Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
බූන්දි, 17:42:21
කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි. ඒ අතර කෘත්‍රිම දූපත් යනු ඇගේ නවතම කෘතියකි.

මේ නවකතාව ශ්‍රී ලංකාව (මහ දූපත) අසල සාගරයේ කෘත්‍රිම දූපත් කිහිපයක් තනාගෙන එය රාජධානිය කොටගත් සාගරය, පාලම්, කෘත්‍රිම දූපත් ආදිය ගැන පිස්සු වැටුණු ඉංජිනේරු මහල්ලකුගේ ජීවිතය අවුස්සා බැලීමකි. මෙම දූපත් සමූහය මහා දූපතේ දේශපාලන සංස්කෘතියට විකල්පව තනා ගත් වෙනම රාජ්‍යයකි. "නීතිවලින් ගෝත්‍රික සීමාවලින් මිනිස්සු කොටු කරන්න බැරි නිසා තමයි නව භූමි හොයන්න හරි, නව දූපතක වෙනම රාජ්‍ය ගොඩනගා ගන්න හරි මිනිස්සු පෙළඹුණේ. නමුත් මේ කෘතීම දූපත් වළල්ල කොළඹ 17 තවම අවසාන නොවූ පරීක්ෂණයක්. ඒ නිසා මුල් එකඟතා අනුව අවුරුදු සීයක් යන තුරු මහ දූපතේ නීතිවත් මේකට අදාළ නෑ."

ඒ නිසා මෙම දූපත් සමූහය එක්තරා ප්‍රජාතන්ත්‍රීය වෙනම රාජ්‍යයකි. නමුත් සාම්ප්‍රදායික නවකතා නිර්ණායක අනුව නම් (තථ්‍ය යථාර්ථවාදයට අනුව) මේ නවකතාව මුළුමනින්ම අපබ්‍රංශයකි. කොළඹ 17ක්වත් අපේ රට වටා තවම කෘත්‍රිම දූපත් සමූහයක්වත් නැති නිසා. එය මුළුමනින්ම කතුවරියගේ පරිකල්පනීය ගොඩනැංවීමක්. නමුත් මේ නවකතාව තුළ ඉංජිනේරු ශිල්පය, කෘත්‍රිම දූපත්වල ඉතිහාසය, සාගර-දූපත් පුරා විද්‍යාව වැනි විෂය කරුණුත් අඩංගුයි.

මේ දූපත භූගෝලීය වශයෙන් ඇත්තටම පවතින දූපතක් නොව අපේ රට තුළම වෙනස් දේශපාලනික- සංස්කෘතික සහ ආර්ථික හැසිරීම් ඇති ප්‍රජාවක් පිළිබඳ ඉඟියක් වෙන්න පුළුවන්. විකල්ප දූපතක් පරිකල්පනය කරන්නට වෙන්නෙ දැනට ලංකාවේ පවතින දේශපාලනික සහ පාරිභෝජක සංස්කෘතිය මෙවැනි යාථාර්ථයක් නිර්මාණයට කිසිසේත් සුදුසු නොවන නිසා යැයි කතුවරිය ඉඟි කරනවා වෙන්නට පුළුවන. කෙසේවෙතත් මෙවැනි සංස්කෘතික පරිසරයක් පිළිබඳ සංවාදයක් මොකටද කියන කාරණය අපිට නවකතාව ඇසුරින් අසන්නට පුළුවන. එහෙත් අප මේ නවකතාව කියවීමට ගත් සැණින් මේ මළ විකාරය මොකද්ද කොළඹ 17, මේ වගේ දුපත් තියෙනවද ආදී ප්‍රශ්න අසා නවකතාවට එරෙහි වන්නට පටන් ගත් විට අර නවකතාව මගින් මතු කරන තේමාත්මකයේ ඉඩ ඇහිරී යයි.

අනික් අතට මේ කෘත්‍රිම දූපත් තැනෙන්නෙ බලගතු රටක, රටවල් කිහිපයක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුව වැනි කිසිවක අනුග්‍රහයෙන් නෙමෙයි. ආල කතන්දරයක ආයාචනයකින්. එය පාඨකයා වසන තථ්‍ය ලෝකය තුළ අසාමාන්‍යයකි. අවිශ්වසනීය වූවකි. මේ නවකතාවේ වස්තු විෂය වගේම ආකෘතියත් සාම්ප්‍රදායික නවකතාවට නොපෑහෙන එකකි. මේ නවකතාවේ චරිත නිරූපණය කියා දෙයක් හෝ අවස්ථා-සිද්ධි නිරූපණය කියා දෙයක් හෝ දකින්නට නැති තරම්. නවකතාවේ මුල් කොටසේදී කෘත්‍රිම දූපත්වලට සම්බන්ධ ආල කතන්දරයේ කතා නායකයා වන හේමිෂ් බර්න්ස් නමැති ධන කුවේරයා සමග රූපවාහිනී වැඩසටහනක සංවාදය පිටු කිහිපයකි. අනතුරුව කෘත්‍රිම දූපත් නිර්මාතෘ අපරාජිත්ගේ ඥාති දියණියකගේ සහ පුත්‍රයකුගේ දෘෂ්ටිකෝණයට වරින් වර මාරු වෙමින් කතාව ගලා යයි. බොහෝදුරට නවකතාව විකාශනය වන්නේ මේ දෙන්නා තමන්ගෙ මාමා (අපරාජිත්) සමග මේ දූපත්වල ඉතිහාසය, ඊට පෙර ඔහුගේ ජීවිතය ආදී අත්දැකීම් පිළිබඳ කරන අවලෝකනාත්මක සම්මුඛ සාකච්ඡාවලිනි. අපරාජිත්ගේ 95වන උපන්දිනය වෙනුවෙන් රූපවාහිනි වාර්තා වැඩසටහනක් සකස් කෙරෙයි. මෙය ඔහු රටරටවල්වල, දූපත්වල සංචාරය කරමින් ලබා ගත් ඡායාරූප, සාගර විෂය සහ ඉංජිනේරු ශිල්පය පිළිබඳ ඔහුගේ මැදිහත්වීම් පිළිබඳ අනුස්මරණාත්මක සාකච්ඡාවකි. එයද මේ නවකතාවේ සෑහෙන ලොකු ඉඩක් ගනියි. නවකතාවේ අවසාන අර්ධයේදී (අපරාජිත් මිය ගිය පසු) ඔහු සමීපව ආශ්‍රය කළ ජයත්‍රී නම් කාන්තාවක මේ අපරාජිත්ගේ දූපත් නිවෙසට පැමිණෙන අතර අපරාජිත්ගේ අතීත ජීවිතය, කෘත්‍රිම දූපත් සිහිනය සැබෑවක් වීම ආදිය පිළිබඳ අර ඥාති පුතා සහ දියණිය කරන සාකච්ඡා දකින්නට ලැබෙයි. මේ ආකාරයට බලන විට මේ නවකතාවේ චරිත නිරූපණය, අවස්ථා නිරූපණය පමණක් නොව හේතුඵල අනුව ගොඩ නැගෙන කතා වින්‍යාසයක් හෝ දකින්නට නොලැබෙයි. එහෙත් මෙය නවකතාවක් නොවේ යැයි කියන්නේ කෙසේද? මේ අලුත් විෂයත්- අලුත් ආකෘතියත් සංකලනයෙන් ගොඩනැගෙන නැවුම් ආඛ්‍යානයේ ඇති 'නවකතාමයත්වය' ඔබ නවකතාව කියවීමෙන්ම අවබෝධ කරගත යුතුය. මහා දූපතේ නීතිවලින් මිදුණු මේ කෘතීම දූපත් නවකතාව නම් සාහිත්‍ය ශානරය පිළිබඳ සම්මත කොන්දේසිවලින් ස්වාධීනව පළ වන නිර්මාණශීලී නවකතා පිළිබඳවද හොඳ රූපකයකැයි මට සිතේ.

අහම්බකාරක

යථාර්ථවාදී ප්‍රතිනිර්මාණාත්මක විධි ඒවා තුළින්ම අතික්‍රමණය කරන සියුම් ප්‍රබන්ධ කතා කලාවක් නිපදවන ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක නවකතාවද නවකතාවේ සුඛනම්‍යතාව පිළිබඳ හොඳ නිදර්ශනයකි.

නවකතාව ආරම්භ වන්නේ දැවැන්ත සුපර්මාකට් හිමියෙකු වන කෝටිපති ව්‍යාපාරික බන්දුල බලගල්ල නම් පුද්ගලයෙකු සහ සිංහල නවකතාකරුවකු අතර වන සම්මුඛ සංවාදයකිනි. බලගල්ල තමා ඉංග්‍රීසියෙන් ලියූ තමාගේ චරිතාපදානය නවකතාකරුවාට දෙන්නේ එය කියවා බලා ප්‍රබන්ධයක් ලෙස සකස් කළ හැකි නම් එසේ කොට තමාට යළි පෙන්නා පළ කරන ලෙසය. ඒ නිසා මේ නවකාවේ කථකයෝ කිහිපදෙනෙක්ම හමුවේ. බලගල්ල එක් කථකයෙකි. නවකතාකරුවා තවත් කථකයෙකි. තමා ගැනම ලියන විට පවා ඇතැම් විට බලගල්ලම කියන පරිදි ඔහු ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයකට මාරු වෙයි. ගොළු විජේගේ කථාව විකාශනය වන්නේ ද ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. මේ දෘෂ්ටිකෝණ වරින් වර හිටිඅඩියේ මාරු වෙයි.

කතාවේ කතා වින්‍යාසය, ප්‍රධාන කතා දෙකක් සමාන්තරව යමින් විකාශනය වෙයි. බන්දුල බලගල්ල සහ විජය වික්‍රමසිංහ හෙවත් ගොළු විජේ ඒ කතාවල නායකයෝ වෙති. ඒ නිසා මුලින් මෙය බන්දුල බලගල්ලගේ චරිතාපදානය යැයි කීවද තමාගේ චරිතාපදානය ද, ඒ දෙස වෙන කෙනෙකුගේ දෘෂ්ටිකෝණයෙන් තමාම බලන්නක් ද, වෙන කෙනෙකුගේ චරිතාපදානය තමා විසින් ලිවීමක් ද වෙයි. කෙසේවෙතත් මේ නවකතාවේ කතා දෙක විකාශනය වන්නේ කාලානුක්‍රමික කාලයට අනුව නොවේ. එනම්, අතීතයේ සිට වර්තමානයට ගලා යන පරිද්දෙන් නොවේ. අතීතයෙන් වර්තමානයටත්, වර්තමානයෙන් යළි අතීතයටත් බලගල්ලගේ කතාවෙන් ගොළු විජේගේ කතාවටත් ආදී ලෙස ආඛ්‍යානය මාරු වෙයි. ඒ නිසා වැඩි භාෂා සෙල්ලම් නැති නවකතාවක් වුවත් මෙය සංකීර්ණ මතුපිට ව්‍යුහයක් ඇති නවකතාවකි.

ඒ සංකීර්ණකම ඇත්තේ මතුපිට ව්‍යුහයේ පමණක් නොවේ. නවකතාවේ ප්‍රධාන කතා දෙකේම කේන්ද්‍රීය සිදුවීම් ඊළඟ සිදුවීම සමග සම්බන්ධ වන්නේ අහම්බයකිනි. මෙය කතා වින්‍යාසය හෙවත් හේතුඵල සම්බන්ධය සුරැකෙන ලෙස ආඛ්‍යානය ගොඩනැගීමේ සාම්ප්‍රදායික නවකතා මූලධර්මය සවිඥානිකව අභියෝගයට ලක් කිරීමකි. නවකතාවේ බොහෝ තැන්වල රූපකාර්ථයෙන් විස්තර වන ගෝල්ෆ් ක්‍රීඩාවේ ඇති අහම්බය තරමටම නවකතාවේ එන සිදුවීම්වල හැසිරීම්ද අහම්බයෝ වෙති.

නවකතාවේ එන ඇතැම් සිදුවීම් (ප්‍රබන්ධමය ගොඩනැංවීම්) ඇතැම්විට සමහර පාඨකයන්ට අවිශ්වසනීය විය හැකිය. විජය වික්‍රමසිංහ ගොළු බවින් මේ තරම් ජනකායක් මේ තරම් දිගු කාලයක් තිස්සේ රැවටීම, නිදන් වදුළු සිද්ධිය, සුපර්මාකට් කතාව ආදිය එවැනි සංසිද්ධි විය හැකිය. නමුත් මේවායෙහි කිසිදු ඉන්ද්‍රජාලික බවක් ද නැත. ඒවා ඇත්තටම මනුෂ්‍ය ලෝකයේ සිදුවිය හැකි සීමාවේ පවතින දේවල්ය. නමුත් ඒවා නවකතාකරුවා ගොතා ඇති අන්දම තථ්‍ය-යථාර්ථය තෙරපවනසුළුය. දෛනික යථාර්ථය මෙන්ම තාත්වික යථාර්ථවාදයේ කොන්දේසි නොඉවසනසුළුය. එමෙන්ම තේමාත්මකව එම සිදුවීම් අප ජීවත් වන සමාජය දෙස එල්ල වන උපහාසයක් ද අප ගැනම උත්ප්‍රාසයක් ද වෙයි.

නාටකීය බවද සිනමාරූපී බවද මුසු මේ නවකතාවේ කාව්‍යාත්මයක් පමණක් නොව කාව්‍ය ශරීරදයක් ද ඇති වැකි බොහෝ පරිච්ඡේදවල මුණගැසේ. මේ එවැනි එකකි.

"ඇය රවුම් වේවැල් පුටුවේ වාඩි වී දෙපා උඩට ගෙන පද්මාසනයෙන් හිඳගත්තාය. ඇගේ දෙපාවලින් මුදන ලද රෝස පැහැති රබර් සෙරෙප්පු දෙක පුටුව අසල තිබුණේ එකිනෙක අසල වැටුණු මල් පෙති දෙකක් මෙනි." (-54 පිට)

අනිත් අතට මේ නවකතාවේ ප්‍රභූ පැලැන්තික මධ්‍යම පංතිකයෙකු කෝටිපතියෙකු වීමේ කතාවද, ගොළුකම ජීවීතයේ වාසනාව කරගත් කටකාර ජාතිවාදී තණ්ණාසකාරයෙකුගේ බැස්මක කතාව ද, නොඇලෙන ආලයක රොමැන්තික කතාව ද මුසු වී තිබේ. ටෙරී ඊගල්ටන් සිය ඉංග්‍රීසි නවකතාව කෘතියේ එක් තැනෙක ඩැනියල් ඩිෆෝගේ සිට වර්ජිනියා වුල්ෆ් දක්වා නවකතාව තවමත් ප්‍රේම කතා වර්ගයක් බව ලීවේය. වික්‍රමසිංහගේ සිට අමරකීර්ති දක්වා නවකතාවත් වෙන එකක් නොවන බව විරාගයේ සරෝජිනීඅහම්බකාරකහි රාධා ද අපට උගන්වන්නේ නවකතාවක සරාගය ප්‍රේමයම බව කියාපාමිනි. කෙසේවෙතත් අමරකීර්තිගේ නවකතාව ප්‍රේම කතාවක්ද, එක් යුගයක දේශපාලන සංස්කෘතිය පිළිබඳ ගවේෂණයක්ද, වීරයෙකුගේ කතාවක්ද, පරාජිතයෙකුගේ කතාවක්ද ලෙස බහුවිධ වස්තුවිෂයන් ඇති එකකි. එනම් අප ඉහත තැනක කතා කළ උප ශානර කිහිපයක් එක නවකතාවක බොඳ වීමකි.

මෑතක සිංහල නවකතාව පිවිසි දීප්තිමත් රචකයෙකු වන කපිල කුමාර කාලිංගගේ සැප්තැම්බරයේ දිග දවසක් නමැති කෘතිය ද මෙවැනි උප ශානර මිශ්‍ර වූ නවකතාවකි. මේ නවකතාව රහස් පරීක්ෂක කතාව, ප්‍රේම කතාව, කාම කතාව, බටහිර සම්භාව්‍ය යථාර්ථවාදී නවකතාව ආදී එකිනෙක වෙනස් ප්‍රබන්ධ විශේෂ මුහු කරගැනීමට තරම් සුඛනම්‍ය වී ඇත. මේ නවකතාවේ 'ලස්සන' පැන නගින්නේම ඒ මුහුවීමෙනි. එමෙන්ම නවකතාවේ ආඛ්‍යාන මතුපිට (භාෂාව, ශෛලිය, චරිත නිරූපණය, නාභිගතකරණය ආදී ව්‍යුහීය කාරණා) ඉතා සුමට- පිරිපහදු එකකි. කියවීමේ අත්දැකීම ඒ නිසාම නැවුම්ය. නමුත් පාඨකයා තේමාත්මක ඇවිස්සීමකට ඇද දමන්නේ ඉතා අඩුවෙනි. ඒ නිසා කතාවේ ලස්සන ද, කතාන්ත කම්පනය ද (හොඳ නවකතාවක් කියවීමේ අවසානයේ ඇති වන කම්පනය) පමණක් පාඨක හිතේ කෙටීම විශිෂ්ට නවකතා ලකුණක් නොවේ.

එහෙත් අමරකීර්ති වැනි ලේඛකයෙක් තම නවකතාවල තේමාත්මක මැදිහත්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව පෙනේ. තේමාත්මක ගැඹුර ගැන ඔහු සිතන නිසාත් නවකතාවේ ව්‍යුහය සහ තේමාත්මකය එකට ගැටගසමින් තේමාත්මක කුළුගැන්වීමකට ඔහු මහන්සි වන නිසාත් ඔහු නවකතාව නමැති ශානරය තුළ තවත් අරාජික වැඩක් කරමින් සිටින බව පෙනේ. මා මේ කියන්නේ නවකතාකරුවා කතන්දරයෙන් ඔබ්බට ගොස් සමාජයේ යථාර්ථය ගවේෂණය කිරීමේදී 'අදහස්' නිපදවීම පිළිබඳ කාරණයයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික මතයට අනුව නවකතාවක අදහස්, දර්ශනය, දේශපාලනික මතිමතාන්තර නවකතාවේ චරිත නිරූපණය, අවස්ථා හා සිද්ධි නිරූපණය තුළින්ම මතු විය යුතුය. එය සාර්ථක නවකතාවක ලක්ෂණයකි. නමුත් දැන් ලියවෙන සමහර නවකතාවල චරිත නිරූපණය වෙනුවට 'ක්‍රීඩාශීලී නාභිගතකරණයක්' භාවිතා කරමින් අදහස් නිපදවීමට නවකතාකරුවෝ වෑයම් කරති.

නාභිගතකරණය ගැන දළ අදහසක් ලබා ගැනීම මේ කාරණය පැහැදිලි කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. සාහිත්‍ය ප්‍රබන්ධයක කතාවක් ඉදිරිපත් කෙරෙන්නේ කිසියම් පර්යාලෝකයක, සංකල්පීය මානයක හෝ දැක්මක, දෘෂ්ටියක ධ්‍යානගත කරමිනි. එනම් කිසියම් පුද්ගලයෙකුගේ, සතෙකුගේ හෝ ද්‍රව්‍යයක දෘෂ්ටිකෝණයෙනි. නාභිගතකරණය යනු මේ ධ්‍යානගතකිරීමයි. පොදු ව්‍යවහාරයේ point of view හෙවත් දෘෂ්ටිකෝණය ලෙස අපි මෙය භාවිතා කරමු. එහෙත් focalization හෙවත් සමකාලීන ප්‍රබන්ධ කතාවක නාභිගතකරණය යනු සාම්ප්‍රදායික ප්‍රබන්ධ කතාවේ උත්තම පුරුෂ කථකයා, සර්වඥ කථකයා හෙවත් ප්‍රථම පුරුෂ කථකයා ඇසුරින් කතාව කීමම නොවේ. නාභිගතකරණයේ මූලික වශයෙන් ආදර්ශ දෙකක් තිබේ. එකක් නම් බාහිර නාභිගතකරණයයි . Narrator- focalizer හෙවත් පොතේගුරුවාදී කථකයෙක් මගින් කතාව විකාශනය කිරීම මෙමගින් සිදු වේ. එනම් ප්‍රබන්ධයට බාහිර කථකයෙකු මගින් කතාව විස්තර කිරීමයි. සියල්ල දන්නා දෙවියෙකු ලෙස හෝ අහසේ පියාඹන කුරුල්ලෙකුගේ ඇස් දෙකකින්, එනම් ඉහළ සිට ප්‍රබන්ධ චරිත සහ සිදුවීම් දෙස බලා විස්තර කරයි.

අනෙක, අභ්‍යන්තර නාභිගතකරණයයි. මෙහිදී ප්‍රබන්ධ කතාවේ චරිත ඔස්සේම කතාව කියවෙයි. නාභිගතකරණය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මෙයයි. නවකතාවක චරිත දෙස බාහිරින් නොබලා ඒ ඒ චරිතවලටම කටහඬක් ලබා දීමක් මෙහිදී සිදුවේ. Character – focalizer නමින් මෙම සංකල්පය හඳුන්වනු ලැබේ. සාමාන්‍යයෙන් 'මම' කථකයා හෝ සර්වඥ කථකයෙකුගේ මාර්ගයෙන් කථාවක් කියන්නට යන විට එක් කථකයෙකුගේ පර්යාලෝකයෙන් කතාවට එබීමට පාඨකයාටත් සිදු වේ. එය එක්තරා ඒකමානීය දෘෂ්ටිමය ආධිපත්‍යයකට හසුවීමකි.

හැම චරිතයකටම කටහඬක් ලබා දීම ලෙහෙසි කටයුත්තක් නොවේ. සමහරු දෘෂ්ටිකෝණය යන්න නවකතාවක ශිල්පීය අංගයක් බවත් එය කතාවේ තේමාවට ඒ තරම් බලපෑමක් සිදු නොකරන බවත් සලකති. එය මුලුමනින්ම සාවද්‍ය මතයක් බව සමකාලීන කෙටිකතා සහ නවකතා කියවන විට අපට හැඟේ. මා සිතන්නේ නාභිගකරණය පිළිබඳ මෙතෙක් සිංහල ප්‍රබන්ධ කතාවේ වැඩිම මහන්සියක් ගෙන ඇත්තේ සුනේත්‍රා රාජකරුණානායක විය යුතුය. සාපේක්ෂ වශයෙන් ඇගේ දුර්වල කෘතියකැයි මට සිතෙන සෞම්‍යාලෝකයේ පවා මේ නාභිගතකරණ සෙල්ලම් දකින්නට ලැබේ. සමන් වික්‍රමාරච්චිගේ අපූරු කෘතියක් වන අසන්ධිමිත්තා සහ එච්.බී. ගුණරත්න නමැති නවතම නවකතාකරුවාගේ හිතුවක්කාරී යන නවකතා නාභිගතකරණයේ නවමාන සොයන කෘති දෙකකි. මේ කෘති දෙක ඇසුරින් සාකච්ඡාවක් මේ රචනයේම ඉදිරියේ හමු වන නිසා ඒ කෘති දෙක මෙතැනින් මගහැර යමු.

නාභිගතකරණයට ඉහත විස්තර කළාක් මෙන් බාහිර සහ අභ්‍යන්තර ආදර්ශ මෙන්ම මුහුණත් ද ගණනාවක් තිබේ. සංජානක මුහුණත (perceptual facet), මනෝවිද්‍යාත්මක මුහුණත (psychological facet) සහ දෘෂ්ටිවාදීමය මුහුණත (ideological facet) යනු ඒවාය. මේ මුහුණත් වඩාත් වැදගත් වන්නේ පාඨයාගේ කියවීමේ අත්දැකීම සාදනු පිණිසය. මේ කාරණා දීර්ඝ ලෙස විස්තර කිරීමට යාම නවකතාව පිළිබඳ අපේ සංවාදයෙන් අපව මඳක් ඈත් කරයි. යළි අපි අහම්බකාරක පිළිබඳ අපේ සාකච්ඡාවේ ආරම්භය වෙත යමු. එහිදී මේ නවකතාවේ දෘෂ්ටිකෝණ කිහිපයක් හිටි අඩියේ මාරු වෙමින් කතාවේ දිශා වෙනස් කරන බව අපි කීමු. ඒ දෘෂ්ටිකෝණ හුවමාරුව නිසාම නවකතාව රදළ පවුලක අන්තිම පුරුකක චරිතාපදාන කතාවක් ද, ලංකාවේ එක්තරා යුගයක් පිළිබඳ අවලෝකනාත්මක ගවේෂණයක් ද, ජීවිතයේ ඉහළ යෑමේ විජීගීෂාවෙන් ආත්මය පවා පාවා දෙන්නෙකුගේ ඛේදාන්තයත් ආදී ලෙස බහුවිධ ස්වරූප ගනියි. එය නම් නාභිගතකරණයේ මහගු ඵලයකි. අනික් අතට, දෘෂ්ටිවාදීමය මුහුණතක් ඇති මෙවැනි නවකතාවක එක් කථකයෙක් පමණක් සිටීම අනතුරුදායකය. අමරකීර්තිගේම කුරුලු හදවත එවැනි අදෘෂ්‍යමාන බාහිර කථකයෙකුගේ දෘෂ්ටිමය ආධිපත්‍යයට ලක්වූවේ යැයි ඇතැමෙක් චෝදනා කළේ ඒ නිසාය.

අමරකීර්තිගේ නාභිගතකරණ භාවිතාවේ තවත් වැදගත් කවුළුවක් ඇත. එනම් කුඩා කුඩා අනුපරිච්ඡේද බෙදා ඒවා මගින් කතාව ගලා යෑමට සැලැස්වීමයි. ඒ නිසා නවකතාවේ ගතිකවත් නාභිගතකරණයක් සිදුවේ. විශේෂයෙන්ම මෙය හුදු නවකතාව විචිත්‍ර කරන්නට කරන ආකෘතික සෙල්ලමක් නොව කතාවේ තේමාත්මකය කුළුගැන්වීම පිණිස කතුවරයා දරන වෑයමක් බව පෙනේ. ගොළුවා සහ නළුවා, තිඹිරි ගෙදරක, දෙයියන්ගෙ පින්තූර, සමන් පිච්ච, තොටිල්ල, නිධානය, ඇන්ටිගනී, රත තරණය වැනි නොයෙක් කෙටි පරිච්ඡේද නවකතාවේ විචිත්‍රතාව ඇති කරන බව සැබෑවකි. පාඨකයාගේ කියවීමේ ඒකාකාරීත්වය බිඳ දමා ඔහු නැවත පණගන්වන්නට උත්තේජනයක් (refreshment) සපයන බවත් ඇත්තය. එමෙන්ම නවකතාවේ 'ඊළඟ මොහොත' වෙත එළඹෙන්නට සූදානම් කිරීමේ ඉඟියක් ලෙස ද ක්‍රියා කරන බව පෙනේ. මේ සියල්ල අතර එම කෙටි-මාතෘකා දැල නවකතාවේ කතන්දරය ගැටගසමින් තේමාත්මක මාන ද අවුළුවයි. නිදර්ශන ලෙස ඉහත කෙටි-මාතෘකා කිහිපය සලකා බලන්න. ගොළුවා සහ නළුවා යන ආරම්භක පරිච්ඡේදය නවකාවේ අවසානය දක්වාම බලපවත්වන ඉංගිතයකි. එය විජය වික්‍රමසිංහගේ කතාව පිළිබඳ උත්ප්‍රාසවත් ආරම්භයකි. අවසානය පිළිබඳ ඉඟියකි. දෙයියන්ගෙ පින්තූරවල ද දේවමය හාස්කම්වලට යටින් ඇති උප්පරවැට්ටි ගැන උත්ප්‍රාසය ද ඇති අතර කතන්දරයේ තීරණාත්මක නිධානයක් ද ඇති බව ඉඟි කරයි. සමන් පිච්ච, රාධාගේ කොණ්ඩයේ ගසන මලක් පමණක් නොවේ. එය නවකතා පුරා විහිද යන රාධානු-සරාගයේ සමන් සුවඳයි. ඇන්ටිගනී යනු මාතෘකාවක් ද නාට්‍යයක් ද පමණක් නොව නවකතාවේ එක් මානයක් පිළිබඳ අන්තර්පඨිතමය භාවනාවක අඬගසන සිහිකැඳවීමකි. මෙලෙස කෙටි-මාතෘකා දැමීම මගින් පාඨකයාව කතන්දරය තේරුම්ගනීමට ද තේමාත්මක කල්පනා ඇවිලවීම පිණිස මෙහෙයවන මාර්ග සංඥා ලෙසද එකවර ක්‍රියාත්මක වෙයි. ඒ නිසාම නවකතාවේ වරින් වර නොයෙක් තේමාත්මක එළි දැල්වෙයි. ආදරයේ පිච්ච මල් සුවඳ ද, උන්නතිකාමයේ උෂ්ණය ද, වංචාවේ ගිනිකණ වැටුණු කහ එළිය ද, රතු පැහැ දේශපාලනයේ ව්‍යාජය අතරමැද ධනවාදයේ නරුමත්වය රත අත්කරගැනමේ ප්‍රීතිය ද, මිනිස් ජීවිතයේ අහම්බය ද සැලසුම්ගත බව ද ආදී නා නා තේමාත්මක එළි දිගේ රසික සිත එහෙ මෙහෙ යයි. නාභිගතකරණයේම අලුත් මානයක් ලෙස මා සිතන මේ ව්‍යුහමය උපක්‍රමය කියවන්නන්වාලේ කියනවන්න් මගහැර යන විට නවකතාවේ තේමාත්මකයෙන් ද පදාස පිටින් හැලී යන බව ඇතැම් අය අහම්බකාරක ගැන ලියූ රචනාවලින්ම මම ඉගෙන ගත්තෙමි. මා "ක්‍රීඩාශීලී නාභිගතකරණයක්" කියා කීවේ ඉහත විස්තර කළ නොයෙක් නාභිගතකරණ සෙල්ලම් හඳුන්වනු පිණිසය. එවැනි "ක්‍රීඩාශීලී නාභිගතකරණයක" නියම ඵල නෙළන්නට නම් පාඨකයා ද සාහිත්යික ක්‍රීඩා ලෝලියෙකු පමණක් නොවී උද්යෝගිමත් ක්‍රීඩකයෙකු ද විය යුතුය.

මෙකල නවකතා ලියන අය අතර බැරෑරුම් ලෙස තේමාත්මකය ලුහුබඳිනන් අඩු බව පෙනේ. නමුත් ඉහතද කී පරිදි අමරකීර්ති මේ ගැන සෑහෙන වද වෙන අයෙකි. ඒ නිසාම නවකතාව හුදු කතන්දරයක් නොකරන්නට ද කතාවට වඩා ව්‍යුහය පෙර බිමට කැඳවන ආකෘතික හරඹවලින් මඳක් ඈත් වන්නට ද ඔහු උත්සාහ කරන බව පෙනේ. ඒ නිසාම ඔහුගේ නවකතා වෙත එළඹිය යුත්තේ මඳක් සෙමෙනි. සාම්ප්‍රදායික කතා කියවා පැමිණෙන පාඨකයා මේ නිසා දුර්මුඛ වන්නට ද පුළුවන. අමරකීර්ති සම්බන්ධයෙන් නම් පාඨකයා දුර්මුඛ කරන ප්‍රමුඛ ලක්ෂණය චරිත-සිදුවීම් අතරට 'අදහස්' පැමිණීමයි. මා සිතන්නේ මේ අදහස් පැමිණීම නිසාම නවකතාවේ අලුත් ශානරයක් උපදින බවයි. ඇතැම් පැරණි විචාරකයෝ නවකතාව මගින් අදහස් කියන්නට යාම පියදාස සිරිසේනගේ නවකතාවල ලක්ෂණයක් කියා බැහැර කරති. එහෙත් පාඨකයා කුලප්පු කරන අදහස් නැති කතාන්දරමය නවකතාව දැන් සෑහෙන පරණ එකකි. ඉන් ඇත්තෙන්ම ඉන් අදහස් වන්නේ, නවකතාව මගින් කතුවරයාගේ දෘෂ්ටිවාදයන්, දේශපාලනික අදහස් අමුවෙන් හෝ පැණි තවරා ඉදිරිපත් කිරීම නොවේ. නවකතාමය චරිත සහ එම චරිත මුහුණ දෙන සංසිද්ධි ඇසුරින් ජීවිතය පිළිබඳ කල්පනා ඇවිලවීමයි. සමාජ සංස්කෘතික ප්‍රපංච පිළිබඳ අවලෝකනය කිරීමයි. සංස්කෘතික මිනිසා සහ සමාජ ක්‍රමය- යුගය ගවේෂණය කිරීමයි. ඒ පිළිබඳ දාර්ශනික සිතීමයි. නවකතාව ඇසුරින් මෙවැනි අදහස් ඉපැද්දවීම දැනටමත් අපි දන්නා අදහස් ප්‍රතිරචනය කිරීම නොවේ. එය නවකතාමය සංසිද්ධිය ඇසුරින් අලුත් අදහස් ඉපදවීමකි. මෙ පරිකල්පනයේ මහඟු ඵලයකි. සිංහල ප්‍රබන්ධකතාකරුවන් අතර මෙවැනි අදහස් නිපදවන ලේඛකයන් කිහිපදෙනෙක් සිටිති. අමරකීර්ති සහ එරික් ඉලයප්ආරච්චි, මංජුල වෙඩිවර්ධන වැනි අය එවැනි ලේඛකයන් අතර මගේ සිත් ගනිති. තෝරා ගත් එක් තේමාත්මකයක් හෝ කිහිපයක් ඉලක්ක කරගනිමින් නිර්මාණයේ ඒක්‍රාගතාව ඇති කරන අය ලෙස ඉලයප්ආරච්චිට තරම් නිර්මාණක වැඩිමහලුබවක් නැතත් අමරකීර්ති සහ වෙඩිවර්ධන යන දෙදෙනාම ඔහුට වඩා ඉදිරියෙන් සිටින බව ඔවුන්ගේ නිර්මාණ සාවධානව කියවීමෙන් පෙනේ. ඉලයප්පාරච්චි බගන්දරාවල සිටම තේමාත්මක සංදිග්ධතාවක් ඇති නවකතා ලියූවත් පාඨක සිත් සූරන ශූර අදහස් නිපදවන්නෙකු බව පර්දේසී නම් ඔහුගේ අලුත්ම නවකතාවෙන්ද පෙනේ.

අමරකීර්තිගේ නවකතාව ගැන තරමක් දීර්ඝව සාකච්ඡා කළ නිසා මේ ටිකත් නොකියාම බැරිය. අහම්බකාරක නවකතාවේ බැලූ බැල්මට පෙනෙන තේමාත්මක මානයක් ඇත. බන්දුල බලගල්ල රදළ පවුලකින් පැවත එන බටහිර අධ්‍යාපනය ලැබූ කලාව ඇසුරු කරන ක්‍රියාකාරී දේශපාලනයේ ද කලක් නිරත වූ "සංස්කෘතිකවත්" මිනිසෙකි. බටහිර අධ්‍යාපනය නිසාම ඔහු ලංකාවේ වැඩවසම්වාදී වලව්කාරයෙකු මෙන් අවසන් ගමන් ගියේ නැත. බලගල්ල, ඇන්.ඇම් පෙරේරලාගේ පරම්පරාවට පසු බිහිවූ වාමාංශිකයෙකු ද වෙයි. මා සිතන්නේ බලගල්ලගේ "නිකම් ඉඳීම" නවකතාවේ තේමාත්මකය සමග ප්‍රබල ලෙස බද්ධ වන්නේ මේ තලයේදී බවයි. එනම් මේ උගත්, මධ්‍යම පාංතිකයන්ගේ නිකං ඉඳීම නිසා ගොළුකම් සහ බලුකම් ලෙලවමින් පාරිභෝගික දේශපාලකන් බිහි වීමේ ඉතිහාස කතාවද? විජය වික්‍රමසිංහ වැනි අය එවැනි දේශපාලන ප්‍රජාවක සසැලෙන රූපකයක් ද? සැබෑ මිනිසුන්ගේ පර්මාර්ථකම්, ප්‍රේමය ආදිය එවැනි දේශපාලනයක ආරක්ෂක උගුල් බවද රාධා අපට උගන්වන්නේ? එවැනි දේශපාලනයක ජයග්‍රහණයේ තීරක බලවේගයක් ලෙස ජාතිකවාදය වැපිරෙයි. එහි අතුරුඵල අර කම්මැලිකාර බලගල්ලලාට ද ලැබේ. එහෙත් බලගල්ල වැනි සම්භාව්‍ය මිනිසුන්ට තනිව ගැසිය හැකි ගේම නම් විජය වික්‍රමසිංහ වැනි සිංහ සිංහලුන් ඉතිහාස කාමයේ අඳුරු වදුලු තුළම නිධන් කර තනිවම රක්ත ආලෝකය සොයා යාමයි. එනම්, රත තරණයයි. ඉපැරණි ආලින්දයක අලුත් සංවාදයක් ලෙස නවකතාව කෙළවර වන විට අතේ ඇඟිලි සූර්ය කිරණ මෙන් විහිදුවා තම වයස කියන දියණියගේ පරම්පරාවේ දහසකුත් අය ගැන මට නම් වාසනාවන්ත හැඟුම් නූපදියි. පාඨකයෙකු වීමේ ලස්සන වාසනාව ඒ අවාසනාව එළි කළ මාවතේ නැතිද?

[තෙවන කොටස]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Novel, Literature Critique, Fiction, Ahambakaraka and Kurulu Hadawatha by Liyanage Amarakeerthi, Kruthrima Dupath and Saumyalokaya by Sunethra Rajakarunanayake, Sapthambaraye Diga Dawasak by Kapila Kumara Kalinga, Asandimiththa by Saman Wikramarachchi, Pardesi by Eric Ilayapparachchi
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
වෙසෙස්
ආදරය සහ ළමා අපයෝජනය
තවත් වෙසෙස් බූන්දි
තෝල්ස්තෝයි අදට වලංගු ද?
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
ගේබ්‍රියෙල් නම් සුරදූතයා
සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...
මල් පලස් මත කළ භූමිදානයේ අතීතය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook