Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
බූන්දි, 22:16:29
එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987 ජූලි මස 07 වෙනිදා ය. ඔහු අවසන් වරට ප්‍රසංග වේදිකාවක ගීත ගැයුවේ කතරගම ගම්උදාව ප්‍රසංගයේ දී ය. ඒ ජූලි මස 03 වන දායි. උග්‍ර ශ්වසනාබාධයකින් පීඩා විඳි ජෝති ඒ ගැන නො තකා නිදිවරමින් දූවිලි සහිත ප්‍රදේශයක ගීත ගැයීමට යාම මරණය ඉක්මනින් ඔහු වෙත ලංවීමට හේතුව විය. 2018 ජූලි මස 07 වන දිනට යෙදෙන 31 වන ජෝති අනුස්මරණය වෙනුවෙන් මේ ශාස්ත්‍රීය පර්යේෂණය සිදු කෙරිණ.

සාරසංක්ෂේපය

සම්භාව්‍ය මාක්ස්වාදයේ සඳහන් ආකාරයට සංස්කෘතිය නොහොත් උපරිව්‍යුහය තීරණය වනුයේ අධෝව්‍යුහය නොහොත් දේශපාලන ආර්ථීකයේ ගතිකයන්ට අනුව ය. ජෝතිපාල නමැති ගායකයාගේ හඬ, දක්ෂතාව, මනුෂ්‍ය ගුණධර්ම හා ජනප්‍රියත්වය පිලිබඳ කරුණු ප්‍රචලිත ය. ඒ ජනප්‍රියත්වයට හේතු ලෙස සාමාන්‍යයෙන් විග්‍රහ කෙරෙනුයේ ඔහුගේ හඬේ ඇති විශේෂත්වයක් හෝ ඔහුගේ ගායන හැකියාවයි. මේ කරුණුවලට යටින් ඇති ඔහු ජනප්‍රිය ම ගායකයා වීමට අදාළ දේශපාලන ආර්ථීක සාධක විමසීම මේ අධ්‍යයනයේ අරමුණයි. එහි දී මූලාශ්‍ර වශයෙන් ග්‍රන්ථ, පුවත්පත්, ගීත, වීඩියෝ, වෙබ් පිටු, බ්ලොග් අඩවි හා පුද්ගල සාකච්ඡා යනාදිය භාවිත කෙරිණ. මූලික නිර්ණායක කිහිපයක් පාදක කොටගෙන එම දත්ත ගුණාත්මක විශ්ලේෂණයකට ලක්කෙරේ. ඔහුගේ ජනප්‍රියත්වය ඉන්දියානු හා බ්‍රිතාන්‍ය සංස්කෘතික කලාපවලින් හා මිදී ජාතික රාජ්‍යයක් ලෙස ලංකාව ලෝකයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය හා බැඳෙන ආකාරය මෙහි දී සංක්ෂිප්ත ව අධ්‍යයනය කෙරේ. එමෙන් ම සංස්කෘතික පන්තිභේදයක් ඇතිවීම හා ජනප්‍රිය සංස්කෘතියේ ව්‍යාප්තිය විවෘත ආර්ථීකයේ බලපෑමෙන් වඩා වර්ධනය වන ආකාරය ද මෙහි දී විමසුමට ලක් කෙරෙයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ දී ජෝති විශාල සංස්කෘතික ප්‍රාග්ධන හිමියෙක් වන අතර දේශපාලන බලය ඔහු සමඟ ඇතිකරගන්නා සන්ධානය පිළිබඳ ව ද මෙහි දී කරුණු සොයා බැලේ. එමෙන් ම ජනගහන ව්‍යාප්තියේ හා අන්තර්ගතයේ ඇති ගුණාත්මක විචල්‍යයන් ජෝතිපාල වැන්නෙකුගේ ජනප්‍රියත්වයට හේතු වන ආකාරය ද මෙහි දී අධ්‍යයනය කෙරේ. ඒ අනුව මෙ වැනි මතුපිටට නො පෙනෙන සාධක රැසක ඵලයක් ලෙස ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා බවට පත් ව ඇති බව අධ්‍යයනයෙන් සාධනය කෙරේ.

හැඳින්වීම

ජෝතිපාල ඉපදී ඇත්තේ දෙමටගොඩ කැටවලමුල්ලේ දී 1936 පෙබරවාරි 12 වැනිදා ය. මරදානේ ශාන්ත ලෝරන්ස් හා දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලවලින් ඉගෙනුම ලබා ඇත. 1952 -1954 කාලය වන විට මරදාන, දෙමටගොඩ, නාරාහේන්පිට ආදී ප්‍රදේශවල පැදුරු සාජ්ජයන්හි ගීත ගයන්නෙකු ලෙස ජනප්‍රිය වී ඇත. චණ්ඩියෙකු වූ 'චොප්පේ' ඔහුට ඒ සඳහා උදව් කළ බව සඳහන් වේ. (රත්නායක,2012) 1954-55 කාලයේ ඔහු ගුවන් විදුලි ආධුනික ගායකයෙකු ලෙස ද ගී ගයා ඇත. 1954 දී 'මගේ රන් රාජිනී' නමින් ගීතයක් ප්‍රථම වරට පටිගත කළ ද එය ප්‍රචලිත නොවී ය. ඔහුගේ ප්‍රථම ගීතය ලෙස සැලකිය යුත්තේ 1956 දී තිරගත වූ 'සුරතලී' චිත්‍රපටයට ගායනා කළ 'සිරියමෙ සාරා' ගීතය යි. මේ චිත්‍රපටයට ගී ගැයූ අනෙක් ගායක ගායිකාවන් වනුයේ ජී.ඇස්.බී.රාණි පෙරේරා, ස්වර්ණා අබේරත්න, ධර්මදාස වල්පොල, එච්.එම් පෙරේරා හා ලතා පෙරේරා (පසුව වල්පොල)යි. ඉන් පසු ව ජෝතිපාලගේ ගීත චිත්‍රපට පසුබිම් ගායනා ලෙසත්, තැටි හා කැසට්පට මාධ්‍යය තුළත් ප්‍රචලිත විය. ඔහුගේ ගීත පොත් ලෙස මුද්‍රණය වී ඇති අතර ඒවා ඉතා පුළුල් ව ව්‍යාප්ත ව ඇත. එමෙන් ම ප්‍රසංග වේදිකා ගායකයෙකු ලෙස ද ඔහු ප්‍රචලිත විය. ගුවන්විදුලිය හා රූපවාහිනිය ද ඔහුගේ ගීත යම් ප්‍රමාණයක් ප්‍රචාරය කරන ලදි. විශේෂයෙන් වෙළඳ වැඩසටහන් සඳහා ශ්‍රාවක ආකර්ශනය ලබා ගැනීමට ගුවන්විදුලියේ වෙළඳ සේවය ඔහුගේ ගීත සීමිත ප්‍රමාණයක් ප්‍රචාරය කරන ලදි.

ඔහු ඉතා ම ප්‍රචලිත වනුයේ විජය කුමාරතුංග සඳහා පසුබිම් ගායනා ඉදිරිපත් කිරීමෙනි. 1970-1980 දශක දෙක ඔහුගේ නිර්මාණ ජීවිතයේ වැදගත් ම කාලය යි. ජෝතිපාල ජනප්‍රිය ම ගායකයා බවට පත්වීමට බලපෑ වෛශික කරුණු කිහිපයක් තිබේ. 1972 වන තෙක් කලාපීය හෝ ලෝක සංස්කෘතියක් සමඟ සම්බන්ධ ව සිටි ලංකාව පසු ව ජාතික රාජ්‍යයක් බවට පත්වේ. ඒ සංස්කෘතික ජාතිකකරණයේ දී විදග්ධ හා අවිදග්ධ ලෙස සංස්කෘතික පන්ති භේදයක් නිර්මාණය වන අතර එහි අවිදග්ධ සංස්කෘතියට ඇතුළත් වූ ජන පිරිස විශාල වේ. ඒ පිරිසගේ කලා රසාස්වාද අරමුණු ඉටු කිරීම සඳහා සකස් වූ සංස්කෘතියක් අභිනවයෙන් ම ලංකාව තුළ ප්‍රකාශයට පත් විය. මේ සංස්කෘතිය පොදුවේ ජනප්‍රිය සංස්කෘතිය ලෙස නම් කර ඇත. එමෙන් ම බෙනඩික් ඇන්ඩර්සන් සඳහන් කළ ආකාරයේ මුද්‍රණ ධනවාදයක් ලංකාවෙහි ක්‍රියාත්මක නො වූ අතර එවැනි වාණිජ පරමාර්ථයකින් ගොඩනැගුණු ප්‍රකාශන කර්මාන්තය වූයේ සිනමාවයි. එහෙයින් සිනමාව ජනප්‍රිය සංස්කෘතික අවකාශයේ ග්‍රහණයට ලක් ව තිබූ අතර ජෝතිපාල වැනි ජනප්‍රිය ශිල්පීන්ට එහි විසල් අවකාශයක් විවර විය. එමෙන් ම ග්‍රාමීය ප්‍රදේශවලට ආර්ථික අවස්ථා ලැබීමත් තාක්ෂණයේ පැමිණීමත් විවෘත ආර්ථීකයත් එකිනෙක හා බැඳී පවතී. මේ විවෘත ආර්ථීකයේ බලපෑම මෙන් ම 1980 දශකයේ මැද භාගයේ ලංකාවේ ජනගහන සංයුතියේ තිබූ විශේෂතා ද ජෝතිපාල ජනප්‍රිය ම ගායකයා වීමටත් තවමත් එය වෙනස් නොවී පැවතීමටත් හේතු වී ඇත.

පර්යේෂණ ක්‍රමවේදය

ජෝති පිළිබඳ අද අධ්‍යයනය කරන්නෙකුට පරිශීලනය කළ හැකි දත්ත රාශියක් ඇත. ඒවා ශාස්ත්‍රීය හා සාමාන්‍ය ලෙස හෝ ජෝති මියයාමට පෙර දත්ත හා පසු දත්ත ආදී වශයෙන් වර්ග කළ හැකි ය. ජෝති සමඟ එකට වැඩ කළ අය ද තව ම ජීවත් ව සිටිති. එහෙයින් බොහෝ සජීවී දත්ත සමුදායක් තවම ඉතිරි ව ඇත. එවැනි කිහිප දෙනෙකුගේ අදහස් ද මේ පර්යේෂණයට යොදා ගැනිණ. ජෝති ජීවත් ව සිටි කාලයේ වීඩියෝ දර්ශන හා මළගම හා ඔහුගේ ජීවිතය පිළිබඳ නිර්මාණය වූ වීඩියෝ රාශියක් ඇත. අන්තර්ජාලයේ ඇති එවැනි වීඩියෝ රාශියක් මේ සඳහා පරිශීලනය කරන ලදි. ජෝතිගේ ගීත හා ගීත ගැන සිංහල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යවලින් පවත්වාගෙන යන වෙබ් අඩවි හා බ්ලොග් අඩවි සිය ගණනක් ඇති අතර ඉන් වැදගත් මූලාශ්‍ර කිහිපයක් මේ සඳහා පරිශීලනය කෙරිණ. ජෝති පිළිබඳ ඇති විශාල ම දත්ත ගබඩාව පුවත්පත් ලිපි වේ. ඒවායින් අන්තර්ජාලයෙන් සොයා ගතහැකි ලිපි රාශියක් මේ සඳහා මූලාශ්‍ර කර ගන්නා ලදි. ජෝති ගැන ශාස්ත්‍රීය ලේඛන සම්පාදනය වනුයේ ඔහුගේ මරණින් පසුවයි. 'කනත්තේ සංස්කෘතිය' සංවාදය තුළ මාධ්‍යවල පළ වූ ලිපි රාශිය ඒ අතර ප්‍රධාන වේ. මේ සියලු ලිපි සුනිල් මිහිඳුකුල මහතා විසින් එකතුකර ලැබ තිබිණ. ඔහු මියයාමට මසකට පෙර ඒ සියල්ල මට හා ගීතනාත් කුඩලිගම වෙත ලබා දුණි. ජෝතිපාල හා ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ කරුණු නිහාල් පීරිස්, සේනක සෙනෙවිරත්න ආදීන්ගේ කෘතිවලින් ද පරාක්‍රම කොඩිතුවක්කුගේ 'ජෝති රශ්මි රාත්‍රියෙන්' ද දත හැකි ය. මෙලෙස ජෝති හා ඔහුගේ සන්දර්භය පිළිබඳ විසල් සාහිත්‍යයක් ඇත. මේ දත්ත මාතෘකා කිහිපයක් අනුව ගොනු කිරීම හා ගුණාත්මක විශ්ලේණයකට ලක් කිරීමෙන් මේ විමර්ශනය කර ඇත. මෙහි කතුවරයාට ද ජෝතිපාලගේ මරණය හා ඊට පෙර අවධිය පිළිබඳ ඇති පෞද්ගලික අත්දැකීම් ද මේ අධ්‍යයනය සඳහා යොදා ගෙන ඇත. අදාළ න්‍යායික ප්‍රවේශයන් මාක්ස්වාදයෙන් හා සංස්කෘතික විචාරයෙන් ලබා ගෙන ඇති අතර විශ්ලේෂණ තුළ එම න්‍යායික කරුණු වෙන වෙන ම දක්වා ඇත. මෙහි දී ජෝති ලංකාවේ දේශපාලන ආර්ථීක හා සමාජ ඉතිහාසය තුළ ස්ථානගත කිරීම කෙරේ අවධානය යොමු කරන ලදි.

විශ්ලේෂණය

ප්‍රධාන මාතෘකා හතරක් යටතේ ජෝති ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය විශ්ලේෂණය කෙරේ. ඒවා නම්,

1. ජාතික රාජ්‍යය නිර්මාණය වීම හා කලාපීය අනන්‍යතාවෙන් වෙන් වීම
2. සංස්කෘතික පන්ති භේදය හා බහුතරයේ සංස්කෘතිය ජනප්‍රිය වීම
3. ලාංකේය ප්‍රකාශන කර්මාන්තය තුළ සිනමාව හා කැසට්පටය වාණිජවාදී වීම
4. විවෘත ආර්ථීකය, ග්‍රාමීය ප්‍රදේශ වෙත තාක්ෂණය පැමිණීම හා නව විනෝද අවස්ථා බිහි වීම

ජාතික රාජ්‍යය නිර්මාණය වීම හා කලාපීය අනන්‍යතාවෙන් වෙන් වීම

සිංහල හෝ ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් පිළිබඳ අවශ්‍යතාව මතු වනුයේ යටත්විජිත පාලනයෙන් නිදහස් වීමත් සමඟයි. 1948 දී ඩොමිනියන් තත්ත්වය ලැබීම මගින් යම් දේශපාලන නිදහසක් ලංකාවට ලැබුණි. එහෙත් බ්‍රිතාන්‍යයට තවදුරටත් ලංකාව සම්බන්ධයෙන් මැදිහත්වීමේ හැකියාව තිබුණි. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පූර්ණ වශයෙන් ලංකාව දේශපාලනික ව නිදහස් වූ අතර එතෙක් වසර දහස් ගණනක් තිස්සේ කලාපීය වශයෙන් හෝ ලෝක මට්ටමෙන් ඇති කරගෙන තිබූ බැඳීම්වලින් නිදහස් විය. මෙය බැලූ බැල්මට යහපත් දෙයක් ලෙස පෙනුන ද එහි අනර්ථකාරී බව වැටහෙනුයේ ලංකාව ජාතික රාජ්‍යයක් ලෙස සංවිධානය වීමේ දී ගත් ක්‍රියාමාර්ගවල ඇති වැරදිසහගත බව පිළිබඳ මෙනෙහි කරනා විටයි. ලංකාව හෝ සිංහල යන්න පූර්ව යටත්විජිත අවධියේ හෝ යටත්විජිත අවධියේ තනි ස්වාධීන ස්වභාවයකින් පැවති බවට වඩා එහි පැවති සංස්කෘතික ලක්ෂණ කළාපීය ඒවා බවට කොතෙකුත් සාක්ෂි තිබේ. ඉතා සරලව හා කෙටියෙන් විස්තර කරන්නේ නම් පෘතුගීසින් පැමිණීමට පෙර ලංකාව නමැති භූගෝලීය අවකාශය තුළ පැවති සංස්කෘතිය ඉන්දු උපමහද්වීපික සංස්කෘතියකි. ආගම, අධ්‍යාපනය, කලාව, තාක්ෂණය, පාලන ක්‍රම ආර්ථීක රටා ආදී සියල්ල කලාපීය සමතාවකින් යුක්ත විය. උදාහරණයක් ලෙස අපේ ගල් කැටයම් ඉන්දු උපමහද්වීපික කලාපය පුරා ම දැකිය හැකි ය. භාෂාවේ නාමපද ක්‍රියා පද හා ව්‍යාකරණ රටාව ද අක්ෂර රූප ද ආර්ය හෝ ද්‍රාවිඩ ලෙස වූ වර්ග කිරීම් නො තකා සමසේ මිශ්‍ර වී ඇත. සිංහල ඥාති ක්‍රමය ද්‍රවිඩ ඥාතික්‍රමය ම වන බව ඊ.ආර්. ලීච් සිය පර්යේෂණවලින් සනාථ කර ඇත. (Leach E. R.1961) යම් පමණක හෝ කලාපීය සමතාවෙන් වෙනස් වූ දේශජ අනන්‍යතාවක් දැකිය හැක්කේ වාරි තාක්ෂණය තුළ පමණක් බව කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද සිය අධ්‍යයනවලින් සහේතුක ව දක්වා ඇත. (කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද. 2018)

යටත්විජිත අවධියේ ද මේ කලාපීය බවින් ලාංකිකයා නො මිදුණු බව පෙනෙයි. අනගාරික ධර්මපාලගේ සටන් වැඩිහරියක් පැවතියේ ඉන්දියාවේ ය. ඉන්දියාවේ උපන් ස්වාමි විවේකානන්ද කොතරම් ලංකාව කෙරේ බලපා තිබේද? ලංකාවේ වමේ ව්‍යාපාරයේ මුල්කාලීන නායකයෝ හැමදෙනාම වාගේ ඉන්දියානු නිදහස් අරගලයට උර දී එහි සිරගත වූවෝ ය. ආනන්ද කුමාරස්වාමි, දේවාර් සූරියසේන වැනි මුල් කාලීන සංස්කෘතික ක්‍රියාධරයන් කලාපීය උගත්තු විනා ලාංකික උගත්තු නො වූහ. යටත්විජිත සමයේ ලංකාව බ්‍රිටිෂ් සිලෝන් ලෙස නම් කළ අතර ලාංකිකයා බ්‍රිතාන්‍ය පුරවැසියෙක් විය. බ්‍රිතාන්‍ය යටත්විජිත රටවල නිර්බාධිත ව ඇවිදීමට ඔවුනට වරපත්‍රයක් විය. මේ කලාපීය හා ලෝක මට්ටමේ අනන්‍යතාව රටේ සහ පුද්ගලයාගේ දියුණුවට බාධාවක් ලෙස සිතූ පිරිස් ඒ කලාපීය අනන්‍යතාවෙන් මිදී ජාතික රාජ්‍ය ලෙස සංවිධානය වීම දර්ශනවාදයක් ලෙස සංවිධානය කරන ලද්දේ රුසියාවේ ජෝසප් ස්ටැලින්ගේ පාලන කාලය තුළ ස්ටැලින්වාදය වශයෙනි. එය 'තනිරටේ සමාජවාදය' ලෙස උපහාසාත්මක ව හඳුන්වනු ලැබේ. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විශ්වාස කරන ලද්දේ මේ මතයයි. එය චීන ක්‍රමයට කළ යුතු ද රුසියන් ක්‍රමයට කළ යුතු ද යන්න පිළිබඳ ව ද බෙදී තිබිණ. ශන්මුගදාසන් හා පීටර් කෙනමන් අතර බෙදීම ඒ පිළිබඳ ව විය. මෙලෙස ජාතික රාජ්‍යයක් ලෙස වෙන් වූ අනන්‍යතාවක් සකසා ගැනීමේ දී කලාපීය සංස්කෘතියක් වෙනුවට ජාතික සංස්කෘතියක් තනා ගැනීමේ අවශ්‍යතාව මතු විය. ලංකාවේ මේ ක්‍රියාවලිය මතුපිටට පැමිනෙණුයේ 1956 පිබිදීම ලෙසිනි.

මේ දේශීයකරණය තුළ එතෙක් කලාපීය සංස්කෘතියක් හෝ ලෝක සංස්කෘතියක් අතිවිඳි ස්වදේශිකයෝ ස්වදේශික සංස්කෘතියක් සම්පාදනය කර ගැනීම අරඹන ලදි. මේ ක්‍රියාවලියේ දී දේශීය සංගීතයක්, දේශීය ගායනයක් ආදිය අවශ්‍ය විය. හින්දි හා ද්‍රවිඩ චිත්‍රපට සඳහා සිංහල චිත්‍රපට නිෂ්පාදනය කෙරිණ. හින්දි හා ද්‍රවිඩ ගීතවල සිංහල ගීත නිර්මාණය කෙරිණ. මුලින් ම ගීතයේ පද මාලාව පමණක් ස්වදේශීය කරණයට ලක් කෙරිණ. ස්වදේශික හඬවල්වලින් මේ ගී ගැයීම අවශ්‍ය විය. දෙන ලද ප්‍රතාපවත් පිරිමියා හා ලාලසාවත් ගැහැනිය හඬ තුළ සොයා ගත යුතු විය. (ඒ අනන්‍යතා සඳහා ද අප භාරතයට ණයගැති ය) මේ ස්වදේශීකරණ ව්‍යාපාරය තුළ විසල් මෙහෙයක් ජෝති අතින් සිදු විය. ඉන්දියානු විනෝද සංස්කෘතිය ලාංකිකයාවෙත පරිවර්තනය වූයේ ජෝති, විජය කුමාරතුංග, සුජාතා අත්තනායක වැනි ශිල්පීන් හරහා ය. ඔවුන් නියෝජනය කළ ප්‍රවාහය පොදු ජන සංස්කෘතික ප්‍රවාහයකි. ජෝතිගේ ගී කර්ණාටක, රාගධාරී හා බටහිර හා දේශීය යන හතරේ ම සංකලනයකි. මේ දේශීයකරණය සරල නිරෝගී හා පොදුජන ආකර්ශනය දිනාගත්තකි. එම දේශීයකරණය සහමුලින් ම කලාපීය බව අත්හැරියේ ද නැත. එහි රසිකත්වය ද කලාපීය වූවකි. ඒ හේතුව නිසා ම සිංහල මෙන් ම ද්‍රවිඩ හා මුස්ලිම් ජාතික තරුණ තරුණියෝ ද ජෝතිපාලගේ ගීත ගයන්නට දනිති. ඔවුහු ඒවා රසවිඳිති. මේ කලාපීය හා ස්වදේශීය පාලම තැනූ ගීත රාශියක් තිබේ. එවැනි ගීතවලින් වැඩි ම ප්‍රතිශතයක් ගයා ඇත්තේ ජෝතිපාලයි. මේ ගී ඒ ජනප්‍රිය ගීතවලින් කිහිපයකි. කලක් තිස්සේ සිතක් පතුලේ (හින්දි ගීතය - මුජේ තේරී මොහාබතකා සහාරා), ආවා පෙම්වතා යන්නේ (ආජා ආ බහාර්), රාං කුරුල්ලෝ රෑනේ උන් ඒ රාං කිරිල්ලී කොයි (ප්‍යාර් දිවානා හෝතා හයි), මහද නමැති වන බඹරා (දිල් ක බන්වා කරේ පුකාර්), මේ ජීවනයේ මුළු සංසාරේ (යේ ජීවන් හේ), කොල කඩ කඩ බොරුවට දෙනවා (උඩෙ ජබජබ සුෆෙන් තේරී), රෑ දවල් මල් හැගුම් සිරි පානා (සින්ද ගී ඒක් සෆර්), සිතුම් පැතුම් සඳ ආදරේ (ජනම් ජනම් කා සාති හේ), ඝන අන්ධකාරයෙන් මිදී (කොර කා ගස්තා යෙමන් මෙරා), සමන් මල් පියල්ලේ (ජොවාදා කියාවෝ), මේ ගී කාටදැයි (තුම් බින් ජාඌ කහාන්). (Jayasinghe, 2014)

සංස්කෘතික පන්ති භේදය හා බහුතරයේ සංස්කෘතිය ජනප්‍රිය වීම

බ්‍රිතාන්‍යයන් විසින් මෙරට පාලන බලය පවරා දෙනු ලැබූයේ ස්වදේශික කොම්ප්‍රදෝරු ධනපති පන්තියකට ය යන්න ප්‍රචලිත මතය යි. එක් අතකින් 1921 සිට 1947 දක්වා ලංකාවේ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංයුතිය ගෙන බැලූ විට එහි බහුතරය අධිරාජ්‍යයට පක්ෂපාතී පිරිස් බව පෙනෙයි. එහෙත් නිදහසෙන් පසු බලයට පැමිනි ඩී.එස්. සේනානායක හෝ ඩඩ්ලි සේනානායක වැනි නායකයන් කොම්ප්‍රදෝරු ධනපතියන් ලෙස ම ක්‍රියා කළ වගක් නො පෙනේ. එවැනි ලක්ෂණ දැඩිව දැකිය හැකි වූයේ ජෝන් කොතලාවල චරිතය තුළ යි. කොතලාවල අවධියෙන් පසු 1956 දී ස්වදේශිකයන් අතට රටේ බලය ලැබුණු බවත් ඊට නායකත්වය දෙනු ලැබූයේ ජනතා නායකයා වූ ඇස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකය යන්න ඉතිහාසය පිළිබඳ ප්‍රචලිත මතයයි. එහෙත් ඩී.එස්. සේනානායකගේ චරිතය අධ්‍යයනය කළ විට හා ඔහු කළ කටයුතු හැදෑරූ විට ඔහු කලු සුද්දෙක් නො වන බව පැහැදිලි වේ. එසේ නම් 1956 පරාජය කළ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය මිත්‍යාමතික බව පෙනේ. ඒ අවධියේ 56 ට පෙර පාලනය ගැන කළ විග්‍රහය සපුරා ම කොතලාවල පාලනය සම්බන්ධයෙන් වලංගු විය හැකි ය. එහෙත් 1947 සිට 56 දක්වා ම පාලක පන්තිය කොම්ප්‍රදෝරු ධනපතියන් පිරිසක් ය යන්න මිත්‍යාවකි. එසේ නම් ස්වදේශික සංස්කෘතියක් තැනීම හා පහළ මධ්‍යම පන්තිය වෙත බලය ලබා ගැනීම වෙනත් අවශ්‍යතා සමූහයක් පෙරදැරි කරගෙන සිදු වූවකි. මේ ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් ඩබ්ලිව්. හවර්ඩ් රිගින්ස් විසින් කරනු ලැබ ඇත. (Wriggins, W. H 2015:326-370) 1956 කරළියට පැමිණි ප්‍රශ්න වැඩිහරියක් සංස්කෘතික ප්‍රශ්න වන බව සරච්චන්ද්‍ර (Sarachchandra:1962:1-12) හා අමුණුගම (2003:46-66) නිසැක ව සඳහන් කරතත් ඒ සංස්කෘතික ප්‍රශ්නවල දේශපාලන ආර්ථීකය රිගින්ස්ගේ අධ්‍යයනයෙන් හෙලි වේ.



1956 සංස්කෘතික ස්වදේශීකරණ ව්‍යාපාරය තුළ ඊනියා දේශීය සංස්කෘතියක් අභිනවයෙන් සම්පාදනය කෙරිණ. එම ක්‍රියාවලියේ මුල් තැන සිටි පිරිස වූයේ එදිරිවීර සරච්චන්ද්‍ර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, මාර්ටින් වික්‍රමසිංහ, අමරදේව, ගුණදාස අමරසේකර, චිත්‍රසේන, මංජු ශ්‍රී, ජෝර්ජ් කීට් යනාදී පිරිසයි. මේ සියලු දෙනා විදග්ධ සංස්කෘතියක නිමැවුම් කරුවෝ වූහ. ඒ විදග්ධ සංස්කෘතියෙන් රටේ බහුතරයක් සාමාන්‍ය මිනිසුන් පිටමං කෙරිණ. 1956 ගොවි කම්කරු බලවේග ද නියෝජනය විණැයි පැවසුව ද මේ 56 සංස්කෘතික පුනරුදය ගොවි කම්කරු සුළු වෙළඳ ප්‍රජාව මෙන් ම ගැමි, මුඩුක්කු ආදී අනුජන කොටස් ද බැහැර කෙරිණ. පාර්සි නාට්‍ය හෝ ටීටර් නැරඹූ ප්‍රේක්ෂකයන් පිනවීමට මනමේ නාට්‍යයට නො හැකි විය. ත්‍යාගරාජා භගවතාර් මාදිලියේ චිත්‍රපට නැරඹූ රසිකයන් පිනවීමට රේඛාව සමත් නොවී ය. සරල ආඛ්‍යාන රස විඳි පාඨක පිරිසකට විරාගය නො වැටහිණ. එම් සාර්ලිස්ගේ ජනප්‍රිය චිත්‍ර අත්විඳි පිරිසකට විදග්ධ චිත්‍ර කලාව නොවැටහිණ. මේ කරුණු නිසා සංස්කෘතිය තුළ සුළුතර විදග්ධ පන්තියකුත් බහුතර අවිදග්ධ හෝ ජනප්‍රිය සංස්කෘතික පන්තියකුත් බිහි විය. ස්වදේශීකරණ ව්‍යාපාරයට පෙර මේ විදග්ධ අවිදග්ධ භේදය මතුපිටට පැමිණ තිබුණේ නැත. ප්‍රකාශන කර්මාන්තයේ අනුහසින් ඇති වූ ජන සමාජයක් මේ අවධිය වන විට සිටි අතර ඒ ජන සමාජය වර්ග කිරීම මේ විදග්ධ අවිදග්ධ වෙනස්කම මගින් සිදු කෙරිණ. බහු ජන සමාජයේ විදග්ධ සංස්කෘතියෙන් පිටමං කළ බහුතරය වෙනුවෙන් නිර්මාණ කළ පිරිස ඉතා ප්‍රචලිත වීමත්, බහුජන ප්‍රසාදයට ලක් වීමත්, විදග්ධයන්ගේ නොමඳ ගර්හාවට ලක්වීමත් සිදු විය. ජෝතිපාල යනු ඒ විදග්ධ ධාරාවෙන් බැහැර කරන ලද පිරිසගේ ගායකයා යි. සුනිල් ශාන්ත ආරම්භ කළ විදග්ධ අවිදග්ධ භේදයෙන් තොර වඩා නිරෝගී සංගීත හා ගීත රසිකත්ව ව්‍යාපාරය ඉදිරියට ගමන් කිරීමට ඉඩ දුන්නේ නම් මේ විදග්ධ පීචං බෙදීම රසික සමංජය තුළ සිදු නො වනු ඇත. (වසන්ත කුලතුංග.2018) සුනිල් ශාන්ත රාගධාරී සංගීතයේත් බටහිර සංගීතයේත් දේශීය ජන සංගීතයේත් සුසංගත හෙල වහරේත් මනා සංකලනයකි. සුනිල් ශාන්තගේ සංගීත සංකල්පය ඉදිරියට ගියේ නම් දේශීය සංගීතයක් වෙනුවට ලාංකික සංගීතයක් බිහි වනු ඇත. ඒ සංගීතය සිංහල, දෙමළ හෝ මුස්ලිම් භේදයකින් තොරව භාවිත වන අතර ජෝතිපාල වැන්නන් ඉතා ඵලදායී නිර්මාණකරුවන් බවට පත් වනු ඇත. සුනිල් ශාන්තගේ ගමන් මගෙන් ලේෂයක් අත් කරගත් ප්‍රේමසිරි කේමදාසයෝ නිරතුරු ජෝති ඇගයූහ. ඔහුගේ ශක්‍යතාව භාවිත කළහ. ජෝති ජනප්‍රිය ම ගායකයා වීමේ සංස්කෘතික ව්‍යුහය තුළ සහසම්බන්ධ ප්‍රතිපක්ෂය නිර්මාණය කරනුයේ පශ්චාත් යටත්විජිත ඊනියා ස්දේශික විදග්ධ සංස්කෘතික ව්‍යාපාරයයි.

ලාංකේය ප්‍රකාශන කර්මාන්තය තුළ සිනමාව හා කැසට්පටය වාණිජවාදී වීම

ප්‍රකාශන කර්මාන්තය මගින් මුද්‍රණ ධනවාදය බිහි වූ ආකාරයත් ඒ හරහා බහු ජන සමාජයක් නිර්මාණය වන ආකාරයත් ඒ බහු ජන සමාජයේ අනන්‍යතා ලක්ෂණ මුද්‍රණ කර්මාන්තය විසින් නිර්මාණය කරන ආකාරයත් බෙනඩික් ඇන්ඩර්සන්ගේ ඉමැජින් කොමියුනිටි කෘතියේ පැහැදිලි ව දක්වා ඇත. (Anderson, B.2006) එහෙත් ලංකාව තුළ ප්‍රකාශන කර්මාන්තය බහුජන සමාජයක් නිර්මාණය කළ ද එය මුද්‍රණ ධනවාදයේ ස්වරූපයෙන් සිදු නොවූ බව කේ.එන්.ඕ ධර්මදාසගේ නිරීක්ෂණයයි. (ධර්මදාස. කේ.එන්.ඕ, 2012:47-56) ඔහු සහේතුක ව දක්වන ආකාරයට ලංකාවේ මුල් කාලීන ප්‍රකාශන කර්මාන්තයේ යෙදුණු පිරිසගේ අරමුණ වූයේ වැඩි පොත් හෝ පත්තර ප්‍රමාණයක් විකුණා ලාභ ලැබීමේ අරමුණ නොවේ. එලෙස ලාභ ලබන කර්මාන්තයක් ලෙස මුද්‍රණ කර්මාන්තය භාවිත වීම මුද්‍රණ ධනවාදය යි. ලංකාවේ මුල් කාලයේ මුද්‍රණ තාක්ෂණය භාවිත කළ පිරිසගේ මූලික අරමුණ වූයේ ආගම ප්‍රචාරය කිරීම හා ආගම නගා සිටුවීමයි. කතෝලික ආගම හා බුද්ධාගම අතර ඇති වූ මේ තරඟයෙන් ජය ලැබීමට බුද්ධාගමික පිරිස සමත් වේ. මුද්‍රණ ප්‍රකාශන කර්මාන්තයක් ලෙස වර්ධනය නො වුන ද එමගින් ජන සමාජයක් නිර්මාණය කිරීම කරන ලදි. භාෂාව ප්‍රමිතිගත කිරීම හා සංකල්ප සමාන ව ජන ගත කිරීම මේ බහුජන මාධ්‍යමගින් සිදු කෙරිණ. ශබ්දකෝෂ හා ව්‍යාකරණ ග්‍රන්ථ මගින් ප්‍රමිතිගත භාෂාවක් බිහිවිය. එතෙක් විවිධ ප්‍රදේශවල මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට භාවිත කළ ව්‍යවහාර ප්‍රාදේශීය භාෂා ලෙස නම් කොට දෙ වන තැනට තල්ලු කරන ලදි. හැම දෙනා ම එක ම සිංහල භාෂාවක් ඉගෙන ගන්නා ලදි. මේ ක්‍රියාවලිය තුළ බස කතාකරන හා ලියන බස ලෙසත් වියත් බස හා අවියත් බස ලෙසත් නො මනා වර්ග කිරීමකට ලක් කර භාෂාව තුළ ද සංස්කෘතික පන්ති භේදය ඇති කරන ලදි. ඊට හෙල හවුලත් පිරිවෙන් ප්‍රමුඛ කොටගත් ප්‍රාචීන භාෂා උගතුන් සමූහයත් වග කිව යුතු ය.

මේ විදග්ධ භාවිතයට එරෙහි ව කැරලි ගැසූ විශාල පිරිසක් සිටිති. කතා කලාවෙන් ඩබ්ලිව්.ඒ. සිල්වාත්, ඩීමන් ආනන්දත් කවියෙන් කොළඹ අවධියේ පළමු හා දෙවන තරංගයේ කවීනුත් මේ සටන කළෝ ය. විද්‍යුත් ප්‍රකාශන මාධ්‍ය අතර පොදුවේ ජනයාට ලඟා විය හැකි මාධ්‍යය වූයේ චිත්‍රපටය යි. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය වාණිජ වාදී කර්මාන්තයක් ලෙස ලාභ ලැබීමේ අරමුණෙන් ක්‍රියාත්මක වූ අතර ඇන්ඩර්සන් සඳහන් කළ මුද්‍රණ ධනවාදයේ ලක්ෂණ ලාංකීය සිනමා සංස්කෘතිය තුළ දක්නට හැකි විය. (කාරියකරවන,එස් එම්,අමරසිංහ,ජේ, 2018:142-154) සිනමාව බොහෝ සෙයින් අර්ථ සම්පාදනයට වඩා භාව උද්දීපණය කෙරේ මැදිහත් විණ. ලාංකික බහු ජන සමාජයේ හැඟීම් කලාපය මේ සිනමාවට ණයගැති ය. ඔවුන්ගේ චින්තනය සැකසීම කරන ලද්දේ පත්තර හා පොත් විසිනි. එහෙයින් පොත්වලට වඳින සිංහල පොදු මිනිසා චිත්‍රපටවලට නො වඳිති. (සුනිල් ආරියරත්න බණකතා චිත්‍රපටියට නැගීමෙන් චිත්‍රපටයට වඳින තැනට ද මේ සමාජය ගමන් කරවමින් පවතී.) කෙසේ වෙතත් හැඟීම් සමඟ ගනුදෙණු කරන ලාභ අපේක්ෂා කරගත් කර්මාන්තයක් ලෙස සිනමාව වර්ධනය වීම නිසා එහි නිරත වූ ශිල්පීන් එම ප්‍රේක්ෂක සමාජයේ අධ්‍යාත්මයට ඇතුල් විය. 1970- 1980 දශක දෙක පුරා ලාංකේය බහුජන සමාජයේ අධ්‍යාත්මය අරක් ගැනීමට විජය කුමාරතුංග හා එච්.ආර් ජෝතිපාල සමත් විය. විජය ජෝති සංකලනය ලාංකේය සමාජයේ මෙතෙක් ඇති වූ ජනකාන්ත ම සංකලනය යි. විජයගේ රංගනයට ජෝති ගැයූ ප්‍රචලිත ගීත සමූහයකි. ආලෝකේ අතීතයේ, මා වින්ද වේදනාව ඔබේ, දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෙෘ්කේ, සිහින අහසේ වසන්තේ, විල්ලුද පුංචි දෙපා, පෙර ජාති ජාති මා, ආශාවේ ආශාවේ පායා, අපේ යොවුන් ආදරේ දැනීලා, නන්දන උයනේ, ඉන්දකාරි යාර වන්ද, අහ අහ ආදර නීය සිනා ඔබේ, සිතුම් පැතුම් සඳ ආදරේ, ආදර මල් පවනේ, රෑ දවල් මල් හැඟුම්, සාගරයකි ආදරේ ගලාහැලෙන දිය වැල්, සෙනෙහස පෑවා යළි හමු වූවා යන ගීත ඒ සංකලනයට උදාහරණ වේ. (‘H.R .Jothipala -YouTube’, n.d.) විජය, ජෝතිගේ අභාවයෙන් වසරක් පිරෙන දින පැවසුවේ ජෝති නැති අඩුව තමාටවත් පිරිමැසිය නො හැකි බවයි. එමෙන් ම ජෝතිගේ අභාවයෙන් වැඩි ම පාඩුව වූයේ තමාට බවයි. (Siyalla, n.d.) (ඊට දින 4කට පසු විජය ද ඝාතනය කෙරිණ.)

චිත්‍රපටයට අමතර ව ලංකාවේ ප්‍රචලිත වූ අනෙක් විද්‍යුත් මාධ්‍යය වූයේ ගුවන්විදුලිය යි. ගුවන්විදුලිය ඇම්.ජේ.පෙරේරා හා එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විදග්ධ සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටි පිරිසගේ අණසක යටතේ පැවති හෙයින් එහි පොදු ජන අන්තර්ගතයන්ට එතරම් ඉඩක් නො තිබිණ. 1980 දශකයේ අගක් වනතෙක් ම මධ්‍යම තරංග හා කෙටි තරංග හරහා ඉන්දු උපමහද්වීපික කලාපය ම ඇමතීමට ලංකා ගුවන්විදුලියට හැකි විය. (අමුණුගම.2003:60) බොහෝ හින්දි ගීත එමගින් ප්‍රචලිත වුව ද විනෝදාත්මක ගීත ගුවන්විදුගියේ ප්‍රචාරය වූයේ අඩුවෙනි. එහෙත් තැටි හා කැසට්පටවලට නැගුණු ගීත පෞද්ගලික ව මිළදී ගෙන ශ්‍රවණය කිරීමට රසිකයන්ට හැකි විය. වාණිජ කර්මාන්තයක් ලෙස වර්ධනය වූ කැසට් කර්මාන්තය පොදු ජන අන්තර්ගතයන්ට ඉඩ සැලසූ අතර ඒවා ගුවන්විදුලියේ වාරණය කිරීම් ඵල රහිත කිරීමට සමත් විභවයකින් යුක්ත විය. කැසට් කර්මාන්තයේ නියැළුනු ශ්‍රී මාලී, තරංගා වැනි නිෂ්පාදකයන් ජෝතිගේ කැසට්පට 250 කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කොට ඇත. මේ කැසට්පට ගම්බද ප්‍රදේශවල නිර්බාධිත ව ව්‍යාප්ත විය. ප්‍රදේශයේ මගුල්ගෙවල්වල ගස් බඳින ලද ලවුඩ්ස්පීකර්වලින් බොහෝ විට ඇසුනේ ජෝති, බෙග්, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, සුජාතා අත්තනායක ආදීන්ගේ ගීතයි. පන්සල්වල පැවති උත්සවවල ඇසුනේ මොහිදීන් බෙග්ගේ ගීතයි. ගම්බද නිවෙස්වල ශබ්ද නගා අසන කැසට්පට අතර ජෝති හා නිහාල් නෙල්සන්ගේ හඬ සුලබ විය. (ගීතනාත් කුඩලිගම,2018) මේ ආකාරයට ප්‍රේක්ෂක භාව කලාපය ඇමතූ සිනමාවත් තාක්ෂණික වර්ධනය හරහා ලැබුණු නිදහසත් යන අඩවි දෙක ම මැනවින් නියෝජනය කිරීමට ජෝතිපාල සමත් විය.

විවෘත ආර්ථීකය, ග්‍රාමීය ප්‍රදේශ වෙත තාක්ෂණය පැමිණීම හා නව විනෝද අවස්ථා බිහි වීම.

1977 බලයට පත් ජේ.ආර් ජයවර්ධන රජය විවෘත ආර්ථීකය හඳුන්වා දුන් අතර එතෙක් හැකිලී තිබූ භාණ්ඩ හා සේවා වෙළඳ පොළ ලෝක මට්ටමෙන් ප්‍රසාරණය විය. එහි අනිටු ඵල කෙතෙකුත් ඇතත් ජෝතිපාල වැන්නෙකුට ජනතාව අතර මුල් බැස ගැනීමට එය එක් පසුබිම් හේතුවක් විය. 1970 ගණන්වල ඇරඹි විදේශ රැකියාවල නියුක්තිය හා විශේෂයෙන් ගෘහ සේවිකාවන් සඳහා විවෘත වූ මැදපෙරදිග රැකියා වෙළඳපොල ගම්බද පහළ සමාජ ස්ථර ආර්ථීක ව සවිබල ගැන්වීය. මේ පිරිසගේ විනෝද සංස්කෘතිය තුළ තිබූ මූලික අංගයක් වූයේ ගීත ශ්‍රවණය හා චිත්‍රපට නැරඹීමයි. මේ විදේශගත වූ ශ්‍රමිකයන් මෙරටට පැමිණෙන විට අමතක නොකොට ගෙනා උපකරණයක් වූයේ කැසට් යන්ත්‍රය යි. මෙලෙස ගෙනා සැසට් යන්ත්‍ර නිසා විශාල කැසට්පට වෙළඳපොලක් බිහි වූ අතර ඒ කැසට් වෙළඳපොල තුළ ප්‍රමුඛ තැනක් හිමි කරගෙන සිටියේ ජෝතිපාලයි.

ගුවන්විදුලිය සාමාන්‍යයෙන් ජෝතිගේ ගීත එතරම් ප්‍රචාරය නො කළ ද ඉරිදා දිනයේ හෝ සෙනසුරාදාවේ සිංහල දෙ වැනි සේවයෙන් (වෙළඳ සේවයෙන්) කැසට්පට නිෂ්පාදකයන්ගේ අනුග්‍රහයෙන් පැය කාලේ හෝ පැය භාගයේ වැඩසටහන් ප්‍රචාරය විය. ඒ වැඩසටහන් ඉතා රසවත් වූ අතර ශ්‍රී මාලී, ජයනන්ද රෙකෝඩ්බාර් හා තරංගා ලේබලයෙන් ආ කැසට්පටවල වෙළඳ වැඩසටහන් ඉරිදා පස්වරුවේ ගැමුණු විජේසූරිය, ප්‍රේමනාත් ජයතිලක, චන්ද්‍රා වයමන්, ගීතා කාන්තී ජයකොඩි වැනි ශිල්පීන්ගේ කටහඬින් ප්‍රචාරය විය. ඉරිදා මධ්‍යාහ්නයේ ප්‍රචාරය වූ ජිප්පීස් කැසට්පට ප්‍රචාරක වැඩසටහන ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ ඉදිරිපත් කිරීමකි. ඉරිදා පෙරවරුවේ ප්‍රචාරය වූ සිංග්ලංකා කැසට්පට වැඩසටහන පසුව මෙහෙයවන ලද්දේ ආරියසිරි විතානගේ ය. (භාතිය ජයතිලක,2018) මේ වැඩසටහන්වල අදාළ කැසට්පට ගීත ප්‍රචාරය විය. එමගින් ඒ ගීතවලට ප්‍රසිද්ධියක් ලැබිණ. හැම අලුත් අවුරුද්දකට ම ජෝතිගේ කැසට්පටයක් ද අලුතෙන් නිකුත් විය.

ජේ.ආර් පාලනය මහවැලි යෝජනා ක්‍රමය කඩිනමින් නිම කොට විදුලි ජනනය ඉහළ දැමූ අතර ගම්බද ප්‍රදේශ වෙත විදුලිය ගෙන යන ලදි. ඒ හා සමඟ ම කැසට් හා රූපවාහිනී යන්ත්‍ර ග්‍රාමීය නිවාසවල වැදගත් ගෘහ උපකරණයක් බවට පත් විය. ගම්වල කළු සුදු රූපවාහිනී ඇති නිවාස දෙකක් හෝ තුනක් විය. හවසට රූපවාහිනී බැලීමට එම නිවෙස්වලට අසල්වැසියෝ රොක් වූහ. මසකට වරක් චිත්‍රපටයක් ප්‍රචාරය වූ අතර ස්වාධීන රූපවාහිනිය ඉදිරිපත් කළ ඇතැම් ප්‍රසංග වැඩසටහන්වල ජෝතිගේ ගීත ද ප්‍රචාරය විය. 1980 දශකයේ අග වන විට ජෝති චිත්‍රපටයත් කැසට්පටයත් ප්‍රසංග වේදිකාවත් දික් විජය කළ අසහාය ගායකයා විය. වරක් හේමසිරි හල්පිට ජෝති ප්‍රසංග වේදිකාවට කැඳවූයේ එවැනි හඳුන්වාදීමකිනි.

නගරබද ව ව්‍යාප්ත වූ මුද්‍රණාලවල ප්‍රදේශයේ සාමාන්‍ය මුද්‍රණ කටයුතුවලට අමතර ව සින්දු පොත් මුද්‍රණය කොට සති පොලවල හා බස් රථවල අලෙවි කිරීමේ කුඩා වෙළඳාම් 1970- 80 කාලය වන විට ප්‍රචලිත ව පැවතිණ. නගරබද පිරිස් විනෝද චාරිකාවල යද්දීත් ගම්බද පිරිස් වන්දනාගමන්වල යද්දීත් මේ ගීත පොත් රැගෙන ගිය අතර විනෝදයට ඒ ගී ගයන ලදි. මේ ගී පොත්වල බොහොමයක් පැවතියේ ජෝතිපාලගේ ගීත වේ. මල්පියලි මුද්‍රණකරුවෝ මෙ වැනි ගීත පොත් මුද්‍රණයේ ප්‍රචලිත ව සිටියෝ වෙති. ගම්වල රාත්‍රී කාලයේ පැවැත්වුණු විවිධ සංගීත සාජ්ජ හා පාටිවල දී ඩෝල්කි හා සර්පිනා වාදනය කොට ගීත ගයද් දී මතකයෙන් ගී ගැයීමට නො හැකි පිරිස් මේ ගී පොත් භාවිතයට ගන්නා ලදි.

මේ ජනප්‍රියත්වය නිසා ම වාමාංශිකයෙකු වූ ජෝතිපාල තමා ලඟට කැඳවාගෙන ඔහුගේ ජනප්‍රියත්වය සිය දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීමට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි. ප්‍රේමදාසට විදග්ධ ජන පදනමක් නොවූ අතර ඔහුගේ ඡන්ද පදනම ජනප්‍රිය සංස්කෘතියට ආසක්ත ව සිටි පිරිස විය. ඒ බව දැනගත් ඔහු ජෝතිපාල වැනි චරිත තමා ලඟින් තබා ගන්නා ලදි. ජෝතිගේ මළගම රූපවාහිනියේ සජීවී ව පෙන්වන ලදි. ඔහු මියගිය දිනේ පටන් අවසන් කටයුතු නිමා වන තෙක් ම රූපවාහිනිය විටින් විට ඔහුගේ මතක සටහන් ඉදිරිපත් කළේ ය. මෙ මගින් ප්‍රේක්ෂකයන් වෙත විසල් බලපෑමක් කරන ලදි.

ජෝතිගේ මරණය අධ්‍යයනය කරන සරත් අමුණුගම සිදුවී ඇති සංස්කෘතික වෙනස ග්‍රහණය කරගැනීමට උත්සාහ ගත්තේ එතෙක් පැවති සම්ප්‍රදායික මනෝමූලික ක්‍රමවේද භාවිත කරමින් නොවේ. ඔහු දැක්වූ කරුණු ප්‍රධාන වශයෙන් මෙසේ ය.

ජෝතිපාල සහ රමණි බර්තොලමියුස්ගේ අවමංගල්‍ය උළෙලට කනත්තට පැමිණි ජනකායෙන් 90% ක් තරුණ තරුණියන් ය.
• ඉස්සර පැවිද්දන්ට, සාහිත්‍ය කරුවන්ට දේශපාලනඥයන්ට ලැබුණු පිළිගැනීම දැන් වෙනතක හැරී සිනමා රූපවාහිනී නළු නිළියන්ට සහ ගායක ගායිකාවන් වෙත පිදේ.
• මේ වෙනස නූතන සිංහල සංස්කෘතියෙහි ප්‍රබල හර පෙරළියකි.
• නූතන සිංහල සංස්කෘතිය හැඩ ගැසෙන්නේ ජනගහනයෙන් 60% ක් පමණ වන අවු. 30 ට බාල නව තරුණ වෙළඳෙපොලේ අවශ්‍යතාව අනුවයි.
• සිංහල සංස්කෘතිය අද ගොඩනැෙඟන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථානවලය. කැසට් රෙකෝඩ්බාර්වල ය. (අමුණුගම.එස්. 1987.07.25)

අමුණුගම ජනගහන සාධක පිළිබඳ අවධානය යොමු කර ඇත. එමෙන් ම මේ හර පෙරළිය පිළිිබඳ පමා වී හෝ ඔහු කරන නිරීක්ෂණය සාධනීය වේ. ජෝතිට වසර කිහිපයකට පෙර හදිසියේ අවසන් ගමන් ගිය රුක්මනී දේවීගේ මළගම පිළිබඳ රජයේ පෘවෘත්ති අංශය කළ වාර්තා චිත්‍රපටය අධ්‍යයනය කළ විට පෙනෙනුයේ ඒ මළගම සඳහා ද විශාල ජන පිරිසක් සහභාගී වී ඇති බව යි. අමුණුගමගේ නිරීක්ෂණවලින් වැදගත් ම නිරීක්ෂණය වනුයේ හර පෙරළියේ ස්වභාවය පිළිබඳ වූ කියවීමයි. කෙසේ වෙතත් අමුණුගමගේ ලිපියට නන්විධ ප්‍රතිචාර ලැබුණු අතර ඒ විවාදය තුළ පැහැදිලි ව පෙනණුු දෙය නම් සංස්කෘතික පන්ති භේදයයි. බහුතර අනුජනයාගේ සංස්කෘතිය ගර්හිත එකක් වන අතර ඊට ඉඩ නො තැබිය යුතුය යන්න වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනීසිටින අයුරු ඒ සංවාදය නිරීක්ෂණය කළ විට පෙනේ.

ජෝතිපාල ලංකාවේ ජනප්‍රියම ගායකයා වීම විෂයයෙහී බලපාන වෛශික හේතු සාධක රාශියක් වේ. ඒවා නම් පශ්චාත් යටත්විජිත අවධියේ ස්වදේශීකරණ ව්‍යාපාරය හා ජාතික රාජ්‍යය තුළ ස්වදේශික අනන්‍යතාවක් නිර්මාණය කිරීම පිළිිබඳ වූ කතිකාව, වාණිජවාදී සිනමා කර්මාන්තයේ හා කැසට්පට කර්මාන්තයේ බලපෑම, ජනප්‍රිය සංස්කෘතියට ප්‍රතිපක්ෂ ලෙස විදග්ධ සංස්කෘතියක් නිර්මාණය කිරීම හා විදග්ධ නො වන පිරිස සංස්කෘතියෙන් පිටමං කිරීම නිසා බහුතරයේ සංස්කෘතිය වූ කලාපීය සරල සුගම සංස්කෘතික භාවිතයන් ජනප්‍රිය සංස්කෘතිය බවට පත් වීම, මේ ජනප්‍රිය සංස්කෘතිය තුළ ප්‍රධාන භූමිකාව ජෝතිපාල විසින් නියෝජනය කරනු ලැබීම, විවෘත ආර්ථීකයේ දේශපාලන හා ආර්ථීක ආදීනව යනාදිය යි. මේ සියල්ල ජෝති ජනප්‍රිය ම ගායකයා වීම කෙරේ බල පෑ ප්‍රමුඛ වෛශික කොන්දේසි වේ.



මූලාශ්‍ර-

* රත්නායක දයානන්ද. (2012, July 2). අස්වැන්න: ප්‍රේමේ නුරා ගීත රාවේ නැගෙන්නා Retrieved 1 July 2018, from http://aswanna.blogspot.com/2012/07/blog-post.html
* Leach, E. R. (1961). Pul Eliya: a village in Ceylon. Cambridge University Press.
* Jayasinghe, A. (2014, January 12) Old Sinhala Movie Songs- පැරණි සිංහල චිත්‍රපට ගීත වලට පාදක වූ හින්දි ගීත. Retrieved 1 July 2018, from https://ayoma-ayasinghe.blogspot.com/2014/01/old-sinhala-movie-songs.html
* Wriggins, W. H. (2015). Ceylon: Dilemmas of a new nation. Princeton University Press.
* Sarachchandra.(1962) Some Problems Connected with the Cultural Revival in Ceylon, Bulletine of the institute of traditional cultures, University of Madras: India.
* අමුණුගම.එස්.(2003). මනමේ මතක් වී. නුගේගොඩ: නුවණ මාධ්‍ය සේවා.
* Anderson, B. (2006). Imagined Communities: Reflections on the origin and spread of nationalism. Verso Books.
* ධර්මදාස.කේ.එන්.ඕ.(2012) සිංහලය හා මුද්‍රණ ශිල්ප තාක්ෂණය:පළමු සිංහල මුද්‍රණාලය පිළිබඳ සටහනක්. මුදිතා, සංස්: ධම්මරතන ඉඳුරාගාරේ, අභයසුන්දර ප්‍රණීත් ඇතුඟ පිරිස,කොළඹ:ගොඩගේ.
* කාරියකරවන,එස් එම්,අමරසිංහ,ජේ. (2018) ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය, පතීවත. කොළඹ:ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය.
* H.R .Jothipala- YouTube. (n.d.). Retrieved 1 July 2018, from https://www.youtube.com
* Siyalla. (n.d.). Vijaya Kumarathunga’s Voice about H.R Jothipala. Retrieved from https://www.youtube.com/watch?v=N2lnjq97BpM
* අමුණුගම.එස්. (1987 ජූලි 25). බිඳවැටුණු සංස්කෘකිත බලකනුව,විචිත්‍ර, පි.16.
* භාතිය ජයතිලක.(2018.06.28). දුරකථන සාකච්ඡාව, ගුවන්විදුලියේ දෙවැනි සේවයෙන් ප්‍රචාරය වූ කැසට්පට වෙළඳ වැඩසටහන් පිළිබඳ ව.
* කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද.( 2018. 06. 22) දුරකථන සාකච්ඡාව, ලංකාවේ වාරි තාක්ෂණය හා එහි ස්වදේශික අනන්‍යතාව පිළිබඳ.
* වසන්ත කුලතුංග.(2018.06.27) දුරකථන සාකච්ඡාව, සුනිල්ශාන්ත සංස්කෘතියෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිළිබඳ ඔහු කළ පර්යේෂණයට අදාළ තොරතුරු දැනගැනීම.
* ගීතනාත් කුඩලිගම.(2018.06.28) දුරකථන සාකච්ඡාව, 1960-70 කාලයේ ජනප්‍රිය අවකාශයේ විනෝද සංස්කෘතිය හා තැටි හි කැසට් භාවිතය පිළිබඳ තොරතුරු දැනගැනීම.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- H R Jothipala, Hettiarachchige Reginald Jothipala, Sri Lankan Singer, Sinhala cinema, Vijaya Kumaratunga, Sarath Amunugama, Popular Cuture, Sinhala Music, Sinhala Songs
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සමන් එම්. කාරියකරවනගෙන් තවත් වියමන්
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
වෙසෙස්
"සම්ප්‍රදාය" පිළිබඳ කතිකා විශ්ලේෂණයක්
වෙසෙස්
ඒ. වී. සුරවීර හා බටහිර සාහිත්‍ය විචාරය
පොත්
වත්මන් සමාජ කුනපයට එරෙහිව කුමාර කඹුරුපිටිය ගොනු කළ "පඹයාගේ සාක්කිය"
වෙසෙස්
සාහිත අඹර රිවි එව් විවසුවානෝ- නිති වදනිසුරු සුචරිත ගම්ලතානෝ....
තවත් වෙසෙස් බූන්දි
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
What's New | අලුතෙන්ම
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook