Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
වැලන්ටයින්ට සිද්ධාර්ථ මුණගැසීම
බූන්දි, 22:35:25
දෙවන ක්ලෝඩියස් රෝම අධිරාජ්‍යයාගේ පාලන කාලයේදී ඔහුට තිබුණ ලොකුම අභියෝගය තමයි, තම යුද්ධමය අවශ්‍යතාවට සරිලන මහා සේනාංකයක් සෑදීම සඳහා හමුදාවට බැඳෙන්න පිරිමි රෝමානුවන් ඉදිරිපත් නොවීම. කේන්ද්‍රීය විෂයය සම්බන්ධයෙන් ගන්නා තීන්දු වලදී ලෝකයේ බොහෝ පාලකයන්ගේ මුග්ධත්වය නැවතත් තහවුරු කරමින්, රෝම අධිරාජ්‍යයාටත් මෙයට විසඳුම හැටියට පෙනුනේ ලාංකීය භාවිතාවේදී වගේම කැකිල්ලේ උපාය මාර්ගයක්. ඔහු නියෝගයකින් සියලුම පිරිමින්ට විවාහය තහනම් කළා. ඔහු සිතුවා ගැහැණිය අහිමි පිරිමියාගේ ඊළඟ ආශක්ත භාවය රණබිමට කියලා. ප්‍රේමය වෙනුවට අසිපත.

මේ අහිමි කිරීම් තුළ ජනිත වන ආතතිය විශාල අර්බුදයක් කරා යොමු වන්න තියෙන අවදානම දැකපු පුද්ගලයෙක් හිටියා. ඔහුගේ නම වැලන්ටයින්. කතෝලික පූජකයෙක්. කේන්ද්‍රීය විෂයට ඇති ආශක්තභාවය වැඩිවීම හා අසම්මත ප්‍රවේශයක් හරහා එය ලබා ගැනීමට දරන උත්සාහය වාරණයේ මූලික ස්වරූපයක්. එය යතුරු සිදුරෙන් එබී බලන ප්‍රවේශයක්. රෝම අධිරාජ්‍යයා පිරිමින්ට විවාහය වාරණය කිරීම තුළ නියත වශයෙන්ම දිරිගන්වන භාවිතාව තමයි, දෙවියන් ඉදිරියේ සිදුවන විවාහ බන්ධනයකින් තොර අඹු සැමි ඇසුර. මේක දේව ධාර්මිකව පවක්. වැලන්ටයින් කතෝලික පූජකයෙක්. ඔහුගේ වගකීම ජනතාව පවෙන් මුදවා ගැනීම. ඔහු සමාජ වගකීම හා දේව රාජ්‍යය වෙනුවෙන් තීන්දුවක් ගන්නවා. ඔහු පෙම්වතුන් හොරෙන් විවාහ කරවීමට පටන් ගන්නවා. ඔහු වෙනත් විදියකට කරන්නේ, නිවහල් ප්‍රේමාන්විත හැගීම් හුවමාරුවකට පුද්ගල ජීවිත තුළ ඇති අවිඥානික සමාජීය බාධකය-

-දෙවියන්ට ප්‍රසන්න විවාහ බන්ධනයක් මගින් අහෝසි කරන,පහසුකම් සපයන්නෙකුගේ භූමිකාවට එළඹීම.

නමුත් මේ භාවිතාව තුළ වැලන්ටයින් රාජ්‍ය විරෝධියෙක් බවට පත්වෙනවා. ලංකාවේ දී වගේම රෝමයේදීත් පාලකයාට හා ඔහුගේ දේශ හිතෛශී මාංශභක්ෂකයන්ට අනුව, මෙය හමුදා විරෝධී කුමන්ත්‍රණයක් ලෙසට ලඝු කෙරෙනවා. යුද්ධයෙන් තොර පැවැත්මක් නැති පාලකයාටත් ඔහුගේ ත්‍රස්ත විරෝධී රණකාමී සහපිරිවරටත් අනුව, මෙය හමුදාවේ 'මොරාල් එක' බස්සන විරුද්ධවාදීන්ගේ දේශද්‍රෝහී මරඋගුලක් වෙනවා. අන්තිමේදී දේව නීතිය ඉක්මවා ගිය රෝම නීතිය තුළ වැලන්ටයින් සිරකරුවෙක් වෙනවා. සමාජීය වගකීම් වෙනුවට යුද්ධය පරමාදර්ශය වූ දේශයක ඔහු රාජ්‍ය විරෝධියෙක්, හමුදා විරෝධී කුමන්ත්‍රණ කරුවෙක් හැටියට හිරගෙට යැවෙනවා. මිය යන තුරුම ඔහු මේ චෝදනා යටතේ සිරකරුවෙක්.

රෝම නීතියට අනුව මේ රාජ්‍ය විරෝධියා, කාලයකට පස්සේ රෝම වතිකානුවට අනුව ශුද්ධවන්තයෙක් වෙනවා. රෝමයේ යුධ විරෝධී කුමන්ත්‍රණකරුවා සකල ලෝකවාසීන්ගේ ප්‍රේමයේ නාම සාන්තුවරයා බවට පත්වෙනවා. යුධවාදී දේශයක වැලන්ටයින්ගේ ප්‍රේමාන්විත සමාජ වගකීම මරණින් පසු උත්කර්ශයට නැංවෙන ගමන් ඉතිහාස ගතවෙනවා.

මේ වැලන්ටයින් සාන්තුවරයාගේ කතිකාව, පසුකාලිනව සමාජගත වන්නේ අන් හැමදේකදීම වගේ පරමාදර්ශ අර්ථයකින් නෙමේ. එහිම නිෂේධනාත්මක ප්‍රවේශයකින්. මාධ්‍ය විසින් අධිනිශ්චය කරන ලද වැලන්ටයින් දිනය හරහා ශුද්ධවූ වැලන්ටයින්, සමාජීය භෞතිස්මය ලබන්නේ ප්‍රේමයේ සිල්ලර වෙළඳාමේ අලෙවි ප්‍රවර්ධකයක් හැටියට. එතකොට මේ මොහොතේ පොදු භාවිතය තුළ වැලන්ටයින් යනු, ගැටවර වියේ යව්වන යව්වනියන්ගේ සිල්ලර ප්‍රේමය, ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන වෙළෙඳාමේ නාම සාන්තුවරයා හෝ තැරැව්කරුවා බවට පත්වෙලා ඉවරයි. වෙළෙඳපොළ තර්කනය තුළ මාධ්‍ය ප්‍රතිරූප සමාජගතවීම හරහා එහි මුල් භාවිතාවේ ප්‍රතිපක්ෂය කේන්ද්‍රීය සමාජයේ අධිනිශ්චය වීම තමයි, මේ හරහා තේරුම් ගන්න වෙන්නේ.

නිශ්ශංක විජේමාන්න ගේ පළමු නවකතාවත් වැලන්ටයින් කුමාරයා ගැන. ඔහු 'වැලන්ටයින් කුමාරයා' නැමති සංයුක්ත රූපය හරහා ප්‍රක්ෂේපණය කරන්නේ වෙළෙඳපොළ තර්කණය තුළ අන්‍ය රූප බවට පත්වූ සමාජයක උඩුකුරු තෙරපුම. රූපාන්තරණය වූ සමාජයක් තමන්ගේ පරමාදර්ශ ලෙසට ඉල්ලා සිටින්නේ, තවත් එවැනිම රූපාන්තරණය වූ ප්‍රතිරූපයක්. යථාව වෙනුවට ප්‍රතිරූප. නිශ්ශංකට විෂයය වෙන්නෙත් ගමෙන් නගරයට ආපු සුපර් ස්ටාර් කෙනෙක්. ඔහු ආකර්ෂණීය ගායකයෙක්. ශාස්ත්‍රීය සංගීතය හදාරපු වාදකයෙක්. නමුත් භාවිතය තුළ ඔහුට තමා ගැන තෘප්තියක් නැහැ. මොකද ඔහුගේ දෘෂ්ටිවාදය වෙනස්. පරමාදර්ශය වෙනස්. ෆැන්ටසිය වෙනස්. සුපර් ස්ටාර් සිහිනය තමයි ඔහුගේ ජීවිතය තුළ අධිනිශ්චිත සාධකය බවට පත්වෙලා තියෙන්නේ.

'' 'මට හිතෙනවා මට දැන් ජීවත්වෙන්න ගොඩක් දේ හොයා ගන්න මෙතන ඉදලා බැහැ කියලා.'
'ගොඩක් දේ?'
'මං දන්න දේ ලෝකෙට පෙන්නලා සර්කස්කාරයෙක් වගේ සල්ලි හොයන්න වේවි.
ඒත් ජීවිතය අරන් යන්නේ සල්ලි හොයන්න නං නෙමෙයි. විශේෂයෙන් ඔයා' ''


දැන් ශිල්ප පෙන්වා ජනප්‍රිය වීමටත්, ඒ ජනප්‍රියත්වය තුළ තමන්ගේ ජීවිතයේ සියලු අහිමිවීම් හරහා උපදවනු ලැබූ ෆැන්ටසීන් අත්පත් කර ගැනීමටත් සූදානම් සර්කස්කරුවෙක්, අපට කෘතිය තුළ හමුවෙනවා. අනිත් අතට මේ සර්කස්කරුවාව සුපර් ස්ටාර් කෙනෙකු බවට පත් කර, ඔහුගේ ශිල්ප විකුණා තමන්ගේ වෙළෙඳාම ප්‍රවර්ධනය කරගැනීමට සූදානම් ආයෝජකයෝ ඕනෑ තරම් ජනප්‍රිය සමාජයේදී ඔහුට අභිමුඛ වෙනවා. දැන් මෙතන වෙළෙඳාමක් සඳහා උචිතම පරිසරය හැදිලා ඉවරයි. ජනප්‍රිය වැඩසටහනක් හරහා 'මාර්කට්' එක හදා ගැනීමට සූදානම් ආයෝජකයෙක් හා එම වැඩසටහන හරහා 'මාර්කට්' එක දිනා ගැනීමට සූදානම් අයදුම්කරුවෙක් එකතැන හමුවෙනවා. විකිණීමට සූදානම් කරන ලද භාණ්ඩයක් හා එය වෙළඳපොළ තුල විකිණීමට සූදානම් වෙළෙන්දෙක් දැන් මෙතන ඉන්නවා. වෙළෙඳ උවමනාව ඇති පාර්ශව දෙකක් එකිනෙකට අභිමුඛවී කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකින් කොන්දේසි විරහිත වෙළඳාමකට සම්මුතියකට පැමිණෙනවා. ප්‍රතිඵලය වෙන්නේ ඔහු මාධ්‍ය තුළ සුපර් ස්ටාර් කෙනෙක් බවට පත්වීම. එතැන් සිට ඔහු ඔහුගේ සුවහසක් රසික රසිකාවියන්ට වැලන්ටයින් කුමාරයා වෙනවා. ප්‍රේමය ගැන ගයන, ප්‍රේමයම මුමුණන, ප්‍රේමයේ කුමාරයා වෙනවා.

'''මාධ්‍යයට පුලුවන් සිංදු කියන්න බැරි කෙනෙක් වුණත් රටේ හොඳම ගායකයා කරන්න. ඒ වගේම ඒ අයට ගායකයෝ නැති කරන්නත් ඇහැකි.'
'ඉතිං මට කියන්නේ?'
කුමාරයා ඇවිත් ඇසුවේ එහි තර්ජනය තේරුම් ගෙනය.
'ඔයාව උඩට උස්සපු චැනල් එකට ඔයාට සේවය කරන්න වේවි.'
කළමණාකරු උපහාසයෙන් කීවේය''.


සල්ලි හොයන්න යන 'රිදීමාලියැද්ද මුදියන්සේලාගේ රන්බණ්ඩාර' නැමැති පුද්ගලයෙක් 'බණ්ඩාර රිදීමාලියැද්ද' නැමති මාධ්‍ය ප්‍රතිරූපයක් බවට පත්වෙනවා. වෙනත් විදියකට ඔහු මාධ්‍යයේ සිරකරුවෙක් බවට පත්වෙනවා. මේ විදියට සංකේතීය අනන්‍යතාවක් සහිත මාධ්‍ය ප්‍රතිරූපයක් බවට පත්වන්නෙකුට, මාධ්‍ය විසින් දී ඇති රූපය වෙනුවෙන් පෙනී සිටීම අනිවාර්යය කාරණාවක්. ඒ මොහොතේ සිට ඔහු අඳින්නේ, පළඳින්නේ, කතාබහ කරන්නේ, සිනාසෙන්නේ, අඬන්නේ, සිංදු තෝරා ගන්නේ, ගායනා කරන්නේ, රඟන්නේ, වයන්නේ මේ මාධ්‍ය ප්‍රතිරූපයේ ඉල්ලා සිටීම අනුවයි. මේ මාධ්‍ය ප්‍රතිරූපයට වෙළෙඳපොළ තර්කණය තුළ රූපාන්තරණය වීම අත්‍යාවශ්‍ය කොන්දේසියක්.

''පළමුව කොණ්ඩයේ හැඩය වෙනස් කරන ලදී. ඒ සඳහා ඔහුට සති තුනක් කොණ්ඩය වවන්නට සිදුවිය. අනතුරුව සම්පූර්ණයෙන් සිනිඳුවට රැවුල බාන ලද්දේය. ඔහු බෙහෙවින් ඇලුම් කරන උඩු රැවුල ඔහුට අහිමි වන්නේ ඒ මොහොතේය. ………… එලෙස එක් කනකට පුරුෂ කුණ්ඩලාභරණයක් ද, පසුපසින් වවන ලද කොණ්ඩයක් ද, දෑත්වල මාංශ ගොබ පෙනෙනා සේ ඇන්දවූ අත් කැපූ ජැකට්ටුවක් හා බැනියමක් ද, ඩෙනිම් වර්ගයේ කලිසමක් විසින් ද කුමාරයාගේ රූපය සරසනා ලද්දේය. ඈ විසින්ම ඔහුට අඩි උස සපත්තු දෙකක් තෑගි දෙන ලද්දීය.''

මේ රූපාන්තරණය වීම, වෙළෙඳපොළ තර්කණය තුළ නව පුද්ගලවාදයක් ගොඩනගා ගැනීමක්. 'අනෙකාගේ දෘෂ්ටියෙන් තමාගේ අනන්‍යතාව සාදා ගැනීම' කියලා ලැකාන් කියන්නේ මේකට. අනන්‍යතා අර්බුදය මතුවන්නේ මෙතෙන්දියි. 'අනෙකාට මගෙන් අවශ්‍ය කුමක්ද?' යන ප්‍රශ්ණයේදී මම ම මා නොවන්නෙකු බවට පත් වන අතර, එම මා නොවන්නා හරහා අනෙකා මා හඳුනා ගන්නවා. මම ම අනෙකා බවට පත්වීම, හෙවත් අනෙකා මකා දැමීම මෙහි අනිවාර්යය ප්‍රතිඵලයක්. අතුරු මුහුණතක් විසින් පුද්ගලයාගේ සමාජ සම්බන්ධතා ලෝකයේ නියම අනන්‍යතාව හා අර්ථයන් ලබා දීම මඟහරිනවා. මම යනු අනෙකාගේ කැමැත්ත වේෂනිරූපණය කරන යන්ත්‍රය බවටත්, අනෙකා යනු මාගේ කැමැත්ත වේෂනිරූපණය කරන යන්ත්‍රය බවටත් පත්වෙනවා. ලැකාන් ට අනුව 'හැමවිටම අපගේ ආශාව ගමන් කරන්නේ අනෙකෙක් හරහා' යි. හේගලියානු දයලෙක්තිකය ට අනුව අවසාන සංකල්පීය විග්‍රහයේදී 'ස්වාමියා යනු වහලාගේම නිර්මිතයක්' යන්න සත්‍ය වෙනවා. ලාංකීය සමාජයේ සුපර් ස්ටාර් සාධකය පුද්ගල ජීවිත තුළ අධිනිශ්චය වීමේ මනෝ මූලික තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ විදියට.

'''ශාරුක් ඛාන් කියන්නේ කෙනෙක් නෙමෙයි.' ඇය කීය.
'එහෙනං?'
'පික්චර් එකක්.'
'පික්චර් එකක් හරි ෂෝක්.' කුමාරයා කෑ ගැසීය.
'එතකොට ඔයා මගෙන් අහපු අර පේවරිට් සෝන්ජර් මේ මේ බණ්ඩාර එයා කවුද?'
ඇය තමන්ගේ ස්පර්ශ කළ නොහැකි සිහිනය වෙනුවෙන් සිය තීන්දුව දුන්නාය.
'බණ්ඩාර රිදීමාලියැද්ද කියලා කියන්නේ සිංදුවක්.'
'ඒ කියන්නේ සිම්ලා.....'
කුමාරයා තමන්ගේ සමීකරණය හදා ගනිමින් උන්නේය.......
'නයෝමි කියලා කියන්නේ වෙළෙඳ දැන්වීමක්.'
'එහෙම තමයි.' ඇය සිනාසී කීවාය.
'හොඳයි ඔයා වැඩිය කැමති බණ්ඩාරට ද? ෂාරුක්ට ද?' කුමාරයා ඇසීය.
'දෙන්නටම වඩා ඔයාට. මොකද ඔයා අතට අහුවෙනවා.' ''


දැන් මෙතන ඉන්නේ 'බණ්ඩාර රිදීමාලියද්ද' නැමති මාධ්‍ය ප්‍රතිරූපයක්. ඔහුගේ පැවැත්ම තියෙන්නේ බාහිරය ඔහු ඉල්ලා සිටින ආකාරයට ඉල්ලා සිටින කාලයක් දක්වා පමණයි. බාහිර සමාජයේ ඔහු පිළිබඳව ඔවුන්ගේ ඔලු තුළ තිබෙන ෆැන්ටසි රූපයෙන් තොර පැවැත්මක් ඔහුට නෑ. ඒ කියන්නේ ඔහු භෞතිකයක් නෙමෙයි. පශ්චාත් ව්‍යුහය ගොඩ නොනැඟුණු අවවර්ධිත දේශයකදී මාධ්‍යයට කරන්න පුළුවන් බරපතලම බලපෑම තමයි, මේ හරහා තේරුම් ගන්නට පුලුවන් වෙන්නේ.

''නෑ මං කියන්නේ වීරත්වය මුදා හැරීමේ වෙනත් ක්‍රමයක් නැතිවුණ එක. පශ්චාත්කරණයට ලක්වෙන එක. ඔය ක්‍රිකට්... නැත්නම් රේඩියෝ නිවේදක... ගායකයෙක් වගේ... අර්ධ හෝමාරියානු වීරයෙක්... ඇත්තටම කුමාරයා මං අහන්නේ මේකයි... ඇත්තටම 89 කැරැල්ලෙන් පස්සෙ ගොඩනැගෙන්නේ කර අඹපු වෘෂණ කෝෂ තලපු ඒත් හයිය තියෙන වහු රැලක්ද?''

වැලන්ටයින් කුමාරයා අවවර්ධිත දේශයක ඉමක් නොපෙනෙන ගමනකට මුල පුරනවා. ගෑණු මහ ගොඩක්. සල්ලි කන්දක්. සියල් සපිරි සුපිරි දිවියක්. වැලන්ටයින්ගේ මේ අලුත් හීනය මහගමසේකරගේ ප්‍රබුද්ධගේ හීනය වගේමයි. 'මටත් මොවුන් මෙන් කෙනෙක් වෙන්නට ඇතොත්.' අභ්‍යන්තරික විසංවාදී ඔහුගේ මේ භාවිතාවට ඔහු තුළම ආවරණයක් සකසා ගන්නවා. ඔහු දැන් සාම්ප්‍රදායිකත්වය බැහැර කරපු පෝස්ට් මොඩර්න් ආටිස්ට් කෙනෙක්. සිතුම්, පැතුම්, හැඟුම්, කියුම්, කෙරුම් සියල්ල පශ්චාත් නූතනවාදීයි.

'''මගේ ප්‍රාර්ථනයත් ඒකමයි. එතකොට මේ ගොල්ල ලෝකයේ වෙනස් ස්වභාවයන් තියෙනවයි කියලවත් දැනගනීවි. කියන්නේ පිරිමි වගේම ගෑණුත්... සහජාත වගේම අවජාතත්... සෙක්ස් වෙනුවට ලව්... පෙළ වෙනුවට Text'
ඔහු එසේ කීවද ඒ සියල්ල පරාජිත පිළිතුරුය. ''


අති ධාවනකාරී දිගු ගමනකට පස්සේ හති වැටෙන කුමාරයා ආපසු හැරී බලනවා. කුමාරයාගේ මෙතෙක් දිවිල්ල වෘත්තයක බව තේරුම් ගන්නවා. මුලදී හමුවූ පුද්ගලයන්වම වෙනස් ස්වරූප වලින් ඔහුට නැවත හමු වෙනවා. ආපහු කුමාරයාටත් ප්‍රබුද්ධට ඇතිවුණ හිස්කමමයි. 'හිස්ය මේ ජීවිතය, බොල්ය මේ ජීවිතය.' ප්‍රබුද්ධගේ විසංවාදයමයි. 'පලා යාමක්ද මේ ජීවිතෙන්. වේද කිසිම පලක් මේ වෑයමෙන්.'

''ඒ රාත්‍රියේ බිරිඳත් දරු දෙදෙනාත් සමඟ ආහාර ගනිමින් සිටින විට ඔහු ගයනා ගීයක් රූපරාමුත් සහිතව රූපවාහිනී තිරයේ දිගහැරුණේය. එහි කුමාරයා සිටියේ වෙනස් ස්වරූපයකිනි. රූප වේෂයෙන් ඉදුරාම වෙනස්වය. නමුත් මවිත කරවන සුලු මේ වෙනසේ සමානකම දරුවන් දෙදෙනාම හඳුනා ගත්හ. 'මෙන්න' එක් දුවක් කෑ ගැසීය. 'අප්පච්චි' අනිකිය කීය. 'වෙනස්' දෙදෙනාම තරයේ කීය. 'අම්මා කිව්වේ මේ වෙනම කෙනෙක් කියලා.' දැරියක් කීවාය. 'ඒක චරිතයක්' සේපාලිකා එවිට කීවාය. 'චරිතයක් කියන්නේ වෙන කෙනෙක්. අප්පච්චි නෙමෙයි.' ඇය විශ්වාසයෙන්ම කීවේ කිසිඳු පලුද්දක් නොතබාය. 'ඒත් හඬ මගේ' කුමාරයා උදාසීනව කීය. 'ඒක උනත් ඔයාට අයිති නැහැ. අපට පුළුවන් ඒකට ඔයාට ස්තූති කරන්න විතරයි.' 'දෙවියනි මම මම නෙමෙයි වෙලා.' කුමාරයාට හීල්ලුනේය.''

අනන්‍යතාව විකෘතියක් බවට පත්වූ කුමාරයා තමන්ගේ අනන්‍යතාව සොයා අරගල කරනවා. තෘප්තිය සොයා ගිය ඔහුට අතෘප්තියම ජීවිතය බවට පත්වෙනවා. පූර්ණත්වය යනු හිස්කමම බව අවබෝධ වෙනවා. සුපර් ස්ටාර් කෙනෙක්ගේ සිහිනය තුළ එහිම නිෂේධණය මුණ ගැසුණු ශරීරයක් අභ්‍යන්තර කැරලිකරුවෙක් බවට පත් වෙනවා. ඔහුත් ප්‍රබුද්ධ වගේම විමුක්තිය සොයන්න ගන්නවා.

'' 'මේ ලෝකෙ තේරුමක් නැති බැමි ගැලවිලා යනවා නම්. ඒත් අපි දෙතුන් දෙනෙකුට ඒක කරන්න බැහැ ලංකාවේ.' ''

නිශ්ශංක තම කෘතිය තුළ වැලන්ටයින්ගේ මේ විමුක්තිය දාර්ශනික තලයකදී පරිසමාප්තියට පත් කරනවා. පෙර අපර දිග ප්‍රතිපක්ෂ දාර්ශනික කතිකාවක් තුළ විසංවාදී විමුක්ති මාර්ගයක් ඔහු ඉඟි කරනවා. ඒ අර්ථයෙන් වැලන්ටයින්ගේ විමුක්තියත් හර්මන් හෙස ගේ සිද්ධාර්ථ අවබෝධකරගත් විමුක්තිය වගේමයි. වැලන්ටයින් කියන්නේ කසන්සාකිස් ගේ සෝර්බා වගේම සියලු සංස්කෘතික සීමාවන් විසින් පැවැත්ම අහිමිකරවූ මනුෂ්‍ය අර්ධයේ උපමාරූපිකය. තනි කරලා ගත්තහම වැලන්ටයින්ගේ ගායනයත්, වාදනයත් සෝර්බාගේ නැටුමත් එක වගේමයි. සදාකාලිකත්වයක් එහි නෑ. මොහොතක සැපත විතරයි එතැන තියෙන්නේ. ඒකයි ඕෂෝ කියන්නේ 'සෝර්බා සහ බුද්ධා එකතු වුණොත් විතරයි පරිපූර්ණ මිනිසා ගොඩනැගෙන්නේ' කියලා. ඒ අර්ථයෙන් පරිපූර්ණ මිනිසා ගොඩනැගීමේ කාර්යයේදී නිශ්ශංකගේ මේ වැලන්ටයින් කුමාරයාට හර්මන් හෙස ගේ සිද්ධාර්ථව අභිමුඛ කරවීම හොඳ වෑයමක්.

පසු සටහන

මේ විචාරය මුල් වරට පලවුණේ අවුරුදු දෙකකට පෙර රාවය පුවත් පතේ 2008 පෙබරවාරි 17 හා 24 යන දින වල. විශේෂයෙන් පසුගිය අවුරුදු දෙකක කාලයේදී ශ්‍රී ලාංකීය ජනසමාජයේ සිදුවූ විකෘතික චලනයන් උත්ප්‍රාසාත්මකව සූත්‍රගත වෙමින් තහවුරු කරන්නේ වීරයෙකු ද්‍රෝහියෙකුගෙනුත්, ත්‍රස්තවාදියෙකු දේශප්‍රේමියෙකුගෙනුත් ඉරි ගසා වෙන් කරන බෙදුම් රේඛාව කෙතරම් සරලද යන්නත්, එම විශේෂණයන්ට පැවැත්මක් ඇත්තේ නිශ්චිත කාලවකවානුවක් තුළදී දෙන ලද නිශ්චිත අර්ථකථනයන් තුල පමණක් යන්නත්ය. තම තාරකා ගුණය පමණක් එකම අවිය කොට ගෙන ජනතා සේවයට බුරුතු පිටින් සුපර් ස්ටාර්ස්ලා රොක්වෙන මේ මොහොතේ රූපාන්තරණය වූ මාධ්‍ය ප්‍රතිරූපයකට මනාප දීමට සැදී පැහැදී සිටින අදේශපාලනික ශ්‍රී ලාංකීය ජන සමාජය ඉතිහාසයෙන් ඉගෙනගත යුතු වන්නේත් අනාගතයේදී තහවුරු කරගනු ඇත්තේත් කිසියම් සමාජයක ප්‍රගතිගාමී ප්‍රවේශයකට උත්තේජනය සැපයෙන්නේ සුපර් ස්ටාර්ස්ලාගෙන් නොවන බවත්, එසේ වන්නේ කොයි යම් විෂයයකින් හෝ උපයාගත් තාරකා ගුණය යනු ෆැන්ටසියක් වීම නිසා බවත්, එය ඕනෑම අවස්ථාවකදී අභියෝගයට ලක්විය හැකිවාක් මෙන්ම එම නිශ්චිත මොහොතේදී ෆැන්ටසිය යථාවත්, සමස්ථයත් කොට ගත් පුද්ගල ජීවිත වල පැවැත්මද අහෝසි වීමට ඇති වලංගුභාවයත්ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- St. Valentine, Valentine Kumaraya, Nishshanka Wijemanna, Sri Lankan Novels, Sinhala Fictions
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
f මෙහෙම කියනවා :
they are thinking for famous life.. they are selling everything for that...........

කිවුව වෙලාව- 2010-04-23 07:38:24
Lokuge මෙහෙම කියනවා :
useful review tks for sharing

කිවුව වෙලාව- 2010-04-18 21:10:03
Dinuka Saputantri මෙහෙම කියනවා :
ඇත්තටම 89 කැරැල්ලෙන් පස්සෙ ගොඩනැගෙන්නේ කර අඹපු වෘෂණ කෝෂ තලපු ඒත් හයිය තියෙන වහු රැලක්ද?

කිවුව වෙලාව- 2010-04-16 01:52:17
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඉන්දික උඩුගම්පොලගෙන් තවත් වියමන්
පොත්
හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම
පොත්
මහනාම හාමුදුරුවන්ට යක්ෂණි අභිමුඛවීම
පොත්
අවජාතක තාරුණ්‍යය බත්තලංගුණ්ඩුව ට පලා යෑම
අදහස්
නග්න කලාව හා පුරසාරම
පොත්
මධුවිතට පසු සටහන
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook