්' බවට මිනිසුන්ගේ විඥානය තුළ සමාජගත කරල තියෙනව. ඒ වගේම තමයි නව ලිබරල්වාදය වගේ සංකල්පත් එක්ක මිනිස්සු කුටුම්බ තුළට හිර ගතවෙලා ඉන්නවා. තමන්ගෙ සියලු දේවල් විකුණන් කන තත්ත්වෙට පත්වෙලා. මේක මේ සිස්ටම් එකේම හැටි තමයි. අනික් අතට අපි විසින්ම, ඒ කියන්නෙ මේ සමාජය වෙනස් කරන්නට මැදිහත් විය හැකි අය විසින්ම ස්වයංවාරණයක් පනවගෙන තියෙනව. ඒ තුළ තාන්න- මාන්න- ඉඩකඩම් ලැබෙනවා. ජනප්‍රියත්වය ඉස්සරහින්ම එනවා. මුදල්, කීර්තිය ලැබෙනවා. ඉතිං මිනිස්සු ඉක්මනට ඔය තැන්වලට යනවා. හැබැයි ඕක සදාකාලික නැහැ. මේ යුගයෙ අපිට පෙන්වන්නට චරිත නැහැ. අද බිහිවෙන විප්ලවීය චරිත හෙට වෙනකොට ඉරි තැලිල යනව. එහෙත් මේ සියලු දේවල් අතර ඔබ කියපු විදිහට මේ සමාජයට මැදිහත්විය හැකි ප්‍රවීණ මිනිසුන්ගෙ නිහඬතාව අස්සෙ තරුණ මිනිස්සු, අංකුර අය නැගී සිටිනව අපිට පේනව. ඔවුන් ලියනවා. ප්‍රවීණයො අද ලියන්නෙ නෑ. ඔවුන්ගෙ අත් හිරිවැටිලා. එහෙත් ලියන මිනිස්සු කොටසක් ඉන්නවා. ඒව සමහරවිට පත්තරවල පළවෙන්නෙ නෑ. එහෙත් වෙබ් අඩවිවල පළවෙනවා. මේ තරුණයො අපිට ධෛර්යය වෙනවා. ඒ වගේම මේ ජරාජීර්ණ ක්‍රමය ඇතුළෙම වුණත් අපේ පරම්පරාවෙ මිනිස්සු තැන් තැන්වල හුදෙකලා වෙලා ඉන්නවා. හැබැයි මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියන අදහස ඔවුන් අත්හැරල නැහැ. අපිට මේ කටයුත්ත කරන්න වෙන්නෙ ඒ අය එක්ක එකතුවෙලා.

ඔබතුමා කිව්වනෙ, තරුණ පරම්පරාවෙ නැගිටීමක් තියෙනවා කියලා. ඒත් එක්කම අපිට පේන දෙයක් තමයි මේ මොහොතෙ තරුණ වැඩිහිටි කවුරුත් ඉන්නෙ හරිම විනෝදෙන් ඉන්න බව. තම ජීවිත කාලය ඉතාම හොඳින් විඳින බව. අපි බියෙන් අත්මිදෙමු කියල කිව්වට අපිට පේන්නෙ මේ සමාජය ගැන බයවෙන්නට කිසිම දෙයක් නෑ වගේනෙ. ඒ කියන්නෙ බරපතළ විදිහට විනෝද සංස්කෘතික ගිලිලනෙ අපි. මං හිතන්නෙ කිසිම බියක් නෑ වගේ දැනෙන එකම තමයි අපි බියගන්වන දෙය එක පැත්තකින්. සියලු දේවල්වලින් පරිපූර්ණයි වගේ පේන මේ ආතල් සංස්කෘතියෙන් අපේ බිය වහල දාල තියෙනව. සංවර්ධනය ඉහළයි. පත්තර කලාව, ටෙලිවිෂන් එක විතරක් නෙවෙයි පාරේ තොටේ පවා අපිට පේන්නෙ අපේ මිනිස්සුන්ගෙ 'මාර ආතල්' එකක්නෙ. මාක්ස්ගෙ කාලෙ වගේ නොවුණත් සංස්කෘතිකමය වශයෙන් අපි අතර පන්ති විඥානයක් ඇති කරන්න පුළුවන්ද? පශ්චාත් නූතන මොහොත එක්ක අපි හිතන්නෙ දැන් ලෝකය තනි යායක් කියලනෙ. දැන් ඒක තනියායෙ කතන්දරේ තමයි මේ මාර ආතල් එක. ඔබේ 'බියෙන් අත්මිදෙමු' ව්‍යායාමය මේ තත්ත්වයත් එක්ක තුළනාත්මකව ගළපන්නෙ කොහොමද?

ඔබ කියන එක සම්පූර්ණයෙන් ඇත්ත. මං කියන්නෙ මේ ආතල් එක කඩන්න ඕන. ඒක මේ අපි කතා කරන තරම් ලේසි නැහැ. සිංදු කියල විතරක් කරන්න බැහැ. මේ නිෂ්ක්‍රීය මිනිස්සු අවදි කරන එක තමයි ආතල් එක කැඩීම වෙන්නෙත්. ඒක අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපිට උත්සාහයක් ගන්න පුළුවන්. දැන් මගේ මාධ්‍ය ගීතය. ගීතය පැත්තෙන් ගත්තොත් එහෙම අද හරවත් ගීත සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටීමක්වත් නෑනේ. සමස්තයක් විදිහට සමාජය නෙමෙයි අඩුතරමේ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයැ'යි කියන අයවත්. මේ ආතල් කැඩීම සඳහා හැමෝටම වැඩ කරන්න වෙයි. සාහිත්‍යකරුවාට, චිත්‍රපටකරුවාට තමන්ගේ ක්ෂේත්‍රවල අයගෙ ආතල් එක ඉස්සරලම කඩල දාන්න වෙයි. මාධ්‍යකරුවාට සිද්ධවෙයි මාධ්‍යයේ ආතල් ගන්න එක කඩල දාන්න. ඒක පහසු නැහැ. මේ හැමෝම තැන් තැන්වල තනිවෙලා ඉන්නෙ. ඉතිං අපි මේ අය එකතුවෙලා මණ්ඩපයක් නැතිනම් මංසලක්, හන්දියක් හදාගන්ඩ ඕන. කාටත් එන්න යන්න පුළුවන්. මේ තම තමන්ගෙ ආතල් ව්‍යාපෘතිවල කොටුවෙලා ඉන්න අයගෙ සීමා කැඩීමෙන් විතරයි ඔබ කියන අර විනෝද සංස්කෘතිය සංස්කරණය කරන්න අපිට මැදිහත්වෙන්න පුළුවන්. අපේ ප්‍රසංගය ඒකට යන්න ඉතාම කුඩා උත්සාහයක්. අපිට ඒක තනියෙන් කරන්නට බැරි බව පිළිගනිමින් නෙමෙයි තේරුම් ගනිමින් තමයි අපි මේ වැඩේට සූදානම් වෙන්නෙ.

මේ යුගයේ දේශපාලනය විදිහට අපි දකින්නේ (විශේෂයෙන්ම සාහිත්‍ය උත්සවවල පවා) සින්දු කියන සින්දුවට නටන සංදර්ශනකාමි නැඹුරුවක්. ඒ වගේම ගීතයක් අපි කතා කළ අර ආතල් එකේම ගොදුරක්. සමාජය දිහා බුද්ධිමය ගැඹුරකින් බලන කතිකාවක් නිර්මාණය කරන්නට මේ කිසිවක් සමත් වෙන්නේ නැහැ. ඒ වගේම කෙටිකතාව, කවිය වගේ සාහිත්‍ය ශානරයකට සාපේක්ෂව ගීතය එහි ස්වභාවයෙන්මත් ප්‍රාසාංගිකයි. සරළයි. ගීතයේ මේ ජනප්‍රිය ප්‍රාසාංගිකත්වය සහ සංදර්ශනාකාමය ඇතුළේ ඔබ කතා කරන දේශපාලනික අවදිභාවයට යන්නට තියෙන ඉඩකඩ හදාගන්නෙ කොහොමද?

මම කියන්නේ අපේ "බියෙන් අත්මිදෙමු" ප්‍රසංගය තුළ සියලු දේ කළ නොහැකියි. ඔබ කියන ගීතයේ නිම්වළලු පුළුල් කිරීම සඳහා හුදු ප්‍රාසාංගික බවින් මිදිලා මිනිස්සු අතරට ගීතය අරන් යාම සඳහා වෙනම කාර්යභාරයක් තියෙනවා. ගැඹුරු හැදෑරීමක් එක්ක ලෝකේ සංගීතමය සහ දේශපාලන ව්‍යාපාර හදාරන්න ඕන. මෙවැනි ප්‍රසංගයකදී අපිට ඒක යන්තමින් හෝ ස්පර්ශ කරන්න පුළුවන් කියල මම හිතනව.

ඒක මේ අධිවේගි මාර්ග අස්සෙ පොඩි පාරක්වත් නැති අපි අඩි පාරක් හදාගන්න කරන ඇවිදීමක් වගේ නේද?

පැහැදිලිවම අපි පාරක් හදාගන්න ඕනනේ. මම කියන්නේ ඒ පොඩි අඩිපාර හදන්න අපි දැන්ම පටන්ගත්තේ නැත්නං අපිට මේ පාර කරත්ත පාරක් තරම්වත් ලොකු කර ගන්න බැරි වෙනවා. අපි දැන්ම පටන් ගන්නට අවශ්‍යයි. ඇත්තටම ගීතය පැත්තෙන් ගත්තොත් මේ වැඩකරන්න පුළුවන් මහා දැවැන්තයෝ ඉන්නවා. එහෙත් කරන්නෙ නෑ. ඒ අය ඔබ කිව්ව ආතල් එකේම කොටස්නෙ. ඉතින් අපිට සිද්ධ වෙන්නෙ පොඩි දුයිෂෙන්ලා අපේ ගුරුවරු කර ගන්ඩ. දුයිෂෙන් සමහර විට රුසියන් හෝඩියවත් සම්පූර්ණයෙන් නොදැන ඉන්නට ඇති. ඒක දැනගත්තු උගත්තු එනකොට දුයිෂෙන් තැපැල්කාරයෙක් බවට පත්වෙනවා. එහෙත් එතෙක් ඔහු උගන්වනවා. ඉතින් දුයිෂෙන්ලා අපිට දුන්නු පාඩම ඕක. අපි ඔස්සේ යන්න උත්සාහ කරනවා.

එක පැත්තනකින් එක රැයෙන් තරු.. තවත් පැත්තකින් තනුවකට පද ටිකක් සොයා ගැනීම, රූප ටිකක් අමුණා රූපවාහිනියකට යැවීම සහ රිගින් ටෝන් එකක් ලෙස වෙළඳෙපොළට විකුණා ගැනීමග මේ විදිහට ගීතය සිල්ලර වීම ගැන ඔබේ අදහස කුමක්ද?

තරුණ පරපුර විතරක් නෙමෙයි ප්‍රවීණයෝ පවා එතන්ට සෙට් වෙලා ඉන්නෙ. තමන් එක්තරා කාලයකදි කරපු උසස්ම නිර්මාණ පවා පස්සෙ කාලෙක සිල්ලර කරගත්තු ඉතාම ප්‍රබුද්ධ යැයි කියන පිරිස් අපිට හමුවෙනවා. ඒවට විවිධ හේතු කියනවා. ඒ හේතු ඇඟකිලිපොලා යන ඇස්වලට කඳුළු එන ඒවා වෙන්න පුළුවන්. එහෙත් කලාකරුවාට එහෙම කරගන්නට බැහැ. කලාව කියන්නෙ ප්‍රතිලාභයක් නෙමෙයි කියන එක ප්‍රවීණයන්වත් කවදාවත් තේරුම් ගත්තෙ නෑ. මේක එතනින් ඔබ්බට ගත යුතුව තිබෙනවා. ඔබ කිව්ව වගේ සමාජය දෙස ගැඹුරින් බලන කතිකාවකට මැදිහත් වෙනව වගේම මාධ්‍යයක් විදිහට ගීතයත් තව බොහෝ වර්ධනය විය යුතුව තිබෙනවා. ඒකට හැදෑරීමක් ඕන. හැබැයි මේ හැදෑරීම කියන එක අද අවශ්‍යම නැති තැනට ගෙනල්ලා තියෙනවා ප්‍රවීණයෝ පවා. උදා: විදිහට තරු තෝරන ඉහළ පුටුවල ඉන්නෙ සංගීතය පිළිබඳ, ඉහළම ඥානයක් තියෙනවයි කියන අය. එයාල තමයි මේ තරුවලට ආශිර්වාද කළේ. හැබැයි සුපර්ස්ටාර්ස්ල එහෙම බිහිවෙන්න බෑනේ. එහෙත් සුපර්ස්ටාර්ල බිහිකරන්න පුළුවන් කියන මතවාදය තහවුරු කරන්නෙ වෙළෙන්දොත් එක්ක එකතු වුණු මේ කලාකාරයෝ. ඒකට ආශිර්වාද කළේ අපි අතර ඉන්න මේ ප්‍රබුද්ධ කලාකාරයෝ තමයි. හැබැයි කවුරුත් මේ ප්‍රවීණයෝ ප්‍රශ්න කළේ නැහැ. මේ අයට ගෞරව කරනවා මිසක්. හැබැයි අපි මිනිස්සු අවදි කළ යුතුව තිබෙනව මේව ප්‍රශ්න කරන්නට. මේ අනාගත පරපුර බොරුවට අන්දන්න එපා, හුරතල් කරන්න එපා කියල. ඔවුන්ට හදාරන්න කියන එක වඩා වැදගත් "මම ඔබට සුබපතනවා. ආශිර්වාද කරනවා" කියල නැගිටලා බොරුවට අත්පුඩි ගහන එකට වඩා.

දැන් අපේ සමාජයේ පිළිම විනාශ වෙලානෙ තියෙන්නෙ. පුද්ගලයෝ හැටියට ගත්තහම අපි අදහපු චරිත බලා ඉද්දිම දියවෙලා යනවනේ. යුද විරෝධී මානවවාදියා හිටපු ගමන් සේනාධිපතිගේ වන්දිභට්ටයෙක් වීමේ ඓතිහාසිකය අපට මතකනේ. අනික් පැත්තෙන් කලාකරුවා, වෛද්‍යවරයා භික්ෂුව මාධ්‍යවේදියා විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, ආචාර්යවරයා ආදී විදිහට ස්ථානගත වෙලා තිබුණු සමාජ භූමිකාවල ස්වභාවය වෙනස්වෙලා තියෙනවා. කාලෙන් කාලෙට මේ භූමිකාවල ස්වභාවය වෙනස් වීමම ස්වභාවය තමයි. ඒ වුණත් අපි කියන මේ භූමිකාවල ස්වභාවය, ඒ ආශ්‍රිත හැසිරීම් අත්තනෝමතික විදිහට විකාරරූපි වෙලා තියෙනවා. ඔබ බියෙන් අත්මිදෙමු කියල කියනකොට මේ විකාරරූපි ප්‍රවාහය ගැනත් අපිට කල්පනා කරන්නට සිද්ධ වෙනවා නේද?

මුළු සමාජයම බරපතළ විදිහට නායයෑමකට ලක්වෙලා තියෙන්නෙ. අම්මලම තමයි දරුව ගාලු පාරේ දාල යන්නෙ. තාත්තම තමයි දුව දූෂණය කරන්නෙ. ගුරුවරයම තමයි ශිෂ්‍යයාට අඩන්තේට්ටම් කරන්නෙ. වෛද්‍යවරයාම තමයි තමන් ළඟට එන ගැබිණි මවට අතවර කරන්නෙ. හාමුදුරුවොම තමයි පන්සලට මල් පූජා කරන්නට එන උපාසිකාව කාමරේට ගන්න බලන්නෙ. මේක විය යුතු නැති වුණත් මේක තමයි වෙමින් තියෙන්නෙ. මෙවැනි වෙලාවක තමයි බියෙන් අත්මිදෙමු ප්‍රසංගයට පාර කැපෙන්නෙ. මේක වෙනස් කළ යුතුයි සහ වෙනස් කළ හැකියි කියන විශ්වාසය උඩ තමයි අපි පටන් ගන්නෙ. මේක හැබැයි මේ පොළොවේ ජනප්‍රිය වැඩක් බවට පත්වෙන්නෙ නෑ. එහෙම පත්වෙන්න බෑ. එහෙත් මම විශ්වාස කරනවා තැන තැන ගැහැනු මිනිස්සු ඉන්නවා. ඔවුන් ප්‍රවීණ යැයි කියන කලාකාරයොවත් ප්‍රවීණ යැයි කියන මාධ්‍යවේදියොවත් බුද්ධිමත්තුවත් නොවෙන්න පුළුවන්. එහෙත් ඒ ආත්මයක් තියෙන අය. තමන් එක්කම කතා කරන්න පුළුවන් කොටසක් ඔවුන්. ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ අනාථභාවය වෙනුවෙන් කිරිබත් කාපු රටක, ලක්ෂ ගාණකගෙ මරණ සැණකෙළි පවත්වලා සමරපු රටක එහෙම මිනිස්සු අතළොස්සක් ඉතිරි වෙලා ඉන්නෙක සතුටු වෙන්න ඕන දෙයක්. මට ඔවුන් ගැන විශ්වාසය තියනවා. ඒ ඉතිරිවෙලා ඉන්න මිනිස්සු එක්කගෙන අර සීතලා වෙලා- අයිස් වෙලා- ගල් ගැහිලා ඉන්න මිනිස්සු අමතන්නට දරන චූටි උත්සාහයක් තමයි බියෙන් අත්මිදෙමු ප්‍රාසාංගික කෑ ගැසීම.

බියෙන් අත්මිදෙන්නට ජනතාවට ඔබේ ආරාධනය මොකක්ද?

බියෙන් අත්මිදෙමු ටිකට් එකක් අලෙවි කරලා බලන්න දෙන ප්‍රසංගයක් නෙමෙයි. හැබැයි මේක ගොඩක් මුදල් යන වැඩක්. ඒ නිසා අපි විවෘතව ආරාධනා කරනවා, මේක තමන්ගේ ප්‍රදේශයේ පවත්වනකොට බලන්න එන්න. ඒ වගේම මේ ප්‍රසංගය සංවිධානය කරන්නට දායක වෙන්න කියල. අපි මේක වෙනස් කරලා හදාගමු. දැනට මේකෙ සින්දු කියන්නෙ මම විතරයි. හැබැයි මේකෙ මම්ම සින්දු කිව යුතු නැහැ. ඉතින් ඔබ සින්දු කියන්ට එන්න මේකට. සින්දු ලියන්න, තව වෙනත් ආරවල්වල. මම බොහෝදුරට අතපත ගෑවෙ උත්තර රාගධාරි සංගීතය. එහෙත් සංගීතයේ තියෙන නොයෙක් ආරවල් මේකට ගේන්න පුළුවන්. අපි කිසිම දෙයක් ප්‍රතික්ෂේප කළ යුතු නෑ. ජනකවි ගත්තත්, බයිල ගත්තත්, දෙමළ සංස්කෘතියේ එන නාද ගත්තත්, බටහිර සංගීත රටා ගත්තත් මේ ඔක්කොම මිනිස්සුන්ගෙනෙ. මේවා කිසිවක් ප්‍රතික්ෂේප නොකර අවශ්‍ය තැනදි නිර්මාණාත්මක සහයෝගිතාවයෙන් මික්ස් කර ගැනීමයි වැදගත්. ඉතින් අපි එකතුවෙලා මේක කරන්න උත්සාහ කරමු.

ඔබ ලංකාව පුරාම මේක වරින් වර කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

ඇත්තටම මම උත්සාහ කරනවා. "සාධු ජනරාව" ගැන අපිට එවැනි අත්දැකීමක් තියෙනවා. අපි සුළුවෙන් පටන්ගෙන මේක කරගෙන යමු. මුල්‍ය පරමාර්ථ හෝ වෙනත් ව්‍යාපෘති තියෙද්දි තමයි අතරමග කඩාවැටෙන්නෙ. කන්න බොන්නයි යන්න එන්නයි තිබුණම ඇති. අද ගායකයෝ සින්දු තුනක් කියන්න ලක්ෂ ගාණක් ඉල්ලන වැඩක් වගෙ නෙමෙයි මේක. අපිට මේකට මිලක් නියම කරන්නට බැහැ. ඉස්පිරිතාල හැදුවෙ මේ රටේ මිනිස්සුනෙ. ඒවගේනෙ අපේ අම්මලා අපිව ඉපැද්දුවෙ.. හැදුවේ... ඉස්කෝල හැදුවේ මේ රටේ මිනිස්සුනෙ. ගුරුවරුන්ට පඩි ගෙව්වෙ මේ රටේ මිනිස්සුනෙ. අපි ඉගෙන ගත්තෙ ඒවගෙන්නෙ. අපි රැකගත්තේ මේ සමාජය. ඉතින් මේ සමාජයේ මේ මොහොතට පෙරළා අමතන එක අපේ යුතුකමක්. ඉතින් බොහොම සරල කාරණයක් තියෙන්නෙ අපේ හිත හදාගන්නට. නේද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- An interview with Jayathilaka Bandara Sri Lankan Singer and Musician, Biyen Athmidemu Concert, Sadhu Jana Rawa Concert
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් - I
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
වෙසෙස්
ආදරය සහ ළමා අපයෝජනය
වෙසෙස්
උද්ධමනයේ පහළ යෑමත් බොරු! බොරු ආර්ථීක දත්ත! බොරු සංවර්ධනය!
තවත් මියැසි කතා-බස්
මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා....- කසුන් කල්හාර
"අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා" - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
"හිරේ ඉඳිල්ලයි එළියෙ ඉඳිල්ලයි අතරේ වෙනසක් නෑ!"| පූසි රයට් යෙකතරිනා සමග ගිටාර් සන්නද්ධ අරගලය ගැන කතාබහක්
"අනිවාර්යෙන් කාල් මාර්ක්ස් එදාට මේ කොන්සර්ට් එකට එනවා!"- අජිත් කුමාරසිරි- නෝ මෝර් මාර්ක්ස්
ලංකාවෙ ජනප්‍රිය කලාව පට්ටපල් චාටර්! -ඉන්ද්‍රචාපා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.
What's New | අලුතෙන්ම
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
කවි| ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

28-Secs

(වින්ද්‍යා ආරියරත්න) කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි

වැට මායිමක
වැටහිරියා අතු අඟිස්සක... [More]
අදහස්| සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?

4-Mins

(සරද සමරසිංහ) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කවි| අපේ තාත්තා

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණ ඇතුළේ
හිටපු අපෙ තාත්තා

කූරු හිසකේ -රැළි ගස්සා... [More]
වෙසෙස්| රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

4-Mins

(සරද සමරසිංහ) අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කතන්දර| දොළොස්දාහක්

5-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
කවි| මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය

19-Secs

(මහේෂි බී. වීරකෝන්) ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook