Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
බූන්දි, 07:00:26
නවකතාව නමැති සාහිත්‍ය ශානරයේ (ප්‍රතිනිර්මාණ විධියේ) ව්‍යුහමය නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් නවකතාවේ අරාජිකත්වය ගැන ලියන මේ රචනය මහාචාර්ය ටෙරී ඊගල්ටන්ගේ "ඉංග්ලිස් නවල්" නමැති කෘතිය නැවත නැවත කියවීමෙන් ලද ආවේශයෙන් ලියැවෙන රචනයකි. මෙකල පළවෙන පුවත්පත් විචාර, ෆේස්ක්බුක් සටහන් ආදිය කියවීමෙන්, සිංහල සාහිත්‍ය පඨනය තුළ "නවකතාමයත්වය" (Novelty) යනු කුමක්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙනුත්, හොඳ නවකතාවක් කෙසේ විය යුතුද යන්න පිළිබඳවත් ගල්ගැසී ඇති තක්සේරු කරණ ප්‍රමිතීන් න්‍යායිකව යළි පරීක්ෂා කිරීම අවශ්‍ය බව ඒත්තු යයි. අපේ බොහෝ පාඨකයෝ නවකතාවක් කියවන්නට ගන්නේම "හොඳ නවකතාව" යනු කුමක්ද යන්න තමා දන්නා බව සහතික කරගෙනය. ඒ නිසාම තමා නවකතාවට ආදර්ශය සපයා ගන්නා "පරමාදර්ශි නවකතාවට" වෙනස් ආඛ්‍යානමය ගොඩනැංවීමක් ඇති කෘතියක හමු වුණු විට ඔවුන් දුර්මුඛ වෙයි. තම අත ඇති කෘතිය මත තම ආධිපත්‍යය පතුරුවයි. සාහිත්‍ය කියවීම යනු එවැනි කාර්යක් නොවේ. වෙනස් ව්‍යුහමය ගොඩනැංවීම් සහිත නවකතා වෙත හැකි තරම් සමීප වෙන්නට උත්සාහ දැරීමයි. මේ රචනය එවැනි එක් කුඩා වෑයමකි. ඒ සඳහා නිදර්ශන සපයා ගැනීමේදී මා උත්සාහ කරන්නේ ඉතාම මෑතක ලියැවුණු සිංහල නවකතා කිහිපයක් සාකච්ඡාවට ගැනීමයි.

නවකතාවේ ව්‍යුහමය නිදහස

නවකතාවේ නිදහස යනුවෙන් මා අදහස් කරන්නේ නවකතාවක් ලිවීමේදී, එය සංවිධානය කිරීමේ නිදහස (දෙන ලද තත්ව/කොන්දේසි නොමැති වීම) මෙන්ම නවකතාව මගින් සාකච්ඡා කෙරෙන දේ, "නවකතාව කතා කරන්නේ මොනවාද" යන්න පිළිබඳ පූර්ව කොන්දේසී, සීමාකම් නොමැති වීමේ නිදහසයි. ඒ නිසා "නවකතාවේ නිදහස" යන්න සරලව දෙවැදෑරුම් සංකල්පයකි.

1. ආකෘතිකමය නිදහස
2. වස්තු විෂයාත්මක සහ තේමාත්මක නිදහස

නමුත් නවකතාවක ආකෘතිය සහ අන්තර්ගතය යන දෙකම එකම ව්‍යුහයක හමු වන නිසා මේ දෙවැදෑරුම් නිදහස නවකතාවක ව්‍යුහමය නිදහස නමින් තනි සංකල්පයක් ලෙස හඳුනාගන්නටද පුළුවන. ව්‍යුහමය නිදහස යන්න ආකෘතිමය නිදහස සහ වස්තුවිෂයාත්මක හෝ තේමාත්මක නිදහස යන සංකල්ප දෙකටම වඩා පුළුල් සංකල්පයකි. ආකෘතිකමය නිදහස යනු නවකතාවක භාෂාව, ගද්‍ය වැකි හෝ කාව්‍යාත්මක වැකි, පද බෙදීම්, අක්ෂර වින්‍යාසය, ශෛලිය, දෘෂ්ටිකෝණය, චරිත නිරූපණය සහ අවස්ථා නිරූපණය ආදී නොයෙක් අංග ලේඛකයාට අභිමත පරිදි පූර්ව නිශ්චිත ඉගැන්වීම් වලට වහල් නොවී හැසිරවීමේ ඇති හැකියාවයි. වස්තු විෂයාත්මක හෝ තේමාත්මක නිදහස යනු සීමා- තහංචි වලින් තොරව ඕනෑම විෂයක්, සිද්ධියක්, සමාජ සංස්කෘතික ප්‍රපංචයක් පිළිබඳව නිවහල්ව, ලේඛකයාගේ දැක්මට අනුව නිරූපණය කිරීමේ හැකියාවයි.

ඉහත කී ආකෘතිය, වස්තු විෂය, තේමාත්මකය යන සියල්ල ඒකාත්මික කරන්නේ කෘතියක ව්‍යුහයයි. එනම්, වස්තු විෂය සහ තේමාත්මකයත් ආකෘතික ලක්ෂණත් (ඒ කියන්නේ සමස්ත නවකතාවේ ඒකාබද්ධතාව) දරා සිටීමයි. නවකතාවක ආකෘතිය මෝස්තරාවලියක් නොවී විශිෂ්ටත්වයට පත් වන්නට නම් මේවායෙහි නොබිඳෙ සුළු - අන්‍යෝන්‍ය බවක් තිබිය යුතුය.

නවකතාවක ව්‍යුහමය නිදහස යනු සමස්ත ප්‍රබන්ධ කතාව සැලසුම් කිරීමේදී අධිපති නිර්ණායක වල අන්තේවාසිකයෙකු නොවී නිර්මාණශීලිව සහ ස්වාධීනව ව්‍යුහ සංරචනය කිරීම සඳහා නවකතාකරුවෙකුට ඇති නිදහසයි. කවිය, කෙටිකතාව මෙන්ම නවකතාව යනුද කිසියම් ව්‍යුහමය සැකැස්මක් ඇති සාහිත්‍ය මාදිලීන් වේ. ඒ නිසා ඒ එක් ව්‍යුහය සකස් වෙන ආකාරය පිළිබඳ සම්මුතීන් දකින්නට ලැබීම සාමාන්‍ය තත්වයකි. මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබනු පිණිස අපි ශානර න්‍යාය වෙත මඳක් එළඹෙමු.

ශානර න්‍යාය වර්ධනය කිරීමේ ගෞරවය රුසියන් ජාතික සාහිත්‍ය න්‍යායධරයෙකු වන මිඛායෙල් බක්තීන්ට සහ පවෙල් මෙද්වේදෙව් වැනි අයට හිමි වේ.

ශානරය යන වචනය ඉංග්‍රීසි Genre යන ව්‍යවහාරික පදයට සමාන අදහසකිනුයි අපි පාවිච්චි කරන්නේ. ඔක්ස්ෆෝර්ඩ් ශබ්දකේෂයේ මෙය
හඳුන්වන්නෙ සුවිශේෂී ආකෘතියකින්, ශෛලියකින් සහ අරමුණකින් නිරූපණය වන සාහිත්‍ය කෘති වර්ගයක් කියාය. එනම් හැඩයෙන්, නිර්මාණාත්මක තාක්ෂණයෙන් සහ විෂය කරුණු අතින් සමානකම් දක්වන සුවිශේෂී සාහිත්යික නිර්මාණ විශේෂයක් බවයි. ඒ අනුව කිසියම් කලා නිර්මාණයක් සතු ව්‍යුහමය ලක්ෂණ අනුව වර්ග කිරීම නිසා සාහිත්‍ය ශානර ඇති වන බව පෙනේ. ශානරයක අනන්‍යතාව නිර්මාණය වන්නේ තේමාත්මක අන්තර්ගතය, ශෛලිය සහ රචනා ව්‍යුහය නිසාය. ඒ අනුව කවිය, කෙටිකතාව, නවකතාව සහ නාට්‍ය යනුවෙන් එහි ව්‍යුහමය සැකැස්මේ පළ කරන අනන්‍යතා නිසා ශානර වලට බෙදේ. සාහිත්‍ය විෂයෙහි පවතින මේ ප්‍රධාන ශානර නිර්මාණය කරන කුඩාම ව්‍යුහය උප ශානරය නමින් හැඳින්වේ. උප ශානර සිදුවන ප්‍රධාන ආකාර තුනකි.

1. කලා නිර්මාණයේ කේන්ද්‍රීය තේමාත්මකය පදනම් කොට ගෙන උප ශානර නිර්මාණය වීම. එසේත් නැතිනම් නිර්මාණය සඳහා වස්තු කොට ගන්නේ කුමක්ද යන්න මත උප ශානර නිර්මාණය වීම. (නවකතාව සම්බන්ධයෙන් නම්, ආදර කතා, කාම කතා, දේශපාලනික නව කතා, ඓතිහාසික නවකතා ආදී බොහෝ උපශානර දකින්නට පුළුවන.)

2. කලා නිර්මාණයේ ප්‍රධාන රසය කේන්ද්‍ර කොටගෙන උප ශානර නිර්මාණ වීම. (නාට්‍ය ඇසුරින් මෙය පැහැදිලි කළොත් ප්‍රහසන, ශෝඛාන්ත ආදී ලෙස නිර්මාණය වන ශානර)

3. ප්‍රතිනිර්මාණාත්මක විධි උපයෝගී කරගෙන උප ශානර නිර්මාණය වීම.

ප්‍රතිනිර්මාණාත්මක විධි යනු කිසියම් අනුභූතියක්/අත්දැකීමක් කලා නිර්මාණයක් ලෙස පාඨකයා/රසිකයා වෙත පැමිණවීම සඳහා නිර්මාණකරුවා අනුගමනය කරන්නා වූ මාධ්‍ය හා ක්‍රම ශිල්ප වේ. නාට්‍ය, චිත්‍රය, නවකතාව, කෙටිකතාව, සිනමා කෘති ආදී කලා කෘති එකිනෙකට වෙනස් ප්‍රතිනිර්මාණාත්මක විධි වේ. වෙනස් මාධ්‍යයන් වේ. නමුත් ලේඛනය සහ භාෂාව මුල් කරගත් නිර්මාණ විධි වන කවිය, නවකතාව යන ශානර තුළ එකිනෙකට වෙනස් උප ශානර නිර්මාණය වන්නේ කෙසේද? මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි.අප ඉහත සාකච්ඡා කළ පරිදි මෙහිදීද වැදගත් වන්නේ කෘතියක සැකැස්මයි. එක් එක් උප ශානරයට අනන්‍ය වන්නාවූ ව්‍යුහමය ලක්ෂණ සමූහයක් තිබීමයි. දැන් අපි යළි නවකතාව වෙත එළඹෙමු.

නවකතා රාජධානිය සහ ප්‍රබන්ධමය සුඛනම්‍යතාව

ඕනෑම සාහිත්‍ය නිර්මාණ විශේෂයකට පොදු ව්‍යුහමය ලක්ෂණ සමූහයක් නිසා ශානරය උපදින බව අපි කලින් කීමු. මේ පොදු බව නිසා එක් එක් සාහිත්‍ය ශානරය යනු කුමක්දැයි පැහැදිලි කිරීම සඳහා සාහිත්‍ය පිළිබඳ විශේෂඥයන් නිර්වචන සපයා තිබේ. එහෙත් ඒ නිර්වචන පොදුවේ පිළිගැනෙන සම්මුතීන් නොවේ. නවකතාව යනු කුමක්ද යන ප්‍රශ්නය සඳහා ඓතිහාසික ප්‍රවේශයෙන්ද න්‍යායික ප්‍රවේශයෙන්ද ඕනෑ තරම් නිර්වචනාත්මක පැහැදිලි කිරීම් ඉදිරිපත් වී තිබේ.

මැල්කම් කව්ලි වැනි සම්භාව්‍ය විචාරකයන් කියූ පරිදි නවකතාව යනු "කිසියම් වෙනස්වීමකට තුඩු දෙන චරිත සමූහයක අන්‍යොන්‍ය සම්බන්ධය ප්‍රකාශ වන්නා වූද එක් වරෙකදී දිගටම කියවා අවසන් කළ නොහැකි තරම් ප්‍රමාණයකින් යුක්ත වූද දීර්ඝ එහෙත් ඒකාබද්ධතාවකින් යුක්ත වූද කථාව" යි. එවැනි නිර්වචන වල සීමාකම් අද වන විට ඕනෑරතම් විචාරාත්මක විවේචනයට බඳුන් වී තිබේ. ආඛ්‍යානයේ දීර්ඝ බව හෝ ගද්‍යයෙන් ලිවීම නවකතාවක අයිඩෙන්ටිය ලෙස සැලකූ යුගය පවා දැන් අවසන් වී ඇත. ප්‍රකට ඉන්දියානු ලේඛක වික්‍රම් සෙත්ගේ රන් ගේට්ටුව(ද ගෝල්ඩන් ගේට්) වැනි කෘති පද්‍යයමය නවකතා වේ. විශිෂ්ට සිංහල කාව්‍යක්කාර ප්‍රබන්ධ රචකයෙකු වූ සරච්චන්ද්‍රගේ මළ ගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවරුදු දා වැනි කෘති භාෂාව සහ ශෛලිය අතින්ද ආල ආලෝලනය අතින්ද වඩා කිට්ටු කවියට නොවේද?

සරච්චන්ද්‍රට තිබුණේ එවැනි භාවිතාවක් වුවත් මහාචාර්ය සරච්චන්ද්‍ර නමැති විචාරකයා දුටු නවකතාව එවැනි එකක් නොවේ. තවමත් ලංකාවේ බහුතර පාඨකයෝද විචාරකයෝද "නවකතාව" පිළිබඳ නිර්වචනය සපයා ගන්නේ සරච්චන්ද්‍රගේ සිංහල නවකතා ඉතිහාසය හා විචාරය වැනි පොතක අඩංගුව අනුව පෙනේ. (බොහෝ අය ඔහුගේ කෘතිය කියවා නොතිබුණත්) මේ කෘතිය සිංහල නවකතා විචාරය සම්බන්ධයෙන් විශිෂ්ට ආරම්භක කෘතියක් බවට විවාදයක් නැත.

මහාචාර්ය සරච්චන්ද්‍ර නවකතා විචාරය තුළ ස්ථාපිත කළ ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. නවකතාව ගද්‍යයෙන් ලියවෙන තාත්වික ලෙස මනුෂ්‍ය ජීවිතය නිරූපණය කරන්නක් බව, මිනිස් සිතේ සංකීර්ණ ස්වභාවය මධ්‍යස්ථව නිරූපණය කළ යුතු බව, කතුවරයා සෘජුව මැදිහත් නොවී චරිත නිරූපණය සහ අවස්ථා - සිද්ධි මනාව රූපණය කිරීම නවකතාකරුවාගේ කාර්ය බව යනාදිය නවකතාව පිළබඳ ඔහුගේ ප්‍රමිතීන් බව පෙනේ. කෙසේ වෙතත් යථාර්ථවාදී නවකතාව පිළිබඳ ප්‍රාමාණික කියැවීමක නියැලුණු මුල්ම සිංහල විචාරකයා ලෙස සරච්චන්ද්‍රගේ කාර්ය විශිෂ්ට වූවකි. නමුත් අවාසනාව වන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ සිට කේ. ජයතිලක දක්වාත් ගුණදාස අමරසේකරගේ සිට එරික් ඉලයප්ආරච්චි දක්වාත් සිටින සම්භාව්‍ය විචාරකයන් සහ ඔවුන්ගේ පැටවුන් අතර තවමත් නවකතාව පිළිබඳ ඉහත ප්‍රමිතීන්ම පරමාදර්ශීත්වයට නැංවීමයි. (ඔවුනොවුන් එකඟ නොවෙමින් වුවත් කරන්නේ නවකතාව යනු ඔවුන් දන්නා නිශ්චිත ආදර්ශයක් ඇති සාහිත්‍ය මාදිලියක් බවත් නවකතාකරුවන් ඒ ආදර්ශය අනුව නවකතා රචනා කළ යුතු බවටත් සාහිත්‍ය පඨන සමාජයට ඒත්තු ගැන්වීමයි.) "නොසෙව්නා කැඩපත - නවකතාවේ පරිහානිය" නමැති කෘතියේදී මහාචාර්ය සරච්චන්ද්‍රගේ නවකතා විචාරයේ පදනම ප්‍රශ්න කරන ආචාර්ය ගුණදාස අමරසේකර සයිමන් නවගත්තේගමගේ විශිෂ්ට නවකතාවක් වන "සංසාරණ්‍ය අසබඩ", නවකතාවේ පදනම වන කාල දෝෂ නිර්ණයෙන් තොර වූ එකක් බවත් සිය මනෝවිකාරයන් එළි දක්වනු සඳහා ලියූවක් බවත් කියමින් නවගත්තේගම විදූෂකයෙක් ලෙස හඳුන්වා දෙයි. ආචාර්ය අමරසේකර එම කෘතියේදී යථාර්ථවාදය සහ නවකතාව කියන්නේ දෙකක් නොව එකක් බව සෘජුවම ප්‍රකාශ කරයි. (ඔහු සිය කෘතියේදී සරච්චන්ද්‍රගේ විචාර විධිය විවේචනය කරන්නේ සරච්චන්ද්‍ර කල්පනාලෝකවාදයක සිර වුණු බවට චෝදනා කරමිනි. සරච්චන්ද්‍රගේ නවකතා ඉතිහාසය හා විචාරය නමැති කෘතියත් කල්පනාලෝකය නමැති කෘතියත් එකට ඈඳන්නට අමරසේකර උත්සාහ කරයි. කෙසේ වෙතත් අමරසේකරගේ ගැටලුව නම් ඔහු, සාහිත්යික යථාර්ථවාදය සහ අප ජීවත්වන ලෝකයේ දෛනික යථාර්ථය යන දෙක එකක් ලෙස ගැනීමයි. ප්‍රබන්ධමය යථාර්ථය තථ්‍ය ලෝකය සමග ගණුදෙනු කරන බොහෝ ආකාර තිබේ. රූපකමය, සංකේතමය, සංඥාර්ථවේදීමය, උපමා කතාමය, තථ්‍ය යථාර්ථවාදීව ලෙස වනමණක් නොව නොයෙක් ආකාර තිබේ. එය කෘතියෙන් කෘතියට පවා වෙනස් විය හැක.)

ලියනගේ අමරකීර්තිගේ අලුත් නවකතාව වන අහම්බකාරක විවේචනය කරමින් "ජනතාවාදය, මැජිකල්වාදය අමරකීර්තිවාදය" නමින් රාවයට ඉතා දුරවබෝධ ලිපියක් ලියන එරික් ඉලයප්ආරච්චි තර්ක කරන්නේ අහම්බකාරක නවකතාව, නවකතා ශානර න්‍යායට විරුද්ධ එකක් බවයි. "මේ න්‍යාය විරෝධය එදිරිවීර සරච්චන්ද්‍ර සිංහල යථාර්ථවාදී නවකතාවේ ප‍්‍රථම සෞන්දර්ය න්‍යාය වූ භව්‍ය- අභව්‍ය යුගල ප‍්‍රතිපක්‍ෂයන් සහිත තාත්විකවාදය ප‍්‍රචලිත කළ පේරාදෙණි සරසවියෙහිම සිදු වීම බියකරු කාරණයක්" බවට ඔහු අනතුරු අඟවයි.

එවැනි සම්භාව්‍ය විචාරකයන් පමණක් නොව ලංකාවේ බහුතර සාමාන්‍ය පාඨකයා පවා සාහිත්‍ය කෘතියක් කියවන්නේ, මීට කලින් කිසියම් හෙජමොනික සාහිත්‍ය විචාරක පිරිසක් විසින් කිසියම් සාහිත්‍ය ශානරයක් සම්බන්ධයෙන් "දෙන ලද ආදර්ශමය ප්‍රමිතීන් වලින්" හිස බර කර ගෙන බව "පොත් කියවන අය" ෆේස්ක්බුක් වැනි සමාජ මාධ්‍ය අවකාශ වල තබන සටහන් මගින්ද පෙනේ. ඒ නිසා බොහෝ අය "කියවීම" කියා සිදු කරන්නේ කෘතිය මත ආධිපත්‍ය පැතිරවීමක් බව පෙනේ. කතුවරයා චරිත නිරූපණය හරියට කරල තියෙනවද, විශ්වසනීය ලෙස කතා වින්‍යාසය ගොඩනගල තියෙනවද, භාෂාව නිවැරදිව භාවිත කරල තියෙනවද, යථාර්ථය හරියට නිරූපණය වෙලා තියෙනවද, මේ කතාවෙ එන ඓතිහාසික තොරතුරු නිවැරදිද ආදී වශයෙන් නොයෙක් තක්සේරුකරණ ප්‍රමිතීන් කියවන්නාගේ හිසේත් හිතේත් හොල්මං කරන බව පෙනේ. මේ ආයුධ ටිකත් අරගෙන කියවීම නමැති කාර්යට බැස ඒ කාර්ය කරගෙන යන කොට අප නොදැනුවත්වම කරන්නේ අදාළ කෘතිය දඩයම් කිරීමකි. කෘතියේ පණ ටික සිඳ දැමීමකි. එයින් අප කරන්නේ කෘතිය මත අපේ දඩයක්කාර ආධිපත්‍ය පතුරුවා උජාරු වීමකි. ඇත්තටම නම් අපි උජාරු වෙන්නෙ අපේ ප්‍රමිතීන් වලින්ද නොවේ.

කියවන්නෝ විදිහට අපි කරන්නේ සම්භාව්‍ය විචාරකයෝ නම්, අලුත් වෙන්න අකමැති - රාජාණ්ඩුවාදී - පිරිසකගේ අදහස් ප්‍රතිනිෂ්පාදනය කරමින් ඔවුන්ගෙ ආධිපත්‍ය තහවුරු කරන එකය. නවකතාව සම්බන්ධයෙන් නම් මේ කියවීම ව්‍යුහමය හිංසනයකි. නවකතා රාජධානියේ හැටි එහෙමය. ප්‍රජාතන්ත්‍රවාදයේ නැග්මට සමාන්තර ගමනක නියැළුණු නවකතාවටම එවැනි ඉරණමක් අත්වීම අද පවතින ප්‍රජාතන්ත්‍රවාදයේම හැටි කදිමට පෙන්වන්නකි.

කෙසේවෙතත් එදාමෙදා තුර නවකතා ගද්‍යයෙන් මෙන්ම පද්‍යයෙන්ද ලියැවේ. එක් පුද්ගලයෙකුගේ මනස නිරූපණය කෙරෙන නවකතාවක් ලියැවෙන අතර පරම්පරා හත අටක විඥානය පිළිබිඹු කරන නවකතාද ලියැවේ. මනුෂ්‍ය ලෝකය ගැන මෙන්ම මෙලොව වසන නොවසන සතුන් ගැනත් නවකතා ලියැවේ.

එදිනෙදා යථාර්ථය නවකතාවක පිළිබිඹු විය හැකි අතර දෛනික යථාර්ථයෙන් මුළුමනින්ම මිදුණු අහසේ පියාඹන මිනිසුන්ද කිසිදා නොමැරෙන මිනිසුන්ද සිටින නවකතා ලියැවිය හැක. නවකතාවක් මගින් එල්ටීටීඊ- සිංහල වාර්ගිය යුද්ධයේ පසුබිම පිළිබඳ වාග් චිත්‍රයක් ඇන්ද හැකිවාක් මෙන්ම යුද්ධයේදී මිය ගිය දෙමළ හෝ සිංහල දරුවෙකුගේ මවකගේ චිත්ත පීඩාව විවරණය කරන නවකතාවක් ලියැවිය හැකිය. අනිත් අතින් පිටු අසූවක නවකතාවක් තිබිය හැකි අතර පිටු අටසිය ගණන්වල නවකතාද වෙළුම් ගණන් එක දිගට ලියැවෙන නවකතාද ඇත.

නවකතාවක් තුළ කවිද, ලියුම්ද, දින සටහන්ද, ඊමේල්ද, දුරකථන කෙටි පණිවිඩද, පුවත්පත් දැන්වීම්ද, චිත්‍රද, වෙළඳ දැන්වීම්ද, සිනමා තිර පිටපත්ද, සම්මුඛ සාකච්ඡාද ආදී ඕනෑම එකක් හමු විය හැකිය. ආදරය මෙන්ම මනුෂ්‍ය ඝාතනයද පක්ෂ දේශපාලනය හෝ තවුස් දිවියද නවකතාවකට අනුභූති සපයන්නට පුළුවන. මෙසේ ඕනෑම සාහිත්යික නිර්සාහිත්යික සංසිද්ධියක් සමග මිශ්‍ර වීමේ නම්‍යශීලීභාවය නවකතාවක සුඛනම්‍යතාව වේ. කවියට හෝ කෙටිකතාවට මේ සුඛනම්‍යතාව සාපේක්ෂව අඩුය. ඒ නිසා නවකතාවකට අනන්‍ය වූ ව්‍යුහීය අංග මේවා යැයි කියා එක්වරම නම් කරන්නටද නොහැකිය. මහාචාර්ය ටෙරී ඊගල්ටන් සිය "ඉංග්ලිස් නවල්" කෘතියේදී "නවකතාව ශානරයකට වඩා ප්‍රති ශානරයක්" කීවේ මේ නිසාය.

අරාජික සිංහල නවකතා කිහිපයක් : සාරාංශ සටහන්

මෙන්න මේක තමයි නවකතාව කියන්නෙ. නවකතාවක විශ්වසනීය බව කියන්නෙ මේක. නවකතාවක චරිත නිරූපණය වෙන්නෙ ඕන මෙහෙම. භාෂාව භාවිතා කරන්න ඕන මෙහෙම. සිදුවීම් අතර තියෙන්න ඕන හේතුඵල සම්බන්ධයක්. මේ සිද්ධිය ඇත්තටම උනේ මෙහෙම නෙමෙයි. ආදී විදිහට කියමින් නවකතාව පිළිබඳ ආදර්ශයක් ගොඩනැගීම මගින් පෙනෙන්නෙ නවකතාව යනුවෙන් කිසියම් "පරමාදර්ශී, නිශ්චිත, සම්මුතිගත" යමක් ඇති බවයි. ඇත්තටම නවකතාව කියල නිශ්චිත එකක් නැති බව ඕනෑම විශිෂ්ට නවකතාවක් කියවන විට අපට හැඟේ. ප්‍රබන්ධ කතාවක නවකතාමය ගුණය දරා සිටින ප්‍රමුඛතම ලක්ෂණය ලෙස මට පෙනෙන්නේ පූර්ව නවකතාවල නැති යමක් අප අත දැන් තිබෙන නවකතාවේ වීමයි. "නවකතාව" යන සංඥා නාමයේම නවකතාව පිළිබඳ මේ ගුණය අඩංගු වේ.

ඊගල්ටන්ගේ කෘතියේ වර්ජිනියා වුල්ෆ් අනුයමින් ඔහු ලියන එක් තැනක නවකතාව යනු ඊඩිපස්මය පළිගැනීමක් ඇති නිර්මාණ විධියක් බව කියැවෙයි. එනම්, මීට කලින් ලියැවී ඇති නවකතා (පීතෘ නවකතා) මරාදමන සුළු ගුණයක් තිබීමයි. එනම් නවකතාව යනු පීතෘ ඝාතකයෙකි. එනම් තමන්ගේ පූර්වජ නවකතා අභිබවා නවකතාව යන්නම අලුතින් නිෂ්පාදනය කරන්නකි. නවකතාව පිළිබඳ මේ කියවීම නම් ආකර්ෂණීය එකකි. මිථ්‍යා කථා, උපමා කථා, සුරංගනා කතා, ජාතක කතා ආදී පූර්ව නූතන සාහිත්‍ය ශානර වෙත ප්‍රති- ආභාෂී නැඹුරුවක් නූතන ප්‍රබන්ධ කතාවට ඇත. එවැනි ප්‍රන්ධ කතාවල ව්‍යුහමය ගොඩනැංවීමත්, කතුවර අධ්‍යාශයත්, ප්‍රබන්ධ යථාර්ථය තථ්‍ය යථාර්ථය වෙත ආමන්ත්‍රණය කරන දෘෂ්ටිවාදී පසුබිමත් ආදී සියල්ල තුළ ඇත්තේ ඊඩිපස්මය ප්‍රතිවිරෝධයකි.

නවකතාව යනු අරාජික ශානරයක් බව ඔහු වැඩිදුරටත් කියයි. (An anarchic genre). නවකතාව යනු කිසියම් නිශ්චිත බලාධිකාරයක ඇල්ම බැල්ම යටතේ ජීවත් වෙන පුරවැසියෙක් නොවේ. අරාජිකවාදියෙකි. මේ අදහසට අනුව අරාජිකවාදියෙක් යනු නීති- රීති කඩ කරන්නෙක් නොවේ. නීතියක් හැටියටම නීති- රීති කඩකරන්නෙකි. නවකතාවක් යනු මෙවැනි අරාජිකවාදියෙකි. එනම්, නවකතාව මෙසේ විය යුතුයි කියා පනවා ඇති සම්මත නීති- රීති- කොන්දේසි නීතියක් හැටියටම කඩ කරන්නෙකි නවකතාව. ඒ නිසා මේ රචනයේ වෙනත් තැනක කතා කළ නවකතා රාජධානිය තුළම වෙසෙමින් කැරලි ගසනා පුරවැසියෙකු ලෙස නවකතාව හැඳින්වීමෙහි වරදක් නැත. අපි එවැනි සිංහල නවකතා කිහිපයක් දෙස හදිස්සියෙන් එබී බලමු.

මගේ ආදරණීය යක්ෂණී

නවකතාවක ව්‍යුහමය විචිත්‍රත්වයේ රස ගුලක් වන මංජුල වෙඩිවර්ධනගේ මගේ ආදරණීය යක්ෂණී නම් කෘතිය ආරම්භ වන්නේ මෙසේය;

"ප්‍රේමයේ හළාහළ මුසු තියුණු දිගු දසන් මඩුල්ලෙහි වෙලී පැටලී ලෙහෙ බිඳිති වැඟුණු මා ගලවළුව පලින් පල, මුදුව, මුදු මුදුව, දෙ ලවන් තෙරපූ, මගේ ආදරණීය යක්ෂණී ඒ සියල් සළකුණු අතීතයට පිටමං කරලමින්, කෙළිලොල්ව, ස්වර්ගීය සිනහවක සිනහබර වූවාය."

මේ නවකතාවේ කොතැනකින් උපුටා ගත්තද දකින්නට ලැබෙන්නේ මෙවැනි කාව්‍යාත්මක වැකිමය. අමුතු භාෂාත්මක සෙල්ලක්කාරකම් අතර පරිච්ඡේද අතර කෙටි සිරස් ඇත. ඒ අතරමැද තැනෙක කවිද, සංයුක්ත කවිද ඇත. ප්‍රධාන ආඛ්‍යානය සමග අන්තර්පඨිතමය සම්බන්ධයක් බැලූ බැල්මට නොපෙනෙන අතුරු ආඛ්‍යානද අඩුවක් නැත. රේඛීය කාලයක් නැත. සියවස් ගණනාවක් අතීත කතාද සමකාලීන කතාද එකම ආඛ්‍යානයක මුණ ගැසෙයි. එමෙන්ම අවකාශයද වරින් වර වෙනස් වෙයි. සමකාලීන ලංකාවද, වසර සිය ගණනකට පෙර ලංකාවද, ප්‍රංශයද ලෙස ආඛ්‍යානයේ අවකාශය විටෙන් විට අවකාශීය විතැන්වීම් වලට ලක් වෙයි. නවවැනි පරිච්ඡේදය වන තුලාවෙල්ලියට අතුරුපාරක් නම් පරිච්ඡේදයේ පිටු සැලසුම් කර ඇත්තේද අමුතුම ක්‍රමයකටය. එම පරිච්ඡේදය නිමා වන තුරු පිටුව දෙකට බෙදා පහළ කොටස උම්මග්ග සංසාරෙ නමින් ශාස්ත්‍රීය ලේඛනයක් ඇතුළත් කොට තිබේ. නවකතාවේ තේමාත්මක මාන සියල්ල පසෙකින් තබා මේ ව්‍යුහමය කාරණා පමණක් සැලකිල්ලට ගත්තද මේ නම් සිංහල නවකතා රාජධානිය තුළ අරාජික පුරවැසියෙකි. ඊඩිපස්මය පළිගැනීමෙන් නළියන ප්‍රබන්ධ කෘතියකි.

[දෙවන කොටස]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Novel, Literature Critique, Fiction, Terry Eagleton, Ahmabakaraka, Liyanage Amarakeerthi, Manjula Wediwardena, Mage Adaraneeya Yakshanee
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
වෙසෙස්
ආදරය සහ ළමා අපයෝජනය
තවත් වෙසෙස් බූන්දි
තෝල්ස්තෝයි අදට වලංගු ද?
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
ගේබ්‍රියෙල් නම් සුරදූතයා
සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...
මල් පලස් මත කළ භූමිදානයේ අතීතය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook