Violence, Sexuality and Sri Lankan Media | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අපේ මාධ්‍ය මගින් ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය මෙතරම් විකිණෙන්නේ ඇයි?
['නූතන ජනමාධ්‍ය භාවිතයේ අද්භූත සංකල්ප ප්‍රවණතාව' යන මැයෙන් තිලක් සේනාසිංහ 2013 දෙසැම්බර් 23 සඳුදා කොළඹ 8, ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වූ දේශනයෙන්.]
බූන්දි, 21:02:06
යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් ආදී අමනුෂ්‍යයන් අරක් ගෙන ඇතැයි පැවසෙන නිවාස ගොඩනැගිලි ස්ථාන ආදිය පිළිබඳව අපි අසා ඇත්තෙමු. ලෝකයේ බොහෝ රටවල ඇතැම් නගර වල සේම ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව ද මෙබඳු ස්ථාන තිබේ. එහෙත්, මෙලෙස අමනුෂ්‍යයන් අරක් ගත් බව විශ්වාස කිරීම නිසා ජනශුන්‍ය බවට පත් ලොව ප්‍රධාන පෙළේ නගරයක් හෝ වෙනත් ප්‍රසිද්ධ ජනගහන කලාපයක් පිළිබඳව අසන්නට නැත. ඉන් අපට හැඟී යන්නේ ලොව සෑම ජන සමාජයක් තුළම යම් යම් ප්‍රමාණ වලින් අද්භූතවාදී සංකල්ප රැඳී පවත්නා බව ය. නමුදු එම සංකල්ප වලින් සමාජ ප්‍රගමනයට සැලකිය යුතු බාධාවක් හානියක් සිදු වී නොමැති බව ය. එමෙන්ම මෙහිදී විශේෂයෙන් පැවසිය යුතු තවත් කරුණක් තිබේ. එනම් අද්භූතවාදී විශ්වාස වලින් මුලුමනින්ම අත්මිදුණු සමාජයක් පිළිබඳව ලොව මෙතෙක් වාර්තා වී නොමැති බව ය.

සාමාන්‍ය තත්ත්වය එය වුව ද මෑතක සිට ලාංකීය ජන විඥානය තුළ අද්භූත සංකල්ප පිළිබඳ ප්‍රවණතාව සැලකිය යුතු අගයකින් වර්ධනය වී තිබේ. ඉන් හැඟෙනුයේ අප රට තුළ පවත්නා යක්ෂ, භූත, ප්‍රේත ආදී විශ්වයේ ඇතැයි සැලකෙන ගුප්ත බලවේග පිළිබඳ විශ්වාස සැලකිය යුතු කුළුගැන්වීමකට ලක්ව ඇති බවකි.

එය වත්මන් සමාජයේ ජීවත් වන අප කවුරුත් ඉතා පැහැදිලි ලෙසම අත්දකින තත්ත්වයකි. එහෙත් එම අත්දැකීමෙන් ඔබ්බට විහිද ගිය ඒ සම්බන්ධ විශ්ලේෂණාත්මක දැනුමක් නූතන ජන සමාජයෙන් සියයට දශකම එකක් වත් සතුව ඇතැයි මම නොසිතමි. නූතනයේ සිට ශීඝ්‍ර කුළු ගැන්වීමකට ලක් වෙමින් පවතින 'ජනමාධ්‍ය භාවිතයේ අද්භූත සංකල්ප ප්‍රවණතාව' මෙම තත්ත්වය විදහා පාන කැඩපතක් මෙනි. රූපවාහිනිය, ගුවන් විදුලිය සහ පුවත් පත යන ප්‍රධාන ජන මාධ්‍යයන් තුළින් මෙලෙස අද්භූත සංකල්ප එළි දැක්වීම ගත වූ වසර කිහිපය පුරා ප්‍රමාණාත්මක අයුරින් වර්ධයනට ලක්වූ බවක් පෙනේ. එසේම මෙම ලක්ෂණය සිංහල ජන මාධ්‍යයන් කෙරෙන් සුවිශේෂී ලෙස ඉස්මතු වී තිබීම ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු ය. නිදසුනක් ලෙස අප රටේ පළවන සිංහල ඉරිදා පුවත් පත් වල පොදු සංයුතිය විශ්ලේෂණය කළ හොත් ඒවායේ පළවන කරුණුවලින් සියයට දහයක් පමණ ප්‍රමාණයක් තුළ සෘජු හෝ වක්‍ර අද්භූතවාදී නැඹුරුවක් දක්නට ලැබේ. එක් එක් පුවත් පත සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ හොත් ඇතැම් පුවත් පත් සම්බන්ධයෙන් මෙම අගය සියයට තිහ, හතලිහ ආදී වශයෙන් ඉහළ නැංවෙන අවස්ථා ද තිබේ. වර්තමානයේ සිංහලයෙන් පළවන දිනපතා පුවත් පත්, සතිපතා වාර ප්‍රකාශන ආදිය තුළින් ද මෙම අද්භූත වාදී නැඹුරුව යම් යම් ප්‍රමාණයන් ගෙන් ඉහළ නැංවී ඇති බව ඉතා පැහැදිලිවම දැක ගත හැක. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යයන්හි තත්ත්වය ද මීට බෙහෙවින් සමාන්තරය. පොදුවේ සලකන විට මෙය වසර දෙදහසේ දී දක්නට ලැබුණු තත්ත්වය මෙන් සියයට තුන්සියයක පමණ වර්ධනයකි. මෙම ප්‍රස්තුතය මුල්කොට ජාතික කතිකාවට ඉතා සුදුසු වටපිටාවක් මෙසේ නිර්මාණය වී ඇතත් කිසිවකුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් ගෙන නැත.

ඕනෑම සමාජ ප්‍රපංචයක් නිර්මාණය වනුයේ ඊට අදාළ සමාජ ආර්ථීක සංස්කෘතික සාධක පදනම් කරගනිමිනි. මම මෙහිදී මීට දේශපාලනික යන වදන එක් කර නොගනිමි. ඕනෑම රටක ඉහත සඳහන් සාධක සඳහා යම් යම් ප්‍රමාණ වලින් දේශපාලනය ඉවහල් වෙයි. නමුත් අද වන විට අප රටේ තත්ත්වය අතිශයින් බරපතල ය. සිවිල් පරිපාලන සහ අධිකරණ යන ව්‍යුහයන් තුළට ද දේශපාලන අධිකාරියේ බලය අයථා අන්දමින් වේගයෙන් සම්ප්‍රේෂණය වෙමින් තිබේ. ඒ අනුව එක් අතකට මේ සියල්ලටම මුල දේශපාලනය යැයි කීමට ද බැරි කමක් නැත. එහෙත්, එසේ කීමෙන් මෙම මාතෘකාව නිසි විශ්ලේෂණයකට ලක්කිරීමට නොහැකි වනු ඇත. එවිට මෙය ද හුදු දේශපාලන කතාවක් ම වනු ඇත. මාතෘකාව හුදු දේශපාලන කතාවක් වශයෙන් මෙහෙය වන සෑම අවස්ථාවකම විශේලේෂණාත්මක බව තහනම් වචනය බවට පත්වන තත්වයට අද අප රටේ සෙද්ධාන්තික සහ විද්‍යාත්මක දේශපාලනය බංකොලොත් වී තිබේ.

නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් හැඳින්වෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පටන් පොදුවේ මනෝ විද්‍යාඥයන් විසින් පිළිගනු ලබන මිනිසා තුළ ද ක්‍රියාත්මක වන ප්‍රධාන භාවමය ආවේග තුනක් වේ. මෙම ආවේග නම් කළ හැක්කේ-
1. ලිංගිකත්වය
2. ප්‍රචණ්ඩත්වය
3. බිය

යනුවෙනි. බුදු දහමට අනුව නිවන් මඟට බාධා පමුණුවන පංච නීවරණ නම් වන කරුණු පහක් තිබේ. ඉන් පළමුවැන්න කාමඡන්දයයි, එනම් ලිංගිකත්වයයි. දෙවැන්න ව්‍යාපාදයයි, නැතහොත් අධික කෝපයයි. ප්‍රචණ්ඩත්වයේ ගාමක බලය ද අධික කෝපය මිස අනෙකක් නොවේ.

ලොව ජන මාධ්‍යයන් තමන් සතු පුවත්, තොරතුරු සහ කරුණු ජනගත කිරීම පණිස යොදා ගනු ලබන ප්‍රධාන ක්‍රමෝපායන් දෙකකි. ඉන් පළමුවැන්න බුද්ධිමය ප්‍රවේශය (Intellectual approach) වන අතර දෙවැන්න භාවමය ප්‍රවේශය (Emotional approach)ය. නමුදු මේ අතුරින් යම් කරුණක් වඩාත් වේගයෙන් ජනහදවත් වලට පිවිසුවිය හැක්කේ දෙවනුව කී භාවමය ප්‍රවේශය ඔස්සේ බව අද වන විට ලෝක පිළිගැනීමක් ඇති වී තිබේ.

ලෝකයේ බොහෝ රටවල මේ වන විට තුරන් කොට ඇති ජල භීතිකාව රෝගයට අද වන විටත් වාර්ෂිකව අප රටේ ජනතාව අතුරින් පනස් දෙනෙකුවත් බිලිවෙති. ඒ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කිරීම පණිස ඒ සම්බන්ධ ජාත්‍යන්තර සහ දේශීය තත්වයන් සහිත සංසන්දනාත්මක වගුවක් ඔබ හමුවට ඉදිරිපත් කළ හැක. නැතිනම් මේ මොහොතේ ඔබ වාඩි වී සිටින අසුන යට ජල භීතිකාව වැළඳුණු සුනඛයකු සිටිය හොත් ඔබට ඇති වන හැඟීම කුමක්ද යනුවෙන් විමසමින් ද එම මාතෘකාවට පිවිසිය හැක. මේ ප්‍රවේශ මාර්ග දෙක අතුරින් වඩාත් ප්‍රබලව ඔබ වෙතට තොරතුරු සන්නිවේදන වන්නේ කුමන ප්‍රවේශ මාර්ගය ඔස්සේ ද යන්න සිතා බැලීම ඔබටම භාර කරමි.

මේ සංනිවේදන ක්‍රම දෙකෙහි වෙනස තව දුරටත් විස්තර කළහොත් බුද්ධිමය ප්‍රවේශය ඔස්සේ කරුණු ජනතාව අතර පැතිර යන්නේ සංඛ්‍යාත්මක නිදසුනක් ලෙස ගත හොත් 2,4,6,8,10,12 ආදී අගයන් වර්ධනය වන ලෙසිනි. එහෙත්, භාවමය ප්‍රවේශය ඔස්සේ සිදු කෙරෙන සංවේදනයන් ප්‍රවේශ වනුයේ ඊට වඩා අතිශයින් වේගවත් ලෙසිනි. සංඛ්‍යාත්මක නිදසුනක් ලෙස එය දැක්විය හැක්කේ 2,4,6 ලෙසින් නොව 2,4,16,256,65536 ආදී සංඛ්‍යාවන් එකිනෙකෙන් වැඩිවන ආකාරයටය. ඊට පැහැදිලි මනෝ විද්‍යාත්මක හේතුවක්ද තිබේ. එනම් දැනුම සැමවිටම අපට බාහිරින් හා භාවයන් සැමවිටම අප තුළින්ම පිබිදීම එම හේතුව ය. ඒ සඳහා අප ශරීරයේ ජෛව රසායනික ක්‍රියාදාමයක් මුල් වන අතර අප කවුරුත් දන්නා ඇඩ්රිනලීන් හෝමෝනයෙන් ඒ සඳහා පුරෝගාමී මෙහෙයක් ඉටුවෙයි. එනිසාම ජන සංනිවේදනයේ එක් අංගයක් වන ප්‍රචාරණ කලාවේ දී මුළුමනින්ම යොදා ගැනෙනුයේ ඉහත සඳහන් දෙවන උපාය මාර්ගය වූ භාවමය ප්‍රවේශ සංනිවේදනයයි. සමාජමය පැත්තෙන් බැලුවහොත් මෙම බුද්ධිමය විෂය පථය ගොඩ නංවා ගැනීම ගංගාවක උඩුගං බලා පිහිනීමකි. එහෙත් භාවමය විෂය පථයට නතුවීම හැදින්විය හැක්කේ ජල පහරකට හසුවී ගසා ගෙන යෑමක් ලෙසිනි.

ඒ කෙසේ හෝ මා ඉහත සඳහන් කළ ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය, බිය වන මිනිසා තුළ පවත්නා නෛසර්ගික සත්ව ගති භාවිතා කිරීම සහ කළමනාකරණය කිරීම ජන මාධ්‍යය මගින් නිරතුරුව සිදුවන්නකි. එහෙත් එම භාවිතය සහ කළමණාකරණය ලොව රටින් රටට සමාජයට වෙනස් වෙයි. ඒ අනුව එය විධිමත් හා නොවිධිමත් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක.

අප කවුරුත් අවිවාදයෙන්ම පිළිගත යුතු අන්දමට ගත වූ දශක තුනක කාලය පුරා අප රටේ ජන මාධ්‍ය මගින් ප්‍රචණ්ඩත්වය සහ භීතිය මුල් කොට ගත් තොරතුරු අති ප්‍රාමණික ලෙස ජනතාව වෙත සම්ප්‍රේෂණය කෙරිණ. ඒ කාල සීමාව පුරා අප රටේ පැවැති යුදමය වාතාවරණය ඒ සඳහා මහඟු පිටිවහලක් විය. නොවිධිමත් යුද තොරතුරු වාර්තාකරණය මත පදනම් වූ ජනතාව තුළ ප්‍රචණ්ඩත්වය සහ භීතිය කුළු ගැන්වෙන අයුරින් සිදු වූ මාධ්‍ය භාවිතය නිසා ශී්‍ර ලාංකීය ජන විඥානයට සිදු වූ බලපෑම සුළු පටු නැත. එමගින් ශ්‍රී ලාංකික ජනතාව ඔවුන් ද නොදැන කෙතරම් ප්‍රචණ්ඩලෝලී වී සිටියේ ද යත් ඒ සමයේ බෝම්බයක් පිපිරී දෙදෙනකු මළ පුවතක් අසන්නට ලැබුණු විට 'අපොයි දෙන්නද මැරිලා තියෙන්නේ?' යන හැඟීම යම් සිතින් පිබිද ඒමට තරම් ලාංකික පොදු ජන විඥානය ප්‍රචණ්ඩ ලෝලී වූ බව නොරහසකි.

නමුත් අද වන විට එම යුදමය තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇත. නමුත් නමුත් ස්විචියක් නිවා දැමූ විට නිවෙන විදුලි බුබුලක් සේ ඒ භීෂණ සමයේ මාධ්‍ය භාවිතාව නිසා ඇති වූ ජන විඥානමය කැළඹීම එක්වරම සංසිඳෙන්නේ නැත. එම කැළඹීම තුළින් ජන විඥානය තුළ හටගත් ප්‍රචණ්ඩ ලෝලීත්වය සංසිඳෙන්නේ ද නැත. එනිසා එම ප්‍රචණ්ඩ ලෝලීත්වය සංසඳුවීමට අවශ්‍ය ගොදුරු දඩයම් කරමින් ද ජනතාවට සැපයීමට මාධ්‍ය කරුවන්ට ඉන්පසුව ද සිදුවිය. අප රටේ ජන විඥානය තුළට කිඳා බැස තිබූ මෙම ප්‍රචණ්ඩ ලෝලී බව කෙතරම් ප්‍රබල වී තිබුණේද යත් ලාංකීය ඉතිහාසයේ හුදෙක් අපරාධ වාර්තාකරණය සඳහාම වෙන් වූ සතිපතා පුවත්පතක් එළි දක්වීමට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් යුහුසුළු විය. ඒ ලාංකීය පාඨකයන් තුළ ඇති වූ මෙම ප්‍රචණ්ඩ ලෝලී මානසික අවශ්‍යතාවයේ ඇති හිඩැස රික්තය පුරවාලනු පණිස බව පෙනේ. එම පුවත් පත අලෙවිය අතින් අතිසාර්ථකත්වයට පත් වීම තුළින් මෙම කරුණේ සත්‍යතාව මනාව සනාථ වෙයි.

ඒ කෙසේ හෝ මිනිසා තුළ පවත්වා ප්‍රචණ්ඩත්වය කුළු ගැන්වෙන පුවත් සංඛ්‍යාත්මකව යුද සමයේ දී තරම් අද වන විට නොලැබේ. එනිසා ලැබෙන පුවත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ඒවා ජනතාව අතරට සම්ප්‍රේෂණය කිරීමට මාධ්‍යවේදීන් දරන ලද උත්සාහයන් පිළිබඳ නිදසුන් කිහිපයක් තිබේ. පසුගිය කාලයේ කහවත්ත ප්‍රදේශයේ සිදු වූ ස්ත්‍රී ඝාතන පෙළ සම්බන්ධ තොරතුරු වාර්තාකරණය සහ විශේෂාංගකරණය මෙහි දී අපගේ විශේෂ අවධානයට යොමුවිය යුතු ය. එහිදී ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ නම් ගම් සේම ඡායාරූප ද ඔවුන් ඝාතනයට ලක්වූ ආකාරය සේම ඊට පෙර දූෂණයට ලක්වූ ආකාරය ද අකුරක් නෑර විස්තර කරමින් එම ලිංගික ප්‍රචණ්ඩත්වය තරඟකාරී ලෙසින් පුවත් පත් මගින් ජනතාව අතරට ගෙන එන්නට මාධ්‍ය කරුවන් යුහුසුළු වූ අන්දම ජනතාවට රහසක් නොවේ. එමෙන්ම එසේ දූෂණයට ලක්ව ඝාතනය කෙරුණු එක් තරුණ දියණියකගේ සහ මවකගේ ඡායාරූපය තම පුවත් පතේ නාම ලාංඡනය සමඟම ප්‍රදර්ශනාත්මකව පළ කිරීමට ද පුවත් පත් කිහිපයකම මාධ්‍යවේදීන් කටයුතු කර තිබිණ. නමුදු එම මවට සහ දියණියට මරණයට පෙර අපරාධකරුවන් වෙතින් එල්ල වූ කුරිරු ලිංගික අපරාධ පිළිබඳව මිස මරණයෙන් පසු ඔවුන්ගේ නාමයන්ට මාධ්‍ය මගින් එල්ල වූ බිහිසුණු අපරාධය පිළිබඳ අප සමාජයේ කිසිවෙක් කිසිදු හඬක් නොනැගූහ. අප සමාජයේ සියළුම දෙනා තුළ යම් යම් ප්‍රමාණවලින් ශේෂව පවත්නා ප්‍රචණ්ඩත්ව හෝ ලිංගික ප්‍රචණ්ඩත්ව ලෝලීත්වය ඒ සඳහා හේතු වන්නට ඇත.

මෙහි දී මගේ මතකයට නැෙඟනුයේ මීට මඳ කලෙකට ඉහත ඉන්දියාවේ මුම්බායි හිදී බස් රියැදුරන් කිහිප දෙනකුගේ සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක් වූ භෞත චිකිත්සක ශිෂ්‍යාව පිළිබඳ ඛේදවාචකයයි. එහිදී ඇයට සිදුවූ එම අතවරය පිළිබඳව මිස ඇගේ ඡායාරූප පවා මාධ්‍ය මගින් ඉදිරිපත් නොකිරීමට ඉන්දීය මාධ්‍යකරුවෝ සාමූහිකව වග බලා ගත්හ. එම සිද්ධියේ දී 'නිර්භයා' යන ආරූඪ නමකින් හැඳින්වුණු ඇයගේ අවමඟුල සම්බන්ධයෙන් ද කිසිදු මාධ්‍ය ආවරණයක් සිදු නොවණි. නමුදු ඒ පෞද්ගලික තොරතුරු සියල්ල වසන් කොට අතිශය සදාචාරාත්මක ලෙස මාධ්‍ය මගින් නිශ්කාශණය කළ ස්ත්‍රීත්වය පිළිබඳ එම ඛේදවාචකයෙන් මුළු භාරත දේශයම දෙදරුම් කෑවේය. අපරාධ කරුවන් අප්‍රමාදවම අධිකරණය හමුවට ඉදිරිපත් කොට මරණීය දඬුවමටද යොමු කෙරිණ. අවසානයේ රෝහලේ දී එම තරුණිය විසින් පෞද්ගලික මට්ටමින් කරන ලදැ යි පැවසෙන කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ අභීත ප්‍රකාශයක් පදනම් කර ගනිමින් භාරතීය කාන්තා වීරවරියන්ගේ නාම ලේඛනයකට ද එම තරුණියගේ නම එක් කෙරිණ.

එහෙත්, අප රටේ සිදුවූයේ කුමක්ද? අශීලාචාර තිරිසනුන් බඳු මිනිසුන්ගෙන් දඩයම් වූ එම මිනිස් ජීවිත දෙක දෙවනුව මාධ්‍යවේදීන්ගේ ගොදුරු බවට පත්වීම නොවේද? මෙහිදී එම මාධ්‍යවේදීන් සාහසිකයන් ගේ ගොදුරු බවට පත් ඒ ස්ත්‍රී මෘතදේහයන් දෙකට ඉව අල්ලන්නට ඇත්තේ කුමක් පිණිසද? නිසැක ලෙසට මෙරට පොදු ජන විඥානයේ ඇති ම්ලේච්ඡ ලිංගික ප්‍රචණ්ඩ ලෝලීත්වය සංසිඳුවනු පිණිස ය.

මෙබඳු ම්ලේච්ඡ වනචාරී ගතිවලින් පිරී ඇති ජන සමාජයක් තුළින් ආසියාවේ ආශ්චර්ය නිර්මාණය වන තෙක් බලා හිදීම තරම් තවත් ශෝචනීය සරදමක් මෙලොව තිබේද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Violence, Sexual Assault, Sex Crimes, Sri Lankan Newspapers, Sri Lankan Media, Sexuality, Thilak Senasinghe Speech, 2012 Delhi gang rape, Nirbaya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තිලක් සේනාසිංහ ගෙන් තවත් වියමන්
වෙසෙස්
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
අදහස්
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
වෙසෙස්
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඊ.ඩබ්. අදිකාරම් ලියයි- "පරමාර්ථය සහ මාර්ගය"
දම්වැලක එක පුරුකක් ඊළඟ පුරුකට සම්බන්ධව පවත්නාක් මෙන්ම පරමාර්ථයක් දෙසට යන ගමනක සෑම පියවරක්ම ඊළඟ පියවරට සම්බන්ධව පවතියි. පරමාර්ථය යනු මාර්ගය නැමති දම්වැලේ අවසාන පුරුකය.... [More]
What's New | අලුතෙන්ම
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook