Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
'මළ දූපත': මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම
බූන්දි, 02:08:31
'අවුෂ්විට්ස්වලින් පසු කවි ලිවීම' ගැන තියඩෝර් ඇඩර්නෝගේ සුප‍්‍රකට ප‍්‍රකාශය ම’විසින් වෙනස් සන්දර්භයක් තුළ දෙතුන් වතාවක් උපුටා දැක් වූ බැව් මතකයේ තිබේ. පළමුව අනුර කේ. එදිරිසූරියගේ 'නිශ්ශබ්ද' කාව්‍ය සංග‍්‍රහය ගැන 2003 දී මා 'හිරු' පුවත්පතට ලියූ සටහනක ද, දෙවනුව වික්ටර් අයිවන් සමග වර්ග සංහාරය පිළිබඳ 'රාවය' පුවත්පතේ පිටු අතර 2009 දී ඇවිළ ගිය විවාදයේ ද ඇඩර්නෝගේ ප‍්‍රකාශය මම උපුටා දැක්වීමි. කලකට පෙරාතුව නිර්මාල් රංජිත් දේවසිරි විසින් මහේෂ් මුණසිංහගේ කවි සමග ඇඩර්නෝගේ ප‍්‍රකාශය පටලවා ගන්නා ලද්දේ මේ පසුබිම යටතේ විය යුතු ය. 'බූන්දි' වෙබ් අඩවියේ 'සොහොන් හොරු' මැයෙන් පළ වූ මහේෂ්ගේ කවියකට ප‍්‍රතිචාර දක්වමින් නිර්මාල් මෙසේ ලියා තිබිණ:

"අවුෂ්විට්ස්වලින් පසු කවි ලිවිය නොහැකි බව’ තියඩෝර් ඇඩර්නෝ ප‍්‍රකාශ කළ බව රෝහිත භාෂණ අබේවර්ධන නමැති මගේ මිත‍්‍රයෙක් ටික කලකට ඉහත දී ප‍්‍රකාශ කළේය. මහේෂ් මුණසිංහ අවුෂ්විට්ස්, ඇඩර්නෝ සහ භාෂණ ගැන දන්නේ නැති ද මන්දා?"
සොහොන් හොරු

පළමු කියවීමේදී නිර්මාල්ගේ ප‍්‍රකාශය මට නොවැටහිණ. මහේෂ් විසින් ලියන ලද කවියකට දක්වන ප‍්‍රතිචාරයකට මා ලියූ දෙයක් පටලවා ගැනීමේ උත්ප‍්‍රාසාත්මක අරුත නිරාකූල වූයේ එයින් කලකට පසු ය. කවර හෝ හේතුවක් නිසා, මහේෂ් මුණසිංහ නමින් කවි ලියන්නේ මා යැයි ඒ වකවානුවේ ඇතැමෙක් විසින් පතුරුවන ලදැයි කියන සැකය ඊට හේතුවන්නට ඇතැයි මම දැන් අනුමාන කරමි. ඒ අනුව නිර්මාල්ගේ උත්ප‍්‍රාසාත්මක ප‍්‍රතිචාරයට පිටුබල සපයන්නට ඇත්තේ 'අවුෂ්විට්ස්වලින් පසු කවි ලිවීම ම්ලේච්ඡත්වයකැයි' උපුටා දැක් වූ මට වෙනත් නමකින් කවි ලියන්නට සිද්ධවීමේ සරදමයි. මහේෂ්ගේ 'මළ දූපත', ඒ කුරුසියෙන් දැන් මා බිමට බස්වා තිබේ.

අනුමානය වැරදීම නිර්මාල්ගේ අවාසනාවකි. නමුත් ඇඩර්නෝ සහ මහේෂ් සමග මා පටලවා ගැනීම මගින් මේ ලියැවිල්ලට ආධාරක වන ආරම්භක නිමිත්තක් ඔහු මට සපයා දී තිබේ. මහේෂ් සහ මා යනු දෙදෙනෙකු වීමේ යථාර්ථය අමතක කළද, නිර්මාල්ගේ ප‍්‍රකාශයෙහි ගැබ් වූ උත්ප‍්‍රාසය වලංගුවන්නේ ඇඩර්නෝගේ ප‍්‍රකාශය 'අවුෂ්විට්ස්වලින් පසු කවි නොලිවිය යුතු බවට' කළ නිර්දේශයකැයි සළකන්නේ නම් පමණි. මෙහිදී 'අවුෂ්විට්ස්වලින් පසු කවි ලිවීමෙන් වැළකිය යුතු' බවට ඇඩර්නෝ කියන්නට ඇතැයි යන සාවද්‍ය නිගමනයකට මග පාදන්නේ ඒ ප‍්‍රකාශයේ සන්දර්භය නොතකා හැරීම විසිනි. ඔහු ලියූ දේ ඊට අදාළ නිශ්චිත සන්දර්භය තුළින්ම උපුටා සරළව කිවතොත් පහත පරිදි ය.

ඇඩර්නෝ කල්පනා කළ ආකාරයට 'සමාජය වඩ වඩාත් පරමාන්තික වන ප‍්‍රමාණයට, මිනිස් මනස වඩා වඩාත් ද්‍රව්‍යකරණය වන අතර එකී කි‍්‍රයාවලියෙන් ස්වයං ගැළවුමක් සොයාගැනීම සඳහා වන ප‍්‍රයත්නයන් වඩා වඩාත් විරුද්ධාභාසී වේ. සංස්කෘතිය සහ ම්ලේච්ඡත්වය පිළිබඳ අපෝහකයේ අවසාන අදියරට සංස්කෘතික විචාරණය මුහුණ දෙයි. එනයින් අවුෂ්විට්ස්වලින් පසු කවි ලිවීම ම්ලේච්ඡත්වයකි. වර්තමානයේ කවි ලිවීම කළ නොහැක්කක් බවට පත්ව ඇත්තේ ඇයිද යන ඥාණය පවා මෙමගින් ඛාදනය කොට දමයි'. (Prisms:Cultural Criticism and Society)

ඇත්තෙන්ම, ඇඩර්නෝගේ ප‍්‍රකාශයෙහි සන්දර්භය, කවිය නොව, සංස්කෘතික විචාරණයයි. වඩාත් පුළුල් අරුතින් සළකතොත්, දර්ශනවාදයයි. දර්ශනවාදය තුළ ප‍්‍රකාශිත දෑ වචනාර්ථයෙන් ගැනීම වරදකි. නමුත් ඒ වරදෙහි දී නිර්මාල් තනි නොවේ. ඇඩර්නෝගේම පසු කලෙක පැහැදිලි කිරීම් ඊට දෙස් දෙයි. "අවුෂ්විට්ස්වලින් පසු යමෙකුට තව දුරටත් කවි ලිවිය නොහැකි යැයි මා වරක් කී අතර එය මා අපේක්‍ෂා නොකළ සාකච්ඡාවක් මතු කිරීමට හේතු වී තිබේ. මා එය අපේක්‍ෂා නොකළේ, දර්ශනවාදයේ ස්වභාවය තුළම (....) කිසිවක් වාච්‍යාර්ථයෙන් අදහස් නොකෙරෙන බැවිනි....." (Metaphysics - Concept and Problems)

අනතුරුව අන් තැනක ඔහු මෙසේ ලියයි:

"වධ බන්ධනයන්ට ලක්කළ මිනිසෙකුට කෑ ගැසීමට ඇති අයිතියට සමානව සදාතන දුක් පීඩාවන්ටද ප‍්‍රකාශ වීමට අයිතියක් තිබේ: එහෙයින් අවුෂ්විට්ස්වලින් පසු තවදුරටත් කවි ලිවීම කළ නොහැකි යැයි කීම වැරදි වන්නට පුළුවන. නමුත් අවුෂ්විට්ස්වලින් පසු කෙනෙකුට තවදුරටත් ජීවත්විය හැකිද යන අඩුවෙන් සංස්කෘතික ප්‍රශ්නය නැඟීම වැරදි නොවේ." (Negative Dialectics: Meditations on Metaphysics)

ඇඩර්නෝගේ ප‍්‍රකාශය, යුරෝපයේදී නාට්සින් විසින් ගෙනගිය සංහාරයෙන් ගැලවුණු යුදෙව්වෙකු තුළ තව දුරටත් ජීවත්වීම පිළිබඳ පැසවන වරදකාරී මනෝ සංකීර්ණයකට වැඩිමනත් දෙයක් හඟවනු ලබයි.

තම ප‍්‍රකාශයේ අරමුණ 'පුනරුජ්ජීවනය කළ තත්කාලීන සංස්කෘතියේ හිස්බව' පෙන්වා දීම යැයි ඔහු ලියයි. සැහැසි සත්‍යය වන්නේ, අවුෂ්විට්ස් වනාහී බේතෝවන්, ගර්ත හා ෂිලර් බිහිකළ සංස්කෘතික ක‍්‍රියාවලියේම නිර්මාණයක් බව ය. සමූහ ආදාහනාගාර කරා අවිරෝධීව හිස් බාගෙන නිහඬව ගමන් කළ දස ලක්‍ෂ සංඛ්‍යාත ගැහැණුන් සහ මිනිසුන් තුළ පැස වූ ශිෂ්ටාචාරය පිළිබඳ අවිනිශ්චිත දොම්නස තුනී දුමාරයක් වී මැකී ගිය පසු එකී ඝාතක උදුන් නිර්මාණය කළ සංස්කෘතියේ උත්ථානයට දායක වීම ම්ලේච්ඡුත්වයකැයි කී විට, වචනාර්ථයෙන් නොගත යුතු දාර්ශනික සත්‍යයක් එහි ගැබ්ව තිබේ.

ඇඩර්නෝගේ ප‍්‍රකාශයම සන්දර්භයක් කොට සලකතොත් ප‍්‍රශ්නය මෙසේ නැඟිය හැකි ය: මුල්ලිවයික්කාල්වලින් පසු විසි එක් වැනි සියවසේ බිහිසුණුම සංහාරයක දේශපාලන හා සදාචාරාත්මක සුජාතභාවය තහවුරු කිරීමට වෑයම් කරන සංස්කෘතියක පුනරුජ්ජීවනය පිණිස මහේෂ්ගේ 'මළ දූපත', අනියමින් හෝ දායක වන්නේද?

මා සිතන ආකාරයට අපේ ඉතිහාසයේ ශිෂ්ටාචාරමය ඛන්ඩණය සළකුණු කරන ලද්දේ 2009 වසර විසිනි.

ලේ වැකි වන ලැහැබ් සහ වැලි තලාවන් අතරට කොටු කළ දස දහස් සංඛ්‍යාත සා පිපාසිත මිනිසුන්, ගැහැණුන් සහ ළමුන්, පස් මසක් තිස්සේ මුහුදින්ද, ගුවනින්ද, ගොඩබිමින්ද වටකොට, දිවා රෑ සිත් සේ එල්ල කළ වෙඩි වර්ෂා මැද විසුණු කිරීමේ ආහ්ලාදය, දේශානුරාගයේ ධජ පතාක ඔසවා කිරිබත් බුදිමින් සමරන ලද දවස් විසින් අප රක්නා ලදැයි කී සකළ විධ සාරාර්ථයන් හා පරමාදර්ශයන් එක් සැණෙකින් ම්ලේච්ඡුත්වයේ ප‍්‍රචණ්ඩ අඳුරු සුළියක ගිල්වා දමන ලදී. ශිෂ්ටාචාරය සහ අප අතර ඉතිරිව තිබූ අවසාන දුබල හුය නියෝජනය කරන ලද්දේ යුක්තිගරුක නිදහසක් පැතූ වන්නියේ මිනිසා විසිනැයි පසක් කොටගත් කී දෙනෙක් අප අතර සිටියේද? මිනිස් සාරය සහ ශිෂ්ටත්වය පිළිබඳව ද, මානව සුහදත්වය සහ වාර්ගික සහයෝගීතාව පිළිබඳව ද, ප‍්‍රජාතන්ත‍්‍රීකරණය සහ සමාජවාදය පිළිබඳව ද දකුණේ ව්‍යාජ කතිකාවන් අරක් ගත් ගාම්භීර අවධාරණයන් සහ උද්වේගකර ප‍්‍රතිඥාවන් පුදුමාත්තලන් වැල්ලේ ගොඩ ගසන ලද දහස් සංඛ්‍යාත මිනීකඳු විසින් හර සුන් නීච වාගාලාප බවට පෙරළන ලදී.

නිදහස අපේක්‍ෂා කළ පීඩිත මිනිස් කැළකගේ ලෙයින් බත් වූ යථාර්ථය සහ ආත්ම රාගී ශුන්‍යත්වය මිස අන් කිසිත් අහිමි දකුණේ දෛනික දිවි පෙවෙත අතර තීව‍්‍ර වන ආතතිය සමනය කරනු වස් සාමයික නියමුවන් සහ බුද්ධිමත්හු ද, මාධ්‍යවේදීන්, සාහිත්‍ය කතාකරුවන් සහ කවීහු ද, චින්තකයන් සහ විප්ලවවාදීහු ද අරුත් සුන් සංවාද තේමා ලෙළවමින් අපගේ සාමූහික සදාචාර වැහැරීම වංක ලෙස වසන් කළහ. වන්නියේ සමූල ඝාතක පරිච්ෙඡ්දයන් පිළිබඳ වරදකාරී සමූහ චිත්තය පාගා මැඩලීමේ විගීෂාවෙන් මඩනා ලද මේ බොහෝ දෙනා ඉකුත් සය වසර තුළ ආත්ම වංචනික බොල් ඝෝෂාවන් කලාව හා දේශපාලනය මෙන් වෙස් ගන්වා අප වෙත ප‍්‍රදානය කළහ.

නමුත් අපගේ දෘෂ්ටිමය ප‍්‍රත්‍යක්‍ෂතා සහ සදාචාර මූලාදර්ශයන් දැන් උස්ව නැගී ආ තුඹස් මෙන් ඇතුළතින් හිස් ය. අපගේ භාෂාව නව අරුත් ඉපිදවිය නොහැකි ඝෝර ප‍්‍රාථමික ශබ්ද මාලාවක් බවට පෙරළී තිබේ. උත්කර්ෂයට නංවා ඇති අපේ බොල් සාහිත්‍යමය පරිකල්පනාවන් ද, සංගී තමය ඝෝෂාවන්ද, ව්‍යාජ සිනමාත්මක ප‍්‍රක්‍ෂේපණයන් ද අභ්‍යන්තරයෙහි ඇත්තේ දීර්ඝ න්‍යෂ්ටික ශිශිරයකි. කෲරතර අපරාධයන්ට පාත‍්‍රකරන ලද්දන්ගේ සැහැසි ජීවනානුභූතීන් කෙරෙහි සහවේදනාවන් පළ කළ නොහැකි අපේ භාෂාව චපලභාවයෙන් ඔත්පල, භාව ශුන්‍ය භීමරූපී සත්ත්‍වයෙකු මෙන් උකටලීව අප තුළම නිශ්චලව වැතිර හිඳියි. 1989 ධවල භීෂණයේ ප‍්‍රචණ්ඩ වා සුළිය විසින් ගිළගන්නා ලද දකුණේ මිනිස් පරම්පරාවන් මුහුණ දුන් ඝෝර ඉරණම සිංහල බසෙහි අභ්‍යන්තර ප‍්‍රකාශන ශක්තිය හා ජීවානුරාගය මොළවන ලද්දේ යම් සේද, 2009 සංහාරක වසර කළු කුහරයක් මෙන් සිංහල භාෂාවේ මානවීය සාරයන් සහ අනුරාගී අර්ථයන් චණ්ඩ හා නිර්දය ලෙස නිරායුධ කොට ගිලගනු ලැබ තිබේ. අරුත් මළ භාෂාව දැන් අවතාරමය ශබ්ද ඝෝෂාවකි.

මුල්ලිවයික්කාල්වලින් පසු සිංහල නිර්මාණ සාහිත්‍යය වනාහී මළකුණක් හා සම්භෝගයෙහි ලොල් ශවකාමීන්ගේ කාංසාවයි.


ඡායාරූපය:සෞන්දියාස් අමරදාස් ('මළ දූපත' පසු කවරයෙන්)

යුදෙව් ජන සංහාරයෙන් පසු ජර්මානු බසෙහි ඉරණම ගැන රමණීය විවරණයක් කළ ජෝර්ජ් ෂ්ටයිනර් මෙසේ ලියයි:

"පශ්චාත් යුද කාලීන ජර්මනිය වනාහී ප‍්‍රාතිහාර්යයකි. නමුත් එය ඉතා අරුමැති ප‍්‍රාතිහාර්යයකි. මතුපිට තලයේ මාහැඟි ජීවනාවේශයක් දක්නට තිබේ; නමුත් එහි හදවතෙහි ඇත්තේ අරුම සහගත නිශ්චලනයකි. එහි යන්න; නිපැයුම් පේළිවල විස්මයෙන් මොහොතකට ඉවත බලන්න;යන්ත‍්‍රවල ඝෝෂාව නෑසෙන්නට එක් ක්‍ෂණයකට ඔබේ සවන් වසාගන්න. මියගොස් ඇති දෙය වනාහී ජර්මානු භාෂාවයි.

"දිනපතා පුවත්පත් ද, වාර සඟරා ද, නව මුද්‍රණාලයන්ගෙන් ඕඝයක් සේ ගලා එන ජනප‍්‍රිය සහ විදග්ධ පතපොත ද විවර කර බලන්න; නව ජර්මානු වේදිකා නාට්‍යයකට සවන් දෙන්නට යන්න; ගුවන් විදුලියේ සහ පාර්ලිමේන්තුවේ කතා කෙරෙන ජර්මානු බසට සවන් දෙන්න. එය තවදුරටත් ගර්තගේ, හයිනගේ සහ නීට්ෂේගේ බස නොවේ. එය කොටින්ම තෝමස් මන්ගේ බස ද නොවේ. අතිමහත් ව්‍යසනකාරී යමක් ඊට අත්ව තිබේ. එය ඝෝෂාව නංවයි. එය අදහස් හුවමාරුවේ පවා යෙදෙන නමුත්, සහෝදරාත්මක එකමුතුව පිළිබඳ කිසිදු අරුතක් නිර්මාණය කරන්නට ඊට නොහැකි ය".
(Language and Silence: The Hollow Miracle)

එක් අතකින් ෂ්ටයිනර් ලියන්නේ සරළ කාරණාවකි. භාෂාවන් වනාහී ජීව සංචිතයන් ය. භාවෝන්මාදයෙන් සහ නිරක්‍ෂරතාවයෙන් පෙළෙන ජන සමූහයන් වුව අවශෝෂණය කරගැනීමට භාෂාවන්ට පුළුවන. නමුත් ඒ සෑම භාෂාවකටම බිඳුම් ලක්‍ෂ්‍යයක් ද තිබේ. සමූල සංහාරයන් සැළසුම් කොට ක‍්‍රියාවට නැංවීමටත්, කෲරතර ඉරණම් වසන් කිරීමටත්, මෘගභාවය යුක්ති යුක්ත කිරීමටත් භාෂාව යොදාගත් සැණින් එය පරාභවයට ගොදුරු වෙයි. එහි ජීවය මිය යයි. මුසාවන් සහ පරපීඩාකාමීත්වය භාෂාවේ මිදුළු දක්වා ගමන්කොට එහිම තැන්පත් වෙයි. නාට්සිවාදය විසින් නිර්මාණය කරන ලද අපාර බියකරු සංත‍්‍රාසයෙන් ජර්මානු භාෂාව නිදොස් නොවන බව ෂ්ටයිනර් කියන්නේ එබැවිනි. තමන්ට තව දුරටත් ජර්මන් කෘති කියවිය නොහැකිව ඇතැයි සිය දිනපොතෙහි 1940 දී තබන ලද සටහනකින් ප‍්‍රකාශ කරන ක්ලවුස් මන් මෙසේ අසයි:

"නීට්ෂේගේ සහ හොල්ඩර්ලින්ගේ බස හිට්ලර් විසින් දූෂ්‍ය කළා විය හැකිද?"

පශ්චාත් යුද කාලීන ජර්මානු සාහිත්‍යය මුහුණ දීමට නියමිතව තිබූ සාපේක්‍ෂ නිශ්චලනය අභ්‍යන්තරයෙහි නිධන්ගත මූලධාර්මික ගැටළුවක් ක්ලවුස් මන් සිය සරළ පැනයෙන් කල් තබා මතු කරයි. වචනවල අර්ථභාරය නිශ්චය වන්නේ අමූර්ත හා පරිකල්පිත විශ්වයන් තුළ නොව, වාස්තවික ලෝකයේ ව්‍යුහගත සමාජ සම්බන්ධතා හා මිනිස් ක‍්‍රියාකාරීත්වයන්ගේ සන්දර්භය තුළ ය. සංහාරයන් සහ අයුක්තීන් සැළසුම් කොට යුක්ති යුක්ත කිරීමෙහි ලා උපයෝජනය කොටගත් වචන ඒවායේ ම්ලේච්ඡ අර්ථයන් තුළම සිර වී ගිළී මිය යයි. පීඩිත මිනිස් වර්ගයාට එරෙහි සාහසිකත්වය සහ නග්න අපරාධකාරීත්වය වීර කාව්‍යෝක්තීන් බවට පෙරළනු වස් දාස භාවයෙහි යොදවාගත් බසක ජීව අග්නිය, ඒ සාපරාධී අගාධස්ථ අඳුරෙහිම නිශ්චලව නිවී යයි. සාර්වත‍්‍රික යුක්ති ධර්මය හෝ පොදු මිනිස් සහයෝගීතාව පිළිබඳ යථා අරුත් ජනනය කිරීමෙහිලා ඒ බස යළි සමත් නොවේ.

නමුත් කෲරත්වයන් අභිමුව භාෂාව නිහඬ කිරීම ගැලවුම් මාර්ගයක් සපයනු ඇතිද? ෂ්ටයිනර් කල්පනා කළේ ‘වචනයෙන් කිව නොහැකි’ අපරිමිත සැහැසිකම් විෂයෙහි භාෂාවේ නිහැඬියාව වඩා උචිත බව ය. ඔහු මෙසේ ලියයි: "අවුෂ්විට්ස්හි ලෝකය තර්ක බුද්ධියෙහි මෙන්ම භාෂණයෙහිද ඔබ්බෙන් පවතී. වචනයෙන් කිව නොහැකි දෑ ගැන කතා කිරීම වනාහී, සහේතුක සහ මානුෂීය සත්‍යයෙහි නිර්මාපකයා සහ ධාරකයා වන භාෂාවේ පැවැත්ම පරදුවට තැබීමකි". (Language and Silence: K)

ෂ්ටයිනර්ගේ ප‍්‍රකාශය 'අවුෂ්විට්ස්වලින් පසු කවි ලිවීම' ගැන ඇඩර්නෝගේ ප‍්‍රකාශය හා යම්තාක් දුරකට සම්පාත වේ. පළල් අර්ථයෙන් සළකතොත් එකී ආස්ථානයන් දෙකම අවුෂ්විට්ස්හි සැහැසි යථාර්ථය ප‍්‍රකාශ කිරීමෙහි ලා භාෂාවට ඇති භෞතික නොහැකියාවක් ගැන අදහස් නොකරන බැව් පැහැදිලි ය. ඇඩර්නෝ මතු කරන්නේ අවුෂ්විට්ස් බිහිකළ සංස්කෘතියටම අයත් සාරාර්ථයන් තව දුරටත් ප‍්‍රතිනිෂ්පාදනය කිරීමට සෞන්දර්ය භාවිතාවන්ගෙන් දායක වීමේ යුක්ති යුක්ත භාවය පිළිබඳ ආචාර ධාර්මීය ගැටළුවයි. ඇඩර්නෝට වෙනස්ව, අවුෂ්විට්ස් යථාර්ථය භාෂාවේ ප‍්‍රකාශන ධාරිතාවයෙන් ඔබ්බෙහි පවතින දෙයක් ලෙස සළකා නිහඬ විය යුතු බවට ෂ්ටයිනර් කරන යෝජනාවට පිටුබල සපයන්නේ 'වචනයෙන් කිව නොහැකි තරමේ' සැහැසිකම් විස්තර කිරීමෙහි ලා භාෂාව උපයෝග කරගැනීමෙන් මානවීය සත්‍යය ප‍්‍රකාශනයෙහිලා භාෂාව සතු බලය හීන වන බවයි.

නමුත් ෂ්ටයිනර්ගේ යෝජනාවේ විරුද්ධාභාසයක් ගැබ්ව තිබේ. ඔහුගේ යෝජනාවේ අර්ථය, සැහැසිකම් හමුවේ භාෂාවේ 'නිහඬතාව' සවිඥාණික තීරණයක් ලෙස ක‍්‍රියාවට නැංවිය යුත්තක් බව නම්, එය භාෂාවේ සැබෑ ප‍්‍රකාශන ධාරිතාවය පිළිබඳ ගැටළුවක් නොවේ. අනෙක් අතින් අවුෂ්විට්ස් විසින් නියෝජනය කරන සැහැසි යථාර්ථය 'භාෂණයේ සීමාවෙන් ඔබ්බෙහි පවතින' දෙයක් නම්, ඒ ගැන නිහඬතාව රැකීම සවිඥාණික තීරණයක ප‍්‍රතිඵලයක් ද නොවේ.

කෲර සාපරාධයන්ගේ ගොදුරු බවට පත් වින්දිතයන්ගේ පැත්තෙන් බලන්නේ නම් ඔවුන්ගේ රුදුරු ජීවනානුභූතීන් සම්බන්ධයෙන් 'භාෂාවේ නිහඬතාව' වනාහී ඒවායේ සයුක්තික භාවය අනියමින් පිළිගැනීමකි. මතභේදාත්මක සම්භවයකට හිමිකම් කියන්නියක් වුවද, 'යුදෙව් සංහාරය සහ ජර්මානු සාහිත්‍යය' ගැන වැදගත් සම්ප‍්‍රදානයක් කළ අර්නස්ටීන ෂ්ලාන්ට්, "නිහඬතාව වනාහී ශබ්දාර්ථමය රික්තයක් නොවේ" යැයි ලියන්නේ මේ නිසා ය. ෂ්ලාන්ට් පෙන්වා දෙන්නේ 'නිහඬතාව' යනු අප‍්‍රකාශිත ස්ථාවරයන් හා දෘෂ්ටිවාදයන් අඩංගු කොටගත් දැනුවත් 'ආඛ්‍යාන උපායයක්' බවයි. සරළව කිවතොත්, සාහසික අපරාධ ගැන 'කිසිවක් නොකියා සිටීම' (නිහඬතාව) දැනුවත් තීරණයක් නම්, එමගින් ඇත්තෙන්ම 'යමක් කියා සිටින' බවයි. භාෂාව 'සහේතුක සහ මානුෂීය සත්‍යයේ නිර්මාපකයා සහ ධාරකයා වශයෙන් පමණක් ක‍්‍රියා කරන’ අතර ‘බිහිසුණු, අමානුෂික සහ වචනයෙන් කිව නොහැකි' සැහැසිකම් පිළිබඳ මුනිවත රකින්නේ නම් එය 'වාරණයට ලක් කළ භාෂාවකැ'යි ඇය ලියන්නේ එබැවිනි. (The Language of Silence: West Geman Literature and the Holocaust)

මුල්ලිවයික්කාල් සංහාරය පිළිබඳ සිංහල භාෂාවේ දීර්ඝ 'නිහඬතාව' වනාහී 'සිදු වූ අපරාධයන්ගේ පරිමාණය පිළිබඳ නොදන්නා කමින්' පැන නැඟුණක් නොව, මිනිස් ඝාතක හමුදාවන් සහ ඔවුන් අයත්වන අපරාධ සහායක සමාජය අතර ඇති කරගත් දැනුවත් සම්මුතියක ප‍්‍රතිඵලයකි. මේ සම්මුතිය පදනමෙහි ඇත්තේ යුද සමයේ දී රාජ්‍ය හමුදා සෙබළා සහ දකුණේ පොදු මහත් සමාජය අතර කාර්යක්‍ෂමව සංවිධානය කෙරුණු ශ‍්‍රම විභජනයයි. ඇදහිය නොහැකි තරමේ අපරාධයන් විසින් ඇති කළ යුතු සදාචාර ආතතිය අවශෝෂණය කර ගනිමින් ඒවා දෛනික ජීවිතය තුළ සාමාන්‍යකරණය කිරීමේ යාන්ත‍්‍රණය නිර්මාණය වූයේ මේ ශ‍්‍රම විභජනය පදනම් කරගනිමිනි. එනයින්, පුළුල් අර්ථයෙන් සැලකූ කල මුල්ලිවයික්කාල්හි කූඨ ප‍්‍රාප්තියට පත් සංහාරක ක‍්‍රියාදාමය හුදෙක් අවිගත් රාජ්‍ය හමුදා සෙබළුන්ගේ නිර්මාණයක් නොවේ. එකී සාහසික අපරාධ ක‍්‍රියාවට නැංවූ සන්නද්ධ හමුදා සෙබලූන් සහ එකී ක‍්‍රියා සුජාතකරණයට කැපවුණු දේශපාලකයන්, ශාස්ත‍්‍රාලයීය බුද්ධිමතුන්, පූජකයන්, මාධ්‍යකරුවන්, වෘත්තීය සමිති නායකයන්, සිවිල් සමාජ ක‍්‍රියාධරයන්, සාහිත්‍යධරයන්, ගීත නිබන්ධකයන්, සිනමාකරුවන්, සංගීතධරයන් යනාදීන්ගෙන් සැදුම්ලත් තිරස් පන්ති සන්ධානය අතර අවියෝජනීය බන්‍ධනය නිර්මාණය කරන ලද්දේ වර්ග සංහාරක රාජ්‍යයේ දෘෂ්ටිවාදය විසිනි. භාෂාව උපයෝජනය කොට ගනු ලැබුණේ මේ සන්ධානය ස්වාභාවික කොට, සාපරාධී පරපීඩාකාමීත්වය සාමාන්‍යකරණය කරනු පිණිස ය.

මා කල්පනා කරන ආකාරයට, මේ සංහාරක සන්ධානයට එරෙහිව භාෂාවේ සහේතුක මානුෂීය සාරය රකිනු වස් දුබල මුත් අධිෂ්ඨාන සහගත එකම කැරැල්ල ගසන ලද්දේ ඒ හේතුවෙන්ම නොතකා හැරීමට සහ අවමානයට පාත‍්‍ර කරන ලද සිංහල කාව්‍යකරණයෙහි නියැළුණු තරුණ අතළොස්සක් දෙනා විසිනි. මහේෂ් මුණසිංහ හැරුණු විට, අජිත් සී. හේරත්, මංජුල වෙඩිවර්ධන, රෝහණ පොතුලියැද්ද, ටිම්රාන් කීර්ති, තරංග ජයසේන, සුභද්‍රා ජයසුන්දර, මාලතී කල්පනා, කුමාරි ප‍්‍රනාන්දු ඇතුළු අතළොස්සකට සීමා වූ මේ පිරිස, ප‍්‍රධාන වශයෙන්ම බූන්දි වෙබ් අඩවියටත්, රාවය පුවත්පතෙහි නිර්මාණ තීරයටත් සම්පාදනය කළ ප‍්‍රබල දේශපාලන කාව්‍ය නිර්මාණ වඩාත් සංසරණය වූයේ ඊ මේල් මාර්ග යෙනි. ඔවුන් මුහුණ දුන් කේන්‍ද්‍රීය අභියෝගය වූයේ සංහාරයන් සාමාන්‍යකරණය කොට, නග්න සාපරාධයන් අභිනන්දනය කරනු පිණිස උපයෝග කොටගත් භාෂාවක්, එම බසෙහි සාරාත්මය බවට පත් වූ වර්ගවාදී පරපීඩකත්වයට එරෙහි මානවීය අර්ථයන් මතුකරගැනීමට කෙසේ යොදා ගන්නේද යන්නයි. එකී ගැටළුව, පශ්චාත් යුද කාලීන යුරෝපයේ විශිෂ්ඨතම කවියා සේ සැළකිය හැකි පවුල් චෙලාන් සහ යට කී අතළොස්සක් දෙනා අතර අහඹු සමාන්තරයක් නිර්මාණය කළේ යැයි මම සිතමි. නාට්සි ශ‍්‍රම කඳවුරකදී තම මව්පියන් මරා දැමු ඝාතකයන්ගේ මව්බස තමන්ගේද මව්බස වීම නොතකා, ජර්මානු බසින්ම කාව්‍යකරණයේ නියැලූණු චෙලාන් අවසානයේ දිවි නසා ගත්තේය. වෙනස් සන්දර්භයක් තුළ වෙනස් අරුතකින් වුව ද, ඉහතින් කී කවීන් මුහුණ දුන්නේ චෙලාන් මුහුණ දී සිටි සදාචාර උභතෝකෝටිකයටම ය. නමුත් මගේ කල්පනාවට අනුව, ඉකුත් දශකය තුළ සිංහල බසින් ලියැවුණු විශිෂ්ටතම කවිය සේ සැළකිය හැකි අජිත් සී. හේරත්ගේ 'සප්ත ස්වප්න' මතුව ආයේද, සිංහල භාෂාව ගිල්වා දමන ලද මෙකී අඳුරුතම අගාධ පත්ලෙනි.

එහි අර්ථය, මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවිය හැකි බවද? ඇඩර්නෝගේ මතභේදාත්මක ප‍්‍රකාශය පිළිබඳ ඔහුගේම පැහැදිලි කිරීම නැවත සළකා බැලීම මෙහිදී වටනේ ය. "දුක් පීඩා විඳවීම පිළිබඳ අවබෝධය මනුෂ්‍යයන් අතර ඇති තාක් කල්, එකී අවබෝධය ප‍්‍රකාශයට පත්කරන වෛෂයික ආකාරය වශයෙන් කලාව පැවැතිය යුතු ය" යන හෙගල්ගේ ප‍්‍රකාශය උපුටමින්, අවුෂ්විට්ස් පිළිබඳ තම ප‍්‍රකාශය වචනාර්ථයෙන් ගන්නවුන්ට පිළිතුරු දෙන ඇඩර්නෝ මෙසේ ලියයි: "අවුෂ්විට්ස්වලින් පසු යමෙකුට කවි ලිවිය නොහැකි යැයි මා කී පරිද්දෙන්ම, කෙනෙක් කවි ලිවිය යුතුව තිබේ යැයිද මට කිව හැකි ය".

මහේෂ්ගේ 'මළ දූපත' වූ කලී, මුල්ලිවයික්කාල්හි ගොඩගැසුණු පීඩිත මිනිස් සමූහයකගේ අපරිමිත දුක් වේදනාවන් පිළිබඳ සදොස් සිත් ඇති සිංහල අතළොස්සක් දෙනා අතරේ වුව පවතින සාමූහික අවබෝධයේ වෛෂයික ආකාරයයි. එය, 2009 වසරේ සිංහල අප හා ශිෂ්ටාචාරය වෙන් කරමින් කණින ලද ම්ලේච්ඡත්වයේ බියකරු අගාධ පත්ල දෙස එක එල්ලේ එබී බලන්නට බිය නැති මිනිසෙකුගේ කැරැලිකාරී ප‍්‍රකාශනයයි.

-2015 ජූලි

පෙරවදන - මළ දූපත
මහේෂ් මුණසිංහගේ 'මළ දූපත' කාව්‍ය සංග්‍රහයේ පෙරවදන වන මෙම ලිපිය 2015.09.27 දින රාවය පුවත්පතේ පළ විය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Mahesh Munasinghe, Mala Doopatha, Theodor W. Adorno, George Steiner, Ernestine Schlant Bradley, Nirmal Ranjith Dewasiri, Victor Ivan, Ravaya, Hiru News Paper, Ajith C. Herath, Civil War in Sri Lanka, Genocide, Mullaivaikkal, Sri Lankan Tamils
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රෝහිත භාෂණ අබේවර්ධනගෙන් තවත් වියමන්
අදහස්
මගේ නොවැම්බරය
අදහස්
පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන
කතා-බස්
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
අදහස්
රයිනෝසිරස්ලා.....!
අදහස්
ජූලි මාසයක මතක මාත්‍ර
තවත් පොත් බූන්දි
කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
සමහර කමටහන් සහ සමහර රජත
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook