Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...
ඉකුත් නොවැම්බර් 06 වන දා අප අතරින් වියෝ වූ ධර්මසිරි රාජපක්ෂ සහෘද කවියා සහ ඔහුගේ කවි මග පිළිබඳ ලක්ශාන්ත අතුකෝරලගේ මෙම විවරණය අප උපුටා ගත්තේ නොවැම්බර් 13 වන දින "ඉරුදින" පුවත්පත විසින් පළ කරන ලද "ධර්මසිරි රාජපක්ෂ කාව්‍ය ප්‍රභාස්වරය" අතිරේකයෙනි.
බූන්දි, 18:41:13
සාහිත්‍යයේ උස්මැදුරු වෙතින් ඔහු ගේ කවියේ විශිෂ්ටත්වයට තරම් වන පිළිගැනීමක් නොලැබුව ද, කුඩා කාව්‍ය සමාජය තුළ දී සම්භාවනාවකට පාත්‍ර වී සිටි ධර්මසිරි රාජපක්ෂ කවියා සමු ගෙන ගියේ ය. කවිය තාරුණ්‍යයෙහිම රඳවා කවියා මිය ගියේ ය.

ධර්මසිරි රාජපක්ෂ කවියා ගේ මරණය 'නිහඬ ශෝකජනක සමුගැනීමක්" වශයෙන් හඳුන්වමින් යමෙකු විසින් තබන ලද සටහනක් නෙත ගැටුණු බව මතක ය. කවි තුළින්ම මිස කිසි දිනෙක මට හැබැහින් ධර්මසිරි කිවිඳුන් හමුවී නැතත්, මගේ සිතෙහි ද ඔහු ප්‍රතිරූපගතව සිටියේ ගැඹුරු අපැහැදිලි දුකක ගිලී සිටි නිහඬ කාව්‍යාත්ම මුහුණක් සමගිනි. එය ඔහුගේ කවි අතර සැඟව තිබූ අව්‍යාජ හැඟීම් ලකුණින් සහ ඔහුව වඩාත් හොඳින් හඳුනන රත්න ශ්‍රී, තිඹිරි, සෙනෙවි, චින්තක සහ පියන්කාර ආදීන් ගේ කියුම්-ලියුම් ඇසුරින් මසිත මවා ගත් රූපය විය හැකි ය. ඔහු තරුණ වියේ දී විශ්වවිද්‍යාල වේදිකා මතදීත් කවි සංවාදවලදීත් යම් කිසි දඩබ්බර බවක් පළ කරමින්, අති නිදහස් හැඟීම් මුදා හළ අවස්ථා ගැන අසා ඇතත්, ඔහුගේ පසුකාලීන ජීවිතය පිළිබඳ ආරංචි සංඥා ඔස්සේ මගේ සිතේ ඇඳෙන්නේම ධර්මසිරි රාජපක්ෂ නම් ශෝකී ගුප්ත කවියෙකි. ඇතැම් විට එය එතරම්ම නිවැරැදි රූපයක් නොවිය හැකි ය.

ආත්මගත ශෝකයත්, නොසන්සිඳුණ ජීවිතයත් කවියෙකුට නුහුරු දේවල් නොවේ. ධර්මසිරි කවියාගේ මරණය එඩ්ගා ඇලන් පෝ කවියා ගේ මරණය සමඟ සමපාත කරන සිතුවිල්ලක් මොහොතකට මසිත තුළ ඇති වූයේ ඇයි දැ යි නොදනිමි. ඇලන් පෝගේ මුළු දිවියම කවිය හා සාහිත්‍යය හා වෙලී තිබුණ අතර ජීවිතයේ වරප්‍රසාද සහ සැප සම්පත් කෙරෙහි ඔහු තුළ කිසිදු උනන්දුවක් ද නොවී ය. ප්‍රේමය ඔහු පැතූ වටිනාම වස්තුව විය. දරිද්‍රතාව නිසාම රෝගී වී මිය ගිය සිය බිරිඳ වෙනුවෙන් කවි ලියමින් වැළපෙමින්, අයාලේ ගිය ඔහු එක් දිනක් මානසික ආතතියෙන් පෙලෙමින් නගරයෙන් අතුරුදහන් වෙයි. දින කිහිපයකින් ඔහු හමු වන්නේ කාගෙන් හෝ හොඳහැටි බැට කා, ඈත නගරයක සිහිසුන් වී වැටී සිටියදී ය.

ඒ සිදුවීම හේතුවෙන්ම මරණයට පත් වන ඇලන් පෝ ගේ සිතෙහි පැසවමින් තිබුණු අත්‍යන්ත සිතුවිලි කැටිය කවරාකාර වීද යන්න අදත් මේ ලොවට රහසකි. ධර්මසිරි සම්බන්ධයෙන් එකී ජීවන පුවත් එලෙස අදාළ නොවෙතත්, ඔහු වුවද මියෙන්නට ඇත්තේ යම් හෙළි නොවූ වේදනා චින්තන කැටියක් හද රුවාගෙන විය හැකි ය. තම සමාජමය අවට ගැන ගැහෙන අවංකත්වයකින් කවි ලියූ ඔහු සිය සමීප අනෙකා වෙනුවෙන් පැතූ ලෝකය කිසි දිනක උදා නොවීම ගැන කලකිරීමකින් කාව්‍යමය නිෂ්ක්‍රීය භාවයකට පත්ව සිටියා ද විය හැකි ය.

ඇතැම් විට කවියෙකු ගේ ඇතුළු සිත සාමාන්‍ය නොවූ යම් ගුප්ත ඉසව්වක් වැනි ය. එය පැහැදිලි භෞතික ජීවිතයෙන් මිදී පවත්නා හුදකලා වූ මනහර චින්තන කලාපයකි. යම් කවියෙකු සතු එකී අඳුරු පෙදෙසේ සැබෑම අඟපසඟ දර්ශනය කරවන කිරණ කදම්භය වන්නේ ඔහුගේම කවිය යැ යි කිව හැකි ය. ධර්මසිරි ලියූ කවි තුළින් ඔහුගේ භෞතික ජීවිතය කියවීමට නොහැකි වීමට ඉඩ තිබේ. එහෙත් ඔහු ජීවිතයත්, සමාජයත් දෙස හෙලූ බැල්ම සහ ඔහු තුළ වූ අවංක හැඟීම් සමුදායත් ඒ කවි තුළින් වටහා ගැනීමට උත්සාහ කිරීම වැදගත් වේ.

ධර්මසිරි රාජපක්ෂ කවියා දිගු කලක් රෝගාතුරව දුෂ්කර ජීවන ව්‍යායාමයක නිරතව සිටි බව අපි දනිමු. ඔහුගේ පෙර වදන්වල එය ඔහු අඟවන්නේ 'සැබැවින්ම කටුක වූ දිවි යාත්‍රාව' දැඩි ලෙස ගිලන් වී නිවසටම කොටු වී සිටින විවිධ හැලහැප්පීම් ජීවිතය උදාසීන කරවූවත් යනාදී වැකිවලිනි. ඒ බිඳ වැටීම ඔහු මෙන්ම ඔහුගේ කවිය ද අඩපණ කරන්නට ඇත. වසර ගණනකට පෙර කේ. ජයතිලකයන් ගේ නිවසේ පැවති 'මකරන්ද' වැඩමුළුවකට ආරාධනා කළ විටෙක ඔහු දුන් පිළිතුර තිඹිරියාගම බණ්ඩාර කවියා විසින් 'රාවය' ට ලියා තිබුණේ මෙසේ ය.

'මගේ පළමුවැනි පොත කළෙත් ජයතිලක මහත්තයා. දකින්ඩ තියෙනවා නම් ආසයි. ඒත් බණ්ඩාරේ මට දැන් අමාරුයි. කෙළින් හිටගෙන ඉන්න බැහැ.'

ඔහුගේ පළමුවැනි පොතම, සිංහල කවිය තුළ ධර්මසිරි රාජපක්ෂ යන නම නොමැකෙන ලෙස සටහන් කළ බව නිසැක කරුණකි. ඔහුගේ කාව්‍ය ජීවිතය පොත් තුනක් පමණකි. 1975 දී පළ කරනු ලැබූ 'ඉතින් සහෝදරවරුනේ' පොතට පසුව ඔහුගේ දෙවැනි කවි සමුච්චය වන 'ශක්තියේ පුෂ්පය' පිබිදෙන්නේ 1985 දී ය. 'සඳ වතුර' නම් වූ තුන්වැන්න ලියැවෙනුයේ ඉනුත් වසර 25කට පසුව ය. එම පොත් තුනෙහි නම් තුන වුවද ඔහුගේ කාව්‍යමය මැදිහත් වීමේ සාරය දරා සිටිනු වැන්න. නිර්මල මාක්ස්වාදී දෘෂ්ටියකින් සහෝදරවරුන් අමතමින් නිර්මාණකරණයට පිවිසි ඔහු එම සමාජයට ශක්තිය දීමේ අරමුණ ඔහුගේ මැදි කාලීන කවිවලින් දිගටම සිදු කළේ ය. පසුව සෞන්දර්යාත්මක කවි බසක් වෙත ඔහු නැඹුරු වීම 'සඳ වතුර' යන යෙදුමින් මනාව සංකේතවත් වේ.

'ඉතින් සහෝදරවරුනේ' යන නමින්ම ඇඟවෙන පරිදි ඔහුගේ මුල් කෘතිය කවියා ඇසුරු කරන සමාජයේ තදාසන්න සාමාජිකයන් අමතා කෙරෙන කාව්‍යමය ප්‍රකාශනයන් එකතුවකි. හැත්තෑව දශකයේ සිංහල කවිය තුළ කැපී පෙනුණු සමාජ අරගල ප්‍රවණතාව සේම තත්කාලීන සමාජ ජීවිතය පිලිබඳ පිළිබිඹුවක් ද ප්‍රකට කරන එම කෘතිය අරගලකාමී දේශපාලන ඇඟවුමකින් තියුණු වූත්, නිර්ව්‍යාජ වූ ළතෙත් සංවේදනා ගුණයකින් මොළොක් වූත් කවි එකතුවකි. ඒ සියල්ල අතරේ සමකාලීන කවිය තුළ පහසුවෙන් ගොදුරු විය හැකිව තිබූ අනුකාරකත්වයේ අනතුරින් පහසුවෙන් මිදී ගන්නා ධර්මසිරි ගේ කෘතිය නිසර්ග අපූර්ව කවීත්වයක් පැහැදිලි ලෙසම පළ කර සිටී.

"මද්දහනේ පොර වැටිච්ච
මිනිස් පොකුරු කෝ කියලා
වීදි උඩින් විදුලි බුබුළු
බීත වෙලා බලා සිටී
මුළු ලෝකෙම අඬා වැටෙන්නා වගේ ය
ඒ අතරින් උඹ වැලපෙන හඬ දෝ ඒ
ඇහී නෑහි යන්නේ මට..."

(-'ඉතින් සහෝදරවරුනේ' දෙවන මුද්‍රණය, ගොඩගේ ප්‍රකාශන, 27 පිටුව)

"ඔහු ප්‍රකට කරන ස්වාධීනව කවි ගුණය නව කවීන්ට හොඳ ආදර්ශයක්" බව මොනිකා රුවන්පතිරණ කිවිඳිය ලියා තබන අතර, පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ ලිපියකින් උපුටා ගෙන කෘතියේ පසු මුද්‍රණයකට ඇතුළත් කර තිබූ සටහන මෙවැන්නකි.

"ඔබ සියුම් ස්නායු ඇති රසිකයෙකු බව ඔබේ කාව්‍ය සංග්‍රහය කියවා මම තේරුම් ගතිමි. අනාගතයේ යම් දිනයක ඔබ ජනතාව මැදට වන් කලෙක මහා ගිනි මැලයක් ලෙස ඔබේ කවිය ඇවිලෙන බව මට සහතිකය"

'ඉතින් සහෝදරවරුනේ' තුළ ඇතුළත් වනුයේ නිරායාස ගුණය පළ කරන දිගු කවි විස්සකි. ඔහු කවි පොත අරඹන්නේම 'රතු මල් පිපේවා' යි ප්‍රාර්ථනා කරමිනි. ඒ කවි තමා සමඟ උගත් ජයේට අවසානයේ යම් අඳුරු වෘත්තියක් තෝරාගත් හීන් මැණිකේ අක්කාට, පතලේ හිරවුණු මිතුරාට, සැමියාගේ රැකියාව අහිමි වීම නිසා හඬන ජිනාට, සෙයිලමට ගිය ලොකු අයියාට, පොඩ්ඩිට, ලාලනී (ලලා) ට, ඇතුළු තමාට ජීවන සැරියේ දී මුණගැසුණු මහ පොළොවේ මිනිසුන්ට සහ ගැහැනුන්ට කරන හෘදයාංගම වූත්, ප්‍රබල වූත්, ඇමතුම් රැසකි. ඇත්තෙන්ම එබඳු ආමන්ත්‍රණයක් නොවන එක් කවියකුදු එහි ඇතුළත් නොවේ.

"....කුමාරයෙක් වගේ වරෙන් ලොකු අයියේ
අපි බලන්න
තාත්ත බිම නිදියාවී
උඹට ඇඳේ ඉඩ දේවී
මාත් උඹේ ඇඳ පල්ලේ
සංතෝසෙන් ඇලවෙන්නා
ඉංගිරීසි මහත්තයගේ සරුවාංගෙ තියෙන පුස්ම
උඹ ගාවත් තියෙයි නේද ලොකු අයියේ..."

(-ඉහත 31 පිටුව)

එකී ආමන්ත්‍රණ ආකෘතිය ධර්මසිරි ගේ විශිෂ්ටතම කාව්‍ය ප්‍රකාශන විධියයි. එමගින් ඔහු විසින් පිළිබිඹු කරන ලද්දේ පීඩිත මිනිසා ගේ ජීවන අරගලය පමණක් නොවේ. එම සමාජමය ඛේදයට හේතු භූත වූ පදනම් පිළිබඳ ව ද ඇඟවුම් අමුණන ඔහු, තම පාත්‍ර වර්ගයාගේ ජීවිතවල මුක්තිය සහ නිදහස රැඳී ඇති ඉසව් ගැන ද ඉඟි කරමින් අනාගතය පිළිබඳ සුබ සිහිනයක් ද දල්වයි.

"පලංචියේ මහ කොටේට තාත්ත හිර වී මළාම
අපිත් ගියේ පේළි ගැහී වළ දානා දවසෙ හවස
ඔළුව නමං මිනිය ළඟින් ඔබ හිටියේ
මලානිකව කඳුළු ඉණුව නෙතු සඟලින්
බලාහිටියෙ අපි දිහාව...."

"මා දිහාවෙ බලා හිටියෙ
නෝංජල්ව තවු ගැහිලා
ඉස්සර වගෙ 'මචං' කියා කතා නොකොට..."

"ලැජ්ජාවක් හිතනු එපා මචං ජයේ පස් කැපුවට
පාර ඇරෙයි උඹට යන්න
පාවඩ නැතුවට එළෙන්න
සංතෝසෙන් ඉන්න ඇහැකි
එදාට ඔව්
මහන්සියට සලකන දා
ඔබයි සහෝ නායකයා"

(-ඉහත 9-11 පිටු)

ඕනෑම නව කවි ආරක් පසුකාලීන කාව්‍ය නිර්මාණකරුවන්ට බල පෑ හැකි ය. ධර්මසිරි ගේ කවිය පසුකාලීන නව කවියන් ගේ කාව්‍ය ශෛලීන්ට ආභාසය ලබා දෙන්නට ඇති බවට සැකයක් නැත. එහෙත් එසේ බල පෑ බවක් එබඳු කවීන් හෝ සමස්ත කාව්‍ය ක්ෂේත්‍රය විසින්ම වුව ද විමසා බලා තිබේද යන්න වෙනම් විමසිය යුත්තකි. කවීන් අතරම මිස ධර්මසිරි ගේ නිර්මාණ, මාධ්‍ය හෝ විචාර ක්ෂේත්‍ර තුළ පුළුල් සාකච්ඡාවකට බඳුන් වූයේ නැත. ගීතයක රචකයා සඳහන් නොකරන, පොත්වල ඇතුළත් කරුණු පදාස පිටින් ඉදිරිපත් කරන අතර, එකී කෘතියේ කතුවරයා ගේ නම සඳහන් නොකිරීමට පරිස්සම් වන සමාජයක ධර්මසිරිලා වැනි කවීන්ගැන කතා නොකිරීම පුදුමයක් ද නොවේ.

ධර්මසිරි ගේ මුල් කාලීන කවි බස සරල භාෂණ වහරකි. එය පාඨක හදට සමීප වන්නේ ද එහෙයිනි. කෙසේ වෙතත් ඔහු මුල් කෘතියේ කවි තුළින් සියුම් ලෙස කියාපාන සමාජ ඛේදවාචකය අදට පවා නොවෙනස්ව අදාළ කරගත හැකි විදාරණයන් ගෙන් යුක්ත ය.

"හිනා වෙන්න බැයිද අක්කෙ"
මූණෙන් මූණට හමු වී
කතා කරන්නට නොහැකිව
අපි නැවතුණේ
පිටකොටුවේ බස් පොළ මැ
ගමේ හිටිය හීන්මැණිකේ අක්ක ද මේ
කට පුරාම ඇස් පුරාම හිනා පිපුණ
ගමේ හිටිය හීන් මැණිකේ අක්ක ද මේ....

(-ඉහත 11 පිටුව)

1985 වසරේ දී සිංහල කවියේ අනාගතයට බෙහෙවින් වැදගත් වූ කවි පොත් තුනක් එළි දකී. රත්න ශ්‍රී විජේසිංහගේ 'වස්සානේ', ජයවඩු විතානගේ 'කිණිහිරයේ පිපුණ මල' සහ ධර්මසිරිගේ 'ශක්තියේ පුෂ්පය' එම කෘති තුනයි. එම කෘති තුනම අරබයා කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැති සංවාදයක් පිළිබඳවත්, එහි දී ධර්මසිරි පළ කළ, පාලනයකින් තොර යම් අභියෝගාත්මක වූ අදහසක් පිළිබඳවත් වරක් රත්න ශ්‍රී කවියා විසින් සිහිපත් කරනු අසා ඇත්තෙමි. ධර්මසිරි කවියා සිංහල 'විශේෂ' උපාධියක් හැදෑරීමට අවශ්‍ය වූ බැවින් පේරාදෙණිය සරසවියෙන් ඉවත්ව කැලණිය සරසවියට ඇතුළු වී ඇත. ඉන් පිට වූ පසු ඔහු මාතර මන්තින්ද පිරිවෙනෙහිත්, රක්වාන බොරලුවගෙ අයින, බුත්කන්ද විදුහලේත් ගුරුවරයෙකු ලෙස කටයුතු කළේ ය. මේ අතර වාරයේ ද විවිධ ජීවන ප්‍රශ්නවලට මවගේ රෝගී බවට සහ මානසික පීඩනයන්ට ද මුහුණ දෙමින් සිටි ඔහු 'ශක්තියේ පුෂ්පය' ලියන්නේ 'එරත්න, ගඟ බඩ, හෙවණ නිවසේ' හිඳිමිනි.

'ශක්තියේ පුෂ්පය' කෘතියේ දී ඔහු 'ඉතින් සහෝදරවරුනේ' හි කැපී පෙනුණු සිය නිරායාස කවි මගෙන් හා රිද්මීය අනන්‍යතාවෙන් ද, ආමන්ත්‍රණ ආකෘතියෙන් ද පැහැදිලි ලෙස ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. එහි දී ඔහු සඳැස් සිව්පද ආකෘතියත්, නවීන නිසදැසත් බහුලව යොදා ගනී. නන්දා මාලිනීගේ 'කිඳුරියගේ විලාපය' ගී එකතුවට ඇතුළත් වූ ඇය ගුණදාස කපුගේ සමඟ ගයන 'තලමලේ කවිය' එම කෘතියේ ඇතුළත් වූ වඩාත් අවධානයට ලක් වූ නිර්මාණය ලෙස සැලකිය හැකි ය. (ගීතය අසන්න.)

"කියන්න කවි කර අම්මෙනි අවසර
මහතුන් නැති රට ඇයි උන් අවසර
දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර
බිම හෙළලා අර දෙනගම තලමල"

"ගුගුරා සත් දවසක් ඉර හඳ තරු
උතුරා ජන ගඟ පව් උඩු යටිකුරු
කරනා තුරු අපෙ දිවි මග ගරු සරු
සුවපත් වෙත්වා දුක්දැරු මව්වරු"

(-'ශක්තියේ පුෂ්පය' දෙවැනි මුද්‍රණය, ගොඩගේ ප්‍රකාශන 09 පිටුව)

ඔහුගේ කාව්‍ය ව්‍යායාමය ක්‍රමයෙන් තත්කාලීන කාව්‍ය ප්‍රවණතා දෙසට හැරෙන්නට ගත් බව මෙම කෘතියෙන් පෙනී යයි. එහෙත් ඔහුගේ විරෝධාකල්ප මුසු අදහස් ප්‍රකාශනය සපුරාම වියෝජනය වී ගියේ යැ යි ඉන් අදහස් නොවේ. කවීත්වයේ වාසනා ගුණයත්, භාෂා ශුරත්වය සහ මානවවාදී හද කම්පනයත් අත් කර ගත්තෙකු අතින් ලියැවෙන සැම කවියක්ම අපූර්වත්වයෙන් යුතු ය. ධර්මසිරි ගේ එකදු කවියක්වත් ඉවත දැමිය නොහැක්කේ එබැවිනි. දශකයක අත්දැකීම් සමග දෙවැනි වර පැමිණෙන ධර්මසිරි ගේ කවිය යම් දාර්ශනික සත්තාවක් සහ සෞන්දර්යාත්මක ප්‍රකාශනයක් ද සොයා ගිය අයුරකි.

"සඳ
ඇබින්දක්
බිත්ති හිදැහින් ඉඟි මරයි
ඈත ගිරගින් සුළඟ වැලපෙන රිදුම කැලතෙන
හොඳම කව මගෙ නිදි වරා මැදියමේ වැගිරෙන
කඳු කපාගෙන ගඟක් වීලා ගලා යයි සිත..."

(-ඉහත 11 පිටුව)

ධර්මසිරි රාජපක්ෂ ගේ වඩාත්ම අනන්‍ය වූ රචනා ශෛලිය විළිලන්නේ 'ශක්තියේ පුෂ්පයෙ'නි. පසුගිය සියවසේ අනූව දශකයේ අග භාගයේ දී පමණ ධර්මසිරි පුවත්පත්වලට එක දිගටම ලියූ කවි ඔහුගේ එම අනන්‍ය වූ කවිය කදිම අයුරින් සහ නිසැක ලෙසින් ප්‍රකට කළ සමය බව මගේ අදහසයි. එවක ඔහු ලියූ කවියෙන් කවිය ඔහුටම ආවේණික වූ ප්‍රශස්ත කාව්‍ය ධාරාවක් කරා වැඩී වර්ධනය වී පැවැති බව මෙහි දී විශේෂයෙන් අවධාරණය කළ යුතු ය.
සේයාරුව- සුමින්ද ගුණරත්න
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Dharmasiri Rajapaksha, Sri Lankan Poet, Shakthiye Pushpaya, Ithin Sahodarawarune, Sanda Wathura, Rathna Sri Wijesinghe, Parakrama Kodithuwakku
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ලක්ශාන්ත අතුකෝරලගෙන් තවත් වියමන්
කවි
සිහිවටන සිහිනයේ හඹා එන සිහිනි හඬ
කවි
සිනා සිඟන්නෙක්
කවි
සොහොන
කරන්ට්ස්
ප්‍රේමකීර්ති
කවි
දුවගෙ ලියුම
තවත් වෙසෙස් බූන්දි
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook