Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
දමනය
බූන්දි, 23:55:22
"ඔයාට ඒක කියන්නම වෙනවා." මෙලීසා විසල් කරගත් දෑසින් ජෝෂුවාගේ මුහුණට එබුනාය.

"මගෙ ගැන පූර්ණ විශ්වාසය තියන්න ඔයාට පුලුවන් වෙන්න ඔන. එහෙම නේද? ඇරත්, මේ සිද්ධ වෙච්ච හැම දේකින්ම පස්සෙ." ඇගේ කටහඬ පොළඹවන සුළුය. කුතුහලයෙන් පිරිලාය. ජෝෂුවා තවමත් සිතිවිල්ලේය, නිහඬවය.

"එහෙනම්. හොඳයි, ඔයාගෙ තීරණය ඒකනම්. මම මේ කියන්නෙ ඔයාගෙ අවසාන තීරණය මාව අවිශ්වාස කිරීම නිසා මට මුකුත්ම නොකිය අටු බකමූණෙක් වගේ බුම්මගෙන ඉන්න එකනම්" ඈ සෝෆාවට වැලමිට තබා වාරුගෙන කෙලින් වූවාය. "මම මෙතන තවත් තාවර වෙන එක තේරුමක් නෑ මම හිතන්නෙ."

මෙලීසා සිය රන්වන් කෙහෙ කැරලි දෙපසට පද්දවමින් නැගී සිටියාය. ජෝෂුවා කලබලයෙනි. ඔහුගේ උගුර ඇතුලෙන් පැටලිලි සහිත අපැහැදිලි හඬක් නික්මුණි.

"යන්ඩ එපා. මේ අහන්න. ඇත්තටම, මට ඔයාට කියන්න බැරි දෙයක් නෑ මේ ලෝකෙ. ඔයා දන්නවනෙ. ඒත්, ඒත් ප්‍රශ්ණෙ තමයි ඔයා මේ දේවල් අවිශ්වාස කරන්න තියෙන සම්භාවිතාව වැඩියි. මම කියන්නේ, කතාව හරි මැදදි කොට්ටයක් දෙකක් පොළවෙ ගහලා කේන්තිය ප්‍රකාශ කරලා නැගිටලා යන්න තියෙන සම්භාවිතාවය. එහෙම නොවෙනවනම්..."

"ඇත්තෙන්ම ජෝෂුවා එහෙම වෙන්නෙ නෑ කියල මම ඔයාට අද හවස්වරුවට හය වතාවක් පොරොන්දු වෙලා තියෙනවා." මෙලීසා මද නොයිවසිල්ලෙන් පවසන්නී, දෙවුර හකුලා නොසන්සුන් බවක් පල කලාය.

"හොඳයි එහෙනම්. ඔයා පොරොන්දුව කඩ කරන්නෙ නැත්නම්." ජෝෂුවා බර හුස්මක් පහළ හෙලමින් සෝෆාව මත එරමිණිය ගොතාගෙන ඉදිරියටත් පසුපසටත් පැද්දෙන්නට වූවේය.

"ඔන්න අහගන්න!"

*********

හැමදේම පටන් ගත්තෙ තාත්තට සේවා මාරුවක් ලැබීමත් එක්ක. අලුත් ගෙයක්, ඔව් ඒක ලොකු ගෙයක් තමයි, ඒත් කිසිම සිත් ඇදගන්නා සුළු බවක් නැහැ. අලුත් ඉස්කෝලයක්, වෙනස්ම නීති රීති ගොඩකුත් එක්ක. අලුත් යාලුවො, මම කියන්නෙ, පන්ති සගයො, මොකද එයාල එක්කෙනෙක්වත් මාව යාළුවෙක් විදියට බාරගන්න සූදානමින් හිටියෙ නැහැනෙ. කොහොමහරි, තාත්තගෙ කෙටි දැනුම් දීමකින් පස්සෙ අපි මේ ගෙදර පදිංචියට ආව.

හැමදාම කඩින් කඩ වැහි. මම හිතන්නේ මේ පලාතට ඉර එළියක් වැටෙන්නෙම නැද්ද කොහෙද. ඉර එළිය නැත්නම්, අඩුම තරමේ වැහි නැතුව හිම පතනයක්වත් තිබුනනම් හිත හදාගන්න තිබුනා. ඒත් හැමදවසක්ම ගෙවිල ගියේ වැහියි, තෙතයි, මඩයි එක්ක. ඒ මදිවට මට යාලුවො හොයාගන්න බැරි වුන නිසා, තාත්ත හැමදාම උදේට එයාගෙ ගොම කොලපාට කාර් එකෙන් මාව ඉස්කෝලෙට ඇරලවීම අමාරුවෙන් වුනත් ඉවසන්න සිද්ධවෙලා තිබුනා.

තාත්ත නම් කවදත්, ඕනෑම වෙනසක් දරාගත්තෙ බොහොම නම්‍යශීලීව. මේ විසාල ගෙදරවත්, අලුත් රැකියාවවත්, ලිස්සන වංගු සහිත පාරවල්වත්, අසාමාන්‍ය විදියට අධික බඩු මිලවත් එයාව සසල කලේ නෑ, එකම එක දෙයක් ඇරෙන්න.

ඒ තමයි අපේ වල් වැදුණු ගෙවත්ත.

ඉතින් අපි දෙන්නා තීරණය කලා මෙහෙ පදිංචියට ආපු පළවෙනි සති අන්තයේම ගෙවත්ත පිරිසිදු කිරීමෙන් පටන් ගන්න. දණක් උසට වැවුනු පඳුරු ගොන්න යට තිබුනෙ බොහොම මිල අධික රෝස මල් වගාවක්. ඒවා අමුතු හැඩේ මැටි පෝච්චි ඇතුලෙන් පිටතට වැඩිලා වල් පඳුරු අතරෙන් හුස්ම ගන්න ඉඩක් හොයමින් උන්නා.

වල් ගහනය මෙල්ල කරන්න සම්පූර්ණ සෙනසුරාදාවක්ම වැයවුනා. ඉයෑක්! මගේ අත්ල තරම් විශාල ගොලුබෙල්ලො වල් පඳුරු යටට වෙලා ඇස් ගෙඩි ඩොගිත්තාගෙන අපි දිහා බලාගෙන උන්නෙ තරෙහෙන් පිපිරෙමින්. හරියටම උන්ගෙ නිවාස සංකීර්ණය විනාශ කරන්න ආපු ත්‍රස්තවාදියො දෙන්නෙක් දිහා බලනව වගේ පිලිකුලෙන් සහ වෛරයෙන්. තාත්ත නම් කවදත් වගේ ඒ ගැන පැන්සයක්වත් මායිම් කලේ නෑ. ඒත්, මේ වැහි අඳුරයි, ලිස්සන සුළු සීතලයි නිසාද මන්දා, මගෙ හිතටනම් මහ අමුතු බයක් වගේ හැඟීමක් දැනෙමින් තිබුනා.

ඉරිදා උදේ අපි රෝස පෝච්චි පිළිවෙලකට අහුරන්න පටන් ගත්තා. සමහර රෝස මල් පීරිසි තරම් විසාලෙට වැඩිලා තිබුනෙ කොහොමද කියලා අපි කතා වුනේ පුදුමෙන්. මොකද, ඒවට කාලාන්තරේකින් මිනිස් අත්වලින් සාත්තුවක් ලැබුන බවට කිසිම සලකුණක් තිබුනෙ නැහැ. අපි නොනවත්වාම වැඩ කලා පැය ගානක්. ඉර අව්ව නැති එකේ එකම වාසියත් එච්චරයි. මහන්සිය අඩුවෙන් දැනීම.

අන්න ඒ අතරෙ තමයි මට ඒක හම්බුනේ!

ඒක මහ අමුතු හැඩේ මල් පෝච්චියක්. බයොලොජි ලැබ් එකේ වීදුරු බරණියක දාල තියෙන රෝස පාට මොළගෙඩියෙ හැඩේ මල් පෝච්චියක්. ඒකෙ තිබුනා බොහොම සියුම් කැටයම් දාස් ගානක්. ඇත්තටම දකින මුල් අවස්ථාවෙ ඒ කැටයම් අළු දුඹුරු පාට පෙඳ පාසිවලින් වැහිල තිබුනෙ. මම ඒක ඔසවන්න උත්සාහ කලත්, ඒක පසට මුල් ඇදලා වගේ, එහෙමත් නැත්නම් විසාල කාන්දමකින් අල්ලගෙන ඉන්නව වගේ මහ බරට දැනුනා.

"මේක හොලවන්නවත් බැහැනෙ." මම තාත්තට ඇහෙන්න කෑගැහුවා. දරුණු සාප කිරීමකුත් එක්ක.

"ජෝෂුවා, ඔය විදියෙ වචන වලට ඇබ්බැහි වුනොත් ඔයාගෙ දිව වේළිච්ච ඇකේසියා කොලයක් වගේ ඇඹරිලා, ඇකිලිලා යාවි." තාත්තා කිවුවා. කොහොමත් එයා ඒවගේ කතා කියන්න දස්සයි. මොකද, එයාම කියන විදියට, එයාට තාම මාව පේන්නෙ නැපිය ඇඳගෙන ඉස්තෝප්පුව පුරා බඩගාපු 'හිංචි පිංචි ජෝ පැටියා' විදියටලු.

"ඔය මල් පෝච්චිය එහෙමම තිබුනාවෙ. ඒක එතැනට ගැලපෙනවා. හැබැයි, ඒක බදාගෙන ඉන්න ජරා පෙඳ පාසි තට්ටුවනම් අපිට සූරලා අයින් කරන්න වේවි." තාත්ත කිවුවේ තවත් මරාලයක් මගෙ ඔලුවට අත අරිමින්.

මම පරණ වයර් බුරුසුවක් අරගෙන පෝච්චිය වටේ මදින්න ගත්තා. අර සියුම් කැටයම් පැහැදිලිව දිස්වෙන්න ගත්තේ එතකොට. පිරමීඩ හැඩේ මාලිගා, ඒව ඇතුලෙ ඉන්න ඔළුව දිග රජවරු, පෙට්ටි හැඩේ බළල්ලු විතරක් නෙමෙයි, ඉලිප්සාකාර ආකාශ වස්තුත් ඒ අතර තිබුනා. හීනි රේඛා ලක්ෂ ගානක් නිසා මට ඒ පෝච්චිය පෙනුනෙ අර කිලුටු රෝස පාට මොළගෙඩිය වගේමයි. වතුර බාල්දි දෙකක් ඉවරවෙද්දි අර ඝනකම පෙඳ පාසි තට්ටුව සුඹුලක්වත් ඉතිරි නොවෙන්න සෝදලා අරින්න පුලුවන් උනා.

එතනින් නැගිටලා යන්න හදනකොටයි මගේ කකුල වැදිලා ඒ මල් පෝච්චිය බිමට පතබෑවුනේ.

ඔව් ඔයා අවිශ්වාස කරන එක සාධාරණයි. ඒත්, මට කරන්න පුලුවන් වුන එකම සාධාරණ උපකල්පනය වුනේ අච්චර බරට දැනෙන්න ඇත්තෙ මේ දැන් සෝදලා ඇරපු ඝනකම, ජරා පෙඳ පාසි තට්ටුව කියන එකයි.

බිම පෙරළුන මල් පෝච්චිය යට ඇති තඹ පාට දිලිසෙන යමක් මගෙ ඇහැට අහු වුනා. ඒ කණ්නාඩියක්. ඇස් කණ්නාඩියක්. තාත්තා ඒ වගේ දේවල් කුණු බාල්දියට විසිකරල දාන්න තත්පරයක්වත් පමා නොවෙන බව අත්දැකීමෙන් දන්න නිසත්, දැනටමත් අපිට ගෝනි දෙකක් පුරවලා කුණු තොගයක් තියෙන නිසාත් මම ඉක්මනටම ඒක කලිසම් සාක්කුවට ඔබා ගත්තා.

ඉරිදා හවස් වරුවෙන් වැඩි කොටසක් වැය වුනේ මාගලක් තරම් දිග, එපාකරපු රසායන විද්‍යා ව්‍යාපෘති වාර්තාවක් ලියන්න. මට මේ ඉස්කෝලෙ පේන්නම බැරි දේවල්වලින් එකක් තමයි ඔය කියන ව්‍යාපෘති. ඔලුවට උඩින් පරෙයියෙක් පියෑඹුවත් ඒකටත් වාර්තාවක් ඉල්ලාවි. අනික මගෙ ව්‍යාකරණයි, අක්ෂර වින්‍යාසයයි ගොඩ දාන්න බැරි තරම් අවුල්.

කොහොමහරි. මගෙ කුරුමිණි අකුරු පුලුවන් උපරිමේටම දිග ඇදලා ලියලා පිටු එකොළහමාරක් පුරවලා ඉවරවෙලා තමයි මම අර ඇස් කණ්නාඩිය අතට ගත්තේ.

ඒක ඇහේ දාගෙන බලද්දි කාමරේ පේන්න ගත්තෙ අඳුරු නිල් පාටකින්. හරියට වතුර යට ඉන්නවා වගෙයි. මම ඒක දාගෙන කාමරේ වටේට කැරකි කැරකී ඇවිද්දේ මම වතුර යට දර්ශනවලට පුංචි කාලේ ඉඳන් අසීමිත ආසාවක් දක්වපු හින්දයි. ඒ අතරෙ ඇහැ ගැටුන දෙයක් නිසා තව පොඩ්ඩෙන් මම කකුල පැටලිලා ඇදගෙන වැටෙනවා.

ඒ මගේ පාඩම් කාමරේ දොර. ඒකෙ විසාල රිදී පාට අකුරෙන් 'පිටවෙන්න' කියල ලියල තිබුනෙ ඊතල සලකුණක් එක්ක.

මම, ඕනැම සාමාන්‍ය මනුස්සයෙක් කරන විදියටම, කණ්නාඩිය ගලවල දොර දිහා බැලුවා. දොරපියන ඕක් පාටට, බුම්මගෙන, කෙලින් හිටගෙන උන්න, රිදී පාටක් ගැනවත්, අකුරු ගැනවත්, ඊතල සලකුණක් ගැනවත් හාංකවිසියක් දන්නෙ නැහැ වගේ. ඉතින් මම ආයෙම කණ්නාඩිය ඇතුලෙන් බැලුවා. තද නිල් පාට දොරපියනේ රිදී පාට අකුරු බැබලෙනවා.

ඉතින් මම කාමරෙන් පිට වුනා.

පඩිපෙල පහළට කුඩා ඊ හිස් තුනක් යොමු වෙලා තිබුනා. මම දිග පිමි දෙකකින් පඩිපෙල පහලට පැන්නෙ නොයිවසිල්ලෙන්. එතන තිබුන දෙගාරාවෙදි 'වමට හැරෙන්නැ'යි ලියවෙලා තිබුනේ වමට ඇලවුනු අකුරෙන්. එතනින් ඉදිරියට තිබුන පටු බරාඳය කෙලවර වෙනකම් ඇවිදගෙන ගිය මට හමුවුනේ දොරක්.

'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' කියලයි ඒ දොරේ ලියල තිබුනෙ. කිසිම පැහැදිලි විසඳුමක් නැතිව හිස් වෙච්ච ඔළුගෙඩිය වෙහෙසවමින් මම එතනට වෙලා විනාඩි ගානක් අරමුණක් නැතිව හිටගෙන ඉන්න ඇති. 'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' මම සිහින් හඬින් කිව්වේ 'අලි බබා සහ හොරු හතලිහ' කතාව මතක් වෙලා. වෙනසක් වුනේ නැති නිසා මම දොරට අත තද කරගෙන තරමක් ඉහල හඬකින් ආයෙමත් 'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' කිවුවේ බොහොම පැහැදිලි උච්චාරණයකින්.

ඒත් දොර ඇරුනේ නෑ. මේ මොන විකාරයක්ද කියල හිතමින් මම දොරත්, බිත්තියත් අතර කෙලවරට ගුලිවෙලා කල්පනා කරමින් හිටියා. අත් සෝදා ගත්තත්, රෝස පාත්තියේ තිබුණු කළු පාට පස්වලින් නියපොතු පිරිලා ගිහින් බව මම දැක්කේ එතකොටයි. කළුපාට නියතුඩුවලින් මම අරමුණක් නැතුව දොර ලෑල්ලට තට්ටු කරන්නට වුනා.

'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්'

නොහිතපු විදියට සිහින් කිරි කිරි හඬක් නගමින් දොර පියන විවර වුනා. දොරට හේත්තු වෙලා හිටි මම, මකුළු දැල් පදාසයකුත් ඔළුවේ ඔතාගෙන ඉදිරියට තල්ලු වුනා. ඒ වගේ අනපේක්ෂිත ඉදිරි තල්ලුවක් නිසා වෙන්න පුලුවන් හොඳම දේ විදියට එතනින් පහල තිබුන කෙටි පඩිපෙළකින් මාව පහලට පෙරලිලා ගියේ රෙදි බෝනික්කෙක් වගේ.

පඩි පෙළ කෙලවර වුනේ කුඩා ශාලාවකින්. ඒ දකින්නේ හීනයක්ද, නැත්නම් හැබෑවක්දැයි මට හිතාගන්න බැරි වුනා. මම ඇස් කණ්නාඩිය ගලවලා බැලුවත් වෙනසක් වුනේ නෑ. ඒ කාමරයේ කහ පාට ප්‍රතිදීප්ත විදුලි ආලෝකය යටතේ විශාල පළිඟු ගෝලිකාවක් කැරකෙමින් තිබුනා. ඒ අසල, උස ස්ටූලයකුත්, ඊට සවි කල දිග මේස ලෑල්ලක් හා ස්පර්ශ සංවේදී තිරයකුත්, පිටුපස දිග රාමුවකට සවි කල ස්විච්චි සහ බොත්තම් රැසකුත් ඇහැට අසුවෙන අතරේ මම මාවම කොනිත්තාගෙන බැලුවේ මේක හීනයක්දැයි සැක හිතුන නිසයි.

විශ්වාස කරනවානම් විශ්වාස කරන්න. ඒ ගෝලිකාවෙන් නිරූපණය වුනේ පෘතුවි ගෝලය. මම කවදාවත් භූගෝල විද්‍යාව විෂයට මහලොකු කැමැත්තක් තිබුනෙ නෑ තමයි, ඒත්, කොලපාටින් තිතක් වගේ ලකුණු කරලා තිබුන අපේ නගරය මම එක්වරම අඳුනගත්තා. ඒ සතුටටම මම ඒ ලුමිනස් කොලපාට තිතට ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දැම්මා.

එක්වරම තිරය මත දිගහැරුනේ අපේ කුඩා නගරය. හැම ගෙයක්ම, ගහක් කොලක්ම, කුඩා අතුරු පාරක්ම ඒකෙ ඉතා පැහැදිලිව සටහන් වෙලා තිබුනා. ඒත්, ඒ අතරේ කුහුඹුවන්ගෙ ප්‍රමාණයේ මිනිස් රූප රැසක් එහා මෙහා ඇවිදිනවා පෙනුනා. ඉතින්, මම තිරයට ඇහැ ලං කරලා බැලුවා. ඒ හැම රූපයකින්ම නිරූපණය වුනේ අපේ නගරවැසියෝ.... !

ටික වෙලාවක් අර ස්විච්චි, බොත්තම් සහ යතුරු එක්ක ගැවසෙනකොට මට හෙමින් හෙමින් අවබෝධ වෙන්න ගත්තා මෙතැනින් මට ඒ අයගේ හැසිරීම් පාලනය කරන්න පුලුවන් බව. යකඩ ඉන්නක් ගිල්ලා වගේ තනි කෙලින් පාරෙ ඇවිදින, මූණෙ හිනා පොදක් නැති අපේ ෂෙරිෆ්ව පරීක්ෂණේකට යොදාගන්න හිතහදාගන්න මට අමාරු උනේ නෑ.

මම ෂෙරිෆ්ව තැපැල් කන්තෝරුව එහාපැත්තෙ තියෙන මෙගා මාර්ට් එකට යවලා චොකලට් ඩිලයිට් අයිස්ක්‍රීම් දෙකක් මිලදී ගත්තා. සතියක් තිස්සෙම මෙගා මාර්ට් එක ඉස්සරහින් එහා මෙහා ගිහින් තිබුනත් චොකලට් ඩිලයිට් එකක් කන්න තරමට මුදලක් සාක්කුවෙ ඉතුරු වෙලා තිබුනෙ නෑ. කොහොමින් කොහොම හරි ෂෙරිෆ් අයිස්ක්‍රීම් දෙකක් දෑතින් අරන් අපේ ගේට්ටුව ගාවට එනකොටයි මම දැක්කේ තාත්තා ඇස් දෙක නළලට අරන් මිදුල හරහා ගේට්ටුව අරින්න දුවනවා.

"මේ, එන්න ඇතුලට මහත්මයා. ඒත් මොකද මේ අවේලාවෙ?" තාත්තගෙ කටහඬ ඇහෙද්දි මට දෙලෝ රත් වුනා. කලබලේට තාත්තව පාලනය කරන යතුරු හොයන අතරේ ෂෙරිෆ්ගේ කමිසෙ අයිස්ක්‍රීම් තලියක්ම තැවරුනේ මගේ අත්වැරැද්දෙන්.

තාත්තව නිදන කාමරේට පිටත් කරලා, මගේ චොකලට් ඩිලයිට් දෙක කාමරෙන් තියපු ෂෙරිෆ්ව පරෙස්සමට ගේට්ටුවෙන් එළියට යැව්වට පස්සෙ මම ඒ දෙන්නවම මගේ පාලනයෙන් මුදා හැරියා. ෂෙරිෆ් කමිසයේ තැවරුනු අයිස්ක්‍රීම් තලිය දිහාත්, ගුරු පාර අයිනෙ තිබුන ලොකු මැයිමාර ගහේ අතු දිහාත් මාරුවෙන් මාරුවට බලන හැටි දැක්කමනම් මට හොඳටෝම හිනා ගියා.

පහුවදා දවසම මම කල්පනා කලේ මේ අලුත් වාසනාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියලයි. කොයිතරම් බර කල්පනාවක හිටියද කිවුවොත්, රසායන විද්‍යාව පාඩම ඉවරවෙලා මිස්ටර් හන්ටර් මගේ නම කියල තුන් පාරක් කෑ ගහනකම් මට ඇහුනෙත් නෑ. හැබැයි, එයා මගේ ව්‍යාපෘති වාර්තාව මූණට දමා ගහපු එකයි, පහුවදාට අලුතෙන්ම වාර්ථාවක් ලියාගෙන එන්න කියපු එකයි තමයි මට උහුලගන්න බැරි ලැජ්ජාවක් වුනේ.

මම දැක්ක, ලකුණු අනූ හයක් එක්ක රත්තරන් පාට පෑනකින් අති විශිෂ්ඨයි කියල ලියපු වන්යාගෙ වාර්ථාව. ඉතින්, විය යුතු පරිද්දෙන්ම මම කලේ වන්යා ලවා මගේ වාර්තාව ලියවාගෙන ගෙදරටම ගෙන්වා ගන්න එකයි. වාන්යාගෙ උදව්වෙන් මාස තුනක් යනකොට මම ඉස්කෝලෙ දක්ෂම ශිෂ්‍යයා බවටත් පත් වුනා.

සති කිහිපයක් යද්දි, පෝසත් නාකි ස්මිත් ගැන මට දැනගන්න ලැබුනෙ ඉස්කෝලෙ සගයන්ගෙන්මයි. ස්මිත් කිසිම කෙනෙකුට තමන්ගේ ගේ ඉස්සරහ පාරේ විනාඩි පහක් නැවතිලා ඉන්නවත් ඉඩ නොදෙන බවත්, උන්දෑ උතුරන්න සල්ලි තියෙන නාකි හොල්මනක් බවත් කියකියා ගමේ ගොඩක් දෙනෙක් අවලාද කියනවා මට ඇහිල තිබුනේ වරක් දෙවරක් නෙමෙයි. ඔය අතරේ එක සිකුරාදාවක නාකි ස්මිත් බස්තම ඇන ඇන මහ හදිස්සියකින් ඉස්කෝලෙට එනව මම දැක්කා.

මිනිහ කෙලින්ම ආවෙ ඔයා ගාවට. ඔයාගෙ අතේ තිබුන බාගයක් කාපු ලොකු රතු ඇපල් ගෙඩිය උදුරගෙන ඒ යකා නාකි අත් දෙක ඒ මේ අත විසි කර කර කෑ ගහනවත්, ඔයා කඳුළු පුරෝගෙන පන්ති කාමරේට දුවනවත් මම පිට්ටනිය කෙලවරට වෙලා බලන් හිටියා. ඒ වෙනකොටත් මම දැනගෙන උන්නා ඒ ඇපල් ගෙඩිය ඔයාගෙ ආදරවන්තයා ගිල්බර්ට් හොරකම් කරගෙන ඇවිත් තිබුනේ ස්මිත්ගේ ඇපල් වත්තෙන් බව. මං කියන්නේ, ඌ කොන්ද නැති හාල්පාරුවෙක්. නැද්ද? ඌට තිබුනා නියම පිරිමියෙක් විදියට ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. නැද්ද?

එදා ඔයාගෙ රතු වෙලා ඉදිමිච්ච මූණ දැක්කම මට බොහොම කණගාටු හිතුනා. මේ.... මේ... ඒක ආදරයක් කිව්වත් වැරැද්දක් නෑ. අඳුර වැටුනට පස්සේ මම ස්මිත් ලව්වා එයාගෙ උද්‍යානයෙ තියෙන රතුම රතු, ලොකුම ලොකු ඇපල් ගෙඩි පහක් කඩාගෙන, පෙට්ටියක අහුරලා අපේ ගෙදරට ගෙන්වා ගත්ත. දකිනකොට කටට කෙළ ඉනුවත්, ඒ එකක්වත් නොකා මම පරෙස්සම් කලේ ඔයාට ඇපල් පෙට්ටිය තෑගි කරන්න. හැබැයි ඉතින් ඔයා පහුවදා මගේ ඇඟට කඩාපැනලා ඇපල් පෙට්ටිය පොළවෙ ගහපු හේතුවනම් මට තවමත් හිතාගන්න අමාරුයි.

කොහොමත්, ඒ වගේ සිදුවීමකින් පස්සෙ ඕනෙම කොල්ලෙක්ගේ ආත්ම ගරුත්වය තරමක් සසල වෙන එක පුදුමයක් නෙමෙයි. මම ස්මිත් ලව්වා සල්ලි මිටියක් ගෙන්නවාගත්තෙ ඒ නිසයි. මතක් කරල බලන්න. ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙන්න, බීෆ් බර්ගර් අරන් දෙන්න, පැණි දාපු අල තීරු අරන් දෙන්න මම කොයිතරම් නම් උත්සාහ කලාද! ඔයා ඒ එකකටවත් කැමති වුනේ නෑ නෙව. හිස්ටීරියාව හැදුන බැළලියෙක් වගේ මගේ ඔලුවට කඩන් පැන්න මිසක.

මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මට සිද්ධ වුනා ඔයාව මගේ පාලනය යටතට ගන්න.

ඔයා යාලුවොත් එක්ක කණ්ඩායම් ඇගැයීම කරමින් හිටපු හැන්දෑවක මම බොහොම සුළුවෙන් වැඩේ පටන් ගත්තා. ඕපදූපකාර රිබේකා විලියම්ස්ව ඔයා ගාවින් වාඩි කරවලා, ඔයාගෙ අතින් පොතේ අන්තිම පිටුව පිරෙන්න ලොකු හදවත් රූපයක් ඇතුලේ 'මම ජෝෂුවා සමග පෙමින්' කියලා ලියෙව්වේ මම. ඒ ගැන හැමෝම විහිළු කරද්දි ඔයා ඒ පිටුව සෙන්ටිමීටරේ කෑලි වලට ඉරලා දැම්මත්, රිබේකාට පින්සිද්ද වෙන්න පහුවදා වෙනකොට ලැව් ගින්නක් වගේ ඒ ආරංචිය මුලු ඉස්කෝලෙ පුරාම පැතිරිලා තිබුණා.

ඔයාව අපේ ගෙදරට ගෙන්න ගන්න සිද්ධ වුනේ ඉන් පස්සේ. ඔහොම ඔරවන්න එපා මෙලීසා. ඒක වුනේ ඔයාගෙ වරදින් නෙව. ඔයා ඒ කාලෙ මට යාලුකමින් සැලකුවෙ නෑ කොයියම්ම දවසකවත්. ඉතින් මම තීරණය කලා ඔයාව අපේ ගෙදරට ගෙන්නවා ගන්න.

පළවෙනිම දවසේ ඔයාට මල් වත්තේ රෝස පඳුරු අතරේ ඇවිදින්න සලස්වලා මම එතැනට ආපු වෙලාවෙ ඔයා මාව අඟුරු වෙලා යන තරමට ඔරවලා ආපහු යන්න ගිය නිසයි ඊගාව වතාවෙ මගෙ පුස්තකාල කාමරේ ඔයා ආසම විද්‍යා ප්‍රබන්ධවලින් පුරවලා ඔයාව එතනට ගෙන්වා ගන්න සිද්ධ වුනේ. පොත් කියවන්න තිබුණු උවමනාවටම ඔයා මගෙ යාලුවෙක් වුනා. මමත්, දවස ගානෙම ඔයාව අපේ ගෙදරට ගෙන්නවා ගත්තා. ඒ කිසිම දවසක, ඔයා අපේ ගේ ඇතුලට ඇතුල් වෙනකල්ම මම පේන්න නොහිටි බව කල්පනා කරල බැලුවොත් ඔයාට මතක් වෙයි.

අද සිද්ධ වුන දේ ගැන කියනවනම්, ගිල්බර්ට් මට දිගින් දිගටම ඇනුම්පද කිව්වා මම ඔයාට අල්ලස් දීලා යාලුකම් පවත්වන බවට. ඇත්ත ආදරයක් හැම වෙලාවෙම ද්වීපාර්ශ්වික විය යුතු බවත්, ඒ නිසා මම දවස ගානෙම ඔයාට අරන් දෙන තෑගිබෝග හිලව්වට ඔයාගෙන් මට ප්‍රසිද්ධියේ හාදුවක්වත්, නැත්නම් අඩුම තරමේ හදවත් හැඩේ චොකලට් පෙට්ටියක්වත් ලැබෙන්න ඕනෙ කියල කීවෙ විලියම්. ඉතින් මට සිද්ධ වුනා ඔයාව කඩේ යවලා චොකලට් පෙට්ටියක් මිලදීගන්න. හැබැයි ඔයා ඒක මට දෙන්න ඕනෙ පියවි සිහිකල්පනාව ඇතුව. එහෙම නොකලානම්, එයාල කියාවි ඔයා දුන්නු තෑග්ගක් කියලා මම බොරු මවාපෑමක් කරන බව.

*********

"ඕක තමයි කතාව." ජෝෂුවා දෙපා දිගහැර, ටීපෝව මත වූ උස් වතුර වීදුරුව එක හුස්මට හමාර කර මෙලීසා දෙසට විමසුම් බැල්මක් හෙලීය.

මෙලීසාගේ කන්පෙති දෙකත්, දෙකොපුලත් බීට් අලයක් මෙන් රත් පැහැ ගැන්වී තිබිණි. ඈ යටිතොල දත් පේලි අතරේ ඒ මේ අත පෙරළමින් විකන්නට වූවාය.

"මං කිව්වනෙ. ඔන්න ඔයා මාව අවිශ්වාස කරන්න පටන් අරගෙන." ජෝෂුවා නොපහන් ස්වරයෙන් තෙපලේය. "මේ සිද්ධ වෙච්ච හැමදේකටම පස්සෙ, අවිශ්වාසයක් නිසා ඔයා මගෙත් එක්ක තරහ වෙනව කියන්නෙ නම් ලෝක අපරාදයක්!"

මෙලීසා තවම සිතිවිල්ලෙනි. අවසන, සෝෆාවෙන් බිමට පිනූ ඈ හඬ අවදි කලාය.

"මට ඒක බලන්න ඕනෙ. කරුණාකරලා."
ඈ මිහිරි මදහසක් සමග ජෝෂුවා වෙත තවද ළං වූවාය.

"අනිවාර්යයෙන්ම ආදරිය! ඔයාට නොපෙන්වන රහසක් මගෙ ගාව නෑ."

ඉනික්බිති, අඳුරු බරාඳය කෙලවරින් 'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' හඬක්ද, සිහින් කිරි කිරි හඬක්ද නැඟුනි. දීප්තිමත් කහ පැහැ ප්‍රතිදීප්ත පහනේ ආලෝකයෙන් මෙලීසාගේ උරබාහු බටර් පැහැයෙන් දිළිසෙන්නට විය. පළිඟු ගෝලිකාවෙන් තිරය මතට ඇදගත් කුඩා නගරයේ මිනිස්සු, තැන් තැන්වල විකාරරූපී රංගනයන් දක්වන්නට වීම වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වූයේද නැත. සිය හිස ඇපල් ගසක තදින් හප්පා ගත් ගිල්බර්ට්, නළලෙහි සීරුම් තුවාල රැසක් සමහ කොරගසමින් නිවසට ඇදෙනු දක්නට ලැබීමත් හුදු අහම්බයක් පමණක්ම විය.

මෙලීසා හිස ගස්සා උස් ස්ටූලය මත හරි බරි ගැහී හිඳගත්තාය.

"එතකොට ජෝෂුවා, මේ මෙතැන ඉන්නේ ඔයාද?"

ජෝෂුවා හිස සැලීය. මෙලීසා ඒ කුඩා රූපයට නියතුඩින් ඇන්නාය.

*********

"ජෝෂුවා, ඔය උණුවතුර බේසම මෙතනින් තියනවා." මෙලීසා සිය දෙපා ලී බංකුවක් මත රැඳවූයේ යතුරු පුවරුවෙන් දෑත ඉවතට නොගනිමිනි.

"ඔතන දණගහගෙන මගෙ කකුල් දෙක මසාජ් කරනව."

"ආන්න හරි. අන්න එහෙම. යන්තමට. ඔය විළුඹ ගාව රවුමට මසාජ් කරනව."
සිතුවම- Jean Ranc
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
යශෝධා සම්මානි ප්‍රේමරත්නගෙන් තවත් වියමන්
කතන්දර
විරාම ලකුණු
කතන්දර
දොළොස්දාහක්
කරන්ට්ස්
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?
කතන්දර
නොපිරවෙන හිස්තැන්
කතන්දර
අනුකම්පා විරහිත විහිළුකාරයෙක්
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook