Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
බූන්දි, 19:29:53
ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත, කාව්‍ය ආදී කලා මාධ්‍යයන්ට සිදු ව ඇත්තේ නො තකා හැරිය නොහැකි වුව ද ඉතා අල්ප වූ සම්ප්‍රදානයකි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙහි ඇති වැදගත් ම ප්‍රභේද බොහොමයක් ඔහු විසින් ස්පර්ශ කරනු ලැබ ඇත. වෘත්තාන්ත චිත්‍රපටය, වාර්තා චිත්‍රපටය, කෙටි චිත්‍රපටය, වාර්තා රංග, ටෙලි චිත්‍රපටය, ටෙලි නාට්‍ය ආදිය ඒ ප්‍රභේදයෝ වෙති.

පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ වෘතාන්ත චිත්‍රපට ගණන 11 කි.

1. අහස්ගව්ව -1974
2. එයා දැන් ලොකු ළමයෙක් -1975
3. පොන්මනී (දෙමළ මාධ්‍ය) -1978
4. බඹරු ඇවිත් -1978
5. පාර දිගේ -1980
6. සොල්දාදු උන්නැහේ -1981
7. සිර කඳවුර -1983[1] (තිරගත වීමට පෙර මුල් පිටපත ගිණිබත් විය.)
8. වා සුළිය -1994 (මේ චිත්‍රපටය ද කටයුතු අවසන් නො කිරීම නිසා තිරගත නොවී ය.)
9. මතු යම් දවස -2001
10. සක්කාරං -2016
11. ස්වරූප -2017

මීට අමතර ව 'දෙනම' නමින් චිත්‍රපටයක් නිපදවීම සඳහා පර්යේෂණාත්මත තිරපිටපතක් සරත් කැල්ලපත ලවා රචනා කරවා ගත්ත ද එම ප්‍රයත්නය ද නිශ්ඵල විය.

පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට ගණන දෙකකි.

1. සතුරෝ
2. ෂෙල්ටන් හා කාන්ති -1983 (මෙය තිරගත නො වීය. මෙහි විජය කුමාරතුංග හා ධම්මි ෆොන්සේකා රංගනයෙන් දායක විය.)

ඔහු අධ්‍යක්ෂණය කළ වාර්තා චිත්‍රපට ගනණ 6 කි.

1. අඳුරෙන් එළියට -1972 (ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වෙනුවෙන්)
2. වෙරළ -1974 (ධීවර අමාත්‍යංශය වෙනුවෙන් වෙරළ සංරක්ෂණය පිළිබඳ ව)
3. Putting The Last First -1984 (නෝරාඩ් ආයතනය වෙනුවෙන්)
4. Shelter For Million Families -1988 (ජාත්‍යන්තර නිවාස වර්ෂය වෙනුවෙන්)
5. බිඳුනුවැව මාධ්‍ය ආඛ්‍යාන -තිලක් ජයරත්නගේ පිටපත
6. In Search of a Road -2006 (සාම ක්‍රියාවලිය වෙනුවෙන්)

ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ වාර්තා රංග (docudrama) ගණන දෙකකි.

1. වන්නිහාමිලාගේ කතාව -1989 (එපිසෝඩ් 4කි.)
2. සුදුබණ්ඩෙලාගේ කතාව -1989 (එපිසෝඩ් 2කි.)

ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ටෙලි නාට්‍ය (සෝප් ඔපෙරා) ගණන 9 කි.

1. ගඟුලෙන් එගොඩට -1985
2. මායා මන්දිර -1986
3. ඇල්ල ලඟ වළව්ව -1988
4. පුර සක්මන - 1989
5. කඩුල්ල -1992
6. සුබ අනාගතයක් -1993
7. නාඳුනන පුත්තු - 1994
8. දුර්ගාන්තය -1996
9. කම්පිත විල් -2009

එරික් ඉලයප්ආරච්චිගේ 'කුකුලන් කෙටවීම' කෙටි කතාව ඇසුරෙන් එරික් ඉලයප්ආරච්චි විසින් ම තිර නාටකය ලියන ලද පතිරාජ විසින් අධ්‍යක්ෂණය කරන ලද 'මී පැණි සහ අළු' නමැති ටෙලි චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය නොකෙරිණ.

මේ ආකාරයට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වෙනුවෙන් ඔහු විසින් කරනු ලැබ ඇති සේවය ඉතා විශාල වේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හා බැඳුණු ආයතන හා ශ්‍රාස්ත්‍රාල ඇසුරේ ඔහු විසින් කරන ලද සේවය මේ ඇගයීමෙන් පරිබාහිර ව පිහිටා ඇත. අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ප්‍රස්තූතයට අදාළ ව මේ නිර්මාණ දායකත්වය පිළිබඳ යම් පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට උක්ත පෙළගැස්වීම සහායක් වනු ඇතැයි සිතමු.


බඹරු ඇවිත් (1978)

පතිරාජගේ තිරගත වූ චිත්‍රපට නවයම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් නොවී ය. 1974 දී කොළඹ එල්ෆින්ස්ටන් සිනමාහලෙහි අහස්ගව්ව චිත්‍රපටය මුලින් ම තිරගත වූ දිනයේ පතිරාජ ඇතුළු පිරිස ගැලරියේ වාඩි වී චිත්‍රපටය නරඹමින් සිටිය දී පසුපස සිටි යම් පුද්ගලයෙක් 'අඩෝ පතිරාජ උඹ ඉවරයි' යනුවෙන් කෑ ගැසූ බව පතිරාජ පවසයි. ඒ ප්‍රතිචාරයෙන් මන්දෝත්සාහී නොවුන ද ඔහුගේ හැම චිත්‍රපටයක් ම ප්‍රේක්ෂකයන් තදින් වැළඳ නො ගනී (ආලකමන්දාව රූපවාහිනී වැඩසටහන).

ප්‍රේක්ෂකයන් පතිරාජගේ සිනමාව වැළඳ නො ගැනීමට හේතුභූත වූ කරුණු ඔහුගේ සිනමා භාවිතය තුළ සෙවීම නිරර්ථක ය. මන්ද ඒ කෘති හැමෙකක් ම වාග් ලාංකේය සිනමා ඉතිහාසයේ විශේෂ සළකුණක් තැබීමට සමත් වූ ඒවා වීම ඊට එක් හේතුවකි. අනෙක් අතට බොහොමයක් සමකාලීන විදග්ධ විචාරකයන්ගේ නොමඳ ගෞරවයට ඔහුගේ සිනමා කෘති ලක් ව තිබේ. ඒ සිනමා කෘතිවල ඇති ඇතැම් පොදු ලක්ෂණ ලාංකේය බහු ජන සමාජය හා කවර ආකාරයේ ප්‍රතික්‍රියාවක් කරන්නේ ද යන්න සොයා බැලීම වඩා වැදගත් වනු ඇත.

පතිරාජ හැම විට ම සිය සිනමාව මගින් දේශපාලන ආර්ථීක ගැටළු සාකච්ඡා කරයි. බොහෝ විට ඒවා තරුණයන්ගේ ප්‍රශ්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි. එමෙන් ම පතිරාජගේ අරමුණ ප්‍රේක්ෂකයා පිනවීමට වඩා ඔහු තුළ ඥානය සම්පාදනය කිරීම යි. ඔහුගේ සිනමාත්මක බව තාත්විකත්වයට වඩා ව්‍යංගයට නැඹුරු වූවකි. ඔහුගේ සිනමාව සංස්ථාපිතය කිසිදු සම්මුතියකින් තොර ය. සම්මුතිය නො ඉවසයි, සම්මුතිය ප්‍රශ්න කරයි, සම්මුතිය ඉක්මවයි, වාමවාදී නැතහොත් මාක්ස්වාදී හෝ වෙනත් සමාජීය දර්ශනවාදයක ආභාසය ලබයි. පොදුවේ ගත් කළ පතිරාජගේ සිනමාවේ පවත්නා ප්‍රධාන ලක්ෂණ මේවා යයි කිව හැකි ය. විචාරකයන් ඇතැම් විට මේ ලක්ෂණ ඔහුගේ සිනමාවේ ඇති ශක්‍යතා ලෙස දකී. එහෙත් ලංකාවේ පොදු ප්‍රේක්ෂකයා ඒවා ශක්‍යතා ලෙස දුටුවේද? ලංකාවේ නිශ්චිත ප්‍රේක්ෂකාගාරයක් තිබේද? ලංකාවේ ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරය වෙත කැඳවාගෙන යන කොන්දේසි කවරේ ද? යන කරුණු පිළිබඳ යම් න්‍යායික සාකච්ඡාවක් කිරීම දෙසට මේ ලිපියේ ඉතිරි කොටස යොමු කෙරේ. ඒ පතිරාජ ලාංකේය ප්‍රේක්ෂාගාරය ආකර්ෂණය කරගැනීමට නො සමත් වූයේ මන්ද යන ප්‍රශ්නය දේශපාලන ආර්ථීක විශ්ලේෂණයකින් වටහා ගැනීම සඳහා ය.

ලංකාවේ සිනමාව විනෝද කර්මාන්තයක් ලෙස

චිත්‍රපටයට පෙර ලංකාවේ සාමූහික විනෝද මාධ්‍යයක් ලෙස නූර්ති කලාව ප්‍රචලිත ව පැවතිණ. එනිසා ම නිර්මාණය වූ රංග ශාලා කිහිපයක් ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිත ව දක්නට හැකි විය (කාරියවසම්,2012). එමෙන් ම ඉංග්‍රීසි ජාතික යුධ භටයින්ගේත්, වතු වගාව සඳහා පැමිණි ඉංග්‍රීසි ජාතිකයින්ගේත්, ඉංග්‍රීසි උගත් ලාංකිකයින්ගේත් ප්‍රයෝජනය සඳහා 19 වන සියවසේ අවසාන දශක කිහිපය තුළ කොළඹ නුවර ආදී නගරවල ඉංග්‍රීසි නාට්‍ය රඟ දක්වනු ලැබී ය. එම කාලයේ දී වරින් වර විදේශවලින් පැමිණි සර්කස් කණ්ඩායම් හා සංගීත කණ්ඩායම් කොළඹ කොටුව හා කොල්ලුපිටිය වැනි ස්ථානවල රැඟුම් දක්වන ලදී. මෙම විදේශීය රැඟුම් කණ්ඩායම් බොහෝ විට එම රැඟුම් සඳහා යොදා ගත් තවත් ප්‍රධාන ස්ථානයක් වූයේ කොළඹ මල්වත්ත ප්‍රදේශය යි. (කාරියවසම්,1981) පිටකොටුවේ මල්වත්තෙහි රැඟුම් දැක් වූ කණ්ඩායම් ඒ සඳහා යොදා ගත්තේ විශාල කූඩාරම් ය. ඒවා පැවිලියන් යන නාමයෙන් ද හඳුන්වා ඇත. මේවායේ රැඟුම් බැලීමට කොළඹ අවට විසූ සිංහලයෝ ද පැමිණිය හ. සිංහල නූර්ති සමාගම් රැඟුම් ආරම්භ කරන විට, පිටකොටුව වෙළඳ මධ්‍යස්ථානයක් පමණක් නොව සිංහල ද්‍රවිඩ ජන කොටස් බහුල ව වෙසෙන ජනාවාසයක් ද විය. 19 වන සියවසේ අවසාන දශකය වන විට, නාට්‍ය හා සර්කස් කණ්ඩායම් හා වෙනත් විනෝද මාධ්‍යයන්ට හුරු පුරුදු වූ විශාල ප්‍රේක්ෂක පිරිසක් බිහි වී සිටි අතරල සිනමාව වැනි අලුත් මාධ්‍යයක් බිහි වීමේ දී ඔවුන් ඒ කෙරෙහි යොමු කර ගැනීම වඩාත් පහසු විය. (කාරියවසම්,1981)

1898 වන විට ඉන්දියාවේ සිනමා ප්‍රදර්ශක සමාගම් බිහි වීම ද මෙරට සිනමාව කෙරෙහි බල පෑ ප්‍රධාන කරුණක් වශයෙන් සැලකිය හැකි ය. මුම්බායි (Mumbai) නගරයෙන් ආරම්භ වූ මේ සිනමා ප්‍රදර්ශන ව්‍යාපාරය කල්කටා නගරය (Kolkatta) ද, ඉන්පසු දකුණු ඉන්දියාවේ මදුරාසිය (Chennai) දක්වා ද ව්‍යාප්ත විය. ඉන්දියාවේ මෙම සිනමා ප්‍රදර්ශක සමාගම්වල ව්‍යාප්තිය ලංකාවේ සිනමා ව්‍යාපාරය කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණක් වශයෙන් සැලකිය හැකි ය. ඉන්දියානු සමාගම් දකුණු හා අග්නිදිග ආසියානු ප්‍රේක්ෂක වෙළඳපොල සඳහා කුලල් කා ගනිමින් සිටියහ. එවකට ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ ආධිපත්‍යය ඉසිලූ 'සිනමාස්' හා 'සිලෝන් තියටර්ස්' යන ආයතනවලට පිටින් ගොස් කළ නිර්මාණයක් වූ සිරි ගුනසිංහගේ සත්සමුදුර තිරගත කිරීම සඳහා මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. අවසානයේ සිලෝන් තියටර්ස් සමාගම මේ චිත්‍රපටය සති දෙකක් පමණක් තිරගත කිරීමට එකඟ විය. (කාරියකරවන 2017.06.09) 1967 කාලයේ ද ඔවුන්ට පිටින් ගොස් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම කළ නො හැක්කක් විය. අද එම සමාගම් දෙක නැතත් ඊ.ඒ.පී හෝ මහාරාජා එන්ටර්ටේන්මන්ට් වැනි ආයතනයක අනුග්‍රහය නොමැති ව චිත්‍රපටයක් සාර්ථක ව ප්‍රදර්ශනය කිරීම කළ නො හැක්කක් වී ඇත.

ලංකාව තුළ මුද්‍රණ කර්මාන්තය වර්ධනය වීම ආගම ප්‍රචාරය හා ඍජු ව බැඳී ඇත. (ධර්මදාස කේ.එන්.ඕ,2012) මිෂනාරි හා බෞද්ධ පාසල් ව්‍යාප්ත වීම හරහා සාක්ෂරතාව වර්ධනය වීමත් මුලින් ම කතෝලික ප්‍රකාශන හා පොත් ද අනතුරු ව බෞද්ධ පොත් පත්තර ආදිය ද ප්‍රකාශයට පත් විය. ලංකාවේ මුද්‍රණ ධනවාදයක් බිහි නොවූ අතර පොත් පුවත්පත් ආදිය වානිජ කර්මාන්තයක් ලෙස දියුණු වූයේ 20 වන සියවසේ මැද භාගයේ දී පමණ ය. බහුජන මාධ්‍යයක් ලෙස ලංකාවේ ප්‍රථමයෙන් ව්‍යාප්ත වූයේ මුද්‍රණ තාක්ෂණයයි. දෙ වැනි බහු ජන මාධ්‍යය වුයේ සිනමාවයි. එය ලංකාව තුළ මතු නො ව ආසියාව පුරා ම ව්‍යාප්ත වනුයේ ලාභ අපේක්ෂාවෙන් කර්මාන්තයක් ලෙස ය. සිනමාව කර්මාන්තයක් ලෙස වර්ධනය වීමට අවශ්‍ය මෙවලම් අලෙවි කිරීම බොහෝ විට යුරෝපීය සමාගම් විසින් සිදු කළ අතර එම යන්ත්‍ර භාවිතයෙන් කර්මාන්තය අරඹා පවත්වාගෙන යාම ස්වදේශික පිරිස් විසින් කරනු ලැබිණ. ලංකාවේ පළමු චිත්‍රපට අත්දැකීම 19 වන සියවසේ අවසන් දශකය වන විට විඳ ගැනීමට ලාංකික ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබී ඇත. ඒ ප්‍රක්ෂේපණ යන්ත්‍ර වෙළෙන්දන්ගේ අධාරයෙනි.

1898 ජනවාරි 08 වන දින කොළඹ හුණුපිටියේ පබ්ලික් හෝල් නම් ශාලාවේ සිනෙමැටොග්‍රාෆ් (Cinematograph) නම් වූ යන්ත්‍රය භාවිත කරමින් තිරයක් මතට එම චලන රූප ප්‍රක්ෂේපණය කිරීමේ ක්‍රියාවලිය ලංකා භූමිය තුළ ලාංකිකයින් අත් විඳි පළමු චලන චිත්‍ර අත්දැකීම ලෙස හැඳින්විය හැකි ය. (දිනපතා ප්‍රවෘත්ති, 1898.01.08) මෙය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ සිදු වූ තවත් එක්තරා සිද්ධියක් වශයෙන් වාර්තාගත කිරීමට වඩා ලාංකීය ජනමාධ්‍ය ඉතිහාසයේ අතිශය වැදගත් එමෙන් ම ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් හඳුන්වාදීමේ මූලික පියවර ලෙස සටහන් කිරීම වඩාත් උචිත වේ. එම කරුණ තහවුරු කිරීමට ඇති ප්‍රබල සාධකයක් ලෙස ලෝ ප්‍රකට මැජික් ශිල්පියෙකු මෙන් ම විඡ්ජාකරුවකු වන කාල් හර්ට්ස් (Carl Hertz) විසින් 'අ මොඩර්න් මිස්ට්රි මර්චන්ට්' (A Modern Mystery Merchant) නමින් ලියා ඇති තම ජීවිත කතාව හඳුන්වාදිය හැකි ය. එම කෘතිය 1924 වසරේ ලන්ඩනයේ දී ප්‍රකාශයට පත්කර ඇත. එහි සඳහන් වන අන්දමට 1896 මාර්තු මස 28 වන දින ලන්ඩනයෙන් නැව් නැග දකුණු අප්‍රිකාව බලා යන ඔහු එහි දී මැජික් සංදර්ශන සහ සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රය ආධාරයෙන් ලුමියේ සොහොයුරන්ගේ රූපගත කිරීම් එරට ජනතාව හමුවේ ප්‍රදර්ශනය කර ඇත. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සහ ඒ අවට සාර්ථක සංචාරයක් නිම කරන කාල් හර්ට්ස් අනතුරුව ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් පැමිණ මැජික් සංදර්ශන පැවැත්වූ බවට එම කෘතියේ සඳහන් වේ. එම කරුණ සනාථ කිරීම සඳහා දිය හැකි හොඳ ම උදාහරණය 1898 ජනවාරි 08 වන දින 'දිනපතා ප්‍රවෘත්ති' නම් පුවත් පතේ පළ කර තිබූ 'ඇඩ්වින් ග්‍රීච් මහතාගේ නිගමනය පිට ලෝක ප්‍රසිද්ධ කාල් හර්ට්ස් මහතා විසින් පවත්වනු ලබන අද්භූත දේවල් දැක්වීම' යන හිසින් පලකර තිබූ පුවත්පත් දැන්වීමයි.


කඩුල්ල (1992)

මෙම නව අත්දැකීම විඳ ගනු පිණිස මහජනයාට පැමිණෙන ලෙස ආරාධනය කරමින් පළ කරන ලද එම දැන්වීමේ තව දුරටත් මෙය සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රයෙන් බොහෝ වේලා දක්වන ඡායරූප හය දහසකින් පමණ යුත් සිතුවමක් බවත් එය ස්ක්‍රීමේ (Screen) වැටී විනාඩි පහක් තිබේ යනු වෙන් ද සඳහන් කර තිබීමෙන් චලන චිත්‍ර සිතුවම් පෙළක් සිනෙමැටොග්‍රාෆ් යන්ත්‍රයේ ආධාරයෙන් තිරයක් මතට ප්‍රක්ෂේපණය කර ඇති බව සනාථ වේ. මේ අනුව ශ්‍රී ලංකා භූමියේ පවත්වන ලද පළමු චලන චිත්‍ර දැක් ම මෙය බව උක්ත සාධකවලට අනුව නිගමනය කළ හැකි ය.

තව ද එදින එම චලන චිත්‍ර අත්දැකීම අත්විඳි ප්‍රේක්ෂකයෙකු ඔහු ලද නවමු අත්දැකීම පිළිබඳ 1898 ජනවාරි 10 වැනි දින 'දිනපතා ප්‍රවෘත්ති' නමැති පුවත් පතට ලියන ලද විචාරයක් මෙ පරිදි වේ.

'මෙම විජ්ජා දැක්වීම බැලීම සඳහා පසුගිය සෙනසුරාදා රෑ හුනුපිටියේ පබ්ලික් හෝල් නම් ශාලාවට පැමිණුනෙමි. ගෑනු මහතුන් සහ පිරිමි මහතුන් පැමිණ සිටිනවා දුටිමු. මෙයින් පසු සිනෝමැටග්‍රාෆ් නම් යන්ත්‍රයෙන් ග්‍රීක් තුර්කි යුද්ධය, තුර්කි යුද නැව යුද කරන අන්දම, පර්සිකාරයෙක් අමනුෂ්‍යයින්ට භයවීමාදිය ඉතා මවිතාකාරව පෙන්නුවේය. ජුබිලි පෙලහර දැක්වීම ඉතා ගරු වශයෙන් සහ මහත් අලංකාර අන්දමට තිබුණේය. අශ්ව හමුදා පාබල හමුදා මහාරාජිනීන්ගේ රථය පිරිවරා ගෙන යන ආරක්ෂාකාර හමුදාල බෑන්ඩ් හමුදා, රජ, හිටු, ඇමති පවුල් දහස් ගණන් රථ ලක්ෂ ගණන් සෙනඟ, පුදුම සැරසිලි එංගලන්තයට ගොස් බැලුවා මෙන් දැකීමට තිබුණේ ය. මේ දැක්වීම පමණක් බැලීමට රුපියල් 100 ක් දුන්නත් කිසි කනගාටුවක් නැති බව එයින් ලැබෙන ඉගෙන ගැනීම සාක්ෂි දරනවා ඇත. පිටරට කෙරෙන යුධවල අන්දම් සහ බියකරු ස්වාභාව ද මැරෙන සංඛ්‍යාව සහ මැරෙන්නට ඔවුන් භය නැති අන්දම ද, යුධ භූමියක සිට බලන්නාක් මෙන් දැකීමට පුළුවන් බව කියමු....'

'....මෙය බැලීමට යම් මුදලක් දී පැමිණීමෙන් ඒ මුදලට වඩා ප්‍රයෝජන හැඟීම් සහ නුවණ වැඩීම් ද සිදුවෙන බව ඇත්ත ලෙස කියමු. සිංහල පවුල් දෙකක් තුනකට වඩා මෙහි නො සිටීම කනගාටුවකි. මෙකී සෙල්ලම බැලීමට සිංහල පවුල් යාමෙන් තම තමන්ගේ ගේ දොර හසුරුවා ගැනීම්, නොයෙක් රටවල පවතින සිරිත් විරිත් ආදිය දැනගැනීමෙන් මහත් ප්‍රයෝජන අත්පත් කර ගැනීමට පුළුවන් බව මනාව ඔප්පු වෙන්නේ සැබවින්ම අපගේ පැමිණීමෙන් මහත් ප්‍රයෝජන අත්පත් වූ බව කියමු....'

'....සිංහල පවුල් මෙහි පැමිණු ගතයුතු ප්‍රයෝජන ලබනවා ඇතැයි විශ්වාස කරමු.'

(-දිනපතා ප්‍රවෘත්ති, 1898 ජනවාරි 10)

මෙම කරුණු අධ්‍යයනය කිරීමේ දී 1898 තරම් කාලයේ සිට ම චලන චිත්‍රයේ මූලික සේයාවන් සහිත අත්දැකීම් ලාංකිකයින්ට විඳ ගැනීමට ලැබී ඇති බව තහවුරු වේ. (ධම්මික දිසානායක, 2013.01.24)

ලංකාවේ සිනමා ප්‍රේක්ෂාව ඇරඹෙන්නේ ම වාණිජ අරමුණු පෙරදැරි කරගෙන බව ධම්මික දිසානායකගේ නිරීක්ෂණවලින් ද පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධ කටයුත්තක් බවට පත්වූයේ වෙස්වික් මේජර් නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් වර්ධනය කරන ලද බයිස්කෝප් ප්‍රදර්ශනය නිසා ය. මේ චිත්‍රපට දර්ශනය කරනු ලබුවේ විවෘත ස්ථානයන්හි වන අතර, අටවාගත් කූඩාරම් තුළ ඒවා ප්‍රදර්ශනය කරන ලදී. 1903 දී ප්‍රථම වතාවට ස්ථීර චිත්‍රපට ශාලා මදන් තියටර් සමාගම මගින් ගොඩනගන ලදී. මේ සමාගම ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද අතර, එය ඉතා සාර්ථක විය. මෙ නිසා එහි විරුද්ධවාදී ඔලිම්පියා සමාගම මගින් වෙනත් චිත්‍රපට ශාලා දියුණු කිරීමට පෙළඹුණි (Wikipedia). මෙලෙස ලංකාව තුළ බිහි කෙරෙන ප්‍රේක්ෂකත්වය ප්‍රධාන ලක්ෂණ කිහිපයකින් යුක්ත වේ. එනම් ප්‍රදර්ශකයා හා ප්‍රේක්ෂකයා අතර ඇත්තේ වාණිජ සම්බන්ධයක් පමණි. ආගම් ප්‍රචාරය හෝ යම් මතවාදයක් ප්‍රචාරය කිරීම වැනි සමාජීය අරමුණු මේ මුල් ප්‍රේක්ෂාව තුළ දැකිය නො හැකි ය. දෙ වනු ව මෙය විනෝදය අරමුණුකරගත් කටයුත්තක් විය. යම් දැනුමක් එමගින් ප්‍රේක්ෂකයාට ලබා ගත හැකි වුවත් ප්‍රේක්ෂාවේ අරමුණ වුයේ විනෝදය සම්පාදනය කිරීම යි. ප්‍රේක්ෂකාගාරයෙන් එපිටට පැමිණ චිත්‍රපටකරණය පිළිිබඳ විපරම් කළ ද අපට දක්නට හැක්කේ ඒ විනෝද කර්මාන්තයේ ලක්ෂණ ම වේ.

ලෝකයේ ප්‍රථම නිහඬ චිත්‍රපටය මහජනයාට ප්‍රදර්ශනය කොට ඇත්තේ 1895 දී ය. ඒ අනුව ප්‍රථම සිංහල කතා නාද වෘත්තාන්ත චිත්‍රපටය 1947 දී තිරගත වනවිට ලෝක සිනමාව අවුරුදු පනස් දෙකකින් මුහුකුරා ගොස් පැවතිණ. මින් පෙනී යන්නේ සිංහල සිනමාවේ ආරම්භය ලෝක සිනමාවේ ඇරඹුමෙන් අඩ සියවසකට ළා බාල බවයි. එනම් ලොව චිත්‍රපට කලාව අරඹා අඩසිය වසකුත් දෑවුරුද්දක ප්‍රමාදයකට පසුව සිංහල වෘතාන්ත චිත්‍රපට කලාව බිහි වු බවයි.

විසි වැනි සියවසේ මුල් කාර්තුව අග දී එනම් 1923 දී සිංහල සිනමාවක් බිහිකර ගැනීමේ කළල රූපය මෙරට රසික පිරිස් අතළොස්සක් අතරේ පිළිසිඳ ගෙන තිබිණ. සිංහල සහ අන්‍ය ජාතික පිරිසක් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කර ගැනීමේ ප්‍රයාසයේ යෙදුණහ. සිංහල සිනමාවේ එම දුරාතීතය පිළිබඳ ප්‍රවීණ පුවත්පත් කතුවරයකු හා සිනමා ලේඛකයකු වන ආතර් යූ. අමරසේනයන්ගේ 'සිංහල සිනමා වංශය' කෘතියෙහි සංගෘහිත ය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් සිංහල චිත්‍රපටයක් තැනීම ඇරැඹුණේ, රාජකීය වික්‍රමය, (Royal Adventure) නමින් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු ඇරැඹීමෙනි. එහි සම්පූර්ණ නාමය 'රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා' යන්නය. 'ශාන්තා' යනු රජ කුමරියකගේ නමකි. එය නිහඬ චිත්‍රපටයක් වීය. මින් පෙනීයන්නේ ප්‍රථම කතා නාද සිංහල චිත්‍රපටයේ උපතට පෙර නිහඬ සිංහල චිත්‍රපටයක උපත සිදුවී ඇති බවයි.

හාපුරා කියා සිංහල චිත්‍රපටයක් ලෙසින් 'රාජකීය වික්‍රමය' පටිගත කිරීම ඇරැඹුණේ 1923 දී ය. මුලින් ම චිත්‍රපට ගත කිරීම් සිදු කළේ කොළඹ බම්බලපිටියේ හිස් ව තිබූ බංගලාවක දී බැව් 'ලංකා චිත්‍රපට' පිළිබඳව ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්ෂිකයට (1963) ලිපියක් සපයන එල්.ඕ.ඩී. සිල්වා සඳහන් කරයි. එම චිත්‍රපටයේ කැමරා ගත කිරීම් කොළඹ දී හා කෝට්ටේ නාවල දියවන්නා ඔය ඉවුරේ දී ද සිදුකොට ඇත.


සක්කාරං (2016)

සිංහල සිනමාවේ ආරම්භය 'රාජකීය වික්‍රමය' චිත්‍රපටයෙන් නිසා එහි නිර්මාතෘන් හා පුරෝගාමීන් කවුරුන්දැයි දැන ගැනීම වැදගත් වේ.

බෝරා ජාතිකයකු වූ ටීග ඒ. නුර්බායි 'රාජකීය වික්‍රමයේ' නිෂ්පාදකයා විය. ඔහු පිටරට චිත්‍රපට ගෙන්වා මෙහි සිනමා ශාලාවල පෙන්වීමේ ව්‍යයාපාරිකයකු ව සිටියේ ය. නුර්බායි සිංහල චිත්‍රපටයක් නිපදවීමට පෙළැඹුණේ ඔහු සිනමාවට සම්බන්ධ ව්‍යාපාරිකයකු ව සිටි හෙයිනි. 'රාජකීය වික්‍රමය' අධ්‍යක්ෂණය කළේ 'ගුප්තා' නමැති ඉන්දියානු ජාතිකයෙකි. ඔහු දකුණු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. 'රාජකීය වික්‍රමය' කැමරා ශිල්පියා වූයේ ද ගුප්තා ය. චිත්‍රපටයේ ප්‍රධාන කාර්යයන් දෙක සඳහා ඉන්දියාවෙන් ශිල්පියකු ගෙන්වා ගැනීමට සිදුවූයේ එක් දහස් නවසිය විසි ගණන්වල දී ඒ සඳහා සිනමා තාක්ෂණ ශිල්පීන් මෙරටේ නො සිටි නිසා විය යුතු ය. ලංකාවේ චිත්‍රපට තැනීමේ මුල් අවධියේ ඒවායේ තාක්ෂණ හා කාර්මික ශිල්පීන් වූයේ ඉන්දියානු ජාතිකයන් ය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූයේ ශ්‍රී ලංකා දේශපාලන තලයේ නමක් තැබූ වාමාංශික නායකයකු වූ මුදල් ඇමැතිවරයකු වූ දිවංගත ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ය. මැට්‍රික්‍යුලේෂන් විභාගයෙන් උසස් ලෙස සමත් ව ලංකා විශ්වවිද්‍යාලයට ඇන්.ඇම්. ඇතුළත් වූයේ 1925 දී ය. ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ද නායකයා වෙමින් ජනප්‍රියත්වයක් අත් කරගෙන සිටි ශිෂ්‍යයෙක් වූ ඇන්.ඇම්. ශිෂ්‍යයාට මේ චිත්‍රපටයේ රඟපෑමට ලැබීම මහත් අවස්ථාවක් විය. රඟපෑම වෙනුවෙන් ඔහුට මසකට රුපියල් 100ක් ලැබුණි. එසේ ලත් මුල් ම මාසික වේතනය මවගේ අතට දුන් විට මවගේ දෑස සතුටු කඳුලින් පිරුණු බව ඇන්.ඇම්. පැවසීය. (බන්ධුතිලක, 1999:17) එහි ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ ලංසි තරුණියක වූ සිබිල්පිම් නමැති රූමතියකි. ප්‍රථම සිංහල චිත්‍රපට තාරකා වැළට එක් වූ සෙසු නළු නිළියන් වූයේ ග්‍රේෂන් පෙරේරා, එරික් වීරසේකර, ඇන්.ජී.ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා සහ ඩේවිඩ් මැනුවෙල් යන ශිල්පීන් ය. 'රාජකීය වික්‍රමය' චිත්‍රපටයේ දර්ශන තල ඉදිකිරීම් ආදි කලා අධ්‍යක්ෂණය කළේ සුප්‍රසිද්ධ සිතුවම් ශිල්පියකු වූ ඇම්. සාර්ලිස් මාස්ටර්ය. සහාය කලා අධ්‍යක්ෂක ලෙස ජී. ඇස්. ප්‍රනාන්දු කටයුතු කළේ ය.

එම ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය ලංකාවේ රසිකයන්ට නැරඹීමට අවස්ථාවක් උදා නො වී ය. සිංහල සිනමා ඉතිහාසයේ එය අවාසනාවන්ත සිදු වීමකි. ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය දැක ගැනීමට හැකි වූයේ විදේශිකයන්ට ය. 1925 දී බොම්බාය සහ සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කළ 'රාජකීය වික්‍රමය' බොම්බායේ දී ගින්නකින් විනාශ විය. එය හදිසි ගින්නක් නොව අදිසි ගින්නකැයි හෙළිවේ. එකල මෙරට චිත්‍රපට ප්‍රදර්ශකයෙක් වූ නිෂ්පාදක නුර්බායිට එරෙහි ව මෙහි චිත්‍රපට ප්‍රදර්ශක ව්‍යාපාරිකයෙක් නැඟී සිටීම හදිසි ගින්නට හේතු වී ඇත. ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදකයෙක් ද එම 'ඊර්ෂ්‍යා ගින්නට' සහයවී යැයි පැවසේ. පුදුමයට තවත් කරුණක් නම් 'රාජකීය වික්‍රමය' ලාංකිකයන්ට දැක ගැනීමට ශ්‍රී ලංකාවට සැපත්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී ගින්න හටගැනීම ය. (කාරියවසම් ජී.ජී.දයානන්ද, 3013.01.18)

ප්‍රථම ලාංකික සිනමා නිෂ්පාදනය සහමුලින් ම වාණිජ ක්‍රියාවලියක් තුළ නිෂ්පාදනය වූ ආකාරයත් වෙළඳ තරඟයේ ප්‍රතිඵලයක් ලෙස එය විනාශයට පත් වූ අකාරයත් මේ විස්තරයෙන් පැහැදිලි වේ.

දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක එස්.එම්. නායගම් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා විශේෂ මෙහෙවරක් ඉටු කරන ලදී. 1945 දී හේ චිත්‍රකලා මූවිටොන් (Chithrakala Movietone) සමාගම අරඹා මදුරෙයිහි දී සිංහල චිත්‍රපට තැනීම පිණිස ම චිත්‍රාගාරයක් ගොඩනගන ලදී. බොහෝ විකල්පයන් ගැන විමසා බැලූ නායගම් අවසානයේ දී ඓතිහාසික වටිනාකමකින් යුත් සාලිය අශෝකමාලා කථා පුවත චිත්‍රපටයකට නැගීමට තීරණය කළේ ය. මේ සඳහා තිර පිටපතක් සොයාගැනීමට තරඟයක් පැවැත්වූ අතර, ඉන් සාලිය අශෝකමාලාහි තිර රචකයා වූයේ එවකට නැගී එන කලාකරුවෙකු වූ ශාන්ති කුමාර් ය. කෙසේ නමුත් අදහස්වල නොගැලපීම නිසා මේ කටයුත්ත මගදී නැවත්වීමට සිදුවිය. අනතුරුව බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන් හා එක් ව ඔහුගේ 'කඩවුණු පොරොන්දුව' නිෂ්පාදනය කිරීමට එකඟතාවක් අති කරගන්නා ලදී.

කුමාර් ඔහුගේ තිර පිටපත චිත්‍රපටගත කිරීමේ අරමුණින් නායගම්ගේ සමාගමින් ඉවත් වී සිලෝන් තියෙටර් සමාගම චිත්‍රපටය සඳහා මුදල් වියදම් කිරීමට එකඟ කර ගන්නා ලදි. මුල සිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බටොර්හි දී තිරගත කිරීම අරඹන ලදී. නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21 වන දින මයිලන්ඩ් හිදී තිරගත විය. අශෝකමාලා චිත්‍රපටය ඉන් මාස තුනකට පසු 1947 අප්‍රේල් මාසයේ දී එල්ෆිනිස්ටන් හි දී තිරගත විය.

චිත්‍රපට දෙක ම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුව ද, විවේචකයන් විසින් ඒවා දකුණු ඉන්දියානු සිනමාවෙන් උපුටා ගත් දේ යැයි විවේචනයට භාජනය කෙරිණ.

කඩවුණු පොරොන්දුවේ සාර්ථකත්වයත් සමඟ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ඔහුගේ නාට්‍යානුසාරයෙන් චිත්‍රපට වැලක් ම නිෂ්පාදනය කරන ලදි. ඒවා නම්; කපටි ආරක්ෂකයා, වැරදුනු කුරුමාණම (1948), හදිසි විනිශ්චය (1950) (මෙය ජයමාන්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රථම චිත්‍රපටය වේ. ඉන් පසු ඔහු විසින් නිෂ්පාදිත සෑම චිත්‍රපටයක ම අධ්‍යක්ෂණය ඔහු විසින් ම කරන ලදී.), සැඟවුනු පිළිතුර (1951), උමතු විශ්වාසය (1952), කැලෑ හඳ (1953), අයිරාංගනී (1954), මතභේදය (1954), දේව විපාකය (1956), වන ලිය (1958), හදිසි විවාහය (1959), කවට අන්දරේ (1960), ජීවිත පූජාව (1961), මංගලිකා (1963) සහ මඟුල් පෝරුව (1967- ජයමාන්නයන්ගේ අභාවය නිසා වෙනත් අධ්‍යක්ෂකවරයෙකු විසින් නිම කරන ලදී.)

ජයමාන්නයන් දකුණු ඉන්දීය සිනමාවෙන් බොහෝ ක්‍රම විධි ලබාගත් අතර, කලාත්මක චිත්‍රපට සංවර්ධනය සඳහා කිසිදු දායකත්වයක් නො දරන ලදි. ඔහුගේ චිත්‍රපට බොහොමයක ම රුක්මණි දේවි සහ එඩී ජයමාන්න යුගලයේ සහභාගීත්වය තිබූ අතර (නමුත් කිසි විටෙකත් ඔවුහු තිරයේ ආදර වන්තයෝ නො වූහ.) නිදහසේ උදාවත් සමඟ, ශ්‍රී ලංකාව තුළට හා පිටතට ගමන් කිරීමට තහංචි පැනවීම නිසා, වියදම් අඩුකර ගැනීම පිණිස නායගම්ට ඔහුගේ ව්‍යාපාරය දිවයින තුළට ගෙන ඒමට සිදුවිය. ඔහු කඳාන ප්‍රදේශයේ ඉඩමක් මිළට ගෙන ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රාගාරය ගොඩනගන ලද අතර (පසුව එය එස්.පී.එම්. චිත්‍රාගාරය ලෙස හඳුන්වනු ලැබිණි.) එය එවකට රටේ වූ දියුණු ම චිත්‍රාගාරය විය. ඔහුගේ ප්‍රථම නිෂ්පාදනය වූ 'බණ්ඩා නගරයට පැමිණේ' (1952) මෙ රට ප්‍රේක්ෂකයන් අතර සාර්ථක විය. එය ප්‍රථම ස්වදේශීය නිෂ්පාදනය වුවද තාක්ෂණය අතින් දකුණු ඉන්දීය තත්වයේ ම විය. නායගම් අනතුරු ව ප්‍රේම තරඟය (1953) හා අභ්‍යන්තර ස්ත්‍රී (1954) නිෂ්පාදනය කරන ලදි. චිත්‍රාගාරයේ පහත් මට්ටම අනුව නායගම් උසස් තත්වයේ ආම්පන්න මිලයට නො ගන්නා ලදි. එ නිසා මේවා බොලිවුඩයෙන් ගෙන්වූ එවාට සම කළ නො හැකි විය. මේ චිත්‍රපට වඩාත් ම දකුණු ඉන්දියානු චිත්‍රපට වට්ටෝරුවලට අනුගත වූ ඒවා විය. (ඒවායේ කාර්මිකයන් සියළු දෙනාම ඉන්දියානුවෝ වූහ.)

එවකට නැගී ආ කලාකරුවන් අතර සිරිසේන විමලවීර ප්‍රධාන වශයෙන් කැපී පෙනේ. ඔහුගේ චිත්‍රපට බොහොමයක් ඉතිහාසය පදනම් කරගෙන හා අශෝක අධිරාජ්‍යයා, රොබින් හුඩ් වැනි ඓතිහාසික චරිත ආශ්‍රිත ව ගොඩනැගී ඇත.

මේ වකවානුවේ තවත් ප්‍රධාන නිෂ්පාදකවරයෙක් ලෙස කේ. ගුණරත්නම් හැඳින්විය හැකි අතර ඔහුගේ ඉන්දියාවේ සලෙම්හි 'මොඩන් තියෙටර්' චිත්‍රාගාරයේ දී නිෂ්පාදිත 'සුජාතා' තාක්ෂණික ව දියුණු චිත්‍රපටයක් ලෙස කැපී පෙනුනු නමුදු එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වීමට අපොහොසත් වී අති බැව් පෙනේ. (Wikipedia)


ස්වරූප (2017)

මෙතෙක් කරන ලද සාකච්ඡාවෙන් පැහැදිලි වනුයේ ලංකාව තුළ සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් ලෙස විනා සෞන්දර්ය කලාවක් ලෙස ආරම්භ නොවූ බවයි. එනිසා ම කලාත්මක සිනමාවක් වර්ධනය වීම සිදු වූයේ ඉතා සෙමිණි. 1956 දී ඇති වූ ජාතිකවාදී ස්වදේශීකරණ ක්‍රියාවලිය සමඟ ලෙස්ටර්ගේ රේඛාවට මඟ පෑදිණ. කර්මාන්තකරුවන්ට ද ලෝකමට්ටමේ සිදුවෙමින් පැවති ජාතිකවාදී නැගිටීම් හමුවේ සිය ක්‍රමවේද වෙනස් කර ගැනීමට සිදු විය. ඒ අනුව උසස් චිත්‍රපට නිෂ්පාදනය කෙරේ යොමු වීමට සිදු විය. 50 ගණන් සහ 60 ගණන්වල මේ වාණිජ ව්‍යාපාරය සමඟ විවිධ අය කළ අරගලවල ප්‍රතිඵල ලෙස 70 දශකය වන විට පෞද්ගලික ප්‍රයත්න හරහා සිනමා සම්ප්‍රදානයන් කිරීමට හැකි පසුබිමක් තැනී තිබිණ.1970 -1977 වකවානුවේ දී ඩී.බී නිහාල්සිංහයන්ගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වූ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව උසස් නිර්මාණ සඳහා ලබාදුන් දායකත්වය පතිරාජ වැනි වාණිජ පරමාර්ථවලින් මුක්ත වූ පිරිසට මහඟු පිටුබලයක් විය. සිනමා කෘති මණ්ඩල අනුව වර්ග කෙරුණු අතර සම්භාව්‍ය කෘති 5 වන මණ්ඩලයට අයත් සිනමා ශාලාවල තිරගත විය. 1977න් පසු තත්වයන් වෙනස් ව ගිය අතර උසස් නිර්මාණ සඳහා රාජ්‍ය අනුග්‍රහ ලැබීම විරල විය. නාගරික ප්‍රදේශවල බොහෝ සෙයින් ප්‍රචලිත වූ දර්ශනවාරය වූයේ 9.30 යි. 1987-89 කාලයේ ලංකාවේ සිදු වූ ත්‍රස්තවාදී කටයුතු නිසා මේ රාත්‍රී දර්ශනවාර නවතා දැමූ අතර සවස 6.00 වන විට සියලු දෙනා නිවෙස් බලා යාමේ නව ප්‍රවණතාවක් ඇරඹිණ. ගමනාගමනයේ ආධිපත්‍යය පෞද්ගලික අංශය සතු වීමත් සමඟ පිටිසර ප්‍රදේශවලට ගමන්ගත් රාත්‍රී බස් සේවා නතර වී යාමත් මේ විනෝද සංස්කෘතිය බිඳවැටීමට හේතු විය.

මෙලෙස බිඳවැටුණු ප්‍රේක්ෂක ජාලය ස්වභාවික ව වර්ධනය කිරීමට අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කරනු වෙනුවට පසුගිය දශක දෙකක කාලයේ සිදු වූයේ ඇතැම් චිත්‍රපට නරඹන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය මගින් පාසැල්වෙත චක්‍රලේඛන නිකුත් කිරීම ආදිය යි. සිය රාජ්‍ය පාලන ව්‍යාපෘතියට සහය වන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් විසින් නිපදවන ඉතිහාසකතා බණකතා ආදිය මෙලෙස බලය යොදවා දරුවන්ට පෙන්වීම හරහා ලාභ උපයා ගැනීම 2005 සිට 2015 දක්වා කාලය තුළ සුලබ කටයුත්තක් විය.

අද වන විට පෞද්ගලික රූපවාහිනී නාලිකා ආයතන මගින් පවත්වාගෙන යන එන්ටර්ටේන්මන්ට් ඒජන්සීස් මගින් නිෂ්පාදනය කෙරෙන ටෙලිනළු වර්ගයේ චිත්‍රපට විශාල වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් යොදවා ප්‍රචලිත කරවීමත් එමගින් චිත්‍රපටය නැරඹීම විලාසිතාවක් බවට පත් කිරීමත් මගින් ප්‍රේක්ෂකාගාරය පාලනය කිරීමෙහි යෙදෙයි. මෙලෙස වාණිජවාදී සිනමාව සිය ක්‍රමවේද කලින්කලට මාරුකරමින් සරල විනෝදය අලෙවි කිරීමෙහි යෙදෙනවා විනා පතිරාජ කළාක් වැනි බුද්ධිමය සංවාද ප්‍රවර්ධනය කිරීමට උත්සාහ නොගනී. අනෙක් අතට ලංකාවේ ප්‍රබුද්ධ සමාජ සංස්ථා සිනමාව විෂයයෙහී දක්වන මැදිහත්වීම ද අතීතයේ සිට ම දුර්මුඛ ස්වරූපයක් උසුලන බව නිරීක්ෂණය කළ හැකි ය.

ලංකාවේ ශාස්ත්‍රාල 21 වන සියවස වන තෙක් ම චිත්‍රපට කලාව විෂයෙහී මැදිහත්වූයේ ඉතා අල්පමාත්‍රව ය. නාට්‍ය විෂයෙහී ලුඩෝවයික්, එදිරිවීර සරච්චන්ද්‍ර, ජෝතිය ධීරසේකර වැන්නන් කළ මැදිහත්වීම් හා විශ්වවිද්‍යාල පාඨමාලාවලින් ලැබුණ අනුග්‍රහය චිත්‍රපටයට නො ලැබිණ. ඊට හේතු වන්නට ඇත්තේ චිත්‍රපටය සඳහා දැරීමට සිදුවන අධික බරපැන හා තාක්ෂණික අවශ්‍යතා විය යුතු ය. ශාස්ත්‍රාලීය උගතුන් චිත්‍රපටය කෙරේ මැදිහත් වුව ද ඒ සිය අධ්‍යයන කාර්යයට පරිබාහිර කටයුත්තක් ලෙසිනි.

පතිරාජ සිනමාවට මැදිහත් වූ අවකාශය මෙබඳු විෂම එකක් විය. මේ වාණිජ ධාරාව තුළ ඔහුගේ එළඹුම සහමුලින් ම විකල්ප මාර්ගයක් ගැනිණ. එය ලාංකේය සිනමා සංස්කෘතිය තුළ අධිනිශ්චය වූ භාවිතයෙන් සපුරා විලක්ෂණය වූවකි. අද ද වාණිජවාදී විනෝදායන සිනමාවට විසල් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබේ. පතිරාජගේ ම සමකාලීනයෙකු වූ සුනිල් ආරියරත්නගේ සිනමාව මුල්කාලීන වාණිජවාදී විනෝදායන සිනමා ලක්ෂණවලින් පොහොසත් වීම නිසා සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර නො අඩුව ලබද් දී නිරන්තරයෙන් උඩුගම් බලා පිහිනීම නිසා පතිරාජගේ සිනමාව ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් දුරස් වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය. ආරියරත්නගේ සිනමාව කිසිදු කලාත්මක හෝ සමාජීය අගයකින් යුතු නො වන අතර වාණිජ පාර්ශ්වයෙන් ඉතා සාර්ථක විය. නැණවත් ප්‍රෙක්ෂකයන් ඒවා සළකනුයේ වෙසක් තොරන් වශයෙනි.

සංස්ථාපිතය අභිමුව ජනාකර්ෂණයට බඳුන් නො වන පතිරාජගේ සිනමා නිර්මාණ වටා රොක් වූයේ නව සමාජ දැක්මක් සහිත නව සමාජ පෙරළියක් ප්‍රාර්ථනා කළ පතිරාජ බඳු ම අතළොස්සක් වූ ප්‍රේක්ෂක සහ විචාරක තීරුවකි. පියසීලි විජේගුනසිංහ, සුචරිත ගම්ලත් යන විචාරකයන්ගේ භූමිකා මෙහි දී විශේෂයෙන් සඳහන් කළ මනා ය. එහෙත් 'මතුයම් දවස' සිනමා නිර්මාණයෙන් ඇරඹෙන ඔහුගේ සිනමා චාරිකාවේ දෙ වැනි ගමනේ දී එකී නිර්මාණ විමසුමට ලක් කිරීමට පොහොසත් විචාර ධාරාවක් නො තිබූණේද යන්න සහ සාපේක්ෂ සාධනීය මැදිහත්වීම්වලට දායක පිරිස ඊට මැදිහත් නොවූයේ මන්ද යනු විමසා බැලිය යුතු කරුණකි.

තව ද පතිරාජ වෘත්තීය වශයෙන් රැඳී සිටි විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය ද සිනමා නිර්මාණකරනය සහ අධ්‍යයනය පිළිබඳ පතිරාජ සතු ඥානය උපයෝගි කර ගැණිමට කිසිදු සාධනීය පරිශ්‍රමයක් නොදැරීමත් යාපනය විශ්වවිද්‍යාලය හැර ඔහු සේවය කළ බොහෝ විශ්වවිද්‍යාලවලින් අප්‍රමාණ හිරිහැර සිදු කිරීමත් අවසන් වශයෙන් සටහන් කළ යුතු ය.

සමාලෝචනය

ලෝකයේ ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස දියුණු වූ අතර එය විසල් ලාභ අත් කර දුන්නක් විය. එහෙත් ලංකාව තුළ මුද්‍රණ ප්‍රකාශන කර්මාන්තයක් ලෙස මහත් වාණිජ අපේක්ෂා ඇති ව වර්ධනය නො වූ අතර ආගමික අපේක්ෂා පෙරදැරි කොටගෙන වර්ධනය විය. එහෙත් සිනමාව ඇරඹියේත් වර්ධනය වූයේත් වාණිජ පරමාර්ථ පෙරදැරි කොටගෙන ය. රජයේ චිත්‍රපට අංශය වැනි ආයතන විසින් උසස් නිර්මාණ කළ ද ඒවා සිංහල ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිත නො වීය. සිංහල බහුජන සමාජය නිර්මාණය කිරීම විෂයයෙහී ආගමික ව්‍යාපාර මැදිහත් වූවා සේ ම විනෝද සංස්කෘතිය නිර්මාණය කරන ලද්දේ වානිජ පරමාර්ථ ඇති ව වයාපාරික පිරිසක් විසිනි. ප්‍රකාශන කර්මාන්තය තුළ ධනවාදී ලක්ෂණ දැකිය හැකි ලංකාවේ ප්‍රචලිත වූ ප්‍රධාන ම ප්‍රකාශන මාධ්‍යය චිත්‍රපටය යි. එහෙයින් ලංකාවේ චිත්‍රපට කතිකාව ම වාණිජවාදී විනෝදායන කර්මාන්තයකි. එහි බුද්ධිමය ව්‍යායාමවලට ඇත්තේ අල්ප ඉඩහසරකි. පතිරාජ ප්‍රේක්ෂාගාරයෙහි අසමත් වනුයේ මේ ආර්ථීක දේශපාලන තතු යටතේ විනා ඔහුගේ නිසග අඩුපාඩුවක් නිසා නොවේ.

පාදක සටහන්-

1. මේ චිත්‍රපටයේ වැඩිපුරම දර්ශන රූපගත කළේ පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ දී, 1983 ජූලි සිංහල-දමිළ කලබලයේ දී විජය චිත්‍රාගාරයට සිංහල චිත්‍රපට රසිකයින් විසින් ගිණි තබන ලදි. චිත්‍රාගාරය දමිළයකුට අයිති වුව එහි තැනූයේ සිංහල චිත්‍රපටයි. සියලු වැඩ නිමවී තිබූ මේ චිත්‍රපටයත් එම ගින්නෙන් පිළිස්සිණ. මෙහි සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රේමසිරි කේමදාසත්, කැමරා අධ්‍යක්ෂණයෙන් පී.යූ.ඩී. පෙරේරාත්, රංගනයෙන් ජෝ අබේවික්‍රම, උපාලි අත්තනායක, යූ. ආරියවිමල්, ගීතා කුමාරසිංහ, විමල් කුමාර ද කොස්තා ඇතුළු විශාල නළු නිළි පිරිසක් දායක වූහ. මේ සියලු දෙනාගේ බලාපොරොත්තු සහ උත්සාහය අවුරුද්දක මහන්සිය ජාති ආලයේ එක ගිණිිකූරකින් පුලුස්සා දැමිණ.

1981-82 වකවානුවේ ධර්මසේන පතිරාජයන් අතින් නිර්මාණය වූ ‘සිරකඳවුර’ වෘත්තාන්ත සිනමා කෘතිය පිළිබඳ ව දන්නෝ අල්පයහ. ඒ සම්බන්ධයෙන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ පී.යූ.ඩී. පැවසුවේ මෙබඳු අදහසකි; "මේ චිත්‍රපටයේ සම්පූර්ණයෙන් ම වැඩ අවසන් කරලා වත්තල විජය චිත්‍රාගාරයේ තිබුණේ. මුල් පිටපතෙන් මුද්‍රිත පිටපත් ගැනීමට පමණයි තිබුණේ. 83 ඇති වූ අවාසනාවන්ත ජූලි කලබලයේ දී විජය චිත්‍රාගාරයට අන්තවාදීන් ගිණිි තැබුවා. එහි දී මේ පිටපත සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. එය විනාශ නො වුණා නම් වාණිජ වශයෙනුත් පතිරාජගේ සාර්ථකවීමට හැකියාව තිබූ චිත්‍රපටයක් එය."

මෙම නිර්මාණය විනාශ වීම එහි නිර්මාණ දායකත්වය දැක්වූවන්ට කෙතරම් වේදනාසහගත ක්‍රියාවක් වන්නට ඇතිදැයි අපට සිතීමට පවා අසීරුය. පතිරාජයන් ඒ පිළිබඳව කිසිදින කතා නොකරන්නට ඇත්තේ ද එනිසා විය යුතු ය. (74 ඇරඹි සිනමා කැරැල්ලේ පුරෝගාමියා පතිරාජ, මනුබන්ධු විද්‍යාපති, රිවිර, 2017.06.24)


මූලාශ්‍ර-

1. දිසානායක, ධම්මික, ශ්‍රී ලාංකීය සිනමාවේ සැබෑ ආරම්භය පිළිබඳ විමසා බැලීමක් II, දිවයින 2013.01.24
2. කාරියවසම් ජී. ජී. දයානන්ද, කඩවුණු පොරොන්දුවට කලින් උපන් සිංහල සිනමාව, දිවයින, 2013.01.18
3. ආලකමන්දාව රූපවාහිනී වැඩසටහන, ධර්මසේන පතිරාජ ප්‍රත්‍යාවලෝකන, 2017.06.27, ජාතික රූපවාහිනිය
4. කාරියවසම්, තිස්ස, 2012, විසිවසරක සිංහල නාට්‍ය හා රංග කලාව (1912-1931), කොළඹ:ගොඩගේ
5. කාරියවසම් තිස්ස, 1981, සිංහල නාට්‍යයේ විකාශනය (1867-1911), කොළඹ: ප්‍රදීප ප්‍රකාශකයෝ
6. කාරියකරවන සමන් එම්, 'සිරි ගුනසිංහ සත්සමුදුර තරණය කළ හැටි' දිවයින, 2017.06.09
7. ධර්මදාස කේ.එන්.ඕ, 2012, සිංහලය හා මුද්‍රණ ශිල්ප තාක්ෂණය: පළමු සිංහල මුද්‍රණාලය පිළිබඳ සටහනක්, මුදිතා- සිරිසුමන ගොඩගේ අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, කොළඹ: ගොඩගේ, 48-56 පි.
8. අමරසේන ආතර් යූ, 1988, 'සිංහල සිනමා වංශය'
9. Anderson, Benedict (1991 [1983]) Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism. London: Verso
10. බන්ධුතිලක මලල්ගොඩ, 1999, ඇනA ඇම්. නුගේගොඩ: දීපානි


ලේඛකයෝ- ජයන්ත අමරසිංහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්යවරයා ය. සමන් එම්. කාරියකරවන ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථීකාචාර්යවරයෙකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Dharmasena Pathiraja, Sri Lankan Film Director, Sri Lankan Writer, Sinhala Cinema, Sinhala Filmmaker
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Cine බූන්දි
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook