Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
බූන්දි, 19:46:08
ඡායාරූප ශිල්පියෙකු සහ සිනමාවේදියෙකු වන විරාජ් ලියනාරච්චි, 2012 දී සිය පළමු ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූ අතර ඉන් පසු කාලය තුළ ඡායාරූපය විකල්ප කලා මාධ්‍යයක් ලෙස භාවිත කරන්නේ කෙසේදැයි යන්න ගැන සොයා බලමින් පර්යේෂණාත්මක ගමනක නියැලෙන්නෙකි. "Down Town Pulse" සංවිධානය කරන බේකරියෙ කට්ටියේ සාමාජිකයෙකු වන ඔහු සිය නවතම ඡායාරූප ප්‍රදර්ශනය "The Hole" යන මැයෙන් Down Town Pulse 2016 හිදී ද, ඉන්පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේදී ද පැවැත් වීය. The Hole මීළඟ ප්‍රදර්ශනය, 2016, නොවැම්බර් මස 10 වැනිදා, මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

විකල්ප කලාවක් පිළිබඳව යෝජනා කරන කෙනෙක් හැටියට ලංකාවෙ ප්‍රධාන ධාරාවේ ආර්ට් තියෙන තැන ගැන මොකද හිතන්නෙ?

ඒක තනි වචනයෙන් කියන්න පුලුවන්. වෙළඳපොළ උඩ තමයි ආර්ට් තියෙන්නෙ. එහෙම නෑ කියල හිතාගෙන කවුරු හරි ප්‍රධාන ධාරාවේ ආර්ට් කරනව නම් ඒක හුදු සිතිවිල්ලක් විතරයි. මොකද යමක් ප්‍ර‍ධාන ධාරාවක් නං ඒකට කවදාවත් බෑ මුදලාලිලගෙන් බේරිල ඉන්න. අමරදේවට වෙච්ච දේ දැක්කනෙ.

ඒ කියන්නෙ වෙළඳපොළ මත පදනම් නොවන ආර්ට් එකක් කරන්නද ඔබ ඇතුළු පිරිස උත්සාහ කරන්නෙ?

ඕක තමයි අපි බේරගන්න ඕන ලක්ෂ්‍යය. දැන් අපි අපි සිනමාව ගත්තොත් ආර්ට් හවුස් සහ කොමර්ෂල් කියල මූලික බෙදීම් දෙකක් තියෙනවනෙ. අපි බලන්න ඕන යම් චිත්‍ර‍පටයක් ආර්ට් හවුස් වෙන්නෙ ඒකෙ තියෙන සංකල්පය නිසා ද නැත්නම් විදේශ සම්මාන දිහා බලාගෙන කරන නිසා ද කියල. එහෙම නැත්නම් රන්ජන් රාමනායකගෙ චිත්‍රපටි කොමර්ෂල් වෙන්නෙ ඒකෙ තියෙන මාස් ඕඩියන්ස් සංකල්පය නිසා ද නැත්නම් දැවැන්ත සල්ලි ප්‍ර‍මාණයක් පාවිචිචි කරල ප්‍ර‍චාරණය ඇතුළෙ හදන තාවකාලික අවශ්‍යතාව නිසා ද කියල. මම කියන්නෙ එහෙම නෙවෙයි මේ බලන්න ඕනෙ. සංකල්පය විසින් තීරණය කරනවා ඒ කලාව වෙළඳපොළ තර්කනයට හෝ අධිපති දෘෂ්ටිවාදාත්මක හැසිරීම්වලට යටත් ද නැද්ද කියල. නිකං හිතන්න අජිත්ගෙ, ගීතෙගෙ, ශාක්‍යගෙ සින්දු මීඩියා වල යන්නෙ නැත්තෙ ඇයි කියල. ඒවට ඒ සින්දු අවශෝෂණය කරගන්න බැරි ඇයි. "අම්මගෙ රෙද්ද" කිව්ව ගමන් අපේ සංස්කෘතිය ඉවරයි. සදාචාරය ඉවරයි. එහෙමනෙ හිතන්නෙ. නිකං හිතමු ඕක දැම්ම කියල. ඒ චැනල් එක හරි එෆ් එම් එක වට නොකර ඉඳියි ද අපේ දේශමාමක සාදුල ටික. උපාසකම්මල පරල වෙන්නැති වෙයිද.. එහෙම වෙලා චැනල් එක මිනිස්සු අතෑරියොත් මොකද වෙන්නෙ. ඇඩ් හම්බෙයිද. ඇඩ් නැත්තං මීඩියා කියල එකක් නෑ.. මං මේ කිව්වෙ වෙළඳපොළේ පොඩි කෑල්ලක් ගැන විතරයි. මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන. මේකෙ භයානක පැත්ත තමයි මේ තත්වය විසින් නැති කරන්නෙ ආර්ට් කරද්දි තියෙන්න ඕන නිදහස සහ හිතුවක්කාර ගතිය. අනිත් අතට මං කියන්නෙ අපි වෙළඳපොළෙන් සම්පූර්ණ වියුක්තයි කියන එක නෙමෙයි. අපි වෙළඳපොළ ගැන සවිඥානිකයි කියන එක. ඒ කියන්නෙ වෙළඳපොළ අපිට දේවල් කියනව නෙමෙයි. අපියි වෙළඳපොළට දේවල් යෝජනා කරන්නෙ. අපිව ගන්න ඕන ප්‍ර‍මාණය අපියි තීරණය කරන්නෙ. ඒක අසීරු වැඩක්.



සංකල්පමය වෙනස් වීම වෙන්න ඕනෙ කොයි විදිහටද?

දැන් අපි ඡායාරූප කලාව ගත්තොත් ඒකෙ ප්‍ර‍මුඛ ආකෘතිය වුනේ සෞන්දර්යය කියන එක. එහෙම නැත්තං යථාර්ථවාදී ආකෘතිය. ඒ කියන්නෙ රූපයක හැඩතල, අලෝකය, වර්ණාවලිය, වස්තු සංවිධානය, ගෝල්ඩන් පොයින්ට් කොහොමද පිහිටුවන්නෙ කියන එක. යථාර්ථවාදී ආකෘතියෙදි ලංකාවෙ සිද්ධ වුන දේ තමයි දුක, විඩාව, මිනිස්සුන්ගෙ ජන ජීවිතය රූපයට නැගීම. ඒ කියන්නෙ ජීවිතයෙ ඇත්ත අපිට කැමරාව හරහා දී ඇති ආකාරයෙන්ම අල්ලන්න පුළුවන් කියන එක. මමත් එතන තමයි හිටියෙ. මගෙ තියෙනව ජිප්සි ගර්ල් කියල සම්මානයක් ලැබුණු ඡායාරූපයක්. ඒ ඡායාරූපය විසින් මතු කරන්න ඕනෙ කතිකාව තමයි පීඩිතයගෙ කතිකාව. නොසැලකිල්ල, පූර්ණ පුරවැසිභාවයේ ගැටළුව, මූලික අවශ්‍යතාවත් සැපිරිල නැති එකනෙ ඒකෙන් එලියට එන්න ඕන. ඒ ළමයි පාරවල් දිගේ ඇවිද ඇවිද ඉන්නෙ ඇයි කියන එකවත් ටිකක් බරට සාකච්ඡා වෙන්න එපැයි. හැබැයි වෙන්නෙ වෙන දෙයක්. ‘අනේ හරි ලස්සනයි, පට්ට ෂොට් එක, අහිංසක ළමයා, කියූට්, පව්' වගේ තැනකින් වැඩේ ඉවර වෙනවා. ඒ කියන්නෙ අපි දන්නවා මේව වෙනව කියල. ඇයි වෙන්නෙ කියලත් දන්නවා. පීඩිතයා හරිම ස්වාභාවික වෙලා. ඕව ගැන මහන්සි වෙන්න ගියොත් කෙළවෙන්නෙ තමන්ට කියල හොඳට දන්නව. ඉතිං දන්නව- නොදන්නව වගේ ඉන්න එක තමයි ආරක්ෂිතම දේ. හරියටම කිව්වොත් අපි ජීවත් වෙන්නෙ නරුම සමාජයක. නරුමයො ඇල් වතුරත් නිවල බොන උපාසකයො අතර වගේම කොණ්ඩෙ වවල, රැවුල වවල ඇට මාල දාල ඉන්න බැලු බැල්මට හෙන රැඩිකල් කියල පේන අයියල අතරත් ඉන්න පුළුවන්. ඡායාරූපයක ඇතුල නෙමෙයි හිස්. කිසිම ඡායාරූපයක් හිස් නෑ අපි ඒ ඡායාරූපය බලන්න දන්නවනං. ඇත්ත ගැටළුව තියෙන්නෙ ඡායාරූපය ඉස්සරහ ඇවිත් හිට ගන්න මිනිහගෙ. ඒකෙන් මං කියන්නෙ ඕනම ඡායාරූපයක් කලා කෘතියක් කියන එක නෙමෙයි. ඡායාරූපයක් පේන්නෙ ඇස් වලට නෙමෙයි කතිකාවන්වලට කියන එක. මං හිතන විදිහට සංකල්පය අදාල වෙන තැන තමයි ඡායාරූපයකට සෞන්දර්යය ඇතුළත් කළ යුතු ප්‍රමාණය තමන් තීරණය කරගෙන අනෙකාට සංවාදයක් විවෘත කිරීමේ සංකල්පමය විවෘත භාවයක් ඒ තුළ තබා ගැනීම. මේක සිනමාව ඇතුළෙ නම් විමුක්ති ජයසුන්දර කරනවා. ඔහු තමාට අනන්‍ය වූ සංකල්ප පද්ධති චිත්‍රපටය ඇතුළෙ ගොඩනගනවා. මම හිතන්නෙ මේක හැම කලාවක් තුළම තියෙන්න ඕනෙ කියලා.

මම ඡායාරූප ශිල්පය ඉගෙන ගන්න ගියා අවුරුදු තුනක්. එතන වෙන්නෙ කලාව පිළිබඳ කතිකාවක්. ඒ ඇකඩමික් බව අවශ්‍යයි. කලාව ඡන්මයෙන් අරන් එනව වැනි දේවල් මම විශ්වාස කරන්නෙ නෑ. ඒක හැදෑරීමක් ඇතුළෙ සිද්ධ වෙන්න ඕනෙ කතාබහක් පිළිබඳ අදහසක්. ඒක ලෝකයේ ඇකඩමික් පද්ධතියක තියෙන්නෙ. ඒ හැදෑරීමෙන් විතරයි ඊළඟ එක හදන්න පුලුවන්. කාට හරි කියන්න පුළුවන් ඒව දන්නෙ නැතුව ආර්ට් කරන්න බැරිද කියල. මං කියන්නෙ බෑ. මොනව හරි කියන්නෙ ආර්ට් නෙමෙයි. ආර්ට්වල නිදහස සීමා කරන කතාවක් නෙමෙයි මං කියන්නෙ. ආර්ට්වල වපසරිය වඩා පුළුල් කරන විදිහක්.

ඡායාරූපය ගැන දැනගන්න ඕනෙ. සිනමාව ගැන දැන ගන්න ඕනෙ. නිහඬ සිනමාවේ සිට කතානාද සිනමාව දක්වා කොහෙමද මේක එන්නෙ, කළු සුදු සිනමාවෙන් වර්ණ සිනමාවට මාරුවෙන්නෙ කියන කාරණා තාක්ෂණික වශයෙන්. අනික් පැත්තෙන් වාර්තාවේ සිට සංකල්පයීය තලය දක්වා වෙනස් වෙන හැටි. ඒක හදාරන්නෙ නැතුව කොහොමද මේ වැඩේ කරන්නෙ? නොදන්න කෙනෙක් බලිබූතයක් ඇඳල ඇබ්ස්ට්‍රෑක්ට් කියනව වගේ මේක කරන්න බෑ.

සංකල්ප ගැන කතා කරද්දි අපිට විරාජ්ගෙ අලුත් ඡායාරූප ප්‍රදර්ශනය මග ඇරල යන්න බෑ. 'The Hole' (හිල) කියන ඔබේ ඒ ප්‍රදර්ශනය කොහොමද ඔබ සංකල්පයක් ඇතුළට දාන්නෙ?

මම පළමුවෙනි ඡායාරූප ප්‍රදර්ශනය කරේ 2012. ඒකෙ ඡායාරූප අසූ ගාණක් තිබුණා. එතන ඡායාරූප තිහක් විතර තිබුණා ලංකාවෙන් සහ ජාත්‍යන්තරයෙන් සම්මාන ලැබිච්ච. හැබැයි ප්‍රශ්නෙ තමයි ඒ සියල්ල අර මම කියපු මුල් කාරණා දෙක - සෞන්දර්යය සහ යථාර්ථය, පදනම් කරගත්ත ඒවා. අනික් අතට ජාතික ඡායාරූප කලා සංගමය ඇතුළු ලංකාවෙ සියලුම සංගම් තාම ඉන්නෙ එතන. තාම ශිෂ්‍යයින්ට උගන්වන්නෙත් ඒ අදහස. හැබැයි එකවරක් සිතුමිණි රත්නමලල, විදර්ශන සහ භූපති මගෙන් ඇහුවා 'මේ ඡායාරූපවල වරදක් නෑ. ඒත් ඔබ කරන්නෙ අවුල් ආර්ට්- මේ ඡායාරූප ඒ නමට ගැලපෙන්නෙ නෑ. මේ ඡායාරූපවලින් අවුලක් ඇති කරල නෑ...' කියලා. ඒක මට බලපෑවා. මම අවුරුදු පහක් විතර කල්පනා කළා ඡායාරූපය කොහොමද පද්ධතියක් ඇතුළට ගෙනල්ල ඉදිරිපත් කරන්නෙ කියලා. එතකොට අපි කලාවෙ සංකල්පයීය බව පිළිබඳව කතිකාව පටන් අරන් තිබුණේ. ඊට පස්සෙ මේ ප්‍රදර්ශනය සූදානම් කළා. ඉස්සර එක ඡායාරූපයක් විඳින්න පුලුවන්. දැන් පණහම විඳින්න ඕනෙ. ඒක තමයි අවුල් වෙන තැන. ස්ත්‍රී යෝනියක පින්තූරයක් ඉන්ටනෙට් එකෙන් බලනකං අවුලක් නෑ. තමන්ගෙ පරිගණකයෙ තියෙනකං අවුලක් නෑ. හැබැයි ඒක අරන් බිත්තියක ගැහුවොත්. ඔන්න දැන් ඒක පුද්ගලික අවකාශයෙන් පොදු අවකාශයට මාරු වෙනව. අපි හැමෝම දන්නව අපි පුද්ගලිකව කරන දේවල් පොදු වෙච්ච ගමන් වැටෙන අමාරුව. අගමැතිගෙ නහය හාරන ඡායාරූපයකට ඇයි ඒ මෙහොතේ දේශපාලනය හසුරුවන්න පුළුවන්. ඇයි අගමැතිල නහය හාරන්නෙ නැද්ද. ඒව ඉතිහාසය විසින් අපිට පෙන්නල දීල තියෙනවනෙ. දැං කෙනෙකුට අහන්න පුලුවන් තමන්ගෙ ශරීර අවයවයක් තමන්ම ඡායාරූපයක් අරන් බිත්තියක එල්ලුවොත් ආර්ට් ද කියල. කවුරුහරි එහෙම ඇහුවොත් මං කියන්නෙ ඒක පේරාදෙණි ප්‍ර‍ශ්නයක් කියල.



මම සංකල්පයක් හැටියට ගෙනාපු හිල් වලින් එක හිලක් විතරයි ඔය. හැබැයි අනිත් හිල් පණහම බලන්න ඕනෙ. පක්ෂෙ හිල් ටික- අලියාගේ ගුද හිල, සීනුවෙ හිල, සිංහයාගෙ හිල, යතුරු සිදුරේ හිල, යාපනේ පතුළ නැති ළිඳේ හිල. ඊළඟට ආගමික හිල් ටික. පිංකැටේ හිල, බෝධියට වතුර දාන හිල, අංජනම් බලන අංජනම් හිල වැනි දේවල්. අනික් පැත්තට විශ්වයේ හිල, වෙඩි නො වැදුණු හිල කියල බිත්තියකට වැදුණු වෙඩි පාරවල්වල හිල් ටික, සංගීත භාණ්ඩවල තියෙන හිල්, අපි ඔක්කොම කාල කාලා යවන හිල් ටික, මරණයේ හිල වැනි හිල් පණහක්. මේවත් එකක් යම් කතා බහක් ඇති වෙනවනම්, එහෙම නැති වුනත් යම් සංවේදනාවන් ජනිත වෙනව නම්, ලැජ්ජ හිතෙනවනං, තරහ යනවනං මං හිතන්නෙ සමාජ කතිකාවට යම් වෙනස් කමක් මං යෝජනා කරල කියල මං හිතනවා. අපි හිතනවා ඒ හිල්වල කිමිදුණාම අපිට යමක් හොයා ගන්න පුලුවන් කියලා. සාරයක් තියෙනවා කියලා. අපි මේවයෙ කිමිදුණාට මේවට පතුලක් නෑ.

අපි හිතමු වෙළඳපොළ තර්කනයට එරෙහිව මාක්ස්වාදය ගෙනාවා කියලා. ඒකෙන් ප්‍රාග්ධන තර්කය බිඳින්න පුලුවන්නෙ. හැබැයි ඒක බිඳ වැට්ටුවට අපේ ජීවිත සංකීර්ණ කරල තියෙන්නෙ ඒකෙන් විතරක් නෙවෙයිනෙ. මං කියන්නෙ මේ හිල් පණහ හින්දත් අපේ ජීවිත සංකීර්ණ වෙනවා. ඒක තේරුම් ගන්නවත් අපි උත්සාහ කරනවා නම් අපි ජීවිතයට ටිකක් ළඟා වුණා වෙනව නේද? ආර්ට් එකකට කරන්න පුලුවන් බලපෑම අන්න ඒකයි මේ යුගයෙ.

එතකොට මේක අපි කලින් කතා කරපු හුදු යථාර්ථය පෙන්වීමෙන් වෙනස් වෙන්නෙ කොහොමද?

ඉස්සෙල්ල කළේ බාහිර සමාජය ෆොටෝ කොපි ගහල පෙන්වීමක්. දැන් වෙනස තමයි මේ පෙන්වන්නෙ අපිව සංවිධානය කරන අපි නොදන්න කලාපය හෙවත් යථ එහෙම නැත්තං ආත්ම මූලිකය. පවුල, ආගම, සංස්කෘතිය, ජාතිය, පක්ෂ, විද්‍යාව, සංගීතය ඇතුළු අපිව මෙහෙයවන මේ සියල්ල.

අපි බිහිකරන්නෙ සංකල්පයක් නම් වෙන්න පුළුවන් දේ තමයි යම් කාලයක ඒක ඒකටම අනන්‍යතාවක් හදාගෙන මතුවෙන එක. මට අනුව කලාව ඇතුළෙ භෞතිකවාදී වෙනව කියන්නෙ මේ සංකල්පය උඩ තව සංකල්පයක් නිර්මාණය වීම. ඒක උඩ තව එකක්. අපි මේ හදන සංකල්ප නැවත සමාජයට යන්න ඕනෙ. සමාජය ඒ හැඩතලයට නැවත ඒගොල්ලන්ගෙ සංකල්ප හදනවා. අන්න ඒකට නැවත ආයෙ ආර්ට් කරනවා. මෙහෙම යන එකක් නේද භෞතිකය පිළිබඳ අදහස? ආර්ට් එකක් සමාජය එක්ක ගණුදෙණු කරනව කියන්නෙ ඒකට. කැන්වස් එක ඉරල යකඩ ඇණ හයිකරා කියමු. ඉතිං මොකද? කතිකාවක් තියෙන්න ඕනෙ නේද මේ මොකක්ද කරේ කියලා? කාටවත් සංවාද කරන්න බැරි තමන් විතරක් දන්න එකක් කිරීමෙන් මම හිතන්නෙ නෑ කලාව දේශපාලනිකව භාවිත වෙනව කියලා. ඒක කලාව නෙවෙයි කියල මම කියන්නෙ නෑ. හැබැයි ඒක මගේ කලාව නෙවෙයි. නැත්නම් අපට පේරාදෙණියෙ යන්න ඕනෙ නෑ. ඩවුන් ටවුන් වගේ ඒව ඕනෙ නෑ. තමන්ගෙ ගැලරියෙ ආර්ට් කරගෙන කොළඹ තියෙන අනෙක් ගැලරිවල වගේ කෝපි එකක් බිබී ආර්ට් එකක් කතා කර කර මුල්‍යමය පදනමකුත් ඇතුව ඉන්න පුලුවන්. හැබැයි ඒ ආර්ට් වියුක්තයි. මිනිස්සු අතර කතාබහක් නෑ.

ඒ කියන්නෙ වළේ වුණ සිද්ධිය ඒ කතිකාව ඇතිවුනාම ඒකට කණ්නාඩියක් ඇල්ලීමක් වගේ නේද?

පැහැදිළිවම ඔව්. මේකනෙ. කුණුහරුප කියල මිනිස්සුන්ගෙ ඔළුවල තියෙනව දෙයක්. මම කුණුහරුප හැදුවෙ නෑනෙ. සමහරු අහනව මගෙන් යෝනි හිලට විවිධ පාරිභාෂික නම් දැම්මම ඇයි 'රුවන් කවුළුව' කියල දැම්මෙ නැත්තෙ කියලා. ඒ නම් පාරිභාෂික නම් මම දීපු ඒවද? මේව සමාජයෙ තියෙනවනෙ. මම ඒක කොළේක ලියල ගැහුවම මාර ප්‍රශ්නයක්. 'වේස හිල' කියන්නෙ මම හදපු සංකල්පයක් නම් ඔන්න අඩුම ගානෙ වැරදියි කියන්න තිබ්බ. මම දැම්මෙ සමාජය බහුලව පාවිච්චි කරන වචනයක්. ඇත්තටම මම කරන්නෙ ඒක ප්‍රශ්න කරන එක නේද? මම කණ්ණාඩියක් අල්ලල අහනවා "මචං, උඹල මේක මෙහෙම නමක් දීල තියෙනව නේද?" කියල. ඔන්න කළබල වෙනවා. ඇත්තටම එහෙම කළබල වීම ම නේද ආර්ට්? අපිට හරියට කෙනෙකුට තමන්ගෙ මූණ පෙන්නන්න පුලුවන් ආර්ට් එකක් ඇතුළෙ එයා කළබල වෙනවා. මම මේ සංකල්පය විස්තර කළාම- මේ හිල් ඔක්කොම ගැන කිව්වම- ප්‍රශ්නෙ බේරගන්න පුලුවන් තැනකට එනවා. අපි ඒත් උත්සාහ කරන්නෙ මේක මිනිස්සු එක්ක සංකල්පයීයව බෙදාගන්නනෙ. වළේ දි වුනේ අපි ඒ අයට ආට් වලින් ගැහුවා. ඒ අය අපිට පොලු වලින් ගැහුවා. අන්න එහෙම එන පළවෙනි පොලුපාරෙන්ම කියන්නෙ එතන සංකල්පයීය ලෝකයක් නෑ කියන එක නේද?

මහා ශිෂ්‍ය සංගමය අපට ආරාධනා කරද්දි එයාලට අදහසක් තියෙන්න ඇතිනෙ මේ වගේ වෙනස් වැඩක් ගැන. අපිත් යන්නෙ වැඩේ ගැන දැනගෙන. පස්සෙ ඒ ගැන සංවාදෙකට ආපු ශිෂ්‍ය හාමුදුරු කෙනෙක් අපිට කිව්ව "ගහපු එක වැරදියි. ඒත් සමහර හිල් පෙන්නන්නෙ නැතුව මේක කරන්න තිබුණා, ඒ නිසයි ඔයාලා ගුටි කෑවෙ..." කියලා. ඒ කියන්නෙ අර සංස්කෘතිය විසින් වහන්න කියපු හිල් ටික ගැන. මරණයේ හිල සහ විශ්වයේ හිල ඕනෙ- මේක එපා. අපි කිව්වා "අපිට ගැහුවෙ ඒ මල්ලිලා නෙවෙයි- ඔබවහන්සේ... ඔබලා දරණ මතවාදය තමයි අර මිනිස්සුන්ට පොලු දුන්නේ..." කියලා. මේක පන්සලක නෙවෙයි නෙ අපි පෙන්නුවේ. සංඝ සමාජයේ ඇතුළෙ ඒ නීති තිබුණාවෙ. එළියෙ ඉඩ අපට තියෙන්න ඕනෙ.

ජැක්සන් ඇන්තනීටත් චිත්‍රපටි කරන්න පුලුවන්- අශෝක හඳගමටත් පුලුවන්. මම පුද්ගලිකව පිළිගන්නෙ නෑ ජැක්සන් ඇන්තනීගෙ සිනමාව සිනමාවක් කියලා. මට විවේචනයක් තියෙනවා එයාගෙ වෙළඳපොළ වෙනුවෙන් කරන ගේම් එකට. ඒකයි කියලා අපි කවදාවත් එයාට පොලු අරන් ගිහින් ගහන්න ඕනෙ කියනවද? ඒක හින්ද මේ පොල්ල එසේ මෙසේ පොල්ලක් නෙමෙයි කියන එක තේරුම් ගන්න ඕන.



මේ සංකල්පයීය කාර්යයට අදාළව බේකරිය නිර්මාණය වෙන්නෙ කොහොමද? බේකරිය ඊට දක්වන දායකත්වය මොකක්ද?

සියල්ල ප්‍රාග්ධනයට යටවෙලා තියෙන වෙලාවක සංස්කෘතික දේශපාලනය වෙනස් විය යුතුව තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, කලාව, සාමය, ආදරය ලිංගිකත්වය පිළිබඳ කතිකාව තියෙන්නෙ ඉතාම ගෝත්‍රික වැඩවසම් තැනක. ඒක අපි නිරීක්ෂණය කළ දෙයක්. ඒක වෙනස් කරන්න වෙනස් සංස්කෘතික හරපද්ධතියක් යෝජනා කරන සමූහයක් ඕන. එක එක අය එක එක දේවල් කලා. පාලිත, ගීතදේව, සරා වගේ අය තම තමන්ගෙ කලා කටයුතු කරගෙන හිටියා.

අපිත් බේකරියෙ මුලින්ම කළේ වෙසක් කුඩුවක් හදපු එක. වෙසක් කියන්නෙ ලංකාවෙ වැඩිම පිරිසක් කලාව බලන්න එළියට එන දවස. අපේ කූඩුව බලන්නත් ලක්ෂයක් විතර ආවා. මට අනුව කූඩු කලාව තමයි හොඳම ඉන්ස්ටොලේෂන් ආර්ට් එක. අපි ඒකෙ තිබුණ සාම්ප්‍රදායික බව වෙනස් කරල බෞද්ධාගම කියන්නෙ ඉතාම සාමාකාමී ආගමක්. අනෙකා දිහා බලන, අනෙකා ගැන හිතන, තියෙන දේවල් බෙදා හදා ගන්න ආගමක්. මේ වගේ හොඳ ආගමක තියෙන මූලයන් නෙවෙයිනෙ දැන් වෙද්දි තියෙන්නෙ. අල්පේච්ඡ බව යෝජනා කරන පන්සලක් ඉස්සරහ බෙන්ස් හතරක් පහක් නවත්තල තියෙන්න බෑනෙ. දැන් ආගමික සංස්ථා අපටත් කලින් වෙළඳපොළ තර්කණයට යට වෙනව. ඒ විතරක් නෙමෙයි ඒක වඩා හොදින් පවත්වාගෙන යන්න අනුශාසනාත් කරනව. දැන් ඒක තියෙන්නෙ මිනිස්සුන්ගෙ අධ්‍යාත්මික ලෝකයට සුවයක් ලබාදෙන්න නෙමෙයි. ඒ වගේ ධර්මයක් දේශපාලනය පාලනය කරන්න ගියාම... සංස්කෘතිය අඳුන්වල දෙන්න ගියාම.. එක වෙළඳපොළට කඩේ යනකොට.. අන්න එතනයි සමාකාලීන ආගමික භූමිකාවෙ අවුල තියෙන්නෙ. අපි කරේ ඇත්ත බුද්ධාගම එහෙම එකක් නෙවෙයි- මෙහෙම හර පද්ධතියක් තියෙනවා කියල වෙසක් කූඩුවෙන් කියන්න උත්සහ කරපු එක. ඊළඟට අපි දැක්කනෙ අපි බොහෝ දෙනෙක් එපා කියද්දි ලංකාව යුද්දෙකට ගිය හැටි. ඒක සංවාදයෙන් විසඳන්න තිබුණු දෙයක්. ඒ වෙලාවෙ බෞද්ධ සංස්ථාවට ඕනෙ වුනේ යුද්ධය. "අපි බුද්ධාගම පැත්තකින් තියලා ඉස්සරවෙලා ගහලා ඉවර කරමු- පස්සෙ ආයි බුද්ධාගම ගමු" කියලයි කිව්වෙ. ඒ වෙලාවෙ අපි හිතුවා කූඩු ගහලා වැඩක් නෑ. අපි වෙන ලක්ෂ්‍යයක් ලකුණු කරන්න ඕනෙ කියලා. අනෙක සංස්කෘතික අර්ථයෙනුත් පුළුල් තැනකට යන්න ඕනෙ වුණා. එතනදි තමයි කූඩුවෙන් විතැන් වෙලා "ඩවුන් ටවුන් පල්ස්" නිර්මාණය වෙන්නෙ. අපි ඒක කරේ සංගීතය කියන පදනම අරගෙන. ඒකට හේතුව වැඩිපුර අපිට හිටපු පිරිස හිටියෙ සංගීතයට සම්බන්ධව. ගීතදේවගේ කට්ටිය, සරාලගෙ වෝන්ටඩ් බෑන්ඩ් එක, පාලි වගේ අය. එයාලා ඒ වෙනකොටත් එයාලගේ සංගීත ආරක් නිර්මාණය කරගෙන තිබුණා. එයාලට තිබුනෙ විවාද සම්පන්න පද රචනා භාවිතාවක්. එයාලා විවිධ පර්යේෂණ ඒ ගැන කරමින් හිටියා. අපිත් සිනමාව සහ ඡායාරූපවල ඒක කරමින් හිටියා මුලින් කියපු සංස්කෘතික ඛාදනයට එරෙහිව. ප්‍රේමය මූලික කරගත් ගීත අහමින් හිටපු සමාජයට,
"ටයිටැනික් නැව ගිලුනෙ නෑ
අයිස්පරයක් වැදුණෙ නෑ
මැරුන් නැති හින්දා
ජැක් රෝස් බැන්දා" කියලා විදර්ශන කන්නන්ගර ලියපු සින්දුව ගීතදේව කියද්දි ඒක වෙනස් කෝණයක් නිර්මාණය කරනවා.

"ජැක් හොඳට බොනවා
ජැක්ට බඩ එනවා
ව්‍යාඝ්‍රා පෙති ලොරි අරන්
දෙව් ලොවට යනවා"

මේ සින්දුවෙන් අහන්නෙ මධ්‍යම පාන්තික අපට වෙලා තියෙන දේ නේද ? මේ ලංකාවෙ සංස්කෘතිය විසින් පාලනය කරන අපි නොදන්නවා වගේ ඉන්න කලාපය. මේ සිංහල බොද්ධ කඩතුරාවෙන් වහන් ඉන්න අශ්ලීල යටපෙළ නෙ.

අනෙක මේ අය ගොඩක් පාවිච්චි කරන්නෙ ඒ අය හදාගත්ත සංගීත භාණ්ඩ. ඒවා වෙනස්. ඒ අයගෙ ශබ්ද වෙනස්. නොයිස් කොහොමද ආර්ට් ඇතුළෙ නිර්මාණය කරන්නෙ? මේ වගේ පර්යේෂණ කරද්දි අපි මේ ලකුණු කරන්නෙ තිබුණ ආර්ට්වලින් වෙනත් ලක්ෂ්‍යයක්. අපි ගේන මේ සංකල්පයීය යෝජනාව පවතින සංස්කෘතික සහ බල ව්‍යුහය නේද ප්‍රශ්න කරන්නෙ? ඒ නිසයි අපි කිව්වෙ අපි විකල්ප ආර්ටිස්ට්ලා කියල. ලංකාවෙ ආර්ට්වල හෙජමොනිය පවත්වා ගෙන ගියේම මධ්‍යම පන්තිය. කොටින්ම නන්දා මාලනී හෝ සුනිල් ආරියරත්න 89 ගැන සීරියස් නෑ. විජේවීර ඒගොල්ලන්ගෙ මධ්‍යම පාන්තික ජීවිතය උල්ලංඝනය කළාම ආර්ට් කියල පීස් එකක් දැම්ම පවන නමින්. ලෝකෙ ඉන්න රොක්, මෙට්ල් ආර්ටිස්ට්ල ගත්තම එන්නෙ මහපොළවෙ පාදඩ පන්තියෙන්. ඒගොල්ලො එන්නෙ සුමධුර සංගීතය විනාශ කරමින් දැවැන්ත ශබ්ධ අරගෙන. ලංකාවෙ එවැනි දෙයක් මුල්වරට කළේ ඩවුන් ටවුන්වල. බේකරිය වටා ඉන්න සියලු සංගීතකාරයො මහපොළවෙන් එන අය. ගීතදේව බස්වල සිංදු කිව්වා. පාලි එන්නෙ අනුරාධපුරේ ඉඳලා. ශාක්‍යගෙ ගෙදර තියෙන්නෙ ආමර් වීදියෙ. එයාගෙ සංගීතයෙන් එන්නෙ ඒ ඝෝෂාව. ඒකයි මම කියන වෙනස. එයාලා මධ්‍යම පන්තියට ආර්ට් යෝජනා කරන්නෙ නෑ. ඒගොල්ලො තමන්ගෙ පන්තියෙ කතාව කෑ ගහලා කියනවා. එතකොට පහළම සමාජ කොටස් පවා ඔවුන් වටා එකතු වෙනවා. අපි එහෙම සංස්කෘතික කණ්ඩායමක්. අපි විකල්පය හරියට ලකුණු කරමින් ඉන්නවා.



අපට චෝදනාවක් ආවා අපි සංගීතය හරියට දන්නෙ නෑ කියලා. මේකට හොඳම කතාව ලිව්වෙ එරික් ඉලයප්ආරච්චි ඩවුන් ටවුන් පොතකට. ඔහු කිව්වෙ "මුන් රාක්ෂයෝ වගෙ ජාතියක්. රාක්ෂයෝ කවදහරි කලාකරුවන් වෙයි. කලාකරුවෙක් වෙන්න ඉස්සෙල්ල රාක්ෂයෙක් වීමේ වරම ලැබීම සරසවි වරමට වඩා වටින වරමක්..." කියලා. අපි තවම පටන් අරන් අවුරුදු හතයි. අපිට කාලයක් ඕනෙ ගොඩ නැගෙන්න. අපි කියන්නෙ නෑ අපි අහවල් ගායකයට වඩා සංගීතය දන්නවා කියලා. අපි කියන්නෙ ඕගොල්ලො නො කරන වැඩක් අපි කරනවා. ඒකෙ අඩුපාඩු ඇති. අපිට කල් දෙන්න- අපි ඒක වෙනස් කරල පෙන්නන්නම්. අපි ප්‍රේක්ෂකයො සීයකින් පටන් ගත්තෙ. දැන් දෙදාහක විතර ප්‍රමාණයක් ඉන්නවා. අපි මේකට සංගීතයට අමතරව ඡායාරූප, ඉන්ස්ටොලේෂන්, ග්‍රැෆිටි ආර්ට්, පර්ෆෝමිං ආර්ට් එකතු කළා. දැන් දවසක ප්‍රසංගයකින් ඒක දවස් තුනක් කඳවුරු බැඳන් ඉන්න වැඩක් දක්වා ඇවිත්. මෙතන ඉන්න විදිහ, කන බොන විදිහ ගැන නීති දාන්නෙ නෑ. මගෙ නහයේ වදින්නෙ නැති වෙන්න ඔයා හිටියම හරි. පැය හතරක පහක සංගීත ප්‍රසංගයක ගැටුම් කොච්චර තියෙනවද ලංකාවෙ? සංස්කෘතිය ඇතුළෙ විනෝද වීම කියන එක නොදන්නම සමාජයක් තමයි මේක. අඬ දබරවල සිට ලිංගික හිංසන දක්වා සිද්ධ වෙනවා. හැබැයි මෙතන ඒ කිසිවක් වෙන්නෙ නෑ. සියල්ලන් එකිනෙකාට ගරු කරනවා. කාන්තාවන්ට විශේෂයෙන්. අපි ඒ අමාරු කාර්යය තමයි මිනිස් සමාජයක් එක්ක ප්‍රැක්ටිස් කරන්නෙ. උපරිම නිදහස කියන්නෙ ඕනම පිස්සුවක් නටන්න ඕනෙ කියන තැනක අපි නෑ. මෙතන තියන්නෙ කොයි වර්ගෙ කෙනක් ආවත් කමක් නෑ මෙතනදි පොදු කුලකයක් ඇතුළට එන්න. ඒක ඇතුළෙ තියෙන්නෙ නිදහස සහ සාමය කියන දෙක විතරයි. ප්‍රචණ්ඩත්වය බෑ. ඒකයි කරන්න උත්සාහ කරන්නෙ. ඒක සාර්ථක කරගැනීම සරල වැඩක් නෙවෙයි. මම ආරාධනා කරන්නෙ ඩවුන් ටවුන් කියන එක ඒ අර්ථයෙන් තේරුම් ගන්න. ඒක ආර්ට් කතිකාවක් විතරක් නෙවෙයි. ඒක සංස්කෘතික ලෝකයේ අපේ නිදහස පිළිබඳ කතිකාව අපි ව්‍යවහාර කරන වේදිකාව. ඒක ඇතුළෙ අපේ ජීවිත සුන්දර කරගන්න විදිහ අපි තීරණය කරගන්න ඕනෙ.

අපි මේක කරන්න හදද්දි බෝඩ් අල්ලන් ඉන්න විකල්ප සංගීත කරුවන්ට, පත්තරවල ඉන්න ස්ත්‍රීවාදීන්ට ජ්‍රජාතන්ත්‍රවාදීන්ට ප්‍රශ්න ඇතිවෙනවා මේ මොක්කුද කියලා. මම කියන්නෙ ඒක කරන්න එපා ඒක පරණයි. අපි අපේ භාවිතය පෙන්නලා තියෙනවා අපිට පුලුවන් ප්‍රමාණයට.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Viraj Liyanarachchi, The Hole Photography Exhibition, Alternative Art in Sri Lanka, University of Peradeniya, Down Town Pulse, Bekariye Kattiya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
බූන්දි වැ.දෙ.ගෙන් තවත් වියමන්
කතා-බස්
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
වෙසෙස්
ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා
සිත්තර
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
කතා-බස්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
කතා-බස්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
තවත් රහ කතා-බස්
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'
මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු
විවෘත නාට්‍ය විචාරයක් නැතිකමින් හොඳ නිර්මාණ සමාජගත වෙන්නේ නෑ.- ප්‍රියංකර රත්නායක
බාල ස්කාගාරයක මත්පැන් බෙදනවා වගේ බොළඳ හාස්‍යයෙන් වර්තමාන වේදිකාව පිරිලා..!- අකිල සපුමල්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චාර්ලි චැප්ලින් කියයි.
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook