Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
උස් මිටි
බූන්දි, 23:16:22
එයා සේපාලිකා. හරි පොඩි පාටයි. පොඩි පාටයි කිව්වට පොඩිම නෑ. ඇඟේ උස් වෙන්න ඕන තැන් උසටත්, රවුම් වෙන්න ඕන තැන් රවුමටත්, හීනි වෙන්න ඕන තැන් හීනියටත් තිබුණා. හැමදේම ගාණට තිබුණට උස තමයි මදි. ඕන්නං අඩි පහක් උස ඇති. ඊටත් අඩුද මන්දා. මම හැමදාම ප්‍රාර්ථනා කළේ උස කෙල්ලෙක් මට ලැබෙන්න කියල. ඇත්තටම නං මම ලැබුණු දේවල් ගොඩක් ප්‍රතික්ෂේප කරපු කනෙක්. අවුරුදු තිස් අටක් තිස්සෙ ලැබුණු දේවල් මම ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ මේ කොට කෑල්ලට හිත යවාගන්නද ? මට වඩා අඩියක්ම කොට කෑල්ලක් ළඟ දෙකට නැවෙන්නෙ කොහොමද මම. මගේ ළඟටම උස රූප සුන්දරියො ඉඟිබිඟි පානකොටත් මම අහක බලාගෙන තියෙනවා. කොටින්ම කියනවා නං මගේ මාන්නෙ උසයි මටත් වඩා. ඒක අවුරුදු තිස් අටක් තිස්සෙ නොබිඳී පවත්වගෙන යනකොටම කරපු පෙර පව් පල දෙන්න පටන් ගත්තා. මේ කෙල්ල කොහොම මේ ඔෆිස් එකට ආවද මන්දා. මං හිතන්නෙ චෙයාර්මන්ගෙ කනෙක්ෂන් එකක් වෙන්න ඕන. ඇත්තටම නං සීවී එක ගියෙ මං හරහා මං ඒක ඕකේ කරානෙ. ඒත් සීවී එකකින් කොහොමද මූණ ඇඟ පත පේන්නෙ. අනික ඉතිං ඉන්ටර්වීව් කරත් මං කොහොමද දැනගන්නෙ මට මේකිගෙන් මෙහෙම බලපෑමක් වෙයි කියල. මම මේ ඔෆිස් එකේ ජෙනරල් මැනේජර්. මෙහෙම ගියොත් මගේ මැනේජර් පට්ටමත් කුඩු වෙලා යනවා. අවුරුදු පහක් තිස්සෙ මේ ඔෆිස් එකේ මම මගේ මාන්නෙ රැකගෙන ආවා. ඒත් මේකිව දැක්කම මගේ පපුව රත් වෙලා යනවා. ඒක වෙන්න පටන් ගත්තෙ ටික ටික. ටික ටික දැන් ගොඩ ගොඩ වෙලා. කවද වෙනකං මං මේ හැඟීම් හංගගෙන ඉන්නද ? මටත් වඩා උසට තිබ්බ මගේ අහංකාරකම, මාන්නක්කාරකම දැන් දැන් බල්ලට යාගෙන එන්නෙ. ඒකත් මේ අඩි පහක් උස කොට කෑල්ලක් හින්ද.

හිතල බලන කොට මේකිගෙ මොන ලස්සනක්ද ? ලස්සන කියන්නෙ මේකට නං නෙවේ. ලස්සන ගෑනු කීපදෙනෙක් මගේ ඉතිහාසෙත් ඉඳල තියෙනවා. හමේ කැළලක්වත් නැති ප්ලාස්ටික් වගේ එවුන්. එහෙම බලද්දි මේකිගෙ මොන ලස්සනක්ද ? කොට වුණාට මොකද හයිහීල්ස්වත් දාන්නෙ නෑ. නිකං හීනි පටි සෙරෙප්පු දාන්නෙ. කොණ්ඩෙත් කිසිම පිළිවෙළක් නෑ. එක්කො පෝනි ටේල් එකක් දානවා මෙලෝ රහක් නැති, නැත්තං කොණ්ඩයක් ගොතං එනවා. එක්දාස් නමසිය බරගණන්වල ස්ටයිල්ස් කරන්නෙ. ඇවිල්ලා මාස 3යි. තාම මම දැකලා නෑ ෂෝර්ට් ස්කර්ට් එකක් අඳිනවා. මහ ගොඩේ එකියක්. එ වුණාට මේකෙ ඇතුළෙ ඉන්න කොල්ලො ටිකත් ඒක පස්සෙමයි. ඒකිව බයිට් එකට නොගත්තොත් එදාට මුන්ට නින්ද යන්න නෑ. මේකිත් හිනා වෙවී උන් කියන එවා බාරගන්නා මිසක් රණ්ඩුවට යන්නෙත් නෑ.

ෙමට නං හිතෙන්නෙ මේකිගෙ ඇති ලස්සනකුත් නැති වුණාට වුණාට පිටට පෙන්නෙ නැති මොකද්දෝ රැස් වළල්ලක් විහිදෙනවා පිරිමින්ව පිස්සු වට්ටන. මං හිතුවෙම මං අනික් පිරිමි වගේ නෙවේ කියල. මගේ ඉස්සරහ අයිසිං කේක් ගෙඩියක් ගෙනත් දැම්මත් මට ඕනෙ නැත්තං මං කන්නෙ නෑ. මං ඒ ජාතියෙ. මට ටේස්ට් එකක් තියෙනවා. මං එහෙම ප්‍රතිපත්ති ගරුක මිනිහෙක්. ඒ වගේම මට මගේම කියල නිතිමාලාවක් තියෙනවා අනුගත වෙන්න. මම ආත්මදමනයක් තියෙන පිරිමියෙක්. ඒත් දැං මට මේ පිස්සු ගෑනිව හීනෙනුත් පේන්න පටන් අරන්. රෑ තිස්සෙ හීනෙන් දැක්කම උදේ පාන්දරට ආත්ම දමනයෙන් යුත් අඩි 6 පිරිමියගේ පෞරුෂේ දියවෙලා මිරිකලා යනවා. යට ලීයෙන් පීදෙන නාරිලතා මූණ වෙන කාගෙවත් නෙවේ මේ ගෑනීගෙ. හත් දෙයියෙනේ මට මෙහෙම හදිසි අනතුරක් වෙලාම නෑ. හිතන කොටම ඔන්න එනවා. ‍

"ගුඩ් මොර්නිං සර්"

"මෝනිං"

"සර් මේ චෙක් ටිකට සයින් කරනවද ? මේ සර් අර ඉල්ලපු කෝටේෂන්ස් ටික.."

"මොනවද මේ ? කවුද මේක කරේ ? පොඩි ගාණක් හදාගන්න බැරි එවුන් ද මේ ඔෆිස් එකේ ඉන්නෙ ?"

"ඇ.. ඇයි සර් ?"

"ඇයි ? මගෙ මොළේ නරක් වෙලා කියල හිතුවාද ? මට ගණං හදන්න කැල්කියුලේටර්ස් ඕන නෑ. ඉලක්කං දිහා බලාගෙන ඉද්දි මට ඉබේ ගාණ හැදෙනවා. ඇයි තමුංට බැරි පොඩි වැඩක්වත් හරියට කරන්න. ගිහිල්ලා මේවා ඩබල් චෙක් කරගෙන එනවා."

"ස්.. සොරි සර්."


උදේ ඉඳන් බලං හිටියෙ ඒකි මගෙ ළඟට එනකං. ළඟට ආවම බැණලා එළවගත්තා. මං එච්චර යකෙක් වගේ කෑගහද්දි නිකමටවත් මේකිගෙ මූණ වෙනස් වුණේවත් නෑනෙ. මට බයත් නැද්ද කොහෙද? මං කෑගහනකොට ඔෆිස් එකේ පිරිමිත් හෙල්ලිලා යනවා. ඒකට මේකි. මහ පුදුම ගෑනියෙක්. මන්තරකාරියෙක්ද කොහෙද ? බටකොළ ආච්චිගෙ දුව වෙන්ඩ ඇති. පියාඹන කොස්සකුත් තියෙනවාද දන්නෙ නෑ වාඩි වෙන පුටුව අස්සෙ. ළඟට ආවම තියෙන්නෙත් පුදුම සුවඳක්. මේකි ආවම මුළු කැබින් එකම සුවඳ වෙනවා. පේව්මන්ට් එකේ තියෙන රුපියල් දෙතුන්සීයෙ බාල සෙන්ට් එකක් නං වෙන්න බෑ. අඳින පළඳින විදියට නං බ්‍රෑන්ඩඞ් පර්ෆියුම් එකක් යුස් කරනවා ඇති කියල හිතන්නවත් බෑ. ඒත් මේ එන සුවඳෙ හැටියට එහෙම නොහිතත් බෑ. මේ ගෑනි නං මහ අමුතුම ජාතියක බ්‍රෑන්ඩ් එකක්. මොන කරුමෙකට මාව අහුවුණාද මන්දා.

දැං ඉතිං මමත් මේ ඔෆිස් එකේ ඉන්න අනික් පිරිමි ගොඩටම වැටුණා. ඒත් මට කොයින්ද නිදහසක් උන්ට වගේ. උංට ඕන වෙලාවක "සේපාලිකා" කියලා ඒකි එක්ක කදේ දාගත්තැහැකි. මට එහෙම බෑනෙ. මගේ උස මහතයි තත්වෙයි විතරයි. කට ඇරලා කෙල්ලෙක්ට විහිළුවක්වත් කරගන්න මට බෑ. මං එහෙම කරලත් නෑ. මං හිතන්නෙම ගෑනු සියල්ල මගෙ පස්සෙන් එන්න ඕන කියල. කාලයක් නං ගෑනු එහෙම ආවා. තාමත් එන එවුන් ඉන්නවා. ඒත් ගෑනුන්ට මගේ පිළිවෙළ රුස්සන්නෙ නෑ. පිරිමින්ගෙ තියෙන දුර්වල කම බොහෝවිට ගැහැනු. ඒත් මං ඒ ගොඩට වැටෙන්නෙ නැතුව හිටියා. වැඳ වැඳ පස්සෙන් යන්න දෙයක් තිබුණෙ නෑ මට. වැඳ වැඳ මගෙ පස්සෙන් ආවොත් මිසක්. ඒක එක ගෑනු ඉතිං එක එක රහයි. ඒ හැම ගෑනියෙක්ටම මාව ටික කාලෙකින්ම තිත්ත වෙනවා. උඹලට එපා නං මටත් එපා කියල මමත් සැණෙකින් ඒ හැම ගෑනියෙක්ම අත්ඇරල දැම්මා. මම ප්‍රේමවන්තයෙක් නෙවේ. ඒ වුණාට මම නරක මිනිහෙකුත් නෙවේ. මට තිබ්බෙ ශාරිරික ගනුදෙනු. ටික කාලයක් හරි එකට ඉන්න ගෑනිට මම අවංකයි. එච්චරනෙ වෙන්න ඕන. මට මගේ අධ්‍යාපනය, ශරීර සෞඛ්‍යය, රස්සාව, මගේ සමාජ මට්ටම විතරයි වැදගත් වුණෙ. ඒත් ඒ වැදගතාට මොකද්ද මේ දැං වෙලා තියෙන්නෙ. අඩි පහක් කොට අකවුන්ට් ක්ලාක් කෙනෙක්ට හිත ගිහින්. මගේ තත්වෙටයි, වයසටයි, පෙනුමටයි කොහෙත්ම ගැලපෙන්නෙ නැති උලව්වක්. තව ටික දවසක් මෙහෙම ගියොත් මාව පිපිරිලා යයි.

ගෑනියෙක්ගෙ ලස්සන එකක්. ආකර්ෂණ ශක්තිය තව එකක්. ඒක තේරුංගන්න මෙච්චර කල් ගියානෙ. කොල්ලො මිදි ගැට වගේ, උන්ට වයින් වෙන්න සෑහෙන්න කල් යනවා කියල ඉතිං කියල තියෙන්නෙ කට කහනවට නෙවේ වෙන්ඩැති. සේපාලිකා පුංචි පහේ කාන්දමක්. ඒකට එලෝ මෙලෝ නැතුව හැම පිරිමියෙක්ම ඇදෙනවා. පාරෙ හිඟා කන මිනිස්සුත් හිඟාකෑම අතඇරලා සේපාලිකා පස්සෙ එනවා ඇති කියල මට හිතෙන්න පටන් ගත්තා. මේක නං ඔළුව සෝදාගත යුතු ඉතා බරපතල තත්වයක්. මට මේ තරං තෘෂ්ණාබරිත වෙන්න මේ පොඩි එකී ළඟ මොනවද තියෙන්නෙ. අපි දෙන්නා එක ළඟ හිටගත්තත් කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ. අපි දෙන්නගෙ හිත් දෙක එක ළඟින් තියාගත්තොත් ඒත් ගැලපෙන දෙයක් හොයාගන්න බැරිවෙයි. මේ බොඩි කෙමිස්ට්‍රි කියන එක හොයාගත්තෙ මොකාද ? මොකා වුණත් ඌට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා. ඒත් ඇයි ඌ මේකට ප්‍රතිදේහ හොයාගත්තෙ නැත්තෙ.

මේ හිසරදෙන් මිදෙන්න මම සේපාලිකාගෙ අඩුපාඩුම හොයන්න ගත්තා. ඒකි ඔෆිස් එකට ආපු දවසෙ ඉඳන් මම කරේම ඒක තමා. කරපු පොඩි වැරදිවලටත් මහ හයියෙන් බැණ්නා. මම මොනතරං නපුරු කං කළත් මේ කෙල්ල නෙවේ මාව තුට්ටුවකට මායිම් කළේ. මං කෑගහන වෙලාවට කිසි එකෙක් මගේ ඇස් දෙක දිහා බලං ඉඳලා නෑ. ඒත් මේකි බලං ඉන්නවනෙ. මං හිතන්නෙ ඒ ඇස්වලට මං බය වුණා. වෙන කෙල්ලෙක් නං අඬයි. ඇස්වලට කඳුළු පුරෝගෙන බිම බලං ඉඳී. මම මෙච්චර කල් මේ ඔෆිස් එකේ දැක්කෙ එහෙම කෙල්ලො. මේකි නං මාර දූතියක්. සිද්ධාර්ථ කුමාරය බුදු වෙන්න හදද්දි ඒක වළක්වන්න වසවර්ති මාරයා පරිනිම්මිත වසවර්තියෙන් බිමට බස්සන්න ඇත්තෙ මේ වගේ බඩු කෑලි ටිකක් වෙන්න ඇති. හැම එකාම ලස්සනට ආවෙ නෑනෙ. ඉස්සෙල්ලා ලස්සන ගෑනු. පස්සෙ සෙක්සි ගෑනු. අහිංසක ගෑනු, කළු ගෑනු, සුදු ගෑනු ඊටත් පස්සෙ උස ගෑනු, කෙට්ටු ගෑනු, මහත ගෑනු, තරුණ ගෑනු, මැදිවියේ ගෑනු, ළමයි හම්බුවෙන්න ඉන්න ගෑනු ... නානාප්‍රකාර වේසයෙන් එව්වනෙ. ඒ විදියට හිතන්න මාරයටත් මොන තරං පිරිමි ගැන දැනුමක් තියෙන්න ඇත්ද ? ඇයි ඉතිං ඌත් පිරිමියෙක්නෙ. ඌ දන්නවා ඕන පිරිමියෙක් වශී වෙන මොනයම්ම හෝ මොඩල් එකක් හෝ දෙක තුනක් ඉන්නවා මේ ලෝකෙ කියල. සමහර පිරිමින්ට නම් ගෑනිගෙ නාඩි වැටුණත් ඇති. ඒත් අපි වගේ යම් කිසි තත්වෙක ඉන්න එවුන්ට එහෙම බෑනෙ. මම ඉතිං සිද්ධාර්ථ කුමාරයා නෙවේ. කෙළෙස් නසන්න හිතලවත් නෑ. ඒත් මගේ මාන්නෙ පොළවට පස් කරන්න මේකිව පොළවට එවල ඇත්තෙත් මාරයාම තමයි. මට හදිස්සියෙ මේ බුද්ධාගම මතක් වෙන්නෙ ඇයි මන්දා. මෙහෙම ගියොත් ගිය ආත්මෙත් මතක් වෙලා අන්තිමට මට හා හා පුරා කියල මේකිගෙ පස්සෙ වැඳ වැටෙන්න වෙයිද කුස රජ්ජුරුවො පබාවතී පස්සෙ ගියා වගේ. අනේ දෙයියනේ එහෙම නං වෙන්න එපා. නැත්තං ඔළුවෙ තියෙන ඒවා මූණෙන් පේන්න තව වැඩි දවසක් යන්නෙ නෑ. මාව මුළු ඔෆිස් එකටම මාට්ටු වෙයි. මාත් පිරිමියෙක් ඒත් මටත් හැඟීම් දැනීම් තියෙනවා. ඒත් ඒවා පෙන්නන එක මගේ විදිය නෙවේ.

*******

අලුත් ඔෆිස් එක හරිම නිස්කලංකයි කියල මං හිතුවට. එක ගෝරනාඩුවක් තියෙනවා. ඒ අපේ බොස්ගෙ. එයාගේ වැඩේ කෑගහන එක. මට හිතෙන්නෙම කෑ ගහන්නෙ මට විතරයි කියල. ඔෆිස් එකේ අනිත් අයට නම් ඒ ගෝරනාඩුවෙ ගාණක් නෑ. එයාලට පුරුදුයි. ඇත්තම කියනවා නං බොස් කෑගහන්නේ, කෑ ගහන්න තරං වැරැද්දක් කරොත් තමයි කියල හැමෝම කියන්නෙ. එයාගෙ මේ මිලිටරි රූල්ස්වලට හැමෝම බය නිසා අපේ ඔෆිස් එකේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ පර්ෆෝමන්ස් හොඳයි. වැරදීම් සිදුවෙන්නෙ අඩුවෙන්. හැමෝම වෙලාවට වැඩට එනවා. ඒවගේම පඩි වැඩිවෙනවා. බෝනස් දෙනවා කියලා එහෙම තමයි කියන්නෙ. ඒ කියන්නෙ කොච්චර කෑගැහුවත් ලොක්කා තමන් යටතේ ඉන්න මිනිස්සුන්ට හොඳට සලකනවා කියන එකනෙ. මම ඉතිං මේ ඔෆිස් එකට ගිහින් තාම මාස තුනයිනෙ. මට තේරුං ගන්න බැරි මොනවහරි සිද්ධ වීගෙන එනවා. එක්කො මගෙ වරද. නැත්තං බොස්ගෙ වරද. එයා මට හරිම අසාධාරණ විදියට කෑගහනවා. මට වැඩිපුර කෑගහනවා.

ඇත්තම කියනවා නං මට පාපොච්චාරණයක් කරන්න තියෙනවා. මගේ අතින් නොදැනුවත්ව වෙන වැරදිත් තියෙනවා ඒ වගේම මම හිතා මතා වැරදි කරන දවසුත් තියෙනවා. ඒ එයාගෙ කැබින් එකට ගිහින් එයා කෑගහන එක බලං ඉන්න ඕන නිසා. ඇත්තටම මට නං පිස්සුද කොහෙද. අපේ බොස්ව මට පේන්නෙ හින්දි නළුවෙක් වගේ. එයා හරිම උසයි. අඩි 6ක් විතර. ඊටත් වැඩි ඇති. ඒ වගේම සුදුයි. සුදුයි කියන්නෙ කහ පාටයි. ඇස් දෙකේ ළා දුඹුරු පාටක් තියෙනවා. තොල් දෙකේ ළා රෝස පාටක් තියෙනවා. කෙල්ලෙක් වුණානං පිරිමි පිස්සු වැටෙයි. නමුත් මෙයාට ගෑනු පිස්සු වැටෙන් නැතුව ඇති. ඇයි ඉතිං සද්දෙ වැඩියිනෙ. මූණෙ හිනාවක් මම මේ මාස 3ටම දැකලා නෑ. කොච්චර ලස්සන වුණත්, අප්‍රසන්න ගෝරනාඩු පිරිමින්ට සාමාන්‍ය ගෑනියෙක්ට හිත යන්නෙ නෑ. මං මේ කියන්න යන්නෙ මම අසාමාන්‍යයි කියල නං නෙවේ. ඒත් මම අපේ බොස්ට ආසයි. දවසින් දවස ඒ ආසාව වැඩි වෙන්නෙ ඇයි? මගේ හිත ගන්න කිසිම දෙයක් මෙයා කරන්නෙත් නෑනෙ.

එයා අමිතාබ් බච්චන් තරුණ කාලෙ වගේ. ඒ වුණාට අභිශේක් බච්චන් වගේ නං නෙවේ. අභිෂේක් පුතා වුණාට අමිතාබ්ගෙ පෞරුෂය අභිෂේක්ට ගෑවිලා විතරයි තියෙන්නෙ. බොස් හරිම පිළිවෙළයි. එයාගෙ මෙසේ උඩ හැමදේම තියෙන්නෙ පිළිවෙළට. පෑනක් උනත් තියෙන්නෙ අංශක අනූවට. මම ගෑනු ළමේක් වුණාට මගේ නං එච්චර පිළිවෙළක් නෑ. මම එක දවසක් උත්සහ කරා පිළිවෙළට ඉන්න නමුත් පැයකට පස්සෙ මට තේරුණා මට එහෙම බෑ කියල. එයාගෙ ඇඳුම පැළඳුම් පවා හරිම පිළිවෙළයි. ලස්සනට අඳිනවා. ෂර්ට්වල රැල්ලක්වත් නෑ. එයා හරියටම අට හමාරට ඔෆිස් එකට එනවා. වෙලාව නොවරදවා තමයි වැඩ. ඉතිං මම හැමවෙලේම එයාට වඩා විනාඩි පහකින්වත් ඉස්සරවෙලා එන්න උත්සහ කරනවා. මොකද බොස් ඔෆිස් එකට ඇතුළු වෙන තැනින් තමයි මගේ මේසෙයි පුටුවයි තියෙන්නෙ. එයා මගෙ ළඟින් ඇවිදගෙන යනකොටම මට එනවා පුදුම සුවඳක්. එයාගෙ ඇඟේ හැපිල එන සුළඟත් හරිම සුවඳයි. මාව ඒ පස්සෙන් ඇදිලා යනවා වගේ. එයා දවසක් ඇර දවසක් නානවා. මම ඒක හරියටම දන්නෙ නෑවට පස්සෙ වතුර සුවඳත් එක්ක විලවුන් සුවඳ මුසු වෙලා එන පිරිසිදු සුවඳ මට වෙන් වෙන්ව අඳුනගන්න පුළුවන් නිසා. මං ඒ මොහොතට හරිම ආසයි. ඒ වෙලාවට තත්පර කීපයකට ඇස් පියාගත්තම මට පේන්නෙ අමිතාබ් රාණි මුඛර්ජි එක්ක රඟපාන බ්ලැක් ෆිල්ම් එකේ සීන් එකක්. හැබැයි ඒකේ ගස් වටේ යන සීන් එකක් නෑ. මම ඉතිං එහෙම එකක් හදාගත්තා. රානි මුඛර්ජි වුණත් වැඩිය උස නෑනෙ. ඕන්නං මං තරං උස ඇති. හැබැයි ඉතිං මං එයා තරං ලස්සන නැති එක ඇත්ත. අනේ මන්දා මං මේ මොනව හිතනවද කියල.

සර් අහන්නෙ පරණ ඉංග්‍රීසි සිංදු කියල සර් එක්ක කාර් එකේ ගිහින් තියෙන කෙනෙක් මට කිව්වා. අනේ මට නං එච්චර උසස් රසවින්දනයක් නෑ. මට එච්චර ඉංග්‍රීසි දැනුමකුත් නෑ. එයා බර පොත් කියනවනවත් ඇති. ඒ වුණාට මට නං පොත් කියවන පුරුද්දක් ඇත්තෙම නෑ. මම හරිම සරල කෙල්ලෙක්. මම දන්නෙ ආත්තම්මා කියල දීපු බණ කතායි. අම්මා කියල දිපූ ජන කතායි. මම බලන හින්දි කතායි විතරයි. මම ආස ඒවට විතරමයි. පොත් කියවද්දි මට නින්ද යනවා. ඒත් ඉතිං මිනිස්සු ගැන තේරුං ගන්න පොත් කියවන්නම ඕන නෑනෙ. මට මනුෂ්‍ය හැඟීම් ගැන නං අවබෝධයක් තියෙනවා. ඒකනෙ මට අපේ බොස් කොච්චර කෑගැහුවත් එයාගෙ ළා දුඹුරු පාට ඇස් අස්සෙන් එයාගෙ හොඳ හිතේ සුදු පාටක් ළාවට පේන්නෙ. ඒ හිත එයා කාටවත් පෙන්නලා නැති හැඩයි. එයා කෑගහනකොට තමයි මට වැඩිපුරම එයාගෙ හිත පේන්නෙ. අනේ ඒ ඇස් දෙක කොච්චර ලස්සනද! ඇයි එයා කසාද බැඳලා නැත්තෙ? වයස නං තාම තියෙනවා. පිරිමින්ට ඉතිං හතළිහේදිත් වයස විස්සක කෙල්ලෙක් වුණත් බඳින්න පුළුවන්නෙ. ගෑනුන්ට වගේ සාඵල්‍යතා ප්‍රශ්නයක් එහෙමත් නෑනෙ. කල් ඉකුත් වීමකුත් නෑනෙ. එයාගෙ හැඳුනුම්පතේ පිටපත් මං ළඟ තියෙන නිසා මං දන්නවා වයස තිස් අටයි කියල. එයා කෑගහන කොට මූණ රතු වෙලා ඇස් දෙක දෙපැත්තෙන් හීන් රැළි මතු වෙන කොට මං හරි ආසයි. එයා මට බනිනකොටත් මං බලං ඉන්නෙ එයාගෙ ඇස් දෙක දිහා. ඉතිං මට මොනව කියල කෑගහනවද කියල හරියට ඇහෙන්නෙත් නෑ. එයයි මමයි නං පොඞ්ඩක් වත් ගැලපෙන ජෝඩුවක් නෙවේ. එයා කවුද ? මම කවුද ? ඒත් මට හිතෙන දේවල් වළක්වන්න බෑනෙ. මං එයාට ආසයි. මම හැම රෑකම නිදාගන්න කළිං ප්‍රාර්ථනා කළා එයාට මං ගැන පොඩි කරුණාවක් හරි දැනිලා එක දවසක් මාත් එක්ක හිනා වෙන්න හිතෙන්න කියල. මං කවදාවත් එයාගෙ හිනාව දැකලා නෑ. හිනාව දැක්කොත් නං ආදරේ හිතෙන්නත් බැරි නෑ. ඒත් කමක් නෑ එයා මට හිනා වෙනවා නං ආදරේ හිතෙන දුකත් මම කොහොමහරි විඳගන්නංකො.

මොකක් වෙලාද මන්ද හිටිගමන් බොස් මට කෑගහන එක නතර වුණා. එයාට අසනීපයක්ද කොහෙද. මම පිට පිට වැරදි කරගෙන ගියත් එයා වැරදිච්ච තැන් පෙන්නුව විතරයි මට කෑගැහුවෙ නෑ. මම හොඳටම බය වුණා. එයාට 'කල් හෝ නා හෝ' මූවි ඒකේ ෂාරුක්ට හැදුණා වගේ සුව නොවෙන ලෙඩක්වත් හැදිලද ? සුව නොවෙන ලෙඩ හැදුනා කියල දැනගත්තම මිනිස්සු තමන්ගෙ නපුරුකම් අත්අරිනවනෙ. ඒත් එයා වැරදිලාවත් හිනා වුණේ නං නෑ. එයාගෙ මූණත් දවසින් දවස මැළවෙන්න පටන් අරන් තිබුණා. එහෙම පෙනුනෙ මට විතරද ? සුදු මූණ සුදුමැලි වෙලා. දෙයියනේ එයා මැරිලා යයිද . ඒහෙම හිතෙන කොටම මගේ ඇස්වලට කඳුළු එන්න පටන් ගත්තා. එදයින් පස්සෙ හැම රෑකම මම ඇඬුවා. අනේ එයා සුවපත් වේවා කියලා පැතුවා. දවසක් එයා මට වැඩ වගයක් තියෙනවා කියල හවස ඉන්න කිව්වා. මම දෙපාරක් හිතන්නෙ නැතුව "හා" කිව්වා. අනේ මන්දා අපේ ඩිපාර්ට්මන්ට් එකේ නෙවේ වෙන ඩිපර්ට්මන්ට් එකක වැඩද කොහෙද ඒවා. මොනව වුණත් බොස් දෙන වැඩ මම හරස් ප්‍රශ්න අහන්නෙ නැතුව කරන්න එපායෑ. මම ඒවා කියපු විදියටම කළා. මැක්ඩොනල්ස් එකෙන් කෑමත් ගෙන්නලා දුන්නා. හැපි මීල් එකකුත් තිබුණා. හැපි මීල් ? ? එයා හිතන්නෙ මම බබෙක් කියලද? ?

මම ඔක්කොම වැඩ ඉවර වෙලා එයාගෙ කැබින් එක ළඟට ගියා. මට පෙනුනා. එයාගෙ මේසෙ හොඳටම අවුල්වෙලා. පෑන් බිම වැටිලා. එයා ඔළුවෙ අත ගහගෙන කල්පනා කරනවා. ඇත්තටම එයා අසනීපෙන්. හුඟක් ආඩම්බර නිසා කාටවත් කියාගන්නත් බැරුව ඇත්තෙ. මගේ ඇස්වලට කඳුළු පිරීගෙන ආවා. ඇයි මට මෙච්චර දුක. ඒත් අද නං ඕන එකක් වෙන්න කියල මේ ගැන අහල දැනගන්න ඕන. ඔෆිස් එකේ කවුරුවත් නෑනෙ. ගුටි කෑවත් කමක් නෑ. ඒත් මගේ කකුල් වෙව්ලන්න ගත්තා. ඒත් මම කැබින් එක ඇතුළට ගිහින් බොස් ළඟින්ම හිටගත්තා. එයා වාඩි වෙලා හිටියත් මම එයා ළඟින් හිටගත්තම අපි දෙන්නා ඇස් මට්ටමෙන් හිටියෙ. එයා මාව දැකල කළබළ වුණා. මාව දැකල නෙවේ ඇත්තටම මගේ කඳුළු දැකල.

"ඇයි සේපාලිකා, ඇයි අඬන්නෙ? බය වෙන්න එපා මං ගෙදරට ගිහින් දාන්නං.."

"නෑ සර් මට ඒකෙ සැකයක් නෑ."

"ඉතිං ඇයි අඬන්නෙ?"

"මට දුකයි."

"දුකයි ?"

"සර් ගැන"

"මං ගැන? ?"

සර්ට සනීප නෑ නේද? සර් ලොකු දුකකින් නේද ඉන්නෙ? ඒත් සර් කාටවත් කියන්න කැමති නෑ. මං දැන් සති දෙකක් තිස්සෙ බලාගෙන හිටියෙ. සර්ගෙ පපුව ඇතුළෙ ලොකු දුකක් තියෙනවා නේද? සර්ගෙ ඇස්වලින් ඒක පේනවා. සර් දැන් මට බණින්නෙත් නෑ. සර්ට සනීප නෑ නේද? මට දුක හිතෙනවා. මට වෙන මොකුත් කියන්න තේරෙන්නෙ නෑ."


අන්තිම වාක්‍ය කියාගෙන යනකොට මට ඉකිගැහිලත් ඉවරයි. එයාගෙ වීදුරු මේසෙ උඩට සට සට ගාලා කඳුළු වැටුණා. මං අඬල ඉවරවෙනකම්ම එයා මගේ මූණ දිහා බලං හිටියා. එයාගෙ ඇස්වල තිබුණෙ අදහාගත නොහැකි ස්වරූපයක්.

"මං ගැන කවුරුවත් මේ තරං දුක් වෙලා නෑ. අනික මං සේපාලිකාට තරං සැරෙන් වෙන කාටවත් කතා කරලත් නෑ. ඉතිං මං දුකෙන් ඉන්න එක ගැන සතුටු නොවී ඇයි ඔයා අඬන්නෙ?"

"සර් මට කොච්චර බැන්ණත් මට ඇහෙන්නෙ නෑ. සර්ගෙන් බැනුං අහන්න මං ආසයි. සර් ඔය පෙන්නන තරං නපුරු නෑ කියලමයි මට හිතෙන්නෙ. මට සමාවෙන්න මෙහෙම කියනවට. මම මෙහෙම කතා කරන එක සුදුසු නෑ."


*******

සේපාලිකා කියන නම තමයි එයාට හරියටම ගැලපෙන්නෙ. අහිංසකයි. පුංචියි. සිරියාවන්තයි. කරුණාවන්තයි. ආදරවන්තයි. දුර්ලභයි. මං එයාට බණින එක නතර කළේ එයා අහිංසකයි, මං මෝඩයි කියල මටම තේරුංගන්න පුළුවන් වුණ නිසා. ඒත් එයා මගෙන් බැණුං අහල තියෙන්නෙ ආසාවෙන්. මට එයාගෙන් ගැලවීමක් නෑ කියල තේරුණාම මම මගේ මාන්නෙ අතඇරලා එයාට කැමතියි කියන්න අවස්ථාවක් හොයමින් උන්නා. බොරු වැඩ දීලා රෑ වෙනකං තියාගත්තා. ඒවගේම මට අකමැති වෙන පළවෙනි ගෑනි තමයි සේපාලිකා කියල මම පූර්ව නිගමනයකටත් එළඹිලා පරාජය හිස මතින්ම තියං හිටියා. මං ඒකිට කොච්චර බැණලා තියෙනවද ? මට කැමති වෙන්න කිසිම හේතුවක් මං එයාට හදලා දීලා තිබුණෙත් නෑනෙ. ඒත් මට ඕන වුණේ මගේ හිතේ අමාරුව පිට කරගන්න විතරයි. ඒත් එයා මාව එයාගෙ සිහින කුමාරය කරගෙන. "මං ඔයාට කැමතියි සේපාලිකා. ඔයා තමයි මගේ අසනීපේ" කිව්ව ගමන් කෙල්ල ආයෙත් අඬන්න පටන් ගත්තා. එයාට ඒක දරාගන්න බැරිවුණා. මං එයාව පරෙස්සමට ගෙදර ඇරලෙව්වා.

*******

මං එයාගෙන් බලාපොරොත්තු වුණේ හිනාවක් විතරයි. එයා සම්පූර්ණයෙන්ම මගේ වෙන්න කැමති වෙලා ඉඳලා. විශ්වාස කරන්නත් බෑ. හින්දි නළුවෙක් මේ සාමාන්‍ය කොට කෙල්ලෙක්ට කැමති වුණේ මොකටද කියල. දැන් එයා හැම උදේකම මාත් එක්ක හිනා වෙනවා. ලොකු හිනාවක් නං නෙවේ. ඒක පුංචිම පුංචි මන්දස්මිතයක්. ඒත් ඒ හිනාවට මගේ මුළු ඇඟම හිරිවැටිලා දණිස් පවා පණ නැති වෙනවා. ඒ හිනාව වෙන ගෑනියෙක්ට නම් නොලැබේවා කියලමයි මං දැන් පතන්නෙ. එයා කිව්වා ලබන මාසෙ රස්සාවෙන් අස් වෙන්න කියලත්. රස්සාවක් ඕනම නම් අලුත් එකක් හොයල දෙන්නං කිව්වා.

එලොවටත් මෙලොවටත් නැති පිස්සු විකාර ඇඳුම් අඳින්නෙ නැතුව පාට පාට කුර්තා අඳින්න කියල එයා මට කිව්වා. එතකොට මම රාණි මුකර්ජිගෙ ළඟින් යන ගාණට ඉඳියි කියලත් කිව්වා. එයා මට තෝරල දෙන ඇඳුම් හරිම ලස්සනයි. ඇත්තටම අපි දෙන්නා දෙවිදියක්. ඒත් ඒ දෙයාකරයක ලස්සනට අපි දෙන්නම එකඟ වුණා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala short story, manusha Dissanayake
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මනූෂා ප‍්‍රභානි දිසානායකගෙන් තවත් වියමන්
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කතන්දර
මාස තුනක් සහ එක දවසක්
කතන්දර
පාට වලාකුළු අතර හිඳ....
කතන්දර
පස්සෙන් යෑම
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook