Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
බූන්දි, 20:37:59
පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ බැල්මකින්. මං හිටියෙ සනුහරේ කාටවත් හොයාගන්නවත් බැරි තැනක. ඒත් විජය කෙහොම හරි දැනගත්තා මං ඉන්නෙ ළතෝනිගල අවටමයි කියලා. එයා එවපු ලිපිය එක්ක මට තනිවෙන්න උවමනා වුණත් සේවකයා ඉන්න නිසා මුකුත් කරන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. ගල ළග ම ගලන දොළෙන් වතුර ටිකක් අතට අරන් විජයගෙන් පටන් ගත්ත රජ පරපුර විනාස වෙන්න සාප කළෙත් මේ ගල උඩමයි. මට ඕනෙ උනේ නෑ මධුරාපුර කුමරිට සාප කරන්න. සේවකයා හිටියෙ මං මුලු ගමට ම ඇහෙන්න ආයිමත් කෑගහාවි කියලා බයේ. ඒත් විජයගෙ ඉමක් කොනක් නැති මේ සෙල්ලක්කාර ජීවිතේ ගැන මට තවත් කළකිරෙන්න දෙයක් තිබුණෙ නැහැ. මධුරා කුමරිගෙ හෙවනැල්ල මැරෙනකම් මාව අතාරින්නැති බව මට තේරෙන්න අරන් තිබුණෙ. කවදාවත් ගැලවීමක් තිබුණෙ නෑ. කුමාරිගෙ එක එක හෙවනැලි එක එක වේශ වලින් එනකොට විජය ඒවා බදා වැළඳගත්තෙ හරි ආසාවෙන්. ඒ ගැන හිත හිත දුක් වින්දෙ හරි ආසාවෙන්. කුවේණි සතුටින් හුස්ම ගන්න හදන හැම සැරේක ම මධුරාගේ මොකක් හරි ජවනිකාවක් කරලියට එනවා. ඒ ඇවිත් එතෙක් තිබුණු සියල්ල උඩු යටි කුරු කරලා, නන්නත්තාර කරලා යන්න යනවා. කුවේණි එක්ක තනිවෙන්න ඕනෙ කියලා ඔහුගෙ හිත කියපු වෙලාවක වුණත් විජය කිව්වෙ අපි ගැන නෙමේ. මධුරා කුමරි ගැන, ඉන්දියාවෙන් නැව් නැගලා එද්දි වෙනත් නැවකින් පිටමං කළ ඔහුගෙ කලින් බිරිඳ ගැන. ඒ වගේ දේවල් නිතරම ඇහෙද්දි කුවේණිට මොනවා හිතෙනවා ඇද්ද කියලා කවදාවත් විජයට හිතුනේ නෑ. අහම්බෙන් පාරෙ යද්දි මධුරා කුමරි දැක්කම දුක්වෙන විජයගෙ හිත දරු දෙන්නා එක්ක කුවේණිව පන්නලා දාද්දි දැඩි වුණේ කොහොමද කියලා ඇයට හිතාගන්න බැරිවුණා. කොටින් ම කියනවා නම් කුවේණිට කවදාවත් ඒ වගේ මැරීගෙන කරන ආදරයක් උරුම උණේ නෑ.

පිළිතුරු ලිපියක් නෑ කියලා සේවකයාව එළවපු මං ආයිමත් ඔහු එවපු ලිපිය කියවන්න ගත්තා.

'මේක ඔයාට නොකියා ඉන්න හිතුවෙ. ඒත් ඇයි මම නොකියා ඉන්නෙ. ඇත්තට ම ඔයාගෙ පැත්තෙන් හැපි නිවුස් එකක්... මධුරා කුමාරි එයාගෙ කලින් බෝයිව මැරි කරලා!'

*************

එයා හිටියෙ පොත් සාප්පුවෙ සෙනඟ ගංගාව අතර පීනමින්. අතකින් මොබයිලය අල්ලමින්, තවෙකකින් පොත් මිලයට ගන්න ආව කෙනෙකුට උදව් කරමින්. යුහුසුලුව ඇවිදින කඩියෙක් වගේ. හැමෝට ම ඉහළින් එයාගෙ ඔළුව විතරක් කසිබිසි ගාලා දුවනව මට පෙණුනා.

'උස හින්දා හොයාගන්න ලේසි'
යාලුවා කියපු දේට ඔළුව වැනුවත් මගේ ඇස් දෙක තිබුණෙ එයා දිහාවෙ.

'ඔයා හයියෙන් කෑගහන්න නම කියලා'
ඇය කිව්වෙ හිනා වෙවී.

කෑ ගහන්න! ඔව් කෑ ගහනවා නම් එහෙම කරන්න දහසක් දේවල් ඒ වෙද්දි අපි අතරෙ නිර්මාණය වෙලයි තිබුණෙ. ලතෝනිගල උඩ ඉඳන් කෑගැහුව වගේ මිනිස්සු දාහක් විතර පොදි කන පොත් සාප්පුවක් ඇතුළෙ බෙරිහන් දෙන්න මට කොහෙත්ම පුලුවන්කමක් තිබ්බෙ නෑ.

මධුරාපුරෙන් ගෙන්න ගත්ත කුමාරිකාවත්, කුමාරිගෙ නිළ පෙම්වතාත් එදා උදේ ඉඳන් විජයටත් කුවේණියටත් තර්ජනය කරන්න අරන් තිබුණා. ඒ දෙන්නාගේ ම මොබයිලවලින් එලියට ආව දිග කඩු පාරවල් වලට විජය බයවුණේ නෑ. පොත් ගොඩක් අතකින් ගන්න ගමන් හිනාවෙලා සමීපයෙක්ට විහිලු කරන ඔහු දැක්ක ම කුවේණිට ඔහුගේ දරාගැනීම ගැන පුදුම හිතුණා. අරගොල්ලො ඉන්දියාවෙන් ආපු ශාක්‍ය වංශයේ උදවිය. ඒ හින්දා ලංකාවෙ ඒ වෙද්දි පොත් බිස්නස් කාලෙ බව දැනං ඉන්නෙ නැතුව ඇති. නැත්නම් කෙලින් ම ලංකාවට ගොඩ බැහැපු හැටියෙ විජය හොයන් එන්න ඉඩ තිබුණා. ඒ ආවානම් ආයිත් තම්බපන්නියට වෙන නමක් වැටෙන්නත් තිබුණා. ඒ කොහොම උණත් කුවේණිටත් පුළුවන් ද වෙරළ ගාව කපු කැට කැට ඉන්න හැමදාම? මධුරාපුරෙන් තව දාහක් කුමාරියො එන බව දැන දැන ම කුවේණි කපු යන්ත්‍රෙ අරන් ගොඩබිමේ තවත් ඇතුළට ඇතුළට ආවේ, ඒ වෙද්දි කොළඹ කඳවුරු බැඳගෙන හිටපු විජයට තමන් එන බවබවත් නොකියායි. අඩු ගාණේ ඇයට ඕනෙ වුණා තමන් කැටපු පුළුං වලින් ගොතාපු කම්බිලියක් ඔහු අතේ තියා යන්න. නැත්නම් ඇගේ ගෝත්‍රයෙ අය උයලා දුන් බත් මුළක් දීලා යන්න. ඒ සේරටම වඩා විජයගෙ මූණ බලලා යන්න.

යාලුවාව මොහොතකට අමතක කරපු ඇය හතරවෙනි වතාවටත් සාප්පුවෙ දොරින් ඇතුළට ගියෙ දෙපසින් ම සීත කරපු ඒ සී හුළං විදිල්ලක් මැද්දෙන්. දොර අවට දැඩි ආරක්ෂක වළල්ලක් අටවං හිටපු හමුදා භටයො කිහිපදෙනෙක් තුවක්කු උස්සං හිටියෙ ආයිමත් ඒ දොරින් පිටවෙන්න හිතං ආව සේර ම වළක්වමින්. ඒ වෙද්දි කුවේණිගේ බිඳුණු මොබයිලය නොනවත්වා නාදවෙමින් තිබුණේ. එහා කොණෙන් කථා කරන්නෙ මධුරා පුරයෙන් බව ඇයට ඉඟියෙන් වගේ දැනුණා. ඩෙනිම් සාක්කුවට මොබයිලය ඔබපු ඈ එක් අතකින් බෑගය තමන්ට තෙරපගෙන අනෙක් අතින් යාලුවගේ අත දැඩිව අල්ලගත්තා. ඉන්පස්සෙ විජයගෙ සඟයො හිටපු ඉසව්වට පය ඉක්මන් කළා.

එයා උතුරු කොණේ නම් මං දකුණු කොණේ. කල්ලඩි පාලම් ගොඩක් තිබුන පහුකරන් යන්න. අතපය ඉස්සුවොත් කොහෙ කොහෙ හරි වැදෙන තරම් අවතැන් වුණු සිංහල-දෙමළ මිනිස්සු හතර වටේටම. මොහොතක් ඇස් දෙක අහකට ගත්තොත් ආයිමත් බලද්දි එයා එතන නෑ. කෆීර් යානාවක් වගේ. මඟ හැරෙයි කියලා ඒ දිහාවෙම ඇස් අළවං ඇවිත් මං නතරවුණේ සාප්පුවෙ නම සුදු පාට නූලෙන් කොටපු නිල් පාට ෂර්ට් එකක් ඇඳන් උන්න අක්ක කෙනෙක් ගාව. කලින් මූණ දැකලා පුරුදු කෙනෙක්. මාව අඳුරගත්තා එයා දැකපු ගමන්. දාගෙන හිටපු කන්නාඩි දෙකට කලින් ඊට යටින් තිබුණ ඇස් දෙක පෙනුණා. කලින් දැකපු කෙනෙක් වුණත් හදිසියෙ මූණට ම මුණ ගැහුණ ම මට කියන්න මුකුත් තිබුණෙ නෑ. කටට ආව පළවෙනි මෝඩ ප්‍රශ්නෙ ඇහුවෙ එතනින් ගැළවෙන්න හිතන්.

'කුවේණි අස්න තියේද?'

මේ සාප්පුවේ එහෙම පොත් ජීවිතේට තියෙන්න ඉඩක් නැති බව දැන දැනත් මං ඇහුවා. බලාපොරොත්තු වුණ උත්තරය ම එයාගෙ කටින් එළියට ආවා.

'අනේ නෑනේ. මහාවංසෙ නම් තියෙනවා. එපා? මං මේ විජයට කොච්චරවාත් කියනවා....'

එයාට වාක්‍ය ඉවර කරන්න ලැබුණෙ නෑ. සෙනඟට තල්ලු වෙලා එයා ගහගෙන ගියා. මං එතනින් බේරිලා ඇවිත් වටපිට බැලුවා. විජය පේන්න හිටියෙ නෑ. ඒත් ඒ වෙනකොටත් මං දන්නැතුව ම උතුරට ඇවිත්!

*************

ඇයව මම මුලින් ම නිල විදියට මුණගැහුණෙ මාත් විජයත් අතර රණ්ඩුවක් ඇවිලුණ එක දවසක. එහෙම කිව්වෙ ඊට කලින් විජයගෙ හොඳ යාලුවෙක් විදියට ඇයව එක එක තැන්වලදි හමුවෙලා තිබුණු හින්දා. ඇය පුරුදුවෙමින් හිටි නාට්ටියෙ විවේක වෙලාව එනකම් මාත් ඔහුත් බංකුවක් උඩ වාඩිවෙලා බලන් හිටියා. ඔහුව හමුවෙන නිසා මං ආවෙ එයා කැමති විදියෙ එල්ලෙන කරාබු දෙකක් හොයලා හොයලා දාගෙන. හැම කෙල්ලෙක් ම ආසලු තමන් අඳින පළඳින විදිය ගැන හොඳක් පෙම්වතා කියනවට. ඒත් අපි සම්බන්ධයෙන් නම් ඒක වුණේ නෑ. මොකද කුවේණිට තිබුණෙ ලංකා අව්වට කරවෙලා වෙරළෙ ම කපු කැට කැට ඉඳන් කරකුට්ටං වෙලා ගිය පෙනුමක්. ඇන්දෙ තමන් ම ගොතාපු නූල් වලින් මහගත්ත ගෝනි පඩංගු වගේ ඇඳුම්. මධුරාපුරේ වීදි දිගේ විකුණන අලංකාර කසී සලු ඈට තිබුණෙ නෑ. ඈට ඒවා අරන් දෙන්න ඇගේ අම්මා තාත්තාවත් උනන්දු වුණේ නෑ. ඉතිං එතරම්ම කැත කුවේණිගෙන් අහකට විජයගේ හිත යන එක අහන්නත් දෙයක්ද? අපි රණ්ඩු වෙන වෙලාවෙ මං තරහින් ගලවපු කරාබු දෙක දිහා බලලා එයා කිව්වෙ 'මාව සතුටු කරන්නද ඔයා ඕවා දාන්නෙ' කියලා. ඔව්! ඔයාව සතුටු කරන්න. ඔයා සතුටුවෙද්දි මටත් සතුටු වෙන්න. කොච්චර දේ කරත් සතුටු වෙන්නැති එකනෙ කරුමෙ.

විවේක වෙලාවෙදි එතන හිටපු පිරිස අතරින් පැනලා කුමාරි ආවා මාව හමබවෙන්න. කලින් ලෑස්ති කරගත්ත ලෝරාගේ කතා පොතත් අරන් එයා එනවා කියපු පාර දිගේ මං ඉදිරියට ගියේ විජයව මඟ හලලා. මට වඩා බාල නිසාත් එයාගෙ හුරතල්කමට ආස නිසාත් මං එයාට කිව්වෙ නංගී කියලා. එයා මට අක්කා කිව්වා. එතෙක් කලක් මොබයිල් වලින් අදහස් හුවමාරු කරගත්ත මධුරාපුරේ නංගියි කුවේණි අක්කයි කටරොල් මල් වැලකුයි ගැටපිච්ච මල් ගාලකුයි තිබුණු පාරක් දිගේ මූණට මූණ හමුවුණා. කාගෙන්දෝ උදුරගත්ත කැවුමක් කකා හිටපු නංගිට පොත තෑගි දීපු අක්කා ඇයව බදාගත්තා. අක්කට ඕනෙ වුණා හැමෝම වගේ රණ්ඩු වෙන්නැතුව තමන්ගෙ පෙම්වතාගේ අලුත් ආදරය දිනාගත්ත කුමරි එක්ක හොඳින් ඉන්න, යාලුවෙක් වගේ. අපි එතන කැරකි කැරකි ඉද්දි කුමාරි එයාගෙ ඇන්ඩ්‍රොයිඩ් මොබයිලෙන් ඒ හමුවීම සමරන්න පොටෝ වගයකුත් ගත්තා. විජය හිටපු දිහාට කුමරිවත් අරන් මං ඇවිදන් ආවා. ඔහු එච්චර ඉක්මනට දුවන් ආවෙ මාව දැකලා නෙමේ, ඇයව දැකලා. එතනින් එහාට දෙන්නට ම මාව අමතකයි. කුමරි හිටියෙ පඩියක් උඩ. විජය පහළ පඩියෙ. මං විජයටත් පහළ පඩියට බැහැලා ඒ දෙන්නා දිහා බලන් හිටියා.

කුමාරිගෙ, ඒ කිව්වෙ නංගිගේ නළලේ මදුරුවෙක් වහලා ඉන්නවා දැකපු මම ඌව එලවන්න ඇගේ නළලට තට්ටුවක් දානකොට ඔහු මාව වැළැක්වුවෙ, එයා ගැන මට වඩා දන්න බව කියන්න වගේ.

'එපා! එයා මදුරුවො මරනවට කැමති නෑ. අඩුගානෙ මස් මාලුවත් කන්නෑ. බොන්නෑ කිරිවත්.'

නංගි මං දිහා බැලුවෙ සමාවෙන්න කියන්නා වගේ හිනාවකින්. එවෙලෙ අපහසුතාවෙට පත්වුණේ මමයි. එයාල අතරමැදට පැනලා මදුරුවා මරන්න ගිය එකට ඔහුට තරහ ගිහිං කියලා මට හිතුණෙ. ආගන්තුකයෙක් දන්නැති රටක තනිවුණා වගේ හැඟීමකින් හිත නොසන්සුන් වෙද්දි කිසිම දෙයකට ඇඟිලි නොගසන හිතකින් එයාලට කථා කරන්න ඉඩ දීලා මං මූණ බිම හංගගත්තා. බිම හැමතැන ම මල් පෙති පෙති. අපි හිටියෙ වැඩි හෙවණක් නැති, පෙති හතරෙ දම් පාට මල් පිපුණු ගහක් ගාව. අන්න හරි! ජැකරන්ඩා ගහක් ගාව. ලේනෙක් ගහේ උඩ ඉඳන් මල්වල කෙමියෙ පැණි බොනවා. ඌ එහෙට මෙහෙට පැන පැන යන ගමනට අතු හෙළවෙනවා. වේලුණු කොළ රොඩු, මැලවුණු දම් පාට පෙතිත් එක්ක හුළඟට බිමට වැටෙනවා. පෙති එක එක උඩ දාලා තමන් කැමති දෙයක් හිතලා, හිතන පමාවෙන් දේවල් ලබාගත්ත හත් පෙති මලේ කථාවේ පුංචි ගෑණු ළමයට වගේ මටත් වරමක් ලැබෙනවා නම්.

'මල් පෙත්තේ - මල් පෙත්තේ
උතුරු දෙසට - දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරට
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකීලා ඇවිත් බිමට
මා කී දේ කර දෙන් මට'


කාටවත් නොඇහෙන්න එහෙම කිය කිය පෙති දිහා බලන් මං හීල්ලුවා. ඒ හුස්ම ගිහින් ගහේ වදින්නැති. අර දෙන්නා කතාකරද්දි එතන තනිවුණ මා දිහා ගහ බොහෝ වෙලාවක් බලා ඉන්නැති. ගහේ පහළ ම තිබුණ අත්තක් මගේ ඔලුව හිමීට අතගෑවා. විජයට පේන්න ලෙහලා දාලා තිබුණ කොණ්ඩෙ තැනින් තැන තමන්ගෙ පෙති ලෝබ නැතිව ඉහිරුවපු ජැකරැන්ඩා මල් හීන් තාලෙට නැළවිලි ගීයක් කියනවා මට ඇහුණා. වලිගෙ සල සල ලේනා තාලෙ ඇල්ලුවා. ගහේ කඳ දිගේ පිම්මට දුවන දිමියො යන ගමන නවතලා, මා දිහා බලලා ඔලුව වනලා හිනාවෙලා යන්නත් අමතක කළේ නෑ. දැන් උපන්න හුළං පොදක් මල් රේණු පරිස්සමින් පෙරළා මා දිහාට එව්වා. ජැකරැන්ඩා කොළ අතර සිසිලේ මොහොතකට තනි වුණ මම තවත් හුඟ වෙලාවකට ඇහැරෙන්න ඉඩක් නැති දිග නින්දකට පිවිසුනා.

*************

මධුරා කුමරි,

ඇයි මා එක්ක තරහා? මං කළේ මෙතෙක් අපි ඇත්තටම කරන් ආව දේ ගැන විවෘතව කථා කළ එකයි. ඒ ගැන අහද්දි ඇයි සද්ද නැත්තෙ? ඔයාගෙ නල දත් හිනාවට මං හරිම ආසයි. අපි දෙන්නා කැම්පස් එකේ ගෙවපු කාලය මට නිතර මතක් වෙනවා. මං ඔයාට පරිප්පු උයන් ආව විදිය, ඔයා ස්කූටරේ යද්දි මාව ඇරලුව විදිය, ඔයාගෙ උරහිස උඩින් අත තියලා තද කරලා මං බිමට බැහැපු විදිය, හුළං කපාගෙන් ඔයාගේ ටින්ට් කරපු සුවඳ ඉහපු කොණ්ඩෙ මගේ මූණෙ වදෙන විදිය. ඔයාගෙ පින්තූර මං ආසාවෙන් බලනවා. කුවේණි මට ආදරෙයි තමයි. ඒත් එයා ඔයා තරම් සුරතල් නෑ. ඔයා තරම් ලස්සන නෑ. ඔයා තරම් ෆැෂන් කරන්නෑ. එයාගෙන් මට දැනෙන්නෙ අම්ම කෙනෙක් අක්ක කෙනෙක්ට වගේ හැඟීමක් මිසක් පෙම්වතියකට වගේ හැඟීමක් නෙමෙයි. එයාව වෙන් කරන්න හිතන් මං ගොඩක් දේවල් කළා. ඒත් එයා ඇත්තටම මං ගැන හිතනවා. අපි දෙන්නගේ කථාව පටන් ගත්තෙත් එයාමයි. මම කැමැත්ත ඇහුවට ආදරේට බල කළේ එයා. එයාට වඩා ඔයා ළඟදි මගේ පපුව වේගෙන් ගැහෙනවා කුමරි. මං වගේ පාදඩයෙක්ට ඔයා අකමැති ඇයි කියන්න. ඔයාගේ පෙම්වතා වගේ ලක්ෂ ගණන් හම්බකරන රස්සාවක් මාත් හොයන් ආවොත් ඔයා එනවද මා එක්ක? මං කුවේණිව බඳින්න කැමති නෑ. ඒත් දැන් ඔයා කිව්වොත් ඔයාව බඳින්න මං ලෑස්තියි කුමාරි. එහෙම බැරි නම් අපිට යාලුවො වගේ ඉන්න පුලුවන් නේද? ඔයා වෙන් වුන දා ඉඳන් මං හැමදාම රෑට ඔයා ගැන හිත හිත අඬනවා. ඔයාව මට අමතක කරන්න බෑ.

-විජය

*************

හරියට ම ඒ වෙලාවෙ උතුරට පිට පිට කොටි ප්‍රහාර එල්ලවෙන ගත්තා. මූලික වටේ වෙඩි ප්‍රහාර වලින් පස්සෙ ඔවුන් ක්‍රමයෙන් අත් බෝම්බ දමාගහන්න වුණේ ඔලිම්පික් උළලෙ යගුලිය විසිකිරීමේ ඉසව්වට තරඟ කරන හැඩි දැඩි පළපුරුදු ක්‍රීඩකයො කිහිපදෙනෙක් වගේ. ඊට පස්සෙ ෂෙල් වෙඩි, මල්ටි බැරල් ප්‍රහාර. කෆීර් යානා ඒ මේ අතට ඉගිලිලා ගියේ සද්දෙ විතරක් ඇහෙන දුමාරයක් විතරක් ඉතිරි කරමින්. කොණ්ඩෙ කොටට කපපු ගෑනු ළමයි වගයක් අල්ලගෙන ආව හමුදා භටයො වගයක් එයාලව බංකරයක් ඇතුළට අරන් ගියා. හීයක වේගෙන් විදින වෙඩිලි වලින් බේරෙන්න පොත් සාප්පුවෙ රාක්ක අතර බිම ගුලි වෙලා හිටපු කුවේණි ගාවට හමුදා ඇඳුම් ඇඳගත්ත විජය දුවගෙන ආවා. වෙඩි බෙහෙත් ගඳටයි එතන පිපිරුණු බෝම්බවල දුමාරෙටයි මැදිවුණ ඇයව මුවා කරගත්ත විජය එක තත්පරයක් අවංක වේදනාවෙන් ඇය දිහා බැලුවා. සැප්තැම්බරයක පිටු අතරට මැදි වුණ ඔහු තමන් අසළට ඇවිත් ඉන්නවා දැක්කම කැටපු කපු ටික පැත්තක තියන්න වෙලාව ඇවිත් බව ඇයට තේරුණා. සාප්පුවෙ අනික් අය බලා ඉද්දි ම ඇයත් එක්ක එකතුවෙලා ඔහු යුහුසුලුව කාලතුවක්කුවට උණ්ඩ පුරවන්න පටන්ගත්තා.

අව්වට රත් වෙවී ගිනි විදින පොළොවක ඔහු එක්ක තරෙඟට සතුරන්ට වෙඩි තියද්දි ඇයට දැනුණේ පුලාන් දේවී ආයිමත් ඉපදුණා වගේ හැඟීමක්. තුවක්කුව නුහුරු වුණාට වෙඩි කිහිපයක් මුදා හැරියමයි ඇයට තේරුණේ තුවක්කුව වුණත් අතට හුරුවෙන්න ටික වෙලාවක් අවශ්‍යයි කියලා. මධුරා පුරේ කුමාරිගෙ නිළ පෙම්වතා තර්ජනය කරමින් තිබුණු මොබයිලය ඇය අතට දීපු ඔහු තමන් හිටපු බංකරේ වට වෙන්න ඉක්මණින් වැලි ගෝනි අදින්න ගත්තා. වෙඩි පිට වෙඩි අතර කුමරිගේ පෙම්වතාගේ හඬ වෙන් කරලා අහගන්න ඕනෙ නිසා ඇය එක කනක් අතකින් මුවා කරන් බංකරේ බිම ඇණ තියාගත්තා. පිරිමි හඬ අස්සෙ විරාම තිය තිය ඉකිලන ගෑනු හඬක් ඇහුණ නිසා ඇයට හිතුනා කුමාරිත් ඉන්නෙ ඒ ළඟම බව.

'පොත් කියවන අය අගේ ය-පිය මනින්නෙ යහ මගේ ය'

'තමුසෙලා හිතන් ඉන්නෙ ලොක්කො කියලාද? ආ? දැනගනින් උඹලා වැරදි මිනිහා එක්කයි ඇවිලුණේ'

'එපා එයාට මුකුත් කියන්න! අක්කා දන්නෑ මේවා. එයා පව්'

'එෂ්.....! ටිෂු.ටිෂු.ටිෂු...'

'මං කොහොමද දන්නෙ විජය එයාට ලියුමක් යවලා කියලා. මං දන්නෙත් දැංනෙ දෙයියනේ'

'හද පලුවයි-තනි තරුවයි'

'අතක් පයක් කඩා දැම්ම ම හරිනේ ඕකගේ. ඒකනේ උඹලාට ඕන කරන්නෙ. උඹලා හිතන් ඉන්නෙ මං පොන්නයෙක් කියලාද?'

'ඨෝංං!'

'මරන්න? ඇයි බැරි මිනිස්සු වගේ අපිට ප්‍රශ්නයක් විසඳගන්න කතාකරලා'

'මල්ලි අර ලේඩි අහන පොත පොඩ්ඩක් බලන්නකො'

'ඉහි ඉහි ඉහි මං ඒම නරක විදියට ඉඳලා නෑ දෙයියනේ'

'කුවේණි, බනින්න කරන්න යන්නෙපා! නිකම් අහන් ඉන්නබව අඟවන්න'

'මේක හොඳට අහගන්න. ආයිත් කියන්නෑ. තව මාස දෙක තුනකින් අපි මැරි කරන්න ඉන්නෙ. වෙඩින් කාඩ් සේරම ප්‍රින්ට් කරලා ඉවරයි. ඒ අස්සෙ මොකාද මේ ලියුම් එවන්නෙ? මුං දෙන්නගෙ ම හොරයක් තිබිලා තියෙනවා. මෙහෙ වරෙන් බැල්ලි..'

'පොත් ප්‍රද්ර්ශනයේ සැරිසරන ඔබට සුවිශේෂී දැනුම් දීමයි'

'මට වද දෙන්න එපා!'


කියන කිසි දෙයක් තේරුම් ගන්න වුවමනාවක් නැති තමන්ගේ මතයේ ම වවුලෙක් වගේ එල්ලිලා ඉන්න, තිස්සෙ ම කුණුහරුප කියන මිනිහෙක්ගෙ විකාර අහන් ඉන්න මට තවත් ඕන උණේ නෑ. කුමරි රඟපානවද එහෙම නැත්නම් ඇත්තටම අඬනවද කියලා මං දැනන් හිටියෙ නෑ. ඒත් එයා ගැන මොකක්දෝ දුකක් හිතට දැනුණා. ඊටත් වඩා මාව රවට්ටලා කුමාරිත් විජයත් ගෙනිච්ච කතන්දරේ ගැන වේදනයි. හිතේ උන්නු පුලාන් දේවි අතේ තිබුණු තුවක්කුව කුඩු වෙනකම් පොළොවෙ ගහලා ගහලා කඩලා දාලා ඒ කෑලි ටික උඩ හිටගත්තෙ වීරයෙක් වගේ. ඈත නොපෙනෙන ඉලක්කයකට එල්ලය ගනිමින් හිටි විජය දිහාට වේගයෙන් ඇවිදන් ගිය මම කළේ පුලුවන් තරම් මොරදුන්න එකයි.

'මොකක්ද මේකෙ තේරුම? මං බැණුම් අහන එකේ ඉවරයක් නැද්ද? ඔයා කුමරිට ලියුමක් ලිව්වා කියලා මං දන්නෙ කොහොමද? ඒකටත් පලි මමද? මට හුස්මක් ගන්න දෙන්නෙ ම නැද්ද ඔයා'

විජය කිසිවක් නොකියා මං දිහා බැගෑපත් විදියට බැලුවා. ඒත් මං මගේ පෙනුම වෙනස් කළේ නෑ. ඉවසුවා ඇති! එක්කො ලංකාවට ගොඩබැහැපු මේ මධුරා පුරේ උද්දච්ච පෙම්වතාගේ වචනවලට බයේ ගැහි ගැහි ඉන්න ඕනෙ. නැත්නම් බය පැත්තකට දාලා වෙඩි වරුසාව මැද්දෙන් දුවන් ඈත රටකට ගිහින් අපේ ලෝකෙ පිළිසකර කරගන්න ඕන. විජයගෙ වෝකි ටෝකි එකට මේ දැන් ආව සංඥාවකින් කියවුණේ ඒ වෙනකොටත් දන්නැතුව ම බංකරෙන් එළියට ඇවිත් හිටි අපි දෙන්නා දිහාට සතුරන්ගෙ ඇස් එල්ලවෙලා කියලා. අපි ඒ ක්ෂණයෙන් ඉදිරිය බැලුවා. පොත් සාප්පුවෙ උන්න දහසක් දෙනා බොඳ ඡායාවක් බවට පත්වෙලා අපි දෙන්නාව විතරක් පෙනෙන තරමට කාලතුවක්කු කට අපි දිහාට නාභිගත වෙලා තිබුණෙ. උණ්ඩය පිටවෙන්න ඔන්න මෙන්න! ඒ මොහොතෙ ම අපි තීරණය කළා ඕන වෙඩිල්ලකට පපුව දීගෙන පොත් සාප්පුවෙන් එළියට පනින්න. මගේ අත දැඩිව අල්ලගත්ත ඔහු රාක්ක පිටින් පොත් බිමට වැටෙද්දි ඒ අස්සෙන් ප්‍රධාන දොර ගාවට දිව්වෙ කවරදාවත් නොදුටු එඩිතර කමකින්. විජයගේ උරපත්ත උණ්ඩ වලට හිල්වෙලා ලේ ගලා යමින් තිබුණත් අල්ලගත්ත අත අතෑරිලා තිබ්බෙ නෑ. වේදනාවෙ බලවත්කමට පොත් සාප්පුවෙ දොර ගාව ඉන්දවුණු ඔහුව උස්සන් කුවේණි ඇදි ඇදී දිගට ම එතනින් එහාට ගාටන්න ගත්තා.

*************

'ඉන්න සේරම බෑග් අදින්නෙපා.'

' මොනාද ඔයා ගත්ත පොත්'

'රැවටිලිකරුවා,
චේගේ පෙම්වතියෝ,
ප්‍රකාශන නිදහස සහ සදාචාර සෙවණැල්ල,
ඔබ ගැඹුරු නින්දක,
අන් තැනක ජීවිත විමංසනය
-එච්චරයි.'

'අර රතු කවරෙ තියෙන පොත. ඒ මොකක්ද? අලුත් එකක්ද?'

'ආ... ඒක පරණ පොතක්. බාගේන් එකේ ඉංග්‍රීසි පොත් ගොඩක් ඩිස්කවුන්ට් දාලා තිබුණා. ඒනිසා ගත්තා'

'මොකක්ද ඒ?'

'ලෝකගේ Blood Wedding!'
සිත්තම- Dorina Costras
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Sinhala Keti Katha, Sinhala Kathandara
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩිල්ෂානි චතුරිකා දාබරේගෙන් තවත් වියමන්
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
කවි
පෙට්ටියක් දිනා ඇත!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
වෙසෙස්
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
තවත් කතන්දර බූන්දි
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook