Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
Renata Salecl- තෝරා ගැනීමේදී අප තුළැති අහිතකර ග්‍රස්තිය
අප අපරිමිත තෝරා ගැනීම් සමුදායක් මැද, වැරදි තෝරාගැනීම් සිදු වේද යන කාංසා සහගත හැඟීමෙන් හිඳින්නෙමු. Renata Salecl දාර්ශනිකාව මෙසේ අසයි; පුද්ගලික තේරීම් මගින් සමාජයීය සිතන්නන් වශයෙන් අප තුළ වූ බලය පිරිහෙලනු ලැබ තිබේද? පුද්ගලික තේරීම් බරපතලව ගැනීම වෙනුවට සාමූහික තේරීම් සඳහා බර තැබිය යුතු බවට අවධාරණය කෙරෙන නිර්භීත ප්‍රවේශයක් රැගත් දෙසුමක්.
බූන්දි, 02:42:32
මේ කතාවට සූදානම් වෙද්දී, මම ඔබ සමග බෙදා ගැනීමට සුදුසු කියමන් කිහිපයක් සොයන්නට හිතුවා. හොඳ ආරංචිය: මම හුඟක් ම කැමති ඒවා තුනක් හම්බ වුනා, පළමු වැන්න සැමුවෙල් ජොන්සන්ගෙන්, ඔහු කියනවා; "ඔබ ඔබේ ජීවිතයේ තේරීම් කරද්දී, ජීවත් වීමට අමතක නොකරන්න." දෙවැන්න ඊස්කිලස්ගෙන්; "සතුට යනු, පරිශ්‍රමයක් දරා ලබා ගත යුතු තේරීමකි." තෙවැන්නා ග්‍රවුචෝ මාක්ස් මෙහෙම කියනවා; "මාව සාමාජිකයෙක් විදිහට සලකන කිසිම කිසිම සමාජයක් තෝරා ගැනීමට මට උවමනා නැහැ."

දැන් නරක ආරංචිය: මේ අතුරින් කොයි එක ඔබ සමග බෙදා ගත යුතුදැයි මම දැන උන්නේ නැහැ. තේරීමේ මිහිරි උද්වේගය!

අද වන විට, පශ්චාත් කාර්මික ධනේශ්වර යුගයේදී, පුද්ගල නිදහස සහ ස්ව-ප්‍රතිරූප නිර්මාණය කරගැනීමේ නැඹුරුව සමග මෙකී තේරීමේ ක්‍රියාවලිය පරමාදර්ශී පුරුෂාර්ථයක් බවට පත් ව තිබෙනවා. දැන් මේ සමගින් අප තුළ අසීමාන්තික දියුණුවක් පිළිබඳ විශ්වාසයකුත් ඇති වෙලා තියෙනවා. නමුත්, මේ කියන දෘෂ්ටිවාදයේ යටි පෙළ විදිහට, වර්ධනය වන කාංසාව, වරදකාරිත්ව හැඟීම, නොසෑහීමේ හැඟීම, අපගේ තේරීම් වරදීවිද යන ආතතිය ඇති වෙලා තියනවා. කණගාටුදායක දෙය නම්, පෞද්ගලික තේරීමේ දෘෂ්ටිවාදය විසින් සමාජ වෙනසක් පිළිබඳ සිතීමෙන් අප වළක්වා තිබීමයි. පෙනෙන විදිහට නම්, මේ දෘෂ්ටිවාදය මගින් දේශපාලනික සහ සමාජ චින්තකයන් වීමෙන් අප වළක්වාලීමට විශාල වැඩ කොටසක් කරනවා. සමාජය විචාරනවා වෙනුවට අපි වැඩි වැඩියෙන් තමන්වම විචාරය කර ගැනීමක් දක්වා, ස්වයං විචාරයක් දක්වා පල්ලම් බැහැලා තියනවා. සමහර විට ස්වයං විනාශයක් දක්වාම!

ඉතින්, තෝරා ගැනීම සඳහා ඒ හැටි දෙයක් නැති මිනිසුන් අතර පවා, තේරීමේ දෘෂ්ටිවාදය මේ තරම් බලවත් වී ඇත්තේ කෙසේද? දුගී මිනිසුන් පවා, තේරීමේ තාර්කික බවක් ඇතැයි හඟින්නේ කෙසේද?

තෝරා ගැනීමේ දෘෂ්ටිවාදය විසින් සංකල්පිත අනාගතයක් ගැන සිතන්නට අප යොමු කරවනවා. මම දෙන්නම් උදාහරණයක්. මාන්යා කියලා මගේ යාලුවෙක්, එයා කැලිෆෝනියා සරසවියෙ ශිෂ්‍යාවක් විදිහට හිටිය කාලෙ, වාහන වෙළෙන්ඳෙක් ගාව වැඩ කෙරුවා සල්ලි හොයා ගන්න. සාමාන්‍ය පාරිභෝගිකයෙක් ආවහම ඇය ඔහුගේ ජීවන විලාසය ගැන කතා කරනවා, ඔහු වියදම් කරන විදිහ, ඔහුට දරුවන් කී දෙනෙක් ඉන්නවාද, ඔහුට කාරයක් අවශ්‍ය වුනේ මොන හේතුවකටද කියන එක. සාමාන්‍යයෙන් හරියටම හරියන කාර් එක ගැන ඔවුන් හොඳ අවසන් එකඟතාවයකට එනවා. පාරිභෝගිකයා හිතලා මතලා අවසාන තීරණය අරන් එන්න ගෙදර යන්න හැරෙද්දි මාන්යා මෙන්න මෙහෙම කියනවා; "ඔයා මේ ගන්න යන කාර් එක හොඳටම හොඳයි. ඒත් තව අවුරුදු කීපයකින්, ඔයාගෙ දරුවො ලොකු මහත් වෙද්දි, ඔයාට දැනට වඩා ටිකක් සල්ලි තියෙන කාලෙක, අන්න එතකොට ඔයාට හරි යන්නෙ ඔය කාර් එක නොවෙයි. ඔය අනික් එක!" ඉතින්, මාන්යාගෙ පාරිභෝගිකයින්ගෙන් වැඩිහරියක් පහුවදාට ඇවිත් අර 'අනික් කාර් එක' අරන් යනවා; වැඩියෙන් මිල කරපු කාර් එක! ඉතින්, මාන්යා කාර් විකිණිල්ලෙන් කොච්චර සාර්ථක වුනාද කිවුවොත්, ඉක්මනින්ම එයා අහස්යානා විකුණන්න ගියා. (සිනා) මිනිස්සුන්ගේ මනෝවිඥානය දැන සිටීම එයාගෙ රස්සාවට විශාල පිටිවහලක් වුනා.

දැන්, මාන්යගෙ පාරිභෝගිකයා ඒ හැටි අවිචාරී වුනේ අතාර්කික වුනේ ඇයි? මාන්යගෙ සාර්ථකත්වයට හේතු වුනේ, අර අනික් කාරය තෝරා ගැනීම මගින් ඔවුන් ඔවුන්ගේ පරිපූර්ණත්වයට ළං වෙනවා කියන එක මායා දැනටමත් දන්න බව ඇඟවීමෙන්, ඇයට ඔවුන්ගේ ඔලු ඇතුළෙ පරමාදර්ශී අනාගතයක චිත්ත රූපයක්, ඔවුන් වඩා සාර්ථක වූ කාලෙක ඔවුන් මොන වගේ වේවිද කියන චිත්ත රූපයක් අඳින්න පුළුවන් වූ නිසයි.

අපි ඉතාම කලාතුරකින් තමයි සම්පූර්ණයෙන් ම බුද්ධිමත් තේරීමක් කරන්නේ. තේරීම් වලට, අපේ අවිඥානයත්, අපේ සමාජයත් බලපානවා. අනික් මිනිස්සු අපේ තේරීම ගැන හිතන දේවල් උපකල්පනය කිරීමෙන් අපි අපේ තෝරා ගැනීම් කරනවා නේද? ඒ වගේම අනික් අය තෝරා ගන්න දේවල් බලන් ඉඳලත් අපි අපේ තෝරා ගැනීම් කරනවා. සමාජමය වශයෙන් පිළිගැනීමට ලක් ව ඇති තේරීම අපි අනුමාන කරනවා. මෙන්න මේ නිසා තමයි, දැනටමත් තෝරගෙන ඉවර වෙලා තියෙන අවස්ථාවලදිත්, අර කාර් ගැනිල්ලෙදි වගේ, අපි තව දුරටත් දිගටම කාර් ගැන විස්තර හොය හොයා කියවන්නෙ; හරියට නිකං, අපි කරපු තේරීම හරියි කියලා අපිටම ඒත්තු ගන්වන්න හදනව වගේ.

ඉතින්, තේරීම් කාංසාව දල්වන සුළුයි. ඒවා නිතරම අවදානම සහ අහිමිවීම් සමග බැඳී තිබෙනවා. ඒවා පුරෝකථනය කළ නොහැකියි. ඉතින් මේ නිසා, කිසිම දෙයක් තෝරා නොගැනීමෙන් මිනිස්සු කෙළවරක් නැති ප්‍රශ්ණ වලට මුහුණ දෙනවා. ටික කලකට කලින්, විවාහ මංගලෝත්සවයකදි මට හමු වුන තරුණ ලස්සන කාන්තාවක් තේරීම් සම්බන්ධයෙන් ඇගේ කාංසාව ගැන මං එක්ක කතා කළා. "කොයි ඇඳුමද අඳින්නෙ කියලා තෝරා ගන්න මට මාසයක් ම ගියා." ඊගාවට ඈ කිවුවා; "ඔය එක රාත්‍රිය ගත කරන්න යන හෝටලය තෝරා ගන්න මම සති ගාණක් ගත කළා. දැන් මට ඕනෙ ශුක්‍රාණු දායකයෙක් තෝරා ගන්න." (හිනා) මම තිගැස්සිලා ඈ දිහා බැලුවා. "ශුක්‍රාණු දායකයෙක්? කලබලය මොකද්ද?" එයා කියනවා, "මේ අවුරුද්දෙ අන්තිමට මට හතළිහට ලබනවා, ඒත්, ජීවිතේ පුරාම මිනිස්සු තෝරා ගැනීමේ දී මම හරිම අසාර්ථක වුනා."

ඉතින්, තේරීම නිරතුරුව අවදානම සමග බැඳී ඇති නිසාවෙන් එය කාංසාව දල්වනවා. ප්‍රකට ඩෙන්මාර්ක දාර්ශනික Søren Kierkegaard තමයි පෙන්වලා දුන්නේ මේ කාංසාව වියහැකියාවේ වියහැකියාව සමග එකට යන බව. අපි හිතනවා අපට මේ අවදානම් වළක්වාගන්න පුළුවන් ය කියලා. අපි නිමක් නැති වෙළඳපොළ විශ්ලේෂණ කරනවා, අනාගත ඉපයීම් ගැන පෙරැයීම් කරනවා. අහඹුතාව නොහොත් සසම්භාවිතාව සමග බැඳුණු වෙළඳපොළ සම්න්ධයෙන් පවා එහි අනාගතය ගැන අපි තාර්කික පුරෝකථන ඉදිරිපත්කරනවා.

තේරීම ඇත්තෙන්ම හරිම ක්ෂතිමය අත්දැකීමක් බවට පත්වෙමින් තිබෙනවා. ගිය අවුරුද්දේ, Bernard Harcourt කියන මගෙ මිතුරා "තේරීමේ අභිප්‍රාය" නමින් චිකාගෝ සරසවියේදී සම්මන්ත්‍රණයක් සංවිධානය කළා. මූලාසනයේ හිටියෙ ඔහුත් මමත්, අපේ පත්‍රිකා ඉදිරිපත් කරන්න කලින් -අපි එකිනෙකාගෙ පත්‍රිකා දැකලා තිබුනෙ නෑ- ලොකු අවදානමක් ගන්න හිතුවා. අපි අපේ ප්‍රේක්ෂකයින්ට කිවුවා දැන් මේ අපි ඉදිරිපත් කරන්න යන්නේ අහඹු පත්‍රිකාවක් ය, මේක පත්‍රිකා දෙකේ ම කලවමක් ය, අපි එකිනෙකාගෙ පත්‍රිකා කලින් කියවලා තිබුනෙ නැහැ ය කියලා. ඉතින් අපි ඒක කලා. ඔහු ඔහුගේ පළමු ඡේදය කියෙවුවා. මම මගේ පළමු ඡේදය කියෙවුවා. ඔහු ඔහුගෙ දෙවන ඡේදය කියෙවුවා. මම මගේ දෙවැන්න කියෙවුවා. පත්‍රිකා ඉවර වෙනකල් ම අපි කියෙවුවෙ ඔය විදිහටමයි. ඉතින්, ඔබ පුදුම වෙයි, අපේ කිසිම ප්‍රෙක්ෂකයෙකුට හිතා ගන්න බැරි වුනා මේ කියවන්නෙ සම්පූර්ණයෙන් ම අහඹු පත්‍රිකාවක් ය කියලා. ඔවුන්ට විශ්වාස කරන්න බැරි වුනා, මහාචාර්යකම වගේ බලැති තනතුරු දරන දෙන්නෙක්, එහෙම බරපතල විදිහෙ අවදානමක් ගනීවියි කියන එක. ඔවුන් හිතුවෙ අපි එකහු වෙලා පත්‍රිකා හදාගෙන ඇවිත් අහඹු පත්‍රිකාවක් ගැන පොඩි විහිළුවක් කරනවාය කියලයි.

දැන් අපි ජීවත් වෙන්නේ මහා තොරතුරු ගොඩක් එක්ක. මහා දත්ත තොගයක්, අපේ ශරීරාභ්‍යන්තරය ගැන මහා දැනුමක් එක්ක. අපි මානව ජෙනෝමය විකේතනය කෙරුවා. අපි අපේ මොළ ගැන කිසි කලකටත් වැඩියෙන් දන්නවා. ඒත්, පුදුමෙ කියන්නෙ, මිනිස්සු මේ දැනුම ඉදිරියේ දිනෙක් දිනම අන්ධ වෙමින් ඉන්නවා. නූගත්කම සහ පිළිකෙව් කිරීම වැඩිවෙනවා. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පවා ඉක්මනින්ම හැම දේම හරි ගිහින් කලින් තිබුණ දේවල් ඒ හැටියෙන්ම ඒවි, මොනම දේශපාලනික හෝ සමාජ වෙනස්කමක්වත් අවශ්‍ය නැහැයි කියලා හිතෙන තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. පරිසර අර්බුදයෙදි පවා අපි හිතන්නේ දැන්ම මොකුත් කරන්න ඕනෙ නෑ, එහෙම නැත්නම්, අපිට කලින් වෙනකවුරු හරි මොනවා හරි කරන්න ඕනෑ කියලයි. පාරිසරික අර්බුද ඇති වුන අවස්ථාවන්වල දි පවා, ෆුකුෂියමා මහා විනාශය වගේ, හැම තොරතුරක් ම දැන දැනත්, මිනිස්සුන්ගෙන් එක් කොටසක් විකිරණ ගැන අවධානයෙන් ඉන්නකොට තව කොටසක් ඉන්නවා ඒ මොනව වුනත් කමක් නෑ කියලා අත ඇරලා දාලා ඉන්න.

ඉතින්, මනෝවිශ්ලේෂකයෝ හොඳින් ම දන්නවා, පුදුමාකාර විදිහට මිනිස්සුන්ගෙ ලාලසාව තියෙන්නෙ දැනුම දිහාවට නොවෙයි; මුග්ධතාවය දිහාවටයි. මොකද්ද ඒකෙන් කියවෙන්නෙ? ජීවිත තර්ජනයක් තිබෙන රෝගයකට මුහුණ දීමේදී පවා, හුඟක් මිනිස්සුන්ට ඒ ගැන දැන ගන්න ඕනේ නැහැ. ඔවුන් එහෙම රෝගයක් තියෙනවයි කියන එක පිළිගන්නෙ නැතුව ඉන්න තමයි වැඩියෙන් කැමති. පුදුමෙ කියන්නෙ, සමහර පර්යේෂණවලින් පෙන්වලා දීලා තියෙනවා එහෙම තමුන්ට රෝගයක් තියෙනවයි කියලා පිළිගන්න අකමැති මිනිස්සු, බොහොම පරිස්සමින් හොඳම ප්‍රතිකාරය තෝරා ගන්න මිනිස්සුන්ට වැඩියෙන් කාලයක් ජීවත් වෙනවයි කියලා.

කොහොමවුනත්, මේ මුග්ධතාව සමාජමය මට්ටමේදි ඒ හැටි වැදගත් වෙන්නෙ නෑ. ගමන් කරමින් ඉන්නෙ කොයි දිහාවකට ද කියන එක ගැන නොදැන ඉඳීමෙන් අපි සමාජයක් වශයෙන් විශාල හානියකට මුහුණ පානවා.

නොදැනුවත්භාවයට මුහුණ දීමටත් උඩින්, අපි එක්තරා විදිහක සුපැහැදිලිභාවයකටත් මුහුණ දෙනවා. ප්‍රංශ දාර්ශනික Louis Althusser තමයි පෙන්වලා දුන්නෙ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වීමේදී එමගින් සුපැහැදිලිභාවයේ තිරයක් නිර්මාණය කෙරෙන බව. මොනම සමාජ විවේචනයකටත් කලින්, මේ සුපැහැදිලිභාවයේ තිරය නොහොත් වේලය ඉවත් කරලා ටිකක් වෙනස් විදිහකට හිතන්න අවශ්‍යයි. අපි නිරන්තරයෙන් ම වැළඳගන්නා පුද්ගල තේරීමේ දෘෂ්ටිවාදය නැවත සලකා බැලුවොත්, මේ සුපැහැදිලිබව ඉවත් කරලා වෙනස් හිතීමකට යාම අනිවාර්යයක්.

ධනවාදය මුල පටන්ම විශ්වාසය තැබූ, ස්වෝත්සාහයෙන් දියුණු වූ මිනිසා පිළිබඳ සංකල්පය අපි තවමත් වැළඳ ගන්නේ ඇයි කියන එක මට හැමවිටම තිබෙන ප්‍රශ්ණයක්. අවදානමත් පාඩුවත් නොසලකමින් බුද්ධිමත්ව හොඳම සහ උත්කෘෂ්ටම තෝරා ගැනීම් කිරීමට හැකියාව අපට ඇතැයි සිතමින් අපේම ජීවිතවල පාලකයින් වීමට අප දඟලන්නේ ඇයි? ඇතැම් දුගී මිනිසුන් පොහොසතුන්ට වැඩියෙන් බදු ගැසිය යුතුයි වැනි අදහසක් සම්බන්ධයෙන් උදාසීන වන හැටි දුටු විට ඇති වන්නේ විශාල කම්පනයක්. ඔවුන් ඉන්නෙ එක්තරා ලොතරැයි මානසිකත්වයකින්. ඔවුන් හිතන්නේ ඔවුන්ට ඒක මෑත අනාගතයේදී කරන්න බැරි වෙයි, ඒත්, 'මගෙ පුතා' ඊගාව බිල් ගේට්ස් වේවි කියලා. අන්න එතකොට කවුද කැමති තමන්ගෙ පුතාට බදු ගහන්න?

මාග්‍රට් තැචර්ගෙ ප්‍රකට කියමනක් තමයි සමාජය කියා කිසිවක් නැත කියන එක. 'සමාජයක් නොපවතියි; ඇත්තේ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් පමණකි.' කණගාටුවට කාරණාව තමයි මේ දෘෂ්ටිවාදය තවමත් හොඳ හැටි ක්‍රියාත්මක වෙන එක. ඒ නිසයි දුප්පතුන් ඔවුන්ගේ දුප්පත්කම ගැන ලැජ්ජා වෙන්නේ. අපි නිවැරදි තේරීම නොකළ හෙයින් අසීමාන්තිකව පසුතැවෙනවා, ඒ නිසයි අපි සාර්ථක නොවුනේ කියලා. අපි හොඳ මදියි කියලා අපි කාංසා සහගතව තැවෙනවා. අන්න ඒකයි අපි වැඩපොළවල් වල රෑ වෙනකල් මහන්සි වෙවී වැඩ කරන්නෙ. අපේ හැකියාවන් දියුණු කරගන්න දඟලන්නෙ. අපි අපේ තේරීම් ගැන කාංසා සහගතව තැවෙන්න වුනාම, සමහරක් වෙලාවට අපි අපිට තිබෙන තෝරා ගැනීමේ බලය පාවා දෙනවා. අන්න එතකොට අපි කළ යුතු දේ කියලා දෙන ගුරුවරු හොයන් යනවා. ආත්මෝපකාරී චිකිත්සකයන්ගේ, එහෙමත් නැත්නම්, තේරීම් සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොපෙන්වන ඒකාධිපති නායකයන්ගේ සරණ හොයාගෙන යනවා.

ඉතින්, නිතරම මිනිස්සු මගෙන් අහනවා; "තේරීම් ගැන අධ්‍යනයෙන් ඔබ මොනවද ඉගෙන ගත්තෙ" කියලා. මම අවබෝධ කරගත්තු වැදගත් පණිවුඩයක් තියනවා. තේරීම් ගැන හිතද්දි, පුද්ගලිකව, ඒවා බරපතල විදිහට ගන්න එක මම නවත්වලා දැම්මා. පළමුවෙන්ම මම තේරුම් ගත්තා මම කළ තෝරා ගැනීම්වලින් වැඩිහරිය තාර්කික නොවෙන බව. එය මගේ අවිඥානයට සම්බන්ධයි, අනෙක් අය තෝරාගන්නේ මොනවාද කියන එක සහ සමාජයක් වශයෙන් බදා ගෙන ඉන්න තේරීම මොකද්ද කියන එක. ඒ වගේම මම අල්ල ගත්ත අනික් අදහස තමයි අපි පුද්ගල තේරීම් වලින් එහාට යන්න ඕනෑ කියන එක. පුද්ගල තේරීමේ දෘෂ්ටිවාදය විසින් අපිව නිදි ගන්වලා තිබෙන නිසා, සමාජමය තේරීම් ගැන නැවත හිතීම වැදගත්.

තේරීම වෙනස සමග හැමවිටම බැඳී තිබෙන බව අමතක නොකළ යුතුයි. අපිට පුද්ගලික වෙනස්කම් ඇති කර ගැනීමට පුළුවන් වෙනවා වගේම අපට සමාජ වෙනසක් ඇති කර ගැනීමත් පුළුවන්. ඉතින් මම පටන් ගත්තේ සැමුවෙල් ජොන්සන්ගෙ කියමනකින්; "ඔබ ඔබේ ජීවිතයේ තේරීම් කරද්දී, ජීවත් වීමට අමතක නොකරන්න." අවසාන වශයෙන්, ඔබට පේනවා, මට තේරීමක් තිබුණා මගේ කතාව පටන් ගන්න අවශ්‍ය කරපු කියමන් තුනෙක් එකක් තෝරා ගන්න. මට තේරීමක් තිබුණා වගේම ජාතීන් වශයෙන් මිනිසුන් වශයෙන් අපිටත් තේරීම් කරන්න වෙනවා අනාගතයේ අප ජීවත් විය යුත්තේ මොන වගේ සමාජයකද කියලා.

ස්තූතියි.


Renata Salecl: Our unhealthy obsession with choice [TED- YouTube Channel]
ස්ලෝවීනියානු දාර්ශනිකාවක වන Renata Salecl මහාචාර්යවරිය විසින් 'Our Unhealthy Obsession with Choice' යන මැයෙන් පැවැත්වූ TED කතාවේ සිංහල පරිවර්තනයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Renata Salecl, Slovene Philosopher, Sociologist, Samuel Johnson, Aeschylus, Groucho Marx, Søren Kierkegaard, Bill Gates, Louis Althusser, Choice, TED Talk, Psychoanalysis
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!
මුතුරාජවෙල වනසන්නට පෙර
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
ඔත්තු| ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18

23-Secs

"ලංකාවෙ ආර්ට් එකට විචාරයක් මොකටද?" මැයෙන් 'ඇත්ත' පුවත්පත විසින් සංවිධානය කරන "ඇත්ත- මුහුලස කතිකාවෙහි" දෙවැනි... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]

10-Mins

(සුදර්ශන සමරවීර) මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

ආරියවංශ අබේසේකර ලියූ, සිංහල දෙමළ වාර්ගික අර්බුදය පිළිබඳ ගැඹුරු සංවාදයකට හවුල් වෙන්නට වලිකන මේ කෘතිය ප්‍රබන්ධකතාවේ සත්‍යාභාසී... [More]
ඔත්තු| "දැහැමි ද මෙ දිවයින" සමග "Glimpses of a shattered Island"- ජූලි 20

10-Secs

චූලානන්ද සමරනායක විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ ද්විත්වය, "දැහැමි ද මෙ දිවයින" සහ "Glimpses of a... [More]
කතන්දර| "කුකුළා හා පාට"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

වී. සුතේයෙව් පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, පද්ම හර්ෂ කුරණගේ සිංහලට නැගූ "කුකුළා හා පාට" සෝවියට් ළමා කතන්දර පොත ඇසුරින්... [More]
අදහස්| ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?

2-Mins

(තිලක් සේනාසිංහ ) ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
ඔත්තු| තරුණ සාහිත්‍ය වැඩමුළුව-සැප්. 01

40-Secs

විවිධ කලා ක්ෂේත්‍රයන්හි නම රැන්දූ විශිෂ්ඨයන් සමග යෞවනයේ අත්දැකීම් බෙදා හදා ගන්නට නූතන තරුණ පරපුරට... [More]
පොත්| ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) රුසියානු විප්ලවයට තදනුබද්ධ උන්නතිකාමී ලේඛකකයකු වූ ලියෝ තෝල්ස්තෝයි (1829-1910) විසින් විරචිත ශ්‍රේෂ්ඨත ම මනෝවිද්‍යාත්මක නවකථාව ඇනා කැරනිනා (1873)ය. මෙය වූ... [More]
වෙසෙස්| බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)

21-Secs

බොබ් මාලි (රොබට් නෙස්ටා මාලි) (1945-1981), තම කෙටි ජීවන චාරිකාව නිමා කොට ලෝකයෙන් සමුගත්තේ අමරණීය මියැසි නිර්මාණ රැසක් ලොවට ඉතිරි... [More]
ඔත්තු| සුසුම් නාඳුනන අප දෙදෙන- ජුලි 15

10-Secs

උපේක්ෂා ප්‍රේමතිලකගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'සුසුම් නාඳුනන අප දෙදෙන', 2017, ජූලි 15, සවස 3.00ට, ... [More]
කවි| අද දවස මෙතෙකින් නිමයි..

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) පල්ලියේ ගල් තාප්පය මුදුනත
පරෙවියන් පෙම් කෙළියි
හීන් අඬකින් ගීතිකාවක්
නැගෙයි බැසයයි

අර්ධ අඳුරැති සුරුවමක පාමුල... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4

23-Mins

(අජිත් සී හේරත්) සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව්. ජනරංජන

රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන "ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?" යනුවෙන් ලිපියක්... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]

11-Mins

(සුදර්ශන සමරවීර) කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි.... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කතන්දර| දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...

5-Mins

(විසල් සේනාතිලක) පසුව ලියමි-

කතාවක් පටන් ගැන්මට පෙර පසුව ලිවිය යුතු කොටස ලිවීම කියවන්නා තව දුරටත් කතාව වෙත බැඳ තබා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook