Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
බූන්දි, 20:15:26
කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද දවසෙදි අපිට ලියන්න බල කෙරෙන්නෙම සිත නිවන කතා නෙවෙයි. සිත දවන කතා. ගෙවෙන හැම මොහොතක්ම වදයක් වෙන සමාජයක ඒ සමාජය වෙනස් කිරීමේ අරගලය දවසින් දවස අසීරු වෙන විට, එය වෙනස් කරන්නට සැරසෙන බලවේග සීඝ්‍රයෙන් ක‍්‍රමයේම ගොදුරු බවට පත්වෙන විට සෞන්දර්යය පලා යන්නේ හිතාගන්නවත් බැරි වේගයකින්. ඊට පස්සෙ අපට ලියන්න බල කෙරෙන්නෙ ලේ ගලන හදවතින්. පේ‍්‍රමයේ මිහිරියාව වෙනුවට ලියන්න බල කෙරෙන්නෙ තමන් පිදූ පේ‍්‍රමයට වන්දිය හැටියට සමූහ දූෂණයට ලක් වෙන්න සිද්ධ වෙන තරුණ හෙදියක ගේ වේදනාව. රණවිරු අඩයාලමෙන් ප‍්‍රයෝජන අරං පේ‍්‍රමය කෙලෙසන වෙද නළාව ගත් නරුමයාට එරෙහි කෝපය. අද දවස පිරිල තියෙන්නෙ මේ වගේ පිළිකුල් සහගත අත්දැකීම් පොදියකින්. ඉතිං සෞන්දර්යය වෙනුවට කටු අතු කවියට පිවිසෙනව නම් ඒක කවියගෙ වරද නෙවෙයි. මේ අපේ යුගයේ උරුමය.

මෙවන් වර්තමානයක කිවිඳියන් තම නිර්මාණකරනයේදී ස්ත‍්‍රියගේ භූමිකාව, නැතිනම් ඇගේ අභියෝග, ඇගේ පීඩාව, ඇගේ අරගලය, ඇගේ සංවේදනයන් කවියට නගන්නෙ කොහොමද කියන එක ගැන අදහස් කිහිපයක් ඉදිරිපත් කරමින් කසුන්සලා ගිම්හානිගෙ කවි පොතට එළඹෙන්න මම කැමතියි. අද වන විට ලොව පුරා නව කිවිඳියන් විවිධ ප‍්‍රවේශයන් හරහා ස්ත‍්‍රියක ලෙස තම භූමිකාව සංවාදයට ගනිමින් ඉන්නවා. ස්ත‍්‍රිය මත වන පීඩනයේ සිට සමකාමී හිමිකම් ආදී තමන්ට විශේෂ වන විවිධ මාතෘකාවන් වගේම පොදු සමාජ ජීවිතය විචාරයට ලක් කිරීම දක්වා කිවිඳියන්ගේ මැදිහත්වීම අපට දේශීයව මෙන්ම මේ කොදෙව්වෙන් බැහැරවත් දකින්න ලැබෙනව.

නදීමා අන්ජුමාන් කිවිඳිය මේ ලැයිස්තුවෙ එතරම් ප‍්‍රචලිත නොවෙන එහෙත් තම හඬ ඉතා උස්ව නැගූ ඇෆ්ගන් කිවිඳියක්. ඇගේ "නිහඬකරන ලද්දිය" නම් කාව්‍යය අන්තවාදීත්වයේ යදමින් මුලූ සමාජයක්ම සිර කරන ලද සමයක, විශේෂයෙන්ම ඒ යදමෙහි තවත් බර පුරුකකින් වෙලන ලද ස්ත‍්‍රීත්වයේ ඛේදය පිලිබඳව නැගෙන වේදනාබර මුර ගෑමක් කියල කිවුවොත් වඩා නිවැරදියි. මේ ඇගේ කවියෙහි දළ සිංහල අනුවාදය.

The Silenced by Nadia Anjuman

නිහඬ කරන ලද්දිය
නොරිසියෙමි මුව විවර කරන්නට- බැඳ දමා ඇත මගේ දිව
මගේ යුගය හමුවෙහි පිළිකුලින් වෙලී හිඳිමි
ඉදින් මා ගැයිය යුතුද නැතිද?
මගේ මුව හළා හල විෂෙන් තිත්තව ඇති විටක
මකරන්ද ගැන මා කුමක් කියන්නද ?
දෙවියනි!
කුමන්ත‍්‍රණකරුවෝ විලංගු ලා ඇත මා මුවට
සිරගතබවෙහි, ශෝකයෙහි, අසමත්කමෙහි,පශ්චාත්තාපයෙහි මේ අඳුරු මුල්ලෙහි
උපන්නෙමි නිරර්ථක දිවියකට
අගුළු ලා ඇත මා මුවට
මම දනිමි, අහෝ මා හදවත
මේ වනාහී වසත් සමයයි සන්තුෂ්ටියෙහි සමයයි
එද, පියාපත් බැඳ ලූ කිරිල්ලක වන මට පියා සලනු හැර කලහැක්කේ අන් කවරක්ද!
බොහෝකල් නිහඬව සිටියද අමතක නැත මෙමට ගයන්නට
ඒ මගේ ගීතයන් මහදෙහි හුදෙකලාවේ පුළුල්ව පැතිර ඇති නිසාවෙනි
අහෝ! මේ කූඩුව බිඳ පියාසලනා දිනයට පෙම් කරමි මම
මේ හුදෙකලා පිටුවහලින් මිදී නිදැල්ලේ ගයන දිනයට පෙම් කරමි
නොවෙමි මම මඳ පවනටත් ඇඹරෙන දුබල විලෝ තුරක්
මුළු ලොවම දන්නා ඇෆ්ගන් ළඳක වෙමි


1980 වසරෙදි ඇෆ්ගනිස්ථානයේ හේරට් නගරෙ උපත ලබන නදීමා අන්ජුමාන් 1995 වසරෙ තලිබාන් පාලනය එනතුරුම නිදහස භුක්ති විඳින කෙනෙක්. ඒත් තලිබාන් පාලනයත් සමග ස්ත‍්‍රීයට වන සීමා කිරීම් හමුවේ ඇයවත් මර්දනයට ලක් වෙනවා. මර්ධනය තීව‍්‍ර වෙන විට ඇය තවත් කාන්තාවන් සමග රහසිගත අධ්‍යාපන කවයන්ට සම්බන්ධ වෙනව. කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් වෙද්දි ඇය රහසින් ඉගෙන ගන්නවා. ප‍්‍රතිපලය ඇය කාන්තාවක ලෙස විඳින පීඩනය පුපුරා යාම. නදීමගෙ සැමියා සාහිත්‍යය පිළිිබඳ උපාධිධාරියෙක්. ඒත් ඔහුත් ඔහුගේ පවුලේ අයත් නදීමගෙ කවි ලිවීම සළකන්නෙ තමන්ට අවමානයක් හැටියට. ඇය 2005 වසරෙදි හේරට් සරසවියෙ සිසුවියක් ලෙස ඉන්නා අතරෙම "තද රතු මල" නම් සිය කාව්‍ය කෘතිය පල කරනවා. එය ඇෆ්ගනිස්ථානයෙ වගේම පකිස්ථානය සහ ඉරානයෙත් ජනප‍්‍රිය වෙනව. 2005 නොවැම්බරයෙදි, ඇගේ මළ සිරුර හේරට් නගරයෙ කානුවකින් හමුවෙනවා. පසුව හෙළි වෙන තොරතුරු අනුව ඇය මිය යන්නෙ සැමියගෙ පහරකෑමට ලක් වෙලා. හේතුව ඇගේ කාව්‍ය නිර්මාණ ජීවිතය. පසුව ඇගේ සැමියට සිර දඬුවම් නියම වෙද්දී, ගෝත‍්‍රික නායකයන් නදීමගෙ පියාට බල කරල තම දියණියගේ මරණයට ඔහුට සමාව දෙන්න පොළඹවනවා. අවම වශයෙන් වසර පහක් සිර දඬුවමක් සැමියට දෙන කොන්දේසිය පිට ඔහු ඊට එකඟ වෙනවා. ඒත් ඔහුගෙ සමාව ලැබුණ විගසින් ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් කියල සැමිය නිදහස ලබනවා. පියා සිත් වේදනාවෙන් මිය යනවා. මේ තමයි නදීමගෙ කතාවෙ සාරංශය. නදීමගෙ ඉහත කවිය මේ සියළු තත්වයන් ගැන කෙරෙන කාව්‍යමය විවරණයක්. ඇගේ කවිය අන්තවාදීත්වය රජයන සමාජයක යදම්ලූ කාන්තාවගේ පීඩාවෙහි නියෝජනයක්. ඇය සිය කවියෙන් කරන්නෙ තම වර්ගයාට වන අසාධාරණය ඉතිහාසය තුළ සටහන් කිරීම.

දකුණු අප‍්‍රිකානු කිවිඳියක වන ග්සීනා ම්හොල්පෙ (Gcina Mhlophe)ගෙ කාව්‍ය ව්‍යාපාරය තුළත් මේ වගේම ස්ත‍්‍රියක වශයෙන් ඇයට දැනෙන පීඩනය පල කෙරෙන අවස්ථා අපට හමුවෙනව. ඇගේ පරිසරය හැබැයි වෙනස්. ඇයත් අන්තවාදීත්වයේ ගොදුරක්. ඒත් ඒ ආගමික අන්තවාදය නෙමෙයි. වාර්ගික අන්තවාදය. ඇය පීඩා විඳින්නෙ වර්ණභේදවාදයෙන්. ඇගේ ජීවිතයේ පොදු අත්දැකීම වෙන්නෙ තමන් කළු සමක් ඇති අයක වීම නිසා සුදු ජාතික අන්තවාදීන්ගේ පීඩාවට ලක් වීම. පොදුවේ කළු ජාතිකයන් ලෙස පීඩාවට සහ මර්ධනයට ලක් වන අතරම ස්ත‍්‍රියක වීම නිසා ඇය මුහුණ දෙන අත්දැකීම් ඇය සිය කවියට විෂය කරගන්නව. "නර්තන ශිල්පිණිය" කියන කවිය මීට හොඳම උදාහරණයක්. ඇය එහිදී කතා කරන්නෙ කාන්තාවක ලෙස සිය මවගේ පසුබිම සහ වර්ණභේදවාදය ක‍්‍රියාත්මක වන තම යුගය ගැන.

නර්තන ශිල්පිණිය

අම්මේ
නුඹ නැටුම් ශිල්පිණියකව සිටි බව කියති ඔවුහු මට
තිබුණ බව නුඹට නුඹේ සිරුරට කැපෙන දිගු අලංකාරවත් පා යුග
කියති ඔවුහු මට නුඹ නැටුම් ශිල්පණියකව සිටි බව

අම්මේ
නුඹ මනහර ඒකල ගායනාවන් ඉදිරිපත් කල බව
එය මනා සේ හැඟුම්බර විණි නම් දෑස් පියා ගත් බව
නුඹේ වත අහසට යොමු කල බව කියති ඔවුහු මට
කියති ඔවුහු මට නුඹ මනස්කාන්ත නැටුම් ශිල්පණියකව සිටි බව

අම්මේ
නුඹ සැමවිටම ඉතා මුදුව සිටි බව කියති ඔවුහු මට
පවසති ඔවුහු මට
වසත් සමයෙහි ඇරඹුමෙහි නදී දිය මතින් නැවෙමින්
මනහර ලෙසින් සෙලවුණ විලෝ තෙරක් ගැන
කියති ඔවුහු මට නුඹ ලලිතවත් නැටුම් ශිල්පණියකව සිටි බව

අම්මේ කියති ඔවුහු මට
නුඹ මංගලෝත්සවයන්හී නර්තනයන් පෑ ශිල්පිණියක බව
කියති ඔවුහු මට
දෑස් පියාගෙන නුඹ පාමින් මදහස
දෑත් නවා මදක් ඉදිරියට දිගු කර වැල්ලේ පා ගටමින්
නැටූ බව
අනේ මං එවේලේ එතන සිටියා නම් කෙතරම් අගේද
කියති ඔවුහු මට නුඹ නටනු දැකුමත් සතුටක්ම බව

අම්මේ
මා ද නර්තණ ශිල්පිණියක බව කියති ඔවුහු මට
නමුදු මම එය නොදනිමි
මංගලෝත්සවයනහී නර්තණ ශිල්පිණියක් වීම
කවරාකාරදැයි නොදනිමි මම
තවත් මෙහි විවා මංගලෝත්සවයන් නොමැත
ඇත්තේ අවමගුල්, බොහෝ අවමගුල් පමණි
අපි එහි ගයන්නෙමු නටන්නෙමු
අනාගත මනාළියක හෝ මනාළයෙකු වැතිර හිඳිනා මිනී පෙට්ටිය සමග
වේගයෙන් ඇදෙමින්
ආගන්තුක මන්දහාස
මකා දමා ඇත අප කඳුළු
අම්මේ
අප දෑස් පිරී ඇත පලිගැනීමේ අරමුණින්

දයාබර අම්මේ
කියති ඔවුහු මට මා නර්තණ ශිල්පිණියකැයි අවමගුල්වල නටන


ස්ත‍්‍රියක වශයෙන් පීඩාවට ලක්වීම සම්බන්ධයෙන් අපට තියෙන තවත් හොඳම උදාහරණයක් වෙන්නෙ ශ්‍රේෂ්ට රුසියානු කිවිඳිය අන්නා අක්මතෝවා. ස්ටාලින්ගේ පාලන සමයේ ඇයට තම පුත‍්‍රයා වගේම සැමියවත් අහිමි වෙනව. ඇය නිරන්තර පිඩාවන්ට ලක්වෙනව. ඇයට රට හැර යන ලෙසට බල කෙරෙනව. ඇය ඒත් ඒ කිසිවකට නැමෙන්නෙ නෑ. සිය පුත‍්‍රයා දකින්න ඇය සිර කඳවුරු ඉදිරිපිට හෝරා ගණන් පෝලිම් වල බලා ඉන්නව. අපහාස විඳිනව. ඇය පිළිතුරක් නැතිව හරවා යැවෙනව. ඒත් ඇය පසුදාම ආයෙ සිපිරි කඳවුරු ඉදිරිපිට පෝලිමට එක්වෙනව. මෙහෙම ඉන්න ඇයට කඳවුරු ඉදිරිපිට පෝළිම් වල ඉන්න තවත් කාන්තාවනගේ දුක්බර කතා අහන්න ලැබෙනව. දවසක් ඇයට එක් කාන්තාවක් අනේ අපේ දුක හරියට විස්තර කරන්න කෙනෙක් නෑනෙ කියල කියනව ඇහෙනව. ඇය වහාම ඔවුන්ට ලං වෙනව. ඔවුන්ගෙ කතා තමන්ට කියන්න කියල ඉල්ලනව. ඒ සියල්ලම කැටි කරල ඇය තම යුගයේ මර්දනයට අහිමි කරනු ලැබීමට ලක් කරන ලද ස්ත‍්‍රියගේ පොදු කතන්දරය "මළවුන් උදෙසා වන වැළපීම" නමින් රචනා කරනව. මේ කවිය ඇගේ කාව්‍ය ජීවිතයේ මහඟුම ඵලයක් හැටියටයි සැළකෙන්නෙ.

දැන් ලංකාවෙ කිවිඳියන්ගෙ ප‍්‍රවේශය අපට දකින්න ලැබෙන්නෙ කොහොමද? මෙහිදී ඉතාම ප‍්‍රකට උදාහරණය වන්නෙ ගජමන් නෝනා. පුරුෂ ලෝකයෙන් එල්ල වන අවමන් හමුවේ ඇය පෙරලා කවියෙන් පහර දෙන ආකාරය සිංහල කවිය තුළ ඉතා ප‍්‍රචලිතයි. වරෙක ඇය භික්ෂුවක් ඒ කියන්නෙ සිටිනාමළුවෙ ධමමජෝති නම් තරුණ හිමිනම සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට චෝදනා එල්ල වුණාම ඇය ඊට පිළිතුරු බඳින්නෙ කවියෙන්.

වටිනා කියන මේ මගෙ තුරුණු තුනු විල
සිටිනාමළුවෙ සමිඳුට පුද කළෙමි බොල
සිටිනා මෙ ගම සඟ දන අවට ගම්වල
තුටිනා එපින් අනුමෝදන් වව් සියල


නූතන කිවිඳියන් ස්ත‍්‍රීභාවය, එහි අභියෝග මෙන්ම වර්තමාන සමාජ දේශපාලන ක්ෂේත‍්‍ර ස්පර්ශ කරන්නෙ කොහොමද කියන එක විමසල බලන්න කාව්‍ය නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කරන එක සුදුසුය කියල මං හිතනව. සියළු දෑ අලෙවි වෙන ධනවාදී සමාජයක ස්ත‍්‍රියත් වෙළඳභාණ්ඩයක් බවට පත්වෙනව. ඇයව මිල කෙරෙනව. ජීවත්වීම උදෙසා ඇයට සිය ලේ මස් අලෙවි කරන්න බල කෙරෙනව. එහෙත් සමාජය ඉදිරිපිට අවමානයට ලක් වෙන්නෙ ස්ත‍්‍රිය මිස ඇගේ පහස සොය යන පිරිමියා නෙවෙයි. ස්ත‍්‍රිය පවා ගරහන්නෙ එවන් ස්ත‍්‍රියකටමයි. පසුගිය කාලයේ අසභ්‍ය චිත‍්‍රපට වල රඟපෑ බවට තොරතුරු කියවුන නිළියන් කිහිප දෙනකුගේ රූ බලන්න අන්තර්ජාලයෙ මහ ජංජාලයක් තිබුණ. මෙතනදි අසභ්‍ය චිත‍්‍රපටි කියන්නෙ මොනවද කියන ප‍්‍රශ්ණෙත් එනව. මට නං අර ජාතක කතා වෙසක් නාට්‍ය වගේ එව්වා අන්තිම අසැබි විදිහටයි දැනෙන්නෙ. මොකද ඒවා එන්නෙම අවස්ථාවාදී දේශපාලන බල ව්‍යාපෘති වල කොටසක් හැටියට නිසා. කොහොම වෙතත් මේ සිද්ධියෙදි ලංකාවෙ ඉන්න ප‍්‍රතිභාසම්පන්න කිවිඳියක වන මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සිය මැදිහත්වීම කරන්නෙ මේ විදිහට.

විල් තෙර ගැවසි සල් සපු නා මත වැටුණු
නිල් සඳ දියෙන් සැදි මුවරද පැන් පොකුණු
පිල් විදහා රඟති සෙබඩුන් ලඟ මොණරු
කල් බලලාද තැලූවේ නිල් මල් රෙහෙණූ

තරු ඇවිදින නොපෙනී ගිය අහස මැන
කළුවර? අගට සූරිය අවදි වෙන
නළුකම් සැදෙයි නව නළු රස මියෙන තැන
සළුවක කෙලවරෙහි මල්කම් පරව යන

තරු වුණි නම් නුබ නිල් වේද මහතුනි
සරු වුණි නම් සළු ගිලිහේද මහතුනි
ලොකු අකුරින්ම අච්චුව තැබු උගතුනි
ගරු නම්බුවක් අපටත් නැද්ද මහතුනි


මේ කවියෙහි වටිනාකම තීව‍්‍ර කරන්නෙ ඇගේ අවසන් කවිපද පේළි කිහිපය. ඇය එහිදී මේ සිද්ධිදාමය දේශපාලනිකව ප‍්‍රශ්ණ කරනව. සූරා කෑම මත පදනම් ලෝකයක උතුම් අය නෑ. සියල්ලෝම ගොදුරු විතරයි. කිවිඳිය මෙහිදී ගර්හාවට ලක්වන කාන්තාවන් කෙරේ අනුකම්පා කරන්නට යාම වෙනුව කරන්නෙ සමාජය පෙරලා ප‍්‍රශ්ණ කිරීම. මෙවන් සිද්ධි පිටුපස තියෙන දේශපාලනය ප‍්‍රශ්ණ කිරීම. කල්පනා ඉතා නිවැරදිව ඒ ප‍්‍රශ්න කිරීමෙහි යෙදෙනව. සරු වුනි නම් සළු ගිලිහේද මහතුනි කියල ඇය කාන්තාවන්ට ගරහන සමාජයට දේශපාලන පැණයකින් දමල ගහනව. ඇය අනුකම්පාව යදින්නෙ නෑ. ඒ වෙනුවට සමාජයට ලැජ්ජ හිතෙන තාලෙට එහි කඩතුරා ඉරල දානව.

මේ වගේම වැදගත් තැනකින් සමාජය අල්ලන කවියක් විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි කිවිඳිය රචනා කරනව. ඒ කවියෙ නම "උවැසිය". බෞද්ධ යයි සම්මත ස්ංස්ථාව තුළ ස්ත‍්‍රියට ඇති දෙවනපෙල සැලකිල්ල ඇය තම කවිය මගින් ප‍්‍රශ්ණ කරනව. දන්ත ධාතුව ලංකාවට ගේන්නෙ හේමමාලාගෙ වරලසේ සඟවගෙන. හැබැයි අද කාන්තාවන්ට දළදාවට ලං වෙන්න වරම් නෑ. මධ්‍යම පලාතෙ ආණ්ඩුකාර තනතුරට කාන්තාවක් පත් කලහම බෞද්ධ සංස්ථාව කිපෙනව. මේ අගතිගාමීත්වය විපුලි නිර්භයව සහ නිර්මාණාත්මකව ප‍්‍රශ්ණ කරනව.

මේ ඇගේ කවියෙන් කොටසක්.

රහත් සඟමිත් තෙරණි අතින් ගෙන වැඩියාට
මහබෝධි සාමිනේ කැපත් නැතුවා අපට
වැලි ගසා බෝපතක් තබා ළය මත බැතින
දෑත නළලේ තබා ඈත උන්නා පවට


ඒ වගේම නූතන පවුල් සංස්ථාව තුළ ස්ත‍්‍රිය කියන මාතෘකාවට උපහාසාත්මක ප‍්‍රවේශයක් ගන්න හැටි අපට සුහර්ෂණී ධර්මරත්නගෙ "වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුනා" කියන කවිය තුළින් දකින්න ලැබෙනව. එය මෑතක ලියවුන අගනාම කවියක්. මානව සබඳතා වේගයෙන් වාණිජ අරමුණු හමුවේ වෙළඳ සබඳතා බවට පත්වෙන වකවානුවක පවුල් සංස්ථාවේ අර්බුදය ඇය සිය කවියට ග‍්‍රහණය කරගන්නව. මේ ආකාරයට කිවිඳියන් අතර තම භූමිකාව ගැන විචාරාත්මකව බලන නව කිවිඳියන් අතර සජීවනී කස්තුරිආරච්චි වැදගත් මැදිහත්වීමක් කරන කිවිඳියක්.

මේ සියළු දෙනා අතරෙ ධනවාදී සමාජයක ස්ත‍්‍රියගේ ඉරණම ගැන තියුණු විවරණයක් කෙරෙන කවියක් අපට ඉන්න ප‍්‍රතිභාසම්පන්න නිර්මාණකරුවකුවන එරික් ඉලයප්පාරච්චිගෙ කවියක හමුවෙනව. එය අතිශයින්ම දේශපාලනික කවියක්. අලෙවිය මුල් කරගත් සමාජයක ස්ත‍්‍රියට අලෙවි කිරීමට ඇත්තේ කුමක්ද? කවියා මෙය ව්‍යාංගාර්ථවත් බසකින් ඉදිරිපත් කරනව.

වෙළඳ වීථියක කෙළවර
වීදුරු කටු ගෙයක තැබූ
අහිමිව ගිය සම්පත් දැක
දොළක් උපනි දිළිඳු හදක

ඈ හද ගත් රන් මාළය
තරු පොකුරක් මෙන් නුබ ගැබ
දිලී දිලී රඳනු පෙනිණි
ඇතුළ අඳුරු නිදන් සිතෙහි

බෝසත්වරු විසූ ලොවක
කදා වළල්ලට ලොබ බැඳි
දැරියක හට පිහිට වීලූ
තලියක් හා මිත්තණියක්

කදා ලොවේ ඉසුර පැතූ
පොරණ දැරිය ලෙසින් මත්ව
විකිණිය හැකි යමක් සොයා
නිවස පුරා සරනා කළ
පෙණින බිඳුණු කැඩපත තුළ
මිලක් පතන රුව ඈ සතු


දැන් මං කැමතියි මේ පසුබිම මත කසුන්සලා කිවිඳිය තම නැත්නම් ස්ත‍්‍රී භූමිකාව දෙස සිය කවිය තුළින් බලන ආකාරය ගැන යොමු වෙන්න. ඇය මේ ගැන තබන මුල්ම සටහනක් මට හමුවෙන්නෙ ඇගේ ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහයෙන්. ඒකෙ 23 පිටුවෙ එන "චපල මනමේ මමද" කියන කවිය ගැන මම කියන්නෙ. ඇය එතනදි අපේ සාහිත්‍යයේ ඉතා බහුලව භාවිතාවෙන කතා වස්තුවක්ම නිමිත්ත හැටියට අරගන්නව. මනමේ කතා පුවත. අපි දන්න ඉතිහාසය තුළ මහාචාර්ය සරච්චන්ද්‍ර, මනමේ නාට්‍යය නිර්මාණය කරනතුරු මනමේ කුමරිය හැඳින්වූණේ චපල ස්ත‍්‍රිය හැටියට. මේ අද පවා එහි වෙනසක් නෑ. ඒ නිසා තමයි සල්ලි ගස්වල හැදෙන දෙයක් වුණා නං කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි කියල ත‍්‍රී වීල් පිටිපස්සෙ ලියල තියෙන්නෙ. අපි දන්න සත්‍යය ඊට වෙනස්. මේ ධනවාදී සමාජය තුළ මුදල හමුවේ දනින් වැටෙනකොට ඒකෙ ස්ත‍්‍රී පුරුෂ භේදයක් නෑ. අපි කවුරුත් එක පෙලට විකිණෙනව. නමුත් වරද පැටවෙන්නෙ ස්ත‍්‍රියට. කසුන්සලා මේක තම කවියෙදි විග‍්‍රහ කරගන්නව. එහිදී ඇය ස්ත‍්‍රියගේ යටපත් කරන ලද හැඟීම්, අපේක්ෂා පිලිබඳ කතා කරනව. පිරිමි ලෝකයකින් ගන්නා තීරණ වල ගොදුරක් බවට පත්ව අවසන සියළු දෝෂයන්හී වගඋත්තරකාරිය බවට පත් මනමේ කුමරිය ඇගේ හඬින් කතා කරන්නෙ මෙතෙක් සම්ම්ත ලෝකය තුළ තිබූ මතයෙහි විලෝමය. ඇය අන්තිමට කියන්නෙ මෙහෙම.

ධනුද්ධරුත් වැදි නුඹත්
පේ‍්‍රමයේ අරුතවත්
දනිත් නම් පුදති මා
වීදිසර කොල්ලෙකුට


කසුන්සලා මේ කලාපය නැවත තම අලුත් කවි පොතේදී ස්පර්ශ කරනව. ඒ "කසුප් මට කියාපං" නැමති කවියෙන්. ඇය නැවතත් තම ප‍්‍රකාශනය වෙනුවෙන් අතීත පුවතක් ඉදිරියට කැඳවනව. ඒ සිහගිරි පුවත. ඇය සීගිරි ළලනාවන් යනුවෙන් අපේ රොමාන්තික ලෝකය පුබුදුවන ස්ත‍්‍රීන් ගැන තියෙන ප‍්‍රසිද්ධ චිත‍්‍රය පළුදු කරනව. ඇය ප‍්‍රශ්ණ කරන්නෙ කාශ්‍යප හෙවත් පිරිමි ලෝකය. ඒ නොතකා හැරෙන ස්ත‍්‍රී හැඟීම් වෙනුවෙන්. ඇය ඒ ප‍්‍රශ්ණ කිරීම සිදු කරන්නෙ මේ ආකාරයට.

කසුප් මට කියාපං
කසුප් නුඹටත් හිටියද
රෙදි අපුල්ලන පේ‍්‍රමියක්
දුම් කමින් දර ලිපක
බත් උයන දාසියක්

සිහගිරේ ලෙණක් තුළ
හඬන සිරකාරියක්
හාදුවක්වත් නොලැබ
පෙම් කරන පේ‍්‍රමියක්

නුඹේ පෙම්වතියන්ට
මල් නෙලන දේවියක්
කසුප් මට කියාපං
නුඹට තිබුණාද පේ‍්‍රමයක්


ඇගේ කවිය මට සිහිපත් කරන තවත් ලෝක ප‍්‍රකට නිර්මාණයක් තියෙනව. ඒ ලියෝ තොල්ස්තෝයි ගෙ රිසරෙක්ෂන් කියන නවකතාව. මේ කතාවෙ ප‍්‍රධාන චරිතය මාස්ලෝවා කියන්නෙ ගණිකාවක්. ඇය මිනීමැරුම් චෝදනාවකට උසාවියට පමුනුවනව. ඇය ගැන විනිශ්චය දෙන්න ඉන්න ජූරියෙ සිටුවරයෙක් ඇය වරෙක තම සේවිකාවක් වෙලා හිටිය කියල අඳුන ගන්නව. ඒ එක්කම ඇය පළමුවෙන්ම අනාථ වුනේ තමන් අතින් කියල ඔහුට සිහිපත් වෙනව. ඒ සමගම ඔහුගෙ හෘදසාක්ෂිය අවදි වෙනව. ඔහුට අර කාන්තාවගෙන් සමාව ගන්න අවශ්‍ය වෙනව. ඒත් ඇය ඔහු තකන්නෙ නෑ. අර සිටුවරය ඇය පිටුවහලට යද්දි පස්සෙන් යමින් ඇයට තමන් කළ වරදට වන්දි ගෙවන්න හදනව. ස්ත‍්‍රියක ගේ අභිමානය දරාගැනීම මාස්ලෝවාගේ චරිතය තුළ අපි දකිනව. මේකෙ අපූරු අත්දැකීමක් මට පසුව ලැබුණ. ලියෝ තොල්ස්තෝයිගෙ යස්යනා පල්යානා වතුයාය සහ ඔහුගෙ නිවස බලන්න මට අවස්ථාවක් ලැබුණ. ඔහුගෙ මන්දිරය බලන අතරෙ මම ඒ ගැන විස්තර කියපු කාන්තාවගෙන් මේ මාස්ලෝවා කියන චරිතය උපත ලැබුවෙ කොහොමද කියල ඇහුව. "ආ, ඒ තොල්ස්තෝයිගෙ ගෙදර රෙදි හෝදපු කෙල්ල!" ඇය මට කිවුවෙ එහෙම.

දැන් මම නැවතත් කසුන්සලාගෙ කාව්‍ය ග‍්‍රන්ථයට එන්න සතුටුයි. ඇගේ පමණක් නොව අද ලියවෙන අති බහුතරයක් කවි අද දවසේ අපේ ජීවිතය සහ සමාජය විචාරයට ලක් කිරීමට තැත් දරන නිර්මාණ. නිර්මාණකරනයේදී අපි කිසි කෙනකුට එයින් ගැලවීමක් නෑ. අපි දේශපාලනයක් කරන්නෙ නෑ කියන පුද්ගලය තමයි දැනුවත්වම දේශපාලන කි‍්‍රයාව කරන්නෙ. අපි ඉන්නෙ අසූචි වලක. කොතනින් සවල ගහල ඇද්දත් එන්නෙ අසූචිම තමයි. ධර්මසේන පතිරාජ, අහස් ගව්ව කරන කොට ඒ කාලෙ තරුණයා නන්නත්තාර වුණත් අවංකයි. ඒත් අද වන විට ධනවාදය අපි ගෙනත් තියෙන තැන කොයි තරම් දියුණුද කිවුවොත් අද අපි කිසි කෙනෙක් අවංක නෑ. කතිරෙ ගහන්න යනකොටම අපි දන්නව අපි කතිරෙ ගහන්නෙ මොන තාලෙ එකකුටද කියන එක. අපි රැවටෙන්නෙ දැන දැන. අපි ඒ රැවටිල්ලෙදිත් බලන්නෙ එහෙම රැවටීමට ලක්වීම තුළින් වාසියක් තියෙනවද කියල විතරයි. අපිට එදා වේලවත් කන්න නැති තත්වයකට ආවහම අයිතීන් ඉල්ලා සටන් කරනව වෙනුවට අපි කරන්නෙ පන්සලට දුවල මල් පූජ කරල අල්පේච්ඡතාව ගැන බුදුහාමුදුරුවො කියාපු මග යනවය කියල පිස්සු කෙලින එක. නැත්නම් දෙවියන්වහන්සෙගෙ සැලැස්ම ගැන විකාර කියන එක. ඉතිං අපේ කවියට වැඩ බිම වෙන්නෙ ඒ සමාජය නම් ඒක කවීන්ගෙ වරද නෙවෙයි. කසුන්සලාත් තමන්ගෙ කවියට වැඩබිම කරගන්නෙ ඒක. ඉතිං ඇගෙ කවියේදී අපි දකින යහපත් ලක්ෂණ මොනවද? ඇගේ කවියෙ මං දකින එක් ලක්ෂණයක් තමයි ඇය භාෂාව භාවිතා කරන ආකාරය. කවියා බොහෝ විට වචන වලට ආශක්තයි. ඔහු බොහෝ විට තම කවිය අලංකාරවත් යෙදුම් වලින් පුරවන්න උත්සාහ කරනව. එය ස්වාභාවිකයි. ඒත් කවියට අවශ්‍ය පමණින් එය කරනව නම් විතරයි. කසුන්සලාගෙ කවියෙ විශේෂත්වය වෙන්නෙ ඇය තම කවියෙදී වදන් භාවිතයට දක්වන පරෙස්සම. ඇගේ කවිය අනවශ්‍ය අලංකාරයන්ගෙන් තොරයි. සාපේක්ෂව කෙටියි. එහි අරුත ඇය හයිකු ලියනව කියන එක නෙවෙයි. ඇගේ කවියෙහි සංක්ෂිප්ත බව කවිය විසින් ඉල්ලා සිටින තරමට පවත්වා ගන්න ඇය සමත් වෙනවා. ඇතැම් විටෙක ඇගේ සමහර කවියක කොටස් වෙන වෙනම ගත්තහමත් වෙනම කවියක් ලෙස රසවිඳින්න පුලුවන්. අහස පොළවට බොහෝ දුර නැත කියන කවියේ මේ කොටස අරන් බලන්න. එය වෙනමම අදහස්, චිත්ත රූප මවන පොහොසත් කවියක් ලෙස රසවිඳින්න පුලුවන්. එය එක්තරා ආකාරයකට ජීවිතයෙහි පෙත්තක් කරා ආලෝකය විහිදුවීමක්.

පැටලි පැටලී ඉපල් අත්වල
මලත් ගිලුණම ගඟේ පත්ලට
දිය යටත් ගිනිගෙන දැවෙන තැන්
තියෙන බව ගඟ කීය එ මලට


සමස්ත කවියෙහිම එන සමුදයාර්ථයෙන් බැහැරව මේ කවිය වෙනම අරන් අපට අපේ පරිකල්පනය හරහා වෙනම කියවීමකට යන්න ඉඩ තියෙනව.

මේ තවත් උදාහරණයක්. කවිය "කිහිලිකරු අනවශ්‍යයි".

බඹරුන්ට නොයෙක් මල්
තලා හුරු බව ඇත්තයි
සමනලුන්ටත් සිහි විකල් වෙලාවට
බඹර වෙස් බඳිනවමයි
තාල පැටලෙනවමයි.


ඒ වගේම ඇය ඇතැම් ඉතා කෙටි කවියකින් දේශපාලන විකෘතියක සිතුවමක් නිමවනව.

පිට දුන්න නම්
බුදු කෙනෙක්
තුත්තිරි ගසුත්
පිදුම් ලබනව යසට


මේ හරහා කියවෙන දේශපාලන පාඩම වෙනම විග‍්‍රහ කරන්න අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ. මේක මාතෘකාවක් අවශ්‍ය නැති කවියක්. ඇය අනිත්‍යය කියල නිමවන කවියෙ පළමු කොටස තිබුණම ඇති කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ කොටසින් අපේ නූතන ආගමික සංස්ථාවේ යථා ස්වභාවය කදිමට නිරූපණය කෙරෙනව. පුස්කාපු වටාපත කියන්නෙ ඒ සඳහා ඇති සාර්ථක රූපකයක්.

රන් කෙඳි නැවි නැවී වටේටම හැඩ දාපු
තුන් තිස් පැය පුරා නිදි නැතිව බණ අහපු
තතනමින් එක පෙළට සුළං පොදි විසි කරපු
බවුන් වඩනවා කොණක වටාපත පුස්කාපු


"ඇගේ සෙනේ" නමින් එන කවියත්, "ගැලරියෙන් පමණයි" කවියත් වර්තමාන ජීවිතයේ ඛේදවාචී ස්වරූපය වගේම සංකීර්ණත්වයත් ග‍්‍රහණය කරගන්න නිර්මාණයක්. ජීවිතය කියන්නෙ අපිට හොඳ නරක කියල කොටු ඉරි ඇඳල වෙන් කර ගන්න පුළුවන් දෙයකට වඩා දෝශපාලන ආර්ථික සාධක මත තීරණය වෙන දෙයක් කියල හිතන්න අපි මැලි වෙනව. නිර්මාණකරුවන් හුඟක් වෙලාවට කරන්නෙ ඒ සංකීර්ණ ජීවිතය අප ඉදිරියේ දිගහරින එක.

කසුන්සලාගෙ කවියෙහි ඇති තවත් විශේෂත්වයක් වෙන්නෙ ඇගේ ඇතැම් කවියක් කියවන්නාගේ පරිකල්පනයට සලසන ඉඩ බෙහෙවින් පුළුල් කිරීම. ඇය කවියෙන් පවසන්න උත්සාහ කරන අදහස පරයා යමින් වෙනත් අදහස් ලෝකයක් විවර කරගැනීමට ඇගේ කවිය විවිධ කවුළු විවර කරනව. මෙතනදි පාඨකයටත් වැඩ කොටසක් පැවරෙනව. පාඨකයාට කිවිඳිය ගේ කවිය තමන්ට අනුව විවිධ අරුතින් රස විඳින්න පුළුවන්. ඇය සිය කවියෙන් නිශ්චිත අරුතක් සම්පාදනය කරන්නෙ නෑ. යම් ඉඟියක් හෝ ඉඟි කිහිපයක් සපයනවා විතරයි. "කැළල" නමින් එන කවිය ඒ සඳහා එක් උදාහරණයක්. "නෙළුම", "අවසන් කව" යන නිර්මාණත් ඒ වගේමයි.

කසුන්සලා තම කවියෙහි පලින් පල අපේක්ෂාවක ලකුණු සටහන් කරන්න උත්සුක වෙනව. අනුරාගය මුසු ආවේගයක් මම ඒ කවි තුළ දකිනව. "සගයිනි අද දහවල තොපේය" යන කවිය ඊට එක් උදාහරණයක්. ඇය කවිය අවසන් කරන්නෙ මේ ආකාරයට.

ශෝකයක් උපදවා ගැනීම
අනවශ්‍යය
පරාර්ථය මත උපන්
පේ‍්‍රමයක් වෙනුවන්
කවියක් ලියවෙන්නේමය


ඇය නැවත කවියනි ඉතිං සැරසෙනු නම් කවියෙහි විධානාත්මක ස්වරයෙන් මෙහෙම කියනව.

කවියනි ඉතිං සැරසෙනු
රෝස නටු දිගට
විසකුරුම කවි උල් කර
මල් පොකුරු තනන්නට


මට මේ පද කිහිපය සිහිපත් කරන්නෙ අයිත්මාතොව්ගෙ ගුරු ගීතයෙ එන අර කොටස.

ඔව් ශීත කාලය පැමිණේවී. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි.

ඔව් අපි තාමත් ඒ වදන් වලට ආදරෙයි. හැබැයි අයිත්මාතොව් වගේම අපිත් අරගලය ඒ තරම්ම පහසු නෑ කියල දන්නව. එය ඉතා දිගු ගමනක්. අසීරු ගමනක්. වැටෙන්නට ඉඩ තියෙන, නැගෙන දිනයක් නොදැකම මියෙන්නට ඉඩ තියෙන ගමනක්. හැබැයි නැගෙන දිනයක් තියෙනවය කියන අපේක්ෂාවෙන් නික්මෙන්න ශක්තිය තියෙනව නම් ඒ ඇති. කසුන්සලා, අරගලයෙදි වගේම කවියෙදිත් අපිට තියෙන මාවත ඉතා දිගුයි. ජීවිතය ඉතා සංකීර්ණයි. කවිය කියන්නෙ වෙහෙස, දැඩි වෙහෙස ඉල්ලන වැඩ බිමක්. මයාකොව්ස්කි කවියා කියනව වගේ කවියක් ලිවීමත් රේඩියම් කණිනව වගේ අසීරු වැඩක්. ඒ නිසා මට අවසන් වශයෙන් ඔබට කියන්න තියෙන්නෙ තව තව කණින්න, ජීවිතය කණින්න කියලයි. මේ ජීවිතයේ සංකීර්ණත්වය සහ ඒ පිටුපස ඇති සමාජ දේශපාලන සංස්කෘතික ආර්ථික මානයන් අල්ලන්න තව තව වෙහෙසෙන්න. ඔබට ඔබේ කවිය තවත් ඔප මට්ටම් කරගන්න එවිට ඉඩ ලැබෙයි. "ඉලපත් රටා" පසුකර ඔබ පියවර ගණනක් ඉදිරියට ඇවිත් තියෙනව. ඒත් කවිය ඔබේ කැපවීම සහ පරිකල්පනයේ පොහොසත් බව තව තවත් ඉල්ලා සිටිනව. ඔබ ඊට සූදානම් නම් අනාගතයේදී ඔබ ඔබේ හොඳම කවිය අපිට තිළිණ කරාවි. ස්තුතියි.


(-2018 ජූනි 09, බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදී කසුන්සලා ගිම්හානිගේ "අවසරයි කුහුඹුවනි" කාව්‍ය ග‍්‍රන්ථය එළි දැක්වීමේදී චූලානන්ද සමරනායක කළ දේශනය.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Awasarayi Kuhumbuwani (2018), Kasunsala Gimhani, Sinhala Poems, Sinhala Kavi, Sri Lankan Poets
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චූලානන්ද සමරනායකගෙන් තවත් වියමන්
Cine
විපරීත යුගයක තරුණ සිනමාව
කරන්ට්ස්
සන්ධ්‍යාට...
කරන්ට්ස්
සිංහ - ලේ
කරන්ට්ස්
නැළවිලි ගී
කරන්ට්ස්
නූතන පට්ට ගාමිණී වස්තුව
තවත් පොත් බූන්දි
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook