Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
තෝල්ස්තෝයි අදට වලංගු ද?
ඩබ්ලිව් ඒ. අබේසිංහ මහතා විසින් පරිවර්තිත විරාග සංග්‍රාම (Father Sergius) කෘතිය ඇසුරින් කරන ලද සංවාදශීලී කතිකාව පසුගිය අගෝස්තු 22වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. අහස පොත් ප්‍රකාශකයින් විසින් සංවිධානය කරන ලද පංච කථීකාවේ තෙවන කථීකාව වශයෙන් මෙය පවත්වන්නට යෙදිණි. මෙහි අදහස් දැක්වීම ප්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායක සහ කථීකාචාර්ය චින්තක රණසිංහ යන අය සිදු කළහ. මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේ දී චින්තක රණසිංහ ඉදිරිපත් කරන්නට යෙදුණු දේශනයේ සංක්ෂිප්ත සටහන යි. රුසියානු ගත් කතුවර ලියෝ තෝල්ස්තෝයිගේ ජන්ම දින සැමරුම යෙදෙන සැප්තැම්බර් 9 දින සිහි කැඳවමින් මෙහි එළඹමු ලබමු.
බූන්දි, 18:22:56
අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු දහය, පහළොව තිස්සේ විශේෂයෙන් සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන්, ගැඹුරු කෘතීන් යටපත් කිරීමේ දැවැන්ත වෑයමක් තියෙනවා. මේ 'සම්භාව්‍ය සාහිත්‍ය හෝ රුසියන් සාහිත්‍ය තුළ යථාර්ථයක් පවතින්නේය' යන අදහසට පුදුමාකාර විදිහට තරහයි ඇතැම් අය. ඒ අදහසට දැවැන්ත විදියට පහර දෙනවා. හැබැයි ඒ පොත් මිනිස්සු කෙහොම හරි ගම් මට්ටමින් නගර මට්ටමින් කියවනවා. මේ තරුණ ප්‍රකාශකයින්ට පවා ඒවයින් මිදෙන්න බැරිවෙලා තියෙනවා. ඩබ්ලිව්. ඒ. අබේසිංහ වගේ ජ්‍යේෂඨ පරිවර්තකයන් හා එක්වෙලා එයාලා යම්කිසි වැඩක් කරනවා. මේ අවුරුද්ද දෙකේ, නව අරුණැල්ලක් ඇතිවෙලා කියලා මං හිතනවා සාහිත්‍ය ක්ෂේත්‍රයට. ඒ කියන්නේ ඉහළ, ප්‍රමුඛ ලේඛකයන් යම්කිසි කුණාටුවකට අහුවෙලා ඉඳලා නැවතත් නියම ආකාරයෙන් ඒ ගමන් මඟට එමින් පවතින කාලවකවානුවක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. සාහිත්‍යය කියන්නෙ කිසියම් දැනුම් පද්ධතියක් නෙමෙයි. සාහිත්‍යය තුළ සෞන්දර්යාත්මක පද්ධතියක් තියෙනවා. ලෝකෙ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයන්ගෙ අභිලාෂය වුණේ ඥානය සම්පාදනය කරලා ඉදිරිපත් කිරීමේ දාර්ශනික ව්‍යාපෘතිය නෙමෙයි. ඒකට කොටසක් ඉන්නවා 'දාර්ශනිකයො' කියලා. ඒ දාර්ශනිකයන්ගෙ අභිලාෂය වුණේ සාහිත්‍ය සම්පාදනය නෙමෙයි. අපි හැමදේම දැනුම් පද්ධතියක් කියලා ඌනණය කරගැනීමයි මේ ගැටලුවලට මුල. මේ හින්දා සාහිත්‍යය බැරි අයට ඉතා ඉක්මණින් සාහිත්‍යකරුවෙක් හෝ විචාරකයෙක් වීමේ ඇබෑර්තු පිරවීමට පුළුවන් වෙනවා. මේකෙන් විශාල ම අසාධාරණය වෙන්නෙ තරුණ පරපුරට. ඔවුන් ඉතා ම සරල දෙයට සාහිත්‍යය යැයි කියමින් පසුපස යාමේ කථාන්දරයක් දැන් තිබෙනවා.

තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව අපේ රටට එතරම් අලුත් එකක් නෙමෙයි. අපේ පරිවර්තන කලාව, සාහිත්‍ය පිළිබඳ සාකච්ඡාව ආව මුල් යුගයේ, විශේෂයෙන් ම පණහ-හැට-හැත්තෑව දශකවල තිබුණෙ නිරවුල් භාෂාවක්. නිරවුල් භාෂාවක් නොමැතිවීමයි අද රටේ තියෙන සාහිත්‍ය ප්‍රශ්නයට හේතුව. 'භාෂාව නොවැදගත්. කියන මොනවාහරි සංකල්ප හා වචන පමණයි වැදගත්' වගේ සංකල්ප තමයි මෑත තරුණ පරපුරෙන් ඇති වුණේ. ඒ ගැටලුව නැහැ මේ 'විරාග සංග්‍රාම' කියන පොතේ. තෝල්ස්තෝයිගේ මේ Father Sergius කියන කථාව මීට පෙර ජී.එස්.බී. සේනානායක මහත්මයත් 'පුහුදුන් තිදෙනෙක්' නමින් පරිවර්තනය කරලා තියෙනවා. ඔහු කලින් පරිවර්තනය කරලා තියෙන්නෙ අනුවාදාත්මක විදියට. අබේසිංහ මහතාගේ පරිවර්තනය ඊට ඔබ්බට ගිහින් පූර්ණ කෘතියක් විදියට පරිවර්තනය කරලා තියෙනවා. මට හිතෙනවා තෝල්ස්තෝයි කවියෙක් විදියට ඇයි මෙච්චර අසහාය වුණේ කියලා කියන්න. ඔහුගේ දර්ශන හා මතවාද ගැන ගොඩක් ගැටුම් තියෙනවා. ට්‍රොට්ස්කි, ලෙනින් වගේ ම ලංකාවෙ සුචරිත ගම්ලත්, දර්ශන මේදිස් දීර්ඝ වශයෙන් ලියලා තියෙනවා. නමුත් ඊට එහාට ගිහින් සාමාන්‍යයෙන් සරලව ගත්තොත් තෝල්ස්තෝයි හඳුනාගැනීම වැදගත්.

රෙජී වීරමන් කියන පුද්ගලයා තෝල්ස්තෝයිගෙ කෙටි නවකථාවක් සහ තවත් කථා කිහිපයක් 'විරාග රාගය' කියලා පරිවර්තනය කරලා තියෙනවා. එය මහරගම සමන් මුද්‍රණාලයේ 1962 දි පළ වෙලා තියෙනවා. මේක තමයි ඉස්සෙල්ලා ම තෝල්ස්තෝයි ගැන වැදගත් විස්තරයක් හමුවන කෘතිය. (මුනිදාස සෙනරත් යාපා මහත්මා ඇනා කැරනිනා පරිවර්තනය කරනවා තමයි- ඒත් ඒක අනුවාදයක්. පස්සේ ස්වර්ණකාන්ති රාජපක්ෂ මේ පොතට අසංක්ෂිප්ත පරිවර්තනයක් කරනවා.) මේ පොතේ එන කථාවලට අමතරව ඔහු 'පෙර වැකියෙ' දීර්ඝ වශයෙන් ලිපියක් ලියා තියෙනවා. ඒ ලිපියෙ තියෙනවා විවිධ විචාරකයින් තෝල්ස්තෝයි ගැන කියපු මත, ඒවා සංක්ෂිප්ත කරලා ඉතාමත් ම මැනවින් තෝල්ස්තෝයි සම්බන්ධ ලාංකේය සාකච්ඡාව ඔහු ගොඩනගනවා. එතන දි ඉතා ම වැදගත් දෙයක් ඔහු පෙන්වා දෙනවා. මූලාශ්‍රය අනුව ගත්තත් එය නිවැරදියි.

'ලියෝ තෝල්ස්තෝයි මෝපසාංගෙ පොත් නිර්දය දෝෂ දර්ශනයට ලක් කරයි.'

දහනම වන සියවස වනවිට රුසියන් සාහිත්‍යය පණගැන්වී තිබුණත් ඇත්ත වශයෙන් ම එයට පිටුපසින් තිබුණෙ ප්‍රංශ සාහිත්‍යය. අපේ අධිරාජ්‍යවාදී කාලෙ අපි ඉංග්‍රීසි සාහිත්‍යය ගරුකළා වගේ රුසියානුවන් ගරු කළේ ප්‍රංශ සාහිත්‍යය. ප්‍රංශ භාෂාව, ප්‍රංශ සංස්කෘතිය ගැන ඔවුන් තුළ අධිතක්සේරුවක් තිබුණා. ඔවුන් ඒ භාෂාව දැක්කෙ තමන්ට වඩා නම්බුකාර දෙයක් හැටියට. ප්‍රංශයට සාපේක්ෂව රුසියාව ඒ කාලේ ගැමි ගොවි පසුබිමක් තියෙන රටක් විදියට තමයි සැලකුණේ. ඒත් රුසියාවෙ ප්‍රභූ පැලැන්තිය ප්‍රංශ කථා කළා. අපි දකිනවා හුඟක් වෙලාවට රුසියානු පරිවර්තනවල ප්‍රංශ බසින් කියලා යෙදිලා තියෙනවා. ප්‍රංශ සාහිත්‍යය රුසියානු සාහිත්‍යයට වඩා මානව දයාව පැත්තටත් වඩා තර්කානුකූල පැත්තට, විද්‍යාත්මක පැත්තට නැඹුරුවෙලා තිබ්බෙ. එතකොට මෝපසාංගෙ, බල්සාක්ගෙ කෘති දොස්තොයොස්කි, තෝල්ස්තෝයි වගේ අය කියවනවා. දොස්තොයොස්කි ඉස්සෙල්ල ම කරලා තියෙන්නෙ බල්සාක්ගෙ ඉයුජින් ග්‍රාන්දේ (සිංහල පරිවර්තනයක් තියෙනවා 'හිත පිවිතුර ලඳ' කියලා ආනන්ද අමරසිරි විසින් පරිවර්තනය කරලා) කියන පොත රුසියන් භාෂාවට පරිවර්තනය කරන එකයි. ප්‍රංශයේ බුද්ධීමය ව්‍යාපාර එක්ක ගැටෙනකොට මෙයාලා බල්සාක්ව දැක්කා. මෝපසාංව දැක්කා.

තුර්ගිනිව් මේ ව්‍යාපාරය තුළට දැඩිව ගිහිල්ලා ප්‍රංශයේ ගිහින් ජීවත් වෙනවා. ඔහු තමයි රුසියන් සාහිත්‍ය බටහිරට හඳුන්වා දෙන්නෙ. තුර්ගිනිව් ටිකක් බටහිර තාලෙට හැඳුණු කෙනෙක්. එතකොට දහනම වන සියවසේ බුද්ධිමය සංවාදෙ යන්නෙ මාක්ස්වාදෙ එනකම් 'බටහිර බලපෑම ගන්නවද නැද්ද' කියන එක උඩ. තෝල්ස්තෝයි හා දොස්තොයොස්කි මේකෙන් අනික් පැත්ත නියෝජනය කළා වගෙයි පෙනෙන්නෙ. යම් ආකාරයකට ඔවුන් දෙන්නා ම බටහිර තාක්ෂණය ගන්නවා. නමුත්, ඒ ප්‍රංශ සාහිත්‍යය මානව දයාව ගැඹුරින් නැති, බෙහෙවින් ම මිනිස් ජීවිතය මතුපිටින් ගත්ත සාහිත්‍යයක් විදියට තෝල්ස්තෝයි එය දෝෂ දර්ශනයට ලක්කරනවා. නමුත් රුසියනු සාහිත්‍යයට ප්‍රංශ සාහිත්‍යයට තරම් මනා ආකෘතියක් පිහිටුවාගන්න බැරිවෙනවා. එතකොට බටහිර විචාරකයො තෝල්ස්තෝයිගෙ මුල් පොත් 'අල ගෝනි' වගේ දකිනවා. මේ අදහස් එච්චර සිංහලෙන් කථා කරලා නෑ. ගුණදාස අමරසේකර 'නොසෙවුණා කැඩපත' කියන පොතේ මේ ගැන යම් දුරකට කථා කරලා තියෙනවා. ඒ ගැමි සාහිත්‍යයට තෝල්ස්තෝයිගේ ගමන, ගැමි චින්තනයට ඔහු දක්වන බර කොතරම්ද කියලා අපිට පේනවා ඔහුගේ 'කලාව යනු කුමක්ද' කියන පොතෙන්. ඒ ඔක්කොම සිද්ධ වෙන්නෙ අර ශිෂ්ටාචාරෙ එක්ක ගැටෙමින් රුසියානු දෙයක් සොයාගැනීමේ අභිලාෂයෙන්. ඒ අභිලාෂය රුසියානු විප්ලවය තුළත් වෙනත් විදියකට පරිවර්තනය වෙනවා. රුසියානු විප්ලවය මාක්ස්වාදී විප්ලවයක් වුණාට ඇත්තට ම රුසියානු ගැමි ගොවි සමාජයේ තිබුණු යම් යම් විභව ශක්තීන් ඒ තුළ තිබුණා. වෙනත් මුහුණුවරකින්. එතකොට මේ බුද්ධිමය ව්‍යාපාරය තේරුම්ගන්නෙ නැතුව අපට කොහොමටවත් බැහැ තෝල්ස්තෝයි තේරුම්ගන්න.

තෝල්ස්තෝයිගේ 'නව ජීවනය' (Resurrection) කියන පොත ඉතා ම වැදගත් පොතක්. ඒකෙ පළවෙනි මුද්‍රණෙත් ඉවරයි. නමුත් ප්‍රකාශ කරලා තියෙන්නෙ ඉතා ම පුංචි අකුරින්. ඒ පොත් ප්‍රකාශකට එතන පිටු ගාණ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. කියවන්න හරිම අමාරුයි අකුරු ඉතා ම කුඩයි. කිසි ම විශ්වවිද්‍යාලයකින්වත් සංස්කෘතික අමාත්‍යංශයකින්වත් එක මුදලක් වැය කරන්නෑ මේ වගේ පොතක් නැවත මුද්‍රණය කරන්න. ලෝකෙ ආණ්ඩු කරන්නෙ මේව නෙමෙයි. පෙන්ගුවින් සමාගමේ වෙන ම මණ්ඩලයක් පත් කරලා හැමදාම ශේක්ස්පියර්, තෝල්ස්තෝයි, දොස්තොයොස්කි ලේඛකයන්ගෙ පොත් සංස්කරණය කරනවා. වරින්වර සංස්කරණය කරමින් වැරදි හද හද මුද්‍රණය කරනවා. ලංකාව ඇතුළෙ විතරයි මේ වගේ විහිළු දකින්න පුළුවන් වෙන්නෙ.

තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය පරිවර්තනය වෙලා තියෙනවා සිංහල භාෂාවට. දැන් පරිවර්තනය කරලා අවුරුදු පහලොවක් විතර වෙනවා. දැන් ඒ පොතේ දෙවන මුද්‍රණයත් ඇවිත් තියෙන්නෙ. සිරිල් සී. ම කියනවා 'පරිවර්තනය කරන් යනකොට මට හිතුන්නෑ මේ පොත පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා'. නමුත් කේ.ජයතිලක මහත්තයට තේරෙනවා මේක වැදගත් වැඩක් බව. ඔහු උනන්දු කරවලා පොත පළ කරනවා. යුද්ධය හා සාමය ඉංග්‍රීසි පොත අරගෙන බැලුවා ම පේනවා සිරිල් සී. මහත්තයගේ හැම පරිවර්තනයක ම වගේ දැඩි දේශීයකරණයක් තියෙනවා කියලා. හැබැයි එහෙම දේශීයකරණයක් තියෙනවා කියලා අපි කියලා වැඩක් නෑ. එහෙමනම් කවුරුහරි ආපහු පොත පරිවර්තනය කරන්න ඕන. අපේ රටේ නිකම් පණ්ඩිතයො ටිකක් ඇතිවුණා 'මේවයේ සෑහෙන කොටස් අඩු කරලා' කියලා බොහොම බැරෑරුම්ව කියනවා. ඒ කිව්වට එක් ඡේදයක්, එක වාක්‍යයක් පරිවර්තනය කරන්නැතුව පණ්ඩිත මානෙන් එහෙ මෙහෙ කිය කිය පොඩි තරුණයන්ගෙ අවධානය දිනා ගනිමින් ඉන්නවා. මම ඒකට එකඟ නෑ. පරිවර්තනය කිරීම දැවැන්ත වැඩක්. එක ඡේදයක් පරිවර්තනය කරන්න කිව්වොත් ඔය ප්‍රසිද්ධ කථීකයන්ට සහ න්‍යායාචාරීන්ට අලි අමාරුවක වැටෙනවා එයාලා. ඒක සෙල්ලමක් නෙමෙයි. ඒ හින්දා සෑහෙන දුබල පරිවර්තනයක් වුනත් අපි ආරක්ෂා කළ යුතුයි. ආරක්ෂා කරමින් ඊළඟට ඒකෙ වැරදි පෙන්වමින් සාකච්ඡා කළ යුතුයි. යුද්ධය හා සාමය ගත්තොත් ඒක මුලින් ම කාණ්ඩ 10කටයි පරිවර්තනය වුණේ. පසුව කාණ්ඩ පහකට ද කොහෙද මෑතකදි මුද්‍රණය කරලා තියෙනවා. ඒකෙ පෙන්වනවා සාහිත්‍යාත්මකභාවය කියන්නෙ මොකක්ද කියලා.

තෝල්ස්තෝයි ක්‍රිමියන් යුද්දෙට යනවා. හොඳ ම කාලතුවක්කු වෙඩික්කාරයා විදියට සම්මානෙකුත් ගන්නවා. ජීවිතය බේරගන්නවා යුද්දෙන්. ඒ සෙවෙස්තපෝල් සටනෙ එයාගෙ අත්දැකීම් ගැන වෙන ම පොතක ලියලා තියෙනවා. රුසියනු භාෂාවෙන් එච්. ජයරත්න ඒ පොත සිංහලට පරිවර්තනය කරනවා 'යුධ පෙරමුණක තෙමසක්' යන නමින්. චූලානන්ද මහත්තයා කිව්වා තෝල්ස්තෝයි මුලදි ප්‍රසිද්ධ වෙන්න ආසාවෙන් ලිව්වෙ කියලා. ඔව් ඒක ඇත්ත. ඔහු ඉස්සෙල්ලා ම තමාගෙ පොඩි කාලෙ ගැන කරුණු අළලා 'නිකිතගේ ළමා කාලය' කියලා පොතක් ලියනවා. ඊටපස්සේ 'සෙවෙස්තපෝල් සටන්' ගැන ලියනවා. තෝල්ස්තෝයිගෙ මැද වයසෙ, එයාට තේරුම් යනවා 'නවකථාව කියන්නෙ මෙහෙම ලිවීමක් විතරක් නෙමෙයි. මගෙ අත්දැකීම් නිකම් ලිව්වට වැඩක් නෑ. මේක වහා ම පුළුල් චිත්‍රයක බහා ලියන්න ඕන' කියලා. එතනදි තමයි 'ඇනා කැරනිනා', 'යුද්ධය හා සාමය' වගේ පොත් බිහිවෙන්නෙ. යුද්ධය හා සාමය ගැන කවුරුත් කථා කරන්නෑ. යුද්ධය හා සාමය කියන පොත 'රසය' විදියට පමණක් ගත්තත් රසවත් පොතක්. ඒ යුගයේ ඇතිවුණ ගිවිසුම්, ඉතිහාස තත්ත්වයන් බැලුවොත් තේරෙනවා මේ පොත මොනතරම් ඓතිහාසික, ගැඹුරු නවකථාවක් ද කියලා. ඒ ඉතිහාසයයි තෝල්ස්තෝයි නැවත ප්‍රතිනිර්මාණය කරන්නෙ අර කාව්‍යාත්මක දේවල් එක්ක. නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමණය කරනවා 1812 දි. ලක්ෂ ගණනාවක ප්‍රංශ හමුදාවක් එක්ක එන නැපෝලියන් ස්ටූලා ගඟෙන් එගොඩ වෙලා රුසියාව අභ්‍යන්තරයට එනවා. එතකොට තෝල්ස්තෝයි ලියනවා මොස්කව් නුවර ඉන්න මිනිස්සු හැසිරුණු ආකාරය. ප්‍රභූවරු ඒ වෙලාවට වොඩ්කා බොනවා. ඒගොල්ලන්ට යුද්දෙ භයානකකම දැනෙන්නෑ. අපේ රටේ යුද්දෙ තිබුණු කාලෙ වගේ ම තමා. ප්‍රභූවරු වොඩ්කා බොද්දි මිනිස්සු බලා ඉඳලා කියනවා 'අනේ අපේ සුදු අම්මා!' කියලා.

මං හිතන්නෙ හරියට ම හෙව්වොත් මේ වාක්‍ය මේ විදියට ම නෙමෙයි තිබුණෙ. මේක සිරිල් සී. පෙරේරා මහත්තයා කරපු ලාංකීයකරණයක් වෙන්නැති. මිනිස්සු කියනවා 'අනේ අපේ සුදු අම්මා, මොස්කව් නුවර යටත්වෙන්නයි යන්නෙ' කියලා. ඔවුන් වහ වහා වොඩ්කා මිල වැඩි කරනවා. සූදු මිල වැඩි කරනවා. මේ පොතේ ඉන්නවා කුතූෂොව් කියලා චරිතයක්. කුතූෂොව් කියන්නෙ රුසියනු හමුදාවෙ අණ දෙන නිලධාරියෙක්. ටිකක් තරබාරුයි. අස්සයෙක්ගෙ පිටේ නැගලා යනවා. මෙයාට හරි කේන්තියි. එයා කියනවා 'මං මුන්ට (ප්‍රංශකාරයින්ට) අශ්ව මස් කවනවා!' කියලා. එහෙම කියලා දත් මිටි කනවා. එයා ඒ දේ කරනවා කොහොමහරි. අදාළ ප්‍රහාරය දෙනවා. මේ අවස්ථාව තෝල්ස්තෝයි ලියන්නෙ හොඳට ම යුද්දෙ මැද හිටපු කෙනෙක් විදියට. එක අවස්ථාවක තියෙනවා රුසියන් හමුදාවෙ සූදානම අඩුයි. නැපෝලියන් බටහිර මිනිහෙක්. යුද්දෙට උපන් මිනිහෙක්. ඔහු ප්‍රංශ හමුදාව පෙළ ගස්සවලා ආයුධ සන්නද්ධව ආක්‍රමණය කරන්න එනවා. රුසියානුවො යුද්ධ කරන්නෙ හරියාට අපේ රටේ කන්ද උඩරට යුද්ධ කළා වගේ. හරිම අසංවිධානාත්මකව. නමුත් කුතුෂොව් ඒ අතරින් හරියට කටයුතු සංවිධානය කරන්න වෙහෙසෙනවා. මේ අතර ඉන්නවා දොළහොව කියලා මිනිහෙක්. ඔහු කුතුෂොව් හම්බවෙලා කියනවා 'ඔබවහන්සේ අවසර දෙනවා නම් මං පොඩි කණ්ඩායම් අරන් ගිහින් ප්‍රංශ හමුදාව මැදට පහර දෙන්නම්' කියලා. කුතුෂොව් ඉඩ දෙනවා ඔහුට. දොළහොව් කරන්නෙ භටයො විස්සක් විතර දුෂ්කර කැළෑ මාර්ග අතරින් අරන් ගිහින් වටකරලා පහර දෙනවා. ඒ ක්‍රමය සාර්ථක වෙනවා. ප්‍රංශ හමුදාවට හිතාගන්න බැරිවෙනවා කොහෙන් පහර දෙනවාද කියලා. මේ දොළහොව් කියන මනුස්සයා හමුදාවෙ ඉන්න විනය කඩන, ගංජ බොන ජාතියෙ කෙනෙක. එහෙම ලොකු චරිතයකුත් නෙමෙයි. මේවා නිර්ප්‍රභූ චරිත කියලා ඇතැම් අය කිවුවට හරියට වටහාගෙන නෑ වැදගත්කම මේවයෙ. ඒ වගේ සුළු චරිත කොහොමද තෝල්ස්තෝයි මේ යුද්දෙදි සම්බන්ධ කරගන්නෙ කියලා හොඳින් පෙන්වනවා මේ පොතේ.

කුකුල් කොටුවලට පැනලා කුකුල්ලු හොරකම් කරන, සෙබලුන්ගේ සපත්තු මදින තවත් චරිතයක් ඉන්නවා. කලින්දා හමුදාවේ කෑම වරද්දපු හින්දා දඬුවමක් විදියට යවනවා කුකුල්ලු අරන් එන්න. මේ මිනිහා ප්‍රංශ හමුදාව ගැවසෙන හරියෙ ගෙවල් වලට පැනලා කුකුල්ලු අල්ලමින් ඉද්දි ප්‍රංශ හමුදාවට අහුවෙනවා. ඔහුව භටයො නැපෝලියන් ඉස්සරහට ගෙනියනවා 'මෙන්න ඔත්තුකාරයෙක් අල්ලගත්තා'යි කියලා. මේ මිනිසා දන්නවා තමන් ඉන්නෙ නැපෝලියන් ඉස්සරහ කියලා, නමුත් දන්නෑ වගේ ඉන්නවා. ඔහු කපටියෙක්. බොරු කියන්නෙ. නැපෝලියන් හිතනවා 'මේ මිනිහා මං කවුද කියලා දන්නෑ' කියලා, අහංකාරකමින් කථා කරනවා. මේ මනුස්සයා දුක්බර විදියට කියනවා 'හාමුදුරුවනේ ඔබවහන්සේලාට නැපෝලියන් ඉන්නවා. අපට කවුරුවත් නෑ' කියලා. අන්තිමේ නැපෝලියන් කියනවා 'මේ මනුස්සයා මුකුත් දන්න එකෙක් නෙමේ. යන්න ඇරහල්ලා' කියලා. ඔහු ආපසු රුසියානු හමුදාව වෙතට ගියා ම ඔහුගේ ස්වාමියා ඔහුට හොඳට ම තලනවා. තෝල්ස්තෝයි මේ හැම සිදුවීමක් ම හැබහින් දකිනවා හමුදාවෙ ඉන්න කාලෙ. මේ වගේ සිදුවීම් යුද්දෙ කාලෙ අපි කොච්චර දකිනවද? යුද්ධය හා සාමයෙ තව තැනක තියෙනවා මෙහෙම. 'දැන් දැන් හැතැප්ම හතරකට එහා ප්‍රංශ හමුදාව ඉන්නෙ' කියලා රුසියන් හමුදාව බොහොම සතුටින් ඉන්නවා. එකපාරට ම මෙන්න හැතැප්ම හතරයි කිව්ව හමුදාව එහා වංගුවෙන් මතුවෙනවා. 'අපි ඉවරයි' කියන ශබ්දය ඇහෙනවා. මේක යුධ බිමක නොඇසිය යුතු ශබ්දයක්. එයාලා මානසිකව වැටෙනවා. හමුදාව පැනලා දුවනවා බයේ. කුතූෂොව්ගේ කම්මුලේ තුවාලයක්, යුද්දෙදි වුණු තුවාලයක්. ලේ ගලනවා. සෙබළෙක් ඇවිත් අහනවා 'තමුන්නාන්සෙගෙ තුවාලෙන් ලේ ගලනවා නේද?' කියලා. පැනලා යන හමුදා සෙබලු දිහාට අත දික්කරලා කුතූෂොව් කියනවා 'තුවාලෙ තියෙන්නෙ මෙතන නෙමෙයි, අතන' කියලා. යුද්දෙකදි සෙබළු පැනලා යන එකයි තුවාලෙ. ප්‍රංශකාරයින් නිළ ඇඳුම් ඇඳලා ලස්සනට කන්ද නගිනවා. රුසියානුවන් සංස්කෘතික වශයෙන් ඒ දිහා බල බල සතුටුවෙනවා. යුද්දෙ කියලා හිතන්නෑ. 'අන්න බලන්න කොච්චර ලස්සනට හොඳට පේළියට එනවද? අර බලන්න ඉස්සරින් ම එන කෙනාගෙ ඇඳුම', 'දැන් දැන් ප්‍රංශ භටයන්ගේ ඇඳුම් පෙනෙන්නාක් වැනිය.' මහලු ප්‍රංශ නිලධාරියෙක් ගහක් අල්ලන් කන්ද නගිනවා. තෝල්ස්තෝයි ලියපු ඒ ලිවිල්ල මෑත කාලෙ කරපු එක පොතවත් නෑ. ඔලුව ගැටගැහෙනවා ඔය තියෙන ගොඩක් ඒවා කියවද්දි මට නම්. තමන්ගෙ සමහර ලිංගික ප්‍රශ්න, කාම ප්‍රශ්න, ගංජකාරයින්ගෙ ප්‍රශ්න ගැන ලියන්නෙ. එහෙම සාහිත්‍යයක් ඒ කාලෙ තෝල්ස්තෝයිටත් ප්‍රතිපක්ෂව ආවා. හැබැයි ජරා නෑ. සාත්‍රේගේ 'ජුගුප්සාව' කියෙව්වොත්, කැමූගෙ 'පිටස්තරයා' කියෙව්වොත් ඒවයෙ තියෙනවා අර මානසික ප්‍රශ්න ගැන කථා කරලා. හැබැයි ඒවයෙ ගලායාමක් තියෙනවා. දැන් මේ ලියන පොත්වල සිංහල ගුලි ගැහිලා. එක තැන කැටිවෙලා. කියවන්න බෑ. ඔලුව පිස්සු වැටෙනවා. ඒවා ගැන කවුරුත් කථා කරන්නෑ. ඒවට වෙන ම න්‍යාය මණ්ඩලයක් ඉන්නවා. කවුරුත් 'ඔව් ඔව් කියනවා'. අර 'රජ්ජුරුවො හෙලුවෙන්' කියලා පොඩි ළමයෙක් කියලා තියෙන්නෙ. මම කියන්නෙ 'ඔව් හෙලුවෙන් තමයි', ලෝරන්ස්ගේ පරිවර්තනයක් එක්ක බලනකොට, තුර්ගිනිව්ගෙ පරිවර්තනයක් එක්ක බලනකොට, දොස්තොයොස්කිගෙ පොත් ඉතා ඉහළ වුණාට හරි අමාරුයි ඒවා කියවන්න. මොකද ඔහු ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගත්ත කෙනෙක්. තනිකර ගණිතමය අඩිතාලම ඒ පොත්වල තියෙනවා. ඔහු විශිෂ්ටයි තමයි. නමුත් අර දොර ඇරගෙන මෙතෙන්ට මිනිහෙක් ආව එක ගැන කියන්න තෝල්ස්තෝයි තරම් වෙන කෙනෙක් ලෝකෙ පහළ වුණා කියලා මං හිතන්නෑ. දොරට ගහපු හැටි, ඇතුළට ආව හැටි, දොරවටේ තිබුණ මල් මොනාද, ඒ එනකොට ඇඳුම සර සර ගෑවෙ කොහොමද කියන සියල්ල කියාවි. මිනිහෙක් උඩින් ගියා කියලා මායාමය විදියට සාහිත්‍යයෙන් කියන එක ලේසියි. හැබැයි මිනිහෙක් පාරෙ ගියා කියලා ලියන එක අමාරුයි. මොකද හැම මිනිහෙක් ම පාරෙ යනවා. ඒක තමා සාහිත්‍යය කියන්නෙ. මට තියෙන්නෙ තෝල්ස්තෝයි ආරක්ෂා කිරීම පිළිබඳ එතන ආස්ථානය යි.

යුද්ධය හා සාමය කථාවෙ ඉන්නවා කපිතාන් තුෂින් කියලා මනුස්සයෙක්. තුෂින් මිටි මිනිහෙක්. කාලතුවක්කු ගොඩක් එක්ක මෙයාට භාරදෙනවා ස්ක්‍රොබේන් කියන ගමට ප්‍රංශ හමුදාව ආවම පහර දෙන්න. මේ මනුස්සයා රුසියන් සෙබළු පණහක් විතර එක්ක ගිහින් ඔවුන්ට පහර දෙනවා. තුෂින් වඩුවෙක් වගේ. පොඩි කන්නාඩි දෙකක් දාලා, පැන්සල කනේ ගහලා, ගානට රූලෙන් මැනලා ඇදලා, 'මෙතෙන්ට වෙඩිල්ල වැටෙන්න ඕන' කියලා පටන්ගන්නෙ. ටිකක් වෙලා යනකොට තමන් ඉන්නෙ යුද්දෙක කියලා මිනිහට අමතක වෙලා ඒකට ආවේශ වෙන්න ගන්නවා. එයා කාලතුවක්කුවට නමක් දාගන්නවා 'මැතිව්නා' කියලා. එයාට කාලතුවක්කුව ගෑනු කෙනෙක් වගේ පේනන ගන්නවා. 'මැතිව්නා, තවත් වෙඩිල්ලක් දීපන්! ප්‍රංශකාරයො ළඟ එනවා' කියනවා. ඔහු වටේ ඉන්න මිනිස්සු මැරෙනවා. ඒත් තුෂින්ට දැනෙන්නෑ. තෝල්ස්තෝයි කියනවා, 'කාලතුවක්කුවක් ඇදන් ගිය අශ්වයෙක්ගෙ කකුල ගැලවිලා වැටුණා. බෝතලේකින් ලේ ගලා එන්නා වගේ ලේ ගලනවා. සෙබළෙක් අනික් පැත්තට වැටෙනවා' කියලා. තුෂින් මේ මොකවත් ගණන් ගන්නෑ දිගට ම වෙඩි තියනවා. එතෙන්ට එනවා එතකොට හමුදාවෙ ගණන් පරීක්ෂක. ඔහු ඇවිත් යුද්දෙ දිහා බලා ඉන්නවා විතරයි, යුද්ධ කරන්නෑ. ඔහු අහනවා තුෂින්ගෙන් 'මේකද යුද්ධෙ කියන්නෙ?' කියලා. 'මොකක්ද අර වැටුණෙ' අහනවා. 'ඒ ප්‍රංශ පෑන් කේක් එකක්. තමුසෙ කරුණාකර මෙතනින් යනවා. නැත්නම් බෙල්ල නැතිවෙයි' කියලා තුෂින් කියනවා. ඒ සියුම් තැන් තෝල්ස්තෝයි හරි අපූරුවට ලියනවා. රුසියනු හමුදාව පසුබහින වෙලාවක භටයො ඇවිත් තුෂින්ට කියනවා, 'කපිතන් තුෂින්, තමුසෙට පිස්සුද? අපිට පසුබහින්න ඉහළින් අණ දුන්නා. කාලතුවක්කුවත් අරන් පසුබහින්න' කියලා. තුෂින්ට ව්වා ඇහෙන්නෑ. ඔහු ඈත එන හමුදාව බල බල වෙඩි තියනවා. ඔහු කොච්චර ආවේශ වෙලා වෙඩි තියනවාද කිව්වොත් ප්‍රංශ හමුදා භටයො හිතන්නෙ පන්සීයක විතර රුසියානු හමදා භටයො කණ්ඩායමක් තමන්ව වටකරලා වෙඩි තියනවා කියලා. නමුත් ඉන්නෙ පහළොවයි ඇත්තටම. මේ වෙලාවේ ඇන්ඩ්‍රි කුමාරයට, ඒ කිව්වෙ ප්‍රධානියාගේ අණ දෙන නිලධාරියාට යන්න වෙනවා තුෂින් ඉන්න තැනට කාලතුවක්කුව පස්සට ගන්නයි කියලා කියන්න. හැබැයි ඇන්ඩ්‍රි කුමාරයා අවංක මිනිහෙක්. ඔහු ඈත ඉඳන් ඒක කියන්නෑ. යුද්ධ භූමියට ගිහින් එයා තුෂින්ට උදව් කරනවා කාලතුවක්කුව පස්සට ගන්න. ඔහු ඉන්නෙ මාරාන්තික තැනක. තුෂින් කියනවා, 'මෙතෙන්ට ආව හැම නිලධාරියෙක් ම සෙන්පතිතුමාගෙ අණ කියලා ගියා. මෙතෙන්ට අඩියක් තිබ්බෙ නෑ. නමුත් ඔබතුමා මේ කාලතුවක්කු ඉවත් කරන්න ඇවිත් ඉන්නවා' කියලා. කොච්චර අධ්‍යාත්මිකව මේ යුද්ධය පෙන්වනවද කියනවා නම්, මේ කථාව බොරු වීර කාව්‍යයක් නෙමෙයි. කිසියම් හේතුවක් හින්දා කපිතන් තුෂින්ගෙ ඇස්වල කඳුළු. මොකද හමුදාවෙ ප්‍රධානියෙක් ඇවිත් තමන්ට උදව් කරනවා යුද්ධෙ යන වෙලාවෙදි. හවස යුධ මණ්ඩලය රැස්වුණාම තුෂින්ට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. කුතුෂොව් ඔහුව කැඳවලා අහනවා, 'තුෂින් මොකද මේ උඹ කාලතුවක්කු දාලා පසුබැස්සයි කියන්නෙ' කියලා. ඒක වැරැද්දක් යුධ මණ්ඩලයට අනුව. එතකොට ඇන්ඩ්‍රි කුමාරයා එතැනට ඇවිත් කියනවා, 'ඔබවහන්සේ මට කියන්න අවසර දෙන්න. අද අපි යුද්ධය මේ තරමින්වත් ජයග්‍රහණය කළේ තුෂින් හින්දා' කියලා. තුෂින්ට සේනාධිපති ගාවට එන්න බෑ. ඔහු අහිංසක මිනිහෙක්. ඔහු ඈතට වෙලා වෙව්ල වෙව්ල ඉන්නවා. සේනාධිපති ඔහුට අවවාද කරලා යවනවා. ඒ වගේ සිදුවීම් මේ පොතේ තියෙනවා. යුද්ධය හා සාමය පොතේ මුළුමනින් ම යුද්ධය පෙන්වන්නෙ නෑ. සමහර තැනක තියෙනවා, එක එක සෙනෙවිවරු යුධ සැලැස්ම කියලා බොරුවට සාර් රජ රවටලා වරප්‍රසාද ගන්නවා, 'මෙන්න මං යුධ සැලැස්මක් හැදුවා' කියලා. කුතුෂොව් ඒවා විසිකරනවා 'මොන යුධ සැලසුම්ද' කියලා. ඔහු දන්නවා මොන සැලසුම් හැදුවත් යුද්ධෙ තියන වෙලාවට ඒ අනුව නෙමේ වැඩ සිද්ධ වෙන්නෙ කියලා. එතකොට අර නිලධාරීන් කියනවා, 'සැලැස්මට අනුව දකුණු පැත්තටයි පසුබහින්න තියෙන්නෙ' කියලා. එතකොට කුතුෂොව් කියනවා, 'සැලැස්මට අනුව වෙලාව ආව ම පසුබහියි. උඹලා බොරුවට කොළ නාස්ති කරනවා. යුද්ධ කරන්න බැරිනම් නිකම් ඉන්නවා' කියලා. ඒ විදියට යුද්ධයක් ඇතුළෙ තියෙන ව්‍යාජය මොකක්ද, සැබෑ තත්ත්වය මොකක්ද කියලා.

ලංකාව ලොකු යුද්ධයක් වෙච්ච රටක්නෙ. නමුත් යුද්ධය ගැන මේ තරමින්වත් කොහෙවත් කථා කරලා තියෙනවා කියලා මං හිතන්නෑ. අප්‍රසිද්ධියේ මේවා විනාශ කරනවා. මේ පොත් විනාශ කරලා දාන්න එක හේතුවක් තියෙනවා. ඔය පොත් අයින් කළේ නැත්නම් දැන් ඉන්න ලේඛකයන්ට ලේඛකයො විදියට පෙනී සිටින්න හෝ ඉදිමෙන්න විදියක් නෑ. මේ පොත් කියෙව්වොත් මිනිස්සු දැන් තියෙන සාහිත්‍යයට හිනාවෙනවා. ඒ හින්දා ඒ වගේ ම පොත් ගෙනල්ලා ජනප්‍රිය කරවනවා. ඊටපස්සෙ 'මෙන්න බලන්න අහවල් ලේඛකයා. ඒ විදියට තමයි මාත් ලිව්වෙ' කියනවා. සම්මාන උලෙළවල්වලට ඒ පොත් හරියට වටිනවා. ඕකයි යථාර්ථය. දැන් මේ වගේ සංවාද වලට එන පිරිස අඩුවීමට හේතුවත් ඒකයි. දන්නැති මිනිහට රස විඳින්න බෑ. රුසියන් සාහිත්‍ය, තෝල්ස්තෝයි ම ලොකු වැඩ පිළිවෙළක්. ඔහුගේ 'ස්වාමියා හා වහලා' පිළිබඳ කථාව ආනන්ද අමරසිරි මහතා ඉතා ම විචිත්‍ර විදියට පරිවර්තනය කරලා තියෙනවා. ඒ කථාවෙ ස්වාමියා අධික තණ්හාවෙන් පෙළුණු කෙනෙක්. පල්ලියෙ සල්ලිත් අරන් ඉඩමක් ගන්න යනවා ඔහුගේ සේවකයත් එක්ක. දෙපාරක් තුන්පාරක් පාර වැරදෙනවා. තද හිම කුණාටුවක් හමන වෙලාවක මෙයාලා අතරමං වෙනවා. අන්තිමට ස්වාමියගේ හිත වෙනස් වෙනවා. 'මෙයත් මනුස්සයෙක් නේද' කියලා තමන්ගෙ සේවකයා ගැන හිතන පුදුමාකාර අධ්‍යාත්මික තැනකට එනවා. ඒ ස්වාමියා මැරෙනවා. සේවකයා හිමේ එරුණු ඇඟිලි කිහිපයක් කපලා ජීවත් වෙනවා. ජෝන් ස්ටයිනර් කියන ඉතා විශිෂ්ට විචාරකයා පෙන්වාදෙනවා, තෝල්ස්තෝයි මේ කථා නිකම්ම ආත්මය හා පුනර්ජීවනය ගැන ලිව්වා නෙමේ කියලා. බොරු අදහස් පතුරලා තියෙනවා, 'තෝල්ස්තෝයි ආගමික භක්තියකින්, ආගමික උන්මාදයකින් කටයුතු කළා' කියලා. මේවා සම්පූර්ණ බොරු. මේ පොත් බැලුවා ම තේරෙනවා ඔහු ආත්මීය අරගලයක් ගෙනියන්නෙ කියලා. ස්වාධීන පරිවර්තකයො මේවා පරිවර්තනය කළාට, විචාරකයො විචාර ලිව්වට අපි දන්නවා මේවා විෂයය නිර්දේශ වලට ඇතුළත් වෙන්නෑ. මේ ඉන්න හුඟක් අය හිතනවා විශ්වවිද්‍යාල විශ්ව සාහිත්‍ය උගන්වනවා කියලා. නෑ. එයාලා 80%ක් ම කථා කරන්නෙ පිරිවෙන්වල තියෙන සාහිත්‍යයත්, මාර්ටින් විත්‍රමසිංහගෙ නවකථාත් ගැන විතරයි. අපේ පරිවර්තකයො මේකෙන් එළියෙ ඉඳන් ඉතාමත් අමාරු අරගලයක් ගෙනියනවා. ඒක මුනිදාස සෙනරත් යාපාගෙන් පටන් ගත්තට පස්සෙ ජී.එස්.බී. සේනානායක, ආනන්ද අමරසිරි, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, චූලානන්ද සමරසිංහ වගේ විශාල පිරිසක් මේ කටයුත්ත කරගෙන යනවා. හැබැයි ඒගොල්ලන්ට කිසිම තැනකින් අන්‍රග්‍රහයක් හම්බවෙන්නෙ නෑ. ඒ නිසා දැනට ඉන්න පරිවර්තකයො පවා අපි ආරක්ෂා කළ යුතු යි. යම් කිසි සංවාදයක් ඉදිරියටත් ගෙන යා යුතුයි.


-චින්තක රණසිංහ

[සටහන- ඩිල්ෂානි දාබරේ]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Father Sergius by Leo Tolstoy, Wiraga Sangrama, W A Abeysinghe, Chinthaka Ranasinha, War and Peace, Anna Karenina, Count Lev Nikolayevich Tolstoy, Russian Literature, Sinhala Literature, Ananada Amarasiri, Chulananda Samaranayake, Munidasa Senerath Yapa
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චින්තක රණසිංහගෙන් තවත් වියමන්
කවි
බෝසත්වරියක්
කවි
වෙසක් රැයේ - පෙම්වතියකට තුරු වදුලේ
කවි
ධර්මසිරි රාජපක්ෂ කිවිඳුන් ගැනයි
කවි
පෝදා බෝ මලුවේ හදවත් දෙකක සැඟවුණු සංවාදය
කවි
ඔඩෙල් ලලනාවෝ
තවත් වෙසෙස් බූන්දි
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
ගේබ්‍රියෙල් නම් සුරදූතයා
සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook