Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
විවෘත නාට්‍ය විචාරයක් නැතිකමින් හොඳ නිර්මාණ සමාජගත වෙන්නේ නෑ.- ප්‍රියංකර රත්නායක
බූන්දි, 02:13:50
ඔබ කාලාන්තරයක් තිස්සේ නාට්‍යකරුවෙක් ලෙස රටේ යම් පිළිගැනීමකට ලක්වී සිටිනවා. අපොස සා.පෙ., උ.පෙ. වගේ ළමුන්ගේ කඩඉම් විභාගයන්හී ඔබේ නම සඳහන් කෙරෙනවා. පරිවර්තන නාට්‍ය පමණක් නිෂ්පාදනය කරන්නෙක් ලෙස ඔබ මෙය දකින්නේ කොහොමද?

මෙහෙමයි. යමෙක් කාලාන්තරයක් තිස්සේ ඕනෑම ක්ෂේත්‍රයක දිගු කාලීනව යම් හෝ සේවයක් කරනවා නම් ඔහුගේ හෝ ඇයගේ නාමය සඳහන් වීම වලක්වන්න බැරි දෙයක්. මං කරන නාට්‍යවලට අකමැති පිරිස් ගොඩාක් ඉන්න පුළුවන්. උදාහරණක් විදිහට සරත්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍යවලට අකමැති පිරිස් එවකට බොහෝ හිටියා. නමුත් එතුමා තම නාට්‍ය තුළට අන්තර්ගත කරපු මානුෂීය සබඳතා අපිට ලේසියෙන් අමතක කරන්න බෑ. දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන අරගෙන බැලුවත් ඒක එහෙමයි. නමුත් විශේෂයෙන් කලාව කල යුත්තේ නාමය සඳහන් වීම අරමුණු කරගෙන නෙවෙයි. අපිට මේ සමාජයෙන් ලැබෙන යම් යම් උත්තේජනවලට අපි සංවේදීව ප්‍රතිචාර දක්වනවා. ඒක අපි හැමෝටම තියනවා. නමුත් කලාකරුවා වඩාත් සංවේදීව මේ සමාජ ප්‍රවාහයන්ට ප්‍රතිචාර දක්වනවා. අන්න එතැනදි කලාකරුවා සාමන්‍ය මිනිසාගෙන් වෙනස් වී ඉස්මතුවෙනවා. බොහෝ වෙලවට මුලින්ම කවියක්, පද වැලක් අමුණමින් තමයි කලාකරුවාගේ මේ සංවේදීතාව ඉස්මතුවෙන්නේ.

දෙවෙනි කාරණය බොහෝ දෙනා මගෙන් අහන දෙයක්. පරිවර්තන නාට්‍යයම කරන්නේ ඇයි කියන ඒක. මං හිතන විදිහට පරිවර්තන කියලා හෝ ස්වතන්ත්‍ර කියලා දෙයක් නෑ. අපි ශ්‍රී ලාංකීය කියලා විතරක් හිතුවහම පරිවර්තන කියලා ප්‍රශ්නයක් එනවා. අපේ රටේ තමයි වඩාත් උග්‍ර ලෙස මේ බෙදීම ගැන කතා වෙන්නේ. නමුත් අපි ලෝකෙට අයිති මනුස්සයෙක් කියලා හිතුවහම පරිවර්තන කියලා එකක් නෑ. දැන් කවුරුත් කලා කෘතීන් අලුතෙන් ලියන්නේ නෑ. කලා කෘතීන් ලියලා හෝ කරලා ඉවරයි. අපි කරන්නේ ඒ කතා කරපු දේවල්ම නැවත නැවත අලුත් අර්ථකථන දෙමින් නැවත ගෙනෙන ඒක. "හැම්ලට්" තමයි චෙකොෆ් "සීගල්" කියල ලියන්නේ. "ඇන්ටිගනි" තම ලොර්කා "බර්නාඩා" කියල ලියන්නේ. එතකොට ඒ "බර්නාඩා" තමයි අපි "මුදු පුත්තු" කියලා කරන්නේ. ඒ "මුදු පුත්තු" තමයි අපි "සත්සමුදුර" කියලා දකින්නේ. ඔය විදිහට "රශෝමාන්" "මනමේ" වෙලා "හන්තානේ කතාව" වෙනවා. එතකොට ඔවුන් මුල් කෘතිවලට වගකිව්වේ නෑ. නමුත් ඔවුන් එතනින් එහාට ප්‍රකාශනය ගෙන ගියා. ඒ නිසා අනිවාර්යෙන්ම පරිවර්තනයක් කියන්නේ ස්වතන්ත්‍ර ප්‍රකාශනයක්. ඒ වගේම තමයි මං ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ළමුන් එක්ක නිසා ඔවුන්ට අධ්‍යනයක් ලෙසත් පරිවර්තන තෝරාගන්නවා.

පරිවර්තන නාට්‍ය කිරීම ළමුන්ට අධ්‍යනයක් බව අමුතුවෙන් කිවයුතු නෑ. නමුත් ඔබ වැනි ටෙලි පිටපත් රචකයෙක් ඇයි ස්වතන්ත්‍ර නාට්‍ය රචනාවක් සිදුනොකරන්නේ?

මං හිතන්නේ නාට්‍යක් ලිවීම තමයි අමාරුම වැඩේ. එකයි නාට්‍ය රචකයෝ අඩු. එකෙන් කියවෙන්නේ නෑ තිර පිටපත් ලියන ඒක ලේසියි කියලා. නමුත් ඒවා රූප මාධ්‍ය. රූපමාධ්‍යයෙන් හිතනකොට අපිට නිදහස වැඩියි. ඒ වගේම වචනයෙන් පමණක් යමක් කියනකොට ලිවීම සංකීර්ණ වෙනවා. ඒ නිසා නාට්‍ය ලිවීම පහසු නෑ. මං දකින විදිහට ලංකාවේ බොහෝ ස්වතන්ත්‍ර රචකයෝ අධ්‍යක්ෂකවරු විදිහට අසාර්ථකයි. ඒකට හේතුව රචනයට අලුත් අර්ථකථන එකතු නොවීම. කොහොම උනත් නාට්‍යක් ලියන්න වයස් සීමාවක් නෑනේ. ඒ නිසා ඉදිරි අවුරුදු පහක විතර කාලයකදී මා අතිනුත් නාට්‍ය ලියවේවි. ඒ වගේම නව නිෂ්පාදන විධික්‍රම තුලින් ඒවා නිෂ්පාදනය වේවි.

විවිධ ටෙලි ශිල්පීන් කලාකරුවන් ලෙස නම් කිරීම මාධ්‍යවල බොහෝවිට සිදුවන්නක්. ටෙලි කලාකරුවෙක් ලෙස ඔබ මේක දකින්නේ කොහොමද?

ලංකාවේ කිසිම කලාවක් විෂයයක් හැටියට වර්ධනය වෙලා නෑ. එතකොට විෂයයක් නැති තැන හැදෑරීමක් සිද්ධ වෙන්නේ නෑ. මාධ්‍යවලට ඕන තම මාධ්‍ය ආයතනය පවත්වාගෙන යන්න. ඒකෙන් වෙන්නේ අදාළ ශිල්පීන් පිරිහිලා මාධ්‍යය පවතින ඒක. තමන්ව පාවිච්චි වෙනවා කියන එකවත් ඔය කියන ශිල්පීන් දන්නේ නෑ. ලංකාවේ බොහෝ දේවල් වැරදියට තමයි භාවිතා වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් බොහෝ නිර්මාණ තියෙන්නේ බලන්න මිසක් නරඹන්න නෙවෙයි. ඔය කියන ශිල්පීන් කරන්නේ බලන්න තියන දේවල්වල පෙනී ඉන්න ඒක. පෙනී සිටීමයි රඟපෑමයි කියන්නේ දෙකක්. නරඹන්න හදන දේවල්වල රඟපාන්න තියනවා. බලන්න හදන ඒවයේ තියෙන්නේ පෙනී ඉන්න. එතකොට ප්‍රේක්ෂකයා තීරණය කරන්න ඕන මං නරඹනව ද බලනව ද කියන එක. මං ගැන කිව්වොත්, මං ලියන්නේ හෝ රඟපාන්නේ බලන්න ද රඟපාන්න ද කියලා ප්‍රේක්ෂකයින් තීරණය කරාවී.

ඔබේ විශ්ව විද්‍යාලයෙන් බිහිවූ ස්වතන්ත්‍ර නාට්‍යකරුවන්ට හා ප්‍රයෝගිකව නාට්‍ය කලාවට සේවයක් කල අයට ඔබ අධ්‍යයන ඒකකය නිසි පිළිගැනීමක් ලබා නොදුන් බවට චෝදනාවක් එල්ල කළොත්, මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?

මෙහෙමයි. විශ්ව විද්‍යාලය කියන්නේ පරිපාලන ආයතනයක්. එතකොට ක්‍රමවේද අනුව අපිට බඳවාගන්න වෙන්නේ සීමිත පිරිසක්. ගන්න පුද්ගලයා කවුද කියන ඒක නෙවෙයි වැදගත්. අපිත් කැමතියි එහෙම ගන්න පුළුවන් නම්. ඔවුන්ගේ රැඳී සිටීමේ කාලය අවුරුදු දෙකයි. බොහෝ අය ඒ අවුරුදු දෙක හිටියා. ඒ යන අය අධ්‍යයන අංශයේ පිළිගැනීමට ලක්වීම වැඩක් නෑ. ඒ අය සමාජය තුළ පිළිගැනීමට ලක් වෙන්න ඕනෑ. සමාජය තුළ පිළිගැනීමට ලක් වෙන්න නම් ඒ අය මෙතනින් එළියට ගිහින් වැඩ කරන්න ඕන. මං හිතන්නේ නෑ වැඩ කරන හෝ කලාව ඇඟේ තියන අයට පිළිගැනීමක් අවශ්‍ය වෙයි කියලා. තවත් චෝදනාවක් තමයි අපෙන් බිහිවුන අධ්‍යක්ෂකවරු තමන්ගේ දෙවැනි නාට්‍ය කරලා නෑ. නමුත් මං කරනවා. මමත් මේ අධ්‍යයන අංශයට ඇතුලත් වෙන්න අවුරුදු 12ක් තාවකාලික කථිකාචාර්යවරයෙක් හැටියට හිටියා. යමක් අහිමි වෙනකොට මං කරේ නාට්‍ය කරන ඒක හෝ ඊට සම්බන්ධව වැඩ කිරීම. අනික එහෙම වැඩ පුළුවන් අය මෙතන සිටිය යුතු නෑ. ඔවුන් වෙනත් තැන් හොයාගන්න ඕන. තවත් දෙයක් තමයි බොහෝ එවැනි අයගේ නාට්‍යවල පසුතල, ඇඳුම් ආදිය තවමත් සුරකින්නේ අපි. එයාලට එයාලගේ නාට්‍ය කරන්න තැනක් දෙනවා අපි තාමත් ලංකාවේ කිසිම අධ්‍යයන අංශයක නැති විදිහට. හෙට මෙතනින් එළියට යන අයටත් අපි ඒ අවස්ථාව දෙනවා. එතකොට කාටවත් කියන්න බෑ අපි පිළිගැනීමක් ලබාදෙන්නේ නෑ කියන එක.

විශ්ව විද්‍යාල සිසුන් මෑතකාලීනව විශාල වශයෙන් රටේ පිළිගත් නාට්‍ය උත්සව වලදී සම්මාන ලබාගත්තා. එත් ඔබේ යටතේ සිටින කැලණියේ සිසුන් මෑතකාලීනව නිහඬයි. ඒ වගේම ගුණාත්මක නිෂ්පාදන හෝ විශේෂයෙන් නාට්‍ය රචනා ඔවුන් අතින් බිහිවුයේ නැති තරම්. මේකට හේතුව මොකද්ද?

තරඟවලට යන එකම ප්‍රශ්ණයක්නේ. නාට්‍ය උළෙලවල්වල නාට්‍ය විනිශ්චයත් ප්‍රශ්ණයක්. එහෙම නොවුනත් මෑතකාලීනව එක නාට්‍යක් හෝ අපි නියෝජනය කරලා තියනවා. නාට්‍ය ප්‍රමාණාත්මකව නෙවෙයි ගුණාත්මකවයි වැඩි වෙන්න ඕන. ගුණාත්මකබව ගැන කතා කළොත් මේ තරුණ පරපුරේම තියන ප්‍රශ්නයක් තමයි නිසි අධ්‍යනයක් නොමැති වීම. ඒක මේ මුළු රටටම බලපාලා තියන ප්‍රශ්නයක්.

විශේෂයෙන් සෞම්‍ය ලියනගේ, ප්‍රසන්නජිත් අබේසුරිය, ඉන්දික ෆර්ඩිනැන්ඩු, පියල් කාරියවසම් වැනි ඔබේ සමකාලීනයන් ගුරුහරුකම් දෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නව නාට්‍ය අත්හදා බැලීම් සිද්ධවෙනවා. ඒ වගේම ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිටතට පැමිණි පසු ක්‍රියාකාරීව නාට්‍යකලාවට සේවයක් කරන බව පේනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

මම නම් ඔහොම දෙයක් දකින්නේ නෑ. මොකද නාට්‍ය එකකින් දෙකකින් පස්සේ දිගුකාලීනව එහි නිරතවෙන පිරිසක් නැති තරම්. ඒකට හේතුව ආර්ථිකය කියල නිගමනය කරන්න පුළුවන්. මොකද දිගුකාලීනව ලංකාව වගේ රටක නාට්‍ය කලාවේ නියැලීම ටිකක් අමාරු වැඩක්. ගොඩක් සිසුන් ඒ නිසා තිර පිටපත්, දැන්වීම්කරණය, ටෙලි රංගනය වැනි දේවල් තෝරා ගන්නවා. ඒවගේම නාට්‍ය නිෂ්පාදනය හෝ නාට්‍ය රංගනය නිරන්තර අභ්‍යාසයක් නැතුව පවත්වා ගන්න බෑ. ඒ නිසා එහෙම දිගුකාලීනව නියැලෙන පිරිසක් මං දකින්නේ නෑ.

ඔබ යටතේ සිටින ළමුන් විශ්වවිද්‍යාල අධ්‍යයන කාලය තුලදී විශාල වශයෙන් නාට්‍ය නිෂ්පාදන හා ඇකඩමික් නාට්‍ය සංසදය වෙනුවෙන් කැප කිරීම් කරමින් වැඩ කරනවා. ඔවුන්ගේ අනාගතයට ඉන් ලැබෙන පිටිවහල මෙන්ම නාට්‍යකලාවට ඉදිරියට ඉන් සිදුවෙන සේවය කෙබඳුද?

මෙහෙමයි. ගොඩක් සිසුන් මං කිව්වා වගේම නාට්‍ය කලාවේ නියැලෙන්නේ නෑ. මොකද නාට්‍ය කරලා වැඩක් නෑ කියන මතයක් තියනවා. ඇත්තටම දර්ශනවාර 100ක් රටපුරා කරලා 10,000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් නැරඹුවත් පුරවැසියෝ ලක්ෂ ගණනක් ඉන්න රටක ඒකෙන් වෙන බලපෑම අඩුයිනේ. ඒ නිසා ඔවුන් එහෙම නාට්‍ය කලාවෙන් ගියාට කමක් නෑ. අනික එළියෙ සමාජයට ගියාම දරන්න වෙන ආර්ථික හා සමාජමය අපහසුතා නිසා ඔවුන් බොහෝ දෙනෙක් නාට්‍ය කරන්නේ නෑ. බොහෝ දෙනෙක් ගුරුවරුන් හැටියට සේවය කරනවා. අධ්‍යයන වර්ෂයකින් නාට්‍ය කලාවට සේවය කරන්නේ බොහෝවිට එක්කෙනෙක් දෙන්නෙක්. නමුත් අපි රට පුරා විහිදීයන අනෙක් පිරිසට නාට්‍ය කියන්නේ මොකද්ද, එකෙන් කරන්න පුළුවන් බලපෑම මොකද්ද, නාට්‍ය රසවිඳින්නේ කොහොමද කියන එක පෙන්වලා දෙනවා. මතක තියාගන්න ඕනම දේ තමයි කලාව විශ්වවිද්‍යාල මගින් කොච්චර ඉගැන්නුවත් කලාකරුවන් බිහිවෙන්නේ අතළොස්සක් කියන එක.

බොහොම අඩු පහසුකම් යටතේ නාට්‍ය පෙර පුහුණුවීම් කරමින් නාට්‍ය කලාවට මෙන්ම නවකයින්ට ඔබ සේවයක් කරනවද කියලා කෙනෙක් ඇහුවොත්?

වේදිකාවක් නැතුව නාට්‍ය කරන ලෝකේ එකම නාට්‍ය ඒකකය අපි වෙන්න ඇති. අපේ ළමුන්ට එන ගැටළුවක් තමයි වාචික අභිනය දුර්වල වීම. ඒකට ප්‍රධාන හේතුව අපි ඉතා කුඩා බිම් ප්‍රමාණයක පෙර පුහුණුවීම් සිදු කිරීම.

ඔබ ලංකාවේ නාට්‍ය සංස්කෘතියට යම් යම් ආකාරයෙන් දායකවන නමුත් බොහෝ විට සමකාලීන නාට්‍යකරුවන්ගේ නාට්‍ය හෝ රාජ්‍ය නාට්‍ය උළෙල හෝ යෞවන නාට්‍ය නැරඹීමට පැමිණෙන්නේ නැති තරම්. ඒ ඇයි?

ඔව් වෙන්න පුළුවන්. දිගටම ඔය කියන උළෙලවල් බැලෙන්නේ නෑ. නමුත් නාට්‍ය බලනවා. මෙහෙමයි දැන් චිත්‍රපටයක් බලන්න හෝල් එකටම යන්න ඕන නෑනේ. ගෙවල් ළග කඩේකට හොඳම චිත්‍රපට එනවා. නමුත් මසකට නාට්‍ය 20-25 බලපු යුගයක් අපිටත් තිබුණා. මරාසාද් වගේ නාට්‍යක් දහවතාවකට වඩා බලපු යුගයක් තිබුණා. අනික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට හෝ කවියෙකුට ලෝකේ තියන සියලුම නිර්මාණ නරඹන්න පුළුවන්ද? මට තියනවා නාට්‍ය නිෂ්පාදනයට විශේෂ හැකියාවක්; අන්න ඒ හැකියාවෙන් ජනතාවට සේවයක් කිරීම තමයි මං දැනට කරන්නේ. අනික අපිට ජීවත් වෙන්න තියෙන්නේ සීමිත කාලයක්. ඒ නිසා නිර්මාණ තෝරා බේරා ගෙන තමයි දැන් නරඹන්නේ. ඒ වගේම මෑතකාලීනව පිහිටවපු ‘නාට්‍ය සන්ධානය’ තුළ ස්වේච්ඡාවෙන් සේවය කරමින් ඉන්නවා. විවිධ අධ්‍යක්ෂකවරුන්ගේ නාට්‍ය වලට ශිල්පියෙකු ලෙසත් සම්බන්ධ වෙනවා. එතකොට නාට්‍ය සංස්කෘතියට දායක වෙන්නේ නෑ කියන්න බෑ.

නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුට වඩා ඔබ නළුවෙක් විදිහට පමණක් සාර්ථකයි කියලා කෙනෙක් චෝදනා කළොත්?

මං හිතන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මං සාර්ථකයි. නළුවෙක් විදිහට අසාර්ථකයි කියන ඒක නෙවෙයි එකෙන් කියන්නේ. නමුත් මට නළුවෙක් විදිහට ලැබුණු අවස්ථා අඩුයි. ඒකට හේතු කීපයක් තියනවා. සමහරු 'මං එන්නේ නැතිවෙයි' කියලා මට කතා කරන්නේ නෑ. සමහරු පුද්ගලයෙක් විදිහට මට කැමති නෑ. දැන් පරම්පරාව ගොඩක් වෙලාවට නාට්‍ය කරන්නේ සම්මාන උළෙලවල් වලට. එතකොටත් මං නළුවෙක් විදිහට සම්බන්ධ වෙන්නේ නෑ. විශේෂයෙන් අධ්‍යක්ෂකවරයෙක් සමස්ත කෘතියට වගකියන්නෙක්. නළුවෙක් එහි කොටසකට පමණක් වගකියන්නෙක්. ඒ නිසා මං වඩාත් කැමති අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරන්න. සාර්ථක ද අසාර්ථක ද කියන්න මං දන්නේ නෑ.

නාට්‍යකරුවෙක් හා කලාකරුවෙක් ලෙස ඔබ පහුගිය දිනවල දේශපාලන වේදිකාවල ඉන්නවා අපි දැක්කා. ඒ ඇයි? ඔබලා මොනවගේ වෙනසක්ද මේ රටට දෙන්න හැදුවේ? දැනට තියන තත්වයත් එක්ක ඔබලාගේ තීරණය මොකද්ද? දැන් ඔබලා හැසිරෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

ඒ මොහොත තමයි ඒකට බලපෑවේ. මං කරන්න හිටිය නාට්‍යයක් තමයි 'මැක්බත්'. නමුත් ඒ වෙනස් කරන්න දායක වුන සමාජ ක්‍රමය ඇතුළේ එවැනි නාට්‍යකට ඉඩක් ලැබෙන්නේ නෑ. ඉස්සෙල්ලා හිටපු රාජ්‍ය නායකයා බලන්නේ 'පුස් වෙඩිල්ල' වගේ නාට්‍ය. එවැනි නාට්‍යක් බලලත් එතුමා කියනවා 'අපිව විවේචනය කරමින් නාට්‍ය කරනවා. ඒකට අපිට ඉඩ දෙන්න බෑ' කියන ඒක. ඒ අත්තනෝමතික බලය පාවිච්චි කිරීම පැහැදිලිවම රටේ මිනිස්සුන්ට පෙනෙන්න තිබුණා. අදත් එතුමා කරන්න හදන්නේ ඒක. දැනුත් ඔහු හැසිරෙන්නේ බල කාමයෙන් බල තෘෂ්ණාවෙන්. ඔහු වටා එකතු වෙන්නෙත් හොරු, කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ, වංචනික ලෙස මුදල් හම්බ කරපු අය. ඔහු ඒ ඡන්දෙන් පැරදිලත් නිවැරදි වුනේ නෑනේ. අදටත් පුළුවන් නම් තමන් හොරකම් කරපුවා අල්ලන්න කියල මේ හොරු කියනවා. මොකද ඔවුන් දන්නවා තමන් සාමන්‍ය මිනිසුන්ගේ මුදල් හොරකම් කරේ අල්ලන්න බැරි වෙන විදිහට කියලා. ඒ ක්‍රමය නැති කරලා හදපු එක ගැන නෙවෙයි මං කියන්නේ, ඒ මොහොත ගැන. ඒ මොහොතේ ඒ පවුල් දේශපාලනයට සියල්ල යටවන සමාජ ක්‍රමය අපි වෙනස් කළ යුතුව තිබුණා. ඉන්පසුව බලයට පත් වෙච්ච ඔහුගේම පක්ෂයේ නායකයා කියන්නේ 'බැරි වෙලාවත් මං පැරදුනා නම් එහෙම දැන් මං අඩි හයක් පොලොව යට' කියලා. හොඳයි කියන මිනිස්සුත් ඒ පුද්ගලයා පස්සේ වැටුනහම නරක අතට හැරුනා. වාසුදේව නානායක්කාර එහෙම එක් කෙනෙක්. කොහොම හරි ඔවුන් නැවත බලයට අවොත් මේ සමාජය නැවත බරපතල අගාධයකට වැටෙනවා. එකෙන් කියවෙන්නේ නෑ අනෙක් පිරිස අවොත් සමාජය හොඳ අතට හැරෙනවා කියන ඒක. ඔය පක්ෂ දෙක මාරුවෙන් මාරුවට මේ රටේ බලය ලබා ගත්තනේ. නමුත් මං හිතන්නේ මේ වෙනකොට මේ රටේ තියන දුෂිතම පක්ෂය තමයි 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය'. එයාලට ලැබුණ අවස්ථාවේදීවත් ඒ දුෂිත බවෙන් මිදුනේ නෑ. කොහොම උනත් මේ යන සමාජ ක්‍රමය ඇතුලේ යහපත් පක්ෂ ගැන හිතන්න බෑ. එහෙම වෙන්නෙත් නෑ. නමුත් දැනට ඉන්න උන් එක්ක ජිවත් වෙන්න අපිට සිද්ධවෙලා තියනවනේ. අන්න ඒ නිසයි සමාජයේ බුද්ධිමත් පුරවැසියෙක් විදිහට ඊට මැදිහත් උණේ. දැනට තියන තත්වෙත් ගැටලු බොහොමයක් තියනවා. ඒ ගැන මිට වඩා සංකීර්ණව කතා කල යුතුයි. කලාව ගැන නෙවෙයි වෙනම කතා කලයුතු මතෘකාවක් ඒක.

සමකාලීන දේශපාලනය ගැන අවබෝධයක් තියන නමුත් නාට්‍යකරුවෙක් ලෙස 'ඇන්ටිගනි' නාට්‍ය හැරෙන්නට ඔබගේ නිර්මාණ ලාංකීය දේශපාලන සන්දර්භය තුළ ස්ථානගත කරන්න බෑ නේද?

නෑ මං කරපු හැම නිර්මාණයක්ම ඒ සමකාලීන දේශපාලනය නියෝජනය කළා. 'ඊඩිපස්' නාට්‍යයේ තියෙන්නේ යමෙක් ඛේදවාචකයට යනවා තමා වෙනුවෙන් නොව අනෙකා වෙනුවෙන් සත්‍ය සොයාගෙන ගිහින්. මුළු රටම දුර්භික්ෂයකින් වෙලිලා තියෙද්දී ඊඩිපස් වැනි නායකයෝ කරන්නේ ඒකෙන් තමාව හා තම පවුල විනාශයට පත් උනත් ඒකට හේතුව හොයලා සමාජයට පිළියම් හොයන ඒක. නමුත් මේ සමාජ ක්‍රමයේ එහෙම පාලකයෝ නෑනේ. අන්න එහෙම පාලකයෙක් මට උවමනා උනා. මං 'බර්නාඩා' කරේ රාජ්‍යයක් සංකේතවත් කරමින්. ගර්සියා ලෝකාව එවකට රාජ්‍ය පාලකයා විසින් මරා දමන්නේ ඒ තුළ තිබුණු දේශපාලනය වටහාගෙන. 'ලයිසිස්ට්‍රාටා' උනත් එහෙමයි. මං නිර්මාණ තෝරා ගන්නේ එහෙම දැනුවත්කමකින්. නමුත් අපි එහෙම කරපුවහම ඒවා මිනිස්සු ගාවට ගෙනියන්න අවශ්‍ය කරන විචාර සංස්කෘතියක් අපිට නෑ. දැන් විචාරකයෝ ප්‍රහසනයයි සුඛාන්තයයි අඳුරන්නේ නෑ. ඔවුන්ට හසුවෙන්නේ බලන්න කරන නාට්‍ය. රසවිඳින්න හදන නාට්‍ය ඔවුන් තෝරාගන්නේ නෑ. දැන් නාට්‍ය විචාරකයෝ තමන් මාක්ස්වාදී නම් ඒ ගුණ තමයි නාට්‍යයෙන් හොයන්නේ. තමන් පශ්චාත් නූතනවාදී නම් ඒ ගුණ හොයනවා. විවෘත නාට්‍ය විචාර සිදුවෙන්නේම නැති තරම්. ඒ නිසා හොඳ නිර්මාණ සමාජගත වෙන්නේ නෑ. එවිට ඒවායේ තිබෙන දේශපාලනය ඉස්මතු වෙන්නේ නෑ.

මේ දේශපාලන සන්දර්භයත් එක්ක ඔබගේ මීළඟ නිර්මාණය ස්ථානගත කරලා කතා කළොත්?

මීළඟට මං කරන්න හිටියේ විලියම් ශේක්ෂ්පියර්ගේ 'මැක්බත්' නාට්‍ය. නමුත් නිෂ්පාදනයට මුල්‍යමය අර්බුදයක් නිසා මං ශේක්ෂ්පියර්ගෙම 'මිඩ්සමර් නයිට් ඩ්‍රිම්ස්' නාට්‍යය තෝරා ගත්තා. විශේෂයෙන් සුඛාන්තය හා ප්‍රහසනය අතර වෙනස ප්‍රේක්ෂකයින්ට මේකෙන් පෙනෙයි. ප්‍රේමය කියන විෂයය සම්බන්ධයෙන් බොහොම ගැඹුරු කියවීමක් මෙහි අන්තර්ගතයි. තමාගේ මිතුරාගේ පෙම්වතිය ගැන ආදරයක් ඇති වුවහොත් සහ ඒ පෙම්වතිය පෙරලා තමන්ට ආදරය කළහොත් කියන ප්‍රේමයේ ගැටුම අද පරපුර කොහොම විසඳ ගනියිද කියන ඒක උභතෝකෝටිකයක්. නමුත් ශේක්ෂ්පියර් ක්‍රි.ව. 1500ක තරම් ඈතක මේ ගැන කතා කරනවා වඩා මානුෂීයව. ලංකාව තුළ මේ නාට්‍යය දෙවරක් නිෂ්පාදනය වෙලා තියනවා. නමුත් ඒ දෙවරම ඒ නාට්‍යයේ තියන ප්‍රසාංගික ගුණය තමයි ඉස්මතු වුනේ. මෙවර අපි ඉන් එහාට ගිහින් ප්‍රසාංගික ගුණය වගේම මානුෂීය කියවීමක් ඊට දෙන්න උත්සාහ කරනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Priyankara Rathnayake, Sri Lankan Dramatist, University of Kelaniya, Drama and Theater Unit, Academic players, The Seagull, Anton Chekhov, Hamlet, A Midsummer Night's Dream, William Shakespeare, Sinhala Drama, Sri Lankan Drama
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප‍්‍රනීත් චානක මුරමුදලිගේගෙන් තවත් වියමන්
රංග
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
කතා-බස්
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
රංග
මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක්
රංග
සිංහල වේදිකාවට ඇත්නම් 'පැන්තම්'..!
රංග
2014 රාජ්‍ය නාට්‍ය උළෙල සහ දිගු නාට්‍ය හටන
තවත් රහ කතා-බස්
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'
මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු
බාල ස්කාගාරයක මත්පැන් බෙදනවා වගේ බොළඳ හාස්‍යයෙන් වර්තමාන වේදිකාව පිරිලා..!- අකිල සපුමල්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook