Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
බූන්දි, 21:07:12
"රාවණ ආදරයේ හුස්ම ළඟ", "බැකි", "හිනාවෙලා මිනිත්තුවක්" වැනි නාට්‍ය නිෂ්පාදනය කරමින් ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ අඛිල සපුමල්ගේ නවතම නාට්‍ය නිර්මාණය "ගිරිකූඨ කාශ්‍යප", නොවැම්බර් දෙවන දින, සවස 4:00ට සහ 7:00ට, බොරැල්ල නාමෙල් මාලනි පුංචි රඟහලේදී රංගගත කෙරෙයි. මේ එම නවමු නිර්මාණය සහ නාට්‍ය කලාවේ වත්මන් මොහොත පිළිබඳ අඛිල සමග කළ කතා බහක්.

ඔබ නාට්‍යයක් කිරීම සඳහා කාශ්‍යප සම්බන්ධ ඉතිහාස පුවත තෝරා ගන්නේ ඇයි? එය හුදෙක් ආරියවංශ රණවීර විසින් රචිත අපූර්ව පිටපතක් ඔබට ලැබුණු නිසා සිදු වූ දෙයක් ද?

ඇත්තටම ආරියවංශ සර්ගේ හීනයක් මේ නාට්‍යය. 1966 වර්ෂයේදී එතුමා සහ නැසීගිය ප්‍රවීණ සංගීතවේදී දයා අල්විස් මහතා කෑගල්ලේ තෝලංගමුව මධ්‍ය මහ විද්‍යාලයේ ආචාර්යවරු ලෙස සේවය කරද්දී එවක පාසල් ළමුන් සමග මෙම නාට්‍යයේ මුල් පිටපත 'ගිරිකූඨ' නමින් නිෂ්පාදනය කරලා තිබුණා. මා සහ ඇදූරු ආරියවංශ රණවීරයන් අතර මිත්‍රත්වයක් ගොඩ නැගුනේ මා සරසවි ශිෂ්‍යයෙකු කාලයේ නොව ආචාර්යවරයෙකු ලෙස සේවය කරන කාලයේදී. ඒ කියන්නේ 2013-2014 අවුරුද්දේ. එතුමා පරිවර්තනය කරපු 'බැකි' නාට්‍යය මම අධ්‍යක්ෂණය කළා ඉතා සාර්ථකව. ඊට පස්සේ 2014 දී එතුමාගේ කතා සංකල්ප කිහපයක් පදනම් කරගෙන 'විකාරම හැන්දෑව' නමින් නව රංග ආකෘතියක් නිර්මාණය කළා. ප්‍රායෝගිකව නාට්‍ය කලාවත් එක්ක එතුමා ලැබු උත්තේජනය නිසා තව වැඩක් කරන්න එතුමා අදහස් කරමින් ඉන්න අතරතුර තමයි දයා අල්විස් මහත්මයාගේ වියෝව සිද්ධ වුනේ. අරියවංශ සර් යෝජනා කළා මට 'ගිරිකූඨ' කරන්න දයා අල්විස් මහත්තයාගේ පළමු වර්ෂ සිහි ගැන්විමට උපහාරයක් ලෙස. ඒ අනුව තමයි මේ නාට්‍ය 'ගිරිකූඨ කාශ්‍යප' නමින් අධ්‍යක්ෂණය කිරීමට නිමිත්ත වුනේ. පැරණි පිටපතේ බොහෝ තැන් සර් ලවාම මම සකස් කරගත්තා. සමහර ගීත ඉවත් කළා. සර් අලුත් ගීත ලිව්වා. මේ පිටපත තුළ ගැබ් වුණු සමස්ත අර්ථය ප්‍රබලයි. එය නාට්‍යෝචිත සිද්ධි සමග මුසු කරමින් අර්ථය තීව්‍ර කර ගැනුමට වෙනස්කම් කරමින් නව රංගයක් බිහි කර ගත හැකි අන්දමට මගේ යෝජනා හා සර්ගේ යෝජනා මත නව නාට්‍ය පිටපත සකස් කර ගන්න අප උත්සාහ කළා.

ඇත්තටම මම කැමතියි ඉතිහාස කතාවක් තුළින් නුතන සමාජය අමතන්න. ඒ අසාවත් මේ පිටපත තෝර ගන්න නිමිත්තක් වුනා. සීගිරිය වැනි අනභීභවනීය කලා පුරයක් නිර්මාණය කිරිමට වේදිකාව තුළ මට වරම් ලැබෙනවා. ඒකට ඇත්තටම මම කැමතියි. වින්දන පර්ෂදය මේ සුවිසල් නිෂ්පාදනයට අත හිත නොදූන්න නම් 'ගිරිකූඨ කාශ්‍යප' හීනයක්ම වෙනවා.


ගිරිකූඨ කාශ්‍යප- රංග වින්‍යාසය හා අධ්‍යක්ෂණය- අඛිල සපුමල්

ගිරිකූඨ කාශ්‍යප නාට්‍යයේ ප්‍රධාන චරිතය කාශ්‍යප ද? සංගීතය ද?

සංගීතය. මේ නාට්‍යය හරහා මතු කරන කාශ්‍යපව ටික ටික අඹන්නේ සංගීතයයි. ගතානුගතික අදහස් මතින් නොව නව අදහස් තුළින් සීමා මායිම් නැති නිදහස් ලොවක් ගැන දර්ශනයක පිහිටා සියලු දේ සිතන, කරන මේ අලුත් මිනිසාව බිහිකෙරුමට මට යානය වුනේ සංගීතයයි. රංගය ආරම්භයේ සිට අවසානය දක්වා මිනිස් හැඟීම් හෙළි කරන විටෙක කාලය හා අවකාශ අතර හිඩැස පුරවන හා ප්‍රේක්ෂකයාව සෘජුව හා වක්‍රව අමතන චරිතය වන්නේ සංගීතයයි.

අප දන්නා පරිදි පළමු දර්ශනයෙන් පසු දෙවන වර රංග ගත කිරීමේදී ඔබ නාට්‍යයේ යම් වෙනස් කිරීම් ප්‍රමාණයක් සිදු කෙරුවා. ඊට බලපෑවේ චෙකොෆ්ගේ මුහුදු ලිහිණියා මංගල දර්ශනයේදී සිදු වූවාක් බඳුව මුල් වෑයම අසාර්ථකයැයි ඔබට හැඟී යාමද?

මගේ ශෛලිය තමයි මට මගේ ප්‍රකාශනය මට දැනෙන අන්දමින් ප්‍රකාශ වන තෙක් සකස් කරන ක්‍රියාවලිය. මා එහිදී කරන්නේ රූපණය යථාර්ථවාදීව තබා ගැනුමට උත්සාහ කරන ගමන් භාවිත ආනුශංගික පක්ෂය තුළින් යථාර්ථයේ සීමා බිඳලනු ලැබිමයි. ගිරිකූඨ කාශ්‍යප මංගල දර්ශනයට 70ක පමණ විශාල පිරිසක් සම්බන්ධ වුනා. මගේ නව රංගය මෙම නාට්‍යය තුළ යොදාගැනීමට උත්සාහ කළත් මා තෘප්තිමත් වුනේ නෑ. 2015 යෞවන නාට්‍ය උළලේ හොඳම නාට්‍යය වුන 'හිනාවෙලා මිනිත්තුවක්' නාට්‍යයේදී ද මංගල දර්ශනයේදී මා තෘප්තිමක් වූයේ නෑ. දර්ශන වාර පහක් විතර ගියාම තමයි මා ගොඩ නැගීමට උත්සාහ කළ රංගය මතු කර ගැනුමට හැකි වුනේ. එහෙම වෙන්නේ ඇයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. මම නිතරම වේදිකාව තුළ මවන්න උත්සාහ කරන්නේ මා ද නොදැක්ක අපුරු ආකෘතියක්. මා මනසින් පමණක් දැක්ක ලොවක්. ආකෘතියක්. හැබැයි සැබෑ හැඟිම් හා ක්‍රියා ද අන්තර්ගතව. එය පළමු දර්ශනයේදී ම සීයට සීයක් දකින්න මට අවශ්‍යතාවයක් නෑ. කලබලයකුත් නෑ. නාට්‍යයක් කියන්නේ කටපාඩම් කරගත්ත යන්ත්‍රයක් නෙවෙයි. පර්යේෂණයක්. කටපාඩම් නළුවන්ට මං කැමතිත් නෑ. අලුත් දේ සොයන නළුවන් එක්ක වැඩ කරන්න මං කැමතියි.


ගිරිකූඨ කාශ්‍යප- සංගීතය- ලහිරු මාඩිවිල

නාට්‍ය යනු සජීවී අත්දැකීමක් නිසා රංගයෙන් රංගයට නාට්‍යයක් නැවත උපදිනවා. සිනමාවේදි අධ්‍යක්ෂවරයා බොහෝවිට තෘප්තිමත් භාවයට පත් වන්නේ සංස්කරණයෙන්. මම ද මා අපේක්ෂිත ආඛ්‍යානය සමාජ ගත කිරීමට අධ්‍යක්ෂකගේ කාර්යභාර්ය සේම සංස්කරණ ශිල්පියාගේ කාර්යය ද කරමින් හොඳම ප්‍රේක්ෂාවන් ගලපමින් ප්‍රේක්ෂකයාට සෞන්දර්යය ගෙන ඒමට උත්සහ කරනවා. ඒ සෞන්දර්යය තුළ මාගේ සමාජ දැක්ම තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.

ගීත නාටක කියූ පමණින් එක්වරම සිහියට නැගෙන්නේ කේමදාස ලාංකේය ඔපෙරාව සොයා යමින් කළ මානස විල බඳු දුෂ්කර අභ්‍යාසයන්. අඛිල සහ ළහිරු මාඩිවිල එකතුව මගින් ගිරිකූඨ කාශ්‍යප වෙනුවෙන් නිර්මාණය වන සංගීතමය ආකෘතිය ස්ථානගත වන්නේ කොතැනකද?

මා අතින් නිර්මාණය වුනු හැම නාට්‍යයකම සියයට විස්සක කොටසක් සංගීතයට තිබුණා. 'රාවණ ආදරයේ හුස්ම ළඟ', 'බැකී', 'හිනාවෙලා මිනිත්තුවක්' ඒ අතර වෙනවා. ඒ අවශ්‍යතාව බොහෝවිට පිරුණේ ළහිරුගෙන්. මේ නාට්‍යය සියයට සියයක්ම සංගීතමය නාට්‍යයක්. ඒ නිසා මා තරම්ම කාර්යයක් වගකීමක් ළහිරුට පැවරුණා. අප දෙදෙනාගේම යෝජනාව වුනේ ජනප්‍රිය සංගීතමය ශෛලියක් වහල් නොකොටගෙන රංගය හා චරිත මනෝභාවයන් ඉල්ලා සිටින සංගීතය නිර්මාණය කරලීමටයි. නමුදූ අප ගීත නාටක, ඔපෙරා හා ජන සංගීතයේ ආභාෂය මේ සඳහා යම් යම් අවස්ථාවලදි යොදා ගනු ලැබුවා. ළහිරු සහ මම ශාස්ත්‍රියව ලැබු අධ්‍යනයන් මෙහිදී වැදගත් වුනා. මෙහි සංගීතමය ආකෘතියට පසුකාලීනව නම් තැබීමට මා ප්‍රේක්ෂකයන්ට විචාරකයන්ට භාර දෙනවා.


ගිරිකූඨ කාශ්‍යප- Photo- Perfect EYE

ඝාතකයෙකු ලෙස සලකා කාශ්‍යප වෙත නින්දාවේ හී සර විදින්නේත්, කලා රසිකයෙකු ලෙස සලකා ඔහුටම මල් මාලා දමන්නේත් ඉතිහාසයමයි. ඔබට අවශ්‍ය වූයේ කාශ්‍යපගේ කේවල පුද්ගල ඛේදවාචකය මතු කිරීමද, නොඑසේනම් ඔහුගේ බහුවිධ අත්දැකීම් මතු කරමින් පොදු දේශපාලනික වටිනාකමක් සහිත නාට්‍යමය ආඛ්‍යානයක් නිපදවීමද?

ඇත්තටම අතීතය නැවත නැවත මතක් කරමින් තලු මැරීමට දෙයක් නෑ කියලයි මං හිතන්නේ. ඉතිහාසය හෝ වර්තමානය, අනාගතය හෝ වේවා ඒවායේ ජීවත් වන මානවයාගේ හැඟීම් සිතුවිලි දෝලනය වන අන්දම තුළ වෙනසක් නෑ. කොයි යුගය වුනත් මිනිස් ආවේග, සිතුවිලි එකයි. දන්න ඉතිහාස කතාවක් තුළින් වර්තමාන සමාජයට ඥානය මුදා හැරීම සඳහා තමයි මම මේ ඉතිහාස කතාව නාට්‍යයට නිමිත්ත කර ගන්නේ. කාශ්‍යපගේ කේවල පුද්ගල ඛේදවාචකය තමයි නාට්‍යයේ නිරූපණය වන්නේ. නමුදු ඔහු ධාතුසේන රජු ඒ කියන්නෙ සිය පියාව දඟගෙට යැවිමත් ඉන්පසුව සීගිරිය නම් මහත් වෑයමට මුල පිරුමත් යන කාරණා නාට්‍යය තුළ සාකච්ඡා කෙරෙන්නේ පොදු දේශපාලන වටිනාකමක් ඇති නාට්‍යමය අඛ්‍යානයක් ලෙසය. කාශ්‍යපගේ හැසිරීම් මා මෙම නාට්‍ය තුළ සාමාන්‍ය මිනිස් හැසිරීම් ලෙස ගොඩ නැගීමට උත්සාහ කළා.

රණවීරගේ පෙළ නිෂ්පාදනයේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද? විශේෂයෙන් දෙබස් විරහිත කාව්‍යමය පෙළ නාට්‍යයේ පාත්‍ර වර්ගයාගේ හැඟීම් ප්‍රකාශනයක් දක්වා ගෙන ඒම කෙබඳු අභ්‍යාසයක් වූවාද?

සර්ව තෘප්තිමත් කිරිම තමයි ලොකුම අභියෝගය වුනේ. 1966 දී පමණ ලියූ නාට්‍ය පෙළක් මගේ නව රංගයෙන් නිෂ්පාදනය කිරීම සඳහා නාට්‍යයේ මුල, මැද, අග සබඳතාවයේ බොහෝ වෙනස්කම් සිද්ධ කරන්න සිදූ වුනා. ආරියවංශ සර්ගේ කවීත්වය අති ප්‍රලබයි. ඒවා ගීතවත්ව, අර්ථ ජනනය වන අන්දමින් ගලපා ගැනීම ලොකු අභියෝගයක් වුනා. සංවාද නැති නිසා නාට්‍යය තුළින් සාකච්ඡා කෙරෙන ගැඹුරු ප්‍රකාශනය ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට බොහෝ උපක්‍රම භාවිතා කරන්න සිද්ධ වුනා. ඒවා රංග ශෛලියට උච්ත ලෙස ගලපා ගැනීමත් අභියෝගයක් වුනා. නාට්‍යය තුළ කාලය ඉතා වේගයෙන් ගලා යනවා. එහි හේතු ඵල සම්බන්ධය, තර්කානුකූල බව ඉස්මතුවන අන්දමට රූපණ ක්‍රියාවලියක් සකස් කිරීමට සිද්ධ වුනා. ඒ මගින් නාට්‍යෝචිත පරිසරයක් නිර්මාණය කර ගැනුමට හැකි වුනා. ගීතවත් නාට්‍යයක ස්වභාවික රූපණයට ළංවන රංග ශෛලියක් අනුගමනය කිරීම රූපණ ශිල්පීන් මුහුණ දුන් ලොකුම අභියෝගය වුනා. ගයන්න, නටන්න, රඟන්න හා මගේ රංග ශෛලියට යෝග්‍ය වේගවත් පරිකල්පනයක් සපිරි නළු කැලක් තෝරා ගැනීමත් අභියෝගයක් වුනා.


ගිරිකූඨ කාශ්‍යප- Photo- Perfect EYE

ලංකාවේ නාට්‍ය ප්‍රේක්ෂකාගාරය ද්විවිධයි. පළමු කොටස රට පුරාම පාහේ පැතිර සිටින හාස්‍ය නාට්‍ය ලෝලීන්. අනෙක් කොටස කොළඹ ආශ්‍රිත වඩා උසස්යැයි සම්මත නාට්‍ය බැලීමට පුරුදු වූ කණ්ඩායම. මුලින් කී පිරිස වඩා හොඳ රසිකත්වයක් කරා ගෙන යාමට (-ආණ්ඩුවලට නොවෙයි-) නාට්‍යකරුවන් විදිහට ඔබට කළ හැකි කිසිවක් තිබේද?

මට කළ හැකි දේ මම කරමින් සිටිනවා මගේ කණ්ඩායම සමඟ. අද උසස් නාට්‍ය කලාවක් ගැන පුරසාරම් දොඩවන ප්‍රවීණයන්ව බාල ඉස්කාගාර බදුදීලා අරන් තියෙන්නේ. මට ප්‍රවිණයන් පිළිබඳ ඇත්තටම තැකීමක් නෑ. මම කැමති මට ද අභියෝගයක් විය හැකි දක්ෂ නවකයන්ට. වෙනස් දෙයක් කළ හැක්කේ අලුත් පරපුරට. මා ප්‍රමුඛ මාස්ක් තියටර් (වෙස්මුහුණු රඟහල) නාට්‍ය කණ්ඩායම පරාර්ථකාමි අරමුණක් පෙරදැරිකරගෙන කළ යුතු දේ කරනවා. අප වැනි කණ්ඩායම් බෝ වෙනවනම් සැබෑ වෙනසක් සිදූ වේවි.

බැහැරින් ඉන්නා අය ලෙසට අපට හැඟෙන්නේ නාට්‍ය සංවිධායකයන්ගේ ඒකාධිකාරයක් ඇති බවයි. තමන්ගේ වෙළඳ යාන්ත්‍රණයේ පැවැත්ම සදහා 'නැගලා යන නාට්‍ය' හෝ පාසල් විෂයය නිර්දේශානුකූල නාට්‍ය කිහිපය හෝ පමණක් කොළඹින් බැහැරට ගෙන යාම හැර කිසිවක් වෙන බව අපට පෙනෙන්නේ නැහැ. මේ ක්‍රමවේදය ගැන ඔබට විවේචනයක් තිබෙනවාද?

රැල්ලට ගහගෙන යන්න මේ උගත් නූගත් මෝඩයෝ හැමෝම කැමතියි. හැම දෙයක්ම බැලන්ස් වෙන්න එපැයි. ඇත්තටම ඔය කියන නැගලා යන නාට්‍යත් තියෙන්න ඕනේ. මොකද ඒවට කැමති මිනිස්සුත් ඉන්නවනේ. වෙලා තියෙන්නේ ඊට අභියෝගයක් වෙන්න හොඳ නිර්මාණ බිහි නොවිමයි. 80/90 දශකයේ නළු නිළියෝ ටිකත් ආර්ථීක වාසිය නිසා නැගලා යන නාට්‍ය වලට තමයි හවුල් වෙන්නේ. අනිත් එක හොඳ නාට්‍යයක් හදන්න අඩු තරම් අවුරුද්දක්වත් යනවා. කොහේද ඉන්නේ දැන් අවුරුද්දක් අරන් නාට්‍ය හදන අය. ප්‍රවීණ උදවිය දිර්ඝ කාලීන පුහුණුවකට යන්නේ නෑ. එකපාර නාට්‍ය දොළහක විතර වැඩ හැමෝම. ඉතිං කොහොමද නාට්‍යකාරයෙක් සැබෑ හොඳ නාට්‍යයක් බිහි කරගන්නේ. ටෙලි උන්මාදය නැති අලුත් පරපුරට තමයි ඒ අඩුව පුරවන්න පුළුවන්. සාධනීය වෙනසක් කරන්න නම් හොඳ නාට්‍ය බෝ කරන්න ඕනා. හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ.

ලංකාවේ ප්‍රචාරණය සඳහා කෙරෙන හුදු පිට කසා ගැනීම් වලින් ඔබ්බට ගිය දියුණු නාට්‍ය විචාරයක් තිබේ යැයි ඔබ සිතනවාද?

නාට්‍ය විචාරයක් කියලා එකක් මම නම් ඇත්තටම දැකලා නෑ. මුරුංගා අත්තේ විචාර එකක් දෙකක් නම් දැකලා තියෙනවා. විචාරකයෝ කියා ගන්න උදවිය නාට්‍ය කලාව ගැන දන්නෑ. නාට්‍ය බලන්නෑ. සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් වෙලා නාට්‍ය බලන්න විචාරකයා හුරු වුනු දවසට සැබෑ නාට්‍ය විචාරය බිහිවෙවි. නාට්‍ය කලාව ඔසවා තබන්න නාට්‍ය විචාරය අවියක් කරගන්න පුළුවන්. මේ අය කරන්නෑ ඒක.


ගිරිකූඨ කාශ්‍යප- Photo- Perfect EYE

මනමේ සිට ගෙවුණු පුරා වසර හැටක දුෂ්කර ප්‍රයාමයකින් පසුත් සිංහල නාට්‍ය කලාවට හමු වන්නේ නාට්‍යවලට පහර දෙන අවරසික මැර කණ්ඩායම්. නාට්‍යයක් රස විඳීමට අවශ්‍ය සංයමය නැති පරම්පරාවක් බිහි කිරීමට සිය නිෂ්ක්‍රීයත්වය හෝ නිද්‍රාශිලීබව මගින් කලාකරුවනුත් හවුල් වී ඇති බව අපේ වැටහීමයි. ඒ ගැන ස්වයං විවේචනයක් නාට්‍යකරුවන් ලෙස ඔබට තිබෙනවාද?

බොරු රැඩිකල් නාට්‍යකරුවන් අපේ රටේ වැහි වැහැලා. කලාකරුවෙක් නම් රැඩිකල් අදහස් පළ කරන්න ඕනෑ නිර්මාණවලින්. චේගෙ ටීෂර්ට් ඇඳගත්ත පලියට හෝ සිගරට් එකක් බොනගමන් නාට්‍ය පෙළ කියවන එකට රැඩිකල්නේ අපේ අය කියන්නේ. අපි දැන ගන්න ඕනා සම්ප්‍රදාය රැකිය යුතු තැන රකින්නත් සම්ප්‍රදාය කැඩිය යුතු තැන කඩන්නත්. අපි අපේ නිර්මාණ ක්‍රියාවලියට වගකිව යුතුයි. අප හෙළි නොකරන අපේ වගකීමක් යුතුකමක් වන්නේ නිද්‍රාශිලි සමාජය අවදි කෙරුමයි.

ඒ සඳහා කලාකරුවන් නිර්මාණශිලිව මිස බොරු රැඩිකල් මුහුණ දමාගෙන වැඩක් නැති බවයි මගේ අදහස. පේරාදෙණියේ වලේදී සම්ප්‍රදායක් කියලා එකක් තියේද අපේ යුතුකම ඒක රකින එකයි. මට මතකයි කැලණි විශ්ව වීද්‍යාලයට ජපන් නාට්‍ය කණ්ඩායමක් ආවා. ඔවුන් පුදූම විදිහට සම්ප්‍රදායට ගරු කරන්නේ. වේදිකාවට සපත්තු දාගෙන නැග්ග ශිෂ්‍යයන්ට ඔවුන් දොස් කිව්වා. අපි කිසිම දෙයක් රකින්නේ නැති ජාතියක් වෙලා. ජීවිතය, ආදරය, යුක්තිය වැනි කාරණාවල දී අපි සම්ප්‍රදාය උල්ලංඝනය කලාට රැකිය යුතු තැන සම්ප්‍රදාය අප රැකිය යුතුය. නිද්‍රාශිලී සමාජයක ජීවත් වන ප්‍රේක්ෂකයන් සකස් කරනවාට වඩා විනයක් ඇති හික්මීමක් ඇති නාට්‍යකරුවන් හා නළු නිළියන් සකස් කිරිමයි වැදගත් වෙන්නේ. මන්ද උදාර ප්‍රේක්ෂාගාරයක් තැනිය හැක්කේ ඔවුන්ටයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Akhila Sapumal, Girikuta Kashyapa, Sinhala Drama, Ariyawansha Ranaweera, King Kashyapa I, Sigiriya, King Dhatusena, Sri Lankan History
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
බූන්දි වැ.දෙ.ගෙන් තවත් වියමන්
කතා-බස්
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
වෙසෙස්
ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා
සිත්තර
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
කතා-බස්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
කතා-බස්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
තවත් රහ කතා-බස්
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'
මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු
විවෘත නාට්‍ය විචාරයක් නැතිකමින් හොඳ නිර්මාණ සමාජගත වෙන්නේ නෑ.- ප්‍රියංකර රත්නායක
බාල ස්කාගාරයක මත්පැන් බෙදනවා වගේ බොළඳ හාස්‍යයෙන් වර්තමාන වේදිකාව පිරිලා..!- අකිල සපුමල්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| කුකුල් බය

40-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) ගොවි ගෙදරක හිටියා හරිම හීලෑ උකුස්සෙක්. එයා එයාගෙ ස්වාමියා කතා කළාම ඇවිත් අතේ ලගිනවා, කෑම කනවා. ඒත් මේ ගෙදරම ඉන්න... [More]
කතන්දර| අලුත ගෙනා මනාලිය

8-Mins

(සුනීතා ජෛන් | නිලූක කදුරුගමුව) යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට උවමනාය.... [More]
අදහස්| සම රිසිභාවය වරදක් වූ සමාජයක....

6-Mins

(කසුන් සී. තිලකරත්න) 'පුද්ගලයන් තම උපත, තරාතිරම, තමන් අයත්වන සමාජ කණ්ඩායම සහ තම ලිංගික අනන්‍යතාව යන හේතු මත ලජ්ජාවට භාජනය කරන සමාජ ආයතන... [More]
Cine| ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව

7-Mins

(අශෝක හඳගම) කාමොද්දීපනය කෙරෙන නාරි ලාලිත්‍යයක් උපතින්ම දායාද කරගත් සිල්වියා නම් ස්වීඩන් රංගන ශිල්පිනිය සුප්‍රසිද්ධ ට්‍රොවි වතුර මල වෙතට සක්මන් කරනවා. ඇය... [More]
කතන්දර| වල් බූරුවයි- පොල් බූරුවයි

41-Secs

(ලියෝ තෝල්ස්තෝයි | ඉසුරු අබේසේකර) දවසක් තවලමක බඩු අදින ජේත්තුකාර බූරුවෙක් තණ බිමක තණ උලාකන වල් බූරුවෙකුව දැක්කා. අපේ සමහර මිනිස්සුන්ට වගේම මේ ජේත්තුකාර බූරුවටත්... [More]
වෙසෙස්| ඇය හෙවත් මැඩෝනා!

1-Mins

(සංඛ කිරිඳිවැල) ඒ 1979 අවුරුද්ද. නිව්යෝර්ක් කියන්නේ හරි භයානක නගරයක්. මම මෙහෙ ජීවත්වෙන්න ගත්ත පළමු අවුරුද්දෙම මාව තුවක්කුවක් පෙන්නලා බයකරලා, වහලක් උඩට... [More]
ඔත්තු| සන්ථව කාව්‍ය විචාර සම්මානය 2017

57-Secs

ශ්‍රි ලංකේය නූතනම කාව්‍ය ව්‍යාපාරය ඔස්සේ කාව්‍ය විචාරය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් සන්ථව ප්‍රකාශන ආයතනය,... [More]
කතන්දර| නිල් මල් ගවුම

13-Mins

(ඉසුරු චාමර සෝමවීර) විදුර ගියා. මං දොර වහලා විනාඩි හතර පහකට පස්සෙ තමා එයාගෙ කාර් එක ස්ටාර්ට් කරනවා ඇහුනෙ. ස්ටාර්ට් කරලත් ඒක ගියෙ... [More]
කවි| නන්දා ....

25-Secs

(රුවන් නෙලූ) ඇන්දා වු සිතුවම් අහස හිමිකරු හිරුද ළා සඳුද
රන්දා ආදරේ බිඳෙන රළ ළඟ වෙරළ නිහඬමද
කැන්දාන එන්නට වරම් නැති හිත අතැර යා යුතුද
නන්දාට ආදරේ දෙන්න පුළුවන් පියල්ට විතරමද

උස් මතක රැඳි රූමස්සලින් බැස දේදුණුත් හංගා... [More]
කතන්දර| මාස තුනක් සහ එක දවසක්

9-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) තරුණයෙක්, තරුණියක පසුපස යයි. එසේ පෙනුණන් දෙදෙනාගේ සංවාදය සමාන්තරව ගමනේ යෙදේ.
ස්ථානය: මහජන පුස්ථකාල පරිශ්‍රය කොළඹ

"යන්න එපා පොඩ්ඩක්... [More]
අදහස්| ආණ්ඩුවේ සමකාමී-සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහිව පෙත්සමක්..

1-Mins

සමකාමීත්වය ලංකාවේ ව්‍යස්ථාපිත නීතියට අනුව ඇතුලත් (365 වගන්තිය) අපරාධ වරදකි. සම ලිංගිකයන්ගේ හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් නීති ගත කරන ලෙස... [More]
වෙසෙස්| දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා

4-Mins

(සරද සමරසිංහ) පසුගිය දා දිවි සැරියෙන් සමුගත් දීපාල් සිල්වා නම්වූ ගායකයා ගැන අපේ රටේ මාධ්‍ය තුලින් ඒ හැටි යමක් කථා නොවෙන්නේ අහම්බෙන්... [More]
ඔත්තු| නූතන කවිය පිළිබඳ සංවාදයක්- ජන. 25

12-Secs

ලක්ශාන්ත අතුකෝරලගේ මෑතකදී නිකුත් වූ කාව්‍ය සංග්‍රහයන් ද්වය ('සමහර කමටහන්' සහ 'සුසුමකින් සුළි සුළඟ') නිමිති... [More]
ඔත්තු| 'රැහැයියනි, රැය ගෙවුණි'- ජනවාරි 21

8-Secs

තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ විසින් රචිත 'රැහැයියනි, රැය ගෙවුණි' කාව්‍ය සංග්‍රහය 2017 ජනවාරි 21 දින සවස... [More]
ඔත්තු| 'බැබිලෝනියන්වරු'- ජනවාරි 21

16-Secs

ප්‍රනීත් චානක මුරමුදලිගේ 'බැබිලෝනියන්වරු' නාට්‍ය ග්‍රන්ථය 2017, ජනවාරි 21 සෙනසුරාදා, සවස 2:00ට, කොළඹ මහජන පුස්තකාල... [More]
ඔත්තු| 'පේ‍්‍රමයට ඉඩක් ඇත'- ජනවාරි 19

13-Secs

සුපුන් අතුකෝරලගේ 'පේ‍්‍රමයට ඉඩක් ඇත' කාව්‍ය සංග‍්‍රහය 2017, ජනවාරි 19 බ‍්‍රහස්පතින්දා පස්වරු 3:30ට, කොළඹ 07,... [More]
කවි| පුංචි බොරැල්ලේ සිද්ධාර්ථ

23-Secs

(සඳුන් ආසිරි අරඹවෙල) එකසිය තුනේ බස් එක එළවන ඡන්න
පාස්පෝර්ට් බැහැගන්නට මොර දුන්න
සසර කලකිරී කොරියාවට යන්න
ආ සිදුහත් බෝධිය ළඟ නවතින්න...

සුදොවුන් සදිසි පියවරු ලොතරැයි ගේන... [More]
කතන්දර| කබායක් පැළැඳි මැදිවියේ කත

4-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) "අලුතෙන් බලන්න දෙයක් නෑ අනේ. දස පණතම තමයි. අක්කටත් එවලා තිබුණේ" මම සිනාසෙන්නට වීමි. අම්මා මගේ සිනාවට අනුබල නො දෙමින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook