Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
බූන්දි, 18:40:00
මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා ගැනීමට ආචාර්ය සුමති සිවමෝහන්ගේ දෙ වන වෘතාන්ත චිත්‍රපටය හා පළමු සිංහල චිත්‍රපටය වන "පියවරු සහ පුත්තු" චිත්‍රපටය සමත් විය. මේ චිත්‍රපට උළෙලේ දී සුමතිගේ නිරිමාණය හා තරඟ වැදුනු අනෙකුත් චිත්‍රපට අතර ඉන්දියානු අධ්‍යක්ෂ ලෝකේෂ් කුමාර්ගේ My son is gay, ඉන්දියානු අධ්‍යක්ෂවරයෙකු වන දාර්ගායි අධ්‍යක්ෂණය කළ Teen Aur Aadh, ඕස්ට්‍රේලියානු අධ්‍යක්ෂකවරයෙකු වූ ඇඩ්‍රියන් ගොයිනින්ගර්ගේ The Best of All Worlds යන චිත්‍රපට විය. යාපනයේ දේශපාලන පවුලකින් පැවත එන සුමති, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කරනු ලැබූ වෛද්‍ය රාජනී තිරාණගමගේ බාල සොයුරියයි. ඇය චිත්‍රපට අධ්‍යක්ෂවරියක්, නාට්‍ය අධ්‍යක්ෂවරියක්, ලේඛිකාවක්, කිවිඳියක් මෙන් ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ ආචාර්යවරියකි. ආචාර්ය සුමති සිවමෝහන්ගේ "පුත්තු සහ පියවරු" ඉදිරියේ දී ලංකාවේ තිරගතවීමට නියමිත අතර මේ චිත්‍රපටය හා බැඳුනු සංස්කෘතික දේශපාලනික හා භාවමය කරුණු පිළිබඳ ඇය සමඟ කළ සාකච්ඡා කළෙමු.

ඔබේ අළුත් ම චිත්‍රපටය ගැන කතාකරන්න කලින් මම කැමතියි දැනගන්න ඔබේ පවුලේ දේශපාලන හා කලා පසුබිම පිළිබඳ.

මම උපන්නෙ ගැඹුරින් ම දේශපාලනික වූ පවුලක. ඒ වගේ ම මම යාපනේ නාට්‍ය එක්ක සම්බන්ධවෙලා හිටිය, නිළියක් විදියටත් ඒ වගේ ම අධ්‍යක්ෂවරියක් ලෙසත්. ගාර්ෂියා ලෝකාගේ "ද හවුස් ඔෆ් බර්නාඩා ඇල්බා" නාට්‍යයෙත් චෙකෝව්ගෙ "ද බෙයාර්" නාට්‍යයෙත් තවත් නාට්‍ය කිහිපයකත් මම රඟපාල තියෙනව. මගෙ අම්ම ඉංග්‍රීසි සහ දෙමළ ආධුනික නාට්‍ය නිෂ්පාදන කිහිපයක ම රඟ පෑව. ඇය ඉතා ම ස්වභාවික රංගන ශිල්පිනියක්. රංගනයේ දී මම ටිකක් සබුද්ධිකයි; හැබැයි ඇය හරිම ස්වභාවිකයි. ඒ හැකියාව ඇයට සහජයෙන් ආපු එකක්, නැතුව ඉගෙනගත්තු එකක් නෙවෙයි. මම රඟපාන්න ආසයි. මම නාට්‍ය අධ්‍යක්ෂණය කළා. පසුව නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය පටන්ගත්ත. ලාංකේය දමිළ රංග ශාලාව සඳහා නාට්‍ය රචනා කළා. කන්ණඩ ලේඛකයෙක්, නළුවෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේ ම නාට්‍ය රචකයෙක් වූ ගිරිෂ් කර්නාඩ්ගෙ අලංකාර නාට්‍යයක් වූ "නාගමණ්ඩල" (නා කෙළිය) දෙමළෙන් නිෂ්පාදනය කළා. මම රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන්න පටන්ගත්ත. ඒකපුද්ගල ප්‍රසංගයකුත් පැවැත්වුව. ධර්මසේන පතිරාජ තමයි මගේ රංගනය ජාත්‍යන්තර වේදිකාවට අරං ගියේ. 1996 දි ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න්හි පිහිටි "ලා මාමා" රංග ශාලාවෙ රඟදැක්වුණු "ඉන් ද ෂැඩෝව්ස් ඔෆ් ද ගන්" නාට්‍යයේ රඟපෑමත් සමඟ මම ජාත්‍යන්තර රංගනයට එක් වුණා. මට 2001දි ග්‍රේෂන් සම්මානය ලැබුණෙ මේ "ඉන් ද ෂැඩොව් ඔෆ් ද ගන්" සහ "විකඩ් විට්ච්" යන කෘති දෙක වෙනුවෙන්.

අපි හැදුනු වැඩුනු 1970 කාලෙ යාපනේ ලොකු සිනමා සංස්කෘතියක් තිබුනෙ නෑ. අපේ පවුලෙ අය දෙමළ චිත්‍රපටි දිහා බැලුවෙ විවේචනාත්මක ව. ඒ අය ඒව බලන්න වැඩිය පෙළඹුනේ නෑ. මගේ අම්ම තාත්ත කැමති දෙමළ සිනමාවෙ පූර්ව සම්ප්‍රදාය වූ ත්‍යාගරාජා භගවතාර්ගෙ කාලෙ නිර්මාණවලට. එක චිත්‍රපටයෙ සිංදු 20ක් විතර තියෙනව. 70 දශකයෙ පවුලේ ආදර කතා සහ අඬන වැළපෙන චිත්‍රපටවලට අම්ම කැමති නෑ. කොහොම වුණත් අපි සිනමා ශාලාවලට ගියේ හරිම අඩුවෙන්. මට මතකයි ප්‍රයිමරි ඉස්කෝලෙ දි "හයි නූන්"බැලුව. (මෙය ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ Fred Zinnemann විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ 1952 දී ප්‍රථමයෙන් තිරගත වූවකි.) කවුරුහරි ඇමරිකානු සංචාරක චිත්‍රපට කණ්ඩායමක් තමයි ඒ ප්‍රදර්ශනය කළේ. තරුණ කට්ටිය පැදුරුවල වාඩිවෙලා චිත්‍රපටය බැලුව. මට වචනවත් වෙන මොනවක්වත් තේරුනේ නෑ. මට තාමත් මතකයි ඒකෙ දර්ශන. පස්සෙ කාලෙක ඒ චිත්‍රපටය මම බලනකොට, චිත්‍රපටයේ පසුබිම, විවිධ ස්ථාන, කෝච්චිය, මේ සේරම මට මතකයි. මම හිතන්නෙ ඒක තමයි චිත්‍රපටියක් බලන්න හොඳ ම ක්‍රමය. චිත්‍රපටයේ දෘශ්‍ය රූපය නැරඹීම. මම ඒ ලෙවල් කරන කාලෙ එක දවසක් යාපනේ විශ්වවිද්‍යාලෙ පෙන්වපු Battleship Potemkin චිත්‍රපටිය බැලුව. (1952 දී තිරගත වූ සෝවියට් චිත්‍රපටයකි. අධ්‍යක්ෂවරයා Sergei Eisenstein.) මම ඒ චිත්‍රපටියෙන් වශී වුණා. චිත්‍රපටි ගැන මුකුත් දන්නෑ, මේ මොකක්ද රූප අමුණල හදපු එකක් ද මුකුත් දන්නෑ. නමුත් මම දැනගෙන හිටිය යම් විශේෂිත බලවත් දෙයක් මම නැරඹූ බව. ඒ වගේ ම මට විශ්වාසයක් නෑ මම එහි අන්තර්ගතය අවබෝධ කරගත්ත ද කියල. එහෙත් චිත්‍රපටයේ ප්‍රබල රූප රාමු මා ඉදිරියේ මා වෙනුවෙන් පෙනී සිටිය.

මම කාලයක් ජීවත් වුණා උතුරු ස්වීඩනයෙ. ඒක කුඩා නගරයක්. මගේ ම වූ සමාජ සංස්කෘතික ජීවිතයක් ගත කරන්න මට සිදු වුණා එහි දී. මම සිනමා සමාජයකට සම්බන්ධ වුණා. ඒකෙ පෙන්නුවා ක්ලැසික් චිත්‍රපටි. නැත්තං ලෝකෙ වටේ ම හොඳ චිත්‍රපටි. මසකට එක බැගින් ඒ චිත්‍රපටි බලන්න මම පුරුදු වෙලා හිටිය. මට ස්වීඩන් භාෂාව බෑ. මේ විශාල ශාලාවෙ මිනිස්සු 25ක් විතර තමයි හිටියෙ. මම සහමුලින් ම ආගන්තුකයෙක් වුණා. මම ඒ නිහඬ, නිදහස්, නිර්නාමික බව වින්දනය කළා.

මට පතිරාජ මුණගැහුනට පස්සෙ සියල්ල වෙනස් වුණා. ඔහු ඉතා සියුම් ලෙස මා චිත්‍රපටකරණයට යොමු කළා. අපි හැම විට ම චිත්‍රපට බැලීම, ඒව ගැන සාකච්ඡා කිරීම හා චිත්‍රපට පිළිබඳ කියවීම කළා. චිත්‍රපට න්‍යාය පිළිිබඳ අපගේ කියවීම් අපි බෙදා හදා ගත්ත. චිත්‍රපටියක් බලන්න කලින් මම කවදාවත් ඒක ගැන ඔහු සමඟ කතා කළේ නෑ. ඔහු කියන්නෙ ඉස්සෙල්ල ම චිත්‍රපටිය බලල ඉන්න කියල. අපි දෙන්නම චිත්‍රපටිය බැලුවට පස්සෙ තමයි ඒ ගැන අපි කතා කළේ. ඔහු හැම විට ම චිත්‍රපටි තැනීමට මා උනන්දු කළා. ඔහු කිව්වෙ රූපගත කරන්න ඉගෙන ගන්න, ඒ වගේ ම චිත්‍රපට ශිල්ප ක්‍රමය නැත්තන් ක්‍රාෆ්ට් එක ඉගෙනගන්න කියල. එහෙත් ඔහු හැම විට ම අපමණ නිදහසක් මට ලබා දුන්න. මම චිත්‍රපටියක් කරන්න පටන්ගන්නකොට ඔහු කිසි විටෙකත් බලපෑම් කළේ නෑ. මගේ සිනමාත්මක තීරණ හෝ චිත්‍රපට තෝරාගැනීම්වලට ඔහු අවවාදයක් දුන්නත් කිසි විටෙක මඟ පෙන්වීම් හෝ බල කිරීම් කළේ නෑ. මම තිර පිටපතක් ලිව්වහම ඔහුට පෙන්වනව. ඔහු එය කියවල නිසැක ව ම එය විවේචනය කරනව. ඒත් මම ඒ විචාර නිසා මගේ තිර පිටපත වෙනස් කරන්නෑ. ඒත් මම කල්පනා කරනව ඒ ගැන. මොකක්ද කළ යුත්තේ කියල. මගේ පළමුවන වෘතාන්ත චිත්‍රපටිය "ඉංගිරන්තු" (Here and Now) වතු කම්කරු ප්‍රජාව ගැන. ඒ පිටපත කියවල ඔහු කිව්ව මේක බ්‍රෙෂ්ටියානු චිත්‍රපටියක් කියල. මම ගොඩක් සතුටු වුණා. ඔහු කියන දේ අවංකවයි කියන්නෙ. කාගෙවත් හිත සතුටු කරන්න දේවල් කියන්නෙ නෑ. මටත් එලෙස ම යි.

මම කැමතියි ඔබේ චිත්‍රපටය "පුත්තු සහ පියවරු" දෙසට හැරෙන්න. මොකක්ද මෙහි තේමාව?

ලංකාවෙ සිනමා කර්මාන්තය තුළ ද්‍රවිඩ සංගීතඥයාගෙ කාර්යභාරය හා ජාතිවාදී ප්‍රශ්න ඔවුන්ගේ ජීවිතයට කරන බලපෑම වැනි සංකීර්ණ කරුණු රාශියක් එක මිටට ගත් තේමාවක් තමයි එහි තිබෙන්නෙ. රෙක්ස් පෙරියසාමි කියන්නෙ සිංහල චිත්‍රපටිවල ප්‍රධාන සංගීත අධ්‍යක්ෂවරයෙක්. සිය සංගීත දිවියේ විශිෂ්ඨ අවධියේ දි ඔහු කාන්ති නමැති සිංහල තරුණිය විවාහ කරගන්නව. සිනමා කර්මානතයේ බහු සංස්කෘතික වටපිටාව තුළ එළඹ සිටි තතු යටතේ තමයි ඔහු සිංහල තරුණියක් විවාහ කරගැනීම සිදු වන්නේ. ඔවුන් දෙදෙනාගේ පුත් ලකී සහ දුව මාලාගේ අනාගත ජීවිතය සෞභාග්‍යමත් කිරීමේ බලාපොරොත්තුව ඇතුව ඔවුන් ස්ථාපිත ජීවිතයක් අරඹනව. මේ තාත්ත සහ පුතා ලංකාවේ සිනමා සංගීත ඉතිහාසය නිර්මාණය කළ දෙදෙනෙක් වෙනව. මේ පරම්පරා දෙකක සංගීතඥයන්ගේ ජීවිත කතාව ගෙවී යද්දි ඔවුන් මැදි වෙනව දේශපාලන සුළිසුළඟට. උතුරේ ද්‍රවිඩ බෙදුම්වාදය මතු වෙනව. දකුනේ දෙමළ විරෝධය මතු වෙනව. මේ දේශපාලන කුනාටුව ඔවුන්ගේ ජීවිතවලට බලපානව. මේකයි කෙටියෙන් චිත්‍රපට කතාව.

මේ චිත්‍රපට කාර්යයට සම්බන්ධ වූ අනෙක් පිරිස් ගැන සඳහන් කරන්න පුළුවන් ද?

චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ සුනිල් පෙරේරා, සංස්කරණය එල්මෝ හැලිඩේ. ලාල් හරින්ද්‍රනාත්, කලා අධ්‍යක්ෂණය. ඇන්තනි සුරේන්ද්‍රගේ සංගීතය, හඬ පෙළගැස්ම එල්මෝ හැලිඩේ සහ සෂික මාරසිංහ, ෆයින් විෂන් ආයතනයේ ආනන්ද බණ්ඩාර රූප පෙළගැස්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ආනන්ද කොඩිතුවක්කු සහය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.

රංගනයෙන් දායක වුනා එස්.ඒ. විනෝජ්, බිම්සරා ප්‍රේමරත්න, රනිල් ජිතේන්ද්‍ර, අමවස්‍යා සිරිසේන, හරංජනී ෂන්මුගරාජා, මතිෙරෙයි රාජේෂ් කුමාර්, ඇන්තනි සුරේන්ද්‍ර (ඔහු සංගීත අධ්‍යක්ෂකවරයා ද වේ.) ආරාධිත රංගන ශිල්පීන් ලෙස උපුල් ශාන්ත සන්නස්ගල යන අය. චිත්‍රපට ධාවන කාලය විනාඩි 96 යි. සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය දෙක මිශ්‍ර නිර්මාණයක්.


ආචාර්ය සුමති සිවමෝහන්

මේ චිත්‍රපටි කතාව ඔබේ සිතට එන්නෙ මොන පසුබිමක් තුළ ද?

මේ චිත්‍රපටය ගැන අදහස මගේ හිතට ආවෙ 2010/2011 කාලෙ මම "ඉන්ගිරන්තු" කරද්දි. මම එහි ඇන්තනි සුරෙන්ද්‍ර එක්ක වැඩ කළා. ලංකාවෙ සංගීත කර්මාන්තය ගැන ඔහු ගොඩක් දේවල් මා එක්ක කතා කළා. ඔහු දිගින් දිගට ම මට කිව්ව ඒ කාලෙ මුස්ලිම් හා දෙමළ සංගීතඥයන් ගැන වාර්තා චිත්‍රපටයක් කරනවනං හොඳයි කියල. අපි ලඟ ඒ කාලෙට සම්බන්ධ මහ ගොඩක් කතන්දර තිබුණ. මම හරි ආසාවෙන් ඒ කතා ඇහුව. සුරේන්ද්‍ර කියන්නෙ හරි ම කාර්ය බහුල කෙනෙක්. එයාව අල්ලගන්න හරි අමාරුයි. කොයි වෙලාවක හරි ඔබට ඔහු හමු වුනොත් සංගීත ලෝකය පිළිබඳ ලස්සන කතාවලින් ඔහු ඔබේ සිත සොරකම් කර ගනීවි. එක්තරා ආකාරකින් මේ චිත්‍රපටය ඔහු ගැනය කියල කියන්නත් පුළුවන්. ඇත්තට ම ඔහු හිතන්න නැතුව ඇති මම මේ ගැන චිත්‍රපටයක් හදාවි කියල. මේ කතාවලින් අවුරුද්දකට විතර පස්සසෙ මම ඔහු හමුවෙලා පිටපත පෙන්වලා කිව්ව මම ඔයා කියපු චිත්‍රපටිය කරන්න ගත්ත කියල. පතීත් හරි කැමති වුණා. මොක ද 1970 හා 80 කාලෙ බොහොමයක් ප්‍රධාන සංගීතඥයො වූ රොක්සාමි, ඇන්තනි මාස්ටර් සහ තවත් බොහෝ දෙනෙක් ඔහු පෞද්ගලික ව දැනගෙන හිටිය.

මට පුංචි ග්‍රාන්ට් එකක් ලැබුණ සංගීතය හා සුළු ජාතීන් පිළිබඳ චිත්‍රපටයක් කරන්න. ඒ චිත්‍රපටයට අදාළ ව පර්යේෂණ කටයුතු ඇරඹුවා. මට දැනුණ ලංකාවෙ චිත්‍රපට ඉතිහාසයේ අතිශයින් ම දේශපාලනික මොහොතක් පිළිබඳ මම පර්යේෂණ කරමින් සිටින බව. වාර්තා චිත්‍රපටයක් කරන එක අතහැරල මම වෘතාන්ත චිත්‍රපටයකට මාරු වුණා. මට තේරුණා වාර්තා චිත්‍රපටයකින් මේ කරුණු කතා කරන්න ගියොත් මට විශාල කාලයක් වැය කරන්න වෙනව. අනික පැය දෙකක් වගේ කෙටි කාලෙකින් මට ඕන දේ කියා නිම කරන්න බෑ. නූතන ලාංකේය ඉතිහාසය ජාතිකත්වය පිළිබඳ ඉතිහාසයක්. ඒත් ඒ කරුණ කොහොමද ආඛ්‍යානගත කරන්නෙ? මම ලක්ෂ්මී බායිගෙ "පිට දීප දේශ ජයගත්තා" ජනප්‍රිය ගීතය මත පදනම් වුණා. මේ සින්දුව ගැන මට කිව්වෙ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. පස්සෙ පතී මට කිව්ව මේ සින්දුව ඉතා සංවේදී දකුණු ඉන්දීය චිත්‍රපටයක් වූ "චින්තාමණී" චිත්‍රපටයෙ ගීත තනුවකට අනුව තමයි නිර්මාණය කරල තියෙන්නෙ කියල. චින්තාමණී ගැන මම මගේ දෙමව්පියන්ගෙන් අහල තියෙනව. මම "පිට දීප දේශ ජයගත්තා" ගීතය බලන්න පටන්ගත්ත. යූ ටියුබ්වල ලක්ෂ්මී බායි ඒ ගීතය ගයන අවස්ථා තියෙන්නෙ එකම එකයි. හැබැයි ඒ ගැයුම ඉතා ම ජව සම්පන්න හා නාටකාකාර ගැයුමක්. ඒ ගැයුම මා තුළ බොහෝ හැඟුම් ජනනය කළා. මට උවමනා වුණා ඇය ගයන මොහොත චිත්‍රපටයට නගන්න. එහි ඓතිහාසික වැදගත්කම් මොකක් වුණත්, වඩා උද්වේගකර දේශපාලන මොහොතක්, ඒ වගේ ම අපේ රටේ ඉතිහාසයෙ භාවමය නිමේෂයක් ලෙස එය අල්ලාගන්න මට අවශ්‍ය වුණා. මම මේ ගීතය චිත්‍රපටයේ තේමා ගීය ලෙස භාවිත කළා. චිත්‍රපට කර්මාන්තයේත් මේ රටේත් තිබෙන ගැටුම පිළිබඳ ඒ අනුසාරයෙන් කතා කිරීමයි මගේ අරමුණ වුනේ. චිත්‍රපට නිර්මාණ ක්‍රියාවලිය තුළ ජනප්‍රිය ගීත ප්‍රවර්ග භාවිතය පිළිබඳ සානුරාගී හා ප්‍රති සානුරාගී පිලිසිඳුමක් එමගින් මම බලාපොරොත්තු වුණා.

අපට කොයි කාලෙදි ඔබේ චිත්‍රපටය දැකගන්න පුළුවන් වේවි ද?

ඉක්මනින් ම. දැනටමත් පෞද්ගලික මට්ටමේ ප්‍රදර්ශන දෙකක් ලංකාවෙදි කරල තිබෙනව. ඒ අවස්ථාවල ලැබුණ ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ සම්බන්ධ ව 2017 ජනවාරි 29 අයිලන්ඩ් පත්තරේ ෂාමලා කුමාර් "Did he kill her to stop the music?" යන මාතෘකාවෙන් විචාරයක් පළ කළා. ගෝතේ ආයතනයේ ප්‍රදර්ශනයට පසු 2017 මැයි 07 සන්ඩේ ටයිම්ස් පත්තරේ ලාල් මැදවත්තේගෙදර "When the music dies" යන හිසින් විචාරයක් පළ කළා.

මේ වනවිටත් ඔබේ චිත්‍රපටය නන් අයුරින් සම්මානයට ලක් වී තිබෙනව නේ ද?

ඔව්. මේ වන විටත් 2018 ආසියානු කාන්තා සංචාරක චිත්‍රපට උළෙල මගේ චිත්‍රපටය පිළිගෙන තිබෙනව. එය දිල්ලියෙ දි පැවැත්වෙන්නේ. එහි මූලික දැක්ම 2017 සැප්තැම්බරයේ යාපනයේ ජාත්‍යන්තර සිනමා දැක්මේ දි පැවැත්වුණා. පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ පැවැත්වුණු ලෝක සිනමා උලෙළෙදි හොඳම සිනමා ජූරි සම්මානය මේ චිත්‍රපටයට හිමි වුණා. මම ඔවුන්ට කිව්ව සම්මානෙ පිළිගන්න මම එන්නෑ කියල. මොකද ඒකට යන්න මට සල්ලි නෑ. ඔවුන් මට කිව්ව එන්න බැරි නම් පිළිගතහැකි වීඩියෝවක්වත් එවන්න කියල. කොහොම නමුත් ඒ කරුණ එහෙම ම යට ගියා. ඒ ජයග්‍රහණය ගැන මට සතුටුයි. එච්චරයි.

අවසාන වශයෙන් මට කියන්න මේ චිත්‍රපටයේ අපිට දකින්න පුළුවන් විශේෂතා ගැන.

පෞද්ගලික සිද්ධි පෞද්ගලික හැඟීම් හා ඓතිහාසික සිද්ධි හා පොදු සිද්ධි අතර චිත්‍රපටය ඡේදනය වෙනව. ඒ ලක්ෂණය මගේ විලාසිතාවෙ කොටසක් විය හැකියි. මම මෙලෝඩ්‍රාමා ශෛලිය සීමිත ප්‍රමාණයකට භාවිත කළා. මම බොහෝ සෙයින් කැමතියි ජනප්‍රිය සිනමා සංගීතයට. ඒ වගේ ම ජනප්‍රිය සංගීත ශානරයට. ඒ නිසා ම මම එය චිත්‍රපටයේ භාවිත කළා. සංගීතය චිත්‍රපටයේ අභේද්‍ය කොටසක්. මේ සංගීතමය පෙළහර පාන්න දායක වුනේ ඇන්තනි සුරේන්ද්‍ර. එය ඉතා රසවත් ව ඔහු ඉටු කළා. පිට දීප දේශ ජයගත්තා ගීතයට අමතර ව තේමා ගීය ලෙස භාවිත වන ගීතයක් තියෙනව. ශේක්ෂ්පියර්ගෙ ඔතෙලෝ නාට්‍යයෙ "විලෝ" ගීතය වැනි ගීතයක් මා ඉංග්‍රීසියෙන් රචනා කළා. එය සිංහලට නැගුවෙ ලියනගේ අමරකීර්ති. මේ ගීතය චිත්‍රපටයේ විලෝ ගීයක් ලෙස ගැයෙනවා.

තාරුකා හංගා තිබේ බැබලුම්
චන්ද්‍රයා හංගා ගනී මූණත්
තනිවී හිඳිම් මම්
මේ හුදකලාවේ පාළුවේ
කෝ මගේ ආලෝකේ
කෝ මගේ මැණිකේ
කෝ මගේ මගෙම වූ ආදරේ
කවුදෝ අනේ මට බොරු කළේ...


('අනිද්දා' පුවත්පත වෙනුවෙන් සමන් එම්. කාරියකරවන, ආචාර්ය සුමති සිවමෝහන් සමග කළ සාකච්ඡාවකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Interviews, Dr Sumathy Sivamohan, Piyawaru Saha Puththu, Sri Lankan Movie, The Willow Song, Dharmasena Pathiraja, Anthony Surendra
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සමන් එම්. කාරියකරවනගෙන් තවත් වියමන්
වෙසෙස්
"සම්ප්‍රදාය" පිළිබඳ කතිකා විශ්ලේෂණයක්
වෙසෙස්
ඒ. වී. සුරවීර හා බටහිර සාහිත්‍ය විචාරය
පොත්
වත්මන් සමාජ කුනපයට එරෙහිව කුමාර කඹුරුපිටිය ගොනු කළ "පඹයාගේ සාක්කිය"
වෙසෙස්
සාහිත අඹර රිවි එව් විවසුවානෝ- නිති වදනිසුරු සුචරිත ගම්ලතානෝ....
ගී කිය(ව)මු
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
තවත් රහ කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන්
"බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****

"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook