Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
කල්ලඩි පාලම පාමුල
බූන්දි, 02:39:10
තානායම් කාමරය තුළ බඩු බාහිරාදිය තැන්පත් කර එළියට පැමිණෙද්දී වෙහෙසකර බවක් දැනෙන්නට විය. ප්‍රත්‍යක්ෂයේ අප ස්වාමි දූ දේවස්ථානය දෙස කෙළින් බැලීමට නොහැකි තරමට අව් රශ්මිය අධිකය. වසරකට පෙර අර්ල් විසින් තාන්ඩවන්වේලි පල්ලිය හෙවත් මාණික්‍යම් මාතා ලෙසින් හඳුන්වා දුන්නේ මේ දේවස්ථානයයි. තානායම් හිමිකරුගේ බිරිඳ පැවසූ පරිදි ඔහු මාස කිහිපයක සිට ආගිය අතක් නොමැත. අර්ල් ඉතා විශ්වාසවන්ත සේවකයෙකු වූ නමුත් තරමක සිහිමද ගතියකින් පෙළුණු බව ඇය පැවසුවේ මා කවුදැයි නිවැරදිව හඳුනාගත් පසුය. "හවෂට හස්බන්ඩ් එනවා සර්. එයාට දන්නවා අර්ල් ගැන" යනුවෙන් ඇය පවසා සිටියෙන් වෙන කරන්නට දෙයක් නොමැති නිසා දේවස්ථානය අසලට රිය පදවාගෙන පැමිණෙයෙමි. නමුත් ඉන් පලක් නැත. අර්ල් අතුරුදන් ය.

සියල්ල ඇරඹෙන්නේ වසරකට ඉහතදී මඩකලපු ශාඛාවේ වැඩ බලන කළමනාකරු ලෙස පැමිණියාත් සමඟය. මහා පරිමාණ මූල්‍ය වංචාවක් මත හිටපු කළමනාකරුගේ වැඩ තහනම් කර තිබිණ. විගණන අංශය නිර්දේශ කළ පරිදි විමර්ශනය අවසන් වන තෙක් නැගෙනහිර පළාතේ නොවන ස්වාධීන කළමනාකරුවකු තාවකාලිකව පත් කළ යුතු විය. ප්‍රධාන ශාඛාවේ උපදෙස් මත නොරිස්සුමින් වුවද මාස තුනක කාලයක් සඳහා මඩකලපුව වෙත පැමිණි මට නිල නිවාසය භාවිත නොකරන ලෙස දන්වා තානායමක් ද සූදානම් කර තිබිණ. ගැඹුරු දෑසක් හිමි මැදිවියේ පසුවන අර්ල් එම තානායමේ සේවකයෙකි. ඔහු චතුර ලෙස ඉංග්‍රීසි සහ සිංහල භාෂාව කතා කිරීම මට මහත් සැනසුමක් විය. හවස්කරයේ ප්‍රදීපාගාරය ළඟ ඔරු කඳක වාඩි වී බියර් වීදුරුවක් හිස් කරන මා අසලට වී නොයෙක් දෑ දොඩවන්නට තරමට අර්ල් කුළුපග විය. වරින්වර තනිවම දොඩන ඔහුගේ මානසික මට්ටම ගැන තරමක සැකයක් ඇති වී තිබුණද, පවසන කතාන්දර රසවත් වූ නිසාම මා ඔහුගේ සමාගම ප්‍රිය කරන්නට ඇත.

"කවදාවත් කල්ලඩි පාලම යට මාළු සිංදු කිව්වේ නෑ " අර්ල් දිනක් මහත් කලබලයෙන් මෙන් පැවසුවේය. ඒ "කල්ලඩි පාලම පාමුල සිංදු කියන මාළුවෝ " සිංදුව සිහිපත් කර ඒ මාළුන්ගේ හඬ අසන්නට යමුදැයි යෝජනා කළ මොහොතක දීය. අර්ල් ගුප්ත හැසිරීම්වලින් යුතු අයෙක් බැවින් වැරදි යමක් කියවුණේදැයි සිතා ජනප්‍රවාදවල ඇති සියල්ල සැබෑවක් විය නොහැකි බව පැවසුවෙමි. "නෑ සර්. අදටත් හැමෝම හිතනවා ඒක මාළු සිංදු කියපු සද්දේ කියලා. රෙද්ද ! එහෙනම් ඉන්දියාව පැත්තට වෙන්න මූදේ මාළු නටන්න එපැයි" කෝපයෙන් මෙන් පැවසූ ඔහු එක්වරම ගීයක් ගයන්නට වූයේය. අර්ල් පෘතුගීසින්ගෙන් පැවත එන බර්ගර් ජාතිකයෙක් බව දන්නා නිසාම එය කපිරිඥ්ඥා ගීතයක් බව වටහා ගන්නට වැඩි වෙලාවක් ගත නොවූ නමුත් තාලය මෙතරම් හුරු පුරුදු මන්දැයි තේරුම් ගැනීමට අපොහොසත් විමි.

"තෑර ඉස්ටි තෑර නොස්සො බැටිකො තෑර - දිසිය නසන්ස් තුදුස් කුරාවි
ඔයා ඉස්ටි තෑර පේනො සොගන් දෑස - පේසි ‍තකාන් තා ඉස්ටි තෑර "


එය "රස ආහර කවලා - රන් කූඩුවේ දමලා" සිංහල ගීතයේ මුල් ගී තනුව බව පැවසූ අර්ල් මගේ මුහුණ දෙස බැලීය. "මේ අපේ මඩකලපු පියෙසයි. එයට ප්‍රිය වූවෝ මෙහි දිව එති. මේ ප්‍රෞඩ භූමිය දෙස බලන්න. එහි මත්ස්‍යයෝ පවා ගී ගයති. ඒක තමයි ඔය සිංදුවේ පෘතුගීසි භාෂාවෙන් කියන්නේ. ඒත් ඔය මාළුවෝ සිංදු කියනවයි කියන සද්දේ එක දවසක නතර වුණා. එදා කවුරුත් ඒක තේරුම් ගත්තේ නෑ. අදටත් තේරුම් ගන්නේ නෑ" වේදනාබරව පැවසූ අර්ල් කලපුවෙන් ඉවත්ව ගියේය. "මුට නම් බාගෙට පිස්සු" යැයි තනිවම සිතූ මම ඒ ගැන වැඩි තැකීමක් කරන්නට නොගිය අතර අර්ල් ද කිසිම දිනෙක ඒ පිළිබඳ නැවත නොදෙඩුවේය.

ඉන් පසුව එළඹුණේ අතිශය කාර්යබහුල දෙසතියකි. මුදල් වංචාව විමර්ශනය සඳහා පැමිණි නිළධාරීන් තිදෙනෙක් මා සිටි තානායමේ ම ලැගුම් ගත් බැවින් මාගේ සාමකාමී දින චරියාව වෙනස් විය. අර්ල් සමඟ වැඩි කතාබහකට කාලයක් නොවූ අතර විමර්ශනය අවසන් වන විටම යළිත් ප්‍රධාන ශාඛාවට වාර්තා කරන ලෙස දැනුම් දීමක් ලැබිණ. සැනසුම් සුසුම් හෙළමින් රාජකාරී වගකීම්වලින් නිදහස් වූ මා තානායමට පැමිණියේ සැහැල්ලු සිතිනි. හෙට උදෑසන මා මඩකලපුවෙන් සමුගන්නා බව අර්ල් ට පවසන විට ඔහුගේ මුහුණේ ඇඳුණු වේදනාව පැහැදිලිවම හඳුනාගත් නුමුදු එවෙලේ මසිත පිරී තිබුණු උද්දාමය නිසා එය අමතකව යන්නට ඇත. පසුදා උදෑසන මෝටර් රථය පිටත් වීම සඳහා ගේට්ටුව විවෘත කළ අර්ල් යමක් පවසන්නට තැත් කරන බවක් පෙනෙන්නට විය. අතේ තබාගෙන සිටි බ්‍රවුන් පේපර් බෑගයක එතූ යමක් මා වෙත දිගු කළ හෙතෙම "සර් ට ටයිම් තිබ්බොත් මේක කියවලා බලන්න"යි පැවසුවේය. අර්ල් තාන්ඩවන්වේලි දේවස්ථානයේ යාවජීව සාමාජිකයෙකි බැවින් එකත් එකටම මෙය ගීතිකා පොතක් බව වටහාගත් මා "හරි අර්ල්. එහෙනම් මම ගිහින් එන්නම්." කියා ඔහුගෙන් සමුගතිමි. ඒ මා අර්ල් දුටු අවසන් දිනයයි..

නමුත් ඒ ගීතිකා පොත මා අතට යළිත් පත්වන්නේ පසු ගිය සතියේ ය. මා මඩකලපුවෙන් පැමිණ වසරක්ද ඉක්මවා ගොස් ඇත. එදා මා අර්ල්ගේ පොත ද රැගෙන ආපසු එන අතරතුර පේරාදෙණියේ වෙසෙන නංගීගේ නිවසේ රැයක් පහන් කළෙමි. මෙවර පාසල් නිවාඩු කාලයේ පේරාදෙණියේ ගොස් සිටි දියණිය යළි නිවසට එන විට මා එදා අමතක කර ආ සඟරා කිහිපයක් සමඟ මේ පොතද රැගෙන විත් තිබිණ. බ්‍රවුන් පේපර් බෑගය තවමත් නැවූ පරිද්දෙන්මය. නමුත් ඒ තුළ දකින්නට ලැබුණේ ගීතිකා පොතක් නොව පැහැදිලි ඉංග්‍රීසියෙන්, පිටු ගණනාවක් පෑනෙන් ලියන ලද තනිරූල් පොතකි.

කුතුහලයෙන් යුතුව පොත පෙරලා බලන්නට පටන් ගත් මොහොතේ සිට අර්ල් ගේ ගුප්ත හැසිරීම සහ රස කතා සිහියට නැගෙන්නට විය. මනාව පරිච්ඡේද බෙදා රචනා කර තිබූ එය ඉතිහාස කතාවකි. එහි ලියා තිබූ දෑ කියවාගෙන යන විට විමතියටත් කම්පනයට පත් වූ මම වහා පරිගණකය අසලට ගොස් අන්තර්ජාලය පිරික්සුවෙමි. අර්ල් මේ පොත තුළ පවසන සිදුවීම් සහ දින දාතම ඉතිහාසයට අනුව නිවැරදිය. නමුත් ඔහු පවසන මේ දේ සිදු විය හැකිද ? මඩකලපුවේ සිටි දිනයක සැන්දෑවක ප්‍රත්‍යක්ෂයේ අප ස්වාමි දූ දේවස්ථානය බලන්නට කැඳවාගෙන ගිය ඔහු මා හට පැහැදිලි කළ ඉතිහාස කතාවට එපිටින් මේ සා ගැඹුරක් තිබිය හැකිද ? අර්ල්ගේ ළඟින් හිඳ මා අමතන්නක් මෙන් දැනෙන්නට විය.

"මේක තමයි සර් මඩකලපු ඩිස්ට්‍රික්ට් එකේ පරණම රෝමන් කැතලික් චර්ච් එක. ජුසේවාස් තුමා ලංකාවට ආවාම මේ චර්ච් එකටත් ආවා. කවුරු හරි එතුමාව ලන්දේසින්ට පාවලා දුන්නා. මේ පල්ලියේ ගහක බැඳලා ජුසේවාස් පියතුමාට වද දුන්නු ලන්දේසි එතුමාට උදව් කරපු ප්‍රේරාව මරලා දැම්මා" අර්ල්ගේ මේ කතාව ඉතිහාසයේ ද එලෙසින්ම සටහන් වේ. ඒ අනුව ලන්දේසින් විසින් මඩකලපුව යටත් කරගත් පසු එහි විසූ රෝමානු කතෝලික ජනතාවට අභාග්‍යසම්පන්න කාලයක් උදා විය. ඔවුනට අකැමත්තෙන් හෝ ලන්දේසි කැල්වින් ආගමට හැරෙන්නට සිදු වූ අතර රෝමානු කතෝලික දහම හොරෙන් හෝ ඇදහීම මරුට අත වැනීමක් විය. 1867 දී ජුසේවාස් පියතුමන් ඉන්දියාවේ සිට අති දුෂ්කර ගමනකින් ලංකාවට පැමිණෙන්නේ මේ තත්ත්වය සමනය කිරීමටය. ජප මාලයක් කරේ දමාගත් සිඟන්නෙකු ලෙස ගැවසෙන ඔහු උමතු මිනිසෙකු යැයි සිතා කිසිදු පරීක්ෂාවකට ලක් නොවූ බව අර්ල් ද පැවසීය. "රෝමන් කැතලික්ස්ලා කවදාවත් ජප මාල කරේ දාන්නේ නෑ සර්. ඒ නිසා කරේ ජප මාලයක් දාගෙන යද්දි හැමෝම හිතුවේ මේ පිස්සෙක් කියලා". සිඟමන් යදින විලාසයෙන් ගෙයින් ගෙට යන ජුසේවාස් පියතුමා කතෝලිකයින් යැයි අනුමාන කරන නිවැසියන්ට තම සැරයටියේ වූ කුරුස ලකුණත් ජප මාලයේ වූ කුරුස ලකුණත් පෙනෙන්නට සලසා ඇත. මේ සිටින්නේ වෙස්වළාගත් පූජකවරයෙක් බව හඳුනාගත් බැතිමතුන් සතුටට පත්ව ඔහුට පුද සත්කාර කර ආගමික වතාවත්වල යෙදුණු බව ද එහි සඳහන් ය. අවසානයේ අර්ල් පැවසුවාක් මෙන් තාන්ඩවන්වේලි හිදී පියතුමන් ලන්දේසීන්ට හසු වී ඇතත් ඔහුගේ දිවි රැකෙයි. ඔහුට සහාය දුන් ප්‍රේරා නම් වූ බැතිමතෙක් මරා දමන ලද බවක් ද සමහර තැනෙක සඳහන්ව තිබේ.

නමුත් අර්ල් තම පොතෙහි ලියන්නේ මීට වෙනස් කතාවකි. ජුසේවාස් තුමන් දිවි පරදුවට තබා ලංකාවට පැමිණෙන්නේ දෙවියන්වහන්සේ විසින් තෝරාගත් පුද්ගලයා මඩකලපුවෙහි වෙසෙන නිසා ය. නිවසක් නිවසක් පාසා ඇවිදින්නේ අදාළ තැනැත්තා සොයාගෙන ගොස් ඒ ශුභාරංචිය පැවසීමටය. පොත කියවන මට මට අර්ල්ගේ හඬ නැවතත් සිහියට නැගේ. "ඒක පුදුමාකර කැපකිරීමක් සර්. ඉන්දියාවෙන් නැව් නැගලා , කකුල් ගෙවෙනකම් ඇවිදලා මඩකලපුවටම එන්නේ නිකම් නෙමෙයි. මෙහෙටම එන්න විශේෂ හේතුවක් තිබුණු නිසා. අවුරුදු ගාණකින් ෆාදර් කෙනෙක් නැතුව හිටිය අපේ මිනිස්සුන්ට දෙවියන් වහන්සේ දොරකඩට ඇවිල්ල අඬ ගැහුවත් ඒ කැඳවීම අඳුනගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. එච්චරටම කතෝලික දහම පිරිහිලා තිබ්බේ. ජුසේවාස් පියතුමා ආවේ දෙවියන්වහන්සේ අපේක්ෂා කරපු අයව එතුමන් ළඟට කැඳවන් යන්නයි" දසක ගණනක් තිස්සේ කිසිදු පියතුමෙකුගේ සේවයද නොලැබ ලන්දේසීන්ගේ බලපෑම් නිසා රෝමානු කතෝලික දහම යටපත් ව තුබූ හෙයින් මේ දෙවියන් වහන්සේගේ කැඳවීම කිසිවෙකුට හෝ තේරුම් ගොස් නැතැයි අර්ල් සඳහන් කරයි. ඒ අනුව ජුසේවාස් පිය නම සිඟන වෙස් ගෙන දොරින් දොරට ගමන් කරන්නේ ඒ පුද්ගලයා සොයාගැනීමටය. එය මහත් දුෂ්කර වූ කාර්යයකි. පසෙකින් ලන්දේසීන් ය. තවත් පසෙකින් පාවා දෙන්නන්ය. ඒ මැද වරප්‍රසාද ලත් තැනැත්තේ හඳුනාගෙන පණිවුඩය පැවසිය යුතුවේ. කල්ලඩි කලපුවේ රාත්‍රියට ගී හඬක් ඇසෙන බවට කතාවක් පැතිර තිබුණු මුත් ජුසේවාස් පියතුමන් ලංකාවට එන තෙක්ම එය බැරව තිබුණේ මාළුන්ට ය. නමුත් ඒ හඬ නැගෙන්නේ චක්‍රාවාට කීපයකට ඈතිනි. ඒ දෙවියන් වහන්සේ විසින් තෝරා ගන්න ලද භක්තිවන්තයා වෙනුවෙන් ගැයෙන ආශිර්වාද ගායනාවන් කල්ලඩි කලපුවෙහි රැව් දෙන හඬය.

මා නැවතත් තානායම් භූමියට වාහනය හරවන්නේ තානායම හිමිකරුගේ මෝටර් රථය මිදුලේ දක්නට ලැබුණු බැවිනි. මම පැමිණ ඇත්තේ බොහෝ ප්‍රමාදව බව වැටහී තිබුණද නැවත පිටවන්නට පෙර ඔහු සමඟ කතා කළ යුතුයැයි සිතේ. අර්ල් ලියා තිබූ ආකාරයට ජුසේවාස් පියතුමාගේ දුෂ්කර චාරිකාවේ අරමුණ ඉටු වන්නේ නැත. බොහෝ වෙහෙස වී වරප්‍රසාද ලත් තැනැත්තා සොයා ගන්නා නුමුදු මහා පාවාදීමක් මැද ඔහු ඝාතනය විය. ප්‍රේරා ලෙසින් ඉතිහාසයේ සුළු චරිතයක් පමණක් හිමිවූ පුද්ගලයා ඔහුය. ජුසේවාස් තුමා මරා නොදමන ලන්දේසීන් ප්‍රේරාව මරා දමන්නේ ඒ අවස්ථාව ඔහුට අහිමි කිරීමටය. ප්‍රේරා මරා දැමූ දින සිට කිසි දිනෙක හෝ කල්ලඩි පාමුල පාමුල අසලින් යළි ගී හඬ නොඇසුණු බව පවසන අර්ල් එය මාළුන්ගේ ගී හඬක් ලෙස අර්ථ ගැන්වා ඉතිහාසය වළලා දැමුවේ ද ලන්දේසීන් බවට චෝදනා කරන්නේය. ජීවිත පරදුවෙන් ආ ගමනේ ශුභ අරමුණ දෑස් ඉදිරියේදීම අහිමි වූ පසු ජුසේවාස් පියතුමන් අපේක්ෂාභංගත්වයට පත් ව කන්ද උඩරට රාජධානියේ නවතින්නේ මේ බිම අතහැර යාමට සිත් නොදුන් බැවිනි. මේ පරිච්ඡේදයෙන් කතාව නවත්වන අර්ල් තමන්ට මේ ඉතිහාසය පැවසූවේ කවුද යන්න සඳහන් කර නොතිබීම මාගේ අප්‍රසාදයට හේතු විය. නමුත් ඔහු ඒ ඉතිහාසය තරයෙ විශ්වාස කළ බව පැරැණි හැසිරීම් සිහිපත් කරන විට වැටහී යන්නේය.

තානායම් හිමියා මා සිතුවාට වඩා කාරුණිකය. ඔහු අර්ල් වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී ඇත. පොලිස් පැමිණිලිවලින් නොසෑහුණු තමා පුවත්පත් දැන්වීමක් ද පළ කළ බව පවසා ඒ පුවත්පත ගෙන එන්නැයි තම සේවකයෙක්ට අණ කළේය. "ටිකාක් විතර අප්ෂට් තමයි ෂර් ... නමුත් ඔන්ද මනුෂ්ෂයා. හරීම හිත ඔන්දයි. ඔහොම හිටියට වෙල් එඩියුකේටඩ් මනුෂ්ෂයා " එසේ පැවසූ තානායම් හිමියා අර්ල් තමා යටතේ සේවය කළ ද ඔහු මඩකලපුවේ පැරැණිතම වැදගත් පෘතුගීසි පවුලක සමාජිකයෙක් බවද පැවසීය. "ලයිෆ් එක කියන්නේ ඒක තමයි ෂර්. මොනව වෙනවද ෂුවර් නෑ" කියමින් ඔහු දමිළ පුවත්පතක් දිග හැර පෙන්වීය. එහි අර්ල් ගේ ඡායාරූපයක් පළ කර තිබිණි. මඩකලපුවේ මිනිසුන්ටද සොයා ගන්නට බැරි පුද්ගලයෙක් ව සෙවීම මට කිසිසේත්ම කළ නොහැක්කක් බව වටහාගෙන ආපසු යන්නට හිත හදාගනිමින් මා නොතේරෙන දෙමළ අකුරු දෙස ඔහේ බලා සිටියෙමි. "අර්ල්ගේ ෆුල් නේම් එක මොකක්ද" මා විමසුවේ අසන්නට වෙන කිසිවක් නැති නිසාය. එය දැනගත්තා කියා කරන්නට දෙයක් ද නැත.

"අර්ල් ඩි ප්‍රේරා" තානායම් හිමියා පිළිතුරු දුන්නේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සහන් කසීර වික්‍රමසිංහගෙන් තවත් වියමන්
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
කබායක් පැළැඳි මැදිවියේ කත
කතන්දර
කැමැත්ත හා පෙරමඟුල
කතන්දර
"අජිත් තමයි හොඳ"
කතන්දර
පද්මිණී මොකා......ආ?
තවත් කතන්දර බූන්දි
බුම්මන්නා පවුල සහ ලේලිය
දොළොස්දාහක්
අලුත ගෙනා මනාලිය
නිල් මල් ගවුම
මාස තුනක් සහ එක දවසක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
කවි| ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

28-Secs

(වින්ද්‍යා ආරියරත්න) කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි

වැට මායිමක
වැටහිරියා අතු අඟිස්සක... [More]
අදහස්| සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?

4-Mins

(සරද සමරසිංහ) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කවි| අපේ තාත්තා

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණ ඇතුළේ
හිටපු අපෙ තාත්තා

කූරු හිසකේ -රැළි ගස්සා... [More]
වෙසෙස්| රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

4-Mins

(සරද සමරසිංහ) අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම... [More]
ඔත්තු| මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29

22-Secs

ලාංකීය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටුකළ මාක්ස්වාදී බුද්ධිමතෙක් වන මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සිව්වන වර්ෂ... [More]
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කතන්දර| දොළොස්දාහක්

5-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා... [More]
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
කවි| මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය

19-Secs

(මහේෂි බී. වීරකෝන්) ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook