Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ
(ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය මගින් 2016 අප්‍රේල් 27 දින, මහනුවර ක්වීන්ස් හෝටලයේදී පැවැත්වූ ආචාර්ය අම්බෙඩ්කර් අනුස්මරණ උත්සවයේදී කළ දේශනය ඇසුරිනි.)
බූන්දි, 20:41:32
භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කර් හෙවත් ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර් ගැන ලංකාවේ අපි බොහෝ දේ දනිමු. මගේ චින්තනය සකස් කරන්නට දායක වූ හෝ මට ආවේශය සපයන්නට සමත් වූ හෝ නූතන ඉන්දියානුවෝ කිහිපදෙනෙක් සිටිති. මහත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් තාගෝර්, ජවහර්ලාල් නේරු, බී. ආර්. අම්බෙඩ්කර් ඒ අතර ප්‍රධානය. දැනට ජීවත් වන අය අතර මහාචාර්ය අමර්තයා සෙන්ගේ සංස්කෘතික රචනා මගේ චින්තනයට බලපෑම් කර ඇත. ඔහුගේ ඇතැම් ලේඛන ඔස්සේ අර සිව්දෙනාගේම අදහස් ද පිරිපහදු වී අප වෙත ගලා එන බව කිව යුතුය.

ආචාර්ය අම්බෙඩ්කර් ගැන ලංකාවේ බෞද්ධ අප සිහි කරන්නේ ඉතා ගෞරවයෙනි. ඉන්දියානු කුල පීඩිත දලිත් පසුබිමිකින් පැමිණ ඉහළ මට්ටමේ උගතෙකු වී ඒ දලිත් ජනයා ඉන්දියානු කුල ව්‍යුහයෙන් එළියට ගෙන විමුක්තිය අත්පත් කරදීම පිණිස බුදු දහමට හැර වූ පුවත අපි නිතර සිහි කරමු. බෞද්ධයන් වන අපට එය සතුට දනවන කාරණයකි. එහෙත් සිංහල බෞද්ධයන් වන ඒ කාරණයේදී අප ලබන සතුට එක්තරා ලජ්ජාවක් සහ ස්වයං විචාරයක් මත ද පදනම් විය යුතුය.

ගෞතම බුදුන් වහන්සේ යනු සමාජ පරිවර්තනීය විමුක්තිකාරකයෙකි. උන්වහන්සේ එවකට පැවති භාරතීය කුල ක්‍රමයට අභියෝග කළේ නියම මානව විමුක්තිය සාධානය කිරීම යනු ඒ කුල ධුරාවලිය තුළ සිට කළ නොහැක්කක් බව උන්වහන්සේ දුටු නිසාය. එහෙත් උන්වහන්සේ බුදු දහම ලංකාවේදී නැවත වතාවක් කුල ධුරාවලියක් ඇතුළට උරා ගැනේ. සංඝ සාසනය පවා කුල ධුරාවලිකට අනුව සකස් වේ. බුදු දහම වෙනුවට හින්දු ආගම ලංකාවේ ද මුල් ඇද්දේ නම් මීට වඩා දරුණු කුල ක්‍රමයක් ඇති වන්නට ඉඩ ඇති බව ඇත්තය. එසේ වුවත් බුදුන් වහන්සේ ධර්මයේ සහ ව්‍යවාහාරයේ සමාජ විපර්යකාරක ශක්තිය අපේ සිංහල බුදුදහම තුළින් බෙහෙවින් පහව ගොස් ඇත. ඒ නිසා අප නැවත සිහි කළ යුත්තේ ආචාර්ය අම්බෙඩ්කර් පීඩිත දලිත් ජනයා ගෙන ආවේ අපේ සිංහල බුදු දහම වෙත නොව බුදුන් වහන්සේගේ දහම වෙතය යන කාරණයයි. ලංකාවේ අප අද බුදු දහම වැඩි වශයෙන් භාවිත කරන්නේ අනන්‍යතාව වෙනුවෙන් මිස ආචාරධර්ම වෙනුවෙන් නොවේ. මනුෂ්‍ය යහපත්භාවය පවත්වා ගැනීම වෙනුවෙන් එදිනෙදා පෞද්ගලික මට්ටම්වලදී ඉතා විශිෂ්ට ආචාරධර්ම පද්ධතියක් සේ බුදු දහම භාවිත කරන අපි සමාජමය දේශපාලන තලයේදී බුදු දහම භාවිත කරන්නේ ඉතා ගැටලු සහගත ආකාරවලටය. ඒ නිසා ඒ දේශපාලන බුදු දහමේ ඇතැම් ප්‍රකාශකයන් වන භික්ෂූන් පවා සමාන වන්නේ නාලාගිරි, ආලවක යනාදී දමනය කරනු ලැබිය යුතු චරිතවලට මිස විමුක්තිකාරක ආචාරධාර්මික නායකයින්ට නොවේ. මේ හේතු නිසා අද අප අම්බෙඩ්කර් සැමරිය යුත්තේ අප ගැනම වන ස්වයං-විචාරයක් ද සමගය.

ආචාර්ය අම්බෙඩ්කර්ගේ චරිතාපදානය ලංකාවේ ප්‍රචලිත වෙන්නට බලපෑ තවත් එක් කාරණයක් නම් ඔහු ඉතා පීඩිත කුලයක ඉපිද අධ්‍යාපනයෙන් සාර්ථකත්වය ලබා ඇමරිකාවේ සහ එංගලන්තයේ විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකක් ලැබූ අසිරිමත් කතාවයි. ඔහුගේ චරිතයේ මේ පාර්ශ්වය කියවන කල මට නම් අම්බෙඩ්කර් නම් දක්ෂ දරුවාට විශ්වවිද්‍යාලයට යන්නට මුදල් සපයා දෙන සහ්යාජී රා‍වෝ නම් බැරෝඩාහි මහාරාජා ගැන ඇති වන්නේ පුදුමයකි. ඇමරිකාවේ කොලම්බියා විශ්වවිද්‍යාලයට යන්නට මුදල් සපයා දෙන්නේ ඔහුය. අපේ රටේ සිටි ප්‍රභූවරුන් අතර මෙවැනි කුල පීඩිත හෝ දුප්පත් දරුවෙකුගේ දක්ෂතා හ‍ඳුනාගෙන ඔහුට හෝ ඇයට ආචාර්ය උපාධියක් දක්වා ඉගැන්වූ රදලවරුන් ගැන අසන්නට තිබේද? ග්‍රාමීය මට්ටම්වලින් පාසැල් ගොඩ නගන්නට ඉඩම් පරිත්‍යාග කළ ප්‍රභූවරුන් ගැන මම අසා ඇත්තෙමි. එහෙත් ආචාර්ය කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් වන අවස්ථාවේ ඊට බාධා කළ ප්‍රභූවරුන් ද වූ බව අප අමතක නොකළ යුතුය. මෙසේ අම්බෙඩ්කර්ට උපකාර කළ මහාරාජා හෙවත් ප්‍රාදේශීය පාලකයා ඒ ක්‍රියාව වෙත යොමු කළේ කවරාකාර චින්තනයක් ද යන්න සිතා බැලිය යුතුය. කෙසේ හෝ ඉතා පීඩිත පවුල් පසුබිමකින් පැමිණ ඉහළ මට්ටමේ උගතෙකු වී නිදහස් ඉන්දියාවේ ප්‍රථම අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වීමත්, ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට නායකත්වය දීමත් යන කරුණු නිසාද ආචාර්ය අම්බෙඩ්කර් ලංකාවේ අප අතර ප්‍රකට බව කිව යුතුය.

නිදහස් අරගල දෙකක්

මෙම දේශනයට ලැබී ඇති කෙටි කාලය(විනාඩි 15) තුළ මා තැත් කරන්නේ ආචාර්ය අම්බෙඩ්කර්ගේ චින්තනය සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමටයි. මේ දේශනයේදී මා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ මෙකල මගේ අධ්‍යාපනය බෙහෙවින් උපකාර වන තවත් වැදගත් ඉන්දියානුවෙකු වන රාම්චන්ද්‍ර ගුහාගේ The Makers of Modern India කෘතියයි. එහි සාකච්ඡා වන්නේ නූතන ඉන්දියාව ගොඩනගන්නට දායක වූ ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් පිළිබඳවය.

ආචාර්ය අබ්බෙඩ්කර්ට නිදහස් ඉන්දියාව නිර්මාණය කරන්නට දායක වූ අනෙක් අයට නොතිබුණු අභියෝගයක් විය. ඔහුට නිදහස් අරගල දෙකක් කරන්නට තිබිණි. ඒ නම් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයෙන් තම මවුරට නිදහස් කර ගැනීමේ අරගලය සහ ඉන්දියානු කුල ව්‍යූහයේ පීඩනය වෙතින් දලිත් ජනයා හෙවත් අස්පර්ෂක කුලවල ජනයා බේරාගැනීමේ අරගලයයි. ඒ නිසා ඔහු නිදහස් සටන් දෙකක එකවර යෙදුණු කෙනෙකි. ඒ නිසා විසි වැනි සියවසේ මුල සිටම ඉන්දියානු නිදහස් අරගලයේ නායකයන්ට එරෙහිව ද අරගලයක් කරන්නට ඔහුට සිදු විය. අම්බෙඩ්කර් තර්ක කළේ පීඩිත කුලවල නිදහස සාක්ෂාත් කරගැනීමට නම් ඒ කුල යටත් විජිත ආණ්ඩුවෙනුත් කොංග්‍රස් පක්ෂයෙනුත් නිදහස් විය යුතු බවයි. මේ නිදහස් වීමේ දී නූතන අධ්‍යාපනයෙන් ද, නූතන සමාජචාරවලින් ද පීඩිත කුලවල අය එළිය ලැබිය යුතු බව අබ්බෙඩ්කර් විශ්වාස කළේය.

1930 අගොස්තු 8 වැනිදා පැවති පීඩිත කුල පිළිබ‍ඳ සම්මන්ත්‍රණයේදී ආචාර්ය අම්බෙඩ්කර් මෙසේ කීවේය: "දේශපාලන බලය පීඩිත පන්තිවල උවදුරු දුරලන ප්‍රතිකාරයක් නොවේ. ඔවුන්ගේ ගැලවීම ර‍ඳා පවතින්නේ ඔවුන්ගේ සමාජමය ඉහළයාම මතයි. ඔවුන් තමන්ගේ නරක පුරුදු අත්හළ යුතුයි. ඔවුන් ජීවත් වන නරක ආකාර අත්හළ යුතුයි. ඔවුන්ට අධ්‍යාපනය ලබා දිය යුතුය. ඔවුන්ගේ පරාධීන සංතෘප්තිය අවුල්කරලීමේ විශේෂ අවශ්‍යතාවක් පවතී. එසේම ඔවුන්ගේ සියලු ප්‍රගතිය, ඉහළ නැග්ම සිදු කෙරෙන අභිප්‍රේරකය වන දිව්‍යමය අසංතෘප්තිය ඔවුන් තුළට කා වැද්දීමේ විශේෂ අවශතාවක් පවතී." (BR Ambedkar: A Pillar of Unity. P. 23.)

පීඩිත පන්ති යොදාගෙන ජාතික රාජ්‍යය වෙත දේශපාලන බලය ලබා ගැනීම පමණක් පීඩිත කුලවල විමුක්තිය ඇති නොකරන බව විශ්වාස කළ අම්බෙඩ්කර් පීඩිත කුලවල සමාජයීය සහ අධ්‍යාපනික වර්ධනය වෙනුවෙන් ක්‍රියා කළේය. මෙම උද්ධෘතයේදී ඔහු යොදන 'පරාධීන සංතෘප්තිය' අපගේ විමසුමට ලක් විය යුතුය. තමන්ට දෛවයෙන් හෝ කර්මයෙන් උරුම වී ඇතැයි සැලකෙන කුල පීඩනය පරාධීන මනසින් බාරගෙන, ලද දෙයින් සතුටු වී සිටීම පීඩිත කුලවල ලක්ෂණයක් විය. තමන් හිර වී සිටින ඒ පීඩක ව්‍යුහයෙන් ගැලවීමට නම් පීඩිතයා ඒ පරාධීන සංතෘප්තියෙන් අසංතෘප්තිය කරා ඇහැරවිය යුතු විය. ඒ නිසා තමන්ට උරුම වී ඇතැයි කියන පීඩිතබව පිළිබඳ පීඩිතයාගේ අසංතෘප්තිය දිව්‍යමය අසංතෘප්තියක් සේ ආචාර්ය අම්බෙඩ්කර් දකියි. සමාන්‍ය ආගමික ඉගැන්වීම තුළ සංතෘප්තිය හඳුන්වා දෙන ලබන්නේ දිව්‍යමය දෙයක් ලෙසය. මේ කතාවේදී අම්බෙඩ්කර් දිව්‍යමයත් සේ දකින්නේ අසංතෘප්තියයි. තම ජීවන කොන්දේසි වෙනස් කිරීමට පීඩිත ජනයා අවදි කිරීමට නම් ඒ දිව්‍යමය අසංතෘප්තිය වර්ධනය කළ යුතුය. මේ කාරණයේදී ප්‍රධාන ධාරාවේ කොංග්‍රස් නායකයන් සහ අම්බෙඩ්කර් අතර ඇති වූයේ ගැටුමකි. ලිබරල් මතධාරී කොංග්‍රස් නායකයන් අස්පර්ෂක කුලවල විමුක්තිය වෙනුවෙන් අවංක කැපවීමක් පළ කළේ නැත. අදත් ඉන්දියාවේ දලිත් ජනයාගේ ප්‍රශ්ණ විස‍ඳී නැත්තේ එහෙයිනි.

පීඩීත කුලවල ජනයා ද අනෙක් සියලු දෙනාම මෙන්ම සමාන මනුෂ්‍යයන් සේ මානව ගෞරවය සහ අභිමානය හිමි විය යුතු පිරිසක්ය යන කාරණය වෙනුවෙන් අම්බෙඩ්කර් වෙහෙස නොබලා සටන් කළේය. 1927 වර්ෂයේදී මහාද් නම් කුඩා නගරයේ චවාද්කර් විලෙන් වතුර බීම පීඩිත කුලවල අයට තහනම් කරනු ලැබීය. ඊට විරෝධය පළ කළ උද්ඝෝෂණයේදී ආචාර්ය අම්බෙඩ්කර් කළ කතාවෙන් කොටසක් මෙසේය: "චවාද්කර් විලෙන් වතුර බීලා අපි අමරණීය වෙන්නෙ නෑ. අපි මේ තරම් කාලයක් ජීවත්වෙලා තියෙන්නෙ ඔය විලේ වතුර බීලා නෙමේ. අපි චවාද්කර් විල කරා මේ ගමන යන්නෙ හුදෙක් වතුර බොන්න නෙමේ. අපි එහි යන්නෙ අපිත් අනිත් අය වගේම මනුෂ්‍යයො කියල පෙන්නන්න. ඒ නිසා මේ රැස්වීම කැඳවලා තියෙන්නෙ සමානත්වය පිළිබඳ මූලධර්මය ස්ථාපිත කරන්න."

මේ කතාවේදී ඔහු භාවිත කරන "සමානත්වය ස්ථාපිත කිරීම" යන යෙදුම ඉතා වැදගත්ය. ඔහුගේ අරගලයේ අරමුණ වූයේ ඉන්දීය කුල ව්‍යූහයට එරෙහිව මනුෂ්‍ය සමානත්වය ඇති කිරීමටයි. නිදහස ලබන ඉන්දියාවේදී සෑම මනුෂ්‍යයෙකුම සමාන නොවන්නේ නම් නොවන්නේ නම් එය නිදහස නිදහසක්ද යන ප්‍රශ්නය අසනු ලැබිණ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදීත්, දලිත් ජනයා බුදු දහමට හැරවීමේදීත් ඔහුගේ ඉලක්කය වූයේ මෙයයි. කොංග්‍රස් පක්ෂයේ ඇතැම් නායකයන් පවා විශ්වාස කළේ ඉන්දියාවට ලැබෙන නිදහසේ වැඩි අගය ලැබිය යුත්තේ ඉහළ කුලවල හින්දූන්ට බවයි. අදත් හින්දු ජාතිකවාදීන් මෙසේ කල්පනා කරන බව පෙනෙන්නට තිබේ.

ආචාර්ය අම්බෙඩ්කර් මෙසේ ද කීවේය: "අස්පර්ශකත්වය යනු සරල දෙයක් නොවේ. අපේ සියලු දුප්පත්කම, පහත්භාවය ජනිත කරන්නේ, අප මේ වැටී තිබෙන පිළිකුල් සහගත තැනට අප ගෙනැවිත් තිබෙන්නේ එයයි." මෙම ප්‍රකාශයෙන් ඔහු අදහස් කළේ ඉන්දියාවට නිදහස ලැබීමට පෙරම අස්පර්ශක කුලවල ජනයා ඒ කුල යදමින් නිදහස් විය යුතු බවයි. ඒ දරුණු මනුෂ්‍ය පීඩනයට හේතුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය නොවේ. ඊට වගකිව යුත්තේ ඉන්දීය කුල ව්‍යූහයයි. ඒ ව්‍යූහය තුළට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය වෙතින් නිදහස් ලැබුණත් අස්පර්ශක කුලවලට ඉන් ලැබෙන නිදහසක් නැත.

1935 දෙසැම්බර් මාසයේ පන්ජාබයේ හින්දු සමාජ ප්‍රතිසංස්කරණ සංවිධානයක දේශනයක් කරන්න ආචාර්ය අම්බෙඩ්කර්ට ආරාධනා කරනු ලැබිණි. ඒ එවකට පැවැති යටත්විජිත නීතියෙන් අවසර තිබූ ඇතැම් රැකියා පවා කිරීමට අස්පර්ශක කුලවල අයට අවසර නොලැබුණු කාලයකි. ඊට හේතුව හින්දූන්ගේ විරෝධයයි. මේ නිසා කුල දෘෂ්ටිවාදයට අභියෝග කිරීම අවශ්‍ය කාර්යක් විය. එකී දේශනයේදී ඔහු කුල ක්‍රමය යනු අත්‍යවශ්‍ය ශ්‍රම විභජනයක් යැයි තර්ක කළ ඇතැම් හින්දූන්ට අභියෝග කළේය.

"කුල ක්‍රමය යනු හුදෙක් ශ්‍රම විභජනයක් නොවේ. එය ශ්‍රමිකයන් විභජනය කිරීමක් හෙවත් බෙදා වෙන් කිරීමක්ද වේ."

ශ්‍රම විභජනය ශිෂ්ටාචාරවත් සමාජයකට අවශ්‍ය දෙයක් යැයි ආචාර්ය අම්බෙඩ්කර් පිළිගත්තේය. එහෙත් ඔහු දුටු හැටියට කිසිම ශිෂ්ටාචාරවත් සමාජයක් ශ්‍රම විභජනය හා සමග ශ්‍රමිකයන් ඉහළ පහළ යනාදී වශයෙන් ධුරාවලිගත කරන බෙදීමක් නොකරයි. කුල ක්‍රමය මගින් කෙරෙන්නේ ශ්‍රමිකයන්ගෙන් කොටසක් අනික් ශ්‍රමිකයන්ට වඩා මනුෂ්‍යයන් වශයෙනුත් ඉහළ පිරිසක් යැයි බෙදා දැක්වීමයි. මෙය වැරදි වැඩකි. ආචාර්ය අම්බෙඩ්කර් සිහි කරන සිංහල අපට කල්පනා කළ යුත්තේ අප ද මේ බෙදා දැක්වීම නොකරන්නේද යන්නයි.

එම දේශනයේදී අම්බෙඩ්කර් කුල ක්‍රමය සාම්ප්‍රදායික ශ්‍රම විභජනයක් යැයි තර්ක කළ අයට පිළිතුරු දෙමින් මෙසේ ද තර්ක කළේය: "ශ්‍රම විභජනය සිද්ධ විය යුත්තේ ප්‍රවේණිය අනුව නොව කුසලතාව අනුවය. එය පිය උරුමයෙන් දරුවෙකට ලැබෙන්නක් නොව දරුවාගේ ස්වාධීන කුසලතා මත ලැබිය යුතු දෙයකි. කුල ක්‍රමයෙන් ශ්‍රම විභජනය සිද්ධවන්නේ පියාගෙන් පුතාට හෝ දුවට උරුම වන ප්‍රවේණි ක්‍රමයකටය. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික සහ නූතන ශ්‍රම විභජනයේදී පුද්ගලයාගේ තෝරාගැනීමටද ඉඩ තිබිය යුතුය. එය පුද්ගලයාගේ තෝරාගැනීම මිස පුද්ගලයා මත පැටවූවක් නොවිය යුතුය. කුල ක්‍රමය එවැනි තෝරාගැනීමකට පුද්ගලයාට ඉඩ නොදේ."


ජනවාර්ගික හෝ ජාතික පවිත්‍රත්වය පිළිබඳ දෘෂ්ටිවාදයට එරෙහිව

එම දේශනයේදී ආචාර්ය අම්බෙඩ්කර් කුල ක්‍රමය ආරක්ෂා කළ පිරිසගේ තවත් දෘෂ්ටිවාදයකට පහර දුන්නේය. ඒ නම් කුල ක්‍රමය යනු වාර්ගික පවිත්‍රත්වය ආරක්ෂා කරන විධි ක්‍රමයකියි යන තර්කයයි. පවිත්‍ර වාර්ගික රුධිරය පිළිබඳ මෙම දෘෂ්ටිවාදය මිත්‍යාවක් බව ඔහු පෙන්වා දුන්නේය. එවකට පැවත ජනවංශ විද්‍යාත්මක අධ්‍යයන උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ශතවර්ෂ බොහෝ ගණනකට පෙරම ඉන්දියාවේ ජනගහණය විවිධ ජනවාර්ගික කණ්ඩායම්වල රුධිරය හා මිශ්‍ර වී ඇති බවයි. කුල ව්‍යුහය යනු ඒ මිශ්‍රවීමට පසුව ඇති වූ එකකි. බ්‍රාහ්මණ කුලයේ අයගේ පවා රුධිය විවිධ විදේශීය ජනකණ්ඩායම්වල රුධිරය හා මිශ්‍ර වූවක් යැයි ආචාර්ය අම්බෙඩ්කර් තර්ක කළේය. මේ වූකලී අද ලංකාවේ සිට ජනාවර්ගික අනන්‍යතාවේ පවිත්‍රත්වය ගැන කතා කරන සියලු ජාතිකවාදීන්ගේ ද අවධානයට ලක් විය යුතු තර්කයකි.

එහෙත් හින්දූන් මෙම පීඩක කුල ක්‍රමය පවත්වාගෙන යාම ගැන අම්බෙඩ්කර් චෝදනා කළේ තනි තනි මනුෂ්‍යයන්ට නොවේ. ඒ කුල ක්‍රමය හින්දු ආගමේ කොටසකි. හින්දුන් කුල ක්‍රමය පවත්වාගෙන යන්නේ ඔවුන් ස්වභාවයෙන්ම අමානුෂික නිසා නොව ස්වභාවයෙන්ම භක්තිමත් ආගමිකයන් නිසාය. ඒ නිසා විචාරය එල්ල විය යුත්තේ හින්දු ආගමික ඉගැන්වීම් වෙතය. මේ කාරණයේදී හින්දු ආගමිකත්වය ආරක්ෂා කළ මහත්මා ගාන්ධි සමගද ආචාර්ය අම්බෙඩ්කර් ගැටුණේය. හින්දු ආගමික විශ්වාසවලට දැඩි ලෙස පහර නොදී අස්පර්ශකත්වය ඇතුළු කුලපීඩනය අවසන් කළ හැකි යැයි සිතූ ගාන්ධිට අම්බෙඩ්කර්ගෙන් එල්ල වූයේ දරුණු විචාරයකි. ඒ කාරණයේදී අම්බෙඩ්කර් නිවැරදි බව වර්තමාන ඉන්දියාවෙන් අසන්නට ලැබෙන තොරතුරුවලින්ද පෙනේ.

ආචාර්ය අම්බෙඩ්කර් මෙසේ ද කීවේය: "මගේ මතයේ හැටියට අප සමාජ පර්යාය වෙනස් නොකරන්නේ නම් ප්‍රගතිය යැයි කියා දෙයක් අත්පත් කරගත නොහැකිය. කුලය වැනි පර්යායක් මත පදනම්ව කිසිම වැදගත් දෙයක් ගොඩනගන්නට නොහැකිය. ඒ මත ජාතියක් හෝ සදාචාරයක් ගොඩ නගන්නට හැකියාවක් නැත. කුලය නම් පදනම මත ගොඩනගන ඕනෑම දෙයක් බිඳී ඉහිරී වැටෙන්නේය. ඒ නිසා එවැන්නක් කවාදකවත් සම්පූර්ණ සමස්තයක් ලෙස පවතින්නේ නැත."

මේ ප්‍රකාශය මට දැනෙන්නේ ඉන්දියාව පමණක් නොව සමස්ත දකුණු ආසියාව සම්බන්ධයෙන් කී අනාගත වක්තෘමය කියමනක් සේය. පදනමින්ම ධුරාවලී සහගත වූ ද භේදභින්න කරන්නාවූ ද දෘෂ්ටිවාද මත එකිනෙක මනාව සුසංයෝග වූ රාජ්‍යයක් ගොඩ නැගිය හැකිද? ලංකාවේ අපට මෙවැනි ප්‍රශ්ණ අසන්නට අම්බෙඩ්කර් කෙනෙක් අපේ නිදහස් අරගලය තුළ සිටියේ නැත.

නූතන ප්‍රජාතාන්ත්‍රිකයා

මහත්මා ගාන්ධි වැනි ඉන්දියානු නිදහස් සටනේ නායකයන්ට වඩා ආචාර්ය අම්බෙඩ්කර් වෙනස් වූ ප්‍රධාන කරුණක් වන්නේ බටහිර ව්‍යස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඔහුගේ විශ්වාසය අතිනි. සෑම මනුෂ්‍යයෙකුටම රාජ්‍ය තුළ තිබිය යුතු පුරවැසි අයිතීන් නීතිමය වශයෙන් ආරක්ෂා විය යුතු බව ඔහු විශ්වාස කළේය. නීතිඥයෙකු වූ අම්බෙඩ්කර් නීතිමය වශයෙන් පුද්ගල අයිතිවාසිකම් සහ මානව ගෞරවය ආරක්ෂා කිරීම ගැන විශ්වාස කළේය. නිදහස් ඉන්දියාවේ නීතිය පිළිබඳ පළමු වැනි ඇමතිවරයා ලෙස පත් කෙරුණේ ආචාර්ය අම්බෙඩ්කර්ය. ඔහු ගාන්ධි, නේරු සහ වල්ලභායි පටෙල් වැනි ඉන්දීය කොංග්‍රස් නායකයන්ට විරුද්ධ දේශපාලනයක් කළ කෙනෙකි. එහෙත් නිදහස් ඉන්දියාවේ පළමු ආණ්ඩුව පිහිටුවීමට සන්ධානගත වද්දී නීති ඇමතිධුරය අම්බෙඩ්කර්ට හිමි විය යුතු යැයි ගාන්ධි තර්ක කළේය. නිදහස ලැබෙන්නේ සමස්ත ඉන්දියාවට මිස කොංග්‍රස් පක්ෂයට නොවේ යැයි ගාන්ධි පෙන්වා දුන්නේය. නිදහස් ඉන්දියාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රචනා කිරීමේ ප්‍රධානත්වය පැවරුණේ ආචාර්ය අම්බෙඩ්කර්ටය. ඔහු එය සාර්ථක ලෙස නිම කළේය. ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙද්දී ඔහු කළ කතා අදටත් ආනුභාවසම්පන්නය.

ඉතා දැඩි ආගමික විශ්වාස මත භේදභින්න වූ සමාජයක් වූ ඉන්දියාවේ ව්‍යවස්ථාමය තර්කනය ස්ථාපිත කිරීම ඔහු මුහුණ දුන් එක් අභියෝගයක් විය. ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ජනරජයක සියලු පුරවැසියන්ට පවරා දී රාජ්‍ය ආයතන මගින් ඒ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවීමට නම් සමාජයක ව්‍යවස්ථාමය සදාචාරය තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් ආචාර්ය අම්බෙඩ්කර් මෙසේ කියයි: "ව්‍යවස්ථාමය සදාචාරය ස්වභාවික මනෝභාවයක් නොවේ. එය වගා කළ යුත්තකි. අප ජනතාවය එය තාමත් ඉගෙනීමට තිබෙන දෙයක් බව අප අවබෝධ කරගත යුතුය. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු අත්‍යයන්තයෙන්ම නිර්-ප්‍රජාතාන්ත්‍රික වන බිමක කරන ලද මතු පිට සැරසිල්ලක් පමණි."

ස්වභාවයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී කුල ක්‍රමය වැනි ධුරාවලීගත දෘෂ්ටිවාදයන්ගෙන් සකස් වුණු ඉන්දියානු මනසට ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යවස්ථාමය ආචාරධර්ම හුරුකිරීම යනු කල්ගත වන වැඩකි. මෙය දකුණු ආසියාවේ සෑම රටකම පාහේ තවමත් නොනිමි අරගලයකි. එක පුද්ගලයෙකු පවුලක් හෝ ඒ පවුලේ ඥාති ගණයා ව්‍යවස්ථාපිත නීතියට ඉහළින් නොසිටිය යුතු බවත්, එක් පුද්ගලයෙකු ඡ්‍යෝතිෂ ඇඳුරා කියන කියන පරිදි ව්‍යවස්ථාව උල්ලංඝනය නොකළ යුතු බවත් ලංකාවේ ජනතාවට තේරුම් කරදෙන්නට අපහසු බව පසුගිය කාලයේ ලංකාවේ මහජනතාව හමුවේ සිවිල් සමාජය කළ අරගලයෙන් පෙනිණි. ව්‍යවස්ථාමය ආචාරධර්ම හුරු කිරීමේ කාර්ය නොනැවතී ඉදිරියට යා යුතුය. 2015 වර්ෂයෙන් පසුවත් යම් යම් අවස්ථාවල ව්‍යවස්ථාමය ආචාරධර්ම බිඳ වැටුණු බව අපි දුටිමු.

මෙම කාරණය සාකච්ඡා කළ දේශනයේදීම ආචාර්ය අම්බෙඩ්කර් අද අපටත් වැදගත් වන කාරණයක් ඉතා ආකර්ෂණීය ලෙස පෙන්වා දුන්නේය. "තමන් තෝරාගත් නායකයන්ට භක්තිමත්ව කරන වීර වන්දනය ඉන්දියාවේ ලක්ෂණයකි. ආගමෙහිදී භක්තිය පුද්ගල විමුක්තිය වෙත මග කියන්නට ඉඩ ඇති මුත් දේශපාලනයෙහිදී වීර වන්දනය විනාශයට හේතුවක් ද අවසාන වශයෙන් එකාධිපතිත්වය වෙත මග පෑදීමක් ද විය හැකිය." මෙය විනිවිදින අන්තර්දෘෂ්ටියකි. ලංකාවේ අපට ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් බොහෝ විට කරන්නේ තමන් තෝරාගත් වීරයෙකු වන්දනා කිරීමයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හතුරු ආකල්පයකි. අප දන්නේම නැතිව අපේ වීරයා ඒකාධිපතියෙකු වීමට ඉඩ ඇත. ලංකාවේද මේ තත්ත්වය ඇතිවීමට ගොස් නූලෙන් වලක්වා ගැනීමට හැකිවිය.

ආචාර්ය අම්බෙඩ්කර් වැනි යුගකාරක චින්තකයන් සහ ක්‍රියාධරයන් යළි සිහි කළ යුත්තේ අප ජීවත්වන යුගය වඩාත් ප්‍රජාතාන්ත්‍රික කිරීමට ආවේශය සපයා ගැනීමටය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Bhimrao Ramji Ambedkar, B.R. Ambedkar, Dalit Buddhist Movement, Rabindranath Tagore, Mahatma Gandhi, Jawaharlal Nehru, Amartya Sen, Ramachandra Guha, Gautama Buddha, Buddhism
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ලියනගේ අමරකීර්තිගෙන් තවත් වියමන්
වෙසෙස්
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
වෙසෙස්
විවීගේ විශිෂ්ට කවිය හෙවත් ඉංග්‍රීසියෙන් ලියවෙන අපේ කවිය
පොත්
රන්කරඬුවේ ලූ රන්පතේ කුමක් ලියවී තිබේද?
රංග
තුවක්කුවකියි නොකියන තුවක්කුවකි- අද දවසේ විඥානය පිළිබ‍ඳ නිර්දය පරීක්ෂාවක්
පොත්
නා ගහක් යට- ක්ෂුද්‍රභාවය ඉක්මවන සුන්දර අනිශ්චිතාර්ථවත් බවක් රැගත් කෙටිකතා
තවත් වෙසෙස් බූන්දි
ට්‍රම්ප්...!
ලිංගය සහ ලිංගිකතාව අතර වෙනස- Judith Butler
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා
හැරමිටියෙන් එළියට එන්නට නියමිත අජිත් නිශාන්ත
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ?
අහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ? මා කියන්න අසන්න. සිතිවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනක ද යම් විටෙක ද ඉඩ... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| කුකුල් බය

40-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) ගොවි ගෙදරක හිටියා හරිම හීලෑ උකුස්සෙක්. එයා එයාගෙ ස්වාමියා කතා කළාම ඇවිත් අතේ ලගිනවා, කෑම කනවා. ඒත් මේ ගෙදරම ඉන්න... [More]
කතන්දර| අලුත ගෙනා මනාලිය

8-Mins

(සුනීතා ජෛන් | නිලූක කදුරුගමුව) යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට උවමනාය.... [More]
අදහස්| සම රිසිභාවය වරදක් වූ සමාජයක....

6-Mins

(කසුන් සී. තිලකරත්න) 'පුද්ගලයන් තම උපත, තරාතිරම, තමන් අයත්වන සමාජ කණ්ඩායම සහ තම ලිංගික අනන්‍යතාව යන හේතු මත ලජ්ජාවට භාජනය කරන සමාජ ආයතන... [More]
Cine| ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව

7-Mins

(අශෝක හඳගම) කාමොද්දීපනය කෙරෙන නාරි ලාලිත්‍යයක් උපතින්ම දායාද කරගත් සිල්වියා නම් ස්වීඩන් රංගන ශිල්පිනිය සුප්‍රසිද්ධ ට්‍රොවි වතුර මල වෙතට සක්මන් කරනවා. ඇය... [More]
කතන්දර| වල් බූරුවයි- පොල් බූරුවයි

41-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) දවසක් තවලමක බඩු අදින ජේත්තුකාර බූරුවෙක් තණ බිමක තණ උලාකන වල් බූරුවෙකුව දැක්කා. අපේ සමහර මිනිස්සුන්ට වගේම මේ ජේත්තුකාර බූරුවටත්... [More]
වෙසෙස්| ඇය හෙවත් මැඩෝනා!

1-Mins

(සංඛ කිරිඳිවැල) ඒ 1979 අවුරුද්ද. නිව්යෝර්ක් කියන්නේ හරි භයානක නගරයක්. මම මෙහෙ ජීවත්වෙන්න ගත්ත පළමු අවුරුද්දෙම මාව තුවක්කුවක් පෙන්නලා බයකරලා, වහලක් උඩට... [More]
ඔත්තු| සන්ථව කාව්‍ය විචාර සම්මානය 2017

57-Secs

ශ්‍රි ලංකේය නූතනම කාව්‍ය ව්‍යාපාරය ඔස්සේ කාව්‍ය විචාරය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් සන්ථව ප්‍රකාශන ආයතනය,... [More]
කතන්දර| නිල් මල් ගවුම

13-Mins

(ඉසුරු චාමර සෝමවීර) විදුර ගියා. මං දොර වහලා විනාඩි හතර පහකට පස්සෙ තමා එයාගෙ කාර් එක ස්ටාර්ට් කරනවා ඇහුනෙ. ස්ටාර්ට් කරලත් ඒක ගියෙ... [More]
කවි| නන්දා ....

25-Secs

(රුවන් නෙලූ) ඇන්දා වු සිතුවම් අහස හිමිකරු හිරුද ළා සඳුද
රන්දා ආදරේ බිඳෙන රළ ළඟ වෙරළ නිහඬමද
කැන්දාන එන්නට වරම් නැති හිත අතැර යා යුතුද
නන්දාට ආදරේ දෙන්න පුළුවන් පියල්ට විතරමද

උස් මතක රැඳි රූමස්සලින් බැස දේදුණුත් හංගා... [More]
කතන්දර| මාස තුනක් සහ එක දවසක්

9-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) තරුණයෙක්, තරුණියක පසුපස යයි. එසේ පෙනුණන් දෙදෙනාගේ සංවාදය සමාන්තරව ගමනේ යෙදේ.
ස්ථානය: මහජන පුස්ථකාල පරිශ්‍රය කොළඹ

"යන්න එපා පොඩ්ඩක්... [More]
අදහස්| ආණ්ඩුවේ සමකාමී-සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහිව පෙත්සමක්..

1-Mins

සමකාමීත්වය ලංකාවේ ව්‍යස්ථාපිත නීතියට අනුව ඇතුලත් (365 වගන්තිය) අපරාධ වරදකි. සම ලිංගිකයන්ගේ හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් නීති ගත කරන ලෙස... [More]
වෙසෙස්| දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා

4-Mins

(සරද සමරසිංහ) පසුගිය දා දිවි සැරියෙන් සමුගත් දීපාල් සිල්වා නම්වූ ගායකයා ගැන අපේ රටේ මාධ්‍ය තුලින් ඒ හැටි යමක් කථා නොවෙන්නේ අහම්බෙන්... [More]
ඔත්තු| නූතන කවිය පිළිබඳ සංවාදයක්- ජන. 25

12-Secs

ලක්ශාන්ත අතුකෝරලගේ මෑතකදී නිකුත් වූ කාව්‍ය සංග්‍රහයන් ද්වය ('සමහර කමටහන්' සහ 'සුසුමකින් සුළි සුළඟ') නිමිති... [More]
ඔත්තු| 'රැහැයියනි, රැය ගෙවුණි'- ජනවාරි 21

8-Secs

තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ විසින් රචිත 'රැහැයියනි, රැය ගෙවුණි' කාව්‍ය සංග්‍රහය 2017 ජනවාරි 21 දින සවස... [More]
ඔත්තු| 'බැබිලෝනියන්වරු'- ජනවාරි 21

16-Secs

ප්‍රනීත් චානක මුරමුදලිගේ 'බැබිලෝනියන්වරු' නාට්‍ය ග්‍රන්ථය 2017, ජනවාරි 21 සෙනසුරාදා, සවස 2:00ට, කොළඹ මහජන පුස්තකාල... [More]
ඔත්තු| 'පේ‍්‍රමයට ඉඩක් ඇත'- ජනවාරි 19

13-Secs

සුපුන් අතුකෝරලගේ 'පේ‍්‍රමයට ඉඩක් ඇත' කාව්‍ය සංග‍්‍රහය 2017, ජනවාරි 19 බ‍්‍රහස්පතින්දා පස්වරු 3:30ට, කොළඹ 07,... [More]
කවි| පුංචි බොරැල්ලේ සිද්ධාර්ථ

23-Secs

(සඳුන් ආසිරි අරඹවෙල) එකසිය තුනේ බස් එක එළවන ඡන්න
පාස්පෝර්ට් බැහැගන්නට මොර දුන්න
සසර කලකිරී කොරියාවට යන්න
ආ සිදුහත් බෝධිය ළඟ නවතින්න...

සුදොවුන් සදිසි පියවරු ලොතරැයි ගේන... [More]
කතන්දර| කබායක් පැළැඳි මැදිවියේ කත

4-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) "අලුතෙන් බලන්න දෙයක් නෑ අනේ. දස පණතම තමයි. අක්කටත් එවලා තිබුණේ" මම සිනාසෙන්නට වීමි. අම්මා මගේ සිනාවට අනුබල නො දෙමින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook