Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
බූන්දි, 20:03:49
කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින් රචනා වී සිංහල බසට පරිවර්තනය වූ ලංකා භූමියේ සශ්‍රීක අවධියක් පිළිබඳ කියෙවන මතක ආවර්ජනයක් පිළිබඳවයි මෙම සටහන. ඒ කරුණාකරන් නැමති ප්‍රකට ලාංකේය දමිළ කවියාගේ "ඉප්පඩි ඔරු කාලම්" කෘතිය, "මතක වන්නිය" ලෙස අනූෂා සිවලිංගම් සිංහල බසට කළ පරිවර්තනයයි. එය හුදු පරිවර්තනයකින් ඔබ්බට ගොස් සිංහල පාඨකයාගේ හදට වඩාත් දැනෙන හැඟෙන අයුරින් සමීප කර තිබේ. නිස්සාර යුද්ධය නන්දිකඩාල් කලපුවේ දී නාමිකව නිමා වූ බවට දකුණේ සිට සති ගණන් කිරිබත් කා යුද්ධයේ භෂ්මාවශේෂ නරඹන්නට බස් වෑන් පිටින් උතුරට ආ සියලු දෙනා ඇතුළු මුළුමහත් සමාජයට ආමන්ත්‍රණය කරන මෙම කෘතිය තුළින් ගතවූ තිස් වසර හා ඉන් මෙහාට නිමාවක් කිව නොහැකි කාලයක් පුරා දැනෙන යුද්ධයේ ගොදුරක් වූ මිනිසුන්ගේ වේදනාව දිගහැරේ.

යුද්ධයේ ගොදුරක් වන්නට පෙර සශ්‍රීකව වැජඹුණු කිලිනොච්චි නගරය ගැනත් දහවල නිඳා සිට රාත්‍රියේ අවදි වන කිලාලි නගරය ගැනත් කතුවරයා ඉදිරිපත් කරන මතකය වේදනාත්මකය. ඒ අතර කණ්ඩාවලෙයි, අක්කරායන්, වන්නේරිකුලම් හා ස්කන්ධපුරම් ආදී ප්‍රදේශ පිළිබඳව ද කතුවරයා සිය මතක සටහන් ඉදිරිපත් කරයි. එසේම චෙම්මණි නගරයත් නන්දිකඩාල් හා ඉයක්කච්චි ප්‍රදේශවලට ද කතුවරයා පාඨක අපව කැඳවාගෙන යනු ලබයි.

මතක වන්නිය පුරා දිගහැරෙන මෙම සියලු ප්‍රදේශ ද ඒවාට මායිම් වන ප්‍රදේශ පිළිබඳව ද කතුවරයා තම ජීවන අත්දැකීම් ඇසුරින් ඉදිරිපත් කරන මතක සටහන් සංවේදීජනකය. ඒවා තුළ උතුරේ සශ්‍රීකව පැවති ශිෂ්ටාචාරයක අතීත කතාව සටහන්ව ඇත. එසේම යුද්ධයට පෙර සතුටින් දිවිගෙවූ මිනිසුන්ගේ ජීවන අන්දරය සැඟවී ඇත. එපමණක් නොව යුද්ධය අතරතුරත් යුද්ධයෙන් පසුවත් එම ප්‍රදේශවල වැසියාගේ ජීවිත සෝදාපාළුවට ලක්කළ අකාල කුණාටුව විසින් ඉතිරි කළ වේදනාවත් පිරී ඇත.

කිලිනොච්චිය කතුවරයාගේ මේ මතක සටහන් අතර සුවිශේෂිය. එය කලක් උතුරේ වැසියන්ගේ සශ්‍රීකත්වය සහ විනෝදය පිරි නගරය වීමත් කොටි සංවිධානයේ පරිපාලන නගරය වීම සහ සාම සාකච්ඡා ඇතුළු අන්තර්ජාතික මැදිහත් වීම් සඳහා පහසුකම් සැලසූ නගරය මෙන්ම පසුව යුද්ධය නිමා වීමෙන් පසු උතුර නැරඹීමට සංචාරකයින් ආ ගිය නගරයක් වීමත් ඔස්සේ විවිධ කාලවල කිලිනොච්චි නගරයේ භූමිකාව හා ඒ හා සබැඳුණු මතකයන් කතුවරයා ඉදිරිපත් කර තිබේ.

එකම රටක අයිතිය වෙනුවෙන් පැවති යුද්ධයකට පසු එක් පාර්ශවයක් තවත් පාර්ශවයක ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්වීමේ ඛේදවාචකයත් මෙහිදී කතුවරයාගේ ප්‍රශ්න කිරීමට ලක්වේ.

"සමහරුන්ට යුධ විනාශයනුත් ප්‍රදර්ශන භාණ්ඩයන්ය. යුද ජයග්‍රණයන් ද පශ්චාත් යුධ කාලීන ප්‍රගතීන් ද පසුබෑම් ද ප්‍රදර්ශන භාණ්ඩයන්ය. ජනතාවගේ කඳුළුත්, වේදනාවනුත් ඔවුන්ට හුදු ප්‍රදර්ශන භාණ්ඩයන්ය."
(මතක වන්නිය, පිටුව 31)

එය අතිශය මානුෂික ප්‍රකාශනයක් මෙන්ම පශ්චාත් යුද කාලීන ලාංකේය සමාජ සන්දර්භයේ ගැඹුරුම විවරණයක් වන බව ද පැවසිය යුතුය. එකම රටක දෙපිරිසක ඉරණම්වල ගැටීම කෙතරම් ඛේදජනකද? හිත්පිත් නොමැති යුද්ධය මෙන්ම එය උත්කර්ෂයට නැංවූ දේශපාලන භාවිතය හා ජනමාධ්‍ය භාවිතය තුළ යුද්ධයේ වින්දිතයින් රූකඩ බවට පත්කොට ඇති බවට වෙන සාක්ෂි කුමකටද? ඔබ කිසිවෙකුගේ හෝ ප්‍රදර්ශන භාණ්ඩයක් වනවාට ඔබ කැමතිද? අප අපෙන්ම නැවත නැවතත් ඇසිය යුතු පැනය එයයි.

චෙම්මණි නගරය පිළිබඳ කතුවරයා ඉදිරිපත් කර ඇති මතක ආවර්ජනය පාඨක සිත් වඩාත් කම්පනයට පත් කරන සටහන බව පැවසීම වරදක් නැත. ඒ ක්‍රිෂාන්ති නම් දූෂණයට ලක්ව මරා දැමුණු දැරියගේ මරණාසන්න වේදනාකාරී විලාපය තවමත් චෙම්මණිය පුරා දෝංකාර දෙන බැවිනි. නගරවාසීන් මෙන්ම ක්‍රිෂාන්ති ගැන දන්නා කිසිවෙකුට මඟහැර යා නොහැකි ඇගේ වේදනාකාරී මරණයේ විලාපය මතක වන්නිය අත්විඳින පාඨකයාට ද එලෙසින්ම උරුමය. කතුවරයා ක්‍රිෂාන්ති පිළිබඳ මතකයෙන් පාඨක සිත් දවාලන්නේ මෙලෙසිනි.

"සුන්දර ක්‍රිෂාන්ති
සටන්කාමියක් නොවෙයි ඇය.
නමුත් අල්ලා ගත්හ ඔවුහු ඇයව
කෛතඩි ප්‍රදේශයෙහි පැතිරෙද්දී
ඇගේ මර ලතෝනි හඬ
කිහිපවරක්ම කෙළෙසූහ ඔවුහු ඇයව…"

(මතක වන්නිය, පිටුව 102)

ක්‍රිෂාන්තිට උරුම වූ ඛේදවාචකය උතුරට පමණක් සීමා වූවක් නොවේ. දකුණේ ද ක්‍රිෂාන්තිලා මියයති. එසේම යාපනයේ විද්‍යා දැරියගේ විලාපය ද ක්‍රිෂාන්තිගේ විලාපයට නොදෙවෙනි වූ බවට සැකයක් නොමැත. කාලය ඒ සියල්ල මත ඇතිරූ පලස මතුපිට සුන්දර ලෝකයක් තනා ඇත. චෙම්මණියේ තත්ත්වය ද එලෙසය. චෙම්මණි නගරය වාණිජ නගරයක් බවට පත්ව වෙළෙඳ නාම පුවරු නගරය පුරා ප්‍රදර්ශනය වන්නේ පහසුවෙන් අමතක කළ නොහැකි මතක ගොන්නක් මත ඇලවූ පැලැස්තරයක් ලෙසිනි. එමෙන්ම යුද්ධයට බිලිවූ ජීවිත සිය ගණනක සිරුරු මිහිදන් කළ සොහොනක් ලෙස ද චෙම්මණිය ගැන මතකය අතීත මතක සටහන් අතරට එක්වී තිබේ. වසර හතළිහකට පෙර සුන්දර වෙල් යායක් සේ දිස්වුණ චෙම්මණියේ වර්තමාන ස්වරූපය සැබැවින්ම විශ්මයජනකය. කතුවරයා නැවත නැවතත් පවසන සත්‍යය එයයි.

චෙම්මණිය මෙන්ම උතුරේ බොහෝ ප්‍රදේශ ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතුවලින් සශ්‍රීකව පැවතුණු පෙදෙස් බවට වන මතක සාක්ෂි ද කතුවරයා මතක වන්නිය තුළ ගෙන එයි. කණ්ඩාවලෙයි, අක්කරායන්, කෙප්පාපුලවු, ඉයක්කච්චිය ආදී වූ ප්‍රදේශ රැසක් පිළිබඳ තතු ද ඒවා අතර වේ. ඒ අතීත මතක නැවුම්ය. සුන්දරය. එහෙත් කාලය විසින් ඒවාට උරුම කර දෙන ලද පරිවර්තනය අතිශය දුක්ඛදායකය.

මෙසේ "ඉප්පඩි ඔරු කාලම්" කෘතිය පුරා කරුණාකරන් දිගහරින සිය මතකය "මතක වන්නිය" ලෙස අනූෂා සිවලිංගම් කළ සිංහල පරිවර්තනය පාඨක මනස කැලඹීමට සමත් වේ. මේ මතක පත්‍රය අනූෂා අතින් මෙසේ සිංහල පාඨක සමාජයට තිළිණ වීම අතිශයින්ම ප්‍රශංසාවට බඳුන් විය යුතු ක්‍රියාවක් වන්නේ, කරුණාකරන්ගේ මතකය උතුරේ වැසියන්ගේ කතාව පමණක් නොව එකම කාසියේ දෙපැත්ත මෙන් එයින් පරාවර්තනය වන අනෙක් කතාව සමස්ත ලාංකීයයන්ගේ ද කතාව වන බැවිනි.

මතක වන්නිය ඔබ සැම කියවිය යුතු කෘතියකි. එය සිංහල පාඨක විඥානය තුළ ගොඩනැංවී ඇති යුද්ධයේ ප්‍රතිබිම්බය නව මානයකට යොමු කිරීමට සමත් වනු නියතය. ඒ නිස්සාර යුද්ධයකට මානසික සහයෝගය ගොඩනඟමින් යුද්ධය බිහිකළ අවජාතක වීරයින් සාහිත්‍යය තුළින් උත්කර්ෂයට නංවා වේදනාත්මක මතක පමණක් හිමි මිනිසුන් පිරිසක් අනාගතයේ දී මේ බිම මත නැවතත් බිහිවීම වැළැක්වීමට දායක විය හැකි එකම මඟ එය පමණක් වන නිසාවෙනි.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Mathaka Wanniya, Ippadi Oru Kalam, Karunakaran, Anusha Sivalingam, Sri Lankan Civil War, Tamil, Sinhala, Sri Lankan Tamil Writers
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුරෝෂන ඉරංගගෙන් තවත් වියමන්
අදහස්
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
මී පුප් සේ රස 'හෑල්ල'
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook