Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව
බූන්දි, 17:26:50
කාමොද්දීපනය කෙරෙන නාරි ලාලිත්‍යයක් උපතින්ම දායාද කරගත් සිල්වියා නම් ස්වීඩන් රංගන ශිල්පිනිය සුප්‍රසිද්ධ ට්‍රොවි වතුර මල වෙතට සක්මන් කරනවා. ඇය ඇඳගෙන ඉන්නේ ඇඟටම ඇලුණු, සිරුරේ රස රේඛාවන් උලුප්පා දක්වන, සිරුර ආවරණයට වඩා අනාවරණය කෙරෙන කළු පැහැති නාන ඇඳුමක්. සිල්වියා වතුර මලෙන් නාන්න පටන් ගන්නවා. ඇය සෙමෙන් දෑස් පියාගන්නවා. වතුර මලෙන් කඩා හැලෙන වතුර ඇගේ කෙස්කළඹ දිගේ දිය ඇල්ලක් මෙන් රූරා හැලෙනවා. ඇය සිය නිකට අහස දෙසට ඔසවමින් තම සුරත ගෙල, ළමැද හරහා ලතාවකට ගෙනයනවා. ඇගේ මේ දේහ (ප්‍ර)දර්ශනය මාසෙලෝ නම් මාධ්‍යවේදියාගේ හිතේ අනුරාගී හැඟුම් මවනවා. මාසෙලෝගේ පමණක් නෙවෙයි, නරඹන අප සිත් තුළ පවා. සිල්වියාට තරමක් දුරින් සිටින මාසෙලෝ සහ වතුර නාන සිල්වියාගේ රූප ඡෙදනය වන්නේ මාසෙලෝගේ දෙනෙත් ප්‍රේක්ෂකයාගේ ද දෙනෙත් බවට පත්කරමින්. සිල්වියා නැරඹීමට තබා ඇති (to-be-looked at) ආශාවේ වස්තුවක් බවට පත්කරමින්.

ඉහත විස්තර කෙරුණේ ෆෙඩ්රිකෝ ෆෙලිනිගේ 'La Dolce Vita (The Sweet Life)' චිත්‍රපටයේ ඉතා කතාබහට ලක්වුණු ජවනිකාවක්. (එම ජවනිකාව බලන්න.) පිරිමි ෆැන්ටසිය සැමවිටම ගැහැනු ආකෘතියක නිරූපණයක්. නූතන සිනමාව ගොඩනැගෙන්නේම, ගැහැනිය පිරිමි ෆැන්ටසිය තුළ සරාගී වස්තුවක් බවට පත්කිරීම හේතු යුක්ත කෙරෙමින්. මෙලෙස ගැහැනු ශරීරය අර්චනකාමීකරණය (Fetishization) ෆෙඩ්රිකෝ ෆෙලිනිගේ La Dolce Vita චිත්‍රපටයෙන් විප්ලවකාරී වෙනසකට භාජනය වූ බවටයි සැලකෙන්නේ. නූතන සිනමාවේ ආඛ්‍යානය සැකසෙන්නේ පිරිමි කතානායකයා සහ ඔහුගේ අනුරාගයේ වස්තුව ලෙස ගැහැනිය සමෝධානිත කිරීමෙනුයි. සිල්වියා වතුර මලේ නාන දර්ශනය රූගත කර ඇති අයුරුත් ඒ දෙස චිත්‍රපටයේ කතානායකයා බලා සිටින ආකාරයත් ප්‍රේක්ෂකයා ද ඔහු සමඟම (ඈ දෙස) බලාසිටින ලෙස සංස්කරණය කර තිබෙන අයුරුත් මේ සඳහා හොඳම නිදර්ශනයක්. ගැහැනියගේ සාම්ප්‍රදායික ප්‍රදර්ශනකාමී භූමිකාව තුළ, ගැහැනුන් ප්‍රදර්ශනයත් නැරඹීමත් එක විට සිනමාව තුළ සිදුකෙරෙනු ලබන්නේ, ඔවුන්ගේ දර්ශනය පිරිමි මනස තුළ සරාගී ඝට්ටනයක් ඇති කළ හැකිවන පරිදියි. බොහෝ චිත්‍රපට සැකසෙන්නේ පිරිමියා ගැහැනු සිරුර නරඹද්දී එහි පාලනය පිරිමියා සතු කරවමින්. මේ චිත්‍රපටයේ ෆෙලිනි දර්ශනයේ පාලනය සිල්වියා වෙතට මාරුකරනවා. ඒ අනුව මාසෙලෝ හරහා ප්‍රේක්ෂකයා ඇගේ සිරුර විඳින්නේ වුව ද, මාසෙලෝ ද ප්‍රේක්ෂකයා ද ඇගේ සරාගී සිරුරේ බලයෙන් නැටවෙන රූකඩ බවට පත්කෙරෙනවා. මේ චිත්‍රපටය විප්ලවීය ලෙස නූතන සිනමාව තුළ සටහන් තැබෙන්නේ මේ වෙනස නිසායි.

ස්වර්ණා පිළිබඳ ලියන සටහනකට ඉහත ලෙස පිවිසුණේ අරමුණක් ඇතිවයි.

‘එදා මෙදා තුර ලාංකේය සිනමාවට පිවිසි නිළියන් අතුරින් වඩාත්ම සරාගී රංග ශරීරය ස්වර්ණා’ යැයි පැවසීම අතිශයෝක්තියක් නෙවෙයි. ඇගේ සිහින් හැඩ සිරුර, බැල්ම, ගමන, කටහඬ යන සියල්ලෙහි සංකලනයෙන් අපේ සිනමාව තුළ අනුරාගයේ සිහින දෙව්දුව නිමවාගත හැකිව තිබුණත් අපගේ සිනමා භාවිතයේ එක් මොහොතක අපට ඇය මගහැරෙනවා. ඒ වෙනුවට අපේ සිනමාව තුළ ස්වර්ණා සටහන් වනුයේ, එහි විලෝමය ලෙසින්.



මාලිනීගේ සිනමා දිවියට පනස් වසරක් පිරීම වෙනුවෙන් සටහනක් තැබූ මම මාලිනී පිළිබඳ මෙසේ සටහන් කළා.

"මාලිනී ලාංකීය පිරිමියා තමන් සතු කරගන්නට සිහින මවන ගැහැනියගේ රූපකාය වූවා පමණක් නොව, ඈ ජනප්‍රිය සිනමාව තුළ මැවූ සෑම චරිතයක්ම පාහේ (හර්බට් රංජිත් පීරිස්ගේ එක්ටැම් ගේ චිත්‍රපටයේ මාලා හැර) එම රූපකායම හැඩගැන්වූ සිහින චරිතය. එක්ටැම් ගේ චිත්‍රපටයේ මාලා යනු මාලිනී තිරයේ මැවූ අතිශය භයංකර චරිතයයි.

මාලිනීගේ (අහිංසක) සිනහව, දිගු වරලස, සඳක් වන් මුහුණ නාගරික චරිතයක ජීවත්වුවද ඇය තුළ මැව්වේ ලංකාවේ පිරිමියා ඇලුම් කරන ගැමි සුන්දරත්වයයි. ගම මෙන්ම ඒ ගැමි සුන්දරත්වයද ඇත්තේ ප්‍රේක්ෂක මනසේ මිස ඇත්ත ලෝකයේ නොවේ. ඇත්ත ගම ද ගැමි සුන්දරත්වය ද ඒ මනස්කල්පිත සුන්දරත්වයෙන් බොහෝ දුරස්ය. ඇත්ත ගැමි ගැහැනිය ඇතැම්විට (පිරිමියෙකු) නොසිතනා කුරිරුකම් කරයි. (ශාන්ති දිසානායකගේ වාලුකා නවකතාවේ ගැමි ගැහැනිය, පිට ගැහැනුන් සමඟ නිදිවදිතැයි සැකයෙන් තම ස්වාමිපුරුෂයා ලිංගිකව බෙලහීන කිරීමට කබරතෙල් දෙයි. මායාතීර්ථ නවකතාවේ ගැහැනිය තම ස්වාමියාට දාව දරුවකු කුස දරා සිටින බාල ගැහැනිය වැදුම් ගෙයිදීම ක්‍රෑර ලෙස වදදී මරාදැමීමට අරුම විලංගුවක් නිපදවයි. දඩයමේ ගැහැනිය තම කුසට දරුවකු දී මගහැර සිටින පැරණි පෙම්වතා සමග මාරාන්තික ලෙස සටන්වදියි.) පිරිමි සිත් ත්‍රස්ත කළ මෙවැනි ගැහැනු චරිත බොහෝ විට තිරයේ මැවුණේ ස්වර්ණා අතිනි. මාලිනි එසේ නොවෙයි. පිරිමින් දෙදෙනෙකුගේ ජීවිත දෙකක් සහමුලින්ම අවුල්කළ එක්ටැම් ගේ චිත්‍රපටයේ මාලාට හැරෙන්නට තිරයේ දුටු මාලිනීට ලංකාවේ පිරිමින් ප්‍රේම කළා මිස බියට පත්වූයේ නැත.

මාලිනීට පෙම් නොකළ පිරිමියෙකු ඒ කාලේ ලංකාවේ හිටියේ නැත. පිරිමි දකින්න විඳින්න ආශා කළ ‘ස්ත්‍රීත්වය’ වෙන කිසිම නිළියකට වඩා තිබුණේ මාලිනී ළඟය. ඊට ප්‍රතිපක්ෂව ස්වර්ණා (මල්ලවාරච්චි) මැව්වේ පුරුෂ සිහිනය පුපුරා හරින, ප්‍රචණ්ඩව ප්‍රතික්‍රියා දක්වන ස්ත්‍රීත්වයක්. (බව දුක, බව කර්ම, දඩයම). ස්වර්ණා මැවූ ප්‍රචණ්ඩ ස්ත්‍රී රූපය පිරිමි ඔළු තුළ ඇති කළේ ක්ෂතිමය කම්පනයකි. ඒ ස්ත්‍රීත්වය පිරිමින්ට යට නොවෙයි. ඒ වෙනුවට පිරිමි පීඩකත්වයට එරෙහිව සටන්වදියි. ඒ ස්ත්‍රීත්වයට කිසි පිරිමියෙකුට ප්‍රේමකළ නොහැකිය."


ස්වර්ණා මාලිනීට වඩා සරාගික වුවද, ලංකාවේ පිරිමින්ගේ ප්‍රේමයේ ෆැන්ටසිය ගොඩනගන්නට සිනමා අධ්‍යක්ෂවරුන් යොදාගත්තේ මාලිනීයි. හේතුව අපේ ප්‍රේක්ෂකාගාරය ගැමි පිරිමින්ගෙන් සැදුම්ලත් එකක් නිසා. ස්වර්ණාද, ඇගේ රංගන දිවියේ මතක සිටින රංගනයන් ඉදිරිපත් කළේ ගැමි ගැහැනියක ලෙසයි. සාගර ජලය, සුද්දීලාගේ කතාව, බව දුක, බව කර්ම, අයෝමා, දඩයම, අනන්ත රාත්‍රිය ඊට උදාහරණ. මාලිනී නාගරික චරිතයක් නිරූපණය කළද, ඈ තුළින් වහනය වුණේ ගැමි සුන්දරියකගේ ගුණසුවඳයි. ලාංකීය පිරිමින් මනසින් පෙම්බැන්දේ මේ ගැමි සුරූපිනියටයි. ස්වර්ණා ගැමි චරිතයකට පණපෙව්වද, ඇගේ නාගරිකත්වය ඇය ඇඳසිටි රෙද්ද හැට්ටය ද, ළමා සාරිය හෝ රැලි ගවුම ද විනිවිද දිස්වෙනවා. උදාහරණයකට දඩයම චිත්‍රපටයේ ස්වර්ණා නිරූපණය කරන්නේ ගමේ තරුණියක/ගැහැනියක (රන්මලී)ගේ භූමිකාවයි. එහෙත් ස්වර්ණාගේ සිරුර (මාලිනීගේ) මෙන් ගැමි නොවෙයි. ඇයගේ බැල්ම ද, ගමනද කටහඬ ද නාගරිකයි. නාගරික ස්ත්‍රී ශරීරය ලාංකේය පිරිමියාට ක්ෂතිමය අත්දැකීමක්.



කොළඹ ගම ආක්‍රමණය කරනු වෙනුවට, ගම කොළඹ ආක්‍රමණය කරන සංස්කෘතික යථාර්ථයක් තුළ අපි අනාගතය වෙත පියමනිනවා වෙනුවට අතීතය දෙසට හැල්මේ දුවමින් සිටිනවා. පනහ හැට දශකවල ලංකාවේ විශ්වවිද්‍යාල යනු සාපේක්ෂ වශයෙන් නාගරික ශික්ෂණය පුරුදුපුහුණු කෙරුණු තැන්. නාගරික විලාසිතා ගමට ආවේ ගම්වලින් විශ්වවිද්‍යාලවලට පැමිණි තරුණ තරුණියන් හරහා. (ස්වර්ණාගේ මුල් චිත්‍රපටයක් වූ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ සමකාලීන විශ්වවිද්‍යාලවල ඇඳුම් සහ කොණ්ඩා විලාසිතා දැකගත හැකියි). එහෙත් අද ලංකාවේ විශ්වවිද්‍යාලවලට ඩෙනිම් කලිසම්, කොට ගවුම් ඇඳගෙන එන තරුණියන්ට නවකවදයට ලක්වන්නට සිදුවෙනවා. එම ඇඳුම් ඇඳීම තහනම් කෙරෙන නීති, සිසුන් විසින්ම පනවනවා. කාලය මවා ඇති වෙනසක අරුමැසිය.

නාගරික ස්ත්‍රී සිරුරේ ශෘංගාරය විඳින්නට විනයක් අවශ්‍යයි. එසේ නොමැතිවූ විට නාගරික ස්ත්‍රී සිරුර යනු ගැමි පිරිමි ඔළුවට මහා අවුලක්. ලංකාවේ සිනමාව තුළ ෆෙලිනිගේ La Dolce Vita චිත්‍රපටයේ සිල්වියා හෝ Pretty Womanහි එන ජූලියා රොබර්ට්ස් හෝ හමුනොවන්නේ එබැවින්.

හන්තානේ කතාවේ කෙසඟ, එතරම් ආකර්ෂණීය පෙනුමක් නොතිබුණු ස්වර්ණාගේ සිරුර 70 දශකයේ අගභාගය වන විට අතිශය සරාගී රංග ශරීරයක් බවට රූපාන්තරණය වී තිබුණා. මේ පරිවර්තනය ශාරීරිකව පමණක් වූවක් නොවෙයි. හැත්තෑව දශකයේ මුල් භාගයේ (1972) ලන්ඩන් නුවරට යන තරුණ ස්වර්ණා යළි අපට සැලකිය යුතු චරිතයක හමුවන්නේ හැත්තෑව දශකයේ අග රූගත කෙරුණු හංස විලක් චිත්‍රපටයෙන්. එතෙක් ඇය රඟපෑවේ ද්විතීයික චරිත මිස ප්‍රධාන භූමිකාවන් නොවෙයි. හංස විලක් ස්වර්ණාගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරන චිත්‍රපටයයි. එතැන් පටන්, ස්වර්ණා රිදී තිරයේ රංගන ආධිපත්‍යය තමා සතු කරගන්නවා. සිංහල සිනමාවේ යකඩ ගැහැනිය ලෙස විරුදාවලි ලබනවා. ස්ත්‍රීවාදීන්ගේ සම්භාවනාවට පාත්‍රවනවා. ඇගේ සිනමා දිවියට පනස් වසරක් සපිරෙන මොහොතේ ද ඇය ඇගයෙන්නේ තාරකාවක් ලෙස නොව (සිනමාවේ) ‘ගැහැනිය’ ලෙසයි.

ස්වර්ණාගේ රංගන ශෛලිය වෙනස්. රංගනයේදී ඇය තමා චරිතය බවට රූපාවතරණය වෙනවා වෙනුවට තම රංග පෞරුෂය අදාළ චරිතය තුළ ආයෝජනය කරනවා. පුවත්පත්වලත් මුහුණු පොතේත් ‘ස්වර්ණා ලාංකේය මෙරිල් ස්ට්‍රීප්’ යනුවෙන් හඳුන්වනු නිතර කියවන්නට ලැබෙනවා. මේ සංසන්දනාත්මක සමකිරීම කොතරම් යුක්ති යුක්තදැයි අවබෝධ වන්නේ, මෙරිල් ස්ට්‍රීප් රංගනය පිළිබඳ දරන සමහර අදහස් සලකා බැලීමේදීයි. "No one has ever asked an actor, 'You are playing a strong-minded man...', We assume that men are strongminded, or have opinions, But a strong-minded woman is a different animal." ('කිසිවෙකු නළුවෙකුගෙන් අසන්නේ නැහැ, ඔබ මානසිකව ශක්තිමත් චරිතයක් රඟපානවා නේද කියා. මිනිසුන් මානසිකව ශක්තිමත් බවත් දැඩි අදහස් දරන බවත් අප උපකල්පනය කරනවා. ඒත් සවිමත් මානසිකත්වයක් ඇති ගැහැනියක් යනු අමුතු සතෙක්') යැයි මෙරිල් ස්ට්‍රීප් පවසනවා.

ස්වර්ණා සිංහල සිනමාවේ අමුතු සතෙක්. ඇය රඟපෑවේ යකඩ ගැහැනියකගේ චරිතයයි.

එහෙත් අපේ සිනමාවේදී ස්වර්ණාට ඇත්තටම සිදුවන්නේ කුමක්ද? ලන්ඩන් යනු නූතන ශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයයි. ලන්ඩන් ජීවිතය ස්වර්ණා ශාරීරීකවත් මානසිකවත් නාගරිකකරණය කළ වකවානුවයි. අද ලන්ඩන් යන බොහෝ බණ්ඩලා ලංකාවේ පත්තරම කියවමින් ලංකාවේ ටෙලිනාට්‍යම බලමින්, සිරුර ලන්ඩන්වල තියා මනසින් දෙහිඅත්තකණ්ඩියේ ජීවත්වන අයයි. එහෙත් හැටහැත්තෑ දශකවල ලන්ඩන් යන අයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලංකාව සමඟ ඇති දෛනික සන්නිවේදන සබඳතා බිඳදමා යම් තරමකට ස්වාධීන වන්නට සිදුවෙනවා. ලන්ඩන් ශික්ෂණයේ ගොදුරු වන්නට සිදුවෙනවා. යළි ලංකාවට පැමිණෙන්නේ හන්තානේ කතාවේ හෝ සත්සමුදුරේ සිටි ස්වර්ණා නොවෙයි. පොෂ් ස්වර්ණා කෙනෙක්. මේ එන ස්වර්ණා අද ලන්ඩන් ගොස් බාහිර ඇඳුමින් පමණක් පොෂ් වන ලලනාවකට වඩා වෙනස්. ඉංග්‍රීසියෙන් සිතන, ඉංග්‍රීසියෙන් කතාකරන, ඉංග්‍රීසි තාලයට හිනාවෙන, ඉංග්‍රීසි ලතාවට ගමන් කරන ස්වර්ණා කෙනෙක්.

මගේ වෘත්තීය ජීවිතයේ වැඩි වශයෙන් මා රඟපා ඇත්තේ වෙනත් නිළියන් සඳහා ලියැවී ඇති චරිත යැයි පෙද්රෝ අල්මදෝවාගේ Tie Me Up. Tie Me Down' චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින් අන්තර්ජාතික සිනමා රසිකයන් අතර ජනප්‍රියත්වයට පත් ස්පාඤ්ඤ ජාතික වික්ටෝරියා ඇබ්‍රිල් වරක් පවසා තිබුණා. මේ කාරණාව ස්වර්ණා සම්බන්ධයෙන් ද වලංගුයි. හංස විලක් චිත්‍රපටයෙන් පසු ස්වර්ණාට ද රඟපාන්න ලැබුණේ බොහෝ දුරට වෙන නිළියන් සඳහා ලියැවුණු චරිත. රඟන්නට ලැබුණේ ඛේදනීය භූමිකාවන්. ඒ බොහොමයක් භූමිකාවල ඇය දූෂණයට හෝ අපහරණයට ලක්වූවා. ස්වර්ණා තරම් සිංහල සිනමාවේ (තමන් රඟපෑ චරිත තුළ) දූෂණයට හෝ අපහරණයට ලක්වුණු චරිතාංග නිළියක් නැති තරම්.

ස්වර්ණාට මුවාවී රිදී තිරයේ අවිඥානකව මේ දූෂණයට ලක්වන්නේ නාගරික ස්ත්‍රියයි. පරිකල්පනය කරගත නොහැකි නාගරික ශෘංගාර සිහිනයයි. හැත්තෑව දශකයේ අගභාගයේ සිට අසූව දශකය පුරාමත්, අනූව දශකයේ මුල්භාගය වන තුරුමත් ඉලක්කය වැරදුණු දඩයක්කරුවන්ගේ ‘ගෙදර මුවහම’ වූයේ ස්වර්ණායි. තිරයේ මාලිනීට පෙම් බැඳ සිහිනයෙන් ඈ සමඟ යහන් ගතවන ලාංකික සිනමා ප්‍රේක්ෂකයා, ස්වර්ණාව මනසින් දූෂණය කරනවා. හංස විලක් වෙතින් පසුව අසූව දශකය පුරා ඈ රඟපෑ චිත්‍රපට ගොන්න ප්‍රේක්ෂක මනසේ මේ ෆැන්ටසිය ගොඩනගා ගැනීමට රුකුල් දුන් චිත්‍රපටයි.

ලංකාවේ ගම සුන්දර වන්නේ ගම හැරදා නගරයට පැමිණියද, නාගරිකයෙකු වීමේ සිහිනය බොහෝ දුර ඈත වූවන්ටයි. තමාට අත්පත් කරගත නොහැකි සියලු දෑ සමඟ වෛරයෙන් පසුවෙන මේ මුල් සිඳුණු ගැමියන් අතින් ශිෂ්ටත්වයේ සියලු සංකේත (ආයතන) සුනුවිසුනු කෙරෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුව, පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය, අධිකරණය, රාජ්‍ය සේවය, වෛද්‍ය වෘත්තිය ආදි මෙකීනොකී සියල්ලේ පුරුෂාර්ථ සුන්නද්දූලි වී තිබෙනවා. දැන් ආතක් පාතක් නැතුව හැමෝම පිස්සු කෙළිමින් සිටිනවා.

සිනමාව බොහෝ දෙනෙකුට තම අශිෂ්ට ආශාවන් ශිෂ්ටත්වයේ සීමාමායිම් තුළ මුදුන් පමුණුවාගත හැකි ෆැන්ටසි අවකාශයක් තනා දෙනවා. කොතරම් මුදල් ගොඩගසා ගත්තත් තමන්ට පහසුවෙන් ළඟාවිය නොහැකි ශිෂ්ටත්වයේ සිහිනය කෙරේ උපදින වෛරය, ඊර්ෂ්‍යාව දෝර ගලන්නේ ප්‍රචණ්ඩ ආකාරයටයි. මේ අවිඥානක ස්වයංවිනාශකාරී ප්‍රචණ්ඩත්වය සමාජය මත මුදාහැරීම වැළකීමට ආරක්ෂණ (ෆැන්ටසි) පළිහක් අවැසියි. හැත්තෑව අසූව දශක පුරාම ඒ ෆැන්ටසි පළිහ වූයේ සිනමාවයි. අසූව දශකය පුරාවටම තමන්ට විඳිය නොහැකි නාගරික ස්ත්‍රී ලාලිත්‍යය දූෂණය කෙරෙන ප්‍රචණ්ඩ ආශාව තිරයේ ස්වර්ණාව දූෂණය වනු, අපහරණය වනු දැකීමෙන් මුදුන් පමුණුවා ගැනුණා.

අපේ සිනමාවේ ස්වර්ණාගේ අවිඥානක භූමිකාව වූයේ මේ ෆැන්ටසිය නිර්මාණය කිරීමට රුකුල් දීමයි. ලන්ඩන් ජීවිතයෙන් පසු පටන් ගැනෙන ඇගේ සිනමා ජීවිතයේ විශිෂ්ට රංගනයන් ලෙස ගැනෙන දඩයම, සාගර ජලය, සුද්දීලාගේ කතාව, අයෝමා, බව දුක, බව කර්ම සහ අනන්ත රාත්‍රිය යන සෑම චිත්‍රපටයකම ඇය කිසිවෙකු හෝ අතින් එක්කෝ දූෂණය වෙනවා. නොඑසේ නම් රැවටීමට, අපහරණයට ලක්වෙනවා. ස්වර්ණා වියපත් වීමත් සමඟ ඇය රඟපෑ අවිඥානක භූමිකාව රඟන්නට කිසිවකු බිහිවූයේ ද නැහැ. ෆැන්ටසි ආරක්ෂණ පළිහ බිඳවැටුණු පසු, අපේ සමාජය ‘යථ’ට නිරාවරණය වී තිබෙනවා. දැන් හැමෝටම පිස්සු කෙළීමට නිදහස තිබෙනවා. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.

ස්වර්ණා නොදැනුවත්වම ඇයට රාජකාරියක් පැවරී තිබුණා. අපේ සිනමාව තුළ ස්වර්ණා වෙතින් ෆෙලිනිගේ La Dolce Vita චිත්‍රපටයේ සිල්වියා හෝ Pretty Woman චිත්‍රපටයේ ජූලියා රොබර්ට්ස් බිහි නොවීමේ රහස එයයි. ස්වර්ණා යනු අපේ සිනමාවේ නොදැල්වුණු සරාගී ගිනි සිළුවයි.



[ 2017 ජනවාරි 22 වන දා රාවය පළ කළ "ස්වර්ණා– රිදී තිරයේ අනුරාගී යකඩ ගැහැනිය" අතිරේකයෙන් උපුටා ගන්නා ලද්දකි. එම සියළු ලිපි කියවීම සඳහා මෙම සබැඳියෙන් යන්න. ]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Swarna Mallawarachchi, Asoka Handagama, Federico Fellini, La Dolce Vita (1960), Meryl Streep, Tie Me Up! Tie Me Down! (1989), Pedro Almodóvar, Victoria Abril, Anantha Rathriya, Ayoma, Dadayama, Hansa Wilak, Bawa Duka, Bawa Karma, Sagara Jalaya, Hanthane Kathawa, Suddilage Kathawa, Chanda Kinnari
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අශෝක හඳගමගෙන් තවත් වියමන්
කරන්ට්ස්
නෙලුම් කුලුන පාමුල සිට
කරන්ට්ස්
පරන්තන් හන්දියේ බුදු හිමි
කරන්ට්ස්
නිරායුධ අපි හරි අසරණයි... මොහොමඩ්, ෆාතිමා, මුස්තාපා!
කරන්ට්ස්
හඳේ ආතල් කඩමු
අදහස්
"චිත්‍රපට නම් එසේය." -අශෝක හඳගම
තවත් Cine බූන්දි
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
What's New | අලුතෙන්ම
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook