Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
දියෙහි ගිලී මළ කඩවසම්ම මිනිසා
(Gabriel Garcia Marquez විසින් රචිත The Handsomest Drowned Man In The World කෙටිකතාවේ සිංහල පරිවර්තනය.)
බූන්දි, 00:05:11
මුහුදේ සිට තමන් වෙතට ඇදී එන මනා හැඩයෙන් යුත් අඳුරු පොදිය පළමුවෙන්ම දුටු ළමුන් සිතුවේ එය සතුරු නැවක් බවය. එහි කොඩිවත්, කුඹගස්වත් නුවූ හෙයින් ඒ තල්මසෙකු විය යුතුයැයි ඔවුහු ඊළඟට සිතූහ. එහෙත් එය වෙරළට ගොඩ ගසා, ඒ වසාගෙන තිබූ මුහුදු පැලෑටිත්, ජල්ලි අඬුත්, මාලු කටු හා වෙනත් සුන්බුන් ආදියත් ඉවත් කළ විට ඒ සිටින්නේ දියෙහි ගිලුණු මිනිසෙකු බව ඔවුන්ට පෙනිණි.

ගිලුණු මිනිසාගේ සිරුර වැල්ලෙහි යට කරමින්ද යළි සාරා උඩට ගනිමින්ද මුළු සවස් වරුව පුරාම ඔවුහු ඔහු සමඟ සෙල්ලම් කළහ. මෙය අහම්බෙන් මෙන් දුටු කෙනෙක් ගමට පණිවිඩය පතුරුවා හැරියේය. තමන් දැක ඇති කිසිදු මැරුණු මිනිසෙකුට වඩා ඔහු බරැති බව මළ සිරුර ළඟම තිබූ නිවෙස වෙත ඔසවා ගෙන ගිය මිනිසුන්ට වැටහිණි. ඔහු අසෙකු තරමට බර වූයෙන් ඔහු ඇතැම්විට දිගු කලක් මුහුදේ පාවෙන්නට ඇති බවත්, ජලය ඇටකටු වලට උරා ගැනීම නිසා මෙතරම් බර වී ඇති බවත් ඔවුහු එකිනෙකාට පවසා ගත්හ. ඔහු බිම තැබූ විට ඔහුගේ සිරුරට නිවෙසේ ඉඩකඩ සෑහුණේ යන්තමින් බැවින් අනෙක් සෑම මිනිසෙකුටම වඩා ඔහු උසැති බව ඔවුහු පැවසූහ. මරණයෙන් පසුවත් දිගින් දිගටම වර්ධනය වීමට ඇති හැකියාව සමහර ගිලුණු මිනිසුන් තුළ නිසගයෙන්ම තිබීම ඇතැම්විට මේ උසට හේතු වන්නට ඇතැයි ඔවුහු අනුමාන කළහ. ඔහු කෙරෙන් මුහුදේ ගන්ධය වහනය විය. ඒ මිනිසෙකුගේ මළ සිරුරකැයි කෙනෙකුට සිතාගත හැකි වූයේ ඔහුගේ හැඩයෙන් පමණකි. මන්දයත්, මඩ සහ කොරපොතු තට්ටුවකින් ඔහුගේ සිරුර වැසී තිබූ හෙයිනි.

මළ මිනිසා අමුත්තෙකු බව වටහා ගැනීමට ඔහුගේ මුහුණ සෝදා පිරිසිදු කිරීමේ අවශ්‍යතාවක් නොවීය. මුළු ගම්මානයම සමන්විත වූයේ කාන්තාරයක් බඳු බිම්තුඩුවෙහි අගට වන්නට පැතිර තිබූ මල්වලින් තොර ගල්බොරලු ගෙවතු වලින් යුත් ලී ගෙවල් විසි ගණනකිනි. ගම්මානය සතුව තිබූ බිම්කඩ කෙතරම් කුඩා විණිද යත් මවුවරුන් සදාකාලිකවම ජීවත් වූයේ සිය දරුවන් සුළඟට ගසාගෙන යතැයි යන බියෙනි. එමෙන්ම වැළලීමට බිම්කඩක් නුවූයෙන් වසර ගණනක් තිස්සේ මියගිය කිහිපදෙනාගේ සිරුරු මුහුදට බෑවුම් වූ ප්‍රපාතයෙන් පහළට වීසි කර දමන්නට ඔවුන්ට සිදුවිය. එහෙත් මුහුද නිශ්චල වූද සම්පත් වලින් පිරුණු තැනක්ද විය. ගමෙහි වූ සියලුම පිරිමින් දමන්නට අවශ්‍ය වූයේ බෝට්ටු හතක් පමණි. එබැවින්, ගිලුණු මිනිසාගේ මළ සිරුර හමු වූ විට, තමන් සියලු දෙනාම යහතින් සිටින බව ප්‍රත්‍යක්ෂ කරගැනීම සඳහා එකිනෙකා දෙස බලා ගැනීම පමණක් ඔවුන්ට ප්‍රමාණවත් විය.

එදා රෑ ඔවුහු මුහුදු නොගියෝය. අසල ගම්මාන වලින් කවරෙකු හෝ අතුරුදන් වී ඇත්දැයි සෙවීම සඳහා පිරිමින් පිටත්ව ගිය අතර ගිලුණු මිනිසාගේ සිරුර සකස්කිරීම පිණිස ගැහැනු නතර වූහ. තණකොළ හනසු වලින් අතුල්ලා ඔහුගේ සිරුරේ මඩ ඉවත් කළ ඔවුහු, ඔහුගේ හිසකේ අතර පැටලී තිබූ මුහුදු ගල්කැට ඉවත් කළහ. මාලුන්ගේ කොරපොතු සුද්ද කරන උපකරණ වලින් ඔහුගේ සමෙහි වූ කොරපොතු සූරා දැමූහ. මෙසේ කරන විට, ඔහුගේ සිරුර මත තැවරුණු මඩ, කොරපොතු ආදිය ඉතා ඈත පිහිටි සාගර සහ මුහුද ගැඹරෙන් පැමිණි බවත් හරියට කොරල් පර වංකගිරි මැදින් ගමන් ගත්තාක් පරිද්දෙන් ඔහුගේ ඇඳුම් ඉරී වැරහැලි වී තිබූ බවත් ඔවුන්ට පෙනිණි. මුහුදෙන් ගොඩට ගත් වෙන ගිලුණු මිනිසුන් කෙරෙහි වූ තනි වූ පෙනුමවත්, ගංගාවල ගිලුණු මිනිසුන් කෙරෙහි වූ වැහැරුණු, අසරණ පෙනුමවත් ඔහුට නොවූ හෙයින් හෙතෙම සිය මරණය අභිමානයෙන් යුතුව වැලඳ ගත් බවද ඔවුන්ට පෙනී ගියේය. එහෙත් ඔහු කවරාකාරයක මිනිසෙකුදැයි ඔවුනට පෙනී ගියේ ඔහුගේ සිරුර සම්පූර්ණයෙන්ම පවිත්‍ර කොට අවසන් වූ විටය. ඒ බව දැකීමෙන් ඔවුහු විස්මපත් වූහ. ඔහු එතෙක් කලක් ඔවුන් දැක තිබුණු උසම, ශක්තිමත්ම, හොඳටම වැඩුණු, පෞරුෂයෙන් අනූනම මිනිසා වූවා පමණක් නොව ඔවුන් ඔහු දෙසම බලාගෙන සිටියේ වුවද ඔවුන්ගේ පරිකල්පනය තුළ ඔහු බහාලන්නට ඉඩක් නොවීය.

ඔහු සතපවන්නට ඉඩ ඇති ඇඳක්වත්, ඔහුගේ දේහය තැන්පත් කර තබන්නට තරම් ශක්තිමත් මේසයක්වත් මුළු ගමෙහිම නොවීය. ගමෙහි වූ උසම මිනිසුන් පල්ලියට අඳින කලිසම් ඔහුට ප්‍රමාණවත් වූයේ නැත. එමෙන්ම ගමෙහි වූ මහතම මිනිසුන් පල්ලියට අඳින කමිසද, විශාලතම පාද හිමි මිනිසුන් පැළඳූ පාවහන්ද ඔහුට කුඩා විය. ඔහුගේ දැවැන්ත සිරුරෙන් හා කඩවසම්බවෙන් වශී වී ගිය ගැහැනු ඔහුට අභිමානයෙන් යුතුව පරලෝ යන්නට හැකිවන පරිදි විශාල රුවල් රෙදි කැබැල්ලකින් කලිසමක් මසන්නටද මනාලියකගේ දිගු වේල් රෙද්දකින් කමිසයක් මසන්නටද තීරණය කළෝය. රවුමට වාඩි වී, ගසන සෑම මැහුමක් පාසාම ඔහුගේ මළසිරුර දෙස නෙත් හෙලමින් ඇඳුම් මැසූ ගැහැනු එදා රෑ වෙන කවරදාකවත් නොවූ තරම් සැරට සුළඟ හැමූ බවද වෙන කවරදාටත් වඩා මුහුද චණ්ඩ වූ බවද දුටුවෝ ඒ වෙනස්කම් වලට හේතුව මළ මිනිසා විය හැකියැයි කල්පනා කළහ. ඒ උදාරම් මිනිසා තම ගම්මානයේ ජීවත් විණි නම් ඉදින් ඔහුගේ නිවෙස සතුව ලොව පුළුල්ම දොරවල්, උසම සිවිලිම සහ ශක්තිමත්ම පොළොව තිබිය හැකිව තිබූ බවත්, ඔහුගේ සයනය සවිමත් නැව් රාමුවකින් තනා විසල් යකඩ ඇණ වලින් පුරුද්දා තිබිය හැකිව තිබූ බවත්, ඔහුගේ බිරිය ලොව වාසනාවන්තම ගැහැනිය විය හැකිව තිබූ බවත් ඔවුන්ට සිතිණි. ඔහුට කෙතරම් බලපරාක්‍රමයක් හිමිව තිබිය හැකිව තිබිණි ද යත් මාලුන්ගේ නම් අඬගැසීමෙන් පමණක් ඔවුන් මහ මුහුදෙන් ගොඩට ගැනීමේ හැකියාවද, ඔහු කෙතරම් මහන්සි වී මහපොළොව සමග ඔට්ටු විය හැකිව තිබිණිද යත් ගල් අතරින් දිය උල්පත් මතු කරගෙන ගල්පර මත මල් වැවීමේ හැකියාවද ඔහුට තිබිය හැකිව තිබූ බව ගැහැනුන්ට සිතිණි. ඔවුහු රහසින් සිය ස්වාමිපුරුෂයන් ඔහු සමඟ සංසන්දය කළෝය. ඔහුට එක රැයකින් කළ හැකිව තිබූ දේ සිය ස්වාමිපුරුෂයන්ට ජීවිත කාලය පුරාවටවත් කළ නොහැකි බව ඔවුන්ට කල්පනා විය. ඒ සිතිවිල්ල අවසන් වූයේ ඔවුන් සිය හදවත් ඇතුළෙන් තම ස්වාමිපුරුෂයන් මෙලොව සිටින දුර්වලම, දුෂ්ටතම සහ කිසිම වැදගැම්මකට නැතිම සත්ත්ව කොට්ඨාසය ලෙස පහතට ඇද දමමිනි. ඔවුන් මේ මනඃකල්පිත වංකගිරිය තුළ ඉබාගාතේ ඇවිද යමින් සිටින අතර, මළ මිනිසා දෙස රාගයෙන් නොව දයාවෙන් බලා සිටි එතැන හුන් වැඩිමහලුම ගැහැනිය සුසුමක් හෙලුවාය: ‘එයාට තියෙන්නේ එස්තෙබාන් කියන නම තියෙන කෙනෙකුගේ මූණ.’

එය සත්‍යයක් විය. ඔහුට එස්තෙබාන් යන නම හැරෙන්නට වෙන නමක් තිබීමට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කරගන්නට එතැන සිටි බොහෝ දෙනෙකුට අවශ්‍ය වූයේ තව එකම එක වරක් ඔහු දෙස බැලීම පමණි. එතැන හුන් තරුණම සහ හිතුවක්කාරම ගැහැනු ඔහුට හොඳින් ඇඳුම් අන්දවා, සම් සපත්තු පළඳවා මල් අතර තැන්පත් කළ විට ඔහුගේ නම ලවුතාරෝ විය හැකිව තිබේය යන මායාවේ තව පැය කිහිපයක් ගැලී උන්හ. එහෙත් එය මායාවක්ම පමණක් විය. ඇති තරම් රුවල් රෙදි නොවූ හෙයින් අපිළිවෙළට කපා ඊටත් නරක ලෙස මැසූ කලිසම ඔහුට හිර වැඩි විය. ඔහුගේ හදවතේ සැඟවුණු ශක්තිය කරණ කොට ගෙන කමිසයේ බොත්තම් කැඩී ගියේය. මධ්‍යම රාත්‍රියෙන් පසුව සුළඟේ සිවුරුහන් නාදය නැවතී මුහුද සිය බදාදා නිද්‍රාශීලීත්වයේ ගැලිණි. නිහැඬියාව, ඉතිරිව තිබූ අවසන් සැක සංකාද තුරන් කොට දැමීය: ඔහු වනාහී එස්තෙබාන් ය. ඔහුට ඇඳුම් ඇන්ද වූ, ඔහුගේ හිස පීරූ, නියපොතු කපා රැවුල බෑ ගැහැනුන්ට ඔහු බිම දිගේ ඇදගෙන යන බව වැටහුණු විට ඔවුන් තුළ ඇති වූ ශෝකයේ වෙවුලුමක් පාලනය කර ගත නොහැකි විය. මරණයෙන් පසුව වුවද ඔහුට වද දුන් ඒ දැවැන්ත සිරුර ගැන ඔහු කෙතරම් අසතුටෙන් සිටින්නට ඇතිද යන්න ඔවුන්ට වැටහුණේ එවිටය. ඔහු ජීවත්ව සිටි කාලයේදී දොරවල් වලින් හරහට ඇවිද යාමට සිදුවූ සැටිද, දොර උළුවහු වල හිස වැදුණු සැටිද, ගෙදරකට ගිය විට සිය මෘදු, විසල් මුහුදු සිංහ අත් වලින් කුමක් කරන්නටදැයි නොදැන සිට ගෙන සිටින සැටිද, ශක්තිමත්ම පුටුවක් සොයා ඒ මත වාඩි වෙන්නටැයි ඒ ගෙදර ස්වාමි දියණිය ඔහුගෙන් ඉල්ලා සිටින විට බිත්තියට හේත්තු වී හිනැහෙමින් ‘නෑ මෙහෙම හොඳයි. කරදර වෙන්න එපා’ යැයි කියන සැටිද, වසර ගණනාවක් තිස්සේ නිවෙසකට ගිය සෑම විටෙකම එකම දේ කිරීමෙන් ඔහුගේ දෙපාද පිටද තුවාලව ඇති සැටිද, පුටුව කැඩෙනවාට ලැජ්ජාවෙන් ‘නෑ මෙහෙම හොඳයි. කරදර වෙන්න එපා’ යැයි පවසන සැටිද, ‘යන්න එපා එස්තෙබාන්. කෝපි හදනකම් ඉන්න’ යැයි කියූ අයම ඔහු පිටව ගිය පසුව ‘තඩියා අන්තිමට යන්න ගියා. මෝඩ තඩියා ගියා. යන්තම් ඇති’ යැයි කොඳුරා කියන බව ඔහු නොදැන සිටි සැටිද ඔවුන්ට මැවී පෙනිණි. අලුයම උදාවන්නට ටික වේලාවකට පෙර මළ සිරුර අසළ හුන් ගැහැනුන් සිතමින් සිටියේ එලෙසටය. පසුව, හිරු එළියෙන් ඔහුට පීඩාවක් නොවන ලෙස ඔහුගේ මුහුණ ලේන්සුවකින් වැසූ විට, ඔහු සදහටම මිය ගොස් සිටින සැටි පෙනුණු විට, සිය ස්වාමිපුරුෂයන් බඳුවම ඔහුද කිසිදු ආරක්ෂාවකින් තොරව සිටින සැටි දුටු විට ඔවුන්ගේ හදවත් වල පළමු කඳුළු ධාරා උනන්නට පටන් ගත්තේය. වැලපීම ආරම්භ කළේ තරුණ ගැහැනුන්ගෙන් එකියකි. අනෙක් අයද සුසුම්වලින් පටන් ගෙන විලාප ගසන්නට වූහ. ඉකිගසන්නට ඉකිගසන්නට වැලපීමේ වුවමනාව ඔවුන් තුළ නැඟ ආවේය. මක්නිසාද යත් දියෙහි ගිලුණු මිනිසා ඔවුන්ට තව තවත් දැඩිව එස්තෙබාන් ලෙසම හැඟෙන්නට වූ බැවිනි. එස්තෙබාන් මෙලොව සිටින අසරණම, ශාන්තම, කරුණාවන්තම මිනිසා වූ බැවින් ඔවුහු අතිමහත් ලෙස වැලපුණෝය. ගිලුණු මිනිසා අහල පහළ ගමක කෙනෙකු නොවේය යන පුවතත් රැගෙන පිරිමින් පෙරළා පැමිණි විට සිය කඳුළු මැදින් සතුටු වීමට යමක් ඇති බව ගැහැනුන්ට හැඟිණි. ‘දෙවියන්වහන්සේට ස්තූති වේවා. එයා අපේ කෙනෙක්!’ ඔවුහු සුසුම් හෙළමින් කීහ.

පිරිමින් සිතූයේ නිකරුණේ කරන මේ කලබලය ගැහැනුන්ගේ මෝඩකමක් ලෙසය. රාත්‍රිය පුරා ගිලුණු මිනිසාගේ වතගොත සොයා ගොස් වෙහෙසට පත්ව සිටි ඔවුන්ට අවශ්‍ය වූයේ ඒ වියළි, සුළං රහිත දවසේ හිරු එළිය සැඬ වෙන්නට පළමුව මේ අමුත්තාගේ කරදරයෙන් සදහටම මිදෙන්නටය. මළ සිරුරේ බර ගල් පර තෙක් ඔසවාගෙන යාමට තරම් ශක්තිමත් තාවකාලික දෙණක් ඔවුහු කුඹගස්, රුවල් දඬු සහ කඹ ආධාරයෙන් තැනූහ. බඩු නැවක නැංගුරමක් මළ සිරුරට ගැටගසන්නට ඔවුන්ට අවශ්‍ය විය. ඒ මත්ස්‍යයන් අඳ බවින් පෙළෙන, කිමිදුම්කරුවන් සාංකාවෙන් මියයන ගැඹුරුතම මුහුදෙහි මළ සිරුර පහසුවෙන් ගිල්වනු පිණිසත් වෙන මළ සිරුරු වලට වූවාක් පරිද්දෙන් දිය රළ වලින් එය වෙරළට ගසා ගෙන ඒම වළක්වනු පිණිසත් ය. පිරිමින් වැඩය ඉක්මන් කරන්නට තැත්කළ තරමටම ගැහැනු කාලය නාස්ති කිරීමේ මං සෙවූහ. කලබල වූ කිකිළියන් රංචුවක් සේ ඔබ මොබ ඇවිද ගිය ඔවුහු සිය ගෙලෙහි පැළඳි යන්තර සිප ගත්තෝය. එකියක් මළ මිනිසාගේ උරහිසෙහි වූ සළුව සකස් කළ අතර තවත් ගැහැනියක් අනෙක් පසෙට ගොස් ඔහුගේ අතෙහි මාලිමාවක් ගැට ගැසුවාය. ඔතනින් අහකට වෙයං ගෑනියේ, පාරෙං අයිං වෙලා හිටපං, බලපං තව පොඩ්ඩෙං මං මළ මිනිය උඩ ඇදගෙන වැටෙනවා යනාදී වශයෙන් වූ බැණ අඬගැහීම් රැසකට පසුව පිරිමින්ට සිය ශරීරාභ්‍යන්තරයෙන් සැකයක සේයා මතුවන්නට වූ බැවින් නන්නාඳුනන මිනිසෙකුට මෙතරම් සැරසිලි කුමටදැයි අසමින්ද, කොපමණ ඇණ ගොඩක් හා ශුද්ධ වූ ජලය පිරි බෝතල් මළ සිරුර මත තැන්පත් කළද මෝරුන් ඔහු කා දමන බව කියමින්ද ඔවුහු මැසිවිලි නඟන්නට වූහ. එහෙත් ගැහැනු කඳුළින් පිට කළ නොහැකි දේ සුසුම්වලින් පිට කරමින් එකිනෙකාගේ ඇඟේ හැපි හැපී ඔබ මොබ දුවමින් සිය සුන්බුන් මතක වස්තු මළ සිරුර මත පැටවූහ. මෙයින් කෝපයට පත් පිරිමි මේ පාවෙන මළ මිනියකට කවද ඉඳන්ද මෙච්චර සැලිකිලි දක්වන්ඩ පටන් ගත්තේ, මේ ගිලිලා මැරිච්චි නන්නාඳුනන මිනිහෙක් ආදි වශයෙන් කියමින් පුපුරා හැලුණෝය. මළ මිනිසා කෙරෙහි දක්වන ලද මේ නොසැලකිලිමත් ආකල්පයෙන් චිත්ත වේගයට පත් එක් ගැහැනියක් ඔහුගේ මුහුණ මත වූ ලේන්සුව ඉවත් කළාය. එවිට පිරිමිද තුෂ්ණිම්භූතව ගියෝය.

ඔහු එස්තෙබාන් විය. ඔහු හඳුනාගැනීමට ඒ නම පුනරුච්චාරණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැඟිණි. එතැන සිටියේ සර් වෝල්ටර් රැලේ යැයි ඔවුන්ට කිසිවෙකු කීවේ නම් ඔහු ඉංගිරිසි බස උච්ඡාරණය කරන සැටියෙන්ද, ඔහුගේ උර මත සිටි මැකාවෝ ගිරවා නිසාද, ම්ලේච්ඡයන් මරන ඔහුගේ කෙටි තුවක්කුව කරණ කොට ගෙනද ඔහු කෙරෙහි යම් ගෞරවයක් ඔවුන් තුළ හටගැනීමට ඉඩ කඩ තිබිණි. එහෙත් ලෝකයේ සිටිය හැක්කේ එක් එස්තෙබාන් කෙනෙකු පමණි. ඒ එස්තෙබාන් යෝධ තල්මසෙකු පරිද්දෙන්, පාවහනින් තොරව, කුඩා දරුවෙකුගේ බඳු කලිසමකින් සැරසී, පිහියකින් කැපිය යුතු තරමට සවිමත්ව ගල් වී ගිය නියපොතුවලින් යුතුව එතැන වැතිරී සිටියේය. ඔහු ලජ්ජාවට පත්ව සිටින බවත්, ඔහු එතරම් විශාල වූයේත් එතරම් කඩවසම් වූයේත් ඔහුගේ වරදකින් නොවන බවත්, මෙවැනි කලබලයක් ඇති වීමට යන බව දන්නේ නම් ජලයේ ගිලී මිය යන්නට මීට වඩා උචිත ස්ථානයක් ඔහු සොයා ගන්නා බවත්, ගම්මානයේ මිනිසුන්ගේ බදාදා දවසට මළ මිනියකින් බාධා ඇති නොවන්නටත් මිනිසුන්ට කරදරයක් නොවන්නටත් ඔහුට නැවක නැංගුරමක් ගෙලෙහි ගැට ගසාගෙන ප්‍රපාතයෙන් පැනිය හැකිව තිබූ බවත් වටහා ගැනීමට ඔහුගේ මුහුණ වසා තිබූ ලේන්සුව ඉවත් කිරීම පමණක් ඔවුන්ට ප්‍රමාණවත් වූයේය. ඔහුගේ විලාසයෙහි කෙතරම් සත්‍යවාදී බවක් දිස් වීද යත්, තමන්ගේ බිරින්දෑවරුන් තමන් ගැන සිතීම නවතා දියෙහි ගිලුණු මිනිසුන් ගැන සිතන්නට පටන් ගනීය යන බියෙන් ගෙවා දැමූ අනන්ත රාත්‍රීන් වල වේදනාව වින්දා වූ, ඔවුන් අතර වූ කවුරුන්වත් විශ්වාස නොකරන ආකාරයේ මිනිස්සුද ඊටත් වඩා දැඩි මිනිස්සුද එස්තෙබාන්ගේ අවංකභාවය කරණ කොට ගෙන ශරීරයේ ඇට කටු ඇතුළෙන්ම වෙවුලා ගියෝය.

දියෙහි ගිලී මළ නන්නාඳුනන මිනිසෙකු වෙනුවෙන් ඔවුන්ට සිතෙහි මවා ගත හැකි වූ උත්කෘෂ්ටම අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට අවස්ථාව උදා වූයේ එපරිද්දෙනි. මල් රැගෙන ඒම සඳහා අසල්වාසී ගම්මාන වලට ගිය ගැහැණුන් පෙරළා පැමිණියේ තමන් ඇසූ කතාව විශ්වාස කිරීමට අසමත් වූ තවත් ගැහැනුන්ද සමගය. මළ මිනිසා දුටු ඒ ගැහැනු තවත් මල් රැගෙන ඒම පිණිස ගියෝය. ඔවුන් පෙරළා කෙතරම් මල් සහ මිනිසුන් රැගෙන ආවේද යත් මළ සිරුර වටා ඇවිදීමටවත් නොහැකි වන පරිදි මල් සහ මිනිසුන්ගෙන් පිරිණි. අවසාන මොහොතේදී ඔහු අනාථයෙකු ලෙස මුහුදට දමන්නට සිදුවීම ඔවුන්ට ඉමහත් වේදනාවක් ගෙන දුන් හෙයින් ගමේ හොඳම මිනිසුන් අතරින් ඔහු සඳහා මවක සහ පියෙකුද, නැන්දා මාමාවරුන් සහ නෑනා මස්සිනාවරුන්ද ඔවුහු තෝරා ගත්හ. එපරිද්දෙන් සියලුම ගම්වැසියෝ ඔහුගේ නෑදෑයෝ බවට පත් වූහ. ගමේ වැලපීම් හඬ ඈත සිට ඇසූ සමහර නාවිකයෝ සිය නැව මුහුදු මාර්ගයෙන් ඉවතට පැදවූවෝය. සමුද්‍ර සන්ධිවල රැඳී සිටින පියාපත් සහිත මායාකාරී ගායිකාවන් පිළිබඳ පුරාවෘතය සිහිපත් වී සිය සිරුර කුඹ ගසට තබා බැඳගත් නාවිකයෙකු ගැනද මිනිසුන්ට අසන්නට ලැබිණි. මුහුදට මායිම් වූ ප්‍රපාතය අසළ වූ ශීඝ්‍ර බෑවුම දිගේ ඔහු කර තබාගෙන යෑමේ වරප්‍රසාදය ලබා ගැනීම පිණිස ඔවුන් සටන් කරන අතරතුර, දියේ ගිලී මළ සිය මිනිසාගේ අසිරිය සහ ඔහුගේ කඩවසම්බව දුටු සෑම මිනිසෙක්ම සහ ගැහැනියක්ම තම ගම්මානයේ වීදිවල ඇති හුදෙකලාබවත්, සිය මිදුල් වල ඇති වියළි බවත්, තමන්ගේ සිහින වල ඇති පටු බවත් ජීවිතයේ ප්‍රථම වතාවට අවබෝධ කර ගත්හ. ඔහු කැමති නම් සහ කැමති වූ ඕනෑම වේලාවක නැවත පැමිණීමට හැකි වන පරිදි නැංගුරමක් සිරුරට ගැට නොගසාම ඔවුහු ඔහුට යන්නට ඉඩ හළෝය. මළ සිරුර ප්‍රපාතයෙන් මුහුදට වැටීමට ගත වූ ශතවර්ෂ ගණනාවකින් ලේශමාත්‍ර පංගුවක් වූ කාලය තුළ ඔවුන් සියලු දෙනාම සිටියේ ඉහළට ගත් හුස්ම පහත නොහෙලමිනි. ගම්මානයේ වසන සියලු දෙනාම තවදුරටත් එතැන නොවූ බවත් කිසිදිනෙක එසේ නොසිටිනු ඇති බවත් වටහා ගැනීම පිණිස ඔවුන්ට එකිනෙකා දෙස බැලීමේ අවශ්‍යතාවක් නොවීය. එහෙත්, එතැන් පටන් සියලු දේම වෙනස් වනු ඇති බවද ඔවුහු දැන සිටියහ. තඩියා අන්තිමට මළා. හැඩකාර මෝඩ තඩියා යන්න ගියා ආදී වශයෙන් මින් පසු කිසිවෙකුට කොඳුරා කීමට නොහැකි වන පරිද්දෙන් එස්තෙබාන්ගේ මතකයට බාධාවකින් තොරව ඔබ මොබ යා හැකි වන ලෙසට ඔවුන්ගේ නිවෙස්වලට පුළුල් දොරවල්ද, වඩාත් උස්වූ සිවිලිම්ද, වඩා ශක්තිමත් පොළෝ ද මින් මත්තට තිබෙනු ඇති බව ඔවුහු දැන සිටියහ. මක් නිසාද යත්, එස්තෙබාන්ගේ මතකය සදාකාලික කරනු පිණිස ඔවුන් සිය නිවෙස්වල ඉදිරිපස ප්‍රීතිමත් වර්ණ ගැල්වීමට යන බවත් අනාගතයේදී සුවිසල් මගී නෞකාවල නැගී එතැනින් යාත්‍රා කරන මගීන් මහ මුහුදේදී මල්වතුවලින් නැගෙන සුගන්ධයෙන් හුස්ම හිරව උදෑසන අවදි වූ විට සිය නිල ඇඳුම හැඳ, යුද පදක්කම් පැළඳ, නාවික ආම්පන්නද රැගෙන නියමු කුටියෙන් එළියට පැමිණෙන නැව්පතියාට ඈත ක්ෂිතිජයේ පෙනෙන රෝස කුසුමෙන් පිරී ගිය බිම් තුඩුව දෙසට ඇඟිල්ල දිගු කොට අර බලන්න, සාමකාමී නිදිගත් සුළං ඇති, සූරියකාන්ත මල් වලට කොයි අතට හැරෙන්නදැයි සිතා ගත නොහැකි විදියට දීප්තිමත්ව හිරු පායන එස්තෙබාන්ගේ ගම්මානය අන්න අතන තිබෙනවා යැයි භාෂා දහහතරකින් කීමට හැකිවන ලෙසට පර්වත මස්තකයෙහි මල් වැවීම පිණිස ගල් අතරින් දිය උල්පත් මතු කර ගැනීම සඳහා තමන් සිය කොඳු බිඳී යනතුරු වැඩ කරන්නට යන බවත් ඔවුන් දැන සිටි හෙයිනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Handsomest Drowned Man In The World, Short Stories by Gabriel Garcia Marquez, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ගාර්ෂියා මාර්කේස්ගෙන් තවත් වියමන්
කතන්දර
දන්ත වෛද්‍යවරයා
කතන්දර
සුවිශාල අත්තටු සහිත මහල්ලා
රත්තරං ටික
උන්මාද ගමන් - හැබෑ ප්‍රේම ගමන්
රත්තරං ටික
ඒ ඔස්සේ ගොස්, යාත‍්‍රා කළ හැකි ඒ අනන්ත දියඹ මත අන්තිමේ දී ඒ දෙනෙත් රැඳුණේ ය.
රත්තරං ටික
සියක් වසක හුදකලාව
තවත් කතන්දර බූන්දි
රා ත්‍රි ය
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
ඉරණවිල එළිය
බුම්මන්නා පවුල සහ ලේලිය
දොළොස්දාහක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook