Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම
බූන්දි, 23:10:40
80 දශකය අවසන් වන්නේ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ තරුණයින්ගේ කැරැල්ලේ දෙවන පරාජයත් සමග තරුණයින් දහස් ගණනකට මරණයත්, දහස් ගණනකට සිරගෙයත් උරුමකරවන මෙම යුගය, තම පරමාදර්ශී සමාජය වෙනුවෙන් ආයුධ අතට ගත් උතුරේ තරුණයින්ටත් මරණයම කැන්දවන වකවානුවක්. ඉච්චාභංගිත දකුණේ තරුණ තරුණියන්ගෙන් රණකාමී තරුණයන්ට, උතුරේ තරුණයින්ගෙන් මව්බිම බේරාගැනිමට නිල ආයුධ පැවරෙන, නිදහස්කාමි තරුණියන්ව නිදහස අහිමි නිදහස් වෙළඳ කලාප වෙත කැඳවෙන යුගයක් ඒක.

තමන්ගෙම වයසෙ තරුණයො ආයුධ අරන් කැරලි ගහන අතරෙ, තමන්ගෙම පරම්පරාවෙ කොල්ලො යුධබිමේ ඇද වැටෙන අතරෙ ඔහු පැත්තකට වෙලා තැපැල්පත් ලිව්වා, ඉතිහාසයේ ගඟ තමා දෙපසින් ගලා බසින අතර හුදෙකලා දිවයිනක තනි වූ මිනිසෙකු සේ. කොල්ලො ආමි එකට යන අතර, කෙල්ලො නිදහස් වෙළද කලාපෙ යන අතර, කොල්ලො කෙල්ලො දෙගොල්ලම ඉංග්‍රීසි, ටයිපින්, කොම්පියුටර්, බියුටි කල්චර් ඉගෙන ගන්න අතර දිනසිරි වර්ග අඟල් කීපෙක පුංචි තැපැල්පතක් තුළ විශ්වයක් ගොඩනැගුවා.
- කුරුලු හදවත පිටුව 155

ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවතේ දිනසිරි කියන්නේ තම ඉතිහාසයත්, උරුමයත් මකා දමා නව සංස්කෘතික ජීවියෙක් ලෙස බෞතිස්මය ලැබිමට තමා විසින්ම නම් කරගත් නාමයකින්, තමා විසින්ම නම් කරගත් ගමක සිට ගුවන් විදුලියෙන් ගීත ඉල්ලා නොකඩවා තැපැල් පත් යවන පාඨකයෙක්. බැලු බැල්මට දිනසිරිගේ භාවිතය තම පරම්පරාවේ අනෙකුත් තරුණ තරුණියන්ගේ භාවිතාවේ ප්‍රතිපක්ෂය වුවත් මනෝ මුලිකව මේ සියල්ලන්ගේ අරමුණ එකයි. හැමෝටම අවශ්‍ය වන්නෙ තමන්ගේ යථා ජීවිතය පිලිබදව තමන් තුල පවතින අතෘප්තියෙන් ගැලවීමට වෙනත් භාහිර පරමාදර්ශයක් සමග අනන්‍ය වීමටයි. මෙය වෙළද පොළ තර්කණය තුල නව පුද්ගලවාදයක් ගොඩනගාගැනිමක්. අනෙකාගේ දෘෂ්ටියෙන් තමාගේ අනන්‍යතාවය සකසා ගැනිමක්. අධිපතිවාදි දෘෂ්ටිය විසින් ඉල්ලනු ලබන රූපයක් තමාට ආරෝපණය කරගැනිමක්. ලෑකැන් ට අනුව මෙය තමාවම තමාගේ පරිභාහිර පරමාදර්ශයක් තුලට ප්‍රක්ශේපණය කර ගැනිමක්. ඔහුට අනුව අපගේ ආශාව හැමවිටම ගමන් කරන්නෙ අනෙකෙක් හරහායි. අනෙකාට මගෙන් අවශ්‍ය කුමක්ද යන ප්‍රශ්ණයේදී මම මා නොවන්නෙකු බවට පත්වෙන අතර එම මා නොවන්නා හරහා අනෙකා මාව හඳුනා ගන්නවා. මම ම අනෙකා බවට පත්වීම හෙවත් අනෙකා මකා දැමීම මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් වෙනවා. අතුරු මුහුණතක් විසින් එකි පුද්ගලයාට සමාජ සම්බන්ධතා ලෝකයේ නියම අන්‍යතාව හා අර්ථය ලබාදීම මගහරිනවා. මම යනු අනෙකාගේ කැමැත්ත වේශනිරූපණය කරන යන්ත්‍රය බවටත් අනෙකා යනු මාගේ කැමැත්ත වේශනිරූපණය කරන යන්ත්‍රය බවටත් පත්වෙනවා. තම යථාව මකා දැමු වේශ නිරුපිත නව සංස්කෘතික ජීවියෙක් මෙහි ඵලය ලෙස උපදිනවා. ඉංග්‍රීසි, ටයිපින්, කොම්පියුටර්, බියුටි කල්චර්, වෙලද කලාප ආදි සියලුම ප්‍රවේශ මග කියන්නේ අතුරු මුහුණතක් සහිත මේ නව සංස්කෘතික ජීවියා උපද්දවීමටයි. රණවිරුවෙක් වෙන එක තමයි සාපේක්ෂව මීට පහසුම මාර්ගය. දිනසිරි තෝරගන්නේ අපහසු මාර්ගයක්. එතකොට ඔහු කරන්නෙත් තම පරම්රාවෙ තරුණයින් වගේම කැරැල්ලක්. එය හුදෙකලා කැරැල්ලක් වුවත් අපේක්ෂිත ඵලය හා එය අත්පත් කරගත යුතු මාර්ගය පිලිබදව සබුද්ධිකව, ඉවසීමෙන් කෙරන විප්ලවයක්. තම පරම්රාවෙ තරුණයින් සබුද්ධික නොවු කැරැල්ලකින් අපේක්ෂිත ඵලය වෙනුවට එහිම නිශේධයත්, මරණයත් උරුම කරගද්දි තම ඉලක්කය පිලිබද සවිඥාණික දිනසිරි නොනවත්වා ගුවන් විදුලියට තැපැල්පත් ලියනවා.

"මාත් ඉස්සර දිනේ වගේම තමයි. කාගෙ හරි මැරුණ කෙනෙක්ගෙ නමක් ගමක් දැක්කොත් ලිව්වා. පිටු දෙසීයෙ සීආරA පොතක තමයි ලිව්වෙ. තව නමක් හොයල ලියන්ඩ තව දවසක් හිටියොත් ඇති කියල තමයි උන්නෙ. මං කොහොමත් පත්තර කියෝනවනෙ. මරලා දාපු හරි පැහැරගෙන ගිය හරි කෙනෙක්ගෙ නමක් ගමක් පත්තරේ තිබ්බොත් ඒක පොතේ ලියනවා."

"මාත් එහෙම තමයි ඉස්සර. හෙටත් පෝස්කාට් එකක් ලියන්න තිබ්බොත් ඇති කියල තමයි හිතං උන්නෙ."

"ඒ විදියම තමයි මාත්" සරත් හිනා උනා.

"ඒ උනාට මං ලිව්වෙ මගෙ නමමයි. සරත් අනුංගෙ නම්. ඒකයි වෙනස"

දිනසිරි කිව්වෙ ජීවිතය පිළිබද නැවත පරීක්ෂා කරන්නෙකුගේ මානසිකත්වයට ඇද වැටුණු බවක් පෙන්නන ස්වරූපයෙන්.

"දෙකම එකයි දිනේ. අනුන්ගෙ නම් පොතක ලිය ලිය මං හෙව්වෙත් මගෙ නමම වෙන්ඩැති. නං එක්දාස් ගාණක් මං එකතු කෙරුවා." යැයි කියන විට සරත්ගේ මුහුණේ ඇතිවූ දීප්තිය ඉස්සර රේඩියෝ එකෙන් කුරුලුගංගොඩ නම කියවෙන විට තමන්ට ඇති වූ සතුට දිනසිරිගේ සිහියට ගෙනාවා.

- කුරුලු හදවත පිටුව 232-233

දිනසිරිගේ ඉවසිලිවන්ත හුදෙකලා කැරැල්ල අවසන් වන්නේ එතෙක් වලංගංගොඩ ලෙසත්, විටෙක බඩහැලගංගොඩ ලෙසත් හැදින්වු ගම කුරුලුගංගොඩ නමින් අභිශේක ගැන්වීමෙන්. ඊට සමගාමීව වලං තනමීන් සිටි තරුණයෙක් කුරුලු ගංගොඩ නමින් ජනප්‍රිය නව සංස්කෘතික ජීවියෙක්ව උපදිනවා. නමුත් මෙම ජනප්‍රිය නව සංස්කෘතික ජීවියාව, නව ජනප්‍රිය සංස්කෘතිය ව්සින්ම ගිලගැනිමට ඇති අවධානම පිලිබදව මේ දිනසිරි දැනුවත් නැහැ. අලුතින් ආරම්භවු ජනප්‍රිය සංස්කෘතියෙ නව ගුවන් විදුලි සේවයට බදවාගැනිම තමා ගුවන් විදූලියට නොකඩවා ලිවීමෙන් පෙන්වන ලද අකලංකභාවයට පුදන ලද තිලිණයක් හැටියට දිනසිරිට පෙනෙන්නේ ඒ හින්දයි.

"සිල්ලර බඩු වෙළෙදාමෙන් ධන කුවේර වූ බිග්එම් සමාගම මියුරු එෆ්එම් ගුවන්විදුලිය ආරම්භ කරද්දී ජනමාධ්‍ය යනු භාණ්ඩ විකිණීමට භාවිත කළ හැකි උපකරණයක් පමණක් නොව විකිණිය හැකි භාණ්ඩයක්ද බවට පත්වන බව වටහා ගෙන තිබුණා. කතා කිරීම, සිනාසීම, විහිළු කිරීම, ගායනය යන සියල්ල විකිණිය හැකි පුංචි පුංචි භාණ්ඩ ජාතියක් බව සමාගමට තේරුණා. මේ ආයෝජනයට උපදෙස් දෙන කණ්ඩායමේ අදහස වූයේ සිතීමට වඩා කතා කිරීම රසවත් වන කාලයක් හා විහිළුවක් කියන්න කලින් හිනාවෙන කාලයක් ළග එන බවයි."
- කුරුලු හදවත පිටුව 166

නව ගෝලීය ධනවාදයේ ප්‍රාග්ධන හැසිරීම පිලිබද සවිඥාණික නොවන දිනසිරි ගුවන් විදූලි සන්නිවේදකයෙක් ලෙස තමන්ගේ රාජකාරිය ලෙස විශ්වාස කරන්නේ තම පරමාදර්ශය වු ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පන්නයේ ගුවන් විදූලි සංනිවේදනයක්. නමුත් දිනසිරිගේ ගැමිකම යනු අලෙවි කල හැකි භාණ්ඩයක් බැව් දන්නා බිග්එම් සමාගමේ වෑයම මියුරු එෆ්එම් හරහා කුරුලු ගංගොඩ නැමැති මාධ්‍ය ප්‍රතිරූපයක් ගොඩනැංවීමටයි. මෙම නව මාධ්‍ය ප්‍රතිරූපය උත්කර්ෂ ගැන්වීම හරහා විටෙක ගොවියෙකුටත්, විටෙක ආරච්චි කෙනෙකුටත්, විටෙක මුදලාලි කෙනෙකුටත්, විටෙක කුලි කාරයෙකුටත්, විටෙක ඉඩම් හිමියෙකුටත් ආදි ඕනෑම චරිතයකට දිනසිරිව ආරුඨ කර භාණ්ඩ විකිණිය හැකි වෙලද ප්‍රවර්ධකයෙක් ලෙස උපයෝගිකරගත හැකි ආකාරය පිලිබද මොවුන් දැනුවත්.

"අංග රචනා ශිල්පියා දිනසිරිගෙ අතට පොඩි කණ්නාඩියක් දීල මූණෙ රැලි අදින්න පටන් ගත්තා. රැළි නළල. ඇස් යට රැළි. කණ්නාඩියෙන් බලාගෙන ඉද්දිම තමන් වයසට ගිහින් ආරච්චිරාළ වෙනවා දිනසිරිි බලාගෙන පුංචිකාලෙ හැංගිමුත්තං කරන්න දොරමුල්ලෙ හැංගෙන පුංචි කොල්ලෙක් වගේ.

"මං නං ඔන්න ගොඩට මඩට දෙකටම ගහන්නෙ අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත කාලෙ ඉදලම එන අපේ ජාතියේ උරුම කරුම බේත් ජාති දාලා හදාපු ඉස්මාට් පෝර. හෙළ ජාතියට බත සපයන ඉස්මාට් ඇග්රො පෝර."

මුවන් පැලැස්සෙ ආරච්චිලට කිට්ටු ඒ කටහඩ අතීත ගමක ඉදල එන එකකට වඩා අතීත ගුවන් විදුලි නාට්‍යයක ඉදල එන මහලු කටහඩක් වගෙයි සරත්ට ඇහුණෙ."

- කුරුලු හදවත- පිටුව 332

සංස්කෘතිය යනු වෙලදපොළක් බව මුලින්ම වටහාගත් දාර්ශනිකයා වුනේ වෝල්ටර් බෙන්ජමින්. ෆැන්ක්ෆර්ට් ගුරුකුලයේ මාක්ස්වාදි චින්තකයින් නමසිය තිස් ගණන් වලදි සංස්කෘතික වෙළඳාම (Culture Industry) හැටියට හඳුනා ගත් මෙය කල එලි බසින්නේ 80 දශකයේ දී ඇමරිකාවේ රොනල්ඩ් රේගනුත්, බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචරුත් සංස්කෘතික ක්ෂේත්‍රයට නිදහස් වෙළඳාම ඇතුළු විය යුතුයයි තීරණය කරනවාත් සමගයි. ඒ එක්කම බ්‍රිතාන්‍යයෙත්, ඇමරිකාවේත් සුප්‍රකට ටෙට් ගැලරියත්, තවත් කලාත්මක සමාජ ආයතනත් නඩත්තු කිරිමට විශාල වශයෙන් පුද්ගලික ව්‍යවසායන් අනුග්‍රහකයන් වශයෙන් ඉදිරිපත් වුනා. සමාජ විද්‍යාඥයෙක් වන පියරේ බොදියුගේ මතය තහවුරු කරමින් වාණිජ ව්‍යාපාරවල ප්‍රභුන් සිය ව්‍යාපාරයන් සතු ප්‍රාග්ධනීය බලය සංස්කෘතික ක්ෂේත්‍රය තුල ආයෝජනය කරමින් සංඛේතීය ප්‍රාග්ධනය වර්ධනය කර ගන්නත්, එසේ තර කරගත් සංකේතීය ප්‍රාග්ධනය නැවත ආයෝජනය කිරිමෙන් තම ව්‍යාපාරවල මුල්‍ය ප්‍රාග්ධනය ප්‍රසාරණය කරගන්නත්, සමගාමීව තම තමන්ගේ පුද්ගලික හා සමාජ තත්වය වර්ධනය කරගන්නත් යුහුසුළුව පෙලඔුනා. 90 දශකයෙදි මේ ප්‍රවාහය ශ්‍රි ලංකාව නම් කොදෙව්ව ආක්‍රමණය කරනවාත් සමගම මෙම නව සංස්කෘතික වෙලදාමට දේශීය ආයෝජකයින් අවතීර්ණ වුනා. ආයෝජනය දේශිය වුවත් අරමුණ ලාභය කේන්ද්‍ර වූ වෙළඳ පොළ ගැට ගැසි තියෙන්නේ ගෝලිය ප්‍රාග්ධනය එක්කයි. ප්‍රාග්ධනයේ ගෝලියකරණය දේශිය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වෙළඳ පොළ තුල සංස්කෘතිය පෞද්ගලිකකරණය හරහයි. සියල්ල තීන්දු කරන මහා පොදූ සාධකය ප්‍රාග්ධනය වු මොාහාතක, එවැනි සමාගමක සේවකයෙක් වු දිනසිරිට පැවරෙන යුගයේ කාර්යභාරය තමන්ගේ පරම්රාවේ තරුණයින් ජීවිත පරිත්‍යාගයෙන් කැරැල්ලක් හරහා වෙනස් කරන්නට උත්සහ දැරු ක්‍රමයම උත්කර්ෂයට නංවා එය පවත්වාගෙන යෑමට සක්‍රීය දායකත්වය ලබා දිමයි.

"දිනේ, මියුරුඑෆ්එම් කාරයොයි. එයාලට දැන්වීම් දෙන සමාගමුයි. එව්ව පිටිපස්සෙ ඉන්න දේශපාලකයොයි ඔයාගෙ වචන මාලාව යොදා ගන්නෙ උන්ගෙ ව්‍යාපෘති ගමට ගෙනියන්න. විවෘත ආර්ථීකේ වැඩකොටස සම්පූර්ණ කරන්න. මං මේ විවෘත ආර්ථීකේ කියන්නෙ ගෝලීය ප්‍රාග්ධනයට මිසක් වෙන දේකට නෙමේ. (ගෝලීය ප්‍රාග්ධනය කියන්නෙ ජේ ආර් ගෙ වැරැද්දක් කියලනෙ ගොඩක් අය හිතන්නෙ. ඒ හින්දා ජේ ආර් ට බැණ බැණ ගෝලීය ප්‍රාග්ධනයටම සේවය කරන්න පුළුවන්)"
- කුරුලු හදවත පිටුව 296

ගෝලියකරණය කියන්නේ සංස්කෘතිය ආනයන අපනයන කිරිමේ ක්‍රියාවලියක්. සංස්කෘතිය පෟථිවිකරණයවීම හෝ ගෝලියකරණයවීම යනුවෙන් අදහස් කරන්නේ සංස්කෘතිය ධනේෂ්වර ලෝකයක් තුළට ඇතුල් වීමයි. මෙය ව්‍යුහගත වී ඇත්තේ පසුගිය දශක කිහිපය තුළ අතිමහත් වර්ධනයක් අත්පත් කර ගත් සංදේශ තාක්ෂණයත්, ලෝක වෙළෙඳ පොළ නම් පෝෂිතයත් අතර ද්විඝට්ඨනාත්මක මුහුන් වීමක ප්‍රතිඵලයකින්. ආර්ථික ප්‍රාග්ධනය උපයෝගී කර ගෙන සංස්කෘතික ප්‍රාග්ධනය සීමිත පුද්ගල අවශ්‍යතාවක් වෙනුවෙන් හැසිරවීම හෙවත් කේන්ද්‍රීය රටවල අධිපතිවාදී මතවාදයට පරිධියේ රටවල් ගොනුකර ගැනීමේ සංග්‍රාමය කියන්නෙ ලෝක බලවතුන් තුන්වන ලෝකයේ ජාතික රාජ්‍යයන් ආක්‍රමණය කිරිමේ නව ප්‍රවේශයයි. නව වෙළෙඳ පොළක් ඉලක්ක කරගත් මෙම නව යටත් විජිතකරණය ව්‍යාපෘතියේදි සංදේශ තාක්ෂණය මතවාදී මෙවලමක් (Ideological State Apparatus) ලෙස සුක්ෂමව භාවිතයට ගැනෙනවා.

"කිරි පිටි ආනයන සමාගම් ඒ කිරි ගමේ කිරි බව කියන්නට, සුවද සබන් නිෂ්පාදන සමාගම් ඒ සබන් ගැමි සුවද විහිදුවන බව කියන්නට, කෘෂි රසායන ආනයන සමාගම් ඒවා දේශීය ගුණපණ ඇති තෙල් බව කියන්නට ඉල්ලන තාරකාව බවට පත් උනේ කුරුලු ගංගොඩ"
- කුරුලු හදවත - පිටුව 189 - 190

භයංකාර ලෙස ද්‍රව්‍යමය පදනම් බිදවැටෙන සමාජයක අධ්‍යාත්මික සංස්කෘතියේ පැවැත්මත් නිශ්චිතම අභියෝගයට ලක්වෙන බව මේ දිනසිරි ක්‍රමයෙන් තේරුම් ගන්නවා. යථාව ෆැන්ටසීකරණය කිරීම වෙළද පොළ ඉලක්කය සපුරා ගැනිමට අනිවාර්ය කොන්දේසියක් බවත්, තමනුත් යථාවක් නොව මාධ්‍ය ගොඩනැගු නිර්මිතයක් වු කල තමාගේ පැවැත්ම ඇත්තෙත් මෙම ෆැන්ටසිය නඩත්තු කිරිම ඔස්සේම පමණක් බවත් ඔහු අවබෝධ කරගන්නවා. යථාවට අභිමුඛ විම වෙනුවට ෆැන්ටසිය වැළඳ ගැනිමත්, එම ෆැන්ටසිය යථාව ලෙස බාර ගැනිමත් එකම විකල්පය බව ඔහුට හැෙඟනවා. කුරුලු ගංගොඩ යනු භෞතිකයක් නොවන බවත්, නොඉඳ ඉදීම (being without being) යනු තම යථාව බවත් ඔහු තේරුම් ගන්නවා. හේගලියානු දයාලෙක්තිකයට අනුව අවසාන සංකල්පීය විග්‍රහයෙදි ස්වාමියා යනු වහලාගේම නිර්මිතයක් යන්න මේ අනුව සත්‍යය වෙනවා.

"ස්මාර්ට් ඇග්‍රෝ ප්‍රචාරණ ව්‍යාපෘතිය තුළ ඔහු භාවිත කළ 'දේශීය', 'මව්බිම', 'සුජාත', 'මව් පොළොව', 'ජාතියේ විරුවන්ගේ සිංහල ලේවලින් පෝෂිත මව්බිම', 'පවිත්‍රත්වය', 'පිරිසිදුගම', 'නිරෝගී පැරණි හෙළයා' ආදී යෙදුම් ජාත්‍යන්තර නොවන සමාගම්වලින්ද ඉල්ලුමක් ආවා. 'නියම ජාතිකත්වයේ පපඩම්', 'සුජාත දේශීය බීඩි', 'නොඉඳුල් සිංහල හාල්', 'විජාතික නොවන විස්කෝතුවක්', 'ගමෙන් ගෙනා නූඩ්ල්ස්', 'දේශීයත්වයේ සුවද රැඳුණු මදුරු දඟර' මේ සියලු දැන්වීම් සදහා කුරුලු ගංගොඩගේ කටහඬ හා රූපය නැතිව බැරිවීම නිසා දියවන්නා ඔය අසබඩින් ඔහුගේ නිවස අහස එල්ලේ ඉහළ නැග්ගා."
- කුරුලු හදවත පිටුව - 251 - 252

දිනසිරිත් සවිඥාණිකව දායක වන යථාව ෆැන්ටසීකරණය කිරිම නැමැති මෙම විකෘතිකර භාවිතය මග කියන්නේ යථාව මඟ හැර, යථාව ලෙස වෙස් ගැන්වු පරිකල්පනාත්මක මානව විද්‍යාවක් (Imaginative Anthropology) ගොඩ නැංවීමටයි. කිසියම් සමාජයක අතීතකාමය නැමැති හැඟීම වෙළඳපොළ අරමුණක් වෙනුවෙන් සුක්ෂමව කුළුගන්වා ගැනීමේ ව්‍යාපෘතියේ ඵලය ලෙස එවිට ජනමාධ්‍ය ඔස්සේ අපට මුණගැසෙන්නේ යථාවෙ නොමැති 'ශ්‍රේෂ්ඨ රටක්', 'විශිෂ්ට ජාතියක්', 'පිරිසිදු ගමක්', 'නිර්මල දහමක්', 'ප්‍රෞඪ සංස්කෘතියක්', 'අභිමානවත් අතීතයක්'. මෙම ෆැන්ටසිය යථාවක් ලෙස සමාජගත කිරිම තමයි මෙම නව කාර්තුවෙ මාධ්‍යයේ වගකීම ලෙස හඳුනාගෙන තියෙන්නේ. මිනිස් විෂය මියයෑම වෙනුවට පවත්වාගෙන යැමට දායක වීම තමයි ෆැන්ටසියේ කාර්යය.

"දිනේලගෙ වැඩසටහන් වලින් ගම, සිංහලකම, ජාතිය, දේශය අරව මෙව්ව පුදුම විදියට උත්කර්ෂයට නංවලා ඉතාම ගතානුගතික චින්තනයක් තමයි පතුරවන්නෙ. ජාතිවාදියෝ පාවිච්චි කරන්නෙත් ඔය වචනමයි."

"අපේ දේවල් අගය කරන එක හොද නැද්ද?" දිනසිරි ඇහුවෙ තරහෙන් නෙමේ.

"හොදයි! මොකද නැත්තෙ! අගේ කරන්නෙ අපේ ඇත්තම දේවල්ද? අගේ කරන දේවල් ඔක්කොම අපේද? අපි කතා නොකරන හොද දේවල් කොච්චර තියෙනවද? අපි හොදයි කියන දේවල් ඔක්කොම තියෙන්නෙ ගමේද? නැත්නම් අතීතෙද? ඔය වගේ ප්‍රශ්ණ තියෙනවා. මං මේ කියන්නෙ දිනේල ගැන විතරක් නෙමේ. අපිම කරපු දේශපාලනෙත් ඒ වගේ. මං අවුරුදු ගාණක් හිරේ ගියේ 'සුජාතගම', 'පිරිසිදු ගම', 'ජාතිය', 'දේශය', 'මව් රට' අරවා මේවා කියලා අපි හඳුන්නපු මොකක්ද දෙයක් රකින්න. ඇත්තටම එහෙම දෙයක් තිබුණද? තිබුණා නම් ඒක රැක්ක පමණින් මනුෂ්‍ය ප්‍රශ්ණ විසදෙනවද ඔය මොකක්වත් හිතුවෙ නෑ."

- කුරුලු හදවත පිටුව 283

ජනමාධ්‍ය හරහා යථාව ෆැන්ටසීකරණය කිරිමේ මුඛ්‍ය අරමුණ වෙළදපොළ ඉලක්කය ජයගැනිම වුවත්, එවැනි ෆැන්ටසියක් යථාවක් ලෙස බාරගත් සමාජයක් මුහුණ දෙන ව්‍යාකූලතා දෘශ්‍යමානයට එන්නේ තවත් සංකීර්ණතා රැසකට මඟ කියමින්. 'ශ්‍රේෂ්ඪ රට', 'විශිෂ්ට ජාතිය', 'පිරිසිදු ගම', 'නිර්මල දහම', 'ප්‍රෞඪ සංස්කෘතිය', 'අභිමානවත් අතීතය' ආදි යථාවේ නොපවතින්නක් අත්පත් කරගැනිමට සමාජය මෙහෙයවීම තමන්ගේ යුගයේ කාර්යභාරය ලෙස හඳුන්වා ගත් තක්කඩින් පිරිසක් මීට සමාන්තරව කල එලි බසිනවා. මානවීය අනාගතයක් පරිකල්පණය කිරීම වෙනුවට අතිතයේ තිබුනායැයි කියන කල්පිතයක් යථාවක් කිරිමට වෙහෙසෙන මෙම කණ්ඩායම් පිටුපස ඇත්තේ වෙළදපොළ අරමුණ වගේම සුක්ෂම දේශපාලන ව්‍යාපෘතියක්. ඊනියා දේශිය චින්තනය නැමැති මිත්‍යාව / ෆැන්ටසිය වැපිරිම තුළ තමයි මේ අයගේ පැවැත්ම තියෙන්නෙ.

"නෑ මං කිව්වෙ අපි කැරැල්ල ගහන්න පාවිච්චි කරපු වචනම අරගෙන කෘෂි සමාගං, සබන් සමාගං, රෙදි සමාගං ගමට එනවා, විප්ලවේ කරන්නෙ අපිද එයාලද කියලා හිතන්න බැරි විදියට. අනික් පැත්තෙං ඒ වචනම පාවිච්චි කරකර ජාතිකවාදියො පෙළපාලි යනවා." සරත් අඳුර දෙස බලා ගෙන කිව්වා."
- කුරුලු හදවත - පිටුව 285

ගෝලීය ප්‍රාග්ධනය හා ඊනියා දේශිය චින්තනය පැවතිය හැක්කේ ආන්තික ප්‍රතිපක්ෂ තුල වුවත් මෙම නව කාර්තුවෙ මේවා පවතින්නෙ අත්‍යන්ත සහසම්බන්ධතාවක් හා අන්‍යොන්‍ය අවබෝධයක් තුලයි. එකිනෙකාට අනෙකාගෙන් තොර පැවැත්මක් නොමැති මෙහි ඇත්තේ එකිනෙකාගෙන් එකිනෙකා පෝෂණය වන ආකාරයෙ පරායත්ත සම්බන්ධතාවයක්. එතකොට මෙම ඊනියා දේශිය චින්තනයක් කරපින්නාගත් නව ජාතිකවාදින්ගේ උපක්‍රමය තමයි යථාවෙ නැති 'ශ්‍රේෂ්ඨ රට', 'විශිෂ්ට ජාතිය', 'පිරිසිදු ගම', 'නිර්මල දහම', 'පෞඪ සංස්කෘතිය', 'අභිමානවත් අතීතය' ආදිය විනාශ කරන විදේශීය කුමන්ත්‍රණ හා සතුරු බලවේගයන්ගෙන් ආරක්ෂාකරන ජාතික පවුර ලෙස පෙනිසිටීම. මෙම භාවිතාව තුල අනිවාර්යයෙන්ම උත්කර්ෂයට නැංවෙන ජාතික ඇඳුම, කහ සිවුර, කුරහන් සුවද, උඩු රැවුල, ගුරු පැහැ සාඨකය ආදිය ප්‍රවර්ධනය කර ඒවා ජනතාවගේ මනාප බවට පෙරලා මැතිවරණ ජයග්‍රහණය කිරිමෙත්, එම ජයග්‍රහණය නඩත්තු කිරිමෙත් සුත්‍රය පිලිබද මොවුන් අතිශයින් සවිඥාණිකයි. මෙය ප්‍රශ්න කරන්නන් දේශද්‍රෝහින් ලෙස හදුන්වා, ඔවුන්ගේ පැවැත්ම අහෝසි කර දැමිමට 'නොනිල පොලිසි' බවට පත්වන්නට තරම් එතකොට මෙහි 'මහජනතාව' බලවත්.

"ඊටත් වඩා භයානක දෙයක් මට පේනවා. ඔයා ජනප්‍රිය කරපු වචන මාලාව ඉතාම දරුණු ජාතිවාදින්ගෙත් සටන් පාඨ වීම. අපි කාටත් මේ අනතුර දැන්ම පේන එකක් නෑ. සියලු දෙයින් සම්පූර්ණ පිරිසිඳු, සුජාත, ධාර්මික, සාමකාමී ගමක් අපට තිබුණා කියන කතන්දරේ දේශපාලකයොයි, බිස්නස්කාරයොයි, කලාකාරයොයි ඔක්කොම කියනවා. පහුගිය කාලෙ ලෝක ඉතිහාසෙ අරන් බැලුවොත් පේන එකක් තමයි ලෝක අධිරාජ්‍යවාදියො එන්නෙ ජාතිය ගැන කතා කරන ඔය වගේ එවුන්ට මුවා වෙලා. යටත් විජිත යුගයෙදි අධිරාජ්‍යවාදියො ඉගෙන ගත්ත හොද පාඩමක් තමයි ඒක.

යටත් විජිත යුගයෙන් පස්සෙ අධිරාජ්‍යවාදීන්ට ජාතිකවාදීන්ගෙන් වැඩ දෙකක් ගන්න පුළුවන්. එකක් උන්ට මුවාවෙලා ධනවාදෙ පතුරුවන එක. අනික උන් ලව්ව සියලුම සමාජ ප්‍රතිසංස්කරණවාදින්ට ගස්සන එක. විජාතිකයො, දේශද්‍රෝහියො අරක මේක කියල සියලුම ආකාරයේ සමාජවාදීන්ව නිහඬ කරන්න පුළුවන්. යන්තම් හරි කොමියුනිස්ට් අදහස් තියෙන සමාජවාදින්ව විනාශ කරන්න ඇමරිකන් අධිරාජ්‍යවාදියො දැන් පාවිච්චි කරන්නෙ සංස්කෘතික ජාතිකවාදින්ව."

- කුරුලු හදවත- පිටුව 296 - 297

තමාගේ 'ජනමූල සන්නිවේදනය' සේවය කර ඇත්තේ මෙවැනි විකෘතියක් බිහිකිරිමට බව දිනසිරි තේරුම් ගන්නා විට ඔහු තුළ ඇතිකරන්නේ තදබල කම්පණයක්. ඔහුට මෙයින් පලායෑමට උවමනා වුවත් එය එසේ පහසුවෙන් ගැලවී යා නොහැකි උගුලක්. මෙම ක්‍රමයෙන් පලායෑමේ ඔහුගෙ උවමනාව ඉඟිවන පලමු මොහොතේදීම බිග්එම් සමාගම සිදුකරන්නේ කුරුලු ගංගොඩට වෙනත් මාධ්‍ය ප්‍රතිරූපයක් අභිමුඛ කර මෙම නව ප්‍රති වීරයා හරහා පැරණි වීරයා අහෝසි කර දැමිමට කටයුතු කිරිමයි. කුරුලු ගංගොඩ නැමැති මාධ්‍ය ප්‍රතිරූපයට පැවැත්ම ඇත්තේ භාහිරය විසින් එම ෆැන්ටසිය ඉල්ලා සිටින තාක් පමණයි. මෙම ඉල්ලා සිටීම තීන්දු කරන එකම සාධකය මාධ්‍යම බැවින් එම ෆැන්ටසියට ඉල්ලුම ඇත්තේ මාධ්‍ය විසින් දී ඇති රූපය වෙනුවෙන් පෙනීසිටින තාක් පමණයි. යමෙකුට යම් මතවාදයක් තුල තමන්ගේ පුද්ගලභාවය අරුත් ගන්වා ගැනිමට නම් ඔහු හෝ ඇයගෙන් පිටත ලෝකය තුල එකි මතවාදයේ පරමාදර්ශයක් පැවතිය යුතු වුවත් එම පරමාදර්ශය ලෙසත් හැමවිටම මුණගැසෙන්නෙ ෆැන්ටසි ගැන්වු ප්‍රතිරූපයක් නිසා පෙරකී පුද්ගලභාවය කොයි මොහොතක හෝ අභියෝගයට ලක් වීම අනිවාර්ය කාරණාවක්.

"මෙව්ව බිස්නස් විදියටම කිරීමෙන් විතරයි විප්ලවේට දායක වෙනව නං දායක වෙන්න පුළුවන්. මේව විප්ලව විදියට කරන්න හදන එකම විප්ලවේට කරන හතුරුකමක්" කුමුදු කිව්වෙ ස්ථිර න්‍යායික ප්‍රකාශයක් වගේ. විප්ලවීය කොමියුනිස්ට් සංගමයේ සහෝදරවරුන්ගෙන් උගත් දේශපාලන පාඩම් කුමුදුට මතක් වෙමින් තිබුණා."
- කුරුලු හදවත පිටුව 346

පශ්චාත් ව්‍යුහය ගොඩ නොනැගුණු අවවර්ධිත දේශයකදි මාධ්‍යයට කරන්න පුලුවන් බලපෑමෙ බරපතලකම තමයි මේ විදිහට දෘශ්‍යමානයට එන්නෙ. වළං තනමින් සිටි තරුණයෙක් කුරුලු ගංගොඩ නමැති මාධ්‍ය වීරයෙක් කර ඔහු හරහා වෙළඳ පොළ අරමුණ කරා යන්නත්, අවශ්‍ය විටෙක එම මාධ්‍ය විරයාව කළුබඩහැලයාට, අර්සබඩහැලයාට නෑකම් කියන වලං තනන්නෙක් බවට නැවත පත්කර ඒ මගින් උදාවන නව වෙළඳපොළ ජයගන්නටත් හැකි ආකාරයට මාධ්‍යයේ භාවිතාව අතිශයින් සුක්ෂමයි. දිනසිරි දීර්ඝකාලින වෑයමකින් අභිෂේක කරන ලද කුරුලුගංගොඩ නැමැති ග්‍රාමය නැවත වළංගංගොඩක් කරන්නටත්, එහි වළං නොතනන්නනුත් වලං තනන්නන් බවට පත් කරන්නටත් මාධ්‍යයට ගතවෙන්නේ එක් නිමේශයක්. සබුද්ධික නොවු ජනකණ්ඩායමක් තමන්ගේ භාහිරින් ඇති පරමාදර්ශයකට තමාව ප්‍රක්ශේපණය කර, තම යථාවෙන් පැන යන්න උත්සහ කිරිම යථාර්තය වු මොහොතක මාධ්‍යයට තම අරුමුණු ජයගන්න එම ජනතාව මෙහෙයවීම ඉතාමත් පහසු කාර්යයක්. අධ්‍යාත්මිකව මියගිය එවැනි ජාතියකට කරන්නට ඉතිරිව ඇත්තේ භාහිරය විසින් ඉල්ලා සිටින විවිධ අතුරු මුහුණත් වලට අවස්ථානුකුලව ආරුඪ වී භාහිරය විසින් ඉල්ලා සිටින තාක් කල් එය ජීවත් කරවීමට හුස්ම පිඹිම පමණයි.

"අරූ දෙපොළෙම වැඩ කරන්නෙ කොහොමද?"

"දෙපොළෙම?"

"රාජ්‍ය ප්‍රතිසංස්කරණ, ගැටුම් අවම කිරීම වගේ දේවල් කරන තැනකයි- බොල් ජාතික වචන විකූණන තැනකයි?"

"මල්ලි, සිංහලයා තමයි කතරගම දෙවියන්ගෙ නියම දරුවා දෙමළා නෙමේ. අපි තමයි හරියටම දන්නෙ එක එක තැනට එක එක මූණ පෙන්නන විදිය. අත් දොළහ විතරක් නං හොල්ලන් නෑ."

- කුරුලු හදවත - පිටුව 365

පසු සටහන:
දිනසිරි කුරුලුගංගොඩ නැමැති සංයුක්ත රූපය හරහා ප්‍රක්ශේපණය වන්නේ වෙළද පොළ තර්කණය තුල අන්‍ය රූප බවට පත්වු සමාජයක උඩුකුරු තෙරපුම බැවින් දිනසිරි කුරුලුගංගොඩ නැමැති සාධකය විග්‍රහ කරගත යුතු වන්නේ සංයුක්ත අර්ථයකින් නොව සංකේතිය අර්ථයකින්. අතුරු මුහුණත් වලට ආරුඪ වී යථාවෙන් පැන යෑම සමාජයෙ මහා පොදූ සාධකය වු මොහොතක, ශ්‍රී ලංකාව නමැති එකී සාමාජිකයින්ගේ දේශයත් විග්‍රහ කරගත යුතු වන්නෙ සංයුක්ත අර්ථයකින් නොව, විටෙක වලංගංගොඩ ලෙසත්, විටෙක බඩහැලගංගොඩ ලෙසත්, විටෙක කුරුළුපාළුව ලෙසත්, විටෙක කුරුලුගංගොඩ ලෙසත්, විටෙක අපේ ගංගොඩ ලෙසත්, අවශ්‍ය විටෙක නිකම්ම ගංගොඩ ලෙසත් වෙස් ගන්වා අර්ථ ගැන්විය හැකි භුමියකට පර්යායව පිහිටවු රාජ්‍යයක් ලෙස සංකේතිය අර්ථයකින්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kurulu Hadawatha by Liyanage Amarakeerthi, Sinhala Novel Review
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඉන්දික උඩුගම්පොලගෙන් තවත් වියමන්
පොත්
මහනාම හාමුදුරුවන්ට යක්ෂණි අභිමුඛවීම
පොත්
වැලන්ටයින්ට සිද්ධාර්ථ මුණගැසීම
පොත්
අවජාතක තාරුණ්‍යය බත්තලංගුණ්ඩුව ට පලා යෑම
අදහස්
නග්න කලාව හා පුරසාරම
පොත්
මධුවිතට පසු සටහන
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook