Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
අවජාතක තාරුණ්‍යය බත්තලංගුණ්ඩුව ට පලා යෑම
බූන්දි, 22:52:44
බත්තලංගුණ්ඩුව කියන්නේ මංජුල වෙඩිවර්ධනගේ අලූත්ම නව කතාව. මේ අපේ වෑයම බත්තලංගුණ්ඩුව යනු නවකතාවක් වේ යන මූලික උපකල්පනයේ සිට එහි හැඩ රුව හදුනා ගැනීම වෙනුවට කෘතිය හරහා ලේඛකයාව හදුනා ගැනීමටයි. එවැනි පශ්චාත් පිවිසුමකින් පමණයි කතුවරයාව කෘතියක් කරා උත්තේජනය කරන ප්‍රතිපක්ෂ සමාජීය අත්දැකීම් හා විසංවාදී දේශපාලනයන්හි පසුතලය හැදෑරීමට පුලූවන් වන්නේ. කිසියම් නිර්මාණ කරුවෙක් තම නිර්මාණකරණය මගින් ප්‍රක්ෂේපණය කරන්නේ සමාජීය වශයෙන් ඔහු අත්විඳි සියලූ ප්‍රතිවිරෝධ හමුවේ ගැලවීමට දරන අවිඥානික උවමනාවයි. කෘතිය හරහා කෙරෙන දේශපාලනික සමාජ කියවීම තේරුම් ගැනීම යනු කතුවරයාගේ පුද්ගල බද්ධ ප්‍රතිපක්ෂ අත්දැකීම් වල සමාජීය ප්‍රක්ෂේපණය හරහා පර්යාය ලෙස සමාජ අර්බුදය අන්තර් විනිවිද යෑමයි. කෘතියේ යටිපෙළ හැදෑරූම යනු මෙම සාහිත්‍යමය භාවිතාවේ දේශපාලනික ගැටලූව නිරවුල් කර ගැනීමයි. බත්තලංගුණ්ඩුව වෙනුවෙන් කරන මේ යටිපෙළ හැදෑරීම අනිවාර්ය කාරණාවක් වන්නේත් සමස්ත සාහිත්‍ය භාවිතාවත්-

-සෙසු අවශේෂ කාරණා මෙන්ම දූපත් සීමාවෙන් එහාට නොයෑමෙන් ඔද්දල්වූ දේශයක කෘතිය කියවන ප්‍රේක්ෂකයා බත්තලංගුණ්ඩුව යනු මඩොල්දූව වැනි දූපතක් බවත් එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිතය කෘතිය තුළින් අපූර්ව ලෙස විග්‍රහ කර ඇති බවත් යන වින්දනීය වැරදි උපකල්පන ඔස්සේ බත්තලංගුණ්ඩුව පිළිබඳ කතිකාව අවසන් කිරීමට ඇති ආන්තරාව ඉතාමත් වැඩි බැවිනි.

සමාජය භෞතිකව වෙනස් කරන්න නම් ලිවීම තුළින් සමාජය නැවත කියවිය යුතුය යන්නයි ඩෙරීඩාගේ සමාජ ව්‍යාපාරය. මංජුල ‘බත්තලංගුණ්ඩුවෙන්’ කරන්නේ තමාට ගෝචර වන සමාජ ආනුභූතීන් අපයෝජනය කොට : (Deconstruct) කලාත්මක ප්‍රතිරූපයන් (Artistic Images) ලෙස ප්‍රතිනිර්මාණය (Reconstuct) කිරීමයි. එහිදී ඔහු නිර්මාණය ඔස්සේ පෙරළා චිමසනු ලබන ප්‍රශ්ණ හා උපදවනු ලබන උභතෝකෝටික හරහා පාඨක පරිකල්පණයට ආමණ්ත්‍රණය කරනවා. නිශ්චිත අවසානයක් නැති කෘතියක් පාඨකයාට පිළිගන්වමින් රෝලන්ඩ් බාර්ත් මෙන් පාඨකයා සාහිත්‍ය පාරිභෝජකයෙකු නොකර නිර්මාපකයෙකු ලෙස උත්කර්ෂයට නංවනවා.

බත්තලංගුණ්ඩුව කියන්නේ ලංකාව වගේම දූපතක් (භූගෝලීය සාධක අනුව විතරක් නෙමේ සෑම ප්‍රවේශයකින්ම ලංකාව දූපතක්.) කතානායකයා -ඇන්ටනි- මංජුල මේ ලොකු දූපතේ සිට කුඩා දූපතකට (පලා) යනවා. ආරම්භයේදීම (ජැටියෙදීම) ‘බත්තලංගුණ්ඩුවේ’ යටි පෙළ ගොඩනගන මානය අභිමුඛ වෙනවා.

දූපත් අනන්‍යතාවය / සුජාතභාවය?

දූපත් සීමාව රකින මුරකරුවන් විසින් අර්ධ නාගරික ඕපපාතික තාරුණ්‍යය ප්‍රශ්ණ කෙරෙනවා.

’ප්‍රධාන ජැටි ද්වාරය අසල රැකවල්ලා සිටින නාඹර සොල්දාදුවන් දෙදෙනාගෙන් අයෙකු සුරතින් අවියකට වාරුවී සිටින අතර අනෙකා තේජාන්විත දෑසින් හැඳුනුම් පත් පිරික්සයි. මගේ වාරය එළඹෙයි.
‘කොහාටද?’ ඔහු අසයි.
‘බත්තලංගුණ්ඩුවට’
‘මොකටද?’
‘චේන්ජ් එකකට’ ’


ඇන්ටනි ජැටියට එන්නේ එතෙර වෙන්න. හරියට Zorba the Greek (සෝර්බා නම් ග්‍රීකයා) හි කසන්සාකිස් වගේ. කසන්සාකිස්ගේ අතේ වගේම ඇන්ටනීගේ අතෙත් පොතක්. කසන්සාකිස්ගේ අතේ තියෙන්නේ ඩාන්ටෙ. ඇන්ටනීගේ අතේ තියෙන්නේ මිලාන් කුන්දේරාගේ Life is Else where (ජීවිතය අන් තැනක).

ඇන්ටනී බත්තලංගුණ්ඩුව සොයා යෑම අන් තැනක ඇති මේ ජීවිතය කරා යෑමක්. අනන්‍යතාවය අහිමි වූ කොදෙව්වක සිට අවජාතක තාරුණ්‍යයේ සුජාතභාවය සොයා පලා යෑමක්. දූපතක නොඉඳ ඉඳීම (Being without being) යථාවක් නොවීමට නම් අනන්‍යතාවය / සුජාතභාවය කොන්දේසියක්. මංජුලව බත්තලංගුණ්ඩුව කරා මෙහෙයවන මෙම ප්‍රතිවිරෝධය සමාජීය තෙරපුමක්. විසංවාදී දූපත් ප්‍රති නිෂ්පාදනයක්. යමෙකුට යම් මතවාදයක් තුළ තම පුද්ගල භාවය අරුත් ගන්වා ගැනීමට නම් ඔහු හෝ ඇයගේ පිටත ලෝකය තුළ එකී මතවාදයේ පරමාදර්ශයක් පැවතිය යුතුයි. මෙකී පරමාදර්ශය නොමැති සමාජ ව්‍යුහයක් තුළ පෙරකී පුද්ගල භාවය නිසැකයෙන්ම අභියෝගයකට ලක් වෙනවා. මේ ප්‍රතික්ෂේප කිරීම තුළ සුජාත භාවය අහිමි නන්නත්තාර තරුණ පරම්පරාව අභ්‍යන්තරික කැරළිකාරිත්වයක් කරා යොමු කළ පරමාදර්ශී පීතෘත්වය මේ දූපතට එහා කුඩා දූපතේ ඇති බැව් ඇන්ටනී / මංජුල විශ්වාස කරනවා.

’තව හෝරා කිහිපයකින් මා ඕපපාතිකයෙකු නොවන වග තහවුරු කළ හැකි ශුක්‍රාණුවේ අයිතිකරුවා මට මුණ ගැසේ. ඔහු අල්ලා ගෙන නගරයට රැගෙන යා යුතුය.’

සරලව ‘බත්තලංගුණ්ඩුවේ’ ඇන්ටනිගේ ගමන පීතෘත්වය සොයා යෑමක්. අත්හැර ගිය පියෙකු සොයා යන අකීකරු පුත්‍රයෙකුගේ රොමෑන්ටික් කතන්දරයක්. නමුත් කේන්ද්‍රීය සංසිද්ධියට ඇති ජීව විද්‍යාත්මක ප්‍රවේශය මඟහැර අර්ධ නාගරික ඕපපාතික තරුණයෙක් බත්තලංගුණ්ඩුව ට පලා යෑම පිළිබඳව සමාජ විද්‍යාත්මක කියවීමකදී තමයි මංජුල කෘතිය හරහා කරන දේශපාලනය තේරුම් ගත හැකි වන්නේ.

කතානායකයා /කතුවරයා (ඇන්ටනි / මංජුල) බත්තලංගුණ්ඩුව ට එහා දූපත තුළ ඕපපාතිකයෙක්. අවජාතකයෙක්. පොදු භාවිතය තුළ අසම්මතවාදියෙක්. මහ සංස්කෘතිය තුළ කැරළිකාරයෙක්. ප්‍රතිපක්ෂ අත්දැකීම් හරහා සමාජය ප්‍රශ්ණ කරන්නෙක්. සංස්කෘතික දූපතක මේ පුද්ගලයාට පැවැත්මක් නෑ. පෙරලා සමාජය ඔහුව ප්‍රශ්ණ කරන්න ගන්නවා. ඔහුගේ අනන්‍යතාවය විමසනවා. සුජාතභාවයට අභියෝග කරනවා. මොකද අභ්‍යන්තර කැරළිකාරිත්වයට, ප්‍රගතිශීලිත්වයකට පීතෘත්වයක්, සුජාතභාවයක් කොදෙව් සමාජය තුළ නොමැති බැව් දූපත්වාසීන් ඉඳුරාම විශ්වාස කරනවා. නොඑසේ නම් මෙම පශ්චාත් නූතන දේශපාලනික චලනයන් විදේශික බලවේග, NGO කුමණ්ත්‍රණ වැනි අශුද්ධ රමණයන්ගේ අවජාතක ඵලයන් ලෙස ලඝු කෙරෙනවා. මොකද ඇන්ටනි මහ සංස්කෘතිය තුළ/ කොදෙව්ව තුළ සිංහල බෞද්ධ නෑ. දේශහිතේශී නෑ. දෙමළ විරෝධී නෑ. යුධ වාදී නෑ. එතකොට සමාජය තුළ පැවැත්මක් නෑ.

’’මොනාද හොයන්නේ?’
කේන්තියෙන් සැර බාල කරමින් මම ඇසීමි.
‘පොඩි බඩිඩක්’ ඇය බඩවත ඇගිලි නටවමින් සුරතල් වූවාය.
‘මොකක්ද? බුරියද?’ මම කමිසය උස්සා නාභිය පෑවෙමි.
‘මේ තියෙන්නේ’
අතිශයින් අපුල ඒ සිරික්කිය මා හදවත පහුරු ගාමින් දෝරෙ ගැලීය. මන්දනය වන සිනහවෙන්ම ඕ මෙසේ පැවසුවාය.
‘ඔයා ඉපදිච්ච කෙනෙක්ද මවපු කෙනෙක්ද? මං හැදුවෙ ඒක හොයා ගන්න.’’


මෙම සමාජ ප්‍රතිවිරෝධය තුළ මංජුල අභ්‍යන්තර කැරළිකරුවෙක් වෙනවා. මෙම අභ්‍යන්තරික කැරළිකාරිත්වය ප්‍රගතිගාමි නිර්මාණශීලිත්වයක් කරා යොමු කරන දේශපාලනික සාධකය, සමාජ විද්‍යාත්මක ප්‍රභවය හදුනා ගැනීමට ඔහුට අවශ්‍ය වෙනවා. එතකොට ඇන්ටනි / මංජුල ‘බත්තලංගුණ්ඩුවෙන්’ හොයන්නේ මහ කොදෙව්ව තුළ හොයා ගන්න බැරි වූ තමන්ව මෙතෙක් මෙහෙයවූ සමාජ පරමාදර්ශය. පොදු භාවිතය තුළ නන්නත්තාර භාවයට පත් කළ අර්ධ නාගරික තාරුණ්‍යයේ දේශපාලනික පීතෘත්වය.

’නගරයේ සන්නාසියෙකු වන මා ඈත ඈත නන්නාදුනන කොදෙව්වක් සොයා යන්නේ කුඩා ළමයින් නොව වැඩිහිටියෙකු අල්ලා ගෙන ඒමටයි. ඔහු කවුරුන් හෝ වැඩ්හිටියෙකු නොව මාගේ අනන්‍යතා සහතිකය අතැති මගේම තාත්තාය.’

පරමාදර්ශී පියා සොයා යන ඇන්ටනීට ‘බත්තලංගුණ්ඩුවේ’ දී එහිම නිෂේධනය මුණ ගැසෙනවා. සංයුක්ත රූපයක් වෙනුවට එහිම ප්‍රතිපක්ෂය අභිමුඛ වෙනවා. පියා සොයා ගිය ඇන්ටනීට ඇඩිවින් වෙනුවට ජීවිතය හමු වෙනවා. මේක හරියට කසන්සාකිස්ට සෝර්බා හමු වෙනවා වගේ. ඇඩිවින් කියන්නේ සෝර්බා වගේම සංස්කෘතිය විසින් හික්මවනු නොලැබූ මනුෂ්‍ය අර්ධයේ උපමා රූපකයක්. ඔහු මනුෂ්‍යත්වයේ උපරි අහම තුළ විමුක්තිය ලැබුවෙක්. පුලුල් ව්‍යුහයක පූර්ණත්වයට පත්වූවෙක්. ඇන්ටනීට පරමාදර්ශී පියා වෙනුවට මුණ ගැසෙන්නේ මේ පූර්ණත්වයයි. විමුක්තියයි.

’ සමහරු හිතනවා මුහුද කියන්නේ වතුර ගොඩකට කියලා. නමුත් ඒ ගොල්ල දැන ගන්නවා මුහුද කියන්නේ ඇස් දෙකෙන් පේන දේට වඩා ගැඹුරු තැනක් කියලා. ඒ අය පස්සෙ කියන්න ගන්නවා මුහුද කියන්නේ ගැඹුරු තැනක් කියලා. ඒත් ඇත්ත මුහුද ඒ ගොල්ල හිතන ගැඹුරට වඩා ගැඹුරු තැනක්. ‘
ඔහුගේ සැහැල්ලූ පිළිතුර මගේ සිත ලැජ්ජාවෙන් පුරවයි. මම එය සඟවා ගැනීමට යත්න දරමි.
‘මං ආපු කාරණාවෙ ඇත්ත නැත්ත පැත්තකට දාමු. මට කියන්න ඔයා තාත්තා විදියට මට දීලා තියෙන්නේ මොකක්ද කියලා.’
ඔහු අපහසුතාවට පත් කිරීමේ අශෝභන චේතනාව හිත තලයි. ඔහුට උත්තර නැති ප්‍රශ්ණයක් මතු කරන්නේ කොතැනින්ද?
ඒත් ඔහුගේ ලය පුරා වන සැහැල්ලූව පහව නොයයි. ඔහු තව තවත් තැන්පත් වනවා වැන්න.
මං උඹට ජීවිතය දීලා තියෙනවා.’
මගේ හදවත කීරි ගැන්වී යයි. ඔහු කියන්නේ සැබෑවක් නොවේද? මා මෙතෙක් භුක්ති විඳි ජීවිතය කෙබඳු හැඩතල ගත්තද එය ඇරඹි උල්පත මැවී ඇත්තේ ඔහුගේ අධ්‍යාත්මය තුළින් නොවේද?


එතැන් සිට ඇන්ටනී ජීවිතය ගවේෂණය කරන්න ගන්නවා. පරමාදර්ශික පියා වෙනුවට මේ පූර්ණ මනුෂ්‍යයා ඔහුගේ නව දෘෂ්ටිවාදය බවට පත් වෙනවා. නෛතික සීමාවෙන් මිදුණු ඒ බැඳීම අතිෂය මානුෂීයයි. හෘදයාංගමයි.

’උඹ මගේ දරුවා. ඒක ඇත්ත. දැන් උඹ මිනිහෙක්. දරුවා තමයි මිනිහගේ තාත්තා. මට තියෙන එකම ප්‍රශ්ණෙ තමයි උඹ කියන දරුවා මේ ඉන්න මිනිහා උණේ කොහොමද කියන එක උඹ දන්නෙ නැති එකයි. උඹේ ඇස් ඉස්සෙල්ලාම දැක්කෙ මම. ඒත් මම උඹේ ඇස් වලින් මගේ හීනෙ දකින්න ගියේ නෑ.’
’...... උඹ ඇහරිනකන් මං උඹට ආරක්ෂාව දීලා තියෙනවා. ඇස් පාදගෙන තනියම නැගිටිනකන් මං උඹට අත දීලා තියෙනවා. උඹ පොඩිකාලෙවත් කවදාකවත් මගෙ අදහස් උඹට බලෙන් පටවන්න ගියේ නෑ. ලෝකෙට තනියම එබිලා බලන්න මං උඹට නිදහස දුන්නා. මං උඹට ඉලක්කයක් දුන්නෙ නෑ. උඹේ ඉලක්කෙ උඹම හොයා ගත්තු එකක්. වෙන මොනවද තාත්තා කෙනෙකුට දෙන්න පුලුවන්.’


ඇන්ටනිව බත්තලංගුණ්ඩුව ට එහා දූපත තුළ හුදෙකලා කළ අවිඥානික සාධකය සමඟ ඔහු බැඳෙන්න ගන්නවා. අභ්‍යන්තර කැරළිකාරිත්වයට යොමු කළ දේශපාලනික ප්‍රභවය හරහා තමාගේ හැඩ රුව හඳුනා ගැනීමට ඔහුට උවමනා වෙනවා.
’ඔහු මෙසේ පැවසූ දෑ යථාවක්ද? මා භුක්ති විඳි හුදෙකලා භාවය ඔහුගේ දැනුවත් සැලසුමක ප්‍රතිඵලයක්ද? හුදෙකලාව තුළ මා උගත් දෑ බොහෝය. කොටින්ම ඔහු මෙතෙක් ගොනු කළ තර්කණය පවා මා උගත් දෑ තුළ ගොඩනැඟුණු මාගේ සිතුවිලි ලෝකය තුළ පැවතින. එහෙත් විශ්වාස කළ නොහෙන යථාර්ථය වන්නේ මේ වන විට ඔහු එය ප්‍රායෝගිකත්වයට නගා අවසන් වීමය.’

ඇන්ටනිට අභිමුඛ වෙන මේ පූර්ණ මනුෂ්‍යයා මනෝ විශ්ලේෂණය තුළ විපරිත පියා (Perverse Father) ගේ පූර්ණ ප්‍රතිපක්ෂයයි. ළමයින්ගේ ආශාව හෝ අනාගතය වෙනුවෙන් තමන් සියල්ල කැප කරන බව අඟවමින් සූක්ෂම ලෙස තමාගේ ආශාව මුදුන්පත් කර ගැනීම මෙහි රෝග ලක්ෂණයයි.

’අපි මෙහෙම හිතමු. තාත්තා උසාවියක තෝල්කයෙක්. එයාගේ ලෝකෙ වීරයා නඩුකාරයා හින්දා එයාගෙ සිහිනයත් නඩුකාරයා බවට පත් වෙන්නයි. නමුත් ඔහුට නඩුකාරයෙක් වෙන්න බැහැ. මොකද බුද්ධිය මදි. දැනුම මදි. කාලය මදි. වයස මදි. ඒත් මේ තෝල්කයට පුතෙක් ඉන්නවා. දැන් එයාගෙ සිහිනය වෙන්නේ පුතාව නඩුකාරයෙක් කරන එක පියා එයාගෙ සිහිනෙ දකින්නේ පුතා තුළින්.

එත් පුතාට ඕන රස්තියාදු කාරයෙක් වෙන්න. ජීවිතය හොයාගෙන ඇවිදින්න. අහස දිහා බලාගෙන හිනා වෙන්න. කවියක් ලියන්න. ගහකින් ගිළිහෙලා වැටෙන කොළයක් හුළෙඟ් පාවෙලා ඇවිත් පොළොවේ තැන්පත් වෙන අසිරිය දැක ගන්න. ගල් කැටයක් අරන් වතුරට ගහලා වතුර කැළඹෙන හැටි බලන්න. කැළඹෙන වතුර හිමින් සීරුවේ සන්සුන් වෙන හැටි දකින්න.

ඒත් මේ කිසි දෙයකට ඉඩක් නෑ. මොකද තාත්තාගෙ හීනෙ නඩුකාරයා පස්සෙන් හිට ගෙන දත් විරිත්තනවා. රස්තියාදු කාරයෙක් වෙන්න ආසා කරපු අධ්‍යත්මය අවසානයේ නඩුකාරයෙක් බවට පත් වෙනවා. ඒත් අන්තිමේ එතන ඉන්නෙ නඩු කාරයෙක් නෙමේ හිර කාරයෙක්.’

තාත්තා පිඟාන මේසය මත තබා ඊටම අත සෝදා ගනී. වතුර උගුරක් ඉහළ ඇද කට තුළ කලම්බා ගිල දමයි. සිල්පරය මත හිඳ අත සරමෙන් පිසදා ගනී.

’මම උඹ ඉන්න විදියට කැමතියි. කොටින්ම ඔය රැව්ලටයි කොන්ඩෙටයිත් මම කැමතියි. මට ඕන උනේ තමන් එක්කම කැරළි ගහන මිනිහෙක් දකින්න. මම දැන් ඒක දකිනවා. කොහොමත් මං දැනන් හිටපු එක දෙයක් තිබුණා. මං දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයා ගන්න බව.

අවසානයේ ඇන්ටනිට පූර්ණ බත්තලංගුණ්ඩුව හමු වෙනවා. විමුක්තිය අත් දකිනවා. ජීවිතය ගවේෂණය කරන්න ලැඛෙනවා. බත්තලංගුණ්ඩුව කියන්නේ විකල්ප භූමියක්. සංකීර්ණත්වය වෙනුවට සරලත්වය. හිස්කම වෙනුවට පූර්ණත්වය. රමණය වෙනුවට ප්‍රේමය. ජීවිතයේ අවශ්‍යතා අතිශය ප්‍රාථමිකයි. සම්බන්ධතා ලෙන්ගතුයි. මානවීයයි. දේශය බහු සංස්කෘතිකයි. බහුමානීයි. ඇන්ටනී ඒ දේශයට ප්‍රේම කරන්න ගන්නවා. ඒක අලූත් අහසක්. අලූත් පොළවක්. අලූත් විශ්වයක්. අලූත් ආරම්භයක්. අලූත් හීනයක්.

බත්තලංගුණ්ඩුව කියන්නේ බහු සංස්කෘතික දේශයක්. එහි වෙසෙන්නේ දෙමළෙන් කතා කරන සිංහලයන්. රාජ්‍ය භාෂාව හෝ රාජ්‍ය නොවන භාෂාවක් එහි නෑ. ප්‍රථම පුරවැසියන් හා දෙවන පුරවැසියන් යනුවෙන් දෙවර්ගයක් එහි නෑ. ජාතිකත්වයට බත්තලංගුණ්ඩුව තුළ පැවැත්මක් නෑ. භාෂාවට එහි වලංගුතාවයක් නෑ.

’ජීවිතයේ දිග පළල මිස ජාතික භාෂාවක බරක් පතලක් නොමැති වීම ඔවුන් ලත් භාග්‍යයකි. දැලේ පැටලෙන මාලූන්ම මිස ජාතිය ඔවුන් හට යැපීමේ මාර්ගයක් නොවන්නේය. භාෂාව ව්‍යවහාරය පිණිස මෙවලමක් මිස හිස තබාගෙන ඇවිසින කරඬුවක් බව ඔවුන් නොදැන සිටීමද භාග්‍යයකි.’

බත්තලංගුණ්ඩුව යනු ප්‍රේමයේ කොදෙව්වයි. නෛතික සීමාවන් අතික්‍රමණය කළ ආදරයේ දේශයයි. ලිඛිත සම්මුතීන් වෙනුවට එහි ඇත්තේ හෘදයාංගම අවබෝධයයි. විවාහය වෙනුවට එහි ඇත්තේ තේරුම් ගැනීමයි. රමණය වෙනුවට එහි ඇත්තේ හැඟීම් හුවමාරුවයි. බැඳීම් වෙනුවට එහි ඇත්තේ විශ්වාසයයි.

’විවාහය විහිලූවක් බව ඇත්තකි. ඒත් ඒ විහිලූවේ ගිලී යමින් ජීවිත කාලයම ඉකිබිඳීමට මිනිසා තුළ ඇත්තේ අප්‍රමාණ කැපවීමකි. ඉකිබිඳීම සිනහව ලෙස තර්ක කිරීම වරු ගණන් එක දිගට නොකා නොබී හෝ කළ හැක්කකි. ප්‍රේමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවූ දා සිටම හදවතේ ගිලී එයටම දෂ්ට කරමින් සිටියේය. ප්‍රේමයේ නග්න බව වසා ගැනීමට අත්තික්කා කොළ අතු වලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි.’

බත්තලංගුණ්ඩුව කියන්නේ නිවහල් බවේ දේශයයි. එහි සංස්කෘතික හිමිකරුවන් නැහැ. මුරකරුවන් නැහැ. ඔත්තුකරුවන් නැහැ. එය ස්වභාව ධර්මයට අනන්‍ය වූ භූමියක්. ශුන්‍යත්වය තුළ පූර්ණත්වය අත්දැකිය හැකි කොදෙව්වක්.

බත්තලංගුණ්ඩුව කියන්නේ අධ්‍යාත්මිකත්වය ආගම බවට පත්වූ භූමියක්. දෙවියන් වෙනුවට විමුක්තිය අත්දකින දේශයක්. ස්වර්ගය වෙනුවට පරිපූර්ණත්වය හමුවන දූපතක්. විඳවීම වෙනුවට සංතෘප්තිය මුණ ගැසෙන කොදෙව්වක්.

’සම්බෝගයේ කූටප්‍රාප්තිය තුළ සිතුවිලි අතුරුදහන්වී යයි. සිත ශුන්‍යත්වයේ ගැලෙයි. සංතෘප්තිය යනු ඒ අවකාශයම නොවේද? දෙවියන් වඩින්නේ සංතෘප්තියේ නැවුම් අවකාශයටය. රමණය පවතින දේවත්වයේ සළකුණ නොදන්නෝ සතුට සංතෘප්තිය වෙනුවෙන් නිරාහාරව දෙවියන්ට කන්නලව් කරති. යාච්ඤා කරති. මනුෂ්‍ය භාවයේ ප්‍රාථමික ස්වභාවය දේව සමානත්වයයි.’

දැන් මේ සමීකරණය සූත්‍ර ගත කළ විට ලැඛෙන උත්තරය සංකීර්ණ එකක්. පරමාදර්ශී පියා සොයා ගිය තරුණයෙකුට එහිම නිශේධනය හමුවෙනවා. මේ ප්‍රතිපක්ෂ අත්දැකීම් තුළ ඔහුගේ ජීවිතයට නව දෘෂ්ටිවාදයක් අභිමුඛ වෙනවා. ඔහුට නොදැනී ඔහු ඒ නව පරමාදර්ශයට ප්‍රේම කරන්න ගන්නවා. නොඑසේ නම් ඔහු ඒ නව දෘෂ්ටිවාදය තුළට රිංගා ගන්නවා. දැන් ඔහුට ‘බත්තලංගුණ්ඩුවෙන්’ එහා ජීවිතයක් නැහැ. ඒ දේශයෙන් එහා ඔහුට අරමුණක් නැහැ. මේ ජීවිතයෙන් එහා ඔහුට සිහිනයක් නැහැ. ඔහු ‘බත්තලංගුණ්ඩුවේ’ සිට එහා කොදෙව්ව ආමණ්ත්‍රණය කරනවා. ඒක මහ කොදෙව්ව පිළිබඳ විරෝධාකල්පය සංවේදීව මුදා හැරීමක්. බත්තලංගුණ්ඩුව කියන ෆැන්ටසිය උත්කර්ශයට නැංවීමක්.

’ගැඹුරු ආකාශයේ අඳුරු සෙවනැල්ල යටදීය.
ආදරණීය ත්‍රීසා
මම ආවෙ තාත්තා හොයාගෙන. තාත්තාගේ පෙනුම තියෙන මිනිහෙක් හම්බවුණා. ඒත් එතන තාත්තා හිටියෙ හෑ. මං හිතුවා. නිදි මරා ගෙන හිතුවා. බඩගින්නේ ඉඳගෙන හිතුවා. සුසුම් හෙල හෙල හිතුවා. ඔයා ගැන. ඔයා වෙනුවෙන් තාත්තා හොයා ගන්න එක ගැන. හිතපු නැති මොහොතක හිතපු නැති විදියට තාත්තා හම්බ වුණා. එයාට සතුටුයි. ගොඩක් සතුටුයි. එයා හිතන් ඉන්නේ ලේලි පොඩ්ඩ බලන්න එන්න. ඒත් දැන් මෙතන මගෙ අවුලක් වෙලා. මෙතන මගේ පෙනුමම තියෙන මගේ නමම තියෙන මිනිහෙක් ඉන්නවා. ඒත් මං දැන් නෑ.’


දැන් මංජුල බත්තලංගුණ්ඩුව හරහා කරන දේශපාලනය හඳුනා ගන්න පුළුවන්. මංජුලගේ ලියවිල්ල තුළ බත්තලංගුණ්ඩුව කියන්නේ තමාට ගෝචර සමාජ පරිසරයේ ප්‍රතිපක්ෂය. පය ගැසූ සමාජයේ විකල්පය. පුද්ගල බද්ධ අත්දැකීම් හි නිස්සාරත්වය හා නන්නත්තාර භාවය විසින් ගවේෂණය කර සොයා දුන් ස්වර්ගය. යථාවේදී අහිමි කරවනු ලැබීම් තුළ උපදවනු ලැබූ ෆැන්ටසිය. එතකොට බත්තලංගුණ්ඩුව කියන්නේ පූර්ණ වශයෙන් භෞතිකයක් නෙමෙයි. නමුත් නොපවතින්නක්ද නොවෙයි. මංජුල කරන්නේ බත්තලංගුණ්ඩුව කියන භෞතිකය තුළ පාර භෞතිකයක් ගොඩනැගෙන්නට සලස්වන එක. එතකොට පවතින දේ මත නොපවතින දේ ගොඩ නැගෙන්නට පුළුවන්. භෞතිකය ඇසුරේ කල්පිතය විමසන්න පුළුවන්. මේක හරියට පාර ප්‍රභන්ධයක් (Meta fiction) හදනවා වගේ. පාර ප්‍රභන්ධය කියන්නේ ප්‍රභන්ධය මත නව ප්‍රභන්ධයක් ගොඩනැගීමක්. මෙය පැරණි ප්‍රභන්ධය ගොඩනගන මතවාදය දෘෂ්ටිමය වශයෙන් අභියෝගයට ලක් කොට නව ප්‍රභන්ධය හරහා පැරණි ප්‍රභන්ධය නව මානයකට ගෙන ඒමක්. එතකොට බත්තලංගුණ්ඩුව කියන්නේ මංජුලට නව දෘෂ්ටිවාදයක්. නව පරමාදර්ශයක්. නව ෆැන්ටසියක්. මිනිස් විශය මිය යෑම වෙනුවට පවත්වාගෙන යෑම ෆැන්ටසියේ කාර්යයක්. එහි මනෝ මූලික තත්ත්වය වෙන්නේ අපේ යථා ජීවිතය පිළබඳ නිතර අප තුළ පවත්නා අතෘප්තිය හා ඉන් ගැලවීම පිණිස නිසි බාහිර පරමාදර්ශයක් සමඟ අනන්‍ය වීමට අප දක්වන ගිජුකම. එතකොට මංජුලගේ බත්තලංගුණ්ඩුව ගත යුත්තේ සංයුක්ත අදහසකින් නෙමේ.

’ බුද්ධ’ යන්න පුද්ගලයෙකු හඳුන්වන නමක් ලෙස සංකේත ගත කොට තිබුණද එය මානව විමුක්තිය අධ්‍යාත්මික අපරිමිත භාවය පිළිබඳ අනන්තවූ සිතුවිලි සමුච්චයයි. ‘ක්‍රිස්තු’ යනුද එබඳුය. එය මානව විමුක්තියේ භෞතික ක්‍රියාවලියේ පරාර්ථකාමිත්වය පිළිබඳ විග්‍රහ කොට නොහෙන ගතිගුණ සමූහයක් මිස පුද්ගල නාමයක් නොහෙන මුත් එය සංකේත ගත වී ඇත්තේ ඉතිහාසයේ විසූ ශාස්තෘවරයෙකු හැදින්වීම වෙනුවෙනි. තවත් නිදසුනක් ලෙස ‘තාත්තා’ යන්න ගතහොත් එය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක එක් පුරුකක් හඳුන්වන සංකේතයකි. කිසියම් සමාජ ප්‍රපංචයක නිශ්චිත පුද්ගලයෙකු හැදින්වීම වෙනුවෙන් එය භාවිත කෙරේ. එහෙත් මගේ අර්ථයෙන් එය පුද්ගල නිර්වචනයක් නොව කිසියම් තත්ත්වයක් පිළිබඳ අර්ථකථනයකි. එබැවින් ම එය සංයුක්ත නොවේ. සංයුක්ත කළ නොහැකි අරුත් පරාසයක් පුරා ‘තාත්තා’ යන වචනය කේන්ද්‍රගත වී ඇත.

එහෙත් මගේ අරමුණ පරමාර්ථ සත්‍ය ගවේෂණය නොව සංකේතීය සත්‍යය මතුකර ගැනීමයි. යථාර්ථය හා යථාර්ථය ලෙස ස්ථාන ගතවී ඇති සියල්ල අතර ඇත්තේ කෙතරම් බරපතල ආන්තරයක්ද?’


පැබ්ලෝ පිකාසෝ කියන්නේ මා සිත්තමට නගන්නේ මා දකින දේ නොව දකින දේ ගැන සිතන දේ කියලා. මංජුල ලියන්නෙත් දකින දේ නෙමේ. දකින දේ ගැන හිතෙන දේ. නැත්නම් දකින දේ හරහා පතන දේ. එතකොට බත්තලංගුණ්ඩුව හරහා මංජුල කරන්නේ මිනිස් විෂය මියැදෙන දේශයකට තව දවසකට බලාපොරොත්තු දල්වා ගත හැකි ෆැන්ටසියක් හදන එක. නොඑසේ නම් එහෙව් දේශයකට විකල්ප ව්‍යුහයක් යෝජනා කරන එක. ඒ නිසා බත්තලංගුණ්ඩුව ගත යුත්තෙ සංයුක්ත අදහසකින් නෙමෙයි. එය ගත යුත්තෙ ‘බුද්ධ’ , ‘ක්‍රිස්තු’ වගේම පුළුල් අර්ථයකින්.

පසු සටහන

බත්තලංගුණ්ඩුව ට එහායින් කාලෙකට ඉස්සර තවත් දූපතක් තිබුණා ඒකට කිව්වෙ ‘කාරදූව’. බත්තලංගුණ්ඩුව ට සාපේක්ෂව ලංකාව ලොකු දූපතක් වුණාට ලෝකයට සාපේක්ෂව ලංකාව කුඩා දූපතක් වෙනවා වගේම බත්තලංගුණ්ඩුව ට සාපේක්ෂව ‘කාරදූව’ කුඩා දූපතක්. ඒත් අද ‘කාරදූව’ නෑ. කාලය විසින් ඒ දේශය සෝදා හැරලා. ඒ ශිෂ්ටාචාරය අද තියෙන්නේ සාගරය පතුලෙ. භූගෝලීය සාධක අනුව දූපතකට දිගුකාලීන පැවැත්මක් නැහැ කියන එකට ‘කාරදූව’ උදාහරණයක්. භූගෝලීය සාධක අනුව විතරක් නෙමෙයි සෑම ප්‍රවේශයකින්මත් දූපතක පැවැත්ම අභියෝගයට ලක්වූ මොහොතක ශ්‍රී ලංකාව තවම දූපතක්.
රාවය [23-12-2007, 30-12-2007, 06-01-2008]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Manjula Wediwardena, Baththalangunduwa, Sri Lankan Nevels, Sri Lankan Fictions
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Podi Wije මෙහෙම කියනවා :
Indika liyapu de thula noliyapu de hoyaganda lesi kremayak kiyandeda. Ai Indika "Antony / Manjula" kiyala liyanne kiyala hoyanda.Thawe madinum ai Indika liyanne kruthiya thulin Manjula kerane "Deshepalene" kiyala??

කිවුව වෙලාව- 2010-03-14 23:21:57
නෙරංජි නීනු මෙහෙම කියනවා :
මහ පුදුම කතාවක්...කිවෙව්වා..පෙනුණා.දකින්න තරම් දැනුමක් නැති නිසා..බලාගෙන හිටියා විතරයි....

කිවුව වෙලාව- 2010-03-13 04:56:21
Podi Wije මෙහෙම කියනවා :
Prashne thiyenne Indika manjulege kruthiya kiyawena ekka pathekka theyeddi Manjulege pawdgelika gathipawethum kruthiyate adeshe kerela kathkerena ekka, kruthiyak liyane kenage manomeya godenanvimak kiyane ekka sambandawe kisi tharkeyak man hithanne godak denekuta na. eath prushne thiyenne Derrida we pavichi kerela kathru wa porak keranda hadena ekka, Derridate anuwa livimakin passe kathru pudgeleyek hatiyata a thula thwe duratath na, kiyawanna thamnge mano thathweyan thula kruthiya kiyavima kiranne. mekedi indikege pawdgelika kiyavima wenne kruthiya thulin Manjulage pawdgalika guna kiyavimanum prushneyak na eka ayage powdgelika wadak, ath Indika ayage kiyavima vidyawak kerala ( sampurneyenma varedi )manjulawa polewe mare porak hatiyate bawsthisme keranda hadenawa. mekedi Manjulwai Indikawai visanyojenaya keloth medenage Political Economy ekka niyameta mattu wenawa.

කිවුව වෙලාව- 2010-03-12 07:18:25
ET මෙහෙම කියනවා :
wicharayak kiyanne text ekak read karanna udawuwak... it's not a final definition.. this is also the same..

කිවුව වෙලාව- 2010-03-12 03:56:07
666 මෙහෙම කියනවා :
Derida kiyawapu aya aniwaryenma dena gannawa Indika liyapu deya Indikage kiyaweema thula wisanyojanaya wena Manjula hewath me liyapu mano wikaraya kiyala witharak nowey Manjula liyapu deyath eyage wisanyojanaya haraha ena samaja kiyaweema Manjulage potha haraha ena mano wikarayak kiyalath.

eththama kathawa me mano wikara nowannata kruthiykin ehata yanne monawainda?

usas kruthiyak kiyala eka kiyawala peththakin thiyanne nethiwa eka liyapu kenata hari eka kiywana kenata hari kiyaweema kiyana athdekeema beda ganna eka "mano" wikarayakda?("mono" wikarayakda?)

anthima prushne: Indikata okkoma liyanna behe; Manjulata wagema. Noliyapu tika soya yanne kohomada?


කිවුව වෙලාව- 2010-03-11 18:54:14
Podi Wije මෙහෙම කියනවා :
Eric Ilayapparachchi ge Kaviya venuveta kaviya kiyavima lipiya hodin kiyawela me lipiya kiyawenakota Indikege ha Manjulage gema mattuwenawa.


කිවුව වෙලාව- 2010-03-07 06:53:20
sha මෙහෙම කියනවා :
Is this book available to purchase online? About 20 years ago, I spent three night on the Karaduwa island with some friends. It was one of the most memorable trip in my life. Sad to hear this island is no more there.

කිවුව වෙලාව- 2010-03-07 02:23:22
Podi Wije මෙහෙම කියනවා :
Indika ayata Manjulawe murunga aththe thiyanda one kamata pothe nathi dewal gane wachena godak liyala pathera pituwak purawala, me liyala thiyane dewal Indikage mano vikare kiyala, sihi budiyen pothe kiyawepu ayeta ha Derida kiyawepu ayeta pahadily. kruthiyak hatiyate Bathelangunduwa usas.

කිවුව වෙලාව- 2010-03-06 03:35:21
hashitha මෙහෙම කියනවා :
මට ඇස් කෙවිල්ලක් හැදෙයි. කතා කරුවෙකු වෙහෙස වී සොයා තනා නිමහම් කළ වචන, වාක්‍යාංශ, වාක්‍ය, ඡේද, පරිච්ඡේද කියවන විට මට ඇස් කෙවිල්ල හැදේ.

කිවුව වෙලාව- 2010-03-05 00:30:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඉන්දික උඩුගම්පොලගෙන් තවත් වියමන්
පොත්
හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම
පොත්
මහනාම හාමුදුරුවන්ට යක්ෂණි අභිමුඛවීම
පොත්
වැලන්ටයින්ට සිද්ධාර්ථ මුණගැසීම
අදහස්
නග්න කලාව හා පුරසාරම
පොත්
මධුවිතට පසු සටහන
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook