Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
බූන්දි, 18:56:42
සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව්. ජනරංජන

රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන "ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?" යනුවෙන් ලිපියක් 2017.05.28 දින රාවය පුවත් පතේ පළ කර තිබිණි. ගාමිණි වියන්ගොඩ විසින් සිය ලිපි පෙළ මගින් දක්වා ඇති අදහස්වලට අමතරව කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් ඉහත ලිපිය මගින් දක්වා ඇති කරුණු කෙරෙහි ද මෙම ලිපියේදී අවධානයට යොමු කිරීමට සිතුවෙමි.

එහිදී ඔහු එකක් පසුපස එකක් හැටියට නිර්මාණය වෙමින් පවතින වර්ජන සහ උද්ඝෝෂණ රැල්ලක් ගැන අවධානය යොමු කරයි. මෙයට ආසන්නතම හේතුව 22 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කැඳවන ලද වැඩ වර්ජනයයි. ඒ පිළිබඳව ඔහු මෙසේ පවසයි.

"22 වැනි සඳුදා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැය 24 ක වර්ජනයක් කළේය. මුලින් එය පැය 4ක වර්ජනයක් ව තිබී පසුව කිසිම හේතුවක් නැතිව පැය 24ක් දක්වා දීර්ඝ කරන ලදි. වෘත්තීය සමිතියක් සතු වර්ජනය කිරීමේ අයිතිය කිසිදු හේතුවක් නැතිව හිතුවක්කාර ලෙස යොදාගැනීම ගැන හොඳම උදාහරණයකි වෛද්‍යවරුන්ගේ ඒ පැය 24 වර්ජනය."

තමන්ගේ මෙම ලිපිය පුරාම තමන් සයිටම් ප්‍රශ්නය පිළිබඳව අපක්ෂපාති විවෘත මත දරන්නෙකු හැටියට පෙනී සිටීමට තැත් දරන ජනරංජන මෙම ලිපියේ ආරම්භක ඡේදයේ ඉහත වැකියෙන්ම තමන්ගේ පක්ෂපාතීත්වයන් කා වෙතදැයි හෙළිදරවු කර තිබේ. වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය දීර්ඝ කරන ලද්දේ ජනරංජන පවසන පරිදි, කිසිම හේතුවක් නැතිව නොවේ. මෙම වර්ජනය පැවැත්වෙන පැය ගණන දිගු කිරීමට බල පෑ හේතුව ලෙස වෛද්‍ය නිලධාරින් දක්වා තිබුණේ මැයි 17 වැනි දා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පැවැත් වූ සාමකාමී පා ගමනට පොලිසිය විසින් ම්ලේච්ඡ ලෙස පහර දී සිසුන් ගණනාවකට තුවාල සිදු කිරීමත් තවත් සිසුන් ගණනාවක් අත් අඩංගුවට ගැනීමටත් විරෝධය පළ කිරීමයි. පැය 4ක වැඩවර්ජනය ඔවුන් විසින් ආරම්භයේදී කැඳවා තිබුණේ වෙනත් මූලික කරුණු කිහිපයකට විරෝධය පළ කිරීම සඳහාය. ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ මූලස්ථානය වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම, සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න විසින් විසින් රඟ දක්වන ලද වෙඩිතැබීමේ නාටකය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීම, වෘත්තීය සමිති නායකයන් මර්දනය පිණිස රජය දියත් කර ඇති වැඩපිළිවෙළට විරෝධය පළ කිරීම, සයිටම් සිසුන් හට රජයේ රෝහල්වල සායනික පුහුණුවට අවසර දීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අල්ලස් කොමිසම සහ පොලිසිය වෙත කරන ලද පැමිණිලි පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුනොවීම යන කරුණු ඒ අතර වේ.

පැය 4ක වැඩ වර්ජනය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන පරිදි පැය 24 ක් දක්වා දීර්ඝ කිරීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ශිෂ්‍ය පෙළපාළියට එල්ල කළ පොලිස් ප්‍රහාරයයි. කිසිදු හේතුවක් නැතිව වැඩවර්ජනය පැය 24 දක්වා දිගුකළේ යැයි චෝදනා කරන විට කේ. ඩබ්ලිව්. ජනරංජන මේ ගැන නොදැන සිටියේද? නැතහොත් සාමකාමී ශිෂ්‍ය පෙළපාලියක් වට ලා ඔවුන් හතර අතින් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් තුවාල සිදු කිරීම සහ සිසුන් ගණනාවක් අත් අඩංගුවට ගැනීම ගණන් ගත යුතු තරමේ 'කිසිම හේතුවක්' ලෙස ඔහු නොදකින්නේද?

පුදුමයක් නොවේ. කේ. ඩබ්ලිව්. ජනරංජනගේ සයිටම් සටන් සගයා වන ගාමිණි වියන්ගොඩට ද මෙම වෛද්‍ය වැඩ වර්ජනය ගැන කීමට ඇත්තේ මෙවැනි දෙයකි.

"අද ශිෂ්‍ය පෙළපාලියක් මැඩලීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ පමණින් දවසක වැඩ වර්ජනයක් දියත් කරන වෛද්‍යවරුන් ලංකාවේ සමස්ත වෘත්තීය සමිති අරගලයක් සඳහා මොන විදිහකින්වත් මීට පෙර දායක වී ඇති බවට සාක්ෂි නැත."

(-රජයේ වෛද්‍ය පීඨ සිසුන්ට 'යෝනිසෝ මනසිකාරය' පහළ වන්නේ කවදා ද?- ගාමිණි වියන්ගොඩ- රාවය- 2017.06.11)


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සයිටම් ආයතනය සම්බන්ධව ඒකාබද්ධ අරගලයක නිරත ව සිටී. තමන් සමග එක්ව අරගල කරන කණ්ඩායමකට එරෙහිව පොලිස් ප්‍රචණ්ඩත්වය දියත්වන විට එම අරගලයේ නිරත සෙසු සංවිධාන එය නුදුටු සහ නෑසූ ආකාරයෙන් පසුවිය යුතු යැයි කේ. ඩබ්ලිව්. ජනරංජන අදහස් කරන්නේ ද? කෙසේ වුව ද මෙම පහරදීම බැරෑරුම්ව සැළකිල්ලට ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව විරෝධය දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් සෙසු බහුජන සංවිධාන කීපයකුත් කටයුතු කිරීම හේතුවෙන් ඉන් අනතුරුව ශිෂ්‍ය ක්‍රියාකාරින් දඩයම් කිරීමට රජය පැත්තෙන් වූ සැලසුම් යම් පමණකට හකුළා ගැනීමට සිදු වූ බව පැහැදිලිය.

කලා සිසුන් බිල්ලට දෙන වෙද සිසුන් සහ වෙදවරුන්

කේ. ඩබ්ලිව් ජනරංජන. තම පළමු ඡේදය තුළ මෙලෙස ශිෂ්‍යයන්ට එල්ල වූ ප්‍රහාරයේ බරපතලකම සම්පූර්ණයෙන්ම නොතකා හරී. ඒ එම ඡේදයේදී ඔහුගේ තර්කය ඔහු ගොඩ නගනුයේ, වෛද්‍යවරුන් ‘කිසිදු හේතුවක්‘ නැතිව පැය 4ට නියමිතව තිබූ වැඩවර්ජනය පැය 24ක් දක්වා දිගු කළේය යන්න අවධාරණය කිරීමට බැවිනි. එනම් වෛද්‍යවරුන් සිය වර්ජන කාලය දිගු කළේ සිසු ජීවිත වලට හානි සිදුවන පරිදි ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී ක්‍රියාමාර්ග අනුගමනය නොකරන ලෙස රජයට බල කිරීම සඳහාය යන්න යටපත් කිරීම අරමුණු කොටගෙන බැවිනි. ඔහු මෙහිදී පළමු පැය 4 වැඩ වර්ජනයේ ඉල්ලීම් ගැන ද ගැන ද කිසිදු සඳහනක් නොකර සිටීමට වගබලා ගනී.

නමුත් ඊළඟ ඡේදයේදී ඔහු තර්ක කරන්නේ මේ ශිෂ්‍ය බලවේගය නොමග යවා මර්දනයට බිලිවන්නට ඉඩ හැර ඔවුන් මෙහෙයවන්නන් පැත්තකට වී සිටින බව පෙන්වීමටය. මෙහි දී ඔහුට පොලිස් ප්‍රචණ්ඩත්වයේ සැබෑ ස්වරූපය පිළිගනිමින් එමගින් සිසු ජීවිත පවා විනාශවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පැවසීමට සිදුවෙයි.

"දැන් දැන් මේ උද්ඝෝෂණ මාලාව උවමනාවෙන්ම වර්ධනය කරමින් තිබෙන්නේ කිසිවෙකුගේ ජීවිතයක් ඉල්ලන හෝ ලේ ඉල්ලන හෝ මට්ටමට බව තිත්ත විය හැකි නමුත් කිව යුතුය. එසේ වුවත්, උද්ඝෝෂණවලට න්‍යාය සපයන සමාජයීය, වෘත්තීය හා මතවාදී ‘ප්‍රභූන්‘ ජල ප්‍රහාර ලක්වන හෝ කඳුළු ගෑස් කන, බැටන් ප්‍රහාර ලබන පෙරමුණු වල සිටින බවක් නම් නොපෙනෙයි. කඳුළු ගෑස් කන තැන්වල රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මහත්වරුන් නැතිවාසේම, ඒ අවදානම් තැන්වල මේ පිරිසට න්‍යාය සපයන දේශපාලන පක්ෂවල න්‍යායචාර්යවරු හා ස්වාධීන බුද්ධිමත්හු කිසිවෙක් ද නොසිටිති. අඩු ගණනේ ඒ තැන්වල වෛද්‍ය කබාය ඇඳගත් වෛද්‍ය සිසුවෝද නැත. ඒ පෙරමුණේ සිටින්නෝ ද, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර හා කඳුළුගෑස්වලට මුහුණ දෙන්නෝ ද, තුවාල ලබන්නෝ ද අතිශය බහුතරය සුපුරුදු පරිදි ග්‍රාමීය, පහළ පන්තික සමාජ තීරුවට අයත්, විශ්ව විද්‍යාලවල කලා පාඨමාලා හදාරන දරුවෝය."

-කේ. ඩබ්ලිව්. ජනරංජන, ශිෂ්‍යයනට ඥානය දෙන්නේ කවුද?- රාවය- 2017.05.28


මෙම ජේදයේදී ඔහුට පෙළපාළි යන සිසුන්ගේ ජීවිත වලට අවදානමක් එල්ලවී ඇතැයි පිළිගැනීමට සිදුව තිබේ. එසේ නම් වෛද්‍යවරුන්ට තම වැඩවර්ජන කාලය දිගුකිරීමට සාධාරණ හේතුවක් වූයේ නැතැයි තමා සිය පළමු ඡේදයෙන් ඉදිරිපත් කරන මතය වැරැදි බව කේ.ඩබ්ලිව්. ජනරංජන පිළිගත යුතුය.

පළමු ඡේදයේදී කූඹියෙකු තරම්වත් ගණන් නොගන්නා කරුණම ඔහුට දෙවන ඡේදයේදී දැඩි ලෙස අවධාරණය කිරීමට සිදු ඇත. දෙවන ජේදයේදී සිසු ජීවිතවලට ඇති අවදානම අවධාරණය නොකරන්නේ නම් "අතිශය බහුතරය සුපුරුදු පරිදි ග්‍රාමීය, පහළ පන්තික සමාජ තීරුවට අයත්, විශ්ව විද්‍යාලවල කලා පාඨමාලා හදාරන දරුවන්" බිල්ලට දීමට උද්ඝෝෂණවලට න්‍යාය සපයන, මතවාදී ප්‍රභූන්, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මහත්වරුන්, සුදු කබා හැඳි වෙද සිසුන්, දේශපාලන පක්ෂ න්‍යායචාර්ය වරුන් හා ස්වාධීන බුද්ධිමතුන් පිළිබඳ තම තර්කය ගොඩ නැගීමට කළ නොහැකි බැවිනි.

උසිගන්වා බිල්ලට දීම

ජනරංජනගේ උද්ඝෝෂණ න්‍යායධාරී ලැයිස්තුවේ සිටින ඉහත කී මතවාදී ප්‍රභූන්, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මහත්වරුන්, සුදු කබා හැඳි වෙද සිසුන්, දේශපාලන පක්ෂ න්‍යායචාර්ය වරුන් හා ස්වාධීන බුද්ධිමතුන් විසින් උසි ගන්වා මේ කලා පාඨමාලා හදාරන දරුවන් පෙළපාලිවලට යවා ඇතැයි මොහොතකට සිතමු. නමුත් රැස්වීමේ සහ සාමූහිකව විරෝධය පෑමේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති අයිතියක් බව නීතිවේදී ජනරංජනට අමතක වූයේ කෙලෙසද? එම අයිතිය භාවිතයට යොදන ශිෂ්‍යයන්ගේ හිස මතට ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවේ වැස්ස වළාහක දෙවි කෙනෙකු නොවේ. එමෙන් ම කඳුළු ගෑස් කැනිස්ටර් ඔවුන්ගේ හිස මත පතිත කළේ ඔවුන්ගේ හිස මතට ඉහළින් පියාඹූ කාක්කන් රංචුවක් විසින් ද නොවේ. බැටන් පොලු හිස මතට වැටුනේ මග දෙපස ඇති ගස්වල රැඳී තිබී ද නොවේ. එම ප්‍රහාර එල්ල කරනු ලැබූවේ එකී මූලික අයිතිය උල්ලංඝණය කළ පොලිස් නිලධාරීන් විසිනි. පොලිස් නිලධාරින් ඒ සිදු කළේ කෑම දිරවීමේ අභ්‍යාසයක් ලෙසින් නොවේ. ඔවුන්ට ඒ සඳහා පැහැදිලිවම දේශපාලන බලධාරින් විසින් අධිකරණය අයුතු ලෙස භාවිතා කොට නියෝග ලබා දුන් නිසාය. ශිෂ්‍යයන් විසින් පැවැත් වූ පෙළපාළි සාමකාමී ඒවා වූ අතර ඒවාට ම්ලේච්ඡ ලෙස පහර දී විසුරුවා හැරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන නැගී නොතිබිණි. ජනරංජන මෙහි දී සිදු කරනුයේ ආයතනගත රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ ගොදුර බවට පත් පුද්ගලයන් වෙතම වරද පටවමින් බරපතල ලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධව චුදිතයන් විය යුතු ලංකා පොලිසිය සහ දේශපාලන නායකත්වය සහ නීතිය අවභාවිතාවේ යෙදවූ විනිසුරන් නිදොස්කිරීම වෙනුවෙන් පෙනී සිටීමය. තමන්ට ලැබෙන ගාස්තුව අනුව එසේ කිරීමට වෘත්තීමය අයිතියක් නීතිවේදීයෙකු වශයෙන් කේ. ඩබ්ලිව්. ජනරංජනට තිබිය හැකි වුවත් Mastered by Truth යන විසිතුරු තේමා පාඨයෙන් හිස සරසා ගත් විකල්ප යැයි කියාගන්නා පුවත්පතක කතුවරයෙකු ලෙස පෙනී සිටිමින් ද "පුරවැසියන් බල ගැන්වීම" සඳහා යැයි කියමින් අටවාගන්නා ලද පුරවැසි බලය නම් සංවිධානයක සම කැඳවුම්කරුවෙකු ලෙස කටයුතු කරමින් ද එසේ කිරීම ලජ්ජා විය යුතු කරුණකි.

ඔහුගේ රචනාවේ දෙවන ඡේදයේ දේශපාලන ඉලක්කය වනුයේ සයිටම් විරෝධී බලවේග භේද භින්න කිරීමයි. "මේ යකා දැන් මේ මෙතැන විජලනයෙන් මිය යාදෝයි" සැක සිතෙන තරමට කේ. ඩබ්ලිව්. ජනරංජන ග්‍රාමීය, පහළ පන්තික සමාජ තීරුවට අයත්, විශ්ව විද්‍යාලවල කලා පාඨමාලා හදාරන දරුවන් ගැන කිඹුල් කඳුළු හෙළයි. සයිටම් ආයතනයට සහ සමස්තයක් ලෙස අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව අරගලයේ නිරතවන විවිධ කණ්ඩායම් අතර සැකය සහ භේදය වපුරවා එකිනෙකාට එරෙහිව යොදවමින් සටන අඩාල කිරීමේ විෂකුරු දේශපාලන අරමුණ මෙවන් ව්‍යාජ අනුකම්පා සහගත වදන් තුළ රුවා සැඟවිය බව කේ. ඩබ්ලිව්. ජනරංජන වටහාගත යුතුය. මේ අතර ඔහුගේ සයිටම් ගමන් සගයාවන ගාමිණි වියන්ගොඩ මේ ග්‍රාමීය ශිෂ්‍ය පරපුර සහ ඔවුන් වෙතින් බිහිවු වෛද්‍යවරුන්ට විවිධ අයුරින් නින්දා අවමන් කිරීම අරමුණු කොටගෙන ඔවුන්ව "මොණරාගල ශිෂ්‍ය පරම්පරාව, මොණරාගල වෛද්‍යවරුන්" යනුවෙන් වර්ගීකරණයකට ලක් කරයි. එකෙකු ඔවුන් මහජනයා හමුවේ පිළිකුළට සහ වෛරයට ලක්කිරීමේ අඛණ්ඩ ව්‍යාපෘතියක නිරතව සිටින අතර අනෙකා ඔවුන් ගැන කිඹුල් කඳුළු හෙළමින් ඔවුන් භේදභින්න කොට දුර්වල කිරීමේ වෑයමක නිරතව සිටී. කදිම ශ්‍රම විභජනයකි.

"...මේ පිරිස මා හඳුන්වන්නේ ‘මොනරාගල ශිෂ්‍ය පරම්පරාව‘ වශයෙනි. කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ අරටුව වුණේම ජන්මය අනුව අධ්‍යාපනය ලැබීම/නොලැබීම තීන්දු වීමේ අමානුෂික ක්‍රමය පිටුදැකීමයි. එහෙත් මේ ඊනියා දිස්ත්‍රික් ක්‍රමය හරහා පස්ස දොරකින් අප නැවත ඉඩ සලසා ඇත්තේ ජන්මය අනුව අධ්‍යාපන අවස්ථාව තීන්දු කිරීමටයි. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කෑමොර දෙන පුද්ගලයන් අතරේ මෙවැනි ‘මොනරාගල වෛද්‍යවරුන්‘ කොපමණ සිටීදැ යි සොයා බැලීම වටී."

-ගාමිණි වියන්ගොඩ, අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක 3)


වාමාංශිකයන්ට සයිටම් පෙත්ත ගිල්ලවීම

කේ. ඩබ්ලිව්. ජනරංජන අපගේ දැනුම වැඩුම පිණිස අපූර්ව සංසන්දනයක් ඉදිරිපත් කරයි.

"රාජපක්‍ෂ ආණ්ඩුව, රණවිරුවන්යැයි උත්කර්ෂයට නංවා ග්‍රාමීය සිංහල බෞද්ධ අවවරප්‍රසාදිත රැකියා විරහිත තරුණ පිරිස් යුද්ධයට යවා, එහි ප්‍රතිඵල තම බලලෝභී පැවැත්ම සඳහා ආයෝජනය කළාක් මෙන්, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ද තමන්ගේ කුහක වෘත්තීය ආධිපත්‍යය පවත්වාගැනීම සඳහා හැකි සියලු දෙනාගේම ශක්තීන් ආයෝජනය කරමින් සිටියි."

(-කේ. ඩබ්ලිව්. ජනරංජන, ශිෂ්‍යන්ට ඥානය දෙන්නේ කවුද? රාවය- 2017.05.28)


රාජපක්ෂගේ ආණ්ඩුව මෙතෙක් ශ්‍රි ලංකාවේ පැවැති සියළු ආණ්ඩු විසින් ගෙන ගිය දෙමළ විරෝධී ජන සංහාරක ප්‍රතිපත්තිය උපරිමයකට ගෙන යමින් 70,000කට අධික දෙමළ ජනතාව මාස කීපයක් තුළ සංහාරය කළේය. එහෙත් එය රාජපක්ෂ රජය විසින් අරඹා එය විසින් නිමාවට පත් කර ඇති ක්‍රියාදාමයක් නොවේ. ඊට පෙර පැවැති සියළු එජාප ශ්‍රිලනිප සහ ශ්‍රිලනිප සහ වමේ හවුල් ආණ්ඩු විසින් විවිධ වකවානු තුළ විවිධ මුහුණුවරින් ගෙන ගිය ජනසංහාරක පිළිවෙත්වලම එක්තරා අදියරකි. 2009 රාජපක්ෂගේ ජනසංහාරක ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් ලෙස ද මන්ත්‍රිවරුන් ලෙස ද කටයුතු කරමින් සියොළඟ පුරා ලේ තවරාගත් පිරිසෙන් කීපදෙනෙකු හැරෙන්නට සෙසු සියල්ලන් කේ. ඩබ්ලිව්. ජනරංජනලා, වියන්ගොඩලා, සමන් රත්නප්‍රියලා, සරත් විජේසූරියලා දරදිය ඇද බලයට ගෙනා ඊනියා "යහපාලන" ආණ්ඩුවේ ද ඇමැතිකම් දරති. එපමණක් නොව කේ. ඩබ්ලිව්. ජනරංජන සේවය කරන රාවය පුවත්පතේ නොනිල කතුවරයා වන වික්ටර් අයිවන්ට අනුව රජයේ එම යුද්ධය විසින් ඉටු කළේ ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම සඳහා ඉටු කළ යුතුව තිබූ "ඉතිහාසයේ අචේතනික අතකොළුවේ" කාර්ය භාරයයි.

එම යුද්ධය සිංහල ආධිපත්‍යවාදි රාජ්‍යය විසින් දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය දිගුකාලීන ජනසංහාරක පිළිවෙත් තවදුරත් ඉදිරියට ගෙනයාමක් මිසෙක හුදු එක් පාලන කල්ලියක හෝ ආණ්ඩුවක් විසින් පමණක් කළ දෙයක් නොවේ. එය හුදු මහින්ද-ගෝඨාභය කල්ලියට පමණක් පැවරීම මගින් සිදුවන්නේ සෙස්සන් එම අපරාධයේ වගකීමෙන් නිදහස් කිරීමයි. එමගින් එම අපරාධකරුවන් ගෙන් කොටසක් "යහපාලනවාදී" ප්‍රජාතන්ත්‍රික පාලකයන් ලෙස අභිෂේක කිරීම ඔබලාට පහසු වෙයි. යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී විභවයන් පිළිබඳ වන මිථ්‍යාව පිටුපස ජනතාව ගාල්කිරීමේ සහ එහි ජනතා විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහි ජනතා විරෝධය දියකර හැරීමේ ඔබලාගේ ප්‍රතිගාමී දේශපාලනය පෙරට ගෙන යාමේ දී එය අත්‍යාවශ්‍ය කොන්දේසියක් වේ.

පළමුව කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් ඉහත සංසන්දනය තුළ ඉටුකර ගැනීමට සිතන දේශපාලන ඉලක්කය කුමක් දැයි අප විසින් තේරුම් ගත යුතුය. දේශපාලනයේදී යමෙකු පවසන්නේ කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම මෙන් ම ඔවුන් එලෙස පවසන්නේ මන්දැයි යන්නද නිවැරදිව වටහා ගැනීම අත්‍යවශ්‍ය වන බැවිනි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යනු මෙරට සිංහල සමාජයේ යුද විරෝධී, ප්‍රගතිශීලි, වාමාංශික පුද්ගලයන් හා කණ්ඩායම්වල දැඩි ලෙස වෛරයට සහ පිළිකුළට ලක් වූවකි. එය ඔවුන් හමුවේ දුෂ්ටත්වයේ සහ ම්ලේච්ඡත්වයේත් ආත්මාර්ථකාමීත්වයේ සහ අවස්ථාවාදිත්වයේත් ප්‍රතිමූර්තිය විය. (දෙමළ සමාජය සහ වෙනත් සුළු ජාතින්ගේ බහුතරය තුළ එය කොහොමටත් දැඩි වෛරයට සහ පිළිකුළට ලක්වී තිබේ.) ඔවුන් හමුවේ යමෙකු මහින්ද රාජපක්ෂ පාලනයට සමාන කිරීම යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි ඇති වෛරයට සහ පිළිකුළට සමාන පිළිකුළක් සහ ඔහු හෝ ඇය කෙරෙහි ඉහත යුද විරෝධී ප්‍රගතිශීලි, වාමාංශික පුද්ගලයන් හා කණ්ඩායම් තුළ ඇති කිරීමයි. ජනරංජනගේ මේ සංසන්දනය එහි මතු පිටින් පෙනෙන තරම් අහිංසක එකක් නොවන්නේ එබැවිනි. මෙමගින් ජනරංජන සයිටම් විරෝධී අරගලයට හෝ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට ඉහත කොටස්වල සහාය සහ අනුකම්පාව හිමිවීම වැළැක්වීමට උත්සාහ දරයි.

තක්කඩියාගේ අවසන් කෙම්බිම ජාතිවාදයයි.

මෙහි දී අප වියන්ගොඩ විසින් සිදු කරන මෙවැනිම සන්සන්දනයක් වෙත නැවත අවධානය යොමු කරමු.

"තෙවනුව, නන්දිකඩාල් දක්වා දස දහස් ගණනක් අහිංසක දෙමළ වැසියන්ව තමන් සමග දක්කාගෙන ගිය ප්‍රභාකරන් අවසානය දක්වාම ඔවුන්ව තමාගේ සහ තම සංවිධානයේ ඉල්ලීමක් දිනා ගැනීම සඳහා වන පලිහක් වශයෙන් පාවිච්චි කිරීම අධම සහ නීච ක්‍රියාවක් යැයි සැළකේ. පසු ගිය සතියේ දවසකත් ඊට කලිනුත්, තමන්ගේ ඉල්ලීමක් වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝගී ජනතාවකට ප්‍රතිකාර කිරීමෙන් වැළැකී ඔවුන්ව තමන්ගේ පලිහක් වශයෙන් වෛද්‍යවරුන් විසින් පාවිච්චි කරනු ලැබීම, ප්‍රභාකරන්ගේ ඉහත කී විධි ක්‍රමයට වෙනස් වන්නේ කෙසේද?"

-අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (අංක 4)


"අද වන විට සමස්ත වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව සිය ග්‍රහණයට ගෙන ඇති මේ වෛද්‍ය වෘත්තීය සමිතිය, අසරණ ශිෂ්‍යයන්ව තමන්ගේ දේශපාලනික අභිමතාර්ථ සඳහා වන මිනිස් බිලි පූජාවක් සේ ගෙන යාගයක් කරති. හරියට, එදා ප්‍රභාකරන් විසින් තිලීපන්ව පාවිච්චියට ගත්තා සේ ය."

-රජයේ වෛද්‍ය පීඨ සිසුන්ට 'යෝනිසෝ මනසිකාරය' පහළ වන්නේ කවදාද?- 2017.06.11


මෙහිදී වියන්ගොඩ උත්සාහ දරනුයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ප්‍රභාකරන්ට සමාන කිරීමටය. මෙකී සංසන්දනයට පෙර ඔහු ප්‍රභාකරන් යන ප්‍රපංචය තේරුම්ගත යුතු යැයි ඔහු සිතන රාමුවක් තුළ විචක්ෂණ ලෙස පාඨකයාගේ මනස සිරකරයි. එනම් ප්‍රභාකරන් යනු තමන්ගේ පටු දේශපාලන අරමුණු සඳහා තිලීපන් නැමැති පරිත්‍යාගශීලි මිනිසා හෝ සාමාන්‍ය දෙමළ ජනතාව අවස්ථාවාදී ලෙස උපයෝගී කරගනිමින් බිලි දුන් කුරිරු පුද්ගලයෙකු ලෙස ප්‍රවාදයක් ගොඩනැගීමයි. මෙය අලුත් දෙයක් හෝ සිංහල මනස සමග කිරීමට අපහසු ක්‍රීඩාවක් නොවේ. එහි ඇත්තේ තිලීපන්ගේ ගේ පරිත්‍යාගය හෑල්ලු කිරීම සඳහා මෙන්ම ප්‍රභාකරන් සහ දෙමළ අරගලය ද සිංහල සමාජය හමුවේ යකෙකු ලෙස මවා පෙන්වීමට සිංහල ජාතිවාදීන් ඉතිහාසය පුරාම වැපිරූ අවලාදයන් ප්‍රතිරාවය කිරීමක් පමණකි. ඔහු මෙහිදී ඉතාම හොඳ සිංහල ප්‍රගතිශීලියා තුළ වුවද ප්‍රභාකරන් පිළිබඳ වන සිංහල ස්ථාවරය, එනම් දෙමළ විරෝධී ජාතිවාදී ආකල්පවලින් ඔද්දල්ව ඇති සිංහල සමාජයට මේ දක්වා හමුව ඇති දුෂ්ටත්වයේ සහ කෲරත්වයේ පරම සංකේතය ලෙස ප්‍රභාකරන් පිළිබඳව ඇති ආකල්පය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් එනයින් සයිටම් විරෝධී අරගලයත් යක්ෂාවරූපනය සඳහා යොදාගනී. ගාමිණි වියන්ගොඩගේ මේ විදග්ධ සන්සන්දනය කොයි තක්කඩියත් සිය අවසාන ගැළවුම සොයාගන්නේ ජාතිවාදය තුළ යැයි යන කියමන සනාථ කරන අපූරු නිදසුනකි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ අයුරින් තම "පටු කුහක අරමුණු" ඉටු කර ගැනීම සඳහා ශිෂ්‍යයන් බිල්ලට දෙන්නේ යැයි යන මතය ශක්තිමත් කරනු සඳහා කේ. ඩබ්ලිව්. ජනරංජන සහ ගාමිණි වියන්ගොඩ යන සයිටම්වාදී දෙබෑයන් විසින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ විෂයයන් දෙකකට එය සමාන කරයි. මෙය තමන්ගේ හිතළු තම අධිකාරය සහිත පුවත්පත් පිටුමත ඔහේ වැමෑරීමක් මිසෙක තවත් අයෙකුට නැවත විමර්ශනය කළ හැකි ලෙස විද්‍යාත්මක පදනමකින් ගොඩ නංවන ලද්දක් නොවේ.

තමන්ගේ සන්සන්දනයට යටත්වන්නා වූ විෂයන්ගේ සුවිශේෂිතා, සමානකම්, වෙනස් කම්, අන්තර් සම්බන්ධතා සහ ඓතිහාසික විකාශනය පිළිබඳ වාස්තවික අධ්‍යයනයකින් තොරව කෙරෙන මෙවැනි වාචාල දෙඩවිලි විසින් අදාළ ගැටළුව තේරුම් ගැනීමට කිසිදු සේවයක් ඉටු නොකරයි. එයට ප්‍රතිපක්ෂව එය විසින් ව්‍යාකූලතාවයක් නිර්මාණය කරයි. ගැටළුවලට අදාළ සැබෑ හේතු සාධක තම මතයට පිටුබලයක් නොසපයන විට නැතහොත් ඒවා අවබෝධ කර ගැනීමට අසමත්වන විට සාර සංග්‍රහවාදියාගේ ප්‍රියතම උපක්‍රමය වනුයේ මෙවැනි ව්‍යාකූලතාවයක් නිර්මාණය කර ඒ තුළ සැඟ වී ප්‍රතිවාදීන් වෙත ගල් මුල් කුණු කසල විසි කිරීමයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඔවුන් ගේ මෙම දැඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ එය විසින් සයිටම් ආයතනයට එරෙහිව ගන්නා ලද ස්ථාවරයන් නිසාය. එම සංගමය සයිටම් ආයතනයට පක්ෂපාතී ස්ථාවරයක් ගත්තේ නම් ඔවුන්ගේ කුහක කම් අවස්ථාවාදි කම් ගැන අපට සයිටම්වාදින්ගෙන් මෙතරම් අසන්නට නොලැබෙනු ඇත. ඒ හරියටම, වත්මන් රජයේ සිටින එකම දූෂිතයා විජේදාස රාජපක්ෂ පමණක් නොවන අතර පසුගිය කැබිනට් ඇමැති මාරුවේදී ඔහුගේ ඇමැතිකම අහිමි නොකිරීම ගැන ප්‍රශ්න කරන්නවුන් රාජිතලා සහ රවි කරුණානායකලා ඇතුළු සෙසු චෞරයන් ගැන ඇතැමුන් නිහඬව සිටින පරිදිය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ දේශපාලනය හෝ රජයේ වෛද්‍යවරුන්ගේ පුද්ගලික සායනයන් සහ ඒවායේ සිදු කෙරෙන සූරාකෑම් ගැන හෝ සමාජයේ මතයක් මතු කළ යුත්තේ සයිටම් නැමැති දූෂිත ආයතනයට එරෙහිව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හෝ වෛද්‍යවරුන් විසින් ගෙන යන අරගලය ට එරෙහිව ආයුධයක් ලෙසින් යොදාගැනීමට නොවේ. එය දේශපාලන අවස්ථාවාදයයි. අද සයිටම් ප්‍රශ්නය හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගෙමින් පවතිනවා සේම, ඉදිරියේදී රජය විසින් සිදු කරමින් සිටින සෞඛ්‍ය කප්පාදුව විසින් පුද්ගලික රෝහල් සහ රජයේ වෛද්‍යවරුන්ගේ පුද්ගලික සායන ගැන ද ඉදිරියේ දී සමාජය තුළ සංවාදයක් සහ විරෝධතාවන් මතුකරනු ඇත.

ඉහත දක්වන ලද සංසන්දනයන් තුළ ජනරංජන සහ වියන්ගොඩ දෙදෙනාම මතුකරන කරුණක් නම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් උසිගන්වා සිසුන්ව බිල්ලට දීමට යවන බවයි. අරගලයේ නිරත සිසුන් මෝඩයන් සහ අමනයන් ලෙස මවාපෑමට මේ දෙදෙනාම කැමැති බැව් අපි දනිමු. නමුත් සිසුන් පවසන්නේ කුමක් දැයි යන්න ගැන මදක් විමසා බැලීමෙන් වරදක් සිදු නොවනු ඇත.



වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් විසින් ජේ.ඩී.එස්. වෙබ් අඩවිය සමග කරන ලද සංවාදයක කොටසකි.

"ඔබේ පිළිතුරෙන් වෙනත් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් සයිටම් ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය වෙනුවෙන් පෙනී සිටින පිරිස් නගන එක් තර්කයක් වන්නේ පෞද්ගලික වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි නම් රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවාවන්වල යෙදීමත් වැරදි බවයි. වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස ඒ සම්බන්ධව ඔබලා දරනුයේ කවර මතයක්ද?

ජයලත්- අපි අහන්නේ මේකයි: වෛද්‍ය වෘත්තිය විකිණීම වැරදියි කියන අය වෛද්‍ය අධ්‍යාපනය විකිණීමට පක්‍ෂ වෙන්නේ ඇයි? වෛද්‍ය වෘත්තිය වෙළඳ පොළ තර්කනයට ගොදුරුවීමට පිළිතුර වෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයත් වෙළඳපොළ තර්කනයට යටත් කිරීමද? සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරිමට අපි විරුද්ධයි වගේම වෛද්‍යවරු මුදලට තම වෘත්තිය විකුණන එකත් අපි අනුමත කරන්නෙත් නෑ. සෞඛ්‍ය මුදලට විකිණීම ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් ගත්ත තීන්දුවක්. අධ්‍යාපනය සම්බන්ධයෙන් වගේම සෞඛ්‍ය විකිණීමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහටයි දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ. පහුගිය අයවැයෙන් යෝජනා කෙරුණා රජයේ රෝහල්වල ගෙවන වාට්ටු හදන්න පෞද්ගලික අංශයට ඉඩ දෙන්න. වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවන්වල නිරතවෙන්න දිරි ගන්වන වෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා තියෙන්නෙත් මේ රටේ පාලකයෝම තමයි. කොහොම වුණත් අපි වෛද්‍යවරුනටත් කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන් ද කැපවිය යුතු යි කියලායි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව හැටියට අපි වෛද්‍ය පීඨවල දැනටත් මේ සම්බන්ධයෙන් මතවාදි අරගලයක් කරමින් ඉන්නේ."

-'සයිටම් යනු අධ්‍යාපනය පුද්ගලීකරණ සැලැස්මක නියමු ව්‍යාපෘතියයි'- රයන් ජයලත්, ජේ.ඩී.එස්.


ශිෂ්‍යයන් තම අරගලය ගැන ප්‍රමාණවත් දැනුවත්භාවයක සිටින බවත් ඔවුන් මෙම අරගලයේ නිරතව සිටිනුයේ කිසිවෙකුගේ උසිගැන්වීමකට හෝ වශී ගුරුකමකට ගොදුරු වූ අමනයන් පිරිසක් ලෙස නොවන බවත් මෙමගින් පැහැදිලිවනු ඇත.

කේ. ඩබ්ලිව්. ජනරංජන මෙසේ ද ලියයි.

"සෑම මතවාදී ස්ථරයක්ම ධ්‍රැවීකරණයට ලක්කරමින් තිබෙන්නේ සයිටම් පක්‍ෂ හා සයිටම් විරෝධී යන අන්ත දෙක මතය. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් කී, ‘එක්කෝ ඔබ අප සමඟය, නැතිනම් සතුරා සමඟය’ යන යෙදුම ලංකාවේදී ප්‍රසිද්ධියේ යොදාගත්තේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා, 2009 යුද ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව අමතා කළ කතාවේදීය. දැන් අවුරුදු අටකට පසු ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයත් ඒ කතාවම අලුත් වටයකින් පුනරුච්චාරණය කරයි. ඔවුන්ට අනුව, තිබෙන්නේ සයිටම් පක්‍ෂය හා සයිටමයට විරුද්ධ පක්‍ෂය පමණකි. ඔවුන්ගේ මතය කොන්දේසි විරහිතව පිළිගන්නා අය සයිටමටයට විරුද්ධ, ප්‍රගතිශීලීහුය. ඔවුන්ගේ මතයට වෙනස් මතයක් දරන හා විවේචනයක් ඉදිරිපත් කරන අය, සයිටම්වාදී, නිදහස් අධ්‍යාපනයේ මිනීවළ කපන්නෝය."

නැවතත් පැරණි වර්ගයේම සන්සන්දනයකි. මෙවර එය ගෝලීය මට්ටමට ගෙන ගොස් තිබේ. ප්‍රභාකරන් සහ මහින්ද රාජපක්ෂට අමතරව දැන් ජෝර්ජ් බුෂ්ව ද සයිටම් නඩුවේ සාක්කි කරුවෙකු ලෙස නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් කැඳවා තිබේ. ජනරංජනට අනුව දැන් මේ "කලා පීඨවල ගැමි සිසුන්" ඉරාකයේ සමූල සංහාරක අවි ඇතැයි කියමින් එක්සත් ජාතින්ගේ සංවිධානය ද නොමග යවමින් ඉරාකය ආක්‍රමණය කරමින් මිලියනයක් පමණ ජනතාව ඝාතනය කළ ජෝර්ජ් බුෂ්ටත් සමානය. මේ සයිටම් විරෝධී සිසුන් වූකලී අධිරාජ්‍යවාදී ජෝර්ජ් බුෂ්ගෙන් ද, ජාතීවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂගෙන් ද පැසිස්ට්වාදී ප්‍රභාකරන්ගෙන් ද ආභාෂය ගුරුහරුකම් සහ සටන්පුහුණුව ලැබූවෝ වෙති. ඉතින් සයිටම්වාදී වාමාංශිකයන්ට තමන්ගේ ස්ථාවරය නිවැරදියැයි තමන්ටම ඒත්තු ගන්වා ගැනීමට මීටත් වඩා හේතු අවශ්‍ය වේද? ඔවුන්ට "එකම වහලක් යටදී" වැඩි වෙහෙසකින් තොරවම ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට ද, සිංහල ජාතිවාදයට සහ ඒකාධිපතිවාදයට ද දෙමළ පැසිස්ට්වාදයට ද විරුද්ධ වීමට අවස්ථාවක් සයිටම් ආයතනයට සහාය දැක්වීමෙන් උදා කරගත හැකිය.

සයිටම්වාදීන්ගේ මධ්‍යස්ථ වෙස්මුහුණු

මෙම ඡේදයේ දී "ඔවුන්ගේ මතයට වෙනස් මතයක් දරන හා විවේචනයක් ඉදිරිපත් කරන අය" යනුවෙන් කේ. ඩබ්ලිව්. ජනරංජන කර ඇති සඳහන කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය.

මෙහිදී ඔවුන්ගේ එනම් සයිටම් විරෝධී සිසුන්ගේ කුමන මතයට අදාළව ඉහත කී පිරිස් වෙනස් මතයක් දරන්නේදැයි යන්න හෝ විවේචනය කරන්නේ දැයි යන්න කේ. ඩබ්ලිව්. ජනරංජන නිශ්චිතව පැහැදිලි කරන්නේ නැත. ඒ ඔවුන් සයිටම් හෝ අධ්‍යාපන පෞද්ගලිකරණය සම්බන්ධයෙන් දරන මතය ලෙස උපකල්පනය කළහොත් එය නියෝජනය වන සටන්පාඨ වන්නේ "සයිටම් අහෝසි කරනු!" සහ "අධ්‍යාපනය පුද්ගලීකරණය නොකරනු!" යන ඒවා බව දැකිය හැකිය. සයිටම් අහෝසි කරනු යන සටන්පාඨය විසින් නියෝජනය කරන මතවාදී ධාරාවට යම් සම්මුතියකට එළැඹීය හැකි වෙනස් මතවාද ලෙස සැළකිය හැක්කේ සයිටම් අහෝසි කිරීමේ මුලික එකඟතාව ඇති මුත් සෙසු අවශේෂ කරුණු ගැන සාපේක්ෂව වෙනස් මතවාදී ධාරාවන්ය. නමුත් ඒ සියලු මතවාදයන් සයිටම් අහෝසි කරනු යන ප්‍රධාන මතවාදයට යටත් ඒවා වේ. එයට ප්‍රතිපක්ෂව සයිටම් අහෝසි නොකළ යුතුය යන මතය යම් කිසි පිරිසක් දරන්නේනම් ඒ මතය මුලින් කී පරිදි සිසුන් දරන මතය සමග සම්මුතියකට එළැඹීය හැකි වෙනස් මතයක් නොව හරයෙන්ම එහි ප්‍රතිවිරුද්ධ මතයයි. එහෙයින් සයිටම් අහෝසි කළ යුතු යැයි යන මතයේ සිටින බලවේග සයිටම් විරෝධීන් ලෙස හැඳින්වීම නිවැරදි වනවා සේම සයිටම් පවත්වාගෙන යායුතුයි යන මතයේ සිටින අය සයිටම්වාදීන් ලෙස හැඳින්වීම ද දේශපාලනිකව නිවැරදිය. එහෙයින් තමන් සයිටම්වාදීන් ලෙස හැඳින්වීම ජනරංජන විසින් නාහෙන් ඇඬීමට හේතුවක් කරගත යුතු නොවේ.

අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව සිසුන් දරන මතයට අදාළව ද එය වලංගුය. එහි දී සම්මුතියකට එළැඹිය හැකි වෙනස් මතවාදයන් ලෙස සැළකිය හැක්කේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවීමේ මූල ධර්මය තුළ අදාළ සෙසු කාරණා පිලිබඳ දරන පාර්ශ්වීය ලෙස වෙනස් මතවාදයන්ය. අධ්‍යාපනයේ නිදහස නම් ලස්සන සටන්පාඨය ඉදිරිපත් කරන්නවුන්ගේ මතය වනුයේ මුදල් ඇති අයට අධ්‍යාපනය මිලදී ගැනීමට නිදහස තිබිය යුතුය යන්නයි. එනම් අධ්‍යාපනය පෞද්ගලීකරණයට ඉඩ දිය යුතුයි යන්නයි. එය සිසුන් දරන මතයට වෙනස් මතයක් නොව ප්‍රතිවිරුද්ධ මතයයි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පෞද්ගලික ආයෝජකයන්ට ඉඩ දිය යුතුයි යන මතය මේ බොහෝ දෙනෙකු ප්‍රතිරාවය කරන බව අපි දනිමු. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය තුළ නිදහස් අධ්‍යාපනය අහෝසි වෙමින් යන ආකාරය ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම සෙසු වෘත්තීය සමිති ද විග්‍රහයන් ඉදිරිපත් කොට ඇති අතර ඔවුන්ගේ දේශපාලන ක්‍රියාමාර්ග පදනම් වනුයේ එම විග්‍රහයන් මතය. එහෙයින් අධ්‍යාපනය පෞද්ගලිකකරණයට ඉඩදිය යුතු ය යන ස්ථාවරය දරන පිරිස් තම මතය සමග සම්මුති සහගත විය හැකි ආකාරයේ වෙනස් මතයක් දරන්නවුන් නොව එයට ප්‍රතිවිරුද්ධ මතයක් දරන්නවුන් ලෙස සහ ඔවුන් නිදහස් අධ්‍යාපනයේ මිනීවළ කපන්නවුන් ලෙස සිසුන් විසින් හඳුනාගැනීම දේශපාලනිකව අතිශයින් නිවැරදිය. අරගලයකදී තම සටන්පාඨ වල නිරවුල් භාවය මෙන්ම තමන් සටන් කරන්නේ කවර මතවාදයන්ට එරෙහිවද යන්න ගැන නිරවුල් සහ සෘජු වැටහීමක් තිබීම අත්‍යවශ්‍ය කාරණයකි.

කේ. ඩබ්ලිව්. ජනරංජන "සයිටම් ගැන වචනයක්වත් කතා නොකරන හෝ සයිටම් ගැන විවේචනය කරන හෝ, එහෙත් අධ්‍යාපනයේ නිදහස ගැන කතාකරන කිසිවෙක් වෙත් නම් කිසිම පැකිළීමක් නැතිව දමන්නේ සයිටම්වාදී පිලටය." යනුවෙන් චෝදනා මුඛයෙන් සඳහන් කරයි. "යහපාලනය" නම් වචනයක් නිර්මාණය කොට මහින්ද රාජපක්ෂ පාලනයේ සිටි චෞරයන් සහ මිනීමරුවන් කොටසක් සමාජය හමුවේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිරූප ලෙස බෞතීස්ම කළවුන්ම සයිටම් ආයතනය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටීමේදී තම මතය සමාජගත කරනු වස් "අධ්‍යාපනයේ නිදහස" යන සුන්දර වචනවලින් සමන්විත සංකල්පයක් නිර්මාණ කළ බව දැන් කිසිවෙකුට රහසක් නොවේ. සයිටම් අර්බුදයේදී තමන් තම සැබෑ ක්‍රියාකාරිත්වය තුළ නොදැක් වූ මධ්‍යස්ථභාවයක් සෙස්සන්ට අන්තවාදීන් ලෙස චෝදනාකිරීමෙන් මවාපෙන්විය නොහැකි බව කේ. ඩබ්ලිව්. ජනරංජන වටහා ගත යුතුය.

මධ්‍යස්ථවාදීන් ලෙස පෙනී සිටීමට කැමැති යමෙකු අපට අන්තවාදීන් ලෙස චෝදනා කරන්නේ නම් අප වටහා ගත යුත්තේ අප විසින් දැනටමත් ඔහුගේ හෝ ඇයගේ ව්‍යාජ මධ්‍යස්ථවාදයේ වෙස්මුහුණට බරපතල ලෙස හානි කරමින් ඔවුන් නිරාවරණය කර ඇති බවයි. එහෙයින් ඔවුන්ගේ නහයෙන් ඇඬිලි ගැන කිසිවෙකු කලබල විය යුතු නොවේ. ලෝකය කළු සහ සුදු ලෙස දැකිය නොයුතු යැයි ද අළු පැහැති කලාපයන් ද එනම් සම්මුතියේ කලාපයන් ද ඇතැයි මේ අතර සමහරුන් නොවත්වා උපදෙස් දෙති. එහෙත් ඔවුන් නොදන්නා දෙයනම් වඩාත් සුපරීක්ෂාකාරී ව විමසා බැලුවහොත් අළු පැහැති කලාපයන් තුළ ද ඇත්තේ කළු සහ සුදු අංශු හෝ පික්සල් වල වෙනස් ප්‍රතිශතයන් පමණක් බවයි.

පහත දැක්වෙන්නේ සයිටම් අර්බුදය සහ අධ්‍යාපන පුද්ගලීකරණයට අදාළව රාවය පුවත්පතේ පක්ෂව සහ විපක්ෂව පළවූ ලිපි සහ විශේෂාංග ලැයිස්තුවයි. මෙහිදී කලාප 9ක් සැළකිල්ලට ගනු ලැබූ අතර මෙම කළාප 9 තුළ සමස්තයක් ලෙස අඩුවැඩි වශයෙන් පිටු 9ක් මෙම තේමාව උදෙසා වෙන් කර තිබිණි. මෙයින් පිටු 7.33ක් හෙවත් පිටු 9 ඉඩ ප්‍රමාණයෙන් 81.44%ක් වෙන් කර තිබුනේ අධ්‍යාපනයේ නිදහස එනම් අධ්‍යාපනය පුද්ගලීකරණය සහ සයිටම් ආයතනය දිගටම පවත්වාගත යුතුය යන ස්ථාවරය වෙනුවෙනි. සයිටම් විරෝධී සහ අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහි ස්ථාවරය වෙනුවෙන් වෙන්ව තිබුනේ පිටු 1.66ක් නැතහොත් 19.66%ක් පමණි. සයිටම්වාදීන් විසින් භාවිතා කරන ලද මෙම පිටු 7.33 න් පිටු 3ක්ම එනම් 40.95% ක් වෙන්ව ඇත්තේ ගාමිණි වියන්ගොඩගේ සයිටම්වාදී ප්‍රචාරක ව්‍යාපෘතියටය. එක් පිටුවක ඉඩ එනම් 14.3%ක් කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් භාවිතා කර තිබේ.

එම ලිපි ලැයිස්තුව පහත දැක්වේ.

අධ්‍යාපනයේ නිදහස හෙවත් අධ්‍යාපනය පුද්ගලීකරණය වෙනුවෙන් සහ සයිටම් ආයතනය පවත්වාගත යුතුය යන ස්ථාවරය වෙනුවෙන් රාවය පුවත්පතේ පළ කරන ලද කතුවැකි තීරු ලිපි, ආරාධිත ලිපි, සහ සම්මුඛ සාකච්ඡා-

2017.06.11-
රජයේ වෛද්‍ය සිසුන්ට යෝනිසෝ මනසිකාරය පහළවන්නේ කවදාද?- ගාමිණි වියන්ගොඩ
නිදහස් අධ්‍යාපනය සහ මහපොළොවේ යථාර්ථය- මහාචාර්ය සරත් විජේසූරිය

2017.05.28-
ශිෂ්‍යයනට ඥානය දෙන්නේ කවුරුද?- කේ. ඩබ්ලිව්. ජනරංජන
කොතලාවල වෛද්‍ය පීඨයට වෛද්‍යවරුන්ගේ සංගමය විරුද්ධ නොවුණේ ඇයි?- ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

2017.05.21-
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටැලවිල්ල 8- ගාමිණි වියන්ගොඩ
ශිෂ්‍ය ව්‍යාපාරය නම් කවන්ධය- කේ.ඩී. ජනරංජන
වෛද්‍යවරුන්ට ඇත්තේ ත්‍රස්ත ප්‍රවේශයක්- ලාල් විජේනායක

2017.05.14-
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටැලවිල්ල 7- ගාමිණි වියන්ගොඩ
සයිටම් එරෙහි වර්ජන ප්‍රජාතන්ත්‍ර විරෝධීයි- මහාචාර්ය රොහාන් සමරජීව
නලින්ගෙන් දොස්තර දොස්- ඉතිරි කොටස- අරුණ ජයවර්ධන
මෙවැනි වර්ජන සමාජයට එරෙහි අපරාධයි- වෛද්‍ය සරත් ගාමිණි සිල්වාගෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ලියුමක්

2017.05.07-
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටැලවිල්ල 6- ගාමිණි වියන්ගොඩ
වෛද්‍ය මාෆියාව ඉල්ලන මස් රාත්තල- කතුවැකිය

2017.04.23-
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටැලවිල්ල 4- මට ඇසීමට ප්‍රශ්න තුනක් තිබේ- ගාමිණි වියන්ගොඩ

2017.04.09-
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටැලවිල්ල 3- ගාමිණි වියන්ගොඩ

2017.04.02
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටැලවිල්ල 2- ගාමිණි වියන්ගොඩ

2017.03.26
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටැලවිල්ල 1- ගාමිණි වියන්ගොඩ



සයිටම් අර්බුදයට අදාළව මතු වූ සිදුවීම් ගැන දෙපාර්ශ්වයේම අදහස් විමසන ලද විශේෂාංග-

2017.06.04-
වෛද්‍ය සිසු වර්ජනය නිසා අළුත් වෛද්‍යවරු බිහි නොවන හැඩ- රේඛා නිලුක්ෂි හේරත්

2017.05.28
උද්ඝෝෂණවලට පහරදීම- තරිඳු උඩුවරගෙදර



අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහි සහ සයිටම් විරෝධී ස්ථාවරයෙන් සිදු කරන ලද අදහස් දැක්වීම්-

2017.06.04-
අධ්‍යාපනය පෞද්ගලිකරණයේ දුර්වල ලක්ෂය තමයි සයිටම්- සුමනසිරි ලියනගේ


මේ තමන් ආන්තිකකරණයට ලක්කොට ඇතැයි සෙස්සන්ට චෝදනා නගන, තමන් ඉතා අසාධාරණ අන්තවාදී, කුහක ප්‍රචාරක ක්‍රියාදාමයක අනුකම්පා කටයුතු ගොදුරක් බවට පත්ව ඇතැයි කියන රාවයේ සයිටම්වාදීන් මේ ප්‍රශ්නයේදී විහින් ආන්තිකකරණයට ලක්ව ඇති ආකාරය ගැන ද්‍රව්‍යමය සාක්ෂි වේ.

සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව් ජනරංජන

"සයිටම් ගැන වචනයක්වත් කතා නොකරන හෝ සයිටම් ගැන විවේචනය කරන හෝ, එහෙත් අධ්‍යාපනයේ නිදහස ගැන කතාකරන කිසිවෙක් වෙත් නම් කිසිම පැකිළීමක් නැතිව දමන්නේ සයිටම්වාදී පිලටය. ඒ අයට අනුව, ඒ අයගේ වැඩවර්ජන හෝ උද්ඝෝෂණවලට හැම දෙනාම කොන්දේසි විරහිතව පක්‍ෂ විය යුතුය. වැඩවර්ජන අයිතිය හා උද්ඝෝෂණ අයිතිය මහජනතාවටත් වැඩකරන ජනතාවටත් ඇති යුක්ති සහගත අයිතියක්ය (එහෙත් එය කිසිම සීමාවක් නැති පරම අයිතියක් නොවේ) යන අදහස පිළිගනිමින් හා ගරුකරමින් නමුත්, වර්තමානයේ සිදුවන වැඩවර්ජන හා උද්ඝෝෂණ රැලි ගැන කිසියම් විවේචනයක් කරනවුන් ද කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව තල්ලු කර දමන්නේ සයිටම් ගොඩටය. එතැන් සිට, වැඩ වර්ජන හා උද්ඝෝෂණ මර්දනයට ‘මතවාදී පිටුබලය’ සපයන්නන් බවට ඔවුහු ආන්තිකකරණය කෙරෙති."

කිසියම් වෘත්තීය සමිතියක් තම වෘත්තීය සම්බන්ධයෙන් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන්නේ අදාළ බලධාරින් සමග සාකච්ඡා ක්‍රියාමාර්ගවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති තැනය. බොහෝ විට බලධාරීන් ගැටළුව සාකච්ඡා කිරීමට පවා එකඟ වන්නේ වැඩවර්ජන ක්‍රියාදාමයකින් පසුව බව පසුගිය කාලය පුරා රාජ්‍ය සහ පුද්ගලික අංශවල සිදුවූ වැඩවර්ජන විමසා බැලීමෙන් වටහාගත හැකිය. වැඩවර්ජනයක් හේතුවෙන් අපහසුතාවට පත්වන පිරිස් වැඩවර්ජකයාට එරෙහිව යෙදවීමට බලධාරින් විසින් භාවිතාකිරීම අද ඊයේ සිට සිදුවන දෙයක් නොවේ. දුම්රිය හෝ බස් රියැදුරන් වැඩ වර්ජනය කරන විට අපහසුතාවට පත්වන්නේ මගීන්ය. මේ මගින් අතර සෙසු ආයතනවල සේවය කරන පිරිස් එනම් කම්කරුවන්, කාර්යාල සේවකයන්, ගුරුවරුන්, පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්, සහ සමාජයේ සෙසු පිරිස් සිටිති. ඔවුනට මෙම වැඩවර්ජනයේ යුක්ති සහගතභාවය පිළිබඳ වැටහීමක් නැත්නම් සහ ඔවුන් එම වැඩවර්ජනයට දේශපාලනිකව එරෙහිවන්නේ නම් ඔවුහු පහසුවෙන් වැඩවර්ජනය කඩාකප්පල් කිරීමේ බලධාරීන්ගේ ක්‍රියාමාර්ග හා සමාන්තරව ගමන් කරමින් එයට එරෙහි ප්‍රචාරක ක්‍රියාදාමයට දැනුවත්ව හෝ නොදැනුවත්ව සහභාගිවෙති. ගුරුවරුන් වැඩ වර්ජනය කරන විට ඉහත කී දුම්රිය රියැදුරන් ද ඇතුළු සෙස්සන් ගෙන් බහුතරයක් (සිසුන් හැර) තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරතැයි කියමින් වැඩවර්ජනයට එරෙහි රජයේ සහ අධ්‍යාපන බලධාරින්ගේ ප්‍රචාරක ක්‍රියාදාමය ට හවුල්වී වර්ජනය කඩාකප්පල් කිරීමට වක්‍රව දායක වේ. තමන්ගේ සහ සෙසු අයගේ වෘත්තිය නීත්‍යානුකූල වෘත්තීය අයිතීන් පිළිබඳව අවබෝධයක් නැති එනිසාම තමන්ගේම වෘත්තී අරගලයන් හැරෙන්නට සෙසු සියළු අරගල කඩාකප්පල්කාරී හා දේශපාලන කුමන්ත්‍රණ ලෙස දැකීමට හුරුව ඇති අපේ වැනි සමාජයක මෙවැනි පිරිස් තම උවමනාවන් වෙනුවෙන් භාවිතා කිරීමට බලධාරීන්ට සහ ඔවුන්ගේ තැරැව්කරුවන්ට පහසුවෙන් හැකිය.

"...වැඩවර්ජන අයිතිය හා උද්ඝෝෂණ අයිතිය මහජනතාවටත් වැඩකරන ජනතාවටත් ඇති යුක්ති සහගත අයිතියක්ය (එහෙත් එය කිසිම සීමාවක් නැති පරම අයිතියක් නොවේ.) යන අදහස පිළිගනිමින් හා ගරුකරමින්..." යනුවෙන් කරන සඳහන හාස්‍ය ජනකය. ඔව් මහත්වරුනි! සයිටම් ප්‍රශ්නයේදී ඔබලා මේ අයිතිවාසිකම්වලට ගරු කර ඇති ආකාරය රාවය පුවත්පතේ ඔබලා නැවත නැවතත් වර්ජකයන්ට එරෙහිව ගෙන වෛරී ව්‍යාපාරය තුළින් සනාථ කර තිබේ. ඔබලාට "සයිටම්වාදීන්" ලෙස හෝ "වර්ජන මැඩීමට මතවාදී ආධාර දෙන්නන්" ලෙස හෝ කිසිවෙකු විසින් චෝදනා කොට ඔබලාගේ අහිංසක ලපටි සිත් සතන් රිදවා ඇත් නම් සියක් වාරයක් සමාවන්න.

කිසියම් වැඩවර්ජනයකදී යම් වෘත්තීය සමිතියක සමස්ත නායකත්වය හෝ සාමාජිකත්වය තමන් ජීවත්වන සමාජය සමග තමන්ට ඇති සාමාජීය සහ මානුෂික ඇති බැඳීම් මුළුමණින්ම නොතකා හැර කිසිදු සදාචාරාත්මක වගකීමකින් තොරව හුදෙක් තම ඉල්ලීම් දිනාගැනීමට පමණක් අරමුණු කොට කටයුතු කරන්නේ යැයි පැවසීම බලධාරීන් විසින් වර්ජකයන්ට එරෙහිව යොදාගනු ලබන බාල ප්‍රචාරක පාඨ ප්‍රතිරාවය කිරීමක් මිසක අන් කිසිවක් නොවේ. අනෙක් අතට වැඩවර්ජන හෝ උද්ඝෝෂණ මගින් මගින් කිසියම් අරගලයක් ඉදිරියට ගෙන යන විට එම අරගලයට දේශපාලනිකව එරෙහිවන්නන් විසින් එහි "සදාචාරාත්මක සීමාවන්" මතක් කරදීමට යාම තරම් තවත් විහිළුවක් නැති බව කිව යුතුය.

ගාමිණි වියන්ගොඩලා කේ. ඩබ්ලිව්. ජනරංජනලා වර්තමානයේ සිදුවන වැඩවර්ජන හා උද්ඝෝෂණ රැළි වලට එරෙහි වන හේතු ගණනාවක් තිබේ. පොදුවේ ගත් කළ තමන් විසින් ගොඩනගන ලද යහපාලන මිථ්‍යාව තුළ සමාජය තවදුරටත් සිරකර තබාගැනීමට අවශ්‍ය වීම පළමු හේතුවයි. බහුජන ක්‍රියාකාරකම් විසින් යහපාලන මිථ්‍යාව අඛණ්ඩව පරීක්ෂණයට ලක් කරනු ඇති අතර අවසානයේ එය පුපුරුවා හරිනු ඇත. එවිට එම සංකල්පවල පිතෘවරුන් දේශපාලනිකව නන්නත්තාර වීම වැළැක්විය නොහැකිය. අනෙක් අතට අධ්‍යාපන පුද්ගලීකරණයට එරෙහිව සහ සයිටම් ආයතනයට එරෙහිව දියත්වන අරගලයේ ක්‍රියාමාර්ග ලෙස දියත්වන වැඩවර්ජන සහ උද්ඝෝෂණවලට එරෙහිවීමට අතිශය ප්‍රබල හේතුවක් තිබේ. ඒ ඔවුන් සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින නිසාත් අධ්‍යාපනය පුද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින නිසාත්ය. ඔවුහු ඒ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරති.

පළමුව, ඔවුහු සයිටම් ප්‍රශ්නයට අදාළ වැඩවර්ජන වලට කිසිදු යුක්ති සහගත පදනමක් නැතැයි යනුවෙන් ප්‍රචාරය කරති. වැඩවර්ජනයට අදාළ සත්‍ය හේතූන් විකෘති කරති. නැතහොත් හිතාමතා වසන් කරති. අප මෙම ලිපියේ ආරම්භයේ සාකච්ඡාවට ලක් කළ මැයි 22 දින නියමිතව තිබූ පැය 4ක වෛද්‍ය වැඩවර්ජනය සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරයත් සමග එක් දින වැඩවර්ජනයක් දක්වා දිගුකිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගත් තීරණය පිලිබඳ සිදුවීම ගැන නැවත අවධානය යොමු කරන්න. වියන්ගොඩට සහ කේ.ඩබ්ලිව් ජනරංජනට අනුව එහි වැඩවර්ජනයක් කිරීමට කිසිදු හේතුවක් නැත. වැඩවර්ජනවල අසාධාරණත්වය හුවා දක්වමින් මහා මානුෂිකත්වයක් තමන්ටම ආරෝපණය කරගනිමින් පිටු ගණන් පල්හෑලි ලියන මේ මහත්වරුන්ගේ ලිපි තුළ වැරදීමකින් හෝ එකම වරක්වත් වැඩවර්ජකයන්ගේ ඉල්ලීම් ගැන සඳහන් නොවීම අහම්බයක් නොවේ.

දෙවැන්න මෙම වැඩවර්ජන සහ උද්ඝෝෂණ පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණක් පිළිබඳව භීතියක් මවා පෑමයි. බලයෙන් පලවා හරින ලද රාජපක්ෂ කල්ලිය සයිටම් විරෝධය හරහා යළි බලය ඇල්ලීමට වෑයම් දරන බව ප්‍රචාරය කරමින් රාජපක්ෂ විරෝධය, සයිටම් ආයතනයට සහ අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහි සමාජ ව්‍යාපාරයට එරෙහි විරෝධයක් බවට පත් කිරීම එහි අරමුණයි. දැනුවත් බහුජන බලවේග මේ පුද්ගලීකරණ විරෝධී සමාජ ව්‍යාපාරය වටා එක්වන පරිමාණයට රාජපක්ෂලාට මෙවැනි අරගල සිය බල උවමනාවන් වෙනුවෙන් භාවිතා කළ නොහැකි වනු ඇත.

තෙවැන්න වැඩ වර්ජන සහ උද්ඝෝෂණ හේතුවෙන් ඇතිවන පීඩාකාරී තත්ත්වයෙන් අපහසුතාවට පත්වන ජනතාව තුළ මතුවන විරෝධය වැඩවර්ජකයන්ට සහ උද්ඝෝෂකයන්ට එරෙහිව යොදවයි. ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු තැකීමක් නොකරන පාලකයන්ට මෙම තත්ත්වය පිළිබඳව ඇති වගකීම මුළුමණින්ම නොසළකා හරිති.

"තමන් වැඩ වර්ජන සහ උද්ඝෝෂණ මර්දනයට මතවාදී පිටුබලය සපයන්නන් ලෙස චෝදනා කරමින් ආන්තිකකරණයට ලක් කර ඇතැයි" කේ. ඩබ්ලිව්. ජනරංජන ලියා ඇති දෙය ගැන ද අවසාන වශයෙන් යමක්කිව යුතුය. ඔබලාට හුදෙක් මර්දනයේ මතවාදී ආධාරකරුවන් ලෙස පමණක් චෝදනා කරන්නේ නම් තවදුරටත් එය නිවැරදි නොවේ. ඒ දැන් ඔබලා ඒ සීමාව ඉක්මවමින් රාජ්‍ය මර්දනයේ ද්‍රව්‍යමය ආධාරකරුවන්ගේ තත්ත්වයට ද තමන් විසින්ම පිරිහෙළීම දක්වා ගමන් කර ඇති බැවිනි. ඒ වෛද්‍ය පාදෙණිය සයිටම් ආයතනය සම්බන්ධයෙන් දුන් උසාවි තීන්දුවක් විවේචනය කරමින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව උසාවියට අපහාස කරන ලදැයි පුරවැසි බලය සහ සමාජ සාධාරණත්වය උදෙසා ජාතික ව්‍යාපාරය යන සංවිධානවල සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ විසින් නඩුවක් පැවරීමත් සමගය. ඔබලාගේ "මතවාදී අරගලයේ" උපාංග ලෙස අධිකරණය, පොලිසිය සහ බන්ධනාගාර භාවිතා කරනු දක්නට ලැබීම කණගාටුවට කරුණකි. අප දන්නා තරමින් ඔබ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවෙකු ද වෙයි. මෙම නඩු පැවරීමට පෙර අඩු තරමින් රාවය පුවත්පතේ වික්ටර් අයිවන් සහ ඔබ විසින්ම මෙම අධිකරණය කොතරම් දූෂිත ආයතයක් දැයි පෙන්වා දෙමින් ටික කලකට පෙර ලියන ලද ලිපි නැවැත විවේක බුද්ධියෙන් කියවා බැලිය යුතුව තිබුණි. එම ලිපිවල අන්තර්ගතය අනුව ඔබලා ද අධිකරණයට අපහාස කර ඇතැයි යමෙකුට චෝදනා කළ හැකිය. වරෙක යකඩ බාර් පොලුමුගුරු වලින් සන්නද්ධව අධිකරණ බිමේ දී ඔළු පලාගනිමින් තමන් "බාර් ඇසොසියේෂන්" යන නමට ම ගැලපෙන බව ඔප්පු කළ නීතිඥවරුන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරුනේ දැයි අපි නොදනිමු.

පාදෙණිය විසින් විවේචනය කරන ලද තීන්දුවට අදාළ නඩුව සයිටම් ආයතනයේ ශිෂ්‍යාවක විසින් තමන් ලියාපදිංචි කරන ලෙස වෛද්‍ය සභාවට නියෝග දෙන ලෙස ඉල්ලා පැවරූ නඩුවකි. එහි වග උත්තරකරුවා සෞඛ්‍ය අමාත්‍යාංශය වූ අතර මෙම නඩුව පැහැදිලිවම සයිටම් ආයතනය නීත්‍යානුකූල කරගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින්ගේ ද විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාගේ ද අනුමැතිය සහිතව පවරන ලද නඩුවකි. අවසානයේ දී පැමිණිල්ල සහ විත්තිය එකතුව හොරාගේ අම්මාගෙන් පේන ඇසුවාක් මෙන් තීන්දුවක් ලබාගන්නා ලදි. නඩු තීන්දුවට පෙර සිටම සයිටම් නීතිගත කිරීමට තමන් කැමැති යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි. අධ්‍යාපන පුද්ගලීකරණයට අදාළව ජාතික ප්‍රතිපත්තීන් තීරණය වන මෙවැනි නඩුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත් ස්ථාවරය සෞඛ්‍ය ආමාත්‍යවරයාගේ පුද්ගලික ලැදියාවන් බල නොපා ඇතැයි කිසිවකුට තර්ක කළ හැකිද? තම ඥාතියෙකු මෙම ආයතනයේ සිටින බව සෞඛ්‍ය ආමාත්‍යවරයාම පිළිගෙන තිබිණි. මෙම නඩුවට මැදිහත්වීමට අවස්ථාව ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් ඇතුළු සංවිධාන 13ක් ඉල්ලා සිටි අතර එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි. නඩු තීන්දුවට පෙර සිටම එම තීන්දුව තමන්ට අවශ්‍ය පරිදි ලැබෙන බවට උසස් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබූ අතර එම තීන්දුවෙන් අනතුරුව පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරිම සඳහා තමන් දැනටමත් විදේශිය ආයෝජකයන් ගණනාවක් සමග එකඟතාවන්ට එළැඹ ඇති බව ද ප්‍රකාශ කර තිබිණි. මේ සමස්ත අධිකරණ ක්‍රියාදාමයම දූෂිත සහ සැලසුම් කරන ලද්දක් වූ අතර එයට එරෙහිව තම විරෝධය දැක්වීමට පුරවැසියෙකු ලෙසත්, අදාල වෘත්තිකයෙකු ලෙස සහ වෘත්තීය සමිති නායකයෙකු ලෙසත් වෛද්‍ය පාදෙණියට සෑම අයිතියක්ම තිබිණි. එහෙත් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සිදු කළේ පාදෙණියගේ කට වසා දැමීමට ඔහුට එරෙහිව නඩු පැවරීමයි.

අවසාන වශයෙන් කීමට ඇත්තේ "චිරං ජයතු ජන රංජන" යනුවෙන් පමණකි.

සයිටම්වාදීන් අතර ඉතා ජනප්‍රිය "මස් රාත්තල් තර්කය" එනම් 'මෙට්‍රික්' ක්‍රමයට පවසතොත් මස් 0.45359237 kg පිළිබඳ ප්‍රශ්නය ඉදිරි ලිපියකදී සාකච්ඡා කිරීමට අදහස් කරමි.

[මතු සම්බන්ධයි]
ඡායාරූප- ෂෙහාන් ගුණසේකර
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- South Asian Institute of Technology and Medicine(SAITM), Gamini Viyangoda, K. W. Janaranjana, Government Medical Officers Association (GMOA), Inter-University Students Federation, Ravaya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
පරිවර්තන
Torture Camp
තවත් අදහස් බූන්දි
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මයිකල් මුවර් කියයි.
ධනවාදය, අප විශ්වාස කරන සාධාරණත්වය, තෝරාගැනීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බඳු සියළු දේවලට එරෙහිය. එය ඇත්තේ, ධනවතුන් රැකීමටත් බඩජහරිකම නීත්‍යානුකූල කොට පවත්වා ගැනීමටත් ය. කෑදරකම අපගේ ආර්ථික... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
ඔත්තු| ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18

23-Secs

"ලංකාවෙ ආර්ට් එකට විචාරයක් මොකටද?" මැයෙන් 'ඇත්ත' පුවත්පත විසින් සංවිධානය කරන "ඇත්ත- මුහුලස කතිකාවෙහි" දෙවැනි... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]

10-Mins

(සුදර්ශන සමරවීර) මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

ආරියවංශ අබේසේකර ලියූ, සිංහල දෙමළ වාර්ගික අර්බුදය පිළිබඳ ගැඹුරු සංවාදයකට හවුල් වෙන්නට වලිකන මේ කෘතිය ප්‍රබන්ධකතාවේ සත්‍යාභාසී... [More]
ඔත්තු| "දැහැමි ද මෙ දිවයින" සමග "Glimpses of a shattered Island"- ජූලි 20

10-Secs

චූලානන්ද සමරනායක විසින් රචිත කාව්‍ය ග්‍රන්ථ ද්විත්වය, "දැහැමි ද මෙ දිවයින" සහ "Glimpses of a... [More]
කතන්දර| "කුකුළා හා පාට"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

වී. සුතේයෙව් පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, පද්ම හර්ෂ කුරණගේ සිංහලට නැගූ "කුකුළා හා පාට" සෝවියට් ළමා කතන්දර පොත ඇසුරින්... [More]
අදහස්| ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?

2-Mins

(තිලක් සේනාසිංහ ) ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
ඔත්තු| තරුණ සාහිත්‍ය වැඩමුළුව-සැප්. 01

40-Secs

විවිධ කලා ක්ෂේත්‍රයන්හි නම රැන්දූ විශිෂ්ඨයන් සමග යෞවනයේ අත්දැකීම් බෙදා හදා ගන්නට නූතන තරුණ පරපුරට... [More]
පොත්| ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) රුසියානු විප්ලවයට තදනුබද්ධ උන්නතිකාමී ලේඛකකයකු වූ ලියෝ තෝල්ස්තෝයි (1829-1910) විසින් විරචිත ශ්‍රේෂ්ඨත ම මනෝවිද්‍යාත්මක නවකථාව ඇනා කැරනිනා (1873)ය. මෙය වූ... [More]
වෙසෙස්| බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)

21-Secs

බොබ් මාලි (රොබට් නෙස්ටා මාලි) (1945-1981), තම කෙටි ජීවන චාරිකාව නිමා කොට ලෝකයෙන් සමුගත්තේ අමරණීය මියැසි නිර්මාණ රැසක් ලොවට ඉතිරි... [More]
ඔත්තු| සුසුම් නාඳුනන අප දෙදෙන- ජුලි 15

10-Secs

උපේක්ෂා ප්‍රේමතිලකගේ දෙවන කාව්‍ය සංග්‍රහය 'සුසුම් නාඳුනන අප දෙදෙන', 2017, ජූලි 15, සවස 3.00ට, ... [More]
කවි| අද දවස මෙතෙකින් නිමයි..

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) පල්ලියේ ගල් තාප්පය මුදුනත
පරෙවියන් පෙම් කෙළියි
හීන් අඬකින් ගීතිකාවක්
නැගෙයි බැසයයි

අර්ධ අඳුරැති සුරුවමක පාමුල... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]

11-Mins

(සුදර්ශන සමරවීර) කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි.... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කතන්දර| දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...

5-Mins

(විසල් සේනාතිලක) පසුව ලියමි-

කතාවක් පටන් ගැන්මට පෙර පසුව ලිවිය යුතු කොටස ලිවීම කියවන්නා තව දුරටත් කතාව වෙත බැඳ තබා... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3

8-Mins

(අජිත් සී හේරත්) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook