Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
රැකියා විරහිත උපාධිධාරියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය
බූන්දි, 17:45:36
රැකියාව හා ජීවන රටාව

පරිභෝජනවාදී සමාජ ආර්ථීක ක්‍රමයක් තුළ 'රැකියාව' යන්නට නිර්වචන සැපයීමේදී එය පුද්ගලයෙකු ස්වාධීනවීමේ මූලික නිර්ණායකයක් ලෙස අපට හඳුනා ගත හැකිය. තමන්ගේ දහඩිය මහන්සියෙන් හරි හම්බ කර, කිසියම් වැටුපක් ලැබ, එයින් පෝෂණයවීම හා තම අවශ්‍යතාවන් සපුරාගැනීම යන පදනම දමාගැනීම උදෙසා ඕනෑම පුද්ගලයෙකුට රැකියාවකින් ලැබෙනුයේ සුවිසල් වූ ආලෝකයකි. එමෙන්ම රැකියාවක් යනු එහි වාච්‍යාර්ථයෙන්ම තම සුරක්ෂිත බව උදෙසා සිදුකරනු ලබන ක්‍රියාවකි. එහි කේන්ද්‍රීයව පවතිනුයේ ආර්ථීක සුරක්ෂිතතාවයි. ඊට පසුගාමීව සමාජයීය සුරක්ෂිතතාව, සිය පවුලේ සුරක්ෂාව, ස්වාධීනත්වය, අවශ්‍යතා හා ජීවිතයේ විවිධ ඉලක්ක එකින් එක සාපේක්ෂ වශයෙන් පෙළ ගැසී සිටී.

තවද ලෝකයේ ඕනෑම රැකියාවක් සාපේක්ෂ පදනමක් සහිත දෙයකි. එබැවින් කිසිදු රැකියාවක් බොහෝවිට එහි සන්දර්භය තුළදී තවත් රැකියාවකට නොදෙවෙනි වන අතර, මුල්‍යමය ප්‍රතිලාභ තුළින් පමණක් එකිනෙකට වෙනස් වේ. එයද තීරණය කරනුයේ කිසියම් සමාජයක පවතින සමාජ, ආර්ථීක අධිකාරිය විසිනි. එමෙන්ම රැකියාවක නිරතවීම හෝ නොවීම යනු ස්වයං තීරණය මත සිදුවන දෙයක් ද වේ. එයද විවිධ දර්ශන හා පුද්ගල සාපේක්ෂතාවන්ට අදාළ කාරණාවකි. මේ අනුව 'රැකියාව' යන නිර්ණායකය ඔස්සේ විවිධ කලාප වෙත අපගේ විමසුම් ඇස යොමු කළ හැකිය.

කෙසේ නමුත් අද්‍යතන සමාජ ක්‍රමය තුළ ජීවත්වන අපට රැකියාවකින් තොරව ජීවත්වීමට හැකිද යන ප්‍රශ්නාර්ථය පවතී. රැකියාවක් නොකර ජීවත්වීමටනම් එක්කෝ ගිහි ජීවිතයෙන් මිදිය යුතුය. නැතිනම් තමන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම උදෙසා පුද්ගලයෙකුට අන්සතු දේ කඩාවඩා ගැනීමට සිදුවනු ඇත. එසේත් නොමැතිනම් උපතින්ම අසීමිත ධනස්කන්ධයක උරුමකරුවෙකු විය යුතුය. නැතිනම් කිසිදු රැකියාවක නිරතවීම උදෙසා ශාරීරික හෝ මානසික ශක්‍යතාවක් රහිත අයෙකු විය යුතුය. ඒ හැර මේ සමාජයේ ඕනෑම වැඩිහිටියෙකු පෞද්ගලිකව තමන්ගේත්, සාමූහිකව තම පවුල ඇතුළු සමීපතමයන්ගේත් සුරක්ෂිතතාව වෙනුවෙන් කුමන හෝ රැකියාවක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදුකළ යුතුමය.

රජයේ රැකියාව හා උපාධිධාරියා

මෙහිදී විශේෂයෙන්ම විමසා බැලිය යුත්තේ නව ලිබරල්වාදී සමාජ ආර්ථීක ක්‍රමයක් තුළ රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයයි. එහිදී විවිධ සුදුසුකම් හා නිර්ණායක පදනම් කොටගනිමින් පුද්ගලයින් හට රැකියා ලබාදීම උදෙසා මැදිහත්කරුවෙකු ලෙස 'රාජ්‍යය' කටයුතු කරයි. එනම් එය පුද්ගලයාගේ උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය නිකුත්කිරීම දක්වා වූ රාජ්‍ය මැදිහත්වීමේ තවත් එක් අවස්ථාවකි. අප විසින් එය රජයේ රැකියා යනුවෙන් හඳුන්වනු ලබන අතර, සැලකිය යුතු කායික මානසික නිර්ණායක සහිත වයස පසුකළ සියලුම රජයේ රැකියාලාභීන්ට විශ්‍රාම වැටුපක් ගෙවමින් ඔවුන්ගේ ඉදිරි ජීවිතය සුරක්ෂිත කිරීම උදෙසාද නව ලිබරල්වාදී රාජ්‍යය මැදිහත් වේ. ඒ අනුව සමාජය තුළ රජයේ රැකියාව යනු දිගුකාලීන ආයෝජනයක් සහිත ස්ථාවර සුරක්ෂිතතාවකි. එසේ හෙයින් රජයේ රැකියාවකට සමාජය තුළ පවතිනුයේ සුවිශාල වූ පිළිගැනීමකි. එමෙන්ම දැඩි තරඟකාරීත්වයකි.

එයිනුත් උපාධිධාරියෙකුට හිමිවන රජයේ රැකියාව අනිවාර්ය වියයුතුයැයි පිළිගැනීමක් සමාජගතව ඇත. එයට හේතුව උපාධිධාරියා යනු ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපන කඩඉම් පසුකොට තෘතියික සුදුසුකම් ලබා උසස් අධ්‍යාපනය සඳහා යොමුව, එයිනුත් 'උපාධිය' නමැති රජයේ උසස්ම අධ්‍යාපන සහතිකය ලද්දෙකු වීමයි. එසේ හෙයින් උපාධිධාරියාට ඔහුගේ හෝ ඇයගේ මහන්සිය, සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලබාදීම උදෙසා නව ලිබරල්වාදී රාජ්‍ය ක්‍රමය සෘජුවම මැදිහත් විය යුතුය. එය එම රාජ්‍ය ක්‍රමය තුළ ඓතිහාසික වශයෙන් විකාශනය වූ අඛණ්ඩ ක්‍රියාවලියක් වන අතර, 'උපාධිධාරියා හා රජයේ රැකියා' යන අන්‍යෝන්‍ය බැඳීම අද වන විට ගසට පොත්ත මෙන් බැඳුණු ස්ථාවර බන්ධනයක් ලෙස පිළිගැනීමට සමාජය පෙළඹී ඇත. නමුත් මෙම සටහන තබන මොහොත වනවිටද අප රටේ රැකියා විරහිත උපාධිධාරීහු බහුතරයක් සමාජය ඉදිරියේ විසල් ඛේදවාචකයකට මුහුණපා සිටිති. මං මාවත්, වීථී, වටරවුම්වල, පෙළගැසී රැකියා ඉල්ලමින් සිටිති. මේ කතාබහ ඔවුන්ගේ ජීවිත පිළිබඳවයි.

උපාධියට ගැළපෙන රැකියාව හා රාජ්‍යයේ මැදිහත්වීම

නිදහස් අධ්‍යාපනයත් සමගම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සියලු ජන කොටස්වලට විවෘත විය. ඕනෑම දරුවෙකුට උසස්පෙළ විභාගය ඉහළින් සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබීමට ඉඩහසර උදාවිය. ඒ අනුව ගම් නියම් ගම් මට්ටමින් විශ්වවිද්‍යාල වරම් ලබන උපාධි අපේක්ෂකයින් පිරිස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. මහපොළ වැනි ශිෂ්‍යත්ව ක්‍රම හරහා එම විශ්වවිද්‍යාල අධ්‍යාපනය තවත් සුරක්ෂිත කරනු ලැබූ අතර, උපාධිධාරී සියලුම විද්‍යාර්ථීන්ට රජය විසින් රැකියා ලබාදීම සඳහා ද සෘජුවම මැදිහත් විය. ඒ සඳහා මෑත කාලීන ඉතිහාසය දක්වාම උදාහරණ අපට හමුවේ.

නමුත් උපාධිධාරීන් ක්‍රම ක්‍රමයෙන් රජයට දරාගත නොහැකි මට්ටමට වර්ධනය වීමට පටන් ගැනුනි. බාහිර උපාධි අධ්‍යාපන ක්‍රමය හරහා එය තව තවත් වර්ධනය වූ අතර, විශ්වවිද්‍යාල සඳහා බඳවාගනු ලබන සිසුන් පිරිස වැඩි කිරීම මෙන්ම උපාධි පිරිනමන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන විශාල වශයෙන් බිහිවීම හේතුවෙන් එම උපාධිධාරීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ ගියේය. රටේ රැකියා පුරප්පාඩුවලට වඩා බිහිවන උපාධිධාරීන් ප්‍රමාණය වර්ධනය වූ අතර, ඔවුන්ට රැකියා ලබාදීම සඳහාද තරඟ විභාග පැවැත්වීමට සිදුවන්නේය. ඒ අනුව මුල් යුගයේදී සියලු උපාධිධාරීන්ට තමන්ගේ උපාධියට අනුව රජයේ විවිධ රැකියා තරඟ විභාගයකින් තොරව බොහෝවිට හිමි වූ අතර, එම තත්ත්වය අද වන විට තරඟ විභාගවලින්ද නොනැවතී සම්මුඛ පරීක්ෂණද කිහිපයක් දක්වාම දීර්ඝ කරන්නට සිදුව ඇත. ඒ සියල්ලටම හේතුව වන්නේ අතිශය බහුතරයකින් වඩාත්ම සුදුස්සන් සුළුතරයක් තෝරාගැනීමට සිදුවීමයි. කෙසේ හෝ වේවා මෙම සියලුම උපාධිධාරීන්ට රැකියා සැපයීමේ පුළුල් ජාතික වැඩපිළිවෙලක් පවතින ඕනෑම රජයකට අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

විශේෂයෙන්ම උපාධිධාරියාගේ උපාධියට ගැළපෙන රැකියාවක් සැමවිටම ලබාදීමට රාජ්‍යයට හැකියාවක් නොමැති වන්නට පිළිවන. මෙම කාරණය මුල් යුගයේදී සාර්ථක අයුරින් ක්‍රියාත්මක වූ නමුත් අද වන විට සිටින බහුතර උපාධිධාරීන් හමුවේ ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ රේඛීය රැකියා උත්පාදනයක් සැපයීමට රාජ්‍යය අපොහොසත්ව සිටී. උදාහරණයක් ලෙස වෛද්‍ය උපාධිය, ඉංජිනේරු උපාධිය වැනි උපාධිවලට රේඛීය රැකියා සෘජුවම හිමිවන නමුත් මානව ශාස්ත්‍ර, කළමනාකරණ, විද්‍යා වැනි උපාධිධාරීන්ට එසේ රේඛීය රැකියා ලබාදීමේ ප්‍රබල අපහසුතාවක් පවතී.
එයට හේතුව වන්නේ විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වන බොහෝ උපාධි පාඨමාලා සහ ලංකාවේ රැකියා වෙළඳපොල අතර සමගාමී බව වර්ධනය කිරීම උදෙසා මෙරට තුළ කිසිදු වැඩපිළිවෙලක් නොමැතිවීමයි. මෙම අර්බුදය මානව ශාස්ත්‍ර උපාධිධාරීන් ඉදිරියේ වඩාත් බරපතල අයුරින් බලපා ඇති අතර, අද වන විට රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් සාතිශය බහුතරය ද මානව ශාස්ත්‍ර විද්‍යාර්ථීන්ය. මුල් යුගයේදී මෙම මානව ශාස්ත්‍ර උපාධිධාරීන් සියල්ලකටම පාහේ සෘජුවම රජයේ ගුරු පත්වීම් හිමිවූ අතර, එය ක්‍රම ක්‍රමයෙන් පසුකාලීනව සංවර්ධන නිලධාරීන් දක්වාම විකාශනය වන්නට විය. එනම් ඕනෑම උපාධිධාරියෙකුට රජය විසින් ලබාදෙනු ලබන සෘජු රැකියා අවස්ථාව හෙවත් උපාධිධාරීන් උදෙසා පවතින වත්මන් ජාතික රැකියා අවස්ථාව වන්නේ 'සංවර්ධන නිලධාරී' (Development Officers) පත්වීම්ය. වත්මන් පාලන තන්ත්‍රය විසින් ද පසුගිය මාස කිහිපය තුළ මෙම පත්වීම් ලබාදීම සඳහා ජාතික වශයෙන් අයදුම්පත් කැඳවා තිබුණි.

මානව ශාස්ත්‍ර උපාධිධාරියාගේ ඉරණම

ශාස්ත්‍රීය අධ්‍යාපනය යනු වෘත්තියාභිමුඛ නොවන අධ්‍යාපන ක්‍රමයයි. රේඛීය රැකියා ඉලක්කගත අධ්‍යාපනයට වඩා මානව ශාස්ත්‍ර අධ්‍යාපනය තුළ පවතිනුයේ වක්‍රාකාර රැකියා අවස්ථාය. උදාහරණයක් ලෙස සිංහල විශේෂවේදී උපාධිධාරියෙකුට සෘජුවම සිංහල ගුරු පත්වීමක් හෝ සිංහල විෂය අධ්‍යක්ෂවරයෙකු දක්වා හෝ ඉන් ඉහළට ගමන්කිරීම සඳහා පැහැදිලි එමෙන්ම අනිවාර්ය ගමන් පථයක් නොමැත. දේශපාලන විද්‍යාව උපාධිධාරීන්ට සිය උපාධියෙන් පසුව මුළුමනින්ම දේශපාලනය හැදෑරීමේ විධිමත් ක්‍රමවේදයෙන් පරිබාහිරවීමට සිදුවේ. දර්ශනය, ආගම්, ඉතිහාසය, පුරාවිද්‍යාව, සමාජවිද්‍යාව හා භූ විද්‍යාව යනාදී මෙකී නොකී බොහොමයක් විෂයන් සඳහාද උරුම වී ඇත්තේ මෙම ඉරණමමය. විද්‍යාර්ථියෙකු වශයෙන් තමන් විසින් හැදෑරූ කිසිදු න්‍යායක්, කිසිදු පරීක්ෂණයක් හෝ කිසිදු නිබන්ධනයකින් ප්‍රයෝජනයක් ගැනීමට සිය රැකියාවේදී ඔවුන්ට බොහෝවිට නොහැකි වේ.

මේ සියල්ල ශාස්ත්‍රීය අධ්‍යාපනය වන බැව් සත්‍යයකි. නමුත් අප මේ සඳහන් කරනුයේ ශාස්ත්‍රීය අධ්‍යාපනය, රැකියා වෙළඳපොළෙන් දූරස්ථව හුදෙකලාවීම හේතුවෙන් අද වන විට ප්‍රශ්න රැසක්ම නිර්මාණය වී ඇති බවයි. බොහෝ බටහිර රටවල ශාස්ත්‍රීය අධ්‍යාපනය අනෙකුත් රැකියාභිමුඛ අධ්‍යාපනය සමග සම්මිශ්‍රණය කොට තිබේ. එනම් වෛද්‍ය විද්‍යාව හදාරන්නෙකු අනිවාර්යයෙන්ම සාහිත්‍යය, ඉතිහාසය, දර්ශනය වැනි විෂයන් හදාරා සිය ශාස්ත්‍රීය දැනුම ද ප්‍රගුණ කළ යුතුය. එතුළින් ඔවූහු ශාස්ත්‍රීය දැනුම සියලුම විද්‍යාර්ථීන්ට ලබාදී ශාස්ත්‍රීය අධ්‍යාපනය ද සුරක්ෂිත කරගනිති.

නමුත් අප රටේ මෙම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාදීම සෘජුවම සිදුවුව ද එතුළින් උපාධියක් ලබන උපාධිධාරියා අවසානයෙදිී ශාස්ත්‍රීය අධ්‍යාපනය සුරක්ෂිත කරනු වෙනුවට සමස්ත අධ්‍යාපන ක්‍රමයටම ශාප කරන්නෙකු බවට පත්වේ. 'උපාධියක් කරාට වඩා හොඳයි කුඹුරක් කොටාගෙන හරකෙක් බලා ගත්තනම්' ලෙස කියමින් අපේක්ෂාභංගත්ව මානසිකත්වයට වැටේ. එමෙන්ම විශ්වවිද්‍යාලවල සහකාර කථීකාචාර්යවරු ලෙස සේවය කළ පිරිස් ද තම ගිවිසුම්ගත කාලය හමාර වූ විට බොහෝ අවස්ථාවලදී රැකියා විරහිත උපාධිධාරී පෝළිමටම එක්කාසුවීම කෙතරම්නම් ඛේදජනකද? එබැවින් මෙම තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස්විය යුතුය. ශාස්ත්‍රීය අධ්‍යාපනයට ගැළපෙන රැකියා අවස්ථා රට තුළ නිර්මාණය කළ යුතුය. නොඑසේනම් විශ්වවිද්‍යාල තුළ දැනට පවතින බොහෝ පාඨමාලා රැකියා වෙළඳපොලට සරිලන පරිදි නවීකරණය කළ යුතුය. සිංහල විශේෂවේදී උපාධිය, සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය, දේශපාලන විද්‍යාව, ඉතිහාසය යනාදී මේ සියලුම විෂයයන් ජාතික හා ජාත්‍යන්තර නිර්ණායක, සංකල්ප ඔස්සේ දෙස් විදෙස් භාෂා මාධ්‍ය අනුසාරයෙන් ඉගැන්විය යුතුය. එමෙන්ම මේවා සඳහා තොරතුරු තාක්ෂණය ද ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් සැකසිය යුතුය. එවිට ශාස්ත්‍රීය විෂයයන් සඳහා ජාත්‍යන්තර වෙළඳපොල රැකියා අවස්ථාද අප වෙත විවෘත වනු ඇත.

සමාජය ඉදිරියේ අසරණවීම හා අපෙක්ෂාභංගත්වය

රටේ උගත් බුද්ධිමත් තරුණ පරපුර අපේක්ෂාභංගත්වයට පත්වූ විට එම සමාජයෙහි අනාගත අභිවෘද්ධිය කෙසේවත් ධනාත්මක නොවනු ඇත. අප රට එදා බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස හිමිකරගත් දා පටන් මේ දක්වාම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමූහයෙහි ස්ථීරවම පැළපදියම්ව සිටිනුයේ ද මෙම හේතුව නිසාම විය හැකිය. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට සිය දරුවාගේ අනාගතය හැඩගැස්වීම උදෙසා දෙමාපියෝ දහසක් දුක් ගැහැට විඳිති. තුන්වේල හරි හැටි නොකා නොබී තම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් මුළු ජීවිත කාලයෙන් හරි අඩක්ම කැප කරන ආදරණීය දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව දරුවා සරසවි අධ්‍යාපනය දක්වා රැගෙන යාමයි. ඒ වෙනුවෙන් දරුවන් මෙන්ම දෙමාපියන් ද ඕනෑම කැපකිරීමක් කරති. ඉවසති.

එපමණක් නොව අසල්වාසීන්, ඥාති හිතමිත්‍රාදීන් පවා සරසවි ප්‍රවේශ ලබන තම ගමේ දරුවා, දැරිය වෙත සුවිශේෂී බලාපොරොත්තු තබාගනිති. ඉගෙනීමෙන් පසු ඔහු හෝ ඇය තම ගමට ආලෝකයක් ගෙනෙතියි මනෝරාජික සිහින මවති. නමුත් උපාධියෙන් පසුව හරි හමන් රැකියාවක් නිසි කලට වයසට නොලැබීයාම හේතුවෙන් මෙම උපාධිධාරීන් මුහුණ දෙනුයේ අසීමාන්තික ප්‍රශ්න රැසකටය. වසර දහතුනක් හෝ ඊටත් වඩා කාලයක් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙර මහන්සි වී, ඉන් පසුව සරසවි වරම් ලබා එහිත් නවක වධය වැනි සංසිද්ධීන්ට මුහුණදී, ඉගෙනගෙන ගමට පැමිණ නිසි ගැළපෙන රැකියාවක් අහිමිව දිගු කාලයක් බලා සිටින්නට සිදුවීම මෙම අපේක්ෂාභංගත්වයට ප්‍රධානතම හේතුවයි.
අද වන විට බහුල වශයෙන්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා උපාධි ලබාගත් ඉතා විශාල විද්‍යාර්ථීන් පිරිසක් රැකියා විරහිතව මානසිකව මෙන්ම, ආර්ථීක, සාමාජයීය හා කායික වශයෙන්ද බරපතල පසුගාමී තත්ත්වයකට මුහුණ දී සිටිති. සාර්ථක පාසල් අධ්‍යාපනයකින් ඉනික්බිතිව ගමෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු විශ්වවිද්‍යාල වරම් ලද විට එය ගමටම ආඩම්බරයකි. නමුත් ඒ වරම් ලැබූ විද්‍යාර්ථීයා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබ රැකියා විරහිතව ගමට යළි පැමිණ සිටින විට ගම්වාසීන් ඔහුව හෝ ඇයව එසේ බාරගැනීමට සූදානම් නැත.

උපකාරක පංතියක් හෝ පවත්වමින් එදිනෙදා ජීවන බර ආවරණය කරගැනීමට රැකියා විරහිත උපාධිධාරීහු පෙළඹෙනුයේ මෙවන් අවස්ථාවලදීය. එබැවින් අද වන විට පාසල් සිසුන්ට වඩා උපකාරක පංති රට පුරා බිහිවී තිබේ. පාසල් අධ්‍යාපනය කඩාවැටී සියලුම විෂයයන්වලට උපකාරක පංතිවල පිහිට පතන අධ්‍යාපනික රටාවක් මෙරට තුළ බිහිවීමට ප්‍රධානතම හේතුව වන්නේ ද මෙම රැකියා විරහිත උපාධිධාරියා වෙත අත් කරදී තිබෙන ඉරණමයි. කරන්නට කිසිදු දෙයක් නොවන තැන උපකාරක පංති ක්ෂේත්‍රය වෙත එළඹෙන උපාධිධාරි දක්ෂ තාරුණ්‍යය, අවසානයේදී මුළු රට පුරාම උපකාරක පංති අරඹති. මෙමගින් පාසල් අධ්‍යාපන ක්‍රමය ඉතාමත් ශීඝ්‍ර ලෙස පරිහානියට ද ලක්ව තිබේ. එබැවින් උපකාරක පංති පැවැත්වීම පිළිබඳව සමාජය තුළ කොතරම් විවේචන මතවාද පැවතිය ද එයට දිය හැකි කාලීන විසඳුම වන්නේ උපාධිධාරීන් රටෙහි සංවර්ධන ක්‍රියාදාමය වෙත සක්‍රියව යොදවාගෙන ඔවුන්ගේ අපේක්ෂාභංගත්වය සමනය වන අයුරින් සමාජ වටිනාකමක් ලබාදීමට කටයුතු කිරීමයි.

වසර 17 ක් හෝ 18 ක් මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගන්නා විද්‍යාර්ථීයා අවසානයේ සිය උපාධියට සරිලන රැකියාවක් නොවන තැන මෙරට හැරයති. එය බුද්ධි ගලනය ලෙසින් හැඳින්විය හැකි අතර, එයට මූලික හේතුව වන්නේද තාරුණ්‍යය තුළ ගොඩනැගෙන මෙම අසහනකාරී අපේක්ෂාභංගත්වයයි. පසුගිය දිනෙක ජනප්‍රිය පුවත්පතක් විසින් පෙන්වාදෙනු ලැබුවේ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය අංශයේ කම්කරු රැකියාවේ යෙදී සිටින බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සඳහා කඩිනම් පිළිතුරක් ලබාදෙමින් දන්වා තිබුණේ ඒ පිළිබඳව සොයා බලා ඔවුන්ව ස්ථීර කොට උපාධියට සරිලන රැකියා ලබාදීමට කටයුතු කරන ලෙසයි. නමුත් එහි අවසන් විසඳුම කුමක් වූවේදැයි අප නොදනිමු. එවැනිම උපාධිධාරීන් අතිශය බහුතරයක් රට පුරා තැන් තැන්වල කොන්ක්‍රීට් අනති. අත් උදව්කරුවන් ලෙස වැඩ කරති. විවිධ සමීක්ෂණ වැඩසටහන්වල ක්ෂේත්‍ර සහයකයින් ලෙස කටයුතු කරති. පෞද්ගලික අංශය විසින් ද මෙම ශාස්ත්‍රීය උපාධිධාරියාව ප්‍රතික්ෂේප කරන අතර, එයට එක් හේතුවක් වන්නේ ඔවුන් නිසි කල වයස ඉක්මවා සිටීමයි. එමෙන්ම කිසියම් දිනෙක රජයේ රැකියාවක් ලද සැනින් විශ්‍රාම වැටුප අපේක්ෂාවෙන් තම ආයතනවලින් සමුගැනීම නිසා ද පෞද්ගලික අංශය මෙම උපාධිධාරීන්ට රැකියා සැපයීමේදී බොහෝ කල්පනාකාරී වේ.

එපමණක් නොව එක්කෝ රස්සාව, නැතිනම් පරස්තාව යන අභියෝගය වෙත මුහුණදීමට ද මොවුන්ට සිදුවේ. විශේෂයෙන්ම මෙයට මුහුණදෙනුයේ තරුණියන්ය. විශ්වවිද්‍යාලය තුළ ගොඩනගාගත් බොහෝ ආදර සම්බන්ධතා බිඳවැටීමට ද මෙම රැකියා ප්‍රශ්නය හේතු වනුයේ මෙවන් අවස්ථාවලදීය. සමහරවිට තරුණිය හා ඇයගේ පෙම්වතා යන දෙදෙනාම රැකියා විරහිත උපාධිධාරියෙකු වූ විට ඔවුන් දෙදෙනාම මුහුණ දෙනුයේ අසීමාන්තික ප්‍රශ්න රැසකටය. එපමණක් නොව කල වයස ඉක්මවා යාම, අනාගතයේ පවතින අස්ථාවර ආර්ථීකය යනාදිය අභියෝගාත්මක ලෙස තරුණ ජීවිතවලට බලපෑම් කරයි. සරසවි ආදරය විවාහයක් දක්වා ගමන් කරනු වෙනුවට බොහෝ අවස්ථාවලදී දෙපාර්ශ්වයම අසරණ කරමින් ඒවා අවසන් වෙයි. ඇතැම් අවස්ථාවල සියදිවි නසා ගැනීම්, මිනීමැරීම් යනාදිය දක්වා අප සරසවි තාරුණ්‍යය ගමන් කරනුයේ මෙවන් අපේක්ෂාභංගත්වය සහිත ජීවිතයක් තමන් වෙත උරුමවීම නිසාවෙනි. එයට මුළු මහත් සමාජ ක්‍රමයම අඩු වැඩි වශයෙන් වගකිව යුතුය.

නාම ලැයිස්තු හා රැකියා බලාපොරොත්තු

තම උපාධියේ කාලය සම්පූර්ණ වන දිනය (effective Date) දැනගත් සැනින් අද විද්‍යාර්ථීන් විසින් සිදුකළ යුතු ප්‍රමුඛ කාර්යයක් වෙයි. එනම් තම ප්‍රදේශයේ, තම ආසනයේ දේශපාලනඥයින්ගේ ලැයිස්තුවලට නම ඇතුළත් කිරීම හා අංකයක් වෙන් කර ගැනීමයි. ඒ සඳහා පළාත්සභා කාර්යාල තුළ ද නාම ලේඛන ලැයිස්තුවක් පවත්වාගෙන යයි. මේවා නිල ළත් ලැයිස්තු ද නිල නොළත් ලැයිස්තු ද කියා කිසිදු කිසිවෙකු දන්නේ නැත. විටින් විට ගොස් රස්තියාදු වී ඒ ඒ දේශපාලනඥයින්ගේ ලැයිස්තුවලට තම නම ගම විස්තර ඇතුළත් කිරීමේ ස්වයං පෙළඹවීමක් මෙම සමාජ, ආර්ථීක, දේශපාලන රටාව විසින් අසරණ උපාධිධාරීන් වෙත හුරු කර තිබේ.

විශේෂයෙන්ම මැතිවරණයක් ඉලක්ක කරමින් බෝහෝ රැකියා අවස්ථා පිළිබඳව සමාජය තුළ බලාපොරොත්තු දල්වා, මනාපය හා රැකියාව අතර අදෘෂ්‍යමාන දෘෂ්ටිවාදී ගණුදෙනුවක් සිදුකිරීමට ඉතිහාසයේ පටන්ම මෙරට පාලකයෝ ඉතාමත් දක්ෂ වෙති. කෙසේ හෝ වේවා අවසානයේදී සිදුවන්නේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් උගෙන, දෙමාපියන්ගේ දහදිය මහන්සියෙන් පන්නරය ලබා ඔවුන්ගේත්, තමන්ගේත් අනාගත බලාපොරොත්තු දල්වනු පිණිස දේශපාලනඥයින් පසුපස රස්තියාදුවීමට උපාධිධාරීන්ට සිදුවීමයි. මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තක්ද ඇත, අද්‍යතනයේදී අප රටේ දක්ෂිණාංශික දේශපාලනය විසින් එසේ උපාධිධාරී රැකියා අපේක්ෂිත පොරොත්තු ලැයිස්තු සකසන විට, වාමාංශික දේශපාලනය විසින් රැළි, උද්ඝෝෂණ, උපවාස සංවිධානය කරති. කෙසේ හෝ අවසානයේදී මුළු මහත් සමාජ ක්‍රමය විසින්ම උපාධිධාරී රැකියා අපේක්ෂකයින් අන්ත අසරණ කොට, තම තමන්ගේ පංති අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ව බිලීබා ගනිති.

අගයක්, වටිනාකමක් හා වේතනයක් වෙනුවෙන් රැකියාවක්

රැකියා සම්බන්ධව කතා කරන මෙවන් අවස්ථාවක බිල්ගේට්ස්ලා, අයින්ස්ටයින්ලා, ස්ටීව් ජොබ්ස්ලා, හෙන්රි ෆෝඩ්ලා හෝ ජැක්මා වැනි පුද්ගලයින් පිලිබඳව සඳහන් කිරීම ප්‍රායෝගික නොවේ. මන්ද යත් අප විසින් මේ පෙන්වා දෙනුයේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ උපාධිධාරී බහුතර තරුණ ප්‍රජාව තුළ දැවෙන අසහනකාරී පොදු ප්‍රශ්නය පිළිබඳවයි. එබැවින් මේ සඳහා සෘජු වගකීම විශ්වවිද්‍යාල බලධාරීන්, විෂයමාලා සම්පාදකයින් හා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අනෙකුත් වගකිව යුතු සියලුදෙනා විසින් දැරිය යුතුය. විශේෂයෙන්ම අද වන විට මෙරට බොහෝ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ ශාස්ත්‍රීය අධ්‍යාපන මූලධර්ම යාවත්කාලීන නොවේ. යල් පැනගිය ගතානුගතික අධ්‍යාපන ක්‍රමවේද, මූලාශ්‍ර හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම වෙනුවට පුළුල් දැක්මක් සහිතව එම විෂය පාඨමාලා නවීකරණය කරන්නේනම් ඒ සඳහා කාලය එළඹ දැනට බොහෝ කල් ගතවීද හමාරය.

කෙසේ නමුත් රට තුළ මේ වන විට පවතින රැකියා විරහිත උපාධිධාරියාගේ ප්‍රශ්නය දෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වගකිවයුතු සැවොම සංවේදී විය යුතුය. මේ ගෙවී යන්නේ ඔවුන්ගේ යෞවනයයි. මේ විඳවනුයේ ඔවුන්ගේ අනාගතයයි. එමෙන්ම මේ ළතැවෙනුයේ රටේ උගත්- බුද්ධිමත් තාරුණ්‍යයි. නිදහස් අධ්‍යාපනය පහුරක් කරගනිමින් අධ්‍යාපනය ලැබ, අනතුරුව ඒ පිහිට ලබාගත් පහුරටම සාප කරන්නට තරම් සෘණාත්මක මානසික ආකෘතියක් සහිත අසහනකාරී පුද්ගලයෙකු සමාජයට දායාද කිරීමෙන් ඵලක් නැත. කන්නන්ගර දර්ශනය වුවද කිසිදා එවැන්නක් බලාපොරොත්තු නොවන්නට ඇත.

එසේ හෙයින් විධිමත් විනිවිදභාවයකින් යුත් වැඩපිළිවෙලක් ඔස්සේ රටෙහි සමස්ත උපාධිධාරීන් වෙතම අගයක්, වටිනාකමක් හිමිවන අයුරින් ජාතික රැකියා සැපයීමේ ක්‍රියාවලියක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අනිවාර්ය අවශ්‍යතාවක් මුළු මහත් සමාජය විසින්ම බලාපොරොත්තු වේ. එසේත් නොමැතිනම් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට දැනට අපේක්ෂිතව සිටින වැඩසටහන් හෝ කඩිනම්ව, විධිමත්ව හා සමානාත්මතාවෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හැකි විය යුතුය. එසේත් නොවන්නේනම් මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඵල නෙලාගත් තාරුණ්‍යයේ අපෙක්ෂාභංග අසහනකාරීත්වයට කිසිදාක සහනයක්නම් නොලැබෙනු ඇත. එබැවින් නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ඔවුනට විරැකියාවේ වේදනාවෙන් තව දුරටත් විඳවන්නට ඉඩ නොතබමු.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Social Crisis, Unemployed Graduates, Education in Sri Lanka, Sri Lanka Education System, Sri Lankan Job Market
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් සී. තිලකරත්නගෙන් තවත් වියමන්
අදහස්
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
අදහස්
සම රිසිභාවය වරදක් වූ සමාජයක....
රංග
කැඩපතට ගල් ගසා ගත් පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (අවසාන කොටස)
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (දෙවන කොටස)
තවත් අදහස් බූන්දි
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
BoondiLets
කාල් මාක්ස් ලියයි.
දර්ශනය ඉල්ලා සිටින්නේ සත්‍යය මිස සත්‍ය වශයෙන් අදහස් වන දෙය නොවේ. එය ඉල්ලා සිටින්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම සත්‍ය දේ මිස ඇතැම් ජනතාවකට සත්‍ය... [More]
What's New | අලුතෙන්ම
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook