Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
බූන්දි, 18:18:57
වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම් යම් අඩුපාඩු සහිතව වුව හැකි උපරිමයෙන් 38වැනි වරටත් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවට හා තරුණ කටයුතු අමාත්‍යංශයට ආචාරාත්මක තුතියක් දැක්විය යුතුබව පළමුව සඳහන් කරණු වටි. මෙවර පැවැත්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල, රාජ්‍ය නාට්‍ය උළෙල හා මේ වනවිට පැවැත්වෙන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වැනි වූ රාජ්‍යයක සාධනීය එළඹුම් හේතුවෙන් ‘වගකීම’ යුතුකම බවට පත්ව ඇති සෙයක් දැන්දැන් පෙනෙන්නට තිබේ. එය අනාගත සුභ නිමිති පෙන්වන්නකැයි අපි සංතෘප්තික අනුමානයක සිටිමු! 80, 90, 2000 දශක මෙන් නොව දින දින නාට්‍ය පෙන්වූ නාට්‍ය කණ්ඩායම් හා සමීපතමයන් හැරුණුකොට ක්‍රමයෙන් හීනවී යන ප්‍රේක්ෂකාගාරයක් සහිතව මෙවරත් දිගු නාට්‍ය 6ක් කෙටි නාට්‍ය 11ක් සහ දමිළ නාට්‍ය 3ක් සහිතව 2107 අගෝස්තු 29 දින සිට සැප්තැම්බර් 08 දින දක්වා තරුණ සේවා නාට්‍ය, මරදාන ටවර් හෝල් රඟහලේදී රංගගත විය.

මෙවර අප වැඩි අවධානයක් දිගු නාට්‍ය වෙනුවෙන් යොමු කරන්නේ ‘ප්‍රපාතය ළඟ වනස්පති', 'සූකර අසපුව', 'මායා බන්ධන', 'ගිරීකුඨ කාශ්‍යප’ වැනි ක්ෂේත්‍රයේ මින් ප්‍රථම වඩා අවධානයට, ප්‍රසාදයට හා සම්මානයට බඳුන් වූ පිටපත් හා නාට්‍යය කිහිපයක්ම දිගු නාට්‍ය උළෙලට එක්ව තිබූ බැවිණි. ඒ අතරිනුත් 1953 ජනවාරි 22 දින ප්‍රථමවරට නිව්යෝර්ක් නගරයේ මාටින් බෙක්ස් රංග ශාලාව තුළ රංගගත වූවා යැයි සඳහන් ලොව අංක එකේ නාට්‍ය පිටපතක් හා සම්භාව්‍ය කෘතියක් ලෙස සැලකෙන ඇමෙරිකානු රචක ආතර් මිලර්ගේ ‘මායා බන්ධන’ නම් නාට්‍යයෙහි ලාංකේය නිෂ්පාදනයක් වන උෂාන් පෙරේරාගේ ‘මායා බන්ධන’ නාට්‍ය ගැන අපගේ අවධානය ප්‍රථමයෙන් යොමු කරන්නෙමු. වෙසෙසින් මෙවන් නාට්‍යයක් සමාජ, ආර්ථික ඉතිහාසයක හා වටපිටාවක ප්‍රථිපලයක් ලෙස අර්ථ විචාරය කිරීම හෙවත් පරිස්ථිතික විචාර ප්‍රවේශයක (Contextual criticism) ද තරඟකාරී උළෙලකට සමගාමීවීම හේතුවෙන් භාවිත විචාර කාර්යයක (Practical criticism) ද පිහිටා අඩුවැඩි වශයෙන් විවරණය කිරීමටත් සිදුවෙයි.

කතාව

සරලව මෙකී නාට්‍යයට අදාළ කතාන්දරය මෙසේය. ලෝකයේ ක්‍රිස්තියානි ආගම දැඩිව පැතිර ගිය අඳුරු යුගයේ හා වහල් මෙහෙයේ අවසාන කාලයයි. ඇමරිකාවේ සලීම් නමැති ප්‍රදේශයක වෙසෙන පවුල් කිහිපයකි ප්‍රොක්ටර්/ පුටිනම්/ පැරිස්/ නර්ස් හා කොරී. ප්‍රදේශයේ නිවාස කිහිපයක මෙහෙකාර සේවයේ යෙදෙන තරුණ කෙල්ලන් කිහිපදෙනෙකි ඇබිගෙල්/ ටිටුබා/ මේරි වොරන්/ මර්සි/ සුසානා. පැරිස් පියතුමා ආගමික මුවාවෙන් තම මඩිය තද කරගනිමින් ගැමි ජනයා වෙත තරමක දැඩි ස්වරූපයකින් ආගම පැතිරවීමට උත්සුක වන අයෙකි. නමුත් ඔහුගේ දියණිය වන බෙටී පැරිස්ට යක්ෂයා වැහී ඇති බව පැවසේ. මේ නිසා එයට හේතුව සොයා තම දියණිය සුවපත් කිරීමට පැරිස් පියතුමා, ජෝන් හේල් නමැති පියතුමාව ගෙන්වයි. නමුත් මේ සිදුවීම පසුපස තිබෙන මායාකාරී ක්‍රියාවක ඉව වැටෙන හේල් පියතුමා එය සොයා යයි. එවිට ඇබිගේල් නම් පැරිස් පියතුමාගේ ඥාති දියණිය ඇතුළු සෙසු කෙල්ලන් දිනක් කැලයේ යක්ෂයා ගෙන්වීම උදෙසා කරන ලද සැලැස්මක් හෙලි වෙයි. මේ අතර ඇබිගේල් හා ජෝන් ප්‍රොක්ටර් නම් විවාහක තිදරු පියා අතර ඇති පෙම්හබයක් දැක්වෙන අතර ජෝන් කලක් යද්දී ඇබිගේල්ව ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය තම මිතුරියන් හා එක්ව ජෝන් හා ඔහුගේ බිරිය වන එලිසබත් ප්‍රොක්ටර්ගෙන් පලිගැනීමට සිතයි. තමා හා යහළුවන් යක්ෂයා සමඟ ගණුදෙනු කිරීමට ගත් තැත හෙළිවන නිසා ඇබිගේල් ඒ අවසරයෙන් ආගම හා රාජ්‍යය නීතියේ පැත්ත ගෙන කටයුතු කරයි. මේ වන විට පළාතේ ආණ්ඩුකාර, නඩුභාර නිලධාරියාත් පත්කරගත් අනෙකුත් ආරක්ෂක නිලධාරිනුත් මෙම ප්‍රදේශයට පැමිණ මෙම මායාකාර යක්ෂයින් සමඟ ගනුදෙනු කළ පිරිස අල්වා මරණ දණ්ඩනය නියම කරමින් සිටියි. මේ සිරගත කිරීම් හා මරණ දණ්ඩන අතරට ප්‍රොක්ටර්/ කොරී/ නර්ස් ඇතුළු ඒ පළාතේ පාරම්පරික පවුල් ඇද දමන ඇබිගේල් සහ මිතුරියන් එම ප්‍රදේශයෙන් පලා යයි. අවසන සලීම් ප්‍රදේශයේ ජනතාව ශෝකාකූල අවසානයකට මුහුණ පාන අතර කලක් ඇවෑමෙන් සියල්ල නැවත යථා තත්වයට පත්වන බව දැක්වෙයි.

බොස්ටන්හි යක්ෂයා

ආතර් මිලර්ට ප්‍රථම ‘මායා බන්ධනය’ නමැති සංකල්පය මැකාති යුගයේ ජර්මානු-යුදෙව් නවකතාකරුවෙකු හා නාට්‍ය රචකයෙකු වන ලයන් ෆුචට්වගේර් විසින් යොදාගෙන ඇත. ෆුචට්වගේර් වොෂිංටනයේ සිටියදී වාමවාදී බුද්ධිමතෙකු ලෙස සැකයට පත්ව, පිටුවහල් කරන ලද අතර 1947දී ෆුචට්වගේර් විසින් සලෙම් වසමේ මායාකාරියන්ගේ කතා පෙරදැරිකරගෙන ‘බොස්ටන්හි යක්ෂයා’ නම් වූ නාට්‍යය රචනා කරන ලදී. ඉන් පසු ජූන් බරෝස් මූසි විසින් එම කෘතිය පරිවර්තනය කර 1953 දී ලොස් ඇන්ජලීස්හි ‘බොස්ටන්හි යක්ෂයා’ නමින්ම රංගගත කරන ලදී. හෙන්රික් ඉබ්සන්ගේ ‘ජන හතුරා’ නැවත ලිවාක් මෙන්ම තමා මායා බන්ධනය සඳහා ද ෆුචට්වගේර්ගේ හා බරෝස් මූසිගේ තේමාවන් පෙරදැරි කරගත් බව ආතර් මිලර් සඳහන් කරයි. මෙය වර්ෂ 1692/93 කාලයේ මැසචුසෙට්ස් නම් වූ ඇමෙරිකානු කොළණියෙහි සිදුවූ සෙල්ම් මායාකාරියන්ගේ නඩු විභාගයන් පිළිබඳව නාට්‍යාභිමුඛ වූ හා අර්ධ වශයෙන් ප්‍රබන්ධ වූ කථාවකි. එක්සත් ජනපද ආණ්ඩුව, කොමියුනිස්ට්වාදීන් බවට පත්වීම නිසා ජනයා පිටුවහල් කල විට මිලර් මැකාර්තිවාදයේ දෘෂ්ටිවාදය උදෙසා මෙම නාට්‍යය ලියා ඇති බව කියැවෙයි. අනතුරුව ‘ආතර් මිලර්ගේ මායා බන්ධනය’, 1953දී හොඳම නිෂ්පාදනය සඳහා වන ටෝනි සම්මානය ද දිනා ගත්තේය. වසරකට පසු නව නිෂ්පාදන ද සාර්ථක වූ අතර නාට්‍යය ඇමරිකානු නාට්‍යයේ කේන්ද්‍රීය නිර්මාණයක් බවටද පත් විය.

කෙසේ වෙතත් මිලර්ට පෙර ඉතිහාසඥයින් දිගු කාලයක් තිස්සේ සලීම්හී සිදුවූ දේ වල සංකීර්ණතාවයන් වාර්තා කිරීම හා ලුහුබැඳීමට උත්සාහ කළ අතර ඇතැම් කරුණු හා සිදුවීම් බොහෝ කලකට පෙර ප්‍රකාශ වී තිබුණි. නමුත් මිලර් තම රචනයේදී ඇබිගේල් විලියම්ස්ගේ වයස 11 සිට 17 දක්වා වැඩිකොට, 1692 දී වයස අවුරුදු 60ක් වූ ජෝන් ප්‍රොක්ටර්ගේ වයස අවුරුදු 30ත් 40ත් අතරට ගෙනවිත් වඩා තරුණ ලෙස හා විශ්වසනීය ලෙස ද නිරූපනය කොට ඇත. එසේම සමානාත්මතාවයෙන් යුත් විනිසුරුවරුන් කීප දෙනකු සිටියත් හාතෝන් සහ ඩැන්ෆෝර්ත් ඔවුන් සියල්ලන්ම සංකේතාත්මක කරයි. මැසචුසෙට්ස්හි සාලම් සහ පියුරිටන් ජනපදිකයන්, කතෝලික ආදිවාසී ඇමෙරිකානුවන් සමග නිරන්තර ගැටුම් ඇතිකරගත් හුදකලා වූ සමාජයක් ලෙස දැක්වෙයි. ශිෂ්ටාචාරයේ හුදෙකලා වීම සහ යටත් විජිතයේ ස්ථාවරත්වයේ ඌනතාවයන් හේතුවෙන් නාට්‍යයයේ දැක්වෙන සිදුවීම්වලට දායකවීමට ඉඩ සලසන ලද අභ්‍යාන්තරික ආතතීන් සඳහා ඒවා හේතු වූ බව රචකයා අනුමාන කරයි. එක්සත් ජනපදය හා සෝවියට් සංගමය යන දෙඅංශයේම සංස්කෘතික සම්මතයන් කෙරෙහි පූනිවරුන්ගේ මූලධර්ම සමාන කර තිබේ. ඊට අමතරව යුරෝපයේ සහ යටත් විජිතවල සිද්ධීන් පසුපස ඇති සාතන්ගේ භීතීන්, සෝවියට් සමයේ නැගෙනහිර යුරෝපයේ හා චීනයේ කොමියුනිස්ට්වාදී භීතියට සාපේක්ෂව ඉදිරිපත් කිරීමට කතුවරයා වෙහෙසුන බව සඳහන් වෙයි.


ආතර් මිලර් (1915-2005)

මායා බන්ධන- ලංකාව තුළ

යම් කලා කෘතියක් සම්භාව්‍ය මට්ටමකට පැමිණ ලොව පුරා විවිධ භාෂාවලින්, දේශාන්තර මට්ටමින් නිපදවෙන විට එහි ඇති සර්වකාලීන බව නවමු මානයකින් විවිධ අර්ථ ගැන්වීම් ඔස්සේ ප්‍රතිනිර්මාණය වෙයි. ආතර් මිලර්ගේ මායා බන්ධනය ද ඔපෙරාවට, චිත්‍රපටයට නැගුණු අවස්ථා බොහෝ වන අතර අප නොදන්නා තරමට නැවත නැවත ලෝකය පුරා මෙකී නාට්‍ය පිටපත දහස්වාරයක් නාට්‍යයක් ලෙස ප්‍රයුංජනය වී ඇත්තේ වෙයි. ඇත්තෙන්ම බටහිර හා යුරෝපීය රටවල රෝමියෝ ජුලියට්, සුරූපී සහ මෘග, ස්නෝ වයිට්, ඔතෙලෝ වැනි වූ සංස්කෘතිකමය වශයෙන් එදිනෙදා භාවිතයට නිරායාසයෙන් පැමිණෙන කතන්දර අතරට එක්වීමට මෙහි එන ඇබිගෙල්, ටිටුබා, හෙල්, ප්‍රෝක්ටර් වැනි චරිත ද සලීම් වසමේ මායාකාරී කතාන්දර ද සාතන්ගේ භීතිය හා බැඳුණු යක්ෂාවේශය ද සමත් වී තිබේ.

ලාංකේය අර්ථයෙන් මෙම නාට්‍යය මේ මොහොත වනවිට ලංකාව මුහුණ දෙන සමාජ, ආගමික හා පාලන තන්ත්‍රය ආශ්‍රිත ක්‍රියාකාරකම් මැනවින් පැහැදිලි කොට එහි ඇති උත්ප්‍රාසාත්මක දේශපාලනික තත්ත්වයන් හුවා දැක්වීමට අගනා කැඩපතක් වැනිය. යම් නිර්මාණශීලි රචකයෙකු මෙය බෞද්ධාගමික පසුබිමක් යටතේ නැවත රචනා කරන්නේ නම් එය වඩාත් විචක්ෂණශීලී ලාංකේය නාට්‍ය රචනාවක් වනු ඇත්තේය! මෑතකදී පාසැල් නාට්‍ය තරඟාවලියට සමගාමීව ආතර් මිලර්ගේ කෘතිවලින් තෝරාගත් කොටස් නිෂ්පාදනය කිරීමට ඉඩහසර සලසා දී තිබුණු අතර බොහෝමයක් පාසැල් මෙම ‘මායා බන්ධන’ පිටපතේ කොටස් තෝරාගෙන තිබිණ. විශ්වවිද්‍යාල කිහිපයකම විභාග කටයුතු සඳහා ද මෙම පිටපත ආශ්‍රය කරගෙන තිබිණ. ඊට වෙසෙසින්ම ලාංකේය ශාස්ත්‍රීය අවධානය මෙවන් කෘතියකට ලබා දුන් රාජිත දිසානායක, පියල් කාරියවසම්, වරුණ අලහකෝන් සහ මුල් පිටපත වඩා දේශීය ස්වරූපයකින් පරිවර්තනය කෙරූ ගාමිණි වියන්ගොඩ යන විද්වතුන්ට තුති පිදිය යුතුය. ඇත්තෙන්ම වියන්ගොඩ පරිවර්තනය නොවන්නට මෙරට සිංහල කලාකාමීනට ‘මායා බන්ධන’ තවමත් වැසුණු තිරකඩක් වන්නට ඉඩ තිබිණ.

බොහෝ දෙනෙකු මෙවන් නාට්‍ය පිටපතක් නිෂ්පාදනය කිරීමට භීතිය මුසු ආශාවක් දක්වන අතරම සිදුවන නිෂ්පාදනමය කටයුත්තකට නොසෑහෙන ලෙස දෙස් තැබීමට ද බලා සිටිති. මෙකී අර්ථයෙන් උෂාන් තබා ඇති පියවර අගය කටයුතු වන අතරම අභියෝගාත්මක ද වන්නේය. උෂාන්ගේ නාට්‍ය ආරම්භ වන්නේ ගොතික් ලක්ෂණ මුසු වූ ගුප්ත හැඟීමක් ජනිත කරවන සංගීත ඛණ්ඩයක් සමඟිනි. එය ස්ත්‍රී හඬක් මුසු වූ අනාගත ව්‍යසනයක් කියාපෑමට සමත් සංගීතයකි. ප්‍රේක්ෂකයා උද්යෝගිමත් වෙයි. සෙමෙන් සංගීතය පහවයමින් වේදිකාව වැඩි නිල්පැහැයකින් ආලෝකමත්වෙමින් නාට්‍ය දෘශ්‍ය මට්ටමකට පැමිණෙයි. වේදිකාවේ උපරි වේදිකාවක් (sub-stage) දක්නා ලැබෙයි. පළමු දර්ශනය පැරිස් පියතුමා තම දියණිය වන බෙටීගේ රෝගය සුව කරගැනීමට වෙහෙසෙන, ඇබිගේල් හා ප්‍රොක්ටර්ගේ අසම්මත ප්‍රේමය විධාරණය වන ප්‍රේක්ෂකයා හමුවේ සමස්ත කතන්දරයේම ප්‍රවේශය හා සාරාංශය ලබාදෙන මොහොතයි. නාට්‍යය ගලා යයි.


The Crucible (1996 චිත්‍රපටය- Nicholas Hytner)

සුසානා, ටිටුබා, බෙටි යන චරිත නිරූපණය කළ නිළියන් (ඉමාලි උදේශිකා, චාමිනි, බිලේෂා විජේරත්න) යහපත් ප්‍රවේශයක් සනිටුහන් කළ අතර ඔවුන් ද ඇතුළුව ඇබිගේල් හා පැරිස් පියතුමා යන චරිත නිරුපණය කළ දෙදෙනා (කසුනි, ක්‍රිෂාන්) නැවත තම චරිත හා රංගනය දෙස ජිවිත පරිඥානය ඔස්සේ බැලිය යුතු බවට යෝජනා කරමු. නාට්‍ය අවසානය වන විට ක්‍රිෂාන්, පැරිස් පියතුමාගේ චරිතයට ක්‍රමිකව අවතීර්ණ වූ සැටියක් පෙනෙන්නට තිබුණි. මෙවන් ආධුනික නළුනිළියන් තුළින් විශද වන්නේ ඔවුන්ගේ අදක්ෂතා නොව ගැඹුරු පිටපතක චරිත හා සමාජ වටපිටාව ග්‍රහණය කරගැනීමට අවශ්‍ය ජිවිත අත්දැකීම් ප්‍රමාණයේ මදකමත් නළුවරණයේ ඇති දුර්වලතාත් (Casting errors) ය. තරුණ නාට්‍ය උළෙලකදී මෙය සාමාන්‍ය තත්වයක් වුවද තරඟකාරී මට්ටමක් අවශ්‍යවන හෙයින් ඒවා සාධාරණීකරණය කිරීමට අධ්‍යක්ෂක ඇතුළු නාට්‍ය කණ්ඩායමට ඉඩහසර නොලැබෙයි. නළුවරණයේ දුර්වලතා නාට්‍ය පුරාම දක්නට ලැබුණු අතර මේ හේතුවෙන් පිටපතෙහි මතුපිට අර්ථයට වඩා වැදගත්කමක් හිමි වී යටි අරුත් (sub-texts) බොහොමයක් ගිලිහී ගියේය. මෙම තත්වයෙන් මිදීමට පුටිනම් මිය (චන්දිමා සිරිනායක), ෆ්‍රැන්සිස් හා රෙබෙකා, මේරි වොරන් (නයනතරා සිල්වා) හා හර්තොන් (චතුරංග), හෙරික් (කසුන් තාරක), ශිවර් (ජාලිය) යම්තාක් දුරට සමත්විය. මෙවන් විටකදී ඇතිවන්නේ අතිරංගනය හා පැරණි පුහුණු ක්‍රම (over & old fashioned acting) නොදැනුවත්ව මතුව ඒමයි. ජිල්ස් කොරී (මාධව චතුරංග) හා ෆ්‍රැන්සිස් නර්ස් (තිලිණ අයෙශාන්) යන නළුවන්ගේ රූපණය, චරිතය තමාගේ කොට ගනිමින් නාට්‍යයේ බොහෝ තැන් ඒකාකාරී වී රංග අවපාතයකට යාමට තිබු අවස්ථා මඟහැර වෙන්වෙන් වශයෙන් චරිත හුවා දැක්වීමටත් නාට්‍යයේ ජීව ගුණය රැකදීමටත් සමත් විය. වෙසෙසින් සෙසු චරිත අභිබවමින් නිරායාසයෙන් කැපී පෙනිමටත් අත්දැකීම් බහුල නළුවන්ගේ රූපණයේ ඇති සාධිත බවත් පෙන්වීමට ජෝන් ප්‍රොක්ටර් (අනුරාධ මල්ලවආරච්චි)/ එලිසබත් ප්‍රොක්ටර් (මිහිරි ප්‍රියංගනී)/ හෙල් පියතුමා (එස්.අයි. සමරක්කොඩි) හා ඩැන්ෆොර්ත් ආණ්ඩුකාර (උදිත ලියනගේ) යන චරිත නිරූපණය කල නළු නිළියන් සමත්වූ අතර ඒ හේතුවෙන් නාට්‍යයේ මුඛ්‍ය හා මුල් කෘතියේ අර්ථය තරමක් විකෘති වූ අයුරු දක්නට ලැබිණ.

මෙම නළුනිළියන් අතරින් වඩාත් සාධනීය හා නියම ලෙස රංගනය සඳහා මනෝ අනුභූති ස්මරණයක් වැනි විධික්‍රමයකින් ආලෝකය ලබාගෙන තිබුණේ එලිසබත්ගේ චරිතය රඟපෑ මිහිරි ප්‍රියංගනී පමණි. අනුරාධ මල්ලවආරච්චි, එස්.අයි. සමරක්කොඩි හා උදිත ලියනගේ තම උපරිමය චරිතය සඳහා ලබාදුන් නමුත් තැන් කිහිපයකදී දෙබස් පටලැවීම්, රංග උපකරණ භාවිතය, චරිතය මඟ හැරී නළුවා ඉස්මතු වීම, හඬ පෞරුෂය හෝ චරිතයට අදාළ තත්ත්ව රූපණය ගිලිහීයාම හා පුහුණුකරන ලද විලාශ (styled) ආදී කාරණා හේතුවෙන් නැවත තම රංගනය දෙස මදක් ආපසු හැරී බැලිය යුතුයැයි යෝජනා කළ හැකිය. එනම් ව්‍යංජනා ශක්තිය වර්ධනය කරගැන්ම හෙවත් මතුපිට නොව භාවිතය ආශ්‍රයෙන් ගැඹුර සොයා යා යුතුය. කැපවීම ඔස්සේ ජිවිතයේ විවේචනාත්මක යථාර්ථය සොයාගත යුතුය. මෙවන් පිටපතක් ආශ්‍රිත රංගයකදී සාවද්‍ය ප්‍රබල රංගනයක් (actor proof) හෙවත් සරල රූපණයකින් වූව ගැඹුර ඉස්මතුවීම සිදුවන අතර පිටපත දුර්වල රූපණයට එරෙහිව නැඟී සිටියි. වෙසෙසින් මෙම පිටපත මාර්ටින් වික්‍රමසිංහ, විලියම් වර්ඩ්ස්වර්ත් වැනි සාහිත්‍ය රචකයින්ගේ නාට්‍ය රචනා මෙන් කියවා රස විදියහැකි (closet drama) සාහිත්‍යමය ගුණයකින් ද ඉබ්සන්, ස්ට්‍රින්බ්ර්ග් වැන්නවුන්ගේ ගැටලුමුසු නාටක (problem play) ආභාශයකින් ද යුතු වෙයි.

අධ්‍යක්ෂණ කාර්යයේදී නළුවන් වේදිකාවට ගෙන්වීම (blocking), ස්ථානගත කිරීම (positioning), රූපණ ප්‍රදේශ (acting area) භාවිතය හා දෘෂ්ටි ගෝචරබව (spectacle) ආදිය කෙරෙහි උෂාන්ගේ අවධානය වඩාත් යොමුවී තිබිණු බව පෙනුණි. ඇබිගේල් ඇතුළු කෙල්ලන්ගේ හැසිරීම්, බෙටිගේ අසනීපය හා මව සොයායෑමට ගන්නා තැත, නඩු විභාගය හා අවසන් දර්ශනය ආදි අවස්ථාවලදී එකී ලක්ෂණ සාධනීයව ඉස්මතු වීය. ඩෙකාර් ක්‍රමයේ (Decor) අවමයට යොදාගෙන තුබූ රංග පසුතල භාවිතය (සනත් බණ්ඩාර) වඩා අපූර්වත්වයක් එක්කළ අතරම උසාවිය, සිරකුටිය, පළමු දර්ශනය ආදියේදී නාට්‍යයේ මුඛ්‍ය අර්ථයට යම් සාංදෘෂ්ටිකබවක් (existential) හෙවත් ජීවිතය පිළිබඳ ශුන්‍යාර්තයක් ප්‍රේක්ෂක මනසට සමීප කරවීමට සමත් විය. රංගාලෝකය ද ඉතා අවම වශයෙන් යොදාගෙන තිබු අතර පසුතලය සමඟ ගත්විට නිෂ්පාදන කාර්යයෙදී නාට්‍යයට යම් දුරස්තීකරණයක් (alienation) අපේක්ෂා කලේ දැයි අනුමාන කළ හැකිය. මෙවැනි උපක්‍රම ඔස්සේ වේදිකාවේ මැවීමට උත්සුක වූ දෘෂ්ටි ගෝචර රටාව (Visual pattern) යම් සාර්ථකත්වයක් ඉසිලීය. දර්ශන දෙකක් අතරතුර ඉතා සංයමයෙන් සංගීතය සමඟ පසුතල හුවමාරුව සිදු වූ අතරම ඉන් නාට්‍ය කණ්ඩායමේ විනය, පෙර පුහුණුවේ හා වේදිකා කළමනාකරණයේ (මාධව චතුරංග) තත්ත්වය හුවා දැක්විණ. තුන්වන දර්ශනය ආරම්භයට පෙර නාට්‍ය සන්දර්භය විසින් අපේක්ෂා කල සංගීතය තබා කිසිදු සංගීත ඛණ්ඩයක් නොමැතිවීමෙන් ප්‍රේක්ෂකයා තුළ ඇතිකළ හැකිවතිබු එක් ආසාදන (infection) අවස්ථාවක් ගිලිහී ගියේය. අවසාන දර්ශනයේ දී රාත්‍රිය හා හිමිදිරිය මැවූ ආකාරයත් ඈතින් ඇසෙන ශ්‍රව්‍ය වේදිකාව පරයමින් වෙනත් මානයක් වේදිකාව මත මැවීමට ගත් උත්සාහය ද (making distance within sound effects) තරුණ වේදිකාවේ සුභ නිමිත්තකි. ආධුනික නළුවන් සමඟ ගනුදෙනු කිරීමේදී වඩා අනිවාර්යය අංගයක් වන අංගරචන හා රංග වස්ත්‍ර නිර්මාණය මෙම නිෂ්පාදනයේ වඩාත් දුර්වල මට්ටමකින් දක්නට ලැබීම නළු නිළියන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද අපහසුවක් ඉතිරි කරණු පෙනුණි. මෙවන් ගැඹුරු අර්ථාන්විත පිටපතකට ලැබිය යුතු ප්‍රබල සාත්තුවක් වන් වූ අංගරචනය හා රංග වස්ත්‍ර තරගකාරී අංශය නියෝජනයට කිසිසේත් උචිත නොවේ.

සමාප්තිය

ලොව විචාරකයන් බොහෝ විට නව යථාර්ථවාදී (neo-realism) කුලයට වටයන මෙම නාට්‍යයට උෂාන් නව අර්ථයක් එක් කිරීමට ගෙන තිබු වෙහෙස අගය කල හැකිය. නමුත් මෙම නිෂ්පාදනයේ ප්‍රධානතම දුර්වලතාවය ලෙස ගැනිය හැක්කේ මිලර්ගේ පිටපතෙහි අර්ථය ගිලිහී ගොස් වෙනත් අර්ථයක් ඉස්මතු වීමය. එනම් අන්තර්ඥානය (insight) මඟින් අවසන් ඵලය ලෙස ප්‍රේක්ෂකයා වෙත සම්ප්‍රජානනය (awareness) වූ දෘෂ්ටිවාදයේ (ideology) වෙනස් වීමයි. ආතර් මිලර් මතුපිටින් උත්සුක වන්නේ ආගමික අන්ධානුකරණය යටතේ මනුෂ්‍යත්වයට සිදුවිය හැකි ව්‍යසනය හුවා දක්වන ගමන් යටි පෙළක් ලෙස දේශපාලන භිතිකා, වර්ගවාදී අදහස්, බලය- මුදල හා රාගය පසුපස දුවන හොඳ නරක මිශ්‍රිත මිනිසුන්ගේ ජිවිත හැඩගැසෙනා ආකාරයත් කලකට ප්‍රථම සිදුවූ මානුෂික ව්‍යසනයක අඳුරු පැතිකඩ හුවා දැක්විමටත්ය. නමුත් උෂාන්ගේ නිෂ්පාදනයේදී වඩාත් ඉස්මතු වන්නේ රාගය හෝ ප්‍රේමය හේතුවෙන් ගන්නා පලියකුත්, ආගමික ශ්‍රද්ධාවත් යන කාරණා පමණි. මිලර්ගේ මායා බන්ධනයේ ප්‍රධාන චරිත නොමැත. නමුත් උෂාන්ගේ නිෂ්පාදනයේ ජෝන් ප්‍රොක්ටර්, ඇබිගේල් විලියම්ස්, එලිසබත් ප්‍රොක්ටර් වැනි චරිත ඉස්මතු වී ප්‍රධාන චරිත බවට පත්විය. අප සානුකම්පිතබවක් (pathos) දක්වන්නේ කා වෙනුවෙන් ද යන්න එවන් විටක ගැටලුවකි. මෙම තත්ත්වය මඟ හරවාගත හැක්කේ නාට්‍ය පිටපත රූපණ පිටපතක් (acting or editing version) බවට පත් කරගැනීමේදී හා නළු හෝ වේදිකා කාර්යයන් සඳහා උපදෙස් (business) ලබාදීමේදී ය. නාට්‍ය කණ්ඩායමේම ආකල්පමය (attitude) වෙනසක් ඇතිකොට, අර්ථව්‍යක්තිය (clarity of expression) කුමක්ද යන්න පහදා දීමටත්, ඉන් අවසන් නිෂ්පාදන ඵලයේ ස්ථාවරය (stand) හා අභිප්‍රාය (intention) මෙන්න මේ යැයි නිරවුල්ව දැක්වීමටත් අධ්‍යක්ෂකවරයාට හැකිවිය යුතුය.

මෙම නිෂ්පාදනයේ ජෝන් ප්‍රොක්ටර් කතා නායකයා වන්නේය. දුඛාන්ත දෝෂය (tragic flaw) ඇතිවන්නේ ඔහු හා ඔහුගේ භාර්යාව තුළ වන අතර අප ඔවුන් සමඟ සභානුභූතියක් (empathy) ඇති කර ගන්නෙමු. එවිට අපට හේල් පියතුමා, රෙබෙකා, ජිල්ස්, මේරිවොරන් ආදී චරිත ගිලිහී යයි. එසේම ඇබිගේල්, ඩැන්ෆොර්ත් හා පැරිස් පියතුමා වැනි චරිත මෙම නිෂ්පාදනයේදී පැතලි චරිත බවට පත්ව ඇත්තේය. ඔවුන් වෙනුවෙන් අප තුළ ක්‍රෝධයක් හටගනී. එවිට චරිත කෙරෙහි ඇතිවන්නේ සෝපහාසයකි. මෙය වඩා අර්බුදකාරී තත්වයක් වන අතර ඉදිරි නිෂ්පාදන කටයුතු වලදී මෙම තත්වය මඟහරවා ගන්නේ නම් මැනවයි සිතෙයි. ප්‍රොක්ටර් තුළ දුඛාන්ත දෝෂය ලෙස සාඩම්බරබව හා අවංකකම ඉතිරි කරමින් අප තුළ ඔහු හා එලිසබත් ගේ ඉරණම වෙනුවෙන් (වෙනත් චරිත මඟහරිමින්) කරුණාවක් හටගන්නා අතරම ශෝකයත් බියත් ඇතිව අප රංග ශාලාවෙන් පිටතට පැමිණුනෙමු. එකී අර්ථයෙන් උෂාන් ඇතුළු නාට්‍ය කණ්ඩායම තැබූ පියවර අගනේය.

උක්ත කී දෘෂ්ටිවාදය තේරුම් නොගැනීමේ හා පටලවාගැනීමේ අර්බුදය මෑතකාලීනව නිපදවුණු බොහොමයක් පරිවර්තන හා විශ්ව විද්‍යාල නාට්‍ය තුළින් (සුරඟනක් බඳු පුරඟනක්, චත්‍රපානි, සිල්ගත් බිල්ලෝ, සෙකන්ඩ් හෑන්ඩ් ජිවිතේ වැනි) ගම්‍යමාන වූ අතර මේ තරමට හෝ සාධිත නාට්‍ය හටගැනීමත් ඒවායෙන් ආලෝකය ලබන තරුණ හා පාසල් නාට්‍යකරුවනුත් හේතුවෙන් කෙසේ හෝ දෙස් විදෙස් නාට්‍යය නිෂ්පාදනය වීම සැනසීමට කරුණකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Crucible by Arthur Miller, Maya Bandandana by Ushan Perera, Gamini Wiyangoda, Sri Lankan Youth Drama Festival, Sinhala Drama, Sri Lankan Stage Drama
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප‍්‍රනීත් චානක මුරමුදලිගේගෙන් තවත් වියමන්
කතා-බස්
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
කතා-බස්
විවෘත නාට්‍ය විචාරයක් නැතිකමින් හොඳ නිර්මාණ සමාජගත වෙන්නේ නෑ.- ප්‍රියංකර රත්නායක
රංග
මකරටක වෙසෙන සිරිවර්ධන පවුලක්
රංග
සිංහල වේදිකාවට ඇත්නම් 'පැන්තම්'..!
රංග
2014 රාජ්‍ය නාට්‍ය උළෙල සහ දිගු නාට්‍ය හටන
තවත් රංග බූන්දි
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
BoondiLets| ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
වෙසෙස්| එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන... [More]
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
රත්තරං ටික| සොක්‍රටීස්ගේ මරණය

35-Secs

(එරික් ඉලයප්ආරච්චි) ප්‍රංශ මහා විප්ලවයේ දොරකඩ සිටිමින් ශාක් ලුයී ඩේවිඩ් (1748-1825) මේ අසහාය චිත්‍රය නිමවූයේ ය. ග්‍රීක... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook