Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
පස්සෙන් යෑම
බූන්දි, 21:21:30
හ්ම්ම්... මේ තරං පීඩනයක් මේ පුංචි ජීවිතේටම දැනිලා නෑ. ඇයි එයා මං දිහා බලන්නෙ නැත්තෙ ? පිරිමියෙක්ගෙ හිත දිනාගන්න මෙච්චර වෙලා යන්නෙ නෑනෙ. වැඩිම වුණොත් තත්පර තිහයි. වෙළඳ දැන්වීම් හදන්නෙත් ඉතිං තත්පර තිහටනෙ. ඇයි මට බැරි වෙන්නෙ ? කෙල්ලෙක් බලං ඉන්නවා කියලා දැනුණොත් කොල්ලො ඉතිං අතාරින්නෙත් නැති නිසා මේක මහ ලොකු දෙයක් වෙන්න බෑ. නමුත් ඉතිං මං රූප සුන්දරියක් නොවන නිසා නිසා තත්පර තිහෙන් කෙනෙක්ව දිනාගන්න පුළුවන් කියල හිතන්න තරං මාන්නක්කාර වෙන්නත් බෑ. ම්ම්.. තත්පර තිහේ සිට දින පහක් දක්වා යන බවට අවස්ථානුකූලව වාක්‍යය වෙනස් කරගැනීම යෙහෙකි.

මොන දින පහක්ද, දැන් මාසයක්ම ගියා. ඇයි එයාට වගක්වත් නැත්තෙ! මං මෙතන. එයා එතන. ඒකට නං කමක් නෑ. අඩු ගාණෙ බලනවා නං ඒත් කමක් නෑ. අපි හැමදාම එකම කොච්චියෙ, එකම පෙට්ටියෙ සමාන්තරව මුහුණලා ඇති දිග නිල් පාට අසුන් දෙකේ වෙන වෙනම වාඩි වෙලා යනවා. කොළඹ කොටුවෙන් පස්සෙ සෙනඟ අඩු වුණාම තමයි එහෙම වාඩි වෙලා යන්නත් ඉඩ ලැබෙන්නෙ. ඊට පස්සෙ තමයි මට එයාව හරියට පේන්නෙත්. ඊ ළඟට මහ ලේකම් කාර්යාලයයි කොම්පඤ්ඤ වීදියයි පහු වෙනකම්ම එයා ඉදිරිපස බලන් එක අරමුණක නාභිගත වෙලා ඉන්නවා. නමුත් ඒ නාභියට මොනව අහුවෙනවද දන්නෙ නෑ. එයා මිනිස්සු දිහා අවධානයෙන් බලන පාටකුත් නෑ. නමුත් කොම්පඥ්ඥ වීදිය පහුවෙලා කොල්ලුපිටියට ළං වෙනකොට එයා හැමවෙලේම නිල් පාට දිග අසුනේ මුල්ලටම ගිහින් මුහුද දිහා බලං ඉන්න පටන් ගන්නවා. මුහුදට නං ඉතිං ලොකු අවධානයක් දෙන වග පැහැදිලව පේනවා. මට ඉතිං මුහුද වෙන්න බෑනේ. ඒත් මට සුසුම් සුළඟක් වුණෑකි. ඉතිං ආයෙමත් මට එයාව පෙන්නෙ මම බම්බලපිටියෙන් බැහැල යනකොට තමයි. නමුත් ඒ වෙලාවට මම එයා දිහා බලන්නෙ නෑ. මම කෙළින් බලාගෙන යනව. නමුත් ඇහැ තියෙන්නෙ එයා වාඩි වෙලා ඉන්න මුල්ලටමයි. ඒක එයා දන්නෙ නෑ. එයා බහින්නෙ වැල්ලවත්තෙන් හරි දෙහිවලින් හරි වෙන්න ඇති.

මට පිරිමියෙක්ගෙ හිත දිනාගන්න මොනම හැකියාවක්වත් නෑ. ඒක දැන් තහවුරුයි. ඉතාම පහත් තත්වයක්. මම ඒ තරංම විකර්ෂණීයද ? වීකර්ෂණීයයි කියන්නෙ මොකද්ද ? ඉවතට ඇදීමද ? ආකර්ෂණයක් නැති කමද ? දෙකම එකයි මට නං. මම විකර්ෂණීය නං එයා මේ වෙන කොට කෝච්චි පෙට්ටියෙ තැන වෙනස් කරන්න ඕන. එයා තාමත් පුරුදු තැන. ඒ නිසා විකර්ෂණයක් නෑ කියල හිත හදාගත්තහැකි. ඒත් ආකර්ෂණයක් කියල දෙයක් නං ඇත්තෙම නෑ. කිසිම රසායනික සංයෝගයක් ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ අපි අතර. අපි අතර නැති වුණාට මට විතරක් වෙනවා. සමහර විට එයාට මම කියල කෙනෙක් පේන්නෙවත් නැතුව ඇති. ඇත්තටම මට පිස්සු හැදීගෙන එනවාද ? මං මොන වගේ කෙල්ලෙක්ද ? ඇත්තටම නං මං මේ වගේ පිරිමින්ට ආසත් නෑ. ලස්සන අයට මං ආස නෑ. ලස්සන පිරිමි මහ වල්. මොකද ගෑනුත් එයාලට පැනල දෙන නිසා. දෙන හැමෝගෙන්ම එයාලා ගන්න නිසා. නමුත් මම එහෙම කෙනෙක් නෙවේනෙ. මෙයා මගේ ජාතියෙ නෙවෙයි කියල මට විශ්වාසයි. ඒත් මට මොකක්හරි සිද්ධ වෙලා. මට කොහොමහරි මෙයා එක්ක කතා කරන්නම ඕන කියල හිතෙනවා. යාළු වෙන්න නෙවේ, යාළුවෙක් වෙන්න පුළුවන් නං කියල හිතෙනවා.

මොනතරං නොගැලපෙනසුලුද ? අවුරුදු ගාණක් තිස්සෙ දැනගෙන සිටිතැයි සිතන මම නං තැනැත්තිය තවදුරටත් මම නොදන්න තැනැත්තියක් බවට පත් වෙමින් එනවා. ඇත්තටම මට අවශ්‍ය මොකද්ද ? එයාගෙ බැල්ම ද, අවධානය ද, නැතහොත් ඊට වැඩි වෙන දෙයක් ද ? මට ඕනෙ මම නොවී වෙන කෙනෙක් වෙන්න ද ? එහෙම වෙන්නැති. නෑ... නෑ... ඒ කිසි දෙයක් නෙවේ, මේක හදිසි අනතුරක්. නිකංම ඉතා සොබාවික විදියකට කෙල්ලකට, කොල්ලෙක් ගැන හැඟීමක් ඇති වෙනවා. කොල්ලා මොකුත්ම දන්නෙ නෑ. අතිශයින් අසාර්ථක ප‍්‍රථම පේ‍්‍රමයේදී සිද්ධ වුණොත් මේ විදියටම තමයි. ඒකපාර්ශවීයව.

සාමාන්‍යයෙන් කොල්ලොනෙ, කෙල්ලො පස්සෙ යන්නෙ. කොහොමහරි කෙල්ලො දන්නවා තමා ඉතා ප‍්‍රිය කරන කොල්ල වුණත් පස්සෙන් ගෙන්න ගන්න. හැබැයි මම ඒ ජාතියෙ නෙවෙයි. මම පස්සෙන් එන අයට ආස නෑ. පස්සෙන් ගෙන්න ගන්න ආසත් නෑ. ඉස්සරහින් යන අයට තමා ආස. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මම පස්සෙන් යන්න ඕන කියන එකනෙ. ඉතාම නින්දිතයි. නමුත් මට ප‍්‍රණීතයි. කෙල්ලන්ට මෙහෙම හිතෙනවද කියලවත් කොල්ලො දන්නෙ නැතුව ඇති. මොකද කෙල්ලො පස්සෙන් යන්නෙ කොල්ලො පස්සෙන් යන ආකාරයට නෙවේනෙ. ඒක වෙන ආකාරයක්.

මම හැම විටම එයාව නරඹමින් හිටියා. නමුත් එයාට නොපෙනෙන්න. මම හැම විටම එයා ගැන අවදානයෙන් හිටියා. නමුත් එයාට නොදැනෙන්න. හැබැයි ඉතිං මේ නොදැනෙන්න කරන දේවල් අදාළ පර්ශවයට ලාදුරු වගේත්, මට පිදුරු වගේත් තමා. මෙලෝ රහක් නෑ. ප‍්‍රථම පේ‍්‍රමය අසමත් වුණේ ඉස්කෝලෙ යන කාලෙ. ඊට පස්සෙ මම ඉගෙන ගන්න එක නැවැත්තුවනෙ. අසමත් වීමේ වේදනාව දැන් සුවපත් වෙලා නිසා ආයෙමත් මම දැන් ටිකක් ඉගෙනගන්න උත්සහ කරනවා. මගේ පැරණි අසමර්ථකම් නැවත නැවතත් මට සිහිපත් වෙලා මාව බිය ගන්වන නිසා මම අඩියක් ඉස්සරහින් තිබ්බා. ඒකටත් හැබැයි මාසයක්ම ගියා.

මාසෙකට පස්සෙ මම කළේ එයා දිහා කෙළින්ම බලන එක. ඇස් අඳුන් නොගල්වපු මගේ නිරුවත් ඇස්වලින් ඉතා ප‍්‍රවිත‍්‍ර ඇල් ජලය වගේ බැල්මකින් මං එයා දිහා බැලුවා. නමුත් ඒ ප‍්‍රවිත‍්‍ර ඇල් ජලය මං හිත ඇතුළෙන් ජීවම් කරා "අනේ මං දිහා බලන්න" යන මන්තරෙන්. දෙයියන්ගෙ නාමෙන් එකසිය අටක් මතුරන්න නං වුණේ නෑ. එයාත් බැලුවා. බලං හිටියා. මම තත්පර පහක් විතර බලං ඉඳලා අහක බලා ගත්තා, හරියටම එයා අහක බලන්න ක්ෂණයකට කළින්. මම හිනා වුණේත් නෑ. ඉඟි කළේත් නෑ. නිකම්ම බැලුව විතරයි. නමුත් කෝච්චියෙන් බැහැල යනකොට එයා දිහා නැවත නොබල ඉන්න තරං මම ආයෙමත් ආඩම්බර වුණා. ඒත් හොර ඇහැට පේනවා එයා දැන් මං බැහැල යන දිහා බලං ඉන්න වග. අහෝ එවන් ප‍්‍රීතියක්!

පවිත‍්‍ර ඇල් ජලය මම මාත‍්‍රාවෙන් මාත‍්‍රාව වැඩි කරන්න පටන් ගත්තා. දැන් දැන් කෝච්චියෙන් බැහැල යන කොටත් පවිත‍්‍ර ඇල් ජලය බිඳුවක් ඉහින්න තරං මං නිර්භීතයි හෝ නිර්ලජ්ජිතයි. පුරා සතියකට පස්සෙ තවදුරටත් පවිත‍්‍ර ඇල් ජලය පමණක් ප‍්‍රමාණවත් නොවන බව මට වැටහුණා. මහ ගල් ආඳෙක්. ගල් ගතියත්, ආඳා ගතියත් දෙකම එකට. එක්කො ගල් විතරක් වෙන්න ඕනෙ. නැත්තං ආඳා විතරක් වෙන්න ඕන. මගේ බැල්මට බැල්මකින් ප‍්‍රතිචාර දක්වනවා තමයි නමුත් ඇයි එයාට හිනාවෙන්න බැරි? ඒකත් මමම කරන්න ඕනෙද ? මෙයා මේ මට එකට එකද කරන්නෙ? සමහර විට මට හිත යටින් හිනා වෙනවද දන්නෙත් නෑ. අනේ මන්දා මමත් මහ ලැජ්ජා නැති එකියක්. කවුරුහරි මම මේ කරන වැඬේ දන්නව නං මගේ දෙමාපියන්ගෙ නම්බුවත් හේදිලා යනවා. ඇයි මම මගේ පස්සෙන් එන කෙනෙක් තෝරගන්නෙ නැතිව මං දිහා බලලා හිනාවෙන්නවත් දන්නෙ නැති එක්කෙනක්ගෙ පස්සෙන් යන්නෙ. ඒ මදිවට පස්සෙන් යනවා කියල පෙන්නන්නත් මම අකමැතියි.

අම්මා කියල තියෙන්නෙ ඉල්ලනවා අයට වඩා නොඉල්ලන අයට දුන්නම පිං වැඩියි කියල. ඒ අයට කියන්නෙ 'පුලන්නො' කියල. කටක් ඇරල ඉල්ලන්නෙ නෑ. නමුත් ඇතුළාන්තයෙන් ලේ ඇට මස් නහර ඉරාගෙන බලාපොරොත්තු වෙනවා කියල. ඔව්, මමත් 'පුලන්නියක්' වෙලා. නමුත් අදාළ තැනැත්තා කිසිම ආගමකට ධර්මෙකට නැති එක්කෙනෙක්. ඉල්ලුවත්, දෙයිද කියල හිතන්න බැරි කෙනෙක්. මට ටිකක් ලැජ්ජ නැහැ තමයි නමුත් සම්පූර්ණයෙන්ම ලැජ්ජ නැති වෙන්න බෑ. මම මේ බලාපොරොත්තු වෙන්නෙ මහ ලොකු දෙයක් නෙවේ. එක හොඳ බැල්මක්. තෙතමනයක් සහිත සම්පූර්ණ බැල්මක්. ඒ බැල්මට පෙඟුණු හිනහවක් සහ හිනාවකින් තෙත් වුණු වචනයක් හෝ දෙකක්. උද්යෝගයක් සහ නොනිවෙන බලාපොරොත්තුවක්. මිත‍්‍රත්වයට ආසන්න විය හැකි යම් කිසි හේතුවක්. හේතුවක් නැතිව ඵලයක් හට ගන්නෙ නෑනෙ. සමහර විට මෙයා මට වඩා ධර්මය දන්නවත් ඇති. ඒකයි හේතුවක් දෙන්න හිතෙන්නෙ නැත්තෙ. හ්ම්...

මාස දෙකක් එක සීරුවෙන් අසීරුවෙන් ගත කළානෙ. ඊ ළඟ අඩියත් තියන්නං. පවිත‍්‍ර ඇල් ජලයට මං නැවත හීන් හිනාවක් එක් කරමින් අලුතින් ජීවම් කළා. මූණට මූණ ලා වාඩි වෙලා ඉන්න අවස්ථාවෙදි නෙවෙයි, කොච්චියෙන් බැහැල යන කොටයි සමුගැනීමේ පළමු හීන් හිනාව මම ඉදිරිපත් කළේ. මගේ පපුව ගැහෙන එක මගේ මුළු සරීරෙටම දැනුණා. නමුත් ඒ ජයග‍්‍රාහී අවස්ථාවට ප‍්‍රතිචාරය මට පෙනුණෙ නෑ. මොකද කෝච්චිය හරි ඉක්මනට ගියා. සමහර විට මගේ හිතේ තිබුණු කළබලය නිසා මට නිච්චි නැද්ද කොහෙද ? ආයෙ පහුවදා උදේ වෙනකං මට ඉවසුමක් තිබුණෙ නෑ.

දෙවන මාසයේ දෙවන දවස. ඉතාම නොසන්සුන් මම, කොළඹ කොටුවෙන් වාඩි වුණු ගමන් බෑග් එකේ තිබුණු පොතක් එළියට ගත්තා. මම පොතේ මැදකින් කියවන්න පටන් ගත්තෙ බොරුවට. එයා මං දිහා දැං බලං ඇති කියන සිතුවිල්ලමයි මට ආවෙ. ඔළුව පොතට ඔබා ගෙන නිසා මට අවට පරිසරයවත් එයා ඉන්න තැනවත් හරියටම පේන්නෙ නෑ. ඊයේ හිනා වුණා තමයි. ඒත් දැන් මට ආයෙ ආයෙ බල බල හිනා වෙන්න ලැජ්ජාවක් වගේ දැනෙන්න ගත්තා. ඒ අපහසුව වහගන්නයි මම පොත එළියට ගත්තෙ. මට තියෙන්නෙත් පුංචි පහේ පිස්සුවක් නෙවේ. හොඳ වෙලාවට කාටවත් මගේ හිත පෙන්නෙ නෑ. බැහැල යන කොට අනිවාර්යයෙන්ම මුල්ලෙ එයා සුපුරුදු පරිදි වාඩි වෙලා ඉඳී කියල මම බලාපොරොත්තු වුණා. ඒත් මම බම්බලපිටියෙන් බහින්න ළං වෙලා බලන කොට, එයා වාඩිවෙන මුල්ලේ හිටියෙ වෙන කෙනෙක්. එයා නෑ! එයා අද ඇවිත් නෑ ! ? උඩ පැන පැන ගැහි ගැහී තිබුණු මගේ පපුව බිමට වැටිලා කුඩු වුණා. ඒ කුඩු නැවත මුහුදු හුළෙඟ වැදිලා මගේ ඇස් දෙකටත් ගියාද කොහෙද, ඇස් දැවිල්ලක් ආවා. ඇයි ? ඇයි ? ? ඇයි ? ? ? ඇයි, මට මෙහෙම වෙන්නෙ ? ? ? ?

එයා ඊට පස්සෙ දිගටම එයා ආවෙ නෑ. දවස් හතක් ගියාට පස්සෙ පවිත‍්‍ර ඇල් ජලය පිළුණු වුණා. කුණු වුණා. ආදරයක් නැතිවම විරහව දැනෙන්නෙ කොහොමද ? මට එහෙම වුණා. මං හිතන්නෙ මම ඉපදිලා ඉන්නෙ විරහව සඳහා පමණයි. මේ ලෝකෙ කිසිම කෙනෙක් මට කැමති නෑ. කිසිම ලැජ්ජාවක් නැතුව පිරිමින්ගෙ පස්සෙ ගිහිල්ලත් කවුරුවත් මට කැමති වෙලා නෑ. ටික දවසක් නොබලා බැලුවා.. ඊට පස්සෙ පේන්නම බැලුවා.. ඊ ළඟ මාසෙ හිනාවෙන් පටන් ගත්තා විතරයි එයා අතුරුදහන් වුණා. මගේ හිනාව ලස්සන නැතුව ඇති. කොහොමටත් ඉතිං මං එච්චර ලස්සන නෑනෙ. එයාට ලස්සන කෙල්ලෙක් ඇති. කෝචිචියෙ යන්නෙ නැති, කාරෙකක් තියෙන පොෂ් කෙල්ලෙක් ඇති. මම ඉතිං මහ ගොඩේනෙ. එයා දිහා බැලුවා වගේම තව කී දාහක් දිහා බලනවා ඇත්ද කියලත් එයාට හිතෙන්න ඇති. මීට වැඩිය අවනම්බුවක් තියෙනවද ? මම මමම වුණාම ප‍්‍රතිවිපාක පිණිස මටම ලැජ්ජ වෙන්නත් සිද්ධ වෙනවා. හරිම අසාධාරණයි.

මම නැවත ඒ කෝච්චියට නැග්ගෙ නෑ. ජරා කෝච්චිය! මම උදේට වෙන එකක යන්න පටන් ගත්තා. වර්ණවත් ඇඳුම් අඳින එකත් අත්ඇරල ළා පාට; අළු පාට; දුඹුරු පාට වගේ පාළු පාට ඇඳුම් ඇඳල මම මගේ හිතේ ඇති මළගමට මමම ශෝකය ප‍්‍රකාශ කරගත්ත. මම හැංගෙන්න පටන් ගත්තා. හවස මම යන මහව කෝච්චියෙත් මං ඉඳගත්තෙ මුළුවල. මුල්ලකට ගිහින් ජනේලෙන් එහා පැත්ත බලාගෙන ගියා. මට තවදුරටත් මිනිස් ඇසුරක් අවශ්‍ය නෑ. මට කිසිම කෙනෙක්ගෙ මූණ දිහා බලන්නවත් ඕන නෑ. මාසදෙකක ශ‍්‍රමය නිකම්ම වතුරෙ ගිය එක ගැන මම තව මාසයක්ම දවසට එක ගාණෙ කඳුළක් හෙළුවා හැම උදේකම. වැඩිපුර ඇඬුවා කියලා ශක‍්‍රයගෙ ආසනේ උණුවෙයි කියල හිතන්නත් බෑනෙ.

එක දවසක් හවස මම බහින ස්ටේෂන් එක ළං වෙලා මම නැඟිටින කොටම මම දැක්ක සමීප රූපයෙන් මම බය බිරාන්ත වුණා. එයා මං ළඟ. මේ මුළු වෙලේම එයා මං ළඟ වාඩි වෙලා ඇවිත්. දෙයියනේ... අන්තිමේදි ශක‍්‍රයගෙ පඬුපුල් අසුන උණුවෙලා. සන්නස්ගල සර් සිංහල පන්තියෙදි එහෙනං බොරුවට නෙවේ කියල තියෙන්නෙ ශ‍්‍රකයේ පුටුව උණුවෙන්නෙ ගෑනු සඳහා කියල. මගේ කකුල් දෙක පණ නැති වෙලා වගේ මාව නැවත පුරුදු අසුනෙම ඉන්දවුණා. එයා ඇස්වලින් හිනා වෙනවා. එයා මුළු මූණෙන්ම හිනා වෙනවා. එයාට කතා කරන්නත් පුළුවන්.

"ඇයි දැන් උදේ එන්නෙ නැත්තෙ?"
............
"මං ඔෆිස් එකෙන් ටුවර් එකක් ගියා. ඊට පස්සෙ ඇවිත් බලන කොට ඔයා හිටියෙ නෑ. ඒත් මං ගෙස් කළා ඔයා හවසට මහවෙ යනවා ඇති කියල. මං දවස් ගාණක් බැලුවා. ඔයා බම්බා ස්ටේෂන් එකේ ඉන්නවා දැක්කා. ඔයා තනියම එක එක කම්පාර්ට්මන්ට්ස්වල යනවත් දැක්කා. ඒකයි අද ඇවිත් ඔයා ළඟින් වාඩි වුණෙ. ඒත් ඔයා ෂටර් එකෙන් එළිය බලාගෙනම යන නිසා මට කතා කරන්න හිතුණෙ නෑ. ඔයා මාව දකිනකං මං හිටියෙ..."

මගේ කටට වචන ආවෙ නෑ. මං එයා කතා කරන හැටි අහං හිටියා විතරයි. මගේ මූණ රතු වෙන්න ඇති. පපුව ගැහෙන හැටි ඇහුණද දන්නෙත් නෑ. ඔයින් මෙයින් මං බහින්න හිටපු වේයන්ගොඩ ඉස්ටේසම පහුවුණා.

"දැං බහින තැන පහු වුණානේද ? මීරිගමින් බැහැලා අනික් කෝච්චියෙ වේයන්ගොඩට එමු. මේ වෙලාවට කොළඹට යන එක්ස්ප‍්‍රස් එකක් තියෙනවා. ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ ? ඇස්වලින් විතරද කතා කරන්න දන්නෙ ?"

...........
"මං බලං හිටියා ඔයාගෙ හැසිරීම ගැන. ඔයා හරිම ඉවසිලිවන්තයි. ඒවගේම ඔයා හිතුවොත් හිතුවා. ඕන දේ නැතුව පස්ස බලන්නෙත් නෑ නේද ? මාත් එක්ක හිනාවෙන්න ඔයාට මාසයක්ම ගියා. ඇත්තටම නම් ඔයාගෙ අහිංසක ගතිවලින් මම හරියට විනෝද වුණා. මම හිනා වෙන්න ඉක්මන් වුණේ නැත්තෙ ඒකයි. සොරි, මට කියල යන්න විදියක් තිබුණෙ නෑ. මං ආපහු එනකොට ඔයා හිටියෙ නැති නිසා මං දැනගත්තා හිත රිදෙන්න ඇති කියල. හොයාගෙන ඇවිත් කතා කරන්න තරං ඔයා ස්පෙෂල් කියල මට හිතුණා...."

අපිට මීරිගමින් බහින්න ඕන වුණේ නෑ. ඉතිං පොල්ගහවෙලටම ගියා. එයාට තියෙන්නෙ මහ අමුතු ගති. මට එයත් එක්ක හැකි තරං දුරකට යන්න ඕන.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS

Warning: mysql_query(): Unable to save result set in /home/boondilk/public_html/backfunctions.php on line 639

Warning: mysql_num_rows() expects parameter 1 to be resource, boolean given in /home/boondilk/public_html/backfunctions.php on line 640

Warning: mysql_query(): Unable to save result set in /home/boondilk/public_html/backfunctions.php on line 639

Warning: mysql_num_rows() expects parameter 1 to be resource, boolean given in /home/boondilk/public_html/backfunctions.php on line 640
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets

Warning: mysql_query(): Unable to save result set in /home/boondilk/public_html/article.php on line 1050

Warning: mysql_fetch_array() expects parameter 1 to be resource, boolean given in /home/boondilk/public_html/article.php on line 1052
What's New | අලුතෙන්ම

Warning: mysql_query(): Unable to save result set in /home/boondilk/public_html/article.php on line 1191

Warning: mysql_fetch_array() expects parameter 1 to be resource, boolean given in /home/boondilk/public_html/article.php on line 1193
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook


Warning: mysql_fetch_array() expects parameter 1 to be resource, boolean given in /home/boondilk/public_html/article.php on line 80