Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
බූන්දි, 21:50:02
සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා ව්‍යවහාරයත් නිර්මාපකයාගේ දෘෂ්ටිමය මැදිහත්වීමත් නිර්මාණය විශිෂ්ට කරවයි. වත්මන ඇහැ ගැටෙන බොහෝ කාව්‍ය රිද්ම ලක්ෂණයන්ගෙන් ද සුමට කවි බසින් ද පොහොසත් මුත් දර්ශනයේ දිළිඳු බව පසක් කරවයි. බොහෝ තරුණ කවීහු ස්ත්‍රී රූපය වර නගන්නේ ස්ත්‍රී ශරීරය පුරුෂයාගේ ආශා වස්තුව පමණක් ම ලෙසට වූ තේමාත්මක රූපකාර්ථයෙනි. එවැනි සන්දර්භයක් තුළ තනූජා ලුම්බිනි තඹවිටගේ ‘දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද’ කෘතිය අවධානයට ලක් විය යුතු යයි සිතමි. ‘දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද’, පටුනක් ද කවි හිස් ද අහිමි කවි හතළිස් පහකින් යුතු කාව්‍ය සංග්‍රහයකි.

‘ඒ එකම තනි පියොවුර
පාලු නිම්නයකට තනි රකින
නූස් කඳු ගැටයක හැඩය
මහරගමදී ඇයට හිතුනේ එහෙමය’


‘මහරගම’ සහ ‘තනි පියොවුර’ යන පද තුළ ඇගේ ඇඟවුම පැහැදිලි ය. ඈ පිළිකාවක් නිසා පියවුර ඉවත් කරන ලද ස්ත්‍රියකි.

පියවුර ගැහැනියකට ශරීර අවයවයකි. දෙවනුව සිරුරට ආකර්ෂණයක් අත් කර දෙන ශරීරාංගයකි. පියවුර වූ කලි පුරුෂයාට කායික සංතර්පණය ගෙන දෙන ශෘංගාර වස්තුවක; ආශා වස්තුවකි. දරුවෙකුට රස නහර පිනවන, කුසගිනි නිවන ක්ෂීර සාගරයකි. කවර වස්තුවක් වුව පුද්ගලයා සිය විඥානයට හසු කර ගන්නේ ඒ තුළින් කරවා ගනු ලබන කාර්යය මතිනි. ඒ යථාව ඈ අපූරුවට චිත්‍රනය කරයි.

‘උමතු සිප ගැනුම් ලකුණු බිහි කළ
උඩුකුරුව විළිබරව හිනැහුණ
ඉදුදුන්නෙ පැහැ තිසරපට ඇඳි
එරන්වන් පුන් තිසරු අද නැත’


ඒ අරුත් ගැන්වීම ගෙන එන්නේ කම්පනයකි.

‘ඒ එකම තනි පියොවුර
සැත්කමේ ලිහුණ තැන් බදාගෙන
තනිරකියි නොගලවා පණ
මහරගම සුළි සුළං මගහැර’


‘පිළිකා රෝහල’ ඒ විඳවුම ඈ විස්තර නොකරයි. ‘මහරගම සුළි සුළං’ යන රූපකය සමස්ත ඛේදය බියකරු බව පසක් කරවන්නක්ව නැගී සිටියි. අතීතය, වර්තමානය සංකලනය කොට සංක්ෂිප්තව මේ පෙන්නුම් කරන්නේ ජීවන සත්තාවේ සැබෑ ස්වභාවය ය. සියලු සුඛාස්වාදයන් එක් සිදුවීමකින් අහෝසිව යන ස්වභාවය ය. ජීවිතයේ අනියත බව ය. ඒ ජීවන දෘෂ්ටිය රසිකයාගේ චින්තන පරාසය පුළුල් කරවයි.

ස්ත්‍රීත්වයේ පොදු දුක්ඛ සත්‍යය තනූජා ඉතා තියුණුව පසක් කරවයි. සාමාන්‍ය සිදුවීම් තුළ විශේෂත්වය සොයා යන ඇගේ බොහෝ කවි තුළ ඇත්තේ නිරුත්සාහික ගුණය ය. ස්ත්‍රීත්වයේ දුක්ඛ සත්‍යය ඈ විදාරණය කරන්නේ සටන්කාමී ස්ත්‍රීවාදිනියක ලෙස නොව සමස්තය විනිවිද දකින පැසුණු මනුෂ්‍ය ප්‍රාණියෙකු ලෙසය.

‘තුරුණු ඇස් මග අරින පිට ලෑලි පපුව උඩ
පිපුණු පොඩි කුඹු වැසින ලොකුම ලොකු කමිසෙ යට
ගොතන්නට අක් බඹරු කැරළි කෙහෙ නැති දුකට
අතින් පැත්තට බෙදපු කූරු හිසකේ ගොඩය’


‘ඔව් ඒකි ලෙස්බියන්
රෑ දහයට ටැංකියෙන් නාන
කළු කුමාරයොත් බය කරන
සිංදු කිය කිය බැල්කනි දිගේ ඇවිදින
ඇදුම හැදි අම්ම ඔසවගෙන
රෑට ත්‍රීවීල් හොයන’


මේ සොයිසා මහල් නිවාස වල වෙසෙන මවක හා දුවකි. මවට ඇදුම ය. ගෙදර පියා ද සොයුරා ද දුවද ඈ ම ය. අනෙකා පිළිබඳ විනිශ්චය දෙනු ලබන්නේ සමාජය විසිනි. ඔවුන්ගේ චින්තන ධාරිතාව අනුව ඔවුන් විසින් නිර්මිත පින්තූරයට අනුව අනෙකා නාමකරණය වෙයි. දෘෂ්‍යමානය ඉක්මවා අනෙකාගේ ජීවිතය දෙස කිඳා බැස යථාර්ථ ගවේෂණයට සමාජය නොපෙළඹෙයි. ‘ලෙස්බියන් කෙල්ලක’ ලෙස අරුත් ගන්වන තරුණිය පිළිබඳ ගැඹුරු කියවීමක් සමාජයට අවැසි නැත. කෙල්ල ‘ලෙස්බියන්’ යයි කීමට හේතු සමුදායක් ඇත. ඇය බාටා සෙරෙප්පු පළඳියි. ලොකු ටී ෂර්ට් අඳියි. අතින් පැත්තට බෙදන කූරු හිසකේ ඈට හිමි ය. රෑ දහයට ටැංකියෙන් නාන ඇය කළුවරට බය නැත. මහ රෑට වුව ඇදුම හැදුන අම්මා ඔසවාගෙන ත්‍රීවීල් සොයා යන්නීය. ඈ බැල්කනිය පුරා ඇවිදිනුයේ සිංදු කියමිනි. මේ ගති ලක්ෂණ ඇයගේ උවමනාවට ඈ විසින් ගොඩනගා ගත්තක් නොවේ. ඈ තුළ වන මානසික පීඩනය නසා ගනු පිණිස ඈ බැල්කනිය පුරා සිංදු කියමින් ඇවිදිනවා විය හැකි ය. පුන් පියයුරු ද කිතුල් රෑන් වන් වරළස ද ඈට නොලැබුණේ ඇගේ උවමනාව නිසා නොවේ. එය ඈ තුළ වන ජෛව විද්‍යාත්මක තත්ත්වයකි. එහෙත් ‘සාම්ප්‍රදායික ස්ත්‍රී ලක්ෂණ’ සමාජය පතයි. ස්වභාවයෙන් නොලත් ස්ත්‍රී ලකුණු වැසීමට ඈ උපක්‍රම භාවිතා කරයි. ඈ සමලිංගික වීමේ අවුල පවත්නේ කා හටද? එය ඈ සතු ශුද්ධ අයිතියකි. එහෙත් ඈ තුළ ස්ත්‍රී චෛතසිකයන් ඇත. ඇයගේ මනස්තාපයත් බාහිර ස්වරූපයත් අතර පවත්නා පරස්පරය ඇගේ සංකීර්ණ මනෝභාවයන් සහ කටුක දිවි සැරිය රසිකයා වෙත ප්‍රක්ෂේපණය කරවයි. කාව්‍යය අවසානයේ ඇගේ මනස්තාපය එක මිටට ගොණු කරන්නට තනූජා සමත් වෙයි.

‘කොත්තු රොටි ගහන කොල්ලෙක්ගෙ
තොත්තු රසදැයි සිතන
ඇත්තටම ඒකි ලෙස්බියන් කෙල්ලෙක්
ලස්සනම කෙල්ලෙක්ගෙන්
මගහැරුණු නෝට් අහුලන’


ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ අග්‍රඵලය විවාහ සංස්ථාවය යයි සිතුවද එය එසේ නොවන බව පසක් වන්නේ පූර්ව ප්‍රේමයෙන් වැසී ගිය අඳුරු තැන් නිරාවරණය වීම විවාහයෙන් අනතුරුව සිදු වන කල ය. භෞතික වස්තූන් ඇතුළු කවරක් හෝ ඒ සඳහා හේතු වනු ඇත. බහුතරයක හිමිකම තිත්ත කුටුම්භයක් ය. කසාය තිත්ත වුවද රෝගය නැසීම උදෙසා එය පනය කළ යුතු යයි සිතා බහුතරයක් ස්ත්‍රීහු දුක වළඳමින් දිවි ගෙවති. විවාහය ස්ත්‍රිය විෂයෙහි පීඩක උපකරණයකි. මේ එවන් ස්ත්‍රියක් නගන පැනයකි.

‘පුළුවන්ද ඔබට පොරුවේ සේ
හාදුවක් තියන්නට නළලත
පුළුවන්ද ඔබට සිනා වෙන්නට
මගුල් ඡායාරූපයේ විදිහට’


ප්‍රේමය විවාහය බවට රූපාන්තරණය වූ පසු එහි ඇති පරස්පරතාව ප්‍රකාශ කරන මේ දෙපෙළ මනරම් ය.

‘ඇත්තටම ඔබ පැළඳි රන් මුදුව
තාම වෙදැඟිල්ලලෙ නුහුරුය’


දරුවෙකු නොමැති වීමේ කුරුස බර දැනුදු කර ගසා යා යුත්තේ ස්ත්‍රිය විසිනි. විටෙක එය ගෘහවාසී ස්ත්‍රිය පිටමං කිරීමේ ද පුරුෂයාට සිය පෙම විමධ්‍යගත කිරීමේ ද බලපත්‍රයක් වෙයි.

‘මට ඕනෙ සුදු පුතෙක් කිව්වට
ඇත් පැටව් පැදකුණු නොකර දිව්වම
යන්න ඕනිමද මම
ඉන්නෙ ඇයි හිත කියනකොට’


මහාමායා දේවියගේ සිහිනය ඇසුරු කොට ගෙන නිමවන පද පෙළින් ‘දරුවෙකු කුස පිළිසිඳ නොගැනීම’ ප්‍රකාශ කිරීම අපූරුය.

බොහෝ තන්හි තනූජා සහකරුගෙන් ප්‍රශ්න අසයි. අත්පත් කර ගත් සිහින වේදනා කැටියක්ව පසුපස එන අයුරු ඈ පහදන්නේ සියුම් උපහාසයක් ද කැටිව ය. ඒ හැම තැනකම ප්‍රමුඛ වනුයේ නිරායාස ගුණය ය.

සාටෝපකාරී සමාජය තුළ විවාහය වඩා සාටෝපකාරී ය. එය රංගනයකි. ඒ රංගනය සහ යථාව අතර වෙනස තනූජා දක්වන්නේ සියුම් උපහාසයක් ද සමග ය.

‘ප්‍රී ෂූට් එක දවසෙ
වෙරළෙ දුවපු විදිහට
ගේ වටේ දිවිල්ල දැන් හරි අමාරුයි මට
පුළුවන් ද ඔබට කොස්ස විසි කර
වෙරළෙදි වගේ වඩා ගන්නට මාව’


මේ ද එවැනි ම වූ දෝමනස්සයකි. මේ නළු බිරිඳගේ විඳවුමකි.

‘පාන්දර මුහුරත් සතියක්ම ෂූටිං
ගෙදර ආවත් ඉතින් ෆෝන් එක වේටිං
පත්තරේ කවරවල කරට අත දානවා
ඇත්තටම ඉඹපු දින මම මතක් කරනවා’


ඒ දෝමනස්සය අතර පුරුෂයා තුළ වන කුහකත්වය ඈ අපූරුවට රූපනය කරයි.

ස්ත්‍රී ශරීරය පුරුෂයාගේ කෙළි බිමකි. පුරුෂ බහුතරයක් එසේ සිතති. ඒ නිසා ම ඊට ඉල්ලුමක් ද ඇත. ඉල්ලුම නිසා මිලක් ඇත. කහ ඉර මත වාහනයක ගැටී දෙකකුල සිඳ දැමූ විවාහක පුරුෂයෙකු නිමිති කොට ගත් මේ කව හද කම්පිත කරවයි. එහි තේමාත්මක මානය පදිකයාගේ අයිතිය ධාවකයා විසින් පැහැරගත් පසු පදිකයා පෙළෙන වේදනාව සහ ඒ තුළ ස්ත්‍රී භූමිකාව යන දෙතැන වෙතට එල්ල වෙයි. ‘කහ ඉර’ අවදානම් කලාපයකි. නීතිය රකින්නන් ද ඉන් නොරැකේ. ඔහුගේ බිරිය වෙළඳ දැන්වීමකට පෙනී සිටින්නේ ඔහුට බොරු දෙකකුලක් ගෙන දෙනු පිණිස ය. එහෙත් එවැනි ගනුදෙනුවක් ඔහුට දරන්නට නොහැකි ය.

‘තත්පර තිහයි ඇඞ් එකට
පනස් දාහක් කකුලෙ ලපයට
බොරු කකුල් දෙක එපා කියලයි
සුමිත් ළිං පතුලෙ සැඟවුණේ’


තනූජාගේ කවි පුරාණ කවිකොළ කරු සිහියට ගෙන එයි. කවියෙන් සිදුවීම් ප්‍රකාශ කිරීම ඇයගේ සිරිතයි. මිනිස් දිවිසැරියේ කම්පිත කතන්දර පුළුල් ජීවන දෘෂ්ටියකින් ද විචාරශීලී මනසකින් ද කාව්‍යෝචිත බසකින් ද යුතුව තනූජා ප්‍රකාශ කරනු ලබයි.

මනමේ නාටකයේ රඟපාන්නට ගිය කුමාරි නම් තරුණියත් පොඩි ජිනේ සහ ප්‍රියලාල් නම් තරුණයන් දෙදෙනෙකුත් වටා ගෙතුණු කුමාරි, කුමරු සහ වැද්දා යන නාට්‍ය චරිත සැබෑ ලෝකය හා මුහු කරමින් අපූර්ව සංකලනයක යෙදෙමින් ඇය පබඳින කව දෘෂ්ටිකෝණ දෙකක් ඔස්සේ ගෙන එයි. පළමු පද පේළි හත පූරක කාර්යය ඉටු කරයි. ඉන් පසුව යෙදෙන සිවු පෙළින් කථා කරන්නේ පොඩි ජිනේ ය. ඊ ළඟ කවි පෙළ පූරක කාර්යයකය. ඉන් අනතුරුව යෙදෙන කවි වැද්දාගේ හඬ ය.

‘වැද්දා’ සහ ‘කුමරා’ යන චරිත සම්ප්‍රදායිකව ලබා දෙන භෞතික වටිනාකම්, මානව හැඟීම් සහ භාවිතනයක් තුළ පරස්පර වන හැටි ඈ පෙන්වා දෙන්නේ විචාරශීලී මනසකිනි.

‘කුමාරි උඹ ගමේ ලස්සන කෙල්ල
ටීටරෙන් පස්සෙම කැවෙ වෙරළු උගුරැස්ස
නොදනිමි කාගේ දෝසා කිය කිය හැම දිනම
උඹේ අම්ම අඬන හැටි උහුලන්නෙ කොහොමද’


චිත්‍රපට නැරඹීමට වශී වූ ‘මාලනී’ නම් යෞවනියගේ කතාව ද එසේම ය. ඇගේ නිළි සිහිනය සමග ඈ හිස මත අවුරුදු කුමාරි කිරුළ පළඳන්නට නිළි මාලනියව සම්මුඛ කිරීම අපූරු රූපකාර්ථයකි. නිළි සිහිනය සහිත යෞවනියගේ උපතේ සිට ඇය ගැබ්බර වීම දක්වා ජීවිත ප්‍රවෘත්තිය අපූරු චිත්ත රූපයන්ගෙන් යුතුව ගෙන ඒමට තනූජා සමත් වන්නීය. ‘රඟපෑම’ භයානක ක්‍රීඩාවක්ය යන්න ඇයගේ ඇඟවුමයි.

‘සෝමා’ නම් මාලනියගේ මවගේ ඉරණම තීන්දු කරන්නේ ‘ටීටර් චන්දරේ’ය. ඒ ඉරණමම මාලනී වෙත ගෙන එන්නේ ද නිළි සිහිනයයි. ‘පැල්ලමක්’ යන්න රූපකයක්ව ගෙන ගොඩනගන කව ‘පැල්ලමක්’ නොමැති වීම නිසා ‘පැල්ලමක්’ ඇති වන ස්ත්‍රී දිවිසැරියේ තවත් ඛේදයක් අනාවරණ කරන්නකි. ඒ තුළ ඈ නගන පැනයට නිශ්චිත පිළිතුරක් දීමට සුචරිතවාදී සමාජයට හැකි ද?

‘සෙල්ලමක් නෙවෙයි ජීවිතය
පැල්මක් ඕනෙමයි කෙල්ලෙක්ට
ඉල්ලමක උපන් රතු මැණිකක
පළුදු තැන් තියෙන්නම බැරිද? ’


‘පැල්ලමක්’ නොමැති වීම ජීවිතයට ‘පැල්ලමක්’ ගෙන ඒම අපූරු උත්ප්‍රාසයකි.

කුටුම්බ බැම්මෙන් වියුක්ත නිදහස් කෙල්ලන් පුරුෂයන්ට ප්‍රිය ය. මරියා මග්දලේනා සිහියට කැඳවන ඇගේ කෙටි කව විසල් චින්තාවලියක් වෙත ආලෝක ධාරා විහිදුවයි.

‘මරියා වගේමයි ඇය
කැබරේ නටන බකාඩිත් බොන
දණහිසට උඩින් මකරෙක් ඇඳපු
කෙල්ලෙක්ය ඇය පිරිමි ඇස හොයපු’


එහෙත් එවැනි කෙල්ලන්ගෙන් රසයක් විඳිනු විනා එවන් කෙල්ලන් හා විසුමට පිරිමි කැමති වන්නේ නැත. ඔවුන්ගේ අත්කර ගැන්ම ‘සුචරිතවාදී’ ‘ස්ත්‍රී සුරුවමකි’.

‘පිරිමි හරි කැමති කෙල්ලෙක්ය ඇය
කොයි කවුරු වුවත් බඳමු යයි නොකියන’


ඒ අනුභූතිය තවදුරටත් විවරණය කරමින් ඈ තවත් කවක් ලියයි.

‘ඔයා හරි රැඩිකල් කෙල්ලෙක්
අපේ ආදරය පටන් ගත් මුල් කාලෙ
ඔයාගෙම වචන’


රැඩිකල් කෙල්ලන් පුරුෂයින්ට උවමනා කරන්නේ හුදෙක් තම ශාරීරික මානසික ආශා සංතෘප්තිය පිණිසය. බළලා මල්ලෙන් එළියට පනින්නේ සංතෘප්තිය අවසන් වූ පසුවය.

‘ආදරේ ලොකු පොතක් පැටියෝ ඔබ එක පිටක්
පෙරළන්න මට ඕනෙ තවත් පිටු මහ ගොඩක්
එක රෑක එදා හඳ එළිය නැති දිගු රැයක්
ඔබ කීවෙ මගෙ දෙතොල් අතර සිර වී පැයක්’


එහෙත් ස්ත්‍රිය විෂයෙහි ආදයර ‘සුරුවමකි’. ඇය එය බෝ කලක් සුරකියි.

‘ආදරය කියන්නෙම ආදරය හින්දා
ඔබ කෙරේ ඇති සෙනේ ඒ ලෙසින් රන්දා
රැඩිකල්ම හැඟුම් ටික ලොකු පොතක හංගා
මෙහෙම්මම ඉන්නෙ මම ආදරය හින්දා’


අජීවී වස්තු සජීවී කොට ඒ තුළින් සජීවී ආත්මීට වේදනාවන් විවරණය කරන්නට ඈ තැත් දරයි. ‘දුක කියන්න තිබුණු බෝධිය කඩන් වැටුණා’ යන පුවත ඇසුරෙන් නිම වූ කව මනුෂ්‍ය දුක්ඛ දෝමනස්සයන් වෙත අකම්පිතව බලා හිඳිනා බෝ රුකක් වෙත ජීවය දීමකි. ඒ ඔස්සේ බෝ මැඩ අසල අනාවරණය වන මිනිස් හැඟීම් සමුදායකි. අසහනය, එය සමහන් කරනු ලබන යැදුම, විශ්වාසය, තාර්කිකක්වය පරයා නැගෙන මිත්‍යාව, මේ සියල්ල ඈ සියුම්ව ගොණු කරන්නේ සානුකම්පිතව ය. කෝච්චියට ද එවන් සජීවී බවක් ආරෝපණය කොට දුක් දරන වස්තුවක් ව විවරණය කිරීම මනරම් ය. උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ යාල්දේවී දුම්රිය ඈ ඒ සඳහා යොදා ගනියි. පෙර කවියේ ද දරනු ලැබූ සානුකම්පිත උපේක්ෂාව ද සමග ඛේදවාචකය සෙල්ෆි බවට පත් වන සමාජය දෙස බලන සෝපහාසය ද මනරම්ය. සුලබ සිදුවීමක් දුලබ ලෙස විවරණය කිරීම අපූරුය.

‘කෙස්ස උස් කර උඩට බැඳගෙන
හොස්ස දික් කළ හැඩැති කෙල්ලෙක්
මැණිකෙ අක්කව ඉම්බ කිවුවා
ඇගේ මුහුණෙත් කඳුළු තිබුණලු
සෙල්ෆි සිල්පර අතර වැටුණලු’


කවි බොහොමයක ඇති නිරායාස ගුණය, භාවික ගුණය ‘තාජුදීන්’ ලෙස ආරම්භ කොට ඇති කවියෙන් හීන වී යයි. එහි ඇත්තේ වාර්තාමය ස්වරූපයක් වන අතර ආයසකර ලිවීමක ඇඟවුමකි. ඒ හැර බොහොමයක් කවි ප්‍රබල අනුභූතීන් ය. පරිකල්පනයත්, ව්‍යුත්පත්තියත් ප්‍රශස්ත ය. පෞද්ගලික කියවීම් වුව ඈ අපූරුවට සමාජ කියවීම් බවට පත් කරයි. ඒ ඔස්සේ දෘෂ්ටිවාදයට ඔබ්බෙන් ඇති යථාර්ථය විනිවද දකින්නට රසිකයා පොළඹවාලයි. මානව බන්ධුත්වයෙන් තොර සේරිවාණිජ දිවිසැරියක මිනිසාගේ දුර්දශාව ඇය පසක් කරවයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Book Review, Dumburu Kola Monaru Lissana Papuwa Mada, Thanuja Lumbini, Sinhala Poems, Sinhala Kavi
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පොත් බූන්දි
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook