Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
"යන්ත්‍රානුසාරයෙන් මෙන් කෘති පළ කළ පමණින් නිර්මාණකරුවකු වෙන්න බැහැ...!"-මහාචාර්ය විමල් දිසානායක
මහාචාර්ය විමල් දිසානායක මහතා පේරාදෙණිය ගුරුකුලයෙන් බිහිවූ ස්වාධීන බුද්ධිමතෙකු ලෙස ප්‍රකටය. සන්නිවේදන විෂයය මෙරට විශ්වවිද්‍යාලවලට හඳුන්වාදීමට පුරෝගාමී වූ එතුමා දැනට වසර තිහකට වැඩි කාලයක් ඇමෙරිකානු හා ආසියානු සරසවිවල පශ්චාත් නව්‍යවාදය, මාධ්‍ය අධ්‍යයනය, ආසියානු සිනමාව, සන්නිවේදනය, සංස්කෘතික අධ්‍යයනය හා ඥාන උත්පාදනය වැනි විෂයයන් සම්බන්ධ පාඨමාලා ඉගැන්වීමෙමෙහි නිරතව සිටියි. බටහිර ප්‍රමුඛ ලොව විවිධ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාල මගින් පළකළ 30 කට අධික ශාස්ත්‍රීය කෘති හා විශාල ලිපි සංඛ්‍යාවක් ලිවීම හේතුවෙන් ලොව ප්‍රමුඛතම විද්‍යාර්ථීයකු ලෙස විමල් දිසානායක මහතා පිළිගැනේ.

කවිය, කෙටිකතාව, නවකතාව, නාට්‍ය කලාව වැනි සාහිත්‍යාංග මෙන්ම ඒ හා සබැඳුණු නව විචාර සංකල්ප පිළිබඳව ද පැතිරුණු ශාස්ත්‍ර ඥානයක් හා පරිචයක් ඇති එතුමා පසුගියදා කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණියේය. වර්තමානයේ 'කෙටිකතාව' සරසවි හා පාසල් ශිෂ්‍යයන් වැනි ආධුනික නිර්මාණකරුවන්ද බහුලව අභ්‍යාස කරන සාහිත්‍යාංගයක් බැවින් මේ ඒ පිළිබඳ ඔහු සමග කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනයි.
බූන්දි, 21:34:54
නවකතාවකින් කෙටිකතාව වෙනස්වන මූලික සංකල්ප මොනවාද?

නවකතාව හා කෙටිකතාව අතර වෙනස රදා පවතින්නේ දීර්ඝවීම හා කෙටිවීම මත නෙමෙයි. ඇතැම් විට නවකතාවලට වඩා දිගු කෙටිකතා තිබෙනවා. මෙම සාහිත්‍ය කෘති දෙවර්ගය අතර වෙනස රඳා පවතින්නේ මුඛ්‍ය ධාරණාව යන සංකල්පය මතයි. කෙටිකතාව එක් මුඛ්‍ය ධාරණාවක් මත ගොඩනැගෙන අතර නවකතාව ධාරණා රාශියක් මත ගොඩනැගෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් කෙටිකතාවක අත්දැකීම එක් ප්‍රබල සිද්ධියකට සම්බන්ධවී ඇතත් නවකතාවක අත්දැකීම එබඳු අවස්ථා රාශියක් සමග බැඳී පවතිනවා 'ඉඩිත් වෝටන්' නම් විචාරකයා පවසන අන්දමට කෙටිකතාවක් සිද්ධියක් නිරූපණය කිරීමට සැලකිල්ල යොමුකරවන අතර නවකතාව චරිත නිරූපණය කෙරෙහි සැලකිල්ල යොමු කරනවා.

කෙටිකතාකරුවාගේ කාර්යය හැකි තරම් අරපිරිමැස්මකින් යුතුව 'අභින්න කථනයක්' දැක්වීම බව 'ක්ලේටන් හැමිල්ටන්' නම් විචාරකයා පෙන්වා දෙනවා. සංෂිප්තභාවයද ඒ අනුව වැදගත් ලක්ෂණයක් බව පෙනෙනවා.

එය සත්‍යයක්. කෙටිකතාකරුවා දැඩි සංයමයකින් යුතුව, මහත් අරපිරිමැස්මකින් යුතුව වචන භාවිතා කල යුතුයි. කෙටිකතාකරුවාගේ අභිප්‍රාය එක්තරා මුඛ්‍ය ධාරණාවක් සංස්ථාපනය කිරීම නම් ඊට සරිලන පරිදි වචන භාවිත කිරීම වැදගත්.

අංකුර කෙටිකතාකරුවන් විශාල ප්‍රමාණයක් වර්තමානයේ කෙටිකතා ලියමින් සිටිනවා. බොහෝවිට ඒවායේ අපට දක්නට ඇත්තේ කතාවස්තුවක් සහිත කෙටිකතා. නමුත් දියුණු කෙටිකතා කතාවස්තුවට වැඩිබරක් තබන්නෑ නේද?

අපට වඩාත් පුරුදු කතාවස්තුවක් සහිත කෙටිකතා. කෙටිකතා කලාවේ මුල් අවධියේ රචිත කෙටිකතා මේ ගණයට අයත් වෙනවා. මෙබඳු කෙටිකතා සාර්ථක වීමට කතාවෙහි අපූර්වත්වයක් සහ සිද්ධියේ ප්‍රබලත්වයක් තිබිය යුතුයි. එමෙන්ම මූලික අත්දැකීම යථාර්ථරූපිව විශ්වසනීයත්වයෙන් තිබිය යුතුයි. විශ්වාසනීයත්වය යනු අභ්‍යන්තර ගැලපීම නිසා ඇතිවන ඇදහිය හැකිබව.

නමුත් කෙටිකතා කලාව එක්තරා ප්‍රමාණයකට වර්ධනය වූ පසු කතාවස්තුවක් රහිත කෙටිකතා බිහිවුණා. මෙවැනි කෙටිකතාවල රසය කූඨප්‍රාප්ත වන්නේ මනෝභාවයක් හෝ භාවාවස්තාවක් නිරූපණය වීමේ ප්‍රබලත්වය උඩයි. මෙහිදී මතුපිට අරුතට වඩා සැඟවුණු ව්‍යංගාර්ථ සංකේත වැදගත්. එහෙයින් මෙයින් එක් වර්ගයක් අනෙක් වර්ගයට වඩා උසස් යැයි කිව නොහැකියි. මොකද විශ්ව කීර්තියට පත් කෙටිකතා මේ දෙයාකාරයෙන්ම බිහිවී තිබෙනවා. ඇන්ටන් චෙකොෆ්, ජේමිස් ජොයිස් වැනි කෙටිකතාකරුවන්ගේ 'කෙටිකතා' කතා ප්‍රවෘත්තියක් දක්නට නොලැබෙන උසස් කෙටිකතාවලට නිදර්ශන වගේම ගීද මෝපසාං, එඩ්ගා ඇලන් පෝ වැනි ලේඛකයන් කතා ප්‍රවෘත්තියට වැදගත් තැනක් දී තිබෙනවා.

කෙටිකතාවක හෝ නවකතාවක දක්නට ලැබෙන කතා ප්‍රවෘත්තිය (story) සහ කතාවස්තුව (plot) අතර වෙනස නිර්මාණකරුවා තේරුම්ගත යුත්තේ කෙසේද?

කතා ප්‍රවෘත්තිය කාලයට අනුව සම්බන්ධ කරන ලද සිදුවීම් සමූහයක්. කතාවස්තුව යනු එම සිදුවිම් සමූහයට හේතුඵල සම්බන්ධය ආරූඩ කිරීමක්. මෙම කතාව විශ්වාස කළ හැකිද යන ප්‍රශ්නය මතු වන්නේ කතාවස්තුව තුළින්. ප්‍රකට ඉංග්‍රීසි නවකතාකරුවකු වන ඊ. එම්. ෆෝස්ටර් මේ වෙනස පැහැදිලි කරන්නේ මෙහෙමයි. රජතුමා මැරුණා බිසවත් මැරුණා යන්න කතා ප්‍රවෘත්තියක්. රජතුමා මැරුණා. එම ශෝකයෙන් බිසවත් මැරුණා යන්න කතාවස්තුවක්. කතා ප්‍රවෘත්තියෙහි දක්නට නොලැබෙන හේතුඵල සම්බන්ධයක් කතා වස්තුවෙහි දක්නට ලැබෙනවා. පාඨකයා කෙටිකතාවෙහි එන අත්දැකීම විශ්වාස කරන්නේ කෙටිකතාකරුවා කතාවස්තුව ගොඩනගා තිබෙන දක්ෂතාවය මතයි.

කෙටිකතාකරුවා සිය අත්දැකීම නිරූපණය කිරීම සඳහා සලකා බැලියයුතු දෘෂ්ටිකෝණ පිළිබඳව අවධානය යොමුකළ යුත්තේ කෙසේද?

දෘෂ්ටිකෝණය යනුවෙන් අදහස් කරන්නේ කතුවරයා සිය අත්දැකීම් නිරූපණය කිරීමට තෝරාගනු ලබන මාර්ගයයි. සිය අත්දැකීම ප්‍රබල ලෙස නිරූපණය කිරීම සඳහා ලේඛකයකුට විවිධ දෘෂ්ටිකෝණ උපයෝගී කරගන්නට පුළුවන්. සර්වවේදී දෘෂ්ටිකෝණය, උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය, ප්‍රථම පුරුෂ දෘෂටිකෝණය, නාට්‍යමය දෘෂ්ටිකෝණය එම දෘෂ්ටිකෝණ අතර වැදගත් තැනක් ගන්නවා. සර්වවේදී කථන ක්‍රමය අනුව රචිත කෙටිකතාවකට නිදර්ශනයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහගේ 'වහල්ලු' කෙටිකතාව දැක්විය හැකිය. මෙවැනි කථන ක්‍රමයක් අනුගමනය කරන රචකයා මුලු අත්දකීිම මැනවින් දැන ඔහු එය ඉදිරිපත් කරන්නේ එහි හරය සම්පූර්ණයෙන්ම වටහා ගත්තෙකු පරිද්දෙන්.

ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය අනුගමනය කරන කෙටිකතානම් ප්‍රධාන චරිතයක් තෝරාගෙන ඔහුගේ ඇසින් මුලු අත්දැකීම විස්තර කිරීමයි. අමරසේකරගේ 'ශිෂ්‍යා අඳුර සහ වැස්ස' මීට නිදර්ශනයක්. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය යනු මම නැමැති පුද්ගලයාට විඳීමට සිදු වූ අත්දැකීමක විලාසයෙන් කෙටිකතාව නිරූපණය කිරීමයි. සිව්වැන්න නාට්‍යමය කථන ක්‍රමයෙන් ලියවුන කෙටිකතා සිංහල සාහිත්‍යයේ තරමක් දුර්ලභයි. අජිත් තිලකසේනගේ ඇතැම් කතාවල මෙවැනි ලක්ෂණ දක්නට ලැබෙනවා. මෙම කථන ක්‍රමය අනුගමනය කරන 'රචකයා' හැකි තරම් දුරට ඈත් වී චරිතයන්ගේ හැසිරීම් හා කතාබහ තුලින් සිදුවීම් ගලායාමට සලස්වනවා.

නිර්මාණකරුවා දෘෂ්ටිකෝණය හෙවත් කථන ක්‍රමය තෝරා ගැනීම මහත් කල්පනාවෙන් කළයුතුයි. කෙටිකතා රචකයා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අනුභූතියෙහි මුඛ්‍යාර්ථය මැනවින් වටහාගෙන තමා දැනවීමට යත්න දරන මුඛ්‍ය රසයේ අභිව්‍යක්තියට ඉතාමත් උචිත වූ ක්‍රමය තෝරාගැනීම ඉතා වැදගත්.

කෙටිකතාකරුවා සංකේතකරණය පිළිබඳ සැලකිලිමත්වීම නිර්මාණයක් සාර්ථකවීමට බලපාන අන්දම විස්තර කරන්නේ කොහොමද?

කෙටිකතා නිර්මාණයේදී සංකේතකරණය ඉතා වැදගත් වෙනවා. ජේම්ස් ජොයිස් වැනි ලේඛකයන් මෙය අතිශයින් සාර්ථක ලෙස උපයෝගී කරගත්තා. සංකේත මගින් අරුත් රැසක් සැකවින් හකුලුවා දැක්වීමට කෙටිකතාකරුවාට අවස්ථාව සැලසෙනවා.

එතකොට කෙටිකතාවේ දියුණුවට ප්‍රංශ ජාතික ගීද මෝපසාං වැනි ලේඛකයන්ගේ මැදිහත්වීම ඔබ දකින්නේ කෙබඳු අයුරින්ද?

නවීන කෙටිකතා ක්ෂේත්‍රයේ ගී ද මෝපසාංගේ දායකත්වය විපුල මෙහෙයක් ඉටු කරන්නක්. ඔහුගේ කෘති බටහිර නූතන කෙටිකතාවේ විකාශනයට විශාල වශයෙන් බලපෑවා. ඔහුගේ කෙටිකතාවල දක්නට ඇති එක් විශේෂ ලක්ෂණයක් වන්නේ කතා ප්‍රවෘත්තියට වැදගත්කමක් දීමයි. මෝපසාං ගේ බොහෝ නිර්මාණ මුල, මැද, අග යන අංගත්‍රයෙන් යුක්තයි. අපූරු කතාවස්තු උත්පාදනය කිරීමේ ඔහුට තිබූ කෞෂල්‍යය විශිෂ්ටතම ලක්ෂණයක් හැටියට විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වී තිබෙනවා. මානුෂික අවස්ථා හා පරිසරය ජීවමාන ලෙසත් ප්‍රබල ලෙසත් නිරූපණය කිරීමේ ශක්තිය ඔහුට තිබුණා. හාත්පස ලෝකය තත්වානුකූලව නිරූපණය කිරීම ඔහුගේ ලක්ෂණයක්. මෝපසාං යථාර්ථවාදියෙක්. පශ්චාත්කාලීන කෙටිකතාකරුවන් කෙරෙහි ඔහුගේ ලේඛණ දැඩි ලෙස බලපෑම් කළා. අර්නස්ට් හෙමිං වේ, අයිසැක් බාබෙල්, සමර්සෙට් මෝම් වැනි කෙටිකතාකරුවන්ගේ ලේඛනවලට ඔහුගේ සෙවනැලි වැටී තිබෙනවා. සිංහල කෙටිකතා ක්ෂේත්‍රය දෙස බලන විට ඩබ්ලිව්. ඒ. සිල්වාගේ 'දියමන්ති මාලය', වික්‍රමසිංහගේ 'ඉරුණු කබාය' මෝපසාංගේ කෘති ඇසුරින් ප්‍රතිපාදන රචනා ලෙස සලකන්න පුළුවන්. ජී. බී. සේනානායක, හේමපාල මුණිදාස වැනි ලේඛකයන් ද මෝපසාංගේ නිර්මාණවලින් නොමද අභාසය ලබා තිබෙනවා.

මෝපසාං ද ෆ්ලොබෙයාර්ගේ රචනාවලින් මුල්කාලිනව ආභාසය ලැබූවෙක්. නමුත් ඔහු පසුකාලීනව ස්වතන්ත්‍ර ශෛලියක් ගොඩනගාගැනීමට සමත්වුණා. ඔබ දකින ආකාරයට ෆ්ලොබෙයාර්ගෙන් මෝපසාං වෙනස් වන්නේ කොහොමද?

ෆ්ලොබෙයාර් හා මෝපසාංගේ නිර්මාණ අතර යම් සාම්‍යයක් දක්නට ලැබෙන බව සත්‍යයක්. නමුත් පරිකල්පන ශක්තිය අතින් වෙනස්කම් තිබෙනවා. මෝපසාංගේ පරිකල්පනය අවිස්තෘත අත්දැකීම් නිරූපණයට සරිලන එකක්. ෆ්ලොබෙයාර්ගේ පරිකල්පනය විස්තෘත අත්දැකීම් නිරූපණයට සරිලන්නක්.

එඩ්ගා ඇලන් පෝ ගේ නිර්මාණ ඇසුරෙන් පැනනැගුණු එක් වැදගත් ධර්මතාවක් වූයේ කෙටිකතාවකින් නිතරම ඒකාබද්ධ ඒකීභූත ධාරණාවක් ඉදිරිපත් කළයුතු බව. නමුත් ඇන්ටන් චෙකොෆ් ඊට ඉඳුරාම වෙනස් මගක් ගත්තෙක්. කෙටිකතා ගැන සාකච්ඡා කිරීමේදී මේ දෙදෙනාගේ දායකත්වයද අපට මඟහැර යන්න බෑ.

කෙටිකතාකරුවෙක් හැටියට එඩ්ගා ඇලන් පෝ ගේ විශේෂත්වය ප්‍රබල කතා ප්‍රවෘත්තියක් මුල්කොටගෙන කෙටිකතා සම්පාදනය කිරීමයි. ඇතැම් විට ඔහුගේ කෘතිවල ත්‍රාසජනක ලක්ෂණ පවා දක්නට ලැබෙනවා. කෙටිකතා කලාව ජනප්‍රිය කිරීමට ඔහුගේ කෘති බොහෝ සේ උපකාරී වුණා. අද ඔහුගේ කෘති ඇමරිකාවට වඩා ප්‍රංශය වැනි රටවල ජනප්‍රියව පවතිනවා. වර්තමාන විචාර සිද්ධාන්තවේදයෙන් එඩ්ගා ඇලන් පෝ ගේ කෙටිකතා සවිස්තර විමර්ශනවලට භාජනය කොට තිබෙනවා.

අනෙක් අතට ඇන්ටන් චෙකොෆ් මීට ඉඳුරාම වෙනස්. ඔහුගේ අභිප්‍රාය වූයේ ත්‍රාසජනක කතා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නොව කිසියම් මානුෂික අවශ්‍යතාවක් කාව්‍යාත්මක ලෙස විවරණය කිරීමයි. චෙකොෆ් ගේ කතා කලාව අතීතයට හිමිි වූ එකක් යැයි ඇතැමුන් තුළ මිත්‍යා මතයක් තිබෙනවා. රොබර්ට් කාවර්(Robert Carver) නැමැති විශිෂ්ට ඇමෙරිකන් කෙටිකතාකරුවා කියා සිටින්නේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම කෙටිකතාකරුවා චෙකොෆ් බවයි. මේ කරුණ මෑතක සිද්ධියකින් මැනවින් පැහැදිලි වෙනවා. මෙවර නොබෙල් ත්‍යාගය දිනාගත්තේ කැනේඩියානු ජාතික ඇලිස් මන්රෝ (Alice Munro) නමැති ලේඛිකාව විසින්. ඇය බොහෝ දුරට අනුගමනය කරන්නේ ඇන්ටන් චෙකොෆ්ගේ කතා කලාව.

එහෙත් ඇයි සමර්සෙට් මෝම් වැනි බටහිර ඇතැම් විචාරකයින් චෙකොෆ්ගේ කෙටිකතා කලාව අවඥාවෙන් බැහැර කලේ?

බටහිර කෙටිකතා කලාව ප්‍රවාහයන් දෙකක් ඔස්සේ විකාශනය වුණා. ඉන් එකක් මෝපසාං, එඩ්ගා ඇලන් පෝ, සමර්සෙට් මෝම් වැනි කෙටිකතාකරුවන්ගෙන් නියෝජනය වෙනවා. අනෙක ඇන්ටන් චෙකොෆ්, ජේම්ස් ජෝයිස්, වැනි කෙටිකතාකරුවන්ගෙන් නියෝජනය වෙනවා. මේ කතා කලා දෙක අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. මුල් ගණයට අයත් කෙටිකතාකරුවන් දෙවන ගණයට අයත් රචකයන් අවඥාවෙන් බැහැර කරන අතර දෙවන ගණයට අයත් ලේඛකයන් මුල් ගණයට අයත් ලේඛකයන් පහත් කොට සලකනවා. මෙම වෙනස අද දක්වාත් සාහිත්‍යය ලෝකයේ දක්නට ලැබෙනවා. එහෙත් මේ දෙපාර්ශවයේම කතා කලාවන් නවක නිර්මාණකරුවන් හැදෑරීම වැදගත්.

නමුත් නවකයන් එවැනි හැදෑරීමකින් තොරව දුසිම් ගණනින් අතිසරල කෘති ප්‍රකාශයට පත්කරන බව නම් පෙනෙනවා. මොනවා හෝ ලියා කෘති ලෙස මුද්‍රණය කළ පමණින් ලේඛකයකු විය හැකිදරෑ ප්‍රවිණයකු ලෙස එවැනි නවකයන්ට දීමට තිබෙන උපදේශය කුමක්ද?

යන්ත්‍රානුසාරයෙන් මෙන් කෘති පළකළ පමණින් නිර්මාණකරුවකු වෙන්න බැහැ. මගේ පිළිගැනීම නම් හදිසි නොවී, තැන්පත්ව, කලබලයකින් තොරව, කාලයක් යොදවා මෙම නිර්මාණකාර්ය කළයුතු බවයි. ජේමිස් ජොයිස් නමැති කෙටිකතාකරුවා කෘති විශාල සංඛාවක් පළකළේ නෑ. ඔහු විශ්ව සම්භාව්‍ය නිර්මාණකරුවකු බවට පත් වූයේ ඔහු විසින් නිර්මිත 'ඩබිලිනර්ස්' නැමැති එක් කෙටිකතා සංග්‍රහයක් පමණක් පළකිරීමෙන්. මොහු චෙකොෆ්ගේ කෘතිවලින් මහත් අභාසයක් ලැබුවා. ජේමිස් ජොයිස්ගේ රචනා ශෛලියද ඉතා වැදගත්. ඔහුගේ කෘතීන්හි මුඛය වශයෙන් දක්නට ඇත්තේ දෘෂ්ටිගෝචර සංකල්ප රූප. ඇතැම් විචාරකයන් ඔහුගේ භාෂා ශෛලිය සංකල්ප රූපාත්මක භාෂා ශෛලියක් වශයෙන් හඳුන්වනවා. ඔහු පළකළ එම කෘතියෙන්ම විශ්ව සම්භාවනාවට පාත්‍ර වුණා.

කෙටිකතා ප්‍රමාණයෙන් කෙටි වූ පමණින් එය ඉතා ඉක්මණින් නිමකළ හැකි සාහිත්‍යාංගයක් ලෙස සැලකීමට ඇතැමුන් පුරුදු වී සිටිනවා. එහෙත් කෙටිකතාව සියුම් පරිකල්පනයක ප්‍රතිඵලයක්. එක් අතකින් බලන විට කෙටිකතාවේ ශිල්පීය පක්ෂය කෙරෙහි යොමු කරන අවධානය නවකතාවේ ශිල්පීය පක්ෂය කෙරෙහි යොමු කරන අවධානයටත් වඩා තියුණු එකක් වියයුතුයි. එම නිසා යන්ත්‍රානුසාරයෙන් මෙන් කඩිමුඩියේ කෘති පළකිරීමට දරන ප්‍රයත්නය එතරම් නුවණට හුරු එකක් නෙමෙයි.

මෙවර නොබෙල් ත්‍යාගය දිනාගත්තේ ද කෙටිකතාකාරිනියක්වීම විශේෂයි. ඇයගේ නිර්මාණ පිළිබඳව ඔබේ අදහස් මොනවාද?

ඇලිස් මන්රෝ (Alice Munro) කෙටිකතාකාරිනියක් වශයෙන් කැනඩාවේ විශේෂ කීර්තියක් උසුලනවා. එම රටේ සෑම උසස් සම්මානයක්ම පාහේ ඈ දිනාගෙන තිබෙනවා. ඈ රුසියානු ජාතික ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණවලින් මහත් ආභාසයක් ලැබුවා. සංකීර්ණ මානුෂික අවස්ථා ඉතා ගැඹුරු ලෙසත් කාව්‍යාත්මක ලෙසත් නිරූපණය කිරීමට අලිෂ් මන්රෝ සමත් වී තිබෙනවා. මා ඉතා අගය කරන ඇයගේ එක් කෙටිකතාවක මහලු දෙමාපියන් හා සමාජයේ ඉහළට නැගගත් දූදරුවන් අතර ගැටුම ඉතා සියුම් ලෙස නිරූපණය කොට තිබෙනවා. ඇය කෙටිකතාවේ ශිල්පීය පක්ෂය කෙරෙහිත් විශේෂ සැලකිල්ලක් දක්වා තිබෙනවා. එහෙත් ඇතැම් නවීන කෙටිකතාකරුවන් මෙන් ශිල්පිය පක්ෂය අනවශ්‍ය ලෙස හුවා දක්වන්නට වෑයම්කර නෑ.

ජේමිස් ජොයිස් ද ඇන්ටන් චෙකොෆ්ගේ කෘතිවලින් මහත් ආභාසයක් ලැබූ බව සඳහන් කළා. එතකොට ඇලිස් මන්රෝගේ කෙටිකතා කෙරෙහි ජේමිස් ජොයිස්ගේ කෙටිකතා බලපා නැද්ද?

ජේම්ස් ජොයිස්ගේ නිර්මාණ පැහැදිලි ලෙස ඈ කෙරෙහි බලපා තියෙනවා. 'ද ඩෙඩ්' නැමැති කෙටිකතාව ජොයිස්ගේ විශිෂ්ට නිර්මාණයක්. එය මානුෂික ස්මෘතිය නැමැති ප්‍රපංචය ඉතා සියුම් ලෙසත්, කාව්‍යාත්මක ලෙසත් ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රයත්නයක්. මෙම කෙටිකතාව සිහිගන්වන නිර්මාණ ඇලිස් මන්රෝගේ කෘති අතර තිබෙනවා.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Professor Wimal Dissanayake, Interview, Sinhala Short Stories, Sinhala Literature, Ketikatha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රත්තනදෙණියේ මේධානන්ද හිමිගෙන් තවත් වියමන්
අදහස්
රතන හිමියන්ට බැට දෙන බොදු බල සේනාවේ (අ)දේශපාලනය
කතා-බස්
හැම සංස්කෘතික චින්තනයක්ම ප්‍රතිසංස්කෘතික චින්තනයක් තමයි...! -මහාචාර්ය විමල් දිසානායක
කතා-බස්
"මිනිස් කමින් තොර පැවැත්මක් කවියට නෑ..."- සුමින්ද කිත්සිරි ගුණරත්න
කතා-බස්
ලෝක සාහිත්‍යය කියන්නේ මහා සාගරයක්...!- ගාමිණී වියන්ගොඩ
කතා-බස්
"තීරු ලිපි ලිවීම සිල්ලර වැඩක් නොවෙයි....!"- බුද්ධදාස ගලප්පත්ති
තවත් සූකිරි කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook